20141009

පුනර්භවය ඇත? පුනර්භවය නැත?




බුදුන් වහන්සේ විසින්
සිත ගැන, කෝපය ගැන, කාමය ගැන,
භය, දුක, තරහ ගැන කියන දේත්,
ඒ හැඟීම් ගැටලු බවට පත් වූ විට
විසඳා ගන්නා විදිය ගැනත්
කියා ඇති දේවල්
මා අත්හදා බලා තියෙනවා.
උන් වහන්සේ වැරදියි කියන්න අවස්ථාවක්
මට හමු වෙලා නැහැ.
එපමණක් නොවෙයි...
ඒ පරීක්ෂණ වලින්
මට ලැබුණ දැනුම සහ අත් දැකීම නිසා
දුක් නොවිඳ ජීවත් වෙන්නත්
මට හැකියාව ඇති වුණා.

ඒ නිසා 
අත්දැකීම අනුවම
බුදුන් වහන්සේ
කියා ඇති දේ ට එරෙහිව
වෙනත් කෙනෙක් යමක් කියන විට
මම බුදුන් වහන්සේ කියන දේ
පිළිගන්නවා.

අත්හදා බැලිය හැකි
මගේ සිත කය ගැන
බුදුන් වහන්සේ කියූ සියල්ල
නිවැරදි නම්
අත්හදා බැලිය නොහැකි
කර්මය, පුනර්භවය ගැන
උන්වහන්සේ කියූ දේත්
නිවැරදි විය යුතුයි.

පුනර්භවයක් ඇතත් නැතත්
ඒ භවය යහපත් කරගන්නට
මෙසේ ජීවත් වන්න කියා
උන් වහන්සේ සකස් කර දී තියන
ජීවන මාර්ගයෙහි ගමන් කරන විට
මා දුක් විඳින ප්‍රමාණය
අඩු වෙන බව මා දැන් දන්නවා.

පවෙහි ඇලුණේ ගැලුණේ නැති නමුත්
මාත් අනික් පුහුදුන් අය මෙන්
පන්සිල් බිඳෙන දේ කරලා තියනවා.
නොදැනත් නොවෙයි.
ආත්ම දමනයක් නොමැති වූ නිසයි.

මා කළ වැරදි, පව්කම් වලින් මිදුනේ
සිහිය, උපේක්ෂාව හා
නිසග ආත්ම දමනය වඩන විදියට
බුදුන් වහන්සේ සකස්කර දුන්
විපස්සනා ජීවන රටාව නිසයි.

ඉතින් පුනර්භවයක් ඇත්නම්
මේ භවය හොඳින් ගත කරන අයගේ
මතු භවය මීට වඩා හොඳ වන බව
මට විශ්වාසයි.

ඒ භවයේදීත්
විපස්සනා වඩන්නට ලැබුණොත්
ඒ භවයේත් දුකෙන් මිදෙන්නට පුළුවන්.