පැවිදි ජීවිතයට ඇතුළත්ව
බුදුන් වහන්සේට අනුව,
නිවන් දකින්නට කටයුතු කරන උපසම්පදා භික්ෂුවකට
අද ඉපදුන ළදැරියක ඇඟිලි තුඩින් හෝ ස්පර්ශ කිරීම ඇවැතක්.
ස්ත්‍රීන් දෙස හැරී බැලීම ඇවැතක්...
නිවන් දැකීම කියන්නෙ
රාග ද්වේශ මෝහ සපුරාම ක්ෂය කිරීමක්.
විවාහ වුණ කෙනෙකුටත්
රාග ද්වේශ මෝහ ක්ෂය කරන්න පුලුවන්...
නිවන් දකින්න නොවෙයි...
ඒ ඒ වෙලාවෙ විඳින දුකෙන් මිදෙන්නයි.
නිවන් මගෙහි යන කෙනෙකුගෙ
මූලිකම අරමුණ දුකෙන් මිදීමයි..
නිවන් දැකීම කියන්නෙ
ඒ මාර්ගයේ කූට ප්‍රාප්තියයි.
සමණල කන්ද නගින්න යන අයටත්
ගිලීමලේට, ඉඳිකටුපානට යන අයටත්
එකම වාහනයකින් යන්න වෙනවා.
දුකෙන් මිදෙන්නත් නිවන් දකින්නත්
දිසාව එකයි, මාර්ගය එකයි.
නිවන් දකින්නම නොයන කෙනෙක් වුණත්
දුකෙන් මිදීමට නම් විදසුන් වැඩිය යුතුයි.
විදසුනට ගිහි පැවිදි හෝ
විවාහක අවිවාහක භේද නෑ.
දුකෙන් මිදෙන්න නම් විදසුන අවශ්‍යයි.
කවදා හරි නිවන් දකින්න හිතාගෙන
දුකෙන් මිදෙන්න නිවන් මගෙහි යන ශ්‍රාවකයන්ට
විවාහය 'නිවන් මග'ට බාධාවක් වෙන්නෙ නෑ.
විවාහය 'නිවන'ට බාධාවක් වෙන්නෙ
මේ ජීවිතයෙම නිවන් දකින්න හිතාගෙන
ඒ වෙනුවෙන්ම කටයුතු කරන අයටයි.
මේ ජීවිතයෙම
නිවන් දකින්න හිතන කෙනෙක් කළ යුත්තෙ
නොපමාව පැවිදි භූමියට ඇතුල් වී
හැකි ඉක්මණින් උපසම්පදාව ලභාගෙන
බුදුන් වහන්සේගේ උපදෙස් පරිදි
පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්යාව රකිමින්,
ඉඳුරන්හි ගුප්තද්වාර ඇතිව
භොජනයෙහි මාත්‍රාව දැනගෙන
නිදි වැරීමෙහි යෙදෙමින්,
සති සම්ප්‍රජන්‍යයෙන් සමන්වාගතව
පැවීදි ජීවිතයෙන් පල ලබා ගැනීමයි.
විවාහ ජීවිතයක් ගෙවන කෙනෙක්
මේ ජීවිතයෙ නිවන් දකින්න කියා
ඒ අරමුණට මුල් තැන දුන්නොත්
නිවන විවාහයට බාධාවක් වෙයි.
විදර්ශනාවෙහි යෙදෙමින්
නිවන් මගේ යන හැම කෙනෙක්ම
තමන්ගෙ අරමුණ
1,මේ ජීවිතයෙ දුකෙන් මිදීමද,
2, මේ ජීවිතයෙම නිවන් දැකීමද කියා
පැහැදිලිව වටහාගත යුතුයි.
ඉඳුරන්හි ගුප්තද්වාර ඇති
පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්යාව
භොජනයෙහි මාත්‍රාව දැනගැනීම
නිදි වැරීමෙහි යෙදීම
සති සම්ප්‍රජන්‍යයෙන් සමන්වාගත වීම කියන
නිර්වාණ කාර්යය හැරෙන්න අන් සියලු කටයුතු
මේ ජීවිතයෙහිම නිවන සොයන කෙනෙකුට
නිවන් මගට බාධාවක්.
විවාහකයෙකුට
නිවනට බාධාවක් වෙන්නෙ
බිරිඳ සමග විටින් විට පවත්වන
කායික සබඳතාවය කියා
හැමදෙනාම වගේ හිතනවා.
බඹසර නිවනට විශාල රුකුලක් නිසා
ඒ අදහසේ වරදක් නැතත්
ඒ බැඳීම එක බැඳීමක් විතරයි.
තනි පුද්ගලයෙක්
විවාහය මගින් බැඳෙන්නෙ
බිරිඳ සමග පමණක් නොවෙයි.
දූ දරුවන්, නෑසියන්, දරුවන්ගෙ පාසල්
රැකියා ස්ථානය ආදී වශයෙන්
විශාල ජාලයක එක පුරුකක් වීම නිසා
විවාහකයා විවිධ අරමුණු වල
වහලෙක් බවට පත් වෙනවා.
රාග ද්වේශ මෝහ ක්ෂය කිරීම
පමණක් නොවෙයි
ශීල සමාධි ප්‍රඥා වැඩීම පවා
විවාහකයාට විශාල අභියෝගයක්.
විවාහ ජීවිතය ගත කරද්දි
රාග ද්වේශ මෝහ තුනම වැඩෙනවා.
විදසුන් වඩන කෙනෙකුට නම්
මේ අවස්ථාම යොදාගෙන
කෙලෙස් නසන්න පුලුවන්
ඒ අවස්ථාවන් වලදි
සිහියත් උපේක්ෂාවත් පිහිටුවාගෙන
සම්පජානෝ සතියෙන් විසීමෙන්
කෙලෙස් නැසෙනවා.
විවාහයක් ගත කරන කෙනෙකුටත්
විදර්ශනා වැඩීම මගින්
සංස්කාර එකතු වෙන ප්‍රමාණයට වඩා
නැසෙන ප්‍රමාණය වැඩි කරගැනීමෙන්
අලුත් සංස්කාර සමග පැරණි සංස්කාරත්
නැසෙන්න ක්‍රියා කරන්න පුලුවන්.
දුකෙන් මිදෙන්න ඔහුට පුලුවන්.
සදාකාලිකව දුකෙන් මිදෙන්න
නිවන් දකින්න ප්‍රමාණවත් නෑ.
අලුතෙන් ණය නොවී
තියන ණයත් ටික ටික ගෙවාගෙන
දුක් විඳවන්නෙ නැතුව
සසරේ සරන්න විදර්ශනාව ඇති.
සදාකාලිකව නිවන් දකින්න නම්
පැවිදි වීම අත්‍යාවශ්‍යයි.
නිවන් දැකීම කියන්නෙ
කිසිවක් ඉතිරි නොවෙන ආකාරයට
රාග ද්වේශ මෝහ ක්ෂය කරමින්
කෙලෙස් නැසීම පරිපූර්ණ කිරීමයි.
විවාහ වුණ කෙනෙකුටත්
දුක් පැමිණි විට විදසුන් වැඩීමෙන්
රාග ද්වේශ මෝහ ක්ෂය කරන්න පුලුවන්...
නිවන් දකින්න නොවෙයි...
ඒ වෙලාවෙ විඳින දුකෙන් මිදෙන්නයි.
ගත කරන පව්කාර සල්ලාල ජීවිතෙන් මිදිලා
නිවන් මාර්ගයෙ යන කෙනෙකුට
පිරිසිදුව ගත කරන
විවාහය බාධාවක් නොවෙයි,
ආධාරකයක්.
ඒත්
මේ ජීවිතයෙ ඒකායන අරමුණ
නිවන් දැකීම පමණක් කියා
අදිටන් සහිතව කැප වෙනවා නම්
විවාහය අඹු දරුවො විතරක් නෙවෙයි
නිවන් දකින්න කරන දේ හැර
අනික් හැම දේම නිවන් දකින්න බාධාවක්.
උපසම්පදා ශීලය නිවන් දැකීමට පදනමයි.
උපසම්පදා භික්ෂුවකට
පොළව හැරීම, හාරන්නට යෙදවීම,
නොපිළිගැන්වූ ආහාර ගැනීම, ගසක අතු කැඩීම
ආදී සුළු දේ පවා නිවනට පළිබෝධයි.
.
නිවන් දකින්න කටයුතු කරන
ආර්ය ශ්‍රාවකයෙකුගෙ මූලික ගුණ
බුදුන් වහන්සේගේම වචන වලින්
නන්ද සූත්‍රයේ දැක්වෙනවා..
1,
පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්යාව
පුරන්නට යමෙකින් හැකි වේද
එබඳු වූ ඉන්‍ද්‍රිය විෂයයෙහි
ගොපනය කළ දොර ඇතියේ ය.
2,
භොජනයෙහි මාත්‍රඥ ය.
3,
නිදි වැරීමෙහි යෙදුනේ ය.
4,
සති සම්ප්‍රජන්‍යයෙන් සමන්වාගත යි.
1,
මහණෙනි
පෙරදිග බැලියයුතු වේ නම්
සම්පූර්ණ සිතින් පෙරදිග බලති.
‘මෙසේ පෙරදිග බලන මට අභිධ්‍යා දෝමනස්ස සඞ්ඛ්‍යාත
අකුශලධර්‍මයෝ ලුහු නො බඳනාහු ය’ කියායි.
එහි නුවණින් යුතු වූයේ වෙයි.
මහණෙනි,
ඉදින් පශ්චිම දිශාව බැලිය යුතු වේ නම් ...
උත්තර දිශාව බැලිය යුතු වේ නම් ...
දක්ෂිණ දිශාව බැලිය යුතු වේ නම් ...
උඩ බැලිය යුතු වේ නම් ...
යට බැලිය යුතු වේ නම් ...
අනුදිශා දිශාව බැලිය යුතු වේ නම්,
සම්පූර්ණ සිතින් අනුදිශා බලති.
‘මෙසේ අනුදික් බලන මට
අභිධ්‍යා දෝමනස්ස සඞ්ඛ්‍යාත
ලාමක අකුශල ධර්‍මයෝ
රැස් නොවන්නාහුය’ කියා යි.
මෙසේ එහි සති සම්ප්‍රජන්‍යයෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි,
මේ වනාහි ඉන්ද්‍රියන්හි ගුප්තද්වාරතා වෙයි.
2,
මහණෙනි,
එහිලා භොජනයෙහි මාත්‍රඥතා මේ වෙයි:
මහණෙනි,
නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට ආහාර වළඳති.
දිව පිණිස නො වෙයි, මද පිණිස නොවෙයි,
මණ්ඩන පිණිස නොවෙයි, භූෂණ පිණිස නොවෙයි,
මේ ආහාරය මේ ශරීරයාගේ ස්ථතිය පිණිස ම,
යැපීම පිණිස ම, විහිංසා නස්නා පිණිස ම,
බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස ම වෙයි.
මෙසේ නො වැළඳීමෙන් වූ පුරාණ වේදනා ද නසන්නෙමි,
අභිනව වේදනා ද නූපදවන්නෙමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි,
අනවද්‍යතාව හා ඵාසුවිහරණය ද වේ ය කියායි.
මහණෙනි,
මේ භොජනයෙහි මාත්‍රඥතාව වෙයි.
3,
මහණෙනි,
එහි ලා මේ නිදිවැරීමෙහි යෙදීම වෙයි:
මහණෙනි,
දාවල සක්මනිනුදු හිඳීමෙනුදු
ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති.
රෑ පළමුයම සක්මනිනුදු හිඳීමෙනුදු
ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති.
රෑ මැදුයම් යම පා මත පා හයා තබා
සති සම්ප්‍රජන්‍යයෙන් යුතු වැ
උත්‍ථානසංඥාව මෙනෙහිකොට
දකුණැලයෙන් සිංහ ශය්‍යා කෙරෙති.
රෑ පැසුළුයම නැඟී සිට සක්මනිනුදු හිඳීමෙනුදු
ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙත්.
මහණෙනි,
මේ නිදිවැරීමෙහි යෙදීම වෙයි.
4,
මහණෙනි,
එහි මේ සති සම්ප්‍රජන්‍යය වේ:
මහණෙනි,
දන්නා ලද වූ ම වේදනාවෝ උපදිත්.
දන්නා ලද වූ ම වේදනාවෝ වටහත්.
දන්නා ලද වූ ම වේදනාවෝ අස්තයට යෙත්.
දන්නා ලද වූ ම සංඥාවෝ උපදිත් ...
දන්නා ලද වූ ම සංඥාවෝ වටහත්.
දන්නා ලද වූ ම සංඥාවෝ අස්තයට යෙත්.
දන්නා ලද වූ ම විතර්කයෝ උපදිත්.
දන්නා ලද වූ ම විතර්කයෝ වටහත්.
දන්නා ලද වූ ම විතර්කයෝ අස්තයට යෙත්.
මහණෙනි,
මේ සති සම්ප්‍රජන්‍යය වෙයි.
බුදුන් වහන්සේට අනුව
පැවිදි ජීවිතයට ඇතුළත්ව
නිවන් දකින්නට කටයුතු කරනවා නම්
ඉන්ද්‍රියන්හි ගුප්තද්වාරතා
භොජනයෙහි මාත්‍රඥතාව
රෑ නිදි වැරීම
සහ සති සම්ප්‍රජන්‍යය අවශ්‍යයි.
විවාහකයෙක්
දුකෙන් මිදෙන්න විදසුන් වැඩීම
විවාහ ජීවිතයට සවියක්,
ආලෝකයක්, සහනයක්.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
විවාහය නිවනට හේතු කරගත් යුවලක්
නිවන් දකින්න
විවාහය බාධාවක් කර නොගත් දෙදෙනෙක් ගැන
බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඔවුන් අවශ්‍ය සුදුසුකම් සපුරනවා.
බඹසර රකිනවා.
උපුටා ගැනීම
වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ
මහා කාශ්‍යප මහ තෙරුන් සහ ගිහි ජීවිතයේදී උන්වහන්සේගේ බිරිඳ වූ භද්දා කපිලාන් මහා තෙරණියන් කල්ප ලක්‌ෂයක්‌ම එකට සැරිසරා ඇති බව බුදුදහමේ සඳහන්වේ. ඒ දෙදෙනා විපස්‌සී කකුසඳ, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේද අඹු සැමියන්සේ වාසය කර ඇත. කාශ්‍යප මහ තෙරුන් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජගහනුවර පිප්ඵලී මානවකයා ලෙසින්ද භද්ද කපිලානි මහ තෙරණිය, සාගල නුවර භද්දා කපිලානි නමින්ද උපත ලැබුවාය. පිප්ඵලි මානවකයාට සිය දෙමාපියන් විවාහ යෝජනා ගෙනාමුත් හෙතෙම ඒ සියල්ල ප්‍රතික්‌ෂේප කර පැවිදිවීමට අදහස් කරගෙන සිටියේය. පසුව මව්පියන්ගේ කරදරයෙන් බේරීමට බැරිම තැන උපාය මාර්ගයකින් බේරීමට සිතා ඉතාමත්ම රූමත් කාන්තා රුවක් රනින් නිමවා එවන් රුවක් ලදහොත් පමණක් විවාහ වන බව දෙමාපියන්ට සැළකර සිටියේය. දෙමාපියන්ද එවන් රුවක් සොයන්නේ භද්ද කපිලානි දැක ඇය හා විවාහ වීමට කීහ. වෙන කළයුතු කිසිවක් නොවු තැන පිපඵලි, භද්ද කපිලානි හමුවී තමා පැවිදිවීමට සිතා සිටින බැවින් විවාහ වීමට අකමැති බව ඇයට පැවසීය. ඇයද තමාද පැවිදිවීමට සිටින බැවින් විවාහයකට අකමැති බව කීවාය. එසේ නම් දෙමාපියන්ගේ සිත නොරිදවීම සඳහා නාමිකව විවාහවී අඹු සැමියන්සේ නොසිට දෙමාපියන් මියගිය දිනක පැවිදිවීමට කතිකා කර ගෙන විවාහ විය.
ඒ අනුව විවාහවු ඔවුන් දෙදනා රාග සිතක් පහළවේ යයි බියෙන් එකිනෙකා හා සිනාසෙන්නේද නැත. රාත්‍රි කාලයට එකිකොගේ ඇග ගැටේ යෑයි බියෙන් ඇඳේ දෙකෙළවරට වී නිදාගන්නෝය. මේ අයුරින් වසර ගණනාවක් ගතකොට සිය දෙමාපියන් මියගිය පසු කතිකා කරගත් පරිදි දෙදෙනා වෙන වෙනම ගොස් බුදුන් හමුවී පැවිදි වූහ. පසුව බණ, භාවනා කොට දෙදෙනාම රහත් ඵලයට පැමිණියෝය. එතරම් බැරෑරුම් තටයුත්තක් කර තම අරමුණු ඔවුන්ට ඉටුකර ගැනීමට
පුලුවන් වූයේ ඔවුන්ගේ අදහස් එක සමාන වූ නිසාය.