ආයතනයක සෙකියුරිටි ගාඩ් වෙත
පළමුවරට කෙනෙක් එද්දි ඔහු දකින්නෙ
එවකට ඔහු සතු දැනුමෙන්.
බැලූ බැල්මට ඔහුට "කැමති නම්"
අර තැනැත්තා ඇතුලට යවනවා.
අකැමති නම් ප්රශ්න කරනවා.
සළායතනවල විඤ්ඤාණයත් ඒ වගෙයි.
පෙර දැනුමෙන් ඇති වෙන රාග ද්වේශ මත
ස්පර්ශ වෙන අරමුණු පිළිබඳව
විනිශ්චය කරනවා.
ඇස කන දිව නාසය
කය සහ මනස කියන සළායතනයේ
විඤ්ඤාණ හය ක්රියා කරන්නෙ
සෙකියුරිටි ගාඩ්ලා හය දෙනෙක් වගෙයි.
ඒ සෙකියුරිටි ගාඩ්ලා දැනුවත් කරන්නෙ
ඵස්ස වේදනා සංඥා සංඛාර විඥාණ
පංචස්කන්ධය විඳ සකස් කරන
අත්දැකීම් අනුවයි.
අපේ අත්දැකීමක්
පළමුවරට විඳින වෙලාවෙදි
අපේ පැරණි අත්දැකීම් වලින් එකතු වුන
රාග ද්වේශ මෝහ සංස්කාර අනුව
අපේ සළායතනවල ස්පර්ශ වෙන
හැම අත්දැකීමක් ගැනම
ක්ෂණික රූපයක් අපට ලබා දෙන්නේ
ඒ ආයතනවල පහළ වෙන
විඤ්ඤාණය විසිනුයි.
එතනින් ඇතුලට යන අරමුණෙන්
අප තුළ ඇති වෙන වේදනාව
අපට ප්රියයි කියා සංඥාව කිව්වොත්
අපේ විඥාණයේ තියන සංස්කාරවල
අලුත් තොරතුර ලියැවෙන්නේ
මේ අලුත් රාග සංස්කාරය සමගයි.
එක දවසක අපි අකැමති රසකට
දෙවෙනි දවසෙ අපි කැමති වෙන්නෙ
ඒ දවසෙ අප තුළ ඇති වෙන වේදනා
අපට ප්රිය නිසයි.
ආහාරයක් කියන්නෙ උත්තේජන මාලාවක්.
අපි ආහාරයක් විදියට සකස් කරගන්නෙ
අපට ප්රිය වේදනා මාලාවක්.
ඒ වේදනා මාලාව ඇති වෙන්නෙ
දිවත් මොළයත් අතර තියන
ස්නායු වල සිදු වෙමින් පවතින
ජෛව රසායනික වෙනස් වීම් අනුවයි.
අපි ඇත්තටම රස විඳින්නෙ
මේ ජෛව රසායනික වෙනස් වීම්.
ලුණු දාන්න බැරි වුනොත්
මේ ජෛව රසායනික වෙනස්වීම් වල
ලොකු අඩුවක් අපට දැනෙනවා.
ඒ අඩුව අපි තුළ ඇති කරන්නෙ
රාගය නොවෙයි, ද්වේශයක්.
ලුණු වල අඩුව දකින්න බැරි නම්
"අයියෝ, මේ කෑම රස නෑ" කියල
ප්රතික්ෂේප කරන්නෙ ද්වේශයෙන්.
මේ අලුත් ද්වේශය,
ඇස කණ දිව ආදී ඉන්ද්රිය පහටත්
මනසටත් ඉබේම ලැබෙනවා...
සෙකියුරිටි ගාඩ්ලා දැනුවත් වෙනවා.
ඊලඟ දවසෙ ඒ ආහාරය
දකින කොටම චක්ඛු විඤ්ඤාණය
නැත්නම් ඇසේ සෙකියුරිටි ගාඩ් විසින්
ඒ ආහාරය ප්රතික්ෂේප කරන
පණිවිඩයක් නිකුත් කරනවා.
ඒ ආහාරයේ නම ඇහුණොත්
සෝත විඤ්ඤාණය
නැත්නම් කනේ සෙකියුරිටි ගාඩ් විසින්
ඒ ආහාරය ප්රතික්ෂේප කරන
පණිවිඩයක් නිකුත් කරනවා.
"අනේ මම ඕවට කැමති නෑ"
ආහාරය ප්රතික්ෂේප කරනවා.
කවුරු හරි බලපෑමක් කරලා
එදා විඳින වේදනා මාලාව
සුඛ වේදනා මාලාවක් වුණොත්
ආයතන හයේම විඤ්ඤාණවල
නිර්ණායක අලුතෙන් ලියැවෙනවා.
එක දවසක අපි අකැමති රසකට
දෙවෙනි දවසෙ අපි කැමති වෙන්නෙ
මේ සංසිද්ධිය නිසයි.