20180602

ඔබටත්... ගංවතුර කාලෙට පාවෙන නිවසක්.



සුනිල් පොරමඬල Mawbima
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව ඉකුත් මැයි 23දා වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18ක පුද්ගලයන් 1,05,352 දෙනකු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇත.
මෙවර මහ වැස්සෙන් අනාථ වූවන්, ජීවිතයෙන් වන්දි ගෙවූවන් ඒ විපත්වලට මුහුණ දී අවසන්ය.
හෙටත් මෙවන් විපත් නොවෙතැයි සිතන්නට හැකියාවක් නොමැති තත්ත්වයන් හමුවේ මේ විපතද සමඟ අභිනවයෙන් පත්වූ දුමින්ද දිසානායක ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවධානය දැන්වත් යොමු වේ යැයි විශ්වාසකරන නිමැවුමක් තිබේ. 'පාවෙන නිවෙස' පිළිබඳ තතු විමසන්නට අපි එහි නිර්මාතෘ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා සොයා ගියෙමු.
"මේ පාවෙන ජංගම නිවෙස නිර්මාණය කරලා දැන් වසර දෙකක් පමණ වෙනවා. ජල ගැල්මෙන් තමන්ගේ නිවෙස්, යාන වාහන යටවන යට ජල රකුසා පරදවමින් තමන්ගේ වාහනය, ගෙදර බඩුමුට්ටු වාගෙම ජීවිතත් ආරක්ෂා කරගන්න පුළුවන් මේ වගේ නිවෙසක් හදා ගත්තම. විවිධ පර්යේෂණ කරලා නිර්මාණය කළ මේ නිර්මාණය නිර්ලෝභීව ඉන් ප්‍රයෝජන ගන්නා ඕනෑම කෙනකුට, ආයතනයකට සංවිධානයකට දෙන්නත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් නොමිලයේ ලබා දෙන්නත් සූදානම් බව මා පළමුවෙන්ම කියන්න ඕනෑ.
මේ නිවෙස පී.වී.සී. බට මත ඉතාම සැහැල්ලු අමුද්‍රව්‍ය යොදලා නිර්මාණය කරගත හැකියි. අඩි 12×16 ප්‍රමාණයේ පුංචි නිවෙසක් මෙය. යකඩ කණු හතරක් මතයි එය රඳවා තිබෙන්නේ. ජල ගැල්මක් එද්දී ජලය වැඩිවෙන්න වැඩිවෙන්න මේ නිවෙස ඒ යකඩ බට හතර දිගේ උඩට යනවා. කාමරයක්, පුංචි කුස්සියක්, වහලයට එකතු වන වැසි ජලය මඟින් පානීය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය සපයන ජල සම්පාදන ක්‍රමයක්, වැසිකිළියක්, සති දෙකක් ආලෝකය ලබාගත හැකි දුරකථන චාජ් කරගත හැකි බැටරියක්, එල්.ඊ.ඩී. බල්බ් පද්ධතියක් ආදී වශයෙන් වූ සියලු අවශ්‍යතා සපයාගත හැකි අංගෝපාංගයන්ගෙන් මේ පාවෙන ජංගම නිවෙස සමන්විතයි. යකඩ කණු හතරක් මත රඳවා ඇති නිසා හෙල්ලෙන්නෙ, පැද්දෙන්නෙ නැහැ. වටේට අඩි 2ක පේමන්ට් එකක් සහ ආරක්ෂිත වැටකින්ද යුක්තයි.
ජලයේ ඝන මීටරයක වායු පරිමාවකට ටොන් එකක බර උසුලන්න පුළුවන්. මේ නිවෙසට ටොන් අටක බර උසුලන්න පුළුවන්. නමුත් ටොන් පහක් තමයි මගේ නිර්දේශය. එය ඉතා පහසුවෙන් ඔසවාගෙන ඉන්න පුළුවන්. ගංවතුර වැඩිවෙද්දි උඩට යන මේ නිවෙස ගංවතුර බසිද්දී පහළට එනවා.
වැසි නැති කාලෙට එය නිවෙසක කාමරයක් හැටියට, ඇනෙක්සියක් හැටියට, භාවිත කරන්න කුලියට දෙන්න පුළුවන්. කල් පවතින පුංචි නිවෙසක් හැටියට ඉතා අඩු වියදමකින් නිර්මාණය කරගන්න පුළුවන්.
මේ වාගෙම තමන්ගේ වාහනය, නිවෙසේ තියෙන බඩුමුට්ටු ටික ආරක්ෂිතව අසුරලා, ගබඩා කරලා මේ ක්‍රමවේදයටම ජලය වැඩි වෙද්දි ඉහළ යන අඩු වෙද්දි පහළ යන ආරක්ෂිත ගබඩාවක් හැටියටත් මෙය නිර්මාණය කරන්න පුළුවන්. මේ සඳහා වැය වන්නේ රුපියල් ලක්ෂ 1 1/2ත් 2ත් අතර මුදලක්.
ඒ වගේම මා නිර්මාණය කළා දැඩි නියඟයකදී වාගෙම විශේෂයෙන්ම වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ භාවිතය සඳහා පිරිසුදු සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ගබඩා කර තබන උපකරණයක්.
වැසි සමයේදී කුඩයක් උඩ අතට හරවලා තබන ආකාරයට වැසි ජලය එකතුවන උපකරණයක් මා නිර්මාණය කළා. එම වැසි ජලයට එක් කළ යුතු ඛනිජ ලවණ මිශ්‍ර කිරීමේ ක්‍රමවේයක්ද සහිත ෆිල්ටරයක් හරහා මේ ජලය වැසි සමයේදී භූගත ටැංකියක තැන්පත් වෙනවා. එම ජලය නියං සමයේදී පානීය හා අනෙකුත් ජල අවශ්‍යතා සඳහා තුන් මසකට සෑහෙන ලෙස රැස් කර ගබඩා කර තබාගත හැකියි. මේ කුඩය වැනි උපකරණය වැස්සකදී කුඩයක් ඉහළනවා වාගේ ඉහළන්න පුළුවන්. වැස්ස නැතිවුණාම හකුළන්න පුළුවන්. එය ස්ථානගත කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික උපදෙසුත් නොමිලයේම ලබා දීමට මා සූදානම්. "
මේ නව නිර්මාණකරුවන් සතු තාක්ෂණය, ශිල්පීය ඥානය රටට වැඩ ඇති ලෙස භාවිත කිරීමට රජයේ මෙන්ම අදාළ වගකිවයුත්තන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතුය.
නමුත් නොවන්නේත් එයමය. ලෝකයේ ප්‍රථම වතාවට කවකටු පෙට්ටිය වැඩිදියුණු කළ ගල්නෑවේ තිසර බණ්ඩාර වැසි වැටෙන විට ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන තුන්රෝද රථ සඳහා වූ වැසි ආවරණ කට්ටලයක්ද ඇතුළු බොහෝ නිමැවුම් කර ඇතත් ඔහුට අත දෙන කෙනෙක් නැත. වසර හතරක ශිෂ්‍යත්වයක් සමඟ චීනය ඔහුට අත වනන්නේ අපට නොවටින ඔහු චීනයට වටින නිසාය.
අතිශයින් සාර්ථක කසළ ප්‍රතිචක්‍රියකරණ යන්ත්‍රයක් නිර්මාණය කළ 'ගම්පොළ විකුම්ගේ' එම නිර්මාණයෙන් ප්‍රයෝජන නොගන්නේ කසළ රටට ප්‍රශ්නයක් වී කුණු කඳු කඩා වැටෙද්දීය. ඉන් ප්‍රයෝජන ගන්නට කාර්ගිල්ස් සුපර් මාකට් ඉදිරිපත්ව ඇත්තේ එය සාර්ථක නිර්මාණයක් නිසාය.
වසර තුන්සිය ගණනක් තිස්සේ ලෝකයේ මහා ගණිතඥයන්ට විස¼දාගත නොහැකි වූ 'පර්මාගේ අවසන් ප්‍රමේයය' නම් ගණිත ගැටලුව විසඳූ 'ගලෙන්බිඳුණුවැව කුඹුරු කොටන ගණිතඥයා' වූ බී.අයි. අනුරසිරි තවමත් කුඹුරු කොටයි.
මේ සංක්ෂිප්තය මෙහි බහාලූයේ අපේ රටේ නව නිර්මාණරුවන් මුහුණදී ඇති ඛේදවාචකය ගැන වගකිවයුත්තන්ගේ ඇස් අරවන්නටය.
ඔවුන්ට අත්ව ඇති ඉරණම සිසිර බණ්ඩාර බස්නායක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාටත් අත් කරවනවාද? නැතිනම් ඔහුගෙන්වත් රටට වැඩක් ගන්නවාද යන තීරණය ගැනීම රටේ හෙට ගැන හිතන වගකිවයුතු බලධාරීන්ට සහ නිලධාරීන්ට භාරය.
මේ 'පාවෙන ජංගම නිවෙස' වැසි ජල උපකරණය හා ඩෙංගු මදුරු උගුල පිළිබඳ වැඩි විස්තර හා තාක්ෂණික උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා 0716281633 දුරකථනය අමතා ලබාගත හැකිය.

s.poramadala@gmail.com