20171109

සයිටම් සටනෙන් දිනුවේ කවුද?

මංකොල්ල කෑම කියන්නෙ
මහ දවල් තව කෙනෙකුගෙ දෙයක්
බලෙන් කඩා වඩා ගැනීම.

සයිටම් විරෝධය කියන්නෙ
රජයේ වෛද්‍ය සිසුන් සහ වෛද්‍යවරුන් විසින්
පෞද්ගලික ආයතනයක හිමිකරුවන්ගෙන්
ඒ ආයතනය මංකොල්ලකන්න දියත් කළ
ආත්මාර්ථකාමී ව්‍යාපාරයක්.

ඔවුන්ගේ පරම අරමුණ
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
අපේ සමාජයෙන් තුරන් කිරීමයි.

මේ මංකොල්ලය සඳහා ඔවුන් විසින්
නොයෙක් ආකාරයෙන් බලපෑම් දියත් කරනවා.
මේ බලපෑම් රජයේ ඇමතිවරුන් මගින්ම
පෝෂණය වෙන බවක් පෙනෙන්නට තිබුණා.
මෛත්‍රී ප්‍රශ්නය අතට ගත් පසු
ඔවුන්ගේ බලපෑම් වල ශක්තිය හිඳුණා.
ඒත් නතර වුණේ නෑ.

සයිටම් මංකොල්ලයෙදි බලපෑම
නොයෙක් අයුරින් ක්‍රියාත්මක වුණා.
ඒත් ඍජුව සයිටම් ආයතනයට නොවෙයි.
සයිටම් විරෝධීන් බලපෑම් කරන්නෙ
ඍජුව ජනතාවට සහ වක්‍රව රජයටයි.

සයිටම් විරෝධී වෛද්‍යවරුන්
මූලිකවම භාවිතා කළේ වර්ජනයයි.
ආරම්භයක් ලෙස සිසුන් පන්ති වර්ජනය කළා.
ඔවුන් ඉත්තා කරගෙන අවධානය ඉල්ලමින්
වෛද්‍යවරු වර්ජනවලට එළඹුණා.

වෛද්‍යවරු වර්ජනය කරන්නෙ රෝහල්වලට එන
අසරණම දුප්පත්ම පිරිස ඉලක්ක කරගෙනයි.
ඔවුන් පෞද්ගලික රෝහල් වර්ජනය කිරීම
ඉතාම අඩුවෙන් කළේ ඒ මගින් ලැබෙන
ආදායම අහිමිවෙන නිසා සහ
රෝගීන් වෙනත් මූලාශ්‍රවලට යොමු වීම
ඔවුන්ට ආර්ථික පාඩුවක් නිසයි.

සයිටම් විරෝධී වෛද්‍ය සිසුන්
උද්ඝෝෂණ කරන්නෙ රැකියාවන් වලට යන
වෘත්තිකයන්ව ඉලක්ක කරගෙනයි.
මේ වර්ජන උද්ඝෝෂණ වලින්
ඔවුන් කරන ලොකුම දේ මවා පෙන්වීමයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීම
ආදී අනුවණ ප්‍රදර්ශන කරන්නට යාමෙන්
ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාරය පිළිබඳව
ජනතා ගෞරවය අහිමි කර ගත්තා.
ඔවුන් උගත් නුවණැති වෛද්‍ය සිසුන් නොව
ලේ රත්වුණ මැර දාමරිකයන් කැළක් බව
ඔවුන්ගේම ක්‍රියාවන්ගෙන් රටට පෙන්වා දුන්නා.

පහර දෙකතුන වදින විට පණ කඩාගෙන දුවන
මේ බියගුළු සයිටම් විරෝධී විරුවන්ගේ පාවහන් වලින්
පුර හල අසල වීදි වැසී ගියා.

මෛත්‍රී සුදුසු අවස්ථා බලා ක්‍රියා කරමින්
උණ රෝගය බරපතල ලෙස උත්සන්න වූ විට
හිසට අයිස් කොට්ට තබන්නාක් මෙන්
වරින් වර කැඳවුම් කරුවන් අල්ලා සිර කළා.
ඔවුන් එළියට එනවිට ඔවුන්ගේ ජූස් බැස තිබුණා.

මෛත්‍රීගේ මාත්තු සහ පැලැස්තර ක්‍රමයත් සමග
ඔවුන්ට මේ සියල්ල හැමදාම කරන්න හැකිවූයේ නෑ.
ඔවුන්ගේ විරෝධතා වලට එන සෙනග කල කිරුණා.
බලා සිටිද්දී එන සෙනග අඩු වෙන්නට පටන් ගත්තා.
විරෝධතා වලට පැමිණි අයටම විරෝධතා එපා වුණා.

මේ සෙනග අඩුවීම වසාගෙන
ඔවුන් වෙනුවෙන් මහා සෙනගක් ඉන්න බව
රටට පෙන්වීමට ඔවුහු මැජික් නිර්මාණය කළා.

විහාර මහාදේවි රඟහලේ හිඳ ගැනීම සඳහා
ඇති ස්වාභාවික පහසුකම නිසා ඉන්න සෙනග
දෙගුණ වී පෙනීම වාසිදායක ස්වභාවයක්.
ගැණලා බැලුවාම 1/3 ක වපසරියක ඉන්නෙ
600ක විතර ප්‍රමාණයක්.

ඔවුන් මේ ක්‍රමය නිසා විශාල වියදමක් දරා
නුගේගොඩ එළිමහන් රඟහල් භූමිය පුරාම
ප්ලාස්ටික් පුටු යොදාගෙන සෙනග ලොකු කළා.

මේ සෙනග පෙන්වීමේ යටි අරමුණක් තියනවා.
එනම් නැති බහුතරයක් මවා පෙන්වීම මගින්
ජනතාවට සත්‍යය වසන් කිරීමයි.

එක කලක ඔවුන් සාර්ථක වූ ලෙස පෙණුනත්
දීප ව්‍යාප්ත වැඩ වර්ජන, අඛණ්ඩ වැඩ වර්ජන
ආදී නාමික උප්පරවැට්ටි වලට මුවා වී
නැති බලයක් මවා පෙන්වන්නට ගොස්
වැඩ වර්ජන වල බලය පවා බිඳවැටුණා.

සයිටම් විරෝධීන් ව්‍යාජ බහුතරයක් පෙන්වා උත්සාහ කළේ
"බහුතරය ඇති නිසා බහුතරය ජයගත යුතුයි" කියමින්
ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධාන්ත මවමින්
රජය සහ ජනපති බලපෑමෙන් යටත් කරගෙන
තමන්ගෙ මැරයා දාමරිකයා මංකොල්ලකරුවා විදියට දමා
සයිටම් ආයතනය මහ දවල් මංකොල්ලා කෑම සඳහායි.

මේ රජය සයිටම් ආයතනය පැහැර ගන්නට
සයිටම් විරෝධීන් හා එක්ව ක්‍රියා නොකරයි නම්
වෙනත් රජයක් බලයට ගෙන එන්නට පවා
පාදෙණිය මුල්වී ක්‍රියාත්මක වූ දේශපාලන සටනක්
තිරෙන් පිටුපස වෙනම ක්‍රියාත්මක වුණා.
අසාර්ථක වූ තැන ඔහු පළා ගියා.

සයිටම් විරෝධී වැඩපිළිවෙළ මවා පා
වෛද්‍ය සංගම් සභාපතිකම ඩැහැගෙන
සයිටම් විරෝධයෙහි ප්‍රධාන නියමු පාදෙණිය
සයිටම් විරෝධී ව්‍යාපාරය අත්හැර දමා
ජනතාව අතරින් අතුරුදහන් වුණා.
දැන් දකින්නටවත් නෑ.
පාදෙණිය සටනින් ඉවත් කර ගත්තේත්
මෛත්‍රීම විය හැකියි.

මෛත්‍රී මැතිවරණය කල්දාන්නට
මේ පසුබිම එක් හේතුවක් විය හැකියි.
නිසි කලට මැතිවරණය පැමිණුනා නම්
සයිටම් විරෝධය බලවත් සටන්පාඨයක්.

මේ අවස්ථාව ඔවුන්ට නොදී
"සයිටම් ගැටළුව විසඳන්නෙමැ"යි කී මෛත්‍රී
දිනෙන් දින නොයෙක් සාධනීය උපක්‍රම මගින්
සයිටම් විරෝධයෙහි හුළං බැස්සුවා.

ඔහුගේ ප්‍රධානම සම්‍යක් ප්‍රයෝගය නම්
වෛද්‍ය සංගමයේ ඉල්ලීම් එකක් හැර
අන් සියල්ලම ඉටු කිරීමට පදනම දැමීමයි.
සුදුසු අවස්ථාවක ඒ ඉල්ලීමත් ඉටුකොට
සයිටම් විරෝධී ව්‍යාපරයේ පෙට්ටියට
අන්තිම ඇණයත් ගැසීමට
මෛත්‍රී පැකිළෙන එකක් නෑ.

මේ සිද්ධිය ඇදගෙන යමින්
තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව
අපට සිතා ගත නොහැකි ප්‍රතිලාභ සඳහා
මෛත්‍රී ජනපති මේ ප්‍රශ්නයට වැරදි කරු කරන්නට
ඇමති වරු දෙපළක්ම කරන උප්පරවැට්ටි අපට පෙනෙයි.

සයිටම් විරෝධය උත්සන්න කාලයේ
මෛත්‍රී නිහඬව බලා හිටියත් වැරදියි.
සයිටම් ආයතනය මංකොල්ල කෑවත් වැරදියි.
මෛත්‍රී නිහඬව බලා නොසිටින බව
ඔහු ජනතාවටම පෙන්වා දුන්නා.

කෙසේ වුවත්
නැති බැරි, ඇති හැකි සියල්ලන්ගේ ජනපති විදියට
නැති බැරි මා වෙනුවෙන් ඇති හැකි ඔබේ දේ
මංකොල්ලා කෑම මෛත්‍රීට කළ නොහැකිය.

"මම බලා ඉඳලා වැරදිකරු වුණත්
සයිටම් ආයතනය මංකොල්ල කන්නෙ නෑ"
කියන ස්ථාවරයේම රැඳී සිටීම
මෛත්‍රීගෙ පුද්ගලික ජයක්.

මේ ස්ථාවරය හඳුනා ගැනීමෙන්
"වෙනත් කිසිදු විසඳුමක් එපා.
සයිටම් ජනසතු කරනු" කියන තැනට
සයිටම් විරෝධීන් කොටු වුණා.

සයිටම් පමණක් ජනසතු කරන්නේ ඇයි?

පෞදගලික වෛද්‍ය අධ්‍යාපනය යනු
සමාජයේ ඇති හැකි පිරිසක් එක්ව
ඔවුන්ගේ දරුවන්ගේත් රටේත් යහපතට
වෛද්‍යවරුන් බිහිකරගැනීම සඳහා
නීත්‍යානුකූලව කරන සේවයක්.

ජනතාව පිළිගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට
සියලු පුද්ගලික දේ ජනසතු කරන්න කියනවා නම්
රටක් විදියට, ජනතාවක් විදියට, රජයක් විදියට
අලුතෙන් සිතා ක්‍රියා කරන්න පුලුවන්.
එහෙම නම් පෞද්ගලික රෝහල්, ප්‍රවාහනය,
පෞද්ගලික පාසල් ආදී පෞද්ගලික සියල්ලම
ජන සතු කළ යුතුයි.

එසේ නැතිව
"අන්න අහවල් ආයතනය මංකොල්ල කා
ඒ ආයතනය මේ අටට එකතු කරන්න" කියා
පස් දෙනෙක් නොව සිය දහස් ගාණක් වුව එක්වී
මාරාන්තික උපවාස කළත් ඔවුන් ඉන් මිය ගියත්
වක්‍රාකාරයෙන් එන මංකොල්ලකරුවනට නැමීම
කිසිදු ශක්තිමත් ජනපති කෙනෙක් නොකළ යුතුය.
සයිටම් විරෝධීන් හැර බල්ලෙක්වත් මායිම් නොකළ
මාරාන්තික උපවාසය ඉබේම වාගේ නතර වුණේ
"තොපි මැරියව්, කුහකයෝඅ, ඉරිසියාකාරයෝ" ආදී වශයෙන්
මිනිසුන්ගේ දැඩි විරෝධය දරාගත නොහැකිව
නවතා ගන්නට බැරිව ගසාගෙන යනවිට
හර්ෂද සිල්වා පිදුරු ගස දික් කළ නිසාය.

දන්සැලෙන් කන මිනිසුන් පිරිසක් එක්ව
"අසවල් හෝටලය දන්සැලක් බවට පත් කරනු" කියා
වෙසක් සමයේ මාරාන්තික උපවාස කළොත්
හෝටලය මංකොල්ල කා දැන්සැල් බවට පත් කිරීම
කවර පාලකයෙකුට හෝ කළ හැකිද.?

මෙවැනි අසාධාරණ දාමරික ඉල්ලීම් ඉල්ලමින්
රටේ ජනතාව අපහසුවට පත් කරනවුන්
සමාජයෙන් ඉවත් කොට දඟ ගෙයි ලන
නව නීති පාර්ලිමේන්තුවෙන් සැකසිය යුතුය.

ජනතාව අතර සිටින එක කොටසක් නිසා
තවත් කොටසකගේ අධ්‍යාපන නිදහස
රටේ ජනපති විසින් කප්පාදු නොකළ යුතුය.
අධ්‍යාපනය ලැබීමට නැති බැරි බව
අපේ රටේ බාධාවක් නොවන ලෙස
අපේ වෛද්‍ය අධ්‍යාපන නිදහස
රජයෙන් සහතික කොට ඇත.

මීළඟට රජය විසින් සහතික කළ යුත්තේ
ඇති හැකි අයට මේ බිම තුළම
වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමට හැකි ලෙස
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
ඉතාම ශක්තිමත් ආකාරයෙන්
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන්නට ක්‍රියා කිරීමයි.

දැන් අනාගතය පෙරට වඩා පැහැදිලියි.

සයිටම් විරෝධී ව්‍යාපාරය නිසා
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට
විරුද්ධ වෙන පිරිස වාර්තා ගතයි.
ඔවුන්ගේ ආකල්ප වාර්තා ගතයි.
ඔවුන්ගේ සටන් උපක්‍රම, ඔවුන්ගේ ශක්තිය,
ඔවුන්ගේ ඉල්ලීම් යෝජනා වාර්තා ගතයි.
සමීක්ෂණය සාර්ථකව අවසානයි.

මේ අත්දැකීම් පාදක කරගෙන
මේ සියලු බාධාවන් ඉවත් වෙන පරිදි
අවශ්‍ය නීති රීති ප්‍රතිපත්ති සකසාගෙන
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
ඉතාම ශක්තිමත් ආකාරයෙන්
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන්න
මෛත්‍රීට සහ රජයට පුලුවන්.

සයිටම් සටනේ
සැබෑ ජයග්‍රාහකයා වන්නේ
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වන දිනයක
එහි පල නෙලා ගන්නා සිසුන්ය.