20160721

බුදුන් වහන්සේ පෑ ලොව අසීරුම ප්‍රාතිහාර්යය..

බුදුන් වහන්සෙගෙ පෙළහැර පෑම් ගැන
මම කුඩා කල පටන්ම විශ්වාස කළා.
කුහුලක් කුකුසක් තිබුණා...
කොහොමද කරන්නෙ කියලා.

සමථය වඩද්දි ධ්‍යාන ගැන දැනගනිද්දි
ධ්‍යාන වශී ගැන දැනගනිද්දි...
කුකුස ටිකක් අඩු වුණා.

විදසුන් වඩද්දි වැටහුණා
කිසිදු ගුරූපදේශයක් නැතිව
මේ දහම සොයා ගන්න පුලුවන් කෙනෙකුට
පෙළහර පෑම් වැනි දේ සුළු දෙයක්.
අහසින් යෑම් දිවැසින් දැකීම් වැනි
ඒ බොහෝ පෙළහර
අද ඉන්න අය උපකරණ හදාගෙන පෙන්වනවා.
ඒත්
කවදාවත්ම
විපස්සනා වැඩීමෙන් සිදු වෙන වෙනස
මිනිසෙකුට විදසුන් නොවඩා ලබා ගන්න ක්‍රමයක් හෝ
ඒ දේ කරගන්න උපකරණයක්
නිපදවන්න මිනිසාට පුලුවන් කමක් නෑ.

''සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.''

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා ක්‍රමය
උපකරණයක් ඇසුරෙන් ඉගෙන ගන්නවත්
උපකරණයක් ඇසුරෙන් කරගන්නවත්
මිනිසාට බෑ.

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා ක්‍රමය
ප්‍රඥාව වැඩෙන ආකාරයට කරගන්නට
බෙහෙත් පෙත්තක් නිපදවන්න
මිනිසාට බෑ.
මතු කවදාක හෝ සසර මග කෙළවර කරමින්
රහත් බවට පත්වෙන තුරුම
දුක් විඳින පුහුදුන් පුද්ගලයෙකුට
මේ මොහොතේ සිටම
දුකෙන් නිවෙන මග පෙන්වන්නේ
බුදුන් වහන්සේය.

මේ ක්‍රමයත්,
ඒ ක්‍රමයට අදාළ දැනුම් සම්භාරයත්
ස්වෝත්සාහයෙන් ස්වාධීනව ලබාගෙන
පිරිසිදුව වර්ග කරලා දේශනා කළ
බුදුන් වහන්සේට
නොකළ හැකි ප්‍රාතිහාර්යයක්
තියෙන්නෙ විදියක් නෑ.

කේවල පරිපූර්ණ කේවල පරිශුද්ධ
බුදු දහම සොයා ගැනීමත්
ඒ දහම දේශනා කිරීමත්
ලොව අසීරුම ප්‍රාතිහාර්යයක්.

බුදු දහම වටහාගන්න හැකිවෙන පරිදි
මනස සකසා ගැනීමත්
ප්‍රාතිහාර්යයක්..

බුදුන් වහන්සේ විශේෂ වෙන්නෙ
පෙලහර පෑම් නිසා නොවෙයි...
 රහත් වෙනතුරු දුක් නොවිඳ ඉන්න
 ක්‍රමය සොයාගත් නිසයි.

කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. 

චෙතසික වේදනාවට සමගාමීව
කයෙහි පවතින වේදනාව පිළිබඳව සිහියෙන්
ඒ වේදනාවට උපේක්ෂාවෙන් වෙසෙන ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

මතු කවදාක හෝ
සසර මග කෙළවර කරමින්
රහත් බවට පත්වෙන තුරු
දුක් විඳින පුහුදුන් පුද්ගලයෙකුට
දුකෙන් නිවෙන මග මෙයයි.
----------------------------------------
මහණෙනි,
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
 ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
 වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
 වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
 හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .