20150802

මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය නීත්‍යානුකූල වංචාවක්..


ශ්‍රී ලංකා මහ බැංකුවෙහි
කුප්‍රකට බැඳුම්කර වෙන්දේසිය ගැන
වාර්තාවෙන තොරතුරු සත්‍ය නම්,
අර්ජුන් මහේන්ද්‍රන් විසින් ගනු ලැබූ
නීත්‍යානුකූලව නිවැරදි වුවත්
සදාචාරාත්මකව වැරදි
මුග්ධ තීරණ වල සහායෙන්
ඔහුගේ බෑණා මිලදී ගත් බැඳුම්කර වලින්
රජයට පාඩුවක් වී ඇති බව
අපට පැහැදිලියි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ
සිදු කළ වංචාව නොවෙයි.
වගකීමකින් යුතු නිලයක් දරන කෙනෙකුට
ලැජ්ජා බය නැත්නම්
රටක ප්‍රාග් ධනයට බලපාන අති විශාල මූල්‍ය වංචාවන්
මුග්ධ තීරණයක් මෙන් පෙනෙන ආකාරයෙන්
ප්‍රසිද්ධියේ වුවත් සිදු කළ හැකි බවයි.

වංචාවේ ප්‍රමාණය එක රුපියලක් වුවත්
ඒ වෙන්දේසියෙන් ලාභ ලබා ඇත්තේ
අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණායි.
මාමා මහ බැංකු අධිපති වූ විට
බෑණාට අසාධාරණ දොරටු විවෘත වෙයි.
ඒ දොරටුවෙන් පිටතට යන මුදල්
මාමා අතටත් නො එන බවට
අපට සහතිකයක් නෑ.

අර්ජුන් මහේන්ද්‍රන් මෙන්ම
ඔහුගේ බෑණාගේ ක්‍රියාමාර්ග
සදාචාරාත්මකව වැරදි බව
අපට කොතරම් හොඳින් පෙණුනත්
පවතින නීති යටතේ
ඔවුන් වැරදිකරුවන් කළ හැකිද?


ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ මහා, මහබැංකු බැදුම්කර මුදල් වංචාව, ඉතාමත් සරල බසින්........... ඔබ සැමම බැලිය යුතු විඩියෝවකි ............
Posted by Bond Scam බැඳුම්කර වංචාව on Thursday, July 30, 2015
හොඳින් විමසා බලන විට
බැඳුම්කර විකිණීම තුළ
නින්දිත වංචාවක් සිදුවුණ බව
සාමාන්‍ය කෙනෙකුට වුණත්
මේ සිදු වීමෙන් පෙනෙන නමුත්
ඒ පාඩුව වංචාවක් විදියට
අධිකරණයක ඔප්පු කළ නොහැකි නම්
ඔවුන් නීතියෙන් වරදකරුවන් වන්නේ නෑ.
එතෙක් ඔවුන් නිර්දෝෂීන් වශයෙන් පිළිගන්නට
නීතියේ බලපෑමට යටත් අපට සිදු වෙනවා.

මහජනතාව ඉදිරියේ බැඳි වෙස් ගැලවී
වංචනිකයන් ලෙස නිරුවත් වුවත්
දුරාචාරයට හුරුවූ සමාජයක් ඉදිරියේ
පළමුවෙන් පව් කළ අයට ගල් ගැසිය නොහැකි නිසා
ඔවුන් නිදොස් වී නිදහස් වෙනවා.

මහ මැතිවරණයකදී හෝ
ජනපතිවරණයකදී වුවත්
දුරාචාරය සාමාන්‍ය දෙයක් වූ පක්ෂයක
ඔවුන්ට නාම යෝජනා ගන්න පුලුවන්.
වංචාවෙන් උපයා ගත්
රාජ්‍ය මුදල් වියදම් කොට බලයට එන්න
වංචනිකයන්ට අවකාශ තියනවා.

රාජ්‍ය නායකත්වයට, පාර්ලිමේන්තුවට
උගත් පව්කාරයන්ගේ සහ නූගතුන්ගේ ඡන්දයෙන්
රාජ්‍ය බලය ලබාගන්නා සොරුන්, වංචනිකයන්
වගකිවයුතු නිලතල වලට තම නෑසියන් පත් කරගෙන
නීතියෙන් ඔප්පු කළ නොහැකි අන්දමට
රාජ්‍ය භාණ්ඩාගාරයෙන් හෝ
අනෙකුත් රාජ්‍ය ආයතන වලින් සොරකම් කිරීම
සාමාන්‍ය දෙයක් මෙන් සිදු වෙනවා.

දූෂිතයන් බලවත් තනතුරු වලට පත්වී
දූෂිත නෑසියන් තනතුරුවලට යොදා ගැනීම
රජයේ මුදල් වංචා සිදු කළ හැකි හොඳම මග බව
මේ මහබැංකු නාඩගමෙන්
අපට පැහැදිලියි.

මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය
නීත්‍යානුකූලව මෝඩකමක් මෙන් පෙනෙන වංචාවක්.
කිරිඳිඔය ව්‍යාපාරය යටතේ ආරම්භ කරනු ලැබූ
සත්ත්ව ගොවිපොළ විනාශ කර
රුපියල් කෝටි ගණනක් වැයකර තැනූ
රන්මිණිතැන්න ටෙලි ගම්මානය
අද ගම්මිරිස් වේලන්නට උපයෝගී වෙන
මත්තල ගුවන් තොටුපොල වැනි අසාර්ථක ව්‍යාපෘති
මේ අයුරින්ම මුදල් ඉපයීමට පමණක් අටවා ගත්
මුදල් ඉපයීමේ ව්‍යාපෘතියක් විය නොහැකිද.?

එවැනි අසාර්ථක ව්‍යාපෘතීන් මගින් මෙන්ම
අති සාර්ථක මෙන් පෙනෙන නමුත්
වංචා දූෂණ නිසා මිල අධික ව්‍යාපෘති වන
අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘතීන් වුවද
විශ්වාසවන්ත නෑ හිතවතුන් අතට
අධිවේගයෙන් සංක්‍රමණය වූ රාජ්‍ය මුදල් වංචාවන්ට
දොරටු විවර කිරීම් විය හැක.

විධායක ජනපතිගේ සොහොයුරා
ආර්ථික සංවර්ධනය භාර ඇමති වූ විට
ඒ ක්ෂේත්‍රය වංචාවට දූෂණයට තෝතැන්නක් වුවත්
පොදු ජනතාව ලෙස අපට කළ හැකි දෙයක් නෑ.

විධායක ජනපතිගේ සොහොයුරා
ආරක්ෂක ලේකම් වූ විට යුද්ධය මගින් සහ
නාගරික සංවර්ධනය අතට ගත්විට
ඔහුට යටත්වන නාගරික ක්ෂේත්‍රය මගින්
රාජ්‍ය මුදල් නෑසියන්ගේ ගිණුම් වලට
අධිවේගී මාර්ගවලින් සංක්‍රමණය වීම
වැළැක්විය හැක්කේ කාටද?

මේ වංචා නොදකින හෝ
දුටුවත් වරදක් ලෙස නොදකින ජනතාව
බහුතරයක් වූ විට
ඔවුන්ට නැවත නැවත බලය දිනාගත හැක..

පිළිකාවක් මෙන් රාජ්‍ය දේහය පුරා මුල් ඇදීමෙන්
රාජ්‍ය දේහය කුණ බසින්නට සලස්වමින්
නීත්‍යානුකූල මාර්ග වලින් කරන ලද
රාජ්‍ය මුදල් වංචාවන්ට දඬුවම් කල හැකි
එකම සමතා සොබා දහම පමණි.

රාජ්‍ය බලයත්, පවට බිය නැති කමත්
සට කපට කූට බුද්ධියත් මගින්
මිනිස් ඇසට වැලි ගසමින් වංචා දූෂණ කළත්
අහසෙහි හෝ, සමුදුර මැද හෝ
පර්වත විවරයක හෝ
කර්මයෙන් සැඟවීමට සමතෙක් නැත.