20130420

ආදරේ බූරුවෙකි.. ඔටුවා වුණොත්, කාමය.....

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdYihCx049rsHhPfTUvKLt1fu95MJioREEN1yn-BrJKVZvZaYXLKM8q-VLvCrWpvg_wwf7dhis6_UOlBDA6BaIQaI3KhpTEASkHHD-jWYTGLtiIeZLyYZX0Qf6_jVRJKBT3LYjMTxBzfI2/s1600/brussel_bigheaded_person.jpg
බොහෝ පෙම් සබඳතා වල ආදරය ඔලු බක්කෙක්.
කාමයයි සැබෑ සත්වයා.




ආදරේ බූරුවෙකි..
ඔටුවා වුණොත්, කාමය.
හිස් වෙනවා, Sure
කූඩාරම..



කෙටියෙන් කිව්වාම...
ආදරේ බූරුවෙකි..
ඔටුවා වුණොත්,
කාමය.
හිස් වෙනවා,
Sure
කූඩාරම..
---------------------------


කාමයට හැරෙන්න කලින්
ආදරය හිතට සැහැල්ලුවක්..
නිදහසක්...
සුන්දරයි.. සුරම්‍යයි සුභයි..
ඒ කාලෙදි
තමන් විතරයි වැදගත්..
ලෝකෙ අන් සියල්ලන්ටම වඩා
තමන්ව අගය කරන නිසා
අනිකා වැදගත්..

ඒ තමයි
අභිමානයට හුළං වදින සමය..
දෙවිදියකට...
සුවයක් විදියට සහ..
මානය පිම්බෙන්නට හුළං වදින සමය.

ඉන්ද්‍රිය හයෙන්
ඇස කණ සමග එකතුවෙලා
තමන්ගෙ සිත විසින් හදාගන්න හෝ
අනිකා හදා දෙන චිත්ත රූපයකට
පෙම්වතුන් ආදරය කරනවා.

අනික් කෙනාට
තමන්ගෙ ඇති අසීමිත අගය ගැන
විශ්වාසය තහවුරු වෙලා
නිදහස සහතික වුණාම
ඒ පරිසරය තුළ
ස්වභාව ධර්මය
තමන්ගෙ වැඩ සටහන අරඹනවා.

මනසින් විතරක් යන්න බැරි තැනක දැනෙන
නිශ්චිත නමුත් තාවකාලික මිහිරක්..
කායික ස්පර්ශය හරහා
කෙමෙන් කෙමෙන්
පෙම්වතුන්ගෙ ජීවිත වලට
කාන්දු වෙනවා.

ඒකාන්තයෙන්ම රේඛීය ධාරාවක් දිගේ ගලමින්
සෙමින් හෝ ඉක්මණින් වර්ධනය වෙලා
සුරත අන්තයක් දකින
කෙටි කාලීන මිහිරකට
කය ඔස්සේ සිතත් හුරු වෙනවා.
ඒ මිහිර ආදරයට වඩා ගොරෝසුයි..
ඒ මිහිර ආදරයට වඩා දැවෙන සුළුයි..
ආක්‍රමණිකයි...
අත්තනෝමතිකයි.

ආදරය අභව්‍යයි..
කාලය අවකාශය ඉක්මවූ
වෙනත් තලයක අපූර්ව හැඟීමක්..
කාමය විසින් දූෂණය නොවුණොත්
සැබෑ නොවෙන හීන විදියට
මැරෙන තුරුම පවතින්න පුලුවන්.
හිස්ම හිස් සබඳතාවයක්
පරිණත නොවී පවතීවි.
ප්‍රථම ප්‍රේමය සුන්දරයි කියල
බොහෝ අය බොළඳ ගෞරවයක් දක්වන්නෙ
සැබෑ නොවුණ නිසයි..

කාමය ප්‍රායෝගිකයි...
තාවකාලිකයි..
කාමය චක්‍රයක් වගේ ...
කාමය සෙක්කුවක් වගේ
නැවත නැවත පදින්න හිතෙන..
නැවත නැවත පැද්දෙ නැත්නම් වැඩක් නැති
ආරම්භයක් හා අවසානයක් ඇති
කෙටිකාලීන මිහිරක්..
ඒ මිහිර ලබන්න දෙන්නෙක්
තම සිරුරු කැමැත්තෙන්
හුවමාරු කරගත යුතුයි.
තම සිරුර
සම්පූර්ණයෙන්ම
අනෙකාට පාවා දියයුතුයි..

කාමය ආදරයට වඩා
තාත්විකයි..
පටිච්ච සමුප්පන්නයි..
කාමය
හේතුවත් ඵලයත් දෙකම
විඳින්න හැකි
සත්‍ය අත්දැකීමක්..

ආදරයෙදි එකිනෙකා උද්දීපනය කරන්නෙ
සුන්දර චිත්ත රූපයන්..
අවුලුවන්නෙ සුන්දර හැඟීම්..

කාමයෙදි උද්දීපනය කරන්නෙ
ප්‍රියජනක ශාරීරික වේදනා මාලාවන්.
කාමයෙන් පහළ වෙන හැඟීම්
ඒ ප්‍රියජනක ශාරීරික වේදනා මාලාවන්වල
ප්‍රතිඵල පමණයි.

ආදරය ඊට වඩා වෙනස්....සියුම්..

අභව්‍ය සිතිවිලි,
ඒකපාක්ෂික හැඟීම වලින් නිමවුණ ආදරය
අලි බොරුවක් වෙන්නත් පුලුවන්.
එවැනි බොරුවකින්
කාමය වුණත් උද්දීපනය කරන්න පුලුවන්.
මනස තුළ චිත්ත රූප ඇතිකරන තරම්
තව කෙනෙකුගෙ කය තුළ
ප්‍රිය ජනක වේදනා මාලාවන්
හිතා මතා නිර්මාණය කිරීම
පහසු නැහැ.
බොරුවකින්
කාමය වුණත් උද්දීපනය කරන්න
ඒ සඳහා ඔහු හෝ ඇය
කාමය මනාව හඳුනාගත් කෙනෙකු
විය යුතුයි.
කාමයෙහි රටාව
සිහියෙන් දුටු කෙනෙකු විය යුතුයි.
බොරු ආදරය වගේම
බොරු කාමයත්
ආත්ම වංචාවක්.

ආදරය රඟපාන්න
දෙමව්පියන් විසින් හුරු කරනවා..
යම් පමණකට
අන් අයගෙන් හුරු වුණත්
කාමය ස්වයං අධ්‍යයනයක්.

කාමයේ පවතින
තථ්‍ය ස්වභාවය නිසා
ආදරය නැති තැනක වුණත්
කාමය දළු ලනවා.

කෙනෙකුට තවත් අය සමග
ආදරයෙන් බැඳෙන්න හැකි
ප්‍රතිශතයට වඩා
කාමයෙන් බැඳෙන්නට හැකි
ප්‍රතිශතය ඉතාම ඉහළයි.

ආදරය ඇතිවෙන්නෙ
තමන්ව අගය කරන
තමන්ව පිළිගන්න කෙනෙක් සමගයි.
කාමයට ඒක අනිවාර්ය නැහැ.
නාඳුනන කෙනෙකු සමග වුණත්
කාමයෙන් වෙලෙන්න පුලුවන්..
මනසට තරම් අනන්‍යතාවයක්
කයට නැහැ.
කය සහ වේදනා ඉතා සරලයි..
මනස සංකීර්ණයි.
පෙම්වතුන්ට වඩා විවාහකයන් සරලයි.
අනියම් සබඳතා
ඊටත් වඩා සරලයි.

පෙම්වතුන් සංකීර්ණයි.
පෙම්වතුන් කියන්නෙ
එකිනෙකා විසින පුම්බන
සිහින බැලුම් දෙකක් රසවිඳින
සිඟිත්තන් දෙදෙනෙක්..

කාමයත් සමග ඔවුන් මෝරනවා.
කලින් තිබුණ ආදරය
මේ ගොරෝසු අත්දැකීම තුළ
ඒ අත්දැකීමට පහනක් නොවුණොත්..
කාමය ඇතුල්වෙන්නෙ
ආදරය විස්ථාපනය කරගෙනයි.
ආදරය නම් බූරුවා
එළියට දාල ඔටුවා රජ වෙනවා.

කාමයෙන් පසුවත්
ආදරය ඉතුරු නොවුණොත්..
කලින් තිබුණ ආදරය
තනිකරම බොරුවක්.

ඒ බොරුව එළි වෙන කොට
විවාහ කඩදාසියෙන්
දරුමල්ලන්ගෙන්
සමාජ තත්වයෙන්
ලිහාගන්න බැර් විදියට බැඳපු
යාවජීව වහලෙක් ඉතිරි වෙනවා.

ඔහු ආදරය කළ කෙනා තුළ
සොයාගත නොහැකි වූ ආදරය
කාමය හරහා සොයමින්
සිතින්, වචනයෙන් හෝ
ක්‍රියාවෙන්ම කම් සැප සොයමින්
අත්තෙන් අත්තට යමින්
කාමය වියැකෙන තුරුම
කාමයෙන් විඳවනවා.