[[[ ඔබ නොදන්න සත්‍යය ඔබට මිථ්‍යාවක්. ]]]
Sriyantha De Silva
ඔබ සත්‍ය කියලා දකින දේ අපිට මිත්‍යාවක් විය හැකියි...
අපි සත්‍ය කියලා දකින දේ ඔබට මිත්‍යාවක් විය හැකියි...
ඔබ හා අපි සත්‍ය කියලා දකින දේ තව කෙනෙකුට මිත්‍යාවක් විය හැකියි...
ඔහු සත්‍ය කියලා දකින දේ ඔබට හා අපට මිත්‍යාවක් විය හැකියි...
නානත්‍ත කායා නානත්ත සංඥා
--------------------------------------------------------
සත්‍යය නොදන්න ඔබට සත්‍යයත් මිථ්‍යාවක්.
ඔබ සත්‍යය කියෙන්නෙ
ඔබට හා අනෙක් අයට සාපේක්ෂව දකින දේ.
බඳුනෙන් බඳුනට වතුර වෙනස් හැඩයක් ගත්තට
වතුරෙ ස්වභාවය වෙනස් වෙන්නෙ නැහැ.
අවස්ථාවෙන් අවස්ථාවට ගින්නෙ උණුසුම විඳින අය
ගින්නට විවිධ අර්ථ කථන දුන්නට
ගින්නෙ ස්වභාවය වෙනස් වෙන්නෙ නැහැ.
සමහරු රාගය සැපක්
ද්වේශය ගින්නක් කියලා පිළිගන්නවා.
සමහරුන්ට ද්වේශය ගින්නක්
කියලවත් දැනෙන්නෙ නෑ.
ද්වේශය ගින්නක්, රාගය ගින්නක් කිව්වම
කවුරු මිථ්‍යාවක් කියල හිතුවත්
හැම පුද්ගලයෙකුටම සත්‍යයක්..
මිනිහෙක් ගින්නට වැටුණොත් පිළිස්සෙනවා,
මිනිහෙක් වතුරෙ ගිලිලා
ටික වෙලාවක් ගියාම මැරෙනවා කියන එක
හැම පුද්ගලයෙකුටම සත්‍යයක්..
නොදන්න කම නිසා
නිරාගමිකයන් මිථ්‍යාවක් කියා හිතුවට
බුදු දහම
හැම පුද්ගලයෙකුටම සත්‍යයක්.
චතුරාර්ය සත්‍යය,
පටිච්ච සමුප්පාදය, සතර සතිපට්ඨානය...
නිරාගමිකයන් මිථ්‍යාවක් කියල හිතුවත්
හැම පුද්ගලයෙකුටම සත්‍යයක්..
නානත්‍ත කායා නානත්ත සංඥා
එක් එක් කයට සංඥා දැනෙන විදිය වෙනස් .
සත්‍යය නොදන්නා අය
සත්‍යය සාපේක්ෂයි කියන්නෙ මේ නිසයි.
එක් එක් කයට සංඥා දැනෙන විදිය වෙනස් නිසා
ඔවුන් එකිනෙකා එකම සත්‍යය
විව්ධ අවස්ථාවල විවිධාකාරයෙන් දකිනවා.
සීතල වෙලාවට ගින්න සැපක්..
රස්නෙ වෙලාවට ගින්න දුකක්.
ගින්නෙ ස්වභාවය මේ අවස්ථා දෙකේදිම එකයි.
සත්‍යය දකින කෙනෙක්
අවස්ථානුකූලව වෙනස් ආකාරයෙන් පෙණුනාට
ගින්නෙ ස්වභාවය මේ අවස්ථා දෙකේදිම එක බව
පරමාර්ථ වශයෙන් දන්නවා.
ගින්නෙ ස්වභාවය
මේ අවස්ථා දෙකේදිම එක බව නොදන්න කෙනෙක්
රස්නෙ වෙලාවට ගින්න දුකක් කිව්වම
බැලූ බැල්මට සත්‍යයක් වගේ පෙණුනට
ඔහු සත්‍යය දන්න කෙනෙක් නොවෙයි.
ඔහු සත්‍යයෙන් කොටසක් දන්නවා.
ඒ කොටස සත්‍යයි.
අනික් කොටස නොදන්න නිසා
ඒ කොටස පිළිබඳ අවබෝධය සම්පූර්ණ නෑ.
රස්නෙ වෙලාවට ගින්න දුකක් කියපු
අර්ධ සත්‍යවාදියා
සීතල වෙලාවට ගින්න සැපක් කියලා පිළිගන්නවා.
ඔහු ඒ වෙලාවට මිථ්‍යාව සත්‍යයක් කියා පිළි ගන්නවා.
පරම සත්‍යය කියන්නෙ
රාග, ද්වේශ, මෝහ වලින් තොරව
කවුරු බැලුවත් පෙනෙන සත්‍යය.
ගින්න හැම වෙලාවෙම කයට දුකක්.
සීතලට ද්වේශයෙන් ඉන්න නිසා
රාගයෙන් බලන කෙනාට ගින්න සැපක්.
රස්නෙ වෙලාවට ද්වේශයෙන් ඉන්න නිසා
ගින්න කොහොමත් දුකක්.
ගින්න නොදැනෙන කෙනෙකුට
ඒ ගැන අදහසක් නෑ.
ඔහු ඉන්නෙ මෝහයෙන්..
තමන්ට දැනෙන හැම දෙයක් ගැනම 100%ක් සිහියෙන්,
100%ක් උපේක්ෂාවෙන් බලන කෙනෙක් තුළ
රාග, ද්වේශ, මෝහ නෑ.
ආතාපි සම්පජානෝ සතිමා
සමස්තය ගැන
100%ක් සිහියෙන් ඉන්න කෙනෙක් තුළ
මෝහය නෑ.
විනෙය්‍ය ලොකෙ අභිඣජා දෝමනස්සං
100%ක් උපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් තුළ
රාගය හෝ ද්වේශය නෑ.
පරමාර්ථ සත්‍යය කියන්නෙ
100%ක් සිහියෙන්, 100%ක් උපේක්ෂාවෙන් බලද්දි
කවුරු බැලුවත් පෙනෙන සත්‍යය.
පරමාර්ථ සත්‍යය = ගින්න දුකක්.
බුදුන් වහන්සේ ලොකය සහ සත්වයා දකින්නෙ
කිසිවෙකුට කිසි දේකට බැඳීමක් නැතිව
100%ක් සිහියෙන්, 100%ක් උපේක්ෂාවෙන්.
කෙනෙක් රහත්වෙන්නෙ
කිසිවෙකුට කිසි දේකට බැඳීමක් නැතිව
100%ක් සිහියෙන්, 100%ක් උපේක්ෂාවෙන්
දකින්න පුලුවන් වුණාමයි..
විපස්සනා කියන්නෙ
තමන්ගෙ තියන බැඳීම් ඒ විදියට පවතිද්දි
ඒ බැඳීම්වල ස්වභාවයන්ද සහිතව
තමාත් තමාට දැනෙන ලෝකයත්
100%ක් සිහියෙන්, 100%ක් උපේක්ෂාවෙන් දකින්න
කෙමෙන් කෙමෙන් පුහුණු වීමයි.
විපස්සනා වඩන්නෙක් මොහොතෙන් මොහොතට
අල්පමාත්‍ර වශයෙන්, අංශුමාත්‍ර වශයෙන් මිථ්‍යාවෙන් මිදෙනවා.
සත්‍යය දකිනවා.