20160920

සිරිධම්ම හිමිගේ රහත් බව -:- මා ලියූ ලිපි

  1. සමන්ත භද්‍ර නිවන ලෙස විඳින්නේ මෝහයයි.
  2. මං කාටවත් බය නෑ. මං සියල්ලන්ටම අභියෝග කරනෝ. -සිරිධම්ම හිමි
  3. සිරිධම්ම හිමි, ඔබ රහතෙක් නොවෙයි.
  4. සිරිධම්ම විපස්සනාව බොනිකර තරුවක්.
  5. සිරිධම්ම සමග කුකුළු පොරය ඇරඹෙන තුරු...
  6. සිරිධම්ම හිමි සහ අතුල සිරිවර්ධන -VFM නාලිකාවේ සංවා...
  7. - නොවිඳීම -VFM සංවාදයෙන් කොටසක් - සිරිධම්ම හිමි සහ අතුල සිරිවර්ධන
  8. VFM විවාදයේදී මා අතින් වූ වරදක්.... -සමාවෙන්න. 
  9. සිරිධම්ම හිමි රහත් වෙන්නත් පුලුවන් .. නොවෙන්නත් පුලුවන්
  10. සිරිධම්ම හිමිට විවෘත අභියෝගයක්. 2016 ජූලි 24
  11. සිරි ධම්ම හිමිත් මතු භවයක පසේ බුදු කෙනෙක් ???
  12. ත්‍රිපිටකයෙ නැති සත්‍යයක් සිරිධම්ම හිමිගෙ අවබෝධය තුළ තියනවාද?
  13. සමථයෙන් රාගය ප්‍රහීණ වේ? - නොවේ? -සිරිධම්ම ගෝලයෙක්...
  14. බුදුන් වහන්සේ, මර්වින් සිල්වා සහ සිරිධම්ම හිමි සමා...
  15. සිරිධම්ම ගෝලයන්ගෙ විපස්සනාව සහ සැබෑ විපස්සනා මග......
  16. සමථ විපස්සනා විවාදාභිමුඛ හමුව 2 -සිරිධම්ම හිමි - අ...
  17. සැබෑ විපස්සනාව සහ සිරිධම්ම හිමි දෙසන ව්‍යාජ විපස්සනාව...
  18. මේ ජීවිතයෙම සෝවාන් වෙන්න පුලුවන්ද?, හැම කෙනෙකුටම.....
  19. ප්‍රායෝගික විපස්සනා අත්දැකීමක්.
  20. පුහුදුන් තැනැත්තාගේ විඳීම ආර්ය ශ්‍රාවකගෙන් වෙනස් ව...
  21. "සිහිය නැති වූ විට කලබල නොවන්න" -සිරිධම්ම හිමිට වැ...
  22. ආශ්‍රමවාසී ධම්මජාත හිමිගෙන් නව නිකායක් සහ ආශ්‍රමයක්?
  23. භික්ඛු ධම්ම ජාත හිමිගේ මිහිරි තර්ජනයක්, Facebook මගින්
  24. රහත් වෙස් ගත් සමන්ත හිමි පිළියන්දලින් ජනපති පුටුවට.
  25. සාපේක්ෂක ඉවත් කරන්න! නිවන නොමිලේ.
  26. සිරි සදහම් ආශ්‍රමවාසීන්ගේ නිදහස වහා බිඳෙන සුළුය. 
  27. රහතන් වහන්සේ තුළ අඳුර නැහැ... ආලෝකය පමණයි.

සිරිධම්ම හිමි රහත් වෙන්නත් පුලුවන් .. නොවෙන්නත් පුලුවන්...???


සිරිධම්ම හිමි රහත් වෙලා නම්
ඔහු රහත් බව නිශ්චිතව කියන්න හැකියාව ඇත්තෙ
බුදුන් වහන්සේට පමණයි.

ඔහු රහත් කියා හිතන කිසිවෙකුටත්
 ''සිරිධම්ම හිමි රහත්''
කියා නිශ්චිතව කියන්න බැහැ.
ඔවුන් එසේ අදහනවා පමණයි.

දිනක් සැරියුත් හිමියන් විසින්
ශිෂ්‍ය භික්ෂුවකට කමටහන් දෙනවිට
බුදුන් වහන්සේ ඒ අසලින් වැඩියා.
" ඇයි සැරියුත්, ඒ හිමි නම වෙහෙසවන්නෙ?
ඔහු කටයුතු හමාර කරගෙන තියෙන්නෙ"
උන් වහන්සේ ලිව්වා.

කෙනෙකු රහත් වෙලාද කියා ''නිශ්චිතව'' කියන්න පුලුවන්
බුදුන් වහන්සේට පමණයි.
ප්‍රඥාවෙන් බුදුන්වහන්සේට පමණක් දෙවෙනි වූ
සැරියුත් තෙරුන් වහන්සේටවත්
කෙනෙකු රහත් වෙලාද කියා නිශ්චිතව කියන්න බැහැ.

''සිරිධම්ම හිමි  රහතන් වහන්සෙ කෙනෙක්ද?''
කියා මම ඇහුවොත්
ඔබ හැම කෙනෙකුටම  කියන්න වෙන්නෙ
"සිරිධම්ම හිමි රහත් වෙන්නත් පුලුවන් ..
නොවෙන්නත් පුලුවන්"...කියායි.

'' සිරිධම්ම හිමි රහත් වී නැති කෙනෙක්ද? ''
කියා ඇහුවොත්
විමසා බලා වෙනස් පිළිතුරක් දෙන්න අපට පුලුවන්.

සිරිධම්ම හිමි රහත් වෙලා නම් කියන්න පුලුවන්
බුදුන් වහන්සේට පමණයි.
ඒ අනුව ඔහු රහත්වෙන්නත් පුලුවන්..
නැති වෙන්නත් පුලුවන්.
මම VFM විවාදයෙදි ඒ බව කිව්වා.
මේ ප්‍රකාශය අද ඔවුන්ගෙ
ප්‍රධාන ආයුධයක් වී තියනවා.

සිරිධම්ම හිමි රහත් වෙලාද?
කියන ගැටලුව තියෙන්නෙ ඔහු රහත් වෙලා නම් පමණයි.
රහත් නොවුණ කෙනෙකුගෙ ලක්ෂණ
පුහුදුන් අය හොඳින් දන්නවා.
ආර්යශ්‍රාවකයෙක් ඉන්නෙ
පුහුදුන් බවත් රහත් බවත් අතර තැනකයි.
ආර්යශ්‍රාවකයෙකුට
රහත් නොවුණ කෙනෙක්
වඩාත් හොඳින් හඳුනා ගන්න පුලුවන්.

'' සිරිධම්ම හිමි රහත් වී 'නැති' කෙනෙක්ද? ''
කියා ඇහුවොත් අපට පිළිතුරක් දෙන්න පුලුවන්.

කෙනෙක් තමන්ගෙ අත්දැකීම් කියා
මම රහත් වෙලාද කියා
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගෙන් විමසුවොත්
"ඔබ කියන ලක්ෂණ අනුව නම් ඔබ අනාගාමි කෙනෙක්"
කියා උන්වහන්සේ පිළිවදන් දෙනවා.

ඒ තැනැත්තා  කියන ලක්ෂණ
සැබැවින්ම ඔහු තුළ නැත්නම්
ඔහු රහතෙක් නොවන බවත්
ආනන්ද හිමියන්ගෙ ප්‍රකාශයෙන් ගම්‍ය වෙනවා..

සිරිධම්ම හිමි රහත් කියා කියන්නේ ඔහුමයි.
ඒ සඳහා නොයෙක් හේතු ඉදිරිපත් කරමින්
රහත් කියා ලොවට ඔප්පු කරන්නට ඔහු වෑයම් කරනවා.
ඒ හේතු සත්‍ය ලෙස දකින අය
ඔහු රහත් කියා අදහනවා.
|
''මම රහත් වෙලා, මම රහත් වෙලා, මම රහත් වෙලා ''
කියන නමුත්
සැබැවින්ම රහත් වෙලා 'නැති' පුහුදුන් කෙනෙක්
''රහත් වෙලා නැති බව'' දැනගන්න
බුදුන් වහන්සේම අවශ්‍ය නෑ.
''රහත් බව මනින්න'' බුදුන් වහන්සේ අවශ්‍ය වුණත්
ඔහුගෙ ''නොරහත් බව මනින්න''
බුදු දහම විඳ පසක් කරන
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෙකුට පුලුවන්.

අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාත්
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාත් යනු දෙදෙනෙකි.
මේ දෙදෙනාගේ වෙනස කුමක්ද?

"මේ සිත ප්‍රභාස්වර ය.
ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය.
ශ්‍රැතරහිත පෘතග්ජන තෙමේ
එය තත් වූ පරිද්දෙන් නො දනී.
මේ සිත ප්‍රභාස්වර ය....
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදෙන්නේය..
එය ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී."

ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා
ප්‍රභාස්වර සිත කෙලෙසුන්ගෙන් මුදා ගන්නේ කෙසේද?

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

මානසික දුකක් ඇති කරන අරමුණකදිත්
ඔහු ඒ දුක විඳින්නෙ කායිකවයි.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.
සිතෙහි ඇතිවෙන සියලු දෙ සමගම
කයෙහිත් වේදනාවක් සමව සරණකොට පවතිනවා.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සිතට සමගාමී වේදනාව සිහියෙන් දකිමින්
ඒ වේදනාවට උපේක්ෂාවෙන් විසීම නිසා
දුක් වේදනා තිබියදීත් සිත ප්‍රභාස්වරයි.

කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින නිසා
ඒ මොහොතෙහිදී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගෙ සිත ප්‍රභාස්වරයි.

''මේ සිත ප්‍රභාස්වර ය....
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදෙන්නේය..''
කියන සිතෙහි සත්‍ය ස්වභාවය
ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී

විඳ පසක් කිරීමෙන්
පටිච්ච සමුප්පාදය දන්නෙ නැත්නම්
ඔහු රහතෙක් නොවෙයි.
විඳ පසක් කිරීමෙන්
සතර සතිපට්ඨානය දන්නෙ නැත්නම්
ඔහු රහතෙක් නොවෙයි.

මුළු පටිච්ච සමුප්පාදයෙන්ම
මෙ මොහොතෙ අත්දකින්න පුලුවන් තැන
විඳ පසක් කළ හැකි තැන
වේදනා පච්චයා තණ්හායි.

වේදනාවෙන් තණ්හාව ඇතිවෙන අයුරුත්
තණ්හාවෙන් උපාදානය ඇතිවෙන අයුරුත්
සිරිධම්ම හිමියන් විඳ පසක් කොට නැති බව
ඔහුගේ දේශනා වලින් පැහැදිලියි.

කවුරු හෝ
තණ්හාව ගැන දේශනා කරනවා නම්
ඔහුට කිව හැකි සරලම කරුණක් තියනවා.
තණ්හාව ඇති වෙන්නෙ වේදනාව නිසායි.
බුදුන් වහන්සේ දේශනා කළ මේ කරුණ
අත්දැකීමෙන් නොදන්නා කෙනෙක්
තණ්හාව ගැන දන්නෙ නැහැ.

තණ්හාව ගැන දන්නා කෙනෙකුට
තණ්හාව පිළිබඳ මේ කරුණු දෙකට එහා
වෙනත් ''අමුතු අවබෝධයක්'' ලැබෙන්නෙ නෑ.

සිරිධම්ම හිමිගෙ අවබෝධය
බුදුන් වහන්සේට වඩා වෙනස් කියා
ඔහු කියනවා.
එසේ කියන්න ඔහුට හේතුවක් තියනවා.
හේතුව ඔහු තණ්හාව ගැන නොදන්නා කමයි.

වේදනා පච්චයා තණ්හා
මාතෘකාව යටතෙ දේශනයක් කරන්න කියා
මම සිරිධම්ම හිමිට
2016 ජූලි මාසෙ අභියෝග කළා.
අදටත් ඔහු නිහඬයි.


සිරිධම්ම හිමි රහතෙක් නම්
සිය රහත් වීම සඳහා
1, සුව වේදනාවෙන් රාගානුසයය ප්‍රහීණ කළ අයුරුත්,
2, දුක් වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ කළ අයුරුත්,
3, නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ කළ අයුරුත්
ඔහු මනාව දත යුතුය.
මේ තුන් ආකාර වේදනා අනුසාරයෙන්
ආර්යශ්‍රාවකයා තෘෂ්ණාව සිඳින අයුරු
ඔහුට විස්තර කළ හැකි විය යුතුය.

පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

''වේදනා පිරිසිඳ දකිනවා'' කියන්නෙ
එක වේදනාවක් පිරිසිඳ දැකීම නොවෙයි.
මුළු කය පුරාම දැනෙන සියලුම වේදනා
පිරිසිඳ දැකීමයි.

සිරිධම්ම හිමි කියන්නෙ
වේදනා ප්‍රිය නම් එහි ඇලී රස විඳින
වේදනා අප්‍රිය නම් එයින් පළා ගොස්
මෝහයට වැටී සැනසිල්ලෙන් වෙසෙන කෙනෙක් බව
ඔහුගෙ දේශනා වලින් පැහැදිලියි.

වේදනා පච්චයා
තණ්හා කියන සත්‍යය
ඔහු තවම ප්‍රත්‍යක්ෂ ලෙස දන්නෙ නැහැ.
ඔහු දන්නෙ පොතේ තියන වචන ටික විතරයි.

වේදනා පච්චයා තණ්හා
විඳ පසක් කළ යුතුයි.
පොතෙන් ඉගෙන ගන්න බැහැ.
ඔහුට ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය නැහැ.
ඔහු රහත් නොවන බවට ප්‍රධානම සාක්ෂිය එයයි.

දෙවන සාක්ෂිය ඔහු උගන්වන
ව්‍යාජ විපස්සනාවයි.
ඔහු උගන්වන විපස්සනාව
බුදු දහමට එකඟ නැහැ.

මේ සිරිධම්ම විපස්සනාවයි.
 ------------------------------------------
මං ඕගොල්ලන්ට කියන්නම්
සෝතාපන්න වෙන්න තියන කෙටි ක්‍රමයක්.
වර්තමානයේ පැවතීමමයි.
වර්තමානය තියනකොට කිසි දුකක් නෑ.
ඒ දුක නැතිව පැවැත්තුවාම
ඒ දුක නැතිකමම තමයි
එයාගෙ විපස්සනාව.
සිහියෙන් පැවතීම.
එතකොට එයා වර්තමානයට ආවාම
වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා.
ඉතිං හරිනේ එහෙනම්..
එහෙනම් ඔය මොකක්වත් බහුබූත ඕන නෑනේ.
--------------------------------------------------

චිත්තානුපස්සනාව නමින් ඔහු දෙසන
මේ ව්‍යාජ විපස්සනාවට අමතරවත්
ඔහු දෙසන දහම තුළ
සතර සතිපට්ඨානයෙහි වැදගත්ම අංග දෙක වන
කාය වේදනා අනුපස්සනා දෙක නැත.

ඔහු බහුබූත ලෙස හෙළා දකින්නේ
බුදුන් වහන්සේ උගන්වන විපස්සනා ක්‍රමය
සතර සතිපට්ඨානයයි.

අපේ සිත ක්‍රියා කරන්නෙ කයත් සමගමයි.
නාම රූප වශයෙන් දෙකකට බෙදුවත්
මේ දෙකම එක ඒකකයක්.

හැම මොහොතකම සිතත් කයත් වෙනස් වෙනවා.

අපේ සිත මේ වෙනස් වීම පිළි නොගන්නා නිසා
කය වෙනස් වෙමින් යද්දි සිත
තමන් කැමති විදියට තමන්ට ප්‍රිය විදියට
වෙනස් වීම වෙනස් කරගන්න උත්සාහ කරනවා.

මිනිසා තුළ පවතින මේ ගැටුමෙන් මිදෙන්න නම්
අප තුළත් බැහැරත් සිදුවෙන සියලු වෙනස් වීම්...
නාම රූප දෙකේම සිදු වන වෙනස් වීම් ගැන
සිහියෙන් සහ ඒ වෙනස් වීම් වලට නොබැඳී..
ඒ වෙනස් වීම් ප්‍රතික්ෂේප නොකර විසිය යුතු බව
බුදුන් වහන්සේ සොයා ගත්තා.

සිත පමණක් දකින විපස්සනා ක්‍රමයක්
බුදු දහමේ සඳහන් වෙන්නෙ නෑ.
චිත්තානුපස්සනා වඩන කෙනෙක් වුවත්
පළමුව කාය භාවනා කළ යුතුයි.


''කායභාවනා මතු දු නො දනිහි,
තෝ කොයින් චිත්ත භාවනා දනිහි?''

- මහා සච්චක සූත්‍රය -

නිවන් මග ලෙස කායගතා සතිය තනිව දැක්වෙනවා.
කායගතා සතියෙන්
සතර සතිපට්ඨානයම වැඩෙනවා.
නිවන් මග ලෙස ආනාපාන සතිය තනිව දැක්වෙනවා.
ආනාපාන සතියෙන්
සතර සතිපට්ඨානයම වැඩෙනවා.

සිත පමණක් දකින ක්‍රමයක් නෑ.
සිත සහ සිතුවිලි දැකීමෙන්
සතර සතිපට්ඨානයම වැඩෙන්න නම්
කාය වේදනා දෙකත් සිහියෙන් දැකිය යුතුයි.

VFM විවාදය වෙලාවෙ හෝ විරාමයෙදි..
''කායානුපස්සනාව සහ වේදනානුපස්සනාව උගන්වන්නේ නෑ නේද''
කියා මා විමසුවාම
ඉදිරියෙදි උගන්වන බව ඔහු කිව්වා..
ඉන් ප
සුවත් ඒ ගැන නොකියන නිසා
ඒ දෙක
ඔහු නොදන්නා බව මට වැටහුණා.සිරිධම්ම හිමි  රහත්වී නැති බව ඉන් සහතික වුණා.

- කාය වේදනා දෙක නොදකින කෙනෙකුට චිත්ත භාවනා නැත. -


නාම රූප දෙකම දැකීම විපස්සනාවයි.
නාම රූප දෙකම දකින කෙනෙක්
ඒ දෙක යාකරන වේදනා දැකිය යුතුයි.
වේදනා යනු පටිච්ච සමුප්පාදයෙහි
සිත කය දෙකෙන්ම විඳ පසක් කළ හැකි
එකම පුරුකයි.
සිතත් කයත් යා කරන පුරුක වේදනායි.

සිරිධම්ම හිමිට වේදනාත්‍රය
විඳ පසක් කළ අවබෝධය නැහැ.

දුකට හේතුවෙන තණ්හාව උපදින්නෙ
වේදනා හේතු කරගෙනයි.

තණ්හාව උපදින වේදනාවට
සිහියත් උපේක්ෂාවත් වැඩීමෙන්
තණ්හාවත් උපාදානයත් බිඳ දුකෙන් මිදීම
බුදුන් වහන්සේගේ ක්‍රමයයි.

වේදනා පිරිසිඳ දැනීම පිණිස
සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.

''මහණෙනි,
මේ වේදනා තුනෙකි.
කවර තුනෙක් ද යත්:
සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි.
මහණෙනි, මොහු තුන් වේදනාවෝයි.
මහණෙනි,
මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස
සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.
.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්ය ශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''
බුදුන් වහන්සේ

වේදනාත්‍රය පරිඥාත ආර්ය ශ්‍රාවකයාහට
වේදනාවෙන් තණ්හාව උපදින අයුරු
මොහොතෙන් මොහොතට තමා තුළම
විඳීමෙන්ම ප්‍රත්‍යක්ෂයි.

වේදනාවෙන් තණ්හාව උපදිනවා කියා නොදැන
කිසිවෙකුට රහත් වෙන්න බෑ.

සතර සතිපට්ඨානය නොදැන
වේදනාවෙන් තණ්හාව උපදින ආකාරය පිළිබඳ
සරල පටිච්ච සමුප්පාද දහම නොදැන
තමන් රහත් යයි වහසි බස් දොඩන
සිරිධම්ම හිමි රහතෙක් නොවෙයි.
.

මෙහෙණි සස්න පිහිටුවීමෙන් පසු බුදුන් වහන්සේ කළ වැදගත් ප්‍රකාශය....



මෙහෙණි සස්න පිහිටුවීමෙන් පසු
බුදුන් වහන්සේ සසුනෙහි ආයුෂ පිළිබඳව කළ
ඉතා වැදගත් ප්‍රකාශයක් කළහ.

''ආනන්‍දය
සසුන චිරස්ථිතික විය.
සද්ධර්මය වර්‍ෂ දහසක්ම පවත්නේ ය.
ආනන්‍දය,
යම් හෙයකින් මාගම
තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි
ගිහිගෙන් නික්ම සස්නට වැදගත්තී ද,
ආනන්‍දය,
දැන් බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වේ.

ආනන්‍දය,
දැන් සද්ධර්මය පවතින්නේ
පන්සිය වසරක් පමණි.''


‘‘සචෙ, ආනන්‌ද,
නාලභිස්‌ස මාතුගාමො තථාගතප්‌පවෙදිතෙ ධම්‌මවිනයෙ
අගාරස්‌මා අනගාරියං පබ්‌බජ්‌ජං, චිරට්‌ඨිතිකං,
ආනන්‌ද,
බ්‍රහ්‌මචරියං අභවිස්‌ස,
වස්‌සසහස්‌සමෙව සද්‌ධම්‌මො තිට්‌ඨෙය්‍ය.

යතො ච ඛො,
ආනන්‌ද,
මාතුගාමො තථාගතප්‌පවෙදිතෙ ධම්‌මවිනයෙ
අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතො, න දානි,
ආනන්‌ද,
බ්‍රහ්‌මචරියං චිරට්‌ඨිතිකං භවිස්‌සති.
පඤ්‌චෙව දානි, ආනන්‌ද, වස්‌සසතානි සද්‌ධම්‌මො ඨස්‌සති.''

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ 
ශාක්‍ය ජනපදයෙහි කපිලවත්ථු සමීපයෙහි 
 නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. 
එකල්හි 
මහාපජාපතීගොතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය, 
එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා. 
එකත්පසෙක සිට ගත් මහාපජාපතී ගොතමී 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළා ය:

වහන්ස, 
මාගම තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.

ගෞතමිය, 
කම් නැත. 
තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි 
ගිහි ගෙන් නික්ම 
මාගමගේ අනගාරිය පැවිද්ද 
තොපට රිසි නො වේව යි.

දෙවන වටත් 
තෙවන වටත් 
මහාපජාපතී ගොතමී භාග්‍යවතුන් වහන්සේට 
තෙල කරුණ සැලකළා ය: 
වහන්ස, 
මාගම තථාගත ප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.

ගොතමිය, 
කම් නැත. 
තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි 
මාගමගේ අනගාරිය පැවිද්ද රිසි නො වේව යි.

ඉක්බිති 
මහාප්‍ර‍ජාපතී ගොතමී 
භාග්‍යවතුන් වහන්සේ මාගමට 
තථාගත ප්‍රවිදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද 
නො අනුදන්නා සේකැ යි දුක් ඇත්තී 
නො සතුටු සිතැත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී 
භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට බැහැර ගියා ය.

ඉක්බිති 
 භාග්‍යවතුන් වහන්සේ කපිලවත්ථුවෙහි කැමති තාක් කල් වැස 
වෙසාලිය බලා චාරිකාවට පිටත්ව වැඩි සේක. 
අනුපිළිවෙළින් සැරිසරන සේක් වෛශාලියට වැදගත් සේක. 
එකල්හි භාග්‍යවතුන් වහන්සේ 
වෙසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.

එකල්හි මහාපජාපතී ගෝතමී 
කෙස් බහවා කසාවත් හැඳ 
බොහෝ සැහැදුන් හා සමග වෙසාලිය බලා පිටත් වූ, 
අනුපිළිවෙළින් වෙසාලියෙහි මහාවනයෙහි 
කූටාගාරශාලාවට එළඹියා ය.

ඉක්බිති මහාපජාපතී ගොතමී 
ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී 
 දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී 
බිහි දොර කොටුවෙහි සිටියා ය. 

ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ 
ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් 
දුක් ඇති දොම්නසින් යුත් කඳුළු පිරි මුහුණැතිව හඬනා 
බිහි දොර කොටුවෙහි සිටි මහා ප්‍ර‍ජාපතී ගොතමිය දුටහ. 
දැක මහාපජාපතී ගොතමියට තෙල කරුණ කීහ:
ගොතමිය, 
කවර හෙයින් 
තෙපි ඉදිමුණු පයින් හා රජස් වැකි සිරුරින් යුක්ත වුවා 
දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී 
බිහිදොර කොටුවෙහි සිටිය වු ද?

වහන්ස ආනන්දයෙනි, 
එසේ මැයි; 
භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍ර‍විදිත වු ශාසනයෙහි 
මාගම්ට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි.

ගෞතමිය, 
එසේ වී නම් 
තථාගත ප්‍ර‍විදිත ධර්මවිනයෙහි මාගමක්හට 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද 
භගවතුන් අතින් මම් යම් තාක් යදිම් ද, 
ඒතාක් මෙහි ම වෙව.
 
ඉක්බිති 
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. 
එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. 
එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:

“වහන්ස, 
භාග්‍යවතුන් වහන්සේ මාගමට 
තථාගත ප්‍ර‍විදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම 
අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැයි 
තෙල මහාපජාපතී ගෝතමී තොමෝ 
ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව 
දුක් ඇත්තී දොම්නස් ඇත්තී කදුළුපිරි මුහුණැත්තී හඬන්නී 
බිහිදොර කොටුවෙහි සිටියා ය.

වහන්ස, 
මාගම තථාගතප්‍ර‍විදිත ශාසනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබනු නම් මැනැවි.” 

ආනන්‍දය, 
කම් නැත. 
මාගමට තථාගතප්‍ර‍විදිත ශාසනයෙහි 
ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද 
තට රිසි නො වේව යි.
දෙවනු වටදු ... 
තෙවන වටදු 
ආයුෂ්මත් අනඳ තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: 
“වහන්ස, 
මාගම තථාගතයන් වහන්සේ විසින් 
පහදා ප්‍ර‍කාශ කරන ලද ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවි” යි.

ආනන්‍දය, 
කම් නැත; 
මාගමට තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම 
අනගාරිය පැවිද්ද තට නහමක් රුස්නේව යි.

එසඳ 
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල සිත විය: 
භාග්‍යවතුන් වහන්සේ මාගමහට 
තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම 
අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේක. 
මම් අන් අයුරෙකිනුදු 
තථාගත ප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
මාගමහට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද 
බුදුන් යදනෙම් මනා මැනු.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. 
වහන්ස, 
මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ 
සොවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමිපල හෝ රහත්පල හෝ 
පසක් කරන්නට භව්‍ය වේ දැයි?

ආනන්‍දය, 
මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ 
සොවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමි පල හෝ රහත්පල හෝ
පසක් කරන්නට භව්‍ය වෙයි.

ඉදින් වහන්ස, 
මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණ 
සොවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමි පල හෝ රහත්පල හෝ 
පසක් කරන්නට භව්‍ය වේ නම්, 
වහන්ස, 
මහාප්‍ර‍ජාපතී ගොතමී භගවත්නට බොහෝ වහල් වුව, 
සුළුමවු ය, අත් පා වැඩූ ය, පෝෂණය කළා ය. 
මෑණියන් කලුරිය කරත් ම භගවත්නට කිරි පෙවූ ය.
වහන්ස, 
මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැව.

ආනන්‍දය, 
ඉදින් මහාප්‍ර‍ජාපතී ගොතමී අෂ්ට ගුරුධර්මයන් පිළි ගන්නී නම් 
ඇයට එම උපසම්පදා වේවා යි.

1. “උපසපන් සියක්වස් ඇති මෙහෙණ විසිනුදු 
එදින උපසපන් මහණක්හට 
අභිවාදන, ප්‍ර‍ත්‍යුත්‍ථාන, අඤ්ජලිකර්ම, සාමීචිකර්ම කළ යුතු ය. 
මෙ දහමත් සකසා ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

2. මෙහෙණ විසින් 
ඔවා දෙන මහණක්හු නැති ආවාසයෙහි 
වස් නො එළැඹිය යුතු. 
මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

3. අඩමසක් පාසා මෙහෙණ විසින් 
බික් සඟන කෙරෙන් පෙහෙවස් පිළිවිසුම ය, 
ඔවා පිණිස එළැඹුම් ය යන දහම්හු දෙදෙන කැමති විය යුතුවහ. 
මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.

4. වස් වුසූ මෙහෙණ විසින් උභතො සඞ්ඝයා කෙරෙහි 
දැකීමෙන්, ඇසීමෙන්, පරිසඞ්කායෙන් යන 
තුන් තැනෙකින් පැවරිය යුතු ය. 
මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.

5. ගරු ඇවැත් අවන් මෙහෙණ විසින් 
උභතොසඞ්ඝයා කෙරෙහි පක්ෂමානත් පිරිය යුතු ය. 
මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.

6. දෙවසක් දහම් සයෙක හික්මුණු ශික්ෂා ඇති 
සික්ඛමානාව විසින් උභතොසඞ්ඝයා කෙරෙහි 
උපසම්පත් සෙවිය යුතු. 
මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

7. කිසි කරුණෙකිනුදු 
මෙහෙණ මහණ විසින් ආක්‍රොෂ පරික්‍රොෂ නොකට යුතු. 
මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

8. ආනන්‍දය, 
අද පටන් කොට මහණුන් කෙරෙහි මෙහෙණන්ගේ වචනපථය වැසිණ. 
මහණුන්ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණ. 
මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට 
දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

ආනන්‍දය, 
ඉදින් මහාපජාපතී ගොතමී මේ අෂ්ට ගුරු ධර්මය පිළිගන්නී නම් 
ඇයට උපසම්පත් එයම වේවයි.

ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ 
භගවතුන් හමුයෙහි මේ අෂ්ට ගුරුධර්මයන් ඉගෙන 
මහාපජාපතී ගොතමිය වෙත එළඹියහ. 
එළඹ මහාපජාපතී ගෝතමියට තෙල කීහ:
ගොතමිය, ඉදින් තෙපි අෂ්ටගුරුධර්මයන් පිළිගන්නවු නම් 
තොපට උපසපුව එ ම වෙයි.

වහන්ස, 
ආනන්‍දයෙනි, 
යම් සේ තුරුණු වූ යොවුන් බවට පත් සැරසුම් සැහැවි කොට ඇති 
ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස් සැනැහුයේ 
උපුල් මල්දමක් වේව යි සමන්මල්දමක් වේව යි 
යොහොඹුමල්දමක් වේවයි ලැබගෙන 
දෙ අතින් පිළිගෙන උත්තමාඞ්ගය වූ සිරස්හි පිහිටුවන්නේ වේ ද, 
වහන්ස, 
එපරිදි ම මම් දිවිහිමියෙන් නොඉක්මවිය යුතු 
මෙ අෂ්ට ගුරු ධර්මයන් පිළිගනිමි.

ඉක්බිති 
ආයුෂ්මත් අනඳ තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. 
එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. 
එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ 
භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, 
මහාප්‍ර‍ජාපතී ගොතමිය විසින් දිවිහිමියෙන් නො ඉක්මිය යුතු 
අෂ්ටගුරු ධර්මයෝ පිළිගන්නා ලදහ යි.

ආනන්‍දය, 
ඉදින් මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො ලැබූ නම්, 
ආනන්‍දය සස්න චිරස්ථිතික විය. 
සද්ධර්මය වර්‍ෂසහස්‍ර‍යක් ම සිටුනේ ය. 
ආනන්‍දය, 
යම් හෙයකින් මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි 
ගිහිගෙන් නික්ම සස්නට වැදගත්තී ද, 
ආනන්‍දය, 
දැන් බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වේ. 
 ආනන්‍දය, 
දැන් සද්ධර්මය පස්වාසියක් (වර්‍ෂ 500ක් )ම සිටුනේ ය.

ආනන්‍දය, 
යම් පරිදි බොහෝ ස්ත්‍රීන් ඇති අල්පපුරුෂයන් ඇති 
යම් කිසි කුලයෝ වෙත් නම් ඒ කුලයෝ කුම්භත්ථෙනක 
(කුඹුයෙහි පහන් දල්වා ඒ එළියෙන් ගෙයි බඩු සොයා සොරකම් කරන) 
සොරුන් විසින් පහසුයෙන් නැසිය හැකි වෙත් ද, 
ආනන්‍දය, එපරිදි ම යම් ධර්ම විනයෙක් 
මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, 
ඒ බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.

ආනන්‍දය, 
යම් පරිදි සම්පන්න ශාලික්ෂේත්‍ර‍යක 
(පණුවන් විදීමෙන් හටගන්නා) සෙතට්ඨිකා නම් 
ශෂ්‍යරොග ජාතියෙක් උපදනේ ද, 
එසේ ඇතිවත් ම ඒ ශාලික්ෂෙත්‍ර‍ය චිරස්ථිතික නො වේ ද, 
ආනන්‍දය, 
එපරිදි ම යම් ධර්මවිනයෙක් මාගම 
ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, 
ඒ බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.

ආනන්‍දය, 
යම් පරිදි සමෘද්ධ වූ උක්කෙතෙක (උක් ගස තුළ රතුවන) 
මඤේජට්ඨකා නම් ඉක්ෂු රෝගයෙක් උපදනේ ද, 
එසේ වත්ම ඒ ඉක්ෂු ක්ෂේත්‍ර‍ය චිරස්ථිතික නො වේ ද, 
ආනන්‍දය, 
එපරිදි ම යම් ධර්මවිනයෙක මාගම ගිහි ගෙන් නික්ම 
අනගාරිය පැවිද්ද ලබා නම් ඒ බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.

ආනන්‍දය, 
යම් පරිදි පුරුෂයෙක් 
මහත් තඩාගයක්හුගේ නියර 
(දිය නො බැස යනු පිණිස කැල ම), බඳනේ වේ ද, 
ආනන්‍දය, 
එ පරිදි ම මා විසින් කැල ම මෙහෙණනට 
දිවිහිමියෙන් නො ඉක්මවිය යුතු 
අෂ්ට ගුරුධර්මයෝ පණවන ලදහ යි.


සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය »  ගොතමී වර්ගය
 
පාලි මූලාශ්‍රය