20170728

ලාල් කාන්තත් හිට්ලර් වගේ...


ලාල් කාන්ත වීරයෙක්.
දොස්තරත් කම්කරුවෙක්.

සයිටම් විරෝධී ජන පවුර
අපට පසක් කරන සත්‍යය එයයි.

සයිටම් විරෝධී ජනපවුරට ආපු
ඔහුගෙ වෘත්තීය සමිති වල සෙනග සහ
ටයි පොළුවලින්, මේකප් වලින් සැරසුණ
නවීන් සර්ලා සහ පබසරී මැඩම්ලාත්
ලාල් මෙහෙයවාපු ආකාරය දැක්කාම
අපිට සිහිවෙන්නෙ සත්තුවත්තෙ
දක්ෂ පුහුණු කරුවන්.

අපේ සත්තුවත්තෙ
දක්ෂ සතුන් පුහුණු කරන අය
ගිරවු, චිම්පන්සි, සීල් මත්ස්‍යයා,
සද්දන්ත අලි මෙහෙයවනවා වගේ
වර්ජන උද්ඝෝෂණ වල පන්නරයෙන්
ඇට්ටර වුණ කම්කරුවන් සමග එකට
ටයි පොලු දාගත්ත මාන්නාධික දොස්තරවරුත්
හරි හරියට පාලනය කරනවා දැක්කාමයි
ලාල්ගෙ හැකියාව මතුවෙලා පෙණුනෙ.

ලාල් කාන්තට දොස්තරත් කම්කරුවෙක්.
ලාල්ගේ පදයට නටන කම් කරුවෙක්.
දොස්තරවරුන් සමාජයෙන් සඟවන
යස ඉසුරුවලට කෑදරකමේ වල්ගය
ඔවුන් ජනතවට සඟවන්න සමත් වුණත්
ලාල්ට ඒ වලිග කොටය අහුවෙනවා.
ඔහු ඒ වලිගයෙන් දොස්තරත් නටවනවා.

වෛද්‍ය සිසුන් ඉදිරියේම
නවින් සර්, පබසරී මැඩම් වැනි සර්ලා මැඩම්ලා
ලාල් කාන්ත කියන කම්කරුවාගේ පදයට
නැගිටින්න කියන විට නැගිටිමින්
වාඩි වෙන්න කියන විට වාඩි වෙමින්
ඔහු කියන විට අත්පොළසන් දෙමින්
"ඇති" කිව්වාම නතර කරමින්
සත්තුවත්තේ පුහුණු කළ සතුන් වගේ
මොන්ටිසෝරි ගුරුතුමිය හමුවේ
සුවච කීකරු දරුවන් වගේ
කැප වීමෙන් සතුටෙන් සරඹ කරන හැටි
ඇත්තටම බලන්න ලස්සණ දර්ශනයක්.

ලංකාවෙ ඉන්න මාන්නාධිකම වෘත්තිකයන් වන
රෝගීන්ගෙන් පමණක් නොව සමස්ත ජනතාවෙන්ම
නිරන්තර ගරුසරු සොයන වරප්‍රසාද ඩැහැගන්නා
ඔවුන්ට උරුම නැති සම්භාවනීයත්වයක් පතමින්
පොළවට ටිකක් ඉහළින් වැජඹෙන දොස්තර පෙළැන්තිය
සැබැවින්ම උරුම නැති වරප්‍රසාද සොයා
නූගත් කම්කරුවන්ගේ වීදි සටන් වලට වැටුණු පසු
දොස්තරවරුන්ද ශ්‍රමය විකුණා ජීවිකාව සපයන
තවත් එක් කම්කරුවන් පිරිසක් පමණක් බව
මහා සෙනගක් ඉදිරියේ නටවා රටට පෙන්වා දුන්නේ
අපේ කතාවේ වීරයා වන ලාල් කාන්තයි.

ලාල්ට ත්‍රස්තවාදී හමුදාවක් මෙහෙයවන්න
ත්‍රස්තවාදී හිට්ලර්ට වැනි සහජ හැකියාවක් තියනවා.
ඒ බව ඉතාම පැහැදිලියි.
ඔහුට යටත් මෙවැනි කම්කරුවන් පිරිසක් හමුවේ
මහින්ද රාජපක්ෂගේ ගැම්ම පවා පරදවන්නට
ලාල්ට හැකියාව තියනවා.

88-89දි වර්ජන උද්ඝෝෂණ පිටු පස
තුවක්කුත් තිබුණා කියා ලාල්කාන්ත කිව්වා.
එවැනි යුගයක් අවිගත් පිරිසක් නැවත ආවොත්
ඒ පිරිසට නායකත්වය දෙන අය අතර
ලාල් කාන්ත පෙරමුණේ ඉඳීවි කියා
ඔහුගෙ කතාවෙන් පෙණුනා.

ළහිරුලාට එක් වෙන්න
පළමුවෙන්ම සිරගත වෙන්නෙත්
ලාල් කාන්තම වෙන්නත් පුලුවන්.
කොකා ගැලෙව්වාම මේ තුවක්කුව
නිකංම නිකන් මුගුරක් බවට පත් වෙනවා.

මිනිස් සංහාරයට ජනපති අකමැති නම්
කොකා ගලවා දමා තුවක්කුව මුගුරක් කර
පසෙකින් තියන්න අවකාශ තියනවා.

ලාල් ඊට කැමති වෙන්නත් පුලුවන්.
71 කැරැල්ලෙදි විජේවීර ආරක්ෂා වුණේ
ඔහු හිරගෙදර සිටි නිසයි.
විජේවීර එකතු කළ පිරිස කැපුවත්
විජේවීර  නිකරුණේ කපා නොදැමිය යුත්තෙක්.
නැවත භාවිතා කළ හැකි ඉත්තෙක්.
රජය ඔහු රැකගත්තා.
ලාල් වුණත් එහෙමයි.

ලාල් කාන්තත් හිට්ලර් වගේ මිනිහෙක්.

ඒත් ඒ සුවිශේෂී හැකියාව
වර්ගවාදී ම්ලේච්ඡ හිට්ලර්ට වගේම
අනුගාමිකයන් විනාශය කරා මෙහෙයවන්න හැර
වෙනත් සාරවත් දේකට වැඩක් නැති වීම
රටේ අවාසනාවක්.

පාර සුද්ධ කරන බොනිකර තරුවටවත්
මේ මිනිසුන්ගෙ ගැම්ම භාවිතා වෙන්නෙ නෑ.
මේ තවම අවි අතට නොගත් ගරිල්ලා හමුදාවක්.
මේ හමුදාව කඩන්න බිඳින්න විනා
හදන්න, ගොඩනගන්න යොදා ගන්න බෑ.

වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් ගැනත්
කියන්න තියෙන්නෙ ඒ ටිකමයි.
අධ්‍යාපනයට, ප්‍රතිකාර කිරීමට නැති
මාරාන්තික කැපවීමකින්, ගැම්මකින්
මේ කම්කරු හමුදාව සමග එක් වී
කඩන්න බිඳින්න ඔවුන් සූදානම් බව
සෞඛ්‍ය අමාත්‍යාංශයෙදි අපි දුටුවා.

දෙතුන් දෙනෙකුට දෙක තුන වදින විට
සෙරෙප්පුත් දමා දිවීම වෙනම කරුණක්.
ගරිල්ලා සටන් කරුවන්ගේ ක්‍රමය එයයි.

ලාල් කාන්ත 'නැගිටින්න' කිව්වාම නැගිටිමින්,
ලාල් කාන්ත 'ඉඳගන්න'
ඔහුගෙ විධානයට අනුව අත්පොලසන් දෙමින්
ඔහු කියන විදියට සටන්පාඨ කියන විනයෙන් යුතුව
වෘත්තීය වගකීම ඉටු කළා නම්
සයිටම් විරෝධයට සහභාගි වෙන විදියට කැපවෙමින්
මේ වෛද්‍යවරු රෝගී ජනතාවට සේවය කළා නම්
වෛද්‍ය සිසුන් නිසි පරිදි අධ්‍යාපනය ලැබුවා නම්
ජනතාව ඔවුන්ට සලකන්නෙ දෙවිවරුන්ට වගෙයි.

මේ වරප්‍රසාද කාමී වෛද්‍යවරු
එවැනි දිව්‍යමය වෘත්තිකයන් වුණා නම්
අද මේ සටනෙ ඉන්නෙ කම්කරුවන් නොවෙයි.
රටේම ජනතාවයි.

නූගත් කම්කරුවන් සමග
එක පෙළට උරෙන් උර ගැටී හිට ගනිමින්
නූගත් කම්කරුවාට උරුම ගොළු අවිය වන
වර්ජන උද්ඝෝෂණ වලින් සටන් කරන්නට
අද වෛද්‍යවරුන්ට සිදු වෙන්නෙ
ඔවුන් ළඟ බුද්ධිය නැතිවීම නිසාද?
නැත්නම් වෛද්‍යවරුන් සතු විය යුතු
දයාව කරුණාව නැති නිසාද?

ඉලංචේලියන් සියලු ජාතීන්ටම අයිති නෑ. සිංහල අපට ඔහු අයිති නෑ.


සැබෑ මිනිස් කමට පැහැදිලි අනන්‍යතාවයක් තියනවා..
සැබෑ නොමිනිස් කමට ජාතියක් ජන්මයක් නෑ

සරත් ප්‍රේමචන්ද්‍රගෙ මරණයෙදි
ඔහුගෙ පුද්ගලික හැඟීම් වලට ඉඩ දීමෙන්
අපේ රටේ ජාතීන් අතර සංහිඳියාවට
කිසිම විශේෂ මවාපෑමක් රංගනයක් නැතුව
මිනිස් සිත් සතන් වෙනස් කරමින් කළ සේවය
අපේ රටේ කිසිම දේශපාලන නායකයෙකුට
කරන්න නොහැකිවීම ඛේදවාචකයක්.

එවැනි මිනිස්කම් යමතමින් හෝ තිබුණ
යහපත් කම පිහිටපු දේශපාලනඥයන්
නරුම දේශපාලනඥයන්ගේ ගමනට
මහා නුග රුක් බෝ රුක් මෙන් කපා හෙලනු
අපි දැක තියනවා.

ඉලංචේලියන්ගෙ දේවත්වය දකින්න නම්
ඔහු මිනිසෙක් වීමෙන් දෙමළ ජාතියට කළ සේවය,
ඥාණසාර වැනි ජාතිවාදී ජාතියේ හතුරන්
අපේ ජාතිය ම්ලේච්ඡ ජාතියක් බවට
ලෝකයා ඉදිරියේ පත් කරන
නින්දා සහගත තත්වයත් සමග
සසඳා බලන්න අවශ්‍යයි.

සැබෑ නොමිනිස් කමට ජාතියක් ජන්මයක් නෑ.
හිට්ලර් ජර්මානුන්ට අයිති වස්තුවක් නොවෙයි.

වර්ගවාදයේ මානසික රෝගයෙන් පෙළෙන
සමස්ත මිනිස් වර්ගයාගේ පහත්ම ස්ථරයට අයත්
විශ්ව සාධාරණ පුද්ගලයෙක්,
හිට්ලර්

ඉලංචේලියන් වගේ මිනිස්සු එහෙම නෑ.
සැබෑ මිනිස් කමට පැහැදිලි අනන්‍යතාවයක් තියනවා..

ඉලංචේලියන් සියලු ජාතීන්ටම අයිති නෑ.
ඔහු ශ්‍රීලාංකිකයෙක් කියන්නවත් බෑ.
ඔහු දමිළ අනන්‍යතාවයෙන් යුතු මිනිහෙක්.
දමිළ ජාතියට අයත්
කලාතුරකින් හමුවෙන මිනිහෙක්.

ඔහු අපට අයිති නෑ.

ඔහුට නෑ කම් කියන්න තරම් මිනිස් කමක්
සිංහල ජාතියේ අපි තුළ නෑ.

ඔහු ළඟ තියන මිනිස් කම අපේ සිංහලයෙක් ළඟ
අංශුමාත්‍රයක් හෝ මම දැක්කා නම්
ඒ ප්‍රේමකීර්ති ළඟ විතරයි.

අපේ වාසනාවට ඔහු කවියෙක් වුණා.
ඒ නිසා ඔහු ඉතිරි කළ යමක්
අපට අයිති නැතත් අපිට උරුම වෙලා තියනවා.

ප්‍රේමකීර්තිත් මුවට වෙඩි තියා
අකාලයේ මරාදාපු ම්ලේච්ඡ ජාතියක් අපි.