20160912

ගාපු පොල් නැතිව සම්බෝලයක්වත් හදන්න පුළුවන් ද? -ඕදිරිස් සමාගමේ සභාපති


විල්සන් පෙරේරා / සභාපති - Odiris Engineering

ඕදිරිස් සමාගමේ සභාපති. කැමැතියි ඔබ ගැන දැනගන්න...

මේ සමාගම හදපු ඕදිරිස් පෙරේරාගේ දෙවැනි පුතා මං. අපි සභාපතිකං ඔළුවෙ තියාගෙන වැඩ කරන අය නෙවෙයි. දවසේ වැඩි වෙලාවක් අපි ඉන්නෙත් වැඩ කරන අය එක්ක. කර්මාන්ත ශාලාව ඇතුළෙ. අයිතිවාසිකම් උරුමකම් මොනවා තිබුණත් අපිත් මේ ආයතනයේ සේවකයෝ. මං හිතන්නෙ එහෙමයි.

ඒ කියන්නෙ, තාත්තගෙන් පුතාට යන පවුලේ ව්‍යාපාරයක් නිසා දැනෙනවා වැඩියිද...
ඔව්. හැබැයි තාත්තගෙන් පුතාට නෙවෙයි, පුතාලට. අවුරුදු 94ක් වෙලා තාත්තත් මිය යනකල්ම ව්‍යාපාරය ගැන බැලුවා. තාත්තා අපිට ශිල්පෙ ඉගැන්නුවා. අපි වැඩ කළා. මගේවත් මල්ලිලාගෙවත් දරුවො මේ කර්මාන්තය ගැන උනන්දු නැහැ. ඒ අය ඉදිරියට ගියේ වෙන වෙන ක්ෂේත්‍රවලින්. ජීවත්වෙලා ඉන්න, අපි සහෝදරයෝ තුන්දෙනා තමයි බොහොම එකමුතුවෙන් ව්‍යාපාරය කරගෙන යන්නෙ. තාත්තා බලාපොරොත්තු වුණෙත් ඒ දේ.

ඕදිරිස් කියන්නෙ ලංකාවෙ කොහොම තැනෙක තිබෙන ව්‍යාපාරයක් ද...
අපේ තාත්තා තමයි, මේ රටේ වාඩිවෙලා කොඳු නවාගෙන පොල් ගාපු ගෘහිණියෝ නැඟිටෙව්වේ. ‘හිරමනයක් නම් ඕදිරිස්...’ කියන තැනට ගෘහිණියන්ගේ විශ්වාසය හදපු එකම තමයි අපිට මේ රටේ තිබෙන තැන.

ඕදිරිස් එන්ජිනියරින් හදපු ඕදිරිස් පෙරේරා ඉංජිනේරුවෙක්ද...
CGR එකේ වැඩ කරපු කම්මල්කරුවෙක්. ඒ කාලෙ CGR එකේ කම්මල්කරුවෙක් කියන්නෙ ඉංජිනේරු දැනීමක් ලැබෙන රස්සාවක්. CGR කියන්නෙ ඒ කාලෙ ලංකාවෙ තිබුණු ලොකුම කම්මල කිව්වොත් හරි. මොකද ඒකෙ තරම් කාර්මික - තාක්ෂණික උපකරණ යන්ත්‍ර සූතු මෙවලම් තිබුණෙ නැහැ කොහේවත්. තාත්තගෙ තාත්තා වැඩ කළෙත් CGR එකේ. මෝටර් කාර්මික - තාක්ෂණික - යන්ත්‍ර සූත්‍ර දැනුම තාත්තගෙ ඇ‍ඟේ තිබුණු දෙයක්. අපිටත් ජානවලින් ඇවිත් තියෙන්නෙ ඒ ‘උණ’ම තමයි.

ඕදිරිස් කියන්නෙ, නඟින්නෙත් නැති - බහින්නෙත් නැති සමාගමක්... කවුරුහරි මෙහෙම කිව්වොත්...
1952 හිරමන් දුසිමක් හදපු තාත්තා, පිහි වර්ග සහ නව නිපැයුම් ගණනාවක් හඳුන්වා දෙනවා. ඒ අතරට ඉලෙක්ට්‍රිකල් සහ මෝටර් කාර්මික වැඩත් කරනවා. එහෙම පටන්ගත් ආයතනය, කුස්සියට අවශ්‍ය වෙනත් උපකරණ - මෙවලම් සහ මාසෙකට හිරමන් දහ - පහළොස් දාහක් හදන ආයතනයක් දක්වා ගෙනාවා කියන්නෙ දියුණුවක් නෙවෙයි ද... අපේ හිරමන් කොයි තරම් පිටරටට යවනවද... වැඩි සද්ද බද්ද නැතිවුණාට අපේ නිෂ්පාදනවලට දැන් පිටරට හොඳ ඉල්ලුමක් තියෙනවා.

සමාගමක අමාරුම දේ නමක් හදාගන්න එක. තාත්තා කොහොමද ඒක කළේ...
1952 තාත්තා ඔය හිරමනේ හදද්දි මට වයස නවයයි, හදලා ඉස්සර වෙලාම දුන්නෙ අල්ලපු වත්තෙ ආප්ප පුච්චන කෙනකුට, දවස් දෙකයි වැඩ කළේ ඒක කැඩුණා. ඒ මනුස්සයා ඒක උස්සගෙන ආවා. තාත්තා හුඟක් අත්හදා බැලීම් කළා. අන්තිමේ හිරමන් දුසිමක් හදාගෙන මිලර්ස් සාප්පුවට ගියා. එකක මිල රුපියල් අටයි පණහයි. “මේක මෙහෙ හැදුව එකක් නෙවෙයි...“ කියලා ගත්තෙ නැහැ. අන්තිමේ තාත්තා මමයි හැදුවෙ කියලා කරුණු කීවම තුනක් අරන්, සල්ලි පස්සෙ දෙන්න. කාගිල්ස් සාප්පුවට ගියාම ඉතිරි ඔක්කොම හිරමන් ටික අරන්. හිතුව නැති ඉල්ලුමක් ආවේ. ඉන් පස්සෙ. සාප්පු දෙකෙන්ම බඩු ඉල්ලුවා. ‘ඕදිරිස් ඉලෙක්ට්‍රිකල්ස්’ නමින් තමයි ඒ කාලෙ අපේ නිෂ්පාදන, වෙළෙඳපොළට ආවේ.

කර්මාන්ත ක්ෂේත්‍රයට මොන යන්ත්‍ර සූත්‍ර හැදුවත් ඕදිරිස් නම මිනිස්සු අතරෙ තියෙන්නෙ හිරමනය නිසා නේද...
මේක බෝල් බෙයාරින් උඩ දුවන සරල යන්ත්‍රයක්. මං දන්න තරමට ලංකාවට විතරක් නෙවෙයි, ලෝකෙටම, අතින් කරකවමින්, පොල් ගාන හිරමනයක් හැදුවේ තාත්තා. සමහර විට අපි තරම් පොල් කන රටක් තවත් නොතිබුණු නිසා ලෝකෙට එහෙම අවශ්‍යතාවක් නොතිබෙන්න ඇති. කොහොම වුණත් යටත් විජිතයෙන් පස්සෙ අපේ රටේ ජනජීවිතයට අත්‍යවශ්‍ය සරල යන්ත්‍රයක් බිහිවුණා නම්, ඒ අතින් කරකවන ඕදිරිස් හිරමනයයි.

මොකක්ද, මේ නිෂ්පාදනය බිහි වෙන්න හේතු වූ නිමිත්ත...
තාත්තා CGR එකෙන් ඉල්ලා අස්වුණා. එයාට ඕනෙ වුණේ තමන්ගෙම දෙයක් කරන්න. වාහන රෙපෙයාර් වැඩ, මෝටර් එතීම, ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියාව... වගේ හුඟක් වැඩ ලැබුණේ ඒ කාලෙ. ඇලරික්ස් අයිස්ක්‍රීම් වෑන් සියල්ලෙම රෙපෙයාර් සහ ඒවායේ ඉලෙක්ට්‍රිකල් වැඩ බාර වුණේ තාත්තට. ඕවත් කරන අතරේ තමයි නව නිෂ්පාදනයක් විදියට හිරමනය අත්හදා බැලුවේ.

ඕදිරිස් කර්මාන්ත ශාලාවෙ රස්සා ලැබෙන්නෙ හොඳ වැඩකරුවන්ට පමණ ද...
ලෝකෙ කොහේවත් අතින් කරකවන හිරමන් හැදීමේ තාක්ෂණයක් තිබුණෙ නැහැ. මේක අපිටම ආවේණික කර්මාන්තයක්. වෑද්දුම් - පෑස්සුම් ශිල්පෙ දැනගත්තට මේ කර්මාන්තෙ කවුරුවත් දැනගෙන එන්නෙ නැහැ. ඇවිත් තමයි වැඩ ඉගෙන ගන්නෙ. මෙහෙ කාලයක් වැඩ කරලා අස්වෙලා යන අය දැන් ඕනෙ තරම් හිරමන් හදලා මාකට් එකට දානවා. එහෙම කියලා ගුරු මුෂ්ටිය තියාගෙන මේක කරන්න බැහැ. පාරිභෝගිකයාට හොඳ හිරමනයක් හැදුවොත් තමයි ආයතනය පවතින්නේ. අවුරුදු 64ක් ආපු ගමන ඉදිරියට යන්නෙ. උනන්දුව කැපවීම තියෙන අයට රස්සාව තියෙනවා.

මේ ගෙවෙන්නෙ දේශීය කර්මාන්තවලට හොඳ කලක්ද...
නැහැ. අමුද්‍රව්‍යවලටත් බදු ගහලා අපි හදන නිෂ්පාදන සඳහාත් බදු ගහනකොට ඔළුව උස්සන්න අමාරුයි. අපි අමුද්‍රව්‍ය ගේන්නෙ විකුණන්න නෙවෙයිනේ. ඒකෙන් කර්මාන්තයක් කරන්න. රජයේ වාණිජ නීතිගත සංස්ථාව හැදුවෙම දේශීය කර්මාන්තකරුවො නඟා සිටුවන්න. දැන් ඒකත් නිමි භාණ්ඩ ගෙනැත් විකුණනවා.

ඒත් ඉල්ලුම තිබෙනවානම්, සේවකයන් සිටිනවානම්...
මේ රටේ කර්මාන්තකරුවන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සේවක හිඟය. අද තරුණයන්ගෙ හයිය මොනවටද යොදවන්නෙ... ත්‍රීවිල් එළවන්න. මහන්සිවෙලා කර්මාන්තයක යෙදෙන්න ඔවුන් කැමැති නැහැ. හැකියාවන් යට ගහගෙන ඔවුන් ත්‍රීවිල් එළවනවා. හොඳ වැටුප් ලැබුණත් රටේ සංවර්ධනයට දායක වෙන්න අවස්ථාව තිබුණත් ඔවුන් එන්නෙ නැහැ. වැඩිකල් නොගොස් ඔය ත්‍රීවිල් නිසා තරුණ පරම්පරාව ලෙඩ්ඩු වෙනවා. රටේ කර්මාන්තවලට සේවකයො නැති වෙනවා. කොටින්ම ජාතික අර්බුදයක් ව්‍යසනයක් අත ළඟ!

මොකක්ද ඒ සඳහා ඔබට තිබෙන යෝජනාව...
කර්මාන්තකරුවන් නඟා සිටුවන්න නම්, ඔවුන්ට අමුද්‍රව්‍ය ලබාගත හැකි සංචිතයක් මේ රටේ ඇතිකරන්න ඕනේ. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව, කර්මාන්ත වෙනුවෙන් යළි සක්‍රීය කරන්න ඕනේ. විශේෂ ණය සහන, බදු සහන ක්‍රියාත්මක කරන්න ඕනේ. මේවා වචන විතරක් නොවී අදාළ අමාත්‍යවරු සක්‍රීය වෙන්න ඕනේ. නැතිනම් වෙන්නෙ දිගට හරහට මේ රටේ දේශීය කර්මාන්ත ටික වැහිලා යන එකයි.
මේ, පිටිකළ පොල් කිරිවලට මිනිස්සු හුරු වූ යුගයක්. පොල් ගාන මැෂිමට තවම ඉල්ලුමක් තියෙනවද...
මේ රටේ දවසකට පොල් ගෙඩි ලක්ෂ ගාණක් ගානවා. ඔය මොනවා ආවත් පොල් ගාන මැෂිමට ඉල්ලුම එහෙමමයි. පොල් සම්බෝලයක් කන්න පුළුවන් ද ගාපු පොල් ටිකක් නැතිව. ඉතින්, මාසෙකට හිරමන් 12,000 - 15,000ක් අපි හදන්නෙ ඒ නිසානේ.

ඒත් හැම දේම අලුත් වෙද්දි, හිරමන් වුණත් වෙනස් වෙන්න ඕනෙනේ...
ඒක තමයි අතින් ගාන මැෂිම වෙනුවට කරන්ට් එකෙන් ගාන, ලොකු මැෂිමක් තාත්තා හැදුවේ. අද සුලභ දෙයක් වුණාට, තාත්තා ඒ මැෂිම මුලින්ම හැදුවේ 1960 ගණන්වල, ‘දෙහිවල කේක්’ නමින් ඒ කාලෙ අතිශය ජනප්‍රියත්වයට පත් පොල් කේක් හදපු විජේසිරි බේකර්ස් මුදලාලිට. දවසකට පොල් ගෙඩි දෙතුන්දාහක් ගාණ තරමට ඒ කාලෙ එයා, පොල් කේක් හැදුවා. යාළුකමට, එයාගෙ ඉල්ලීමටයි තාත්තා ඒ අත්හදා බැලීම කළේ.

එහෙනම් ඇයි කරන්ට් එකෙන් පොල් ගාන මැෂිම ජනප්‍රිය වෙන්න ඒ තරම් කල් ගියේ...
ගෙවල්වලට ගැළපෙන පුංචි මෝටර් මැෂිම හැදුවෙ පහු කාලෙක වුණාට, දෙන්නෙකුට දෙපැත්තෙන් ඉඳන් පැයකට පොල් ගෙඩි 300ක් ගාන්න පුළුවන් ලොකු මැෂින් ඒ කාලෙ ඉඳන් රජයේ කැන්ටින්වලට හැදුවා. වරායෙ කුස්සියෙම මැෂින් දහයක් තිබුණා. වාහනේ ඩිෆරන්ෂල් කොටසක් අරන් ඒකේ දෙපැත්තට ලොකු තල දෙකක් දාලා මෝටරයක් සවි කරලා හදපු ඒ මුල් මැෂිම තවම තියෙනවා. ඒකෙ දියුණු තත්ත්වයන් ගණනාවක් අපි මේ ගෙවුණු කාලයේ වෙළෙඳපොළට හඳුන්වා දුන්නා.

ඔබ හොඳ නායකයෙක් කියලා හිතනවද...
නායකත්වය එන්නෙ වැඩ කිරීම සහ මෙහෙයවීම එක්ක. මම මේ අත්දැකීම් ලැබුවෙ ළමා කාලයේ පටන්. තරුණ කාලෙ පටන්. මගේ මාමලා දෙන්නගෙන් එක්කෙනෙක් රෙඩියෝ සිලෝන් එකේ. අනිත් කෙනා එයාර් සිලෝන් එකේ. මේ දෙන්නා දෙවිදියක ක්ෂේත්‍රවල අතිදක්ෂ විදුලි සහ මෝටර් කාර්මිකයෝ. මාරුවෙන් මාරුවට එක එක සතිඅන්තවලට මං මේ දෙන්නා එක්ක වැඩ කළා. තාත්තගෙන් ලබනවට වඩා, වෙනස්ම වූ ගුවන්යානා ඉංජිනේරු, වායු සමීකරණ සහ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ දැනුමක් පුහුණුවක් මං ලැබුවෙ ඒ දෙන්නා එක්ක වැඩ කිරීමෙන්.

ජීවිතේ ඉදිරියට යන්නෙ අභියෝග එක්ක හැපිලා ජයගත්ත මිනිස්සු... මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න...
මගේ ජීවිතේ පළමු අභියෝගය තමයි, HSCවලින් පස්සෙ ඉගෙනීම අතෑරලා තාත්තා ළඟට වැඩට ගිය එක. උදේ හයට ගෙදරින් යන්න ඕනේ. බස් එකේ ගිහින් වැඩපොළට යනකොට හතයි. හුඟක් හැන්දෑ වෙනකල් වැඩ කරන්න ඕනේ. පඩිය මාසෙට රුපියල් තිහයි. ඒක තමයි මගේ පළමු රස්සාවත්, ඊළඟට උදාවූ හැම දවසක්ම අභියෝගාත්මකයි. යන්ත්‍ර සූත්‍ර හදනවා, කියන්නෙ ලෙඩේ හොයා ගන්න වෙලාව යනවා. හදලා හදලා අන්තිම කොනේදි වැරදුණොත් ආයේ ගලවලා මුලටම යන්න වෙනවා. මේවා එක්ක හොඳින් හැපුණු නිසා තමයි මේ ගමන එන්න පුළුවන් වුණේ.

ඕදිරිස් පෙරේරා පවුලෙ දරුවො කී දෙනෙක්ද...
හත්දෙනයි. ලොකු පුතා ප්‍රේමසිරි. එයා නැතිවුණා. මම දෙවැනියා. තුන්වැනියා කරුණාසිරි, ඊළඟට ධර්මසිරි මල්ලි. එයත් නැතිවුණා. ඊළඟට ඉන්ද්‍රානි සහ පද්මා නංගිලා. බාලයා තමයි ජයසිරි මල්ලි. දැන් ව්‍යාපාරය කරගෙන යන්නෙ මාත් කරුණාසිරි සහ ජයසිරි මල්ලිලාත්. අපි තුන්දෙනාම මේ ව්‍යාපාරය තුළ ක්‍රියාකාරියි. අදත් මේ කර්මාන්ත ශාලාවෙ මැෂිමක් කැඩුණොත් හදන්නෙ මගේ මල්ලි. අපිට මේවා අතපත නොගෑවොත් තමයි හිතට හරි නැත්තෙ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...
සෙන්ට් පෝල්ස් මිලාගිරියේ. ඒකෙ ඉස්සර Boys School එකකුත් තිබුණා. පස්සෙ මොරටුමුල්ල High School එකට ගියා. මල්ලිලා සෙන්ට් තෝමස් ගියා.

එතකොට උසස් අධ්‍යාපනය ලැබුවෙ කොහේද...
අපේ යුනිවර්සිටිය තමයි තාත්තගේ කර්මාන්ත ශාලාව. ඒ යුනිවර්සිටියෙ ප්‍රැක්ටිකල් තිබුණු විද්‍යාගාරෙ තමයි, බෝතල් කඩේ. කොයිතරම් වැඩ තිබුණත් සතියකට දවසක් දෙකක්වත් තාත්තා පංචිකාවත්තෙ බෝතල් කඩවලට යනවාමයි. අපිට දැනුම දෙනවා වගේම සමහර වෙලාවට තාත්තත් ඒවායින් දැනුම ලබා ගත්තා. ඊට අමතරව රොබට් ඒජන්සීස් එකෙන් ගෙන්වන ‘Practical wireless’ පොත් අරගත්තා.

බෝතල් කඩ කොහොමද විද්‍යාගාරයකට සමාන වෙන්නෙ...
ඒ කාලෙ බෝතල් කඩේට නොඑන්නෙ මොනවද. ගෙවල්වලින් තේ වතුවලින් අයින් කරන, වෙන්දේසිවලින් ගන්න මැෂින්, මෝටර්... නැව්වල, ගුවන් යානාවල, වෙනත් වාහනවල එන්ජින්, යන්ත්‍ර සූත්‍ර කොටස් ඕ‍ෙන තරම්. යකඩ බරට මේවා විකුණන්නෙ. තාත්තා ඕවා හැම දේම හොය හොයා ගේනවා. ‘මේක ගලවලා බලන්න...’ එච්චරයි තාත්තා කියන්නෙ. එතකොට අපි දන්නවා ගලවන්න කලින් හොඳට බලාගන්න ඕනේ. ඒ මෝටරේ හරි එන්ජිමේ හරි වරද හොයාගන්න ඕනේ. ආපහු තිබුණු විදියටම හදන්න ඕනෙ... කියලා. සමහර වෙලාවට එක මෝටරයක් වෙනුවෙන් දවස් ගණන් ගතවෙනවා. හරියට සවි නොකළොත් කොටස් ඉතිරි වෙනවා. සමහර වෙලාවට ඒකට අදාළ පොතක් තිබුණොත් තාත්තා දෙනවා. ජපන්, රුසියන්, ජර්මන් යන්ත්‍ර සූත්‍රවල පොත් තියෙන්නෙ ඒ රටේ භාෂා‍වෙන්. ඉතින් තාත්තටවත් පොත කියවගන්න බැහැ. හැබැයි ඩයග්‍රම් එක දැක්කම ඇති. කරන්න ඕනෙ දේ දන්නවා.

එපා වුණේ නැද්ද ඔය රාජකාරිය...
ආසාව තියෙන දේ එපා වෙන්නෙ නැහැ. මෝටරයක් ගලවනවා - ඔතනවා කියන්නෙ මට නම් භාවනාවක්. හිත එකඟ කරගෙන ඒ වැඩේටම යොමු වෙලා බොහොම කල්පනාවෙන් ඒ දේ කරන්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. දඩි බිඩියෙ දමලා ගහලා කරන්න පුළුවන් වැඩ නෙවෙයි මේවා.

අම්මා - තාත්තගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද...
මේ ජීවන කුසලතාව - වටිනා හැකියාව ලැබුණෙ තාත්තගෙන්. එහෙම බලද්දි, මගේ තාත්තා උපාධි සහතික නැති ඉංජිනේරුවෙක්. අම්මා අපිට බොහොම ආදරෙයි. නමුත් අපි ගුටි කෑවෙත් අම්මගෙන්මයි. දරුවො හත්දෙනෙකුත් බලාගෙන ඈ විශාල කැපවීමක් කළා. අම්මගේ ආදරය තවම දැනෙනවා.

තාත්තගෙන් ලැබුණු, අදත් ව්‍යාපාරයේදී ඔබ අනුගමනය කරන යහ ප්‍රතිපත්ති මොනවද...
වැටුණු නැතිවුණු පාඩු වූ දේ ගැන පසුතැවෙන්නේ නැතිව ඉදිරියට කළ යුතු දේ ගැන සිතීම. වැටුණම දැනෙන හැඟීමත් අපි දැනගන්න ඕනෙ විඳින්න ඕනෙ. ඒ වගේම ප්‍රශ්නෙකින් ඉක්මනින් ගොඩ එන්නත් ඕනේ. කවදාවත් අපි අපේ පාරිභෝගිකයන් රවටන්න හොඳ නැහැ. ව්‍යාපාරයක් පවතින්නෙ ඔවුන්ගෙ ඉල්ලුම මත. ඔවුන් එපා කිව්වොත් අපි කාටද බඩු විකුණන්නෙ... ව්‍යාපාරිකයෙක් ඔළුවෙ තියාගන්න ඕනෙත් මේ දේමයි. එය කාට වුණත් කවදටත් අදාළයි.

ජීවිතේ දුක් අමාරුකම් විඳලා තියෙනවද...
ඒ ළමා කාලෙත් අපි ගෙව්වෙ බොහොම සරල ජීවිතයක්. සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න ඕනෙ කියලා අපි අත්දැකීමෙන් ඉගෙන ගත්තා. අපි පොකට් මනී හොයා ගත්තෙත් අපිම පොඩි පොඩි ලේත් වැඩ කරලා. අපිට වැඩ පොළේ අවශ්‍ය උපකරණ යන්ත්‍ර සූත්‍ර තිබුණා. පොඩි වුණාට දැනුමත් තිබුණා. තාත්තා ඒවා එපා කිව්වෙ නැහැ. ඒ නිසා මුදලක වටිනාකමත් අපිට දැනුණා. හම්බ කිරීමේ මහන්සියත් දැනුණා. මං විතරක් නෙවෙයි, මගේ අයියත්, මල්ලිලා තුන්දෙනත් ඒ වගේ.

ඒ කියන්නෙ වගකීම් දැරුවෙත් පුංචි කාලෙ පටන්මයි...
කොල්ලො කියලා නැහැ, අම්මා අපිට ලොකු පිඟන්වලට හාල් දාලා වී අහුලන්න දුන්නා. උයන්න පිහන්න අපි කැමැත්තෙන් උදවු වුණා. අම්මා ලෙඩ වුණාම නංගිලා මල්ලිලාට කෑම හැදුවා. වැඩපොළට ගියාම තාත්තා පවරන්නෙ මොකක්ද, ඒක කළා. මෝටරේ ලොකු ද පොඩි ද අමාරු ද... ඒවා හිතුවෙ නැහැ. දැන් තමයි තේරෙන්නෙ තාත්තා අපිට හැමදේම ඉගැන්නුව සාර්ථක ක්‍රමයත් ඒකමයි.

ඔබ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවද...
අපේ තාත්තා විශ්වාස කළෙත් නැහැ. අපිත් ඒ පස්සෙ හඹා යන්නෙ නැහැ. පන්සල්වලට උදවු කළාට කිසි දෙයක ඇලී ගැලී නැහැ. බුදු දහම තුළ ජීවත් වෙනවා.

වැඩ කළා ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද...
දැන් මගේ වයස හැත්තෑ පහයි. ශරීරයට දැනෙන වෙහෙස මිස සිතිවිලි අතින් මට කිසිම වෙහෙසක් මහන්සියක් නැහැ. ‘වලට යනකල් වැඩ කරන්න ඕනේ...’ මගේ තාත්තා කිව්වෙත් වැඩ කළෙත් එහෙමයි. මාත් එහෙම හිතනවා. මගේ මල්ලිලත් එහෙමයි.

අන්තිමට කියන්න, ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම දේ කුමක්ද...
ඕන කෙනෙක් බිස්නස් කරන්න ඕනෙ ලාභ ගන්න විතරක් නෙවෙයි, හොඳම නිෂ්පාදනයක් පාරිභෝගිකයාට දෙනවාමයි කියන අධිෂ්ඨානයෙන්. එතැනදි අත්දැකීම් - පුහුණුව වගේම හදවතින් එන අවංකකම සහ හොඳ ගතිගුණවලට ඉඩක් දිය යුතුයි. ඒවට මිලක් නැහැ. තමන්ව දිනෙක ඔසවා තබන්නෙත් ඒ උතුම් ඇවතුම් පැවතුම්මයි!
---------------------------------------------

2 comments:

  1. ස්තූතියි අතුල. බොහොම වැදගත් ලිපියක්...

    ReplyDelete