20150126

බුදු දහමෙ අරමුණ මෝහය නෙමෙයි.. සිහිය සහ උපේක්ෂාවයි..


Kus Fernando 
[[[[[භාවනාව හැමදාම නොකලත් සතියට දවස් 3ක්වත් පැය 3ක් 4ක් කරනවාමයි.
ඒක නොකලයි කියලා අවුලක් නෑ හැබැයි ඉඩක් ලැබිච්ච ගමන් ඒක කරනවා.
එකෙන් මට ලැඛෙන මානසික සුවයට මම ඒකට ඇබ්බැහිවෙලා]]]]
------------------------------------------------------------------
මානසික සුවයක් ලැබෙන්නට
ඒ සුවයට ඇබ්බැහි වෙන්නට හේතුවෙන
සමථ භාවනා වලින් කරන්නෙ
කෙනෙක් මෝහයට පත් කිරීමයි..
රාගයෙන් ද්වේශයෙන් පෙළෙන සිතකට
මෝහයත් සුවයක්.
බුදු දහමෙ අරමුණ මෝහය නෙමෙයි..
සිහිය සහ උපේක්ෂාවයි..

ඔබ රාගයෙන් සිටියත් ද්වෙශයෙන් සිටියත්
ඒ රාගය ගැන සිහියෙන්..
ඒ රාගයට උපේක්ෂාවෙන් ඉන්න
ඔබට හැකි නම් ඒ බොදු භාවනාවයි.

ඒ ද්වෙශය ගැන සිහියෙන්..
ඒ ද්වෙශයට උපේක්ෂාවෙන් ඉන්න
ඔබට හැකි නම් ඒ බොදු භාවනාවයි.

උපරිම ද්වේශයෙන්
එනම් ක්‍රෝධයෙන් පසුවෙන කෙනෙක්
එයින් මිදිය යුතුයි කියල
බුදුන් වහන්සේ කියන්නෙ නැහැ..
මිදෙන්නට මාර්ගය කියනවා.

ද්වේශය ගැන සිහියෙන්...
උපේක්ෂාවෙන් ඉන්න...
එපමණයි..

බොදුනු භාවනාවෙන් ලබන සුවය
උපරිම ද්වේශයෙන්
එනම් ක්‍රෝධයෙන් පසුවෙන කෙනෙකුටත්
ඒ මොහොතෙම තියනවා.
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

මේ තියෙන්නෙ උපරිම ද්වේශයෙන්
එනම් ක්‍රෝධයෙන් පසුවෙන කෙනෙක්
බුදුන් වහන්සේ එල්ල කරන අභියෝගය..

යමෙක් සිතෙහි
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි මම කියමි.
සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

ඉහත කොටසට අයත් නොවෙන
බෞද්ධ අබෞද්ධ සියල්ලන්ම
නිකම් තෝන් ලණුව  අල්ලන
සාමාන්‍ය රිය එළවන අන් ජනයාට අයිතියි.

බෞද්ධ අබෞද්ධ සියල්ලන්ම අතුරෙන්
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි
බුදුන් වහන්සේ කියනවා.


=============================================
වැඩි විස්තරයක්..

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී......


අපි දකින සත්‍යය ඉතා පටුයි.


සත්‍යය නම් 
මේ මොහොතෙ අප අවටත්
අප තුළත් සිදු වෙන සියලුදේ
අපට දැනෙන ආකාරයයි.

අප අවටත් අප තුළත්
මේ මොහොතෙ සිදු වෙන බොහෝ දේ
අපට දැනෙන්නෙ නැහැ..

සත්‍යය නම් එයයි..

අපට සිහිය තියනවා කියා අපි සිතුවාට
අපේ සිහිය පවතින්නෙ ඉතා පටු කොටසකයි.
අපි ලෝකය දකින්නෙ යතුරු සිදුරකින්..
අපෙ ඉන්ද්‍රියවලින් අපි සත්‍යය දකින්නෙ නැහැ.
අපි දකින සත්‍යය ඉතා පටුයි.
බොහෝ දේ ගැන අපට සිහිය නැහැ..
අපේ සිහියට අහුවෙන දේවල් වලට
එක්කො අපි කැමතියි... එක්කො අපි අකමැතියි.
මේ තුනම එකතු වුණාම
අපට දැනෙන දේ තමයි
අපට දැනෙන්න පුලුවන් සත්‍යය.

අපි දකින්නෙ මේ මොහොතෙ පවතින සත්‍යයෙන්
ඉතා සුළු ප්‍රමාණයක්..


ඔබෙ කයෙහි ඕනම කොටසකට හිත යොමු කරන්න.
ඔබට මෙතෙක් නොදැනුණු බොහෝ වේදනා තියනවා.

ඔබ අවට තියන ශබ්ද වලට
හිත යොමු කරන්න..
ඔබට නොඇසෙන බොහෝ ශබ්ද තියනවා.

ඔබේ ඇස් මේ වචන වලින් ඉවත් කර නොගෙන
ඔබේ තිරයෙත් ඒ අවටත් පෙනෙන දේට
හිත යොමු කරන්න.
ඔබට නොපෙනෙන බොහෝ දේ
ඔබ දකින රූප රාමුව තුළ තියනව..

              *
මේ තරු සලකුණ දිහා බලාගෙන
ඔබේ උඩු කය සෙමින් දෙපසට එහා මෙහා කරන්න..
ඒ සමගම අවට පරිසරය
කොතරම් වෙනස් වෙනවාද කියා
විමසිල්ලෙන් ඉන්න..
මේ අත්දැකීම ඔබ ඇවිදින විටත් තියනවා.
බුදුන් වහන්සේ භික්ෂූන්ට උපදෙස් දුන් පරිදි
විය දණ්ඩක දුර බලාගෙන
අවට ගැන සිහියෙන් ඇවිදින කෙනෙකුට
මේ වෙනස පෙනෙනවා.

පසිඳුරන්ගෙන් ලැබෙන සියලුම තොරතුරුත්,
ඒ තොරතුරුවලට
මනස දක්වන සියලු ප්‍රතිචාරත් ගැන
සිහියෙන් ඉන්න කෙනෙකු ලෝකය දකින ආකාරය
ඔහු මේ මොහොතෙහි අත් දකින සත්‍යයයි.
අපට ඒ සත්‍යය බොහෝ දුරයි.

අපි මේ ඉන්න පටු රාමුවෙන් මිදිලා
ඒ සම්පූර්ණ සත්‍යය දකින විට
අපි නිදහස් පුද්ගලයන්.

රහතන් වහන්සේ කෙනෙක් අත්දකින
නිවන එයයි..

නිවන අප තුළ දියුණු කරන්න නම්
සිහිය පිහිටුවා ගත යුතුයි.

විද්‍යාව නිරන්තරයෙන් වෙනස් වෙනවා.


විද්‍යාවෙ සිදුවෙන වෙනස්වීම වෙනස්...

අසම්පූර්ණ දේකට කෑලි ෆිට් කරද්දි
ගැලපෙන කෑලි සහ නොගැලපෙන කෑලි ෆිට් වෙද්දි
සිදුවෙන විදියෙ වෙනස්වීමක්...
.
විද්‍යාව කියන්නෙ
විවිධ පුද්ගලයන් විසින්
විශ්වයේ ධර්මතා පිළිබඳ කරන සොයා ගැනීම්
ෆිට් කරල හදන ප්‍රහෙළිකා විසඳුමක්..

එක් සොයා ගැනීමකින් පසුව
මුල් සොයා ගැනීමක් වැරදියි හෝ
නිවැරදියි කියල හෙළි වෙනවා.
විද්‍යාව කියල අපි මේ දකින රූපයෙ
නිශ්චිත, අකාලික ධර්මතා නැහැ..
මූලික හරය බලද්දි අකාලික ධර්මයක් වුණත්
විද්‍යාවෙන් මැනීමට වෑයම් කිරීම සහ අර්ථ දැක්වීම අනුව
බොහෝ විට සාපේක්ෂ සත්‍යයක් වෙනවා.

වසර දහස් ගණන් මිනිසුන් ප්‍රයෝගිකව භාවිතා කළ
අකාලික ධර්මතාවයන්
විද්‍යාවේ පටු, අසම්පූර්ණ මානයන්ගෙන්
මනින්නට අර්ථ දක්වන්නට වැයම් කිරීමෙදි
අසාර්ථක්වෙන විද්‍යාව ඒ ධර්මතා
අහඹුවක් ලෙස හෝ මිථ්‍යාවක් ලෙස බැහැර කරනවා.
අන්ධයෙකුගෙ අර්ථ කථනය
තවත් අන්ධයෙකුට සත්‍යයක්.
ඔවුන් දෙදෙනාටම වැරදුණ බව
ඇස් ඇති කෙනෙකුට පෙණුනත්
තෝරා දෙන්නට හැකියාවක් නෑ.
කවුරු වුණත් වතුර රත් කෙරුවොත්
වතුරෙ උෂ්ණත්වය වැඩි වෙලා
වතුර නටනවා.
වතුර වාශ්ප වෙනවා

සරල පොදු සත්‍යයක්.
විද්‍යාවට මේ අවබෝධය මදි.
මේ සංසිද්ධිය මනින්න, ලේඛනගත කරන්න
විද්‍යාවට අවශ්‍යයි.
මුහුදු වෙරළෙ ඉන්න කෙනෙක් වතුර රත් කරලා
නිගමනය කරනවා වතුර නටන උෂ්ණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 100යි.

ඒ කොන්දේසි සහිත සත්‍යයක්.
කන්දක් මුදුනට ගියාම සත්‍යය වෙනස් වෙනවා.
ඊට පස්සෙ 
ඒ ගැන හොයන කෙනෙක්
පීඩනය අඩු නිසා කියල හොයා ගන්නවා.
විද්‍යාව පෝෂණය වෙන්නෙ එහෙමයි.

බුදු දහම සොයාගෙන අවසන්.
දුක් විඳින බව වැටහෙන පුහුදුන් කෙනෙක්
දුක නිවන මග - විදසුන් මගෙහි ගියොත්
අවස්ථා හතරකින් දුකෙන් මිදෙනවා.
මේ සත්‍යය කාට වුණත් නිශ්චිතයි.. අකාලිකයි.
වතුර නටන උෂ්ණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 100යි. කියල
බුදු දහම කියන්නෙ නැහැ..
බුදු දහම කියන්නෙ
රත් කෙරුවොත් වතුර වාශ්ප වෙනවා
කියල විතරයි..
අදාළ පුද්ගලයාට
විඳ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්.
ඔහුගෙ අංශකය ඔහු හොයා ගනීවි.
ඔහුගෙ දැනුම ඔහුම අත්දැකීමෙන් පසක් කළ
ඔහුටම අවේණික සත්‍යයක්. ඒත් අකාලික සත්‍යයක්.
රහතන් වහන්සේලා සියයක් ගත්තත්
උන් වහන්සේලා දුටු දේ එකයි.
ඔවුන් එකිනෙකා සමග ගැටෙන්නෙ නැහැ.

විද්‍යාඥයන්ට එහෙම අවස්ථාවක්
කවදාවත් අත්විඳින්න බැහැ..
ඔවුන් හැමවිටම ගත කරන්නෙ
විචිකිච්ඡාවෙන්. සැකයෙන්..
දැනුම හොයන අය විද්‍යාවට කැමතියි..
මුහුදු වෙරළෙදිවත්, කඳු මුදුනකවත්
කවදාවත් වතුර රත් නොකළ කෙනෙක්
පන්තිකාමරයක හෝ පුස්තකාලයකදි
වතුර වාශ්ප වීම ගැන
විශාල තොරතුරු ගොඩක් හොයාගෙන රැස් කරගෙන
උපාධි කිහිපයක් අරගෙන
ඒ දැනුම අනිත් අයටත් දෙමින්
ධනයක් මෙන් දැනුම භාවිතා කරමින්
ධනවත් ජීවිතයක් ගෙවන්න පුලුවන්.
දැනුමෙන් පෝෂණය වෙන බුද්ධිමතාට
ධනවතෙකුට ධනය මෙන් දැනුම බරක්..

බුදු දහම තුළින්
ඒ ධර්මතාවයම පසක් කරන කෙනෙක්
වතුර වාශ්පවීම විඳ ප්‍රත්‍යක්ෂ කරනවා.
ඔහුට අංශක ගණන අවශ්‍ය නැහැ.
ඔහු අනවශ්‍ය වෙලාවට
ඒ ගැන හිතන්නෙ වත් නෑ.
මුහුදු වෙරළෙ වෙනස සහ
කඳු මුදුනෙ වෙනස ඔහු දකින්නෙ
වතුර නටන්න ගතවන කාලයෙහි
වෙනසක් විදියට විය හැකියි.
ඔහු දන්න දේ ඔහුට බරක් නොවෙයි.
ප්‍රඥාව බරක් නෙමෙයි..