20140327

පොළඟා, බල්ලා සහ මිනිසා


https://www.facebook.com/photo.php?fbid=848512028499719&set=a.585732734777651.152823.100000227888246&type=1

අළුත් නිල නිවසට ආ පසු සර්පයින්ගෙන් වෙන කරදර කෙලවරක් නැත. අප ඒ නිවසට පැමිණි පසු සර්පයින්ට වෙන කරදරද කෙළවරක් නැති බව මෙය කියවන කෙනෙක් කියන්නට ඉඩ ඇත. එක් එක් කෙනාට එක් එක් දේ කීමට ඇති අයිතිය ඉවසා මේ කතාව කීමට මට ඇති අයිතිය භාවිතා කරමි.
පසුගිය දිනක රාත්‍රියේ අපේ Bruno ගේ කූඩුව දෙසින් අමුතු සද්දයක් ඇසෙන්නට විය. හරියටම වාහනයක හුලං යනවාක් වැනිය. සෑහෙන වෙලාවක් ඇසෙමින් නෑසෙමින් මේ සද්දය තිබුණි. අමතරව බල්ලාගේ නොසන්සුන්තාවක්ද දැනුනි.
අප සිද්ධිය ගැන සැක හිතී බලන්නට ගියේ පැයකට පමණ පසුවය. දක්නට ලැබුණේ කූඩුව පිටත සිට විශාලම ප්‍රමාණයේ පොළඟෙක් බල්ලාට පහරදීමට සැරසී සිටින අයුරුත් කොයි මොහොතක හෝ පොළඟාගේ ගෙලෙන් අල්ලා ගනිමියි යන අදිටනින් බල්ලා බලා සිටින අයුරුත්ය.
මේ තත්වය හමුවේ මා කළ යුතු කුමක්ද? බල්ලා මරු ජය ගැනීමට පොළඟාට ඉඩ දෙනවාද? පොළඟා මරු බල්ලා බේරාගන්නවාද? පසුගිය දවසක දරුවන්ගේ ආරක්ෂාව පිණිස පොළඟුන් දෙදෙනෙකු මරන්නට වීමෙන් පසු මගේ දර්වන්ට වඩා පොළඟුන් වටින බව දැන සිටි මට මගේ බල්ලා ද පොළඟාද වටින්නේ යන පැනයට පිලිතුරු සොයා ගැනීමට අපහසු විය. මොකදබල්ලා දරුවන් නොවන බැවින් සමහර විට පොළඟුන්ට වඩා වටි
වා විය හැකිව තිබූ බැවිනි. අවසන බල්ලා වෙනුවෙන් පොළඟා ඉවත් කළ යුතු බව තීරණය විය. ඉවත් කළ යුතු වූයේ ස්ව කැමැත්තෙන් ඉවත්වන්නට පොළඟා කැමති නොවූ හෙයිනි.
සිදු වූයේ නොසිතූ දෙයකි. පොළඟා බල්ලාගේ කූඩුවට පැන්නේය. බල්ලා පොළඟාගේ බඳින් අල්ලා දෙතුන් වරක් දෙපසට ගැසීය. බාගෙට මළ පොළඟා යන එන දිසා නොදැන කූඩුව තුළ වියරුවෙන් එහෙ මෙහෙ යන්නට විය. එබැවින් පොළඟා සදහටම ඉවත් කරන්නට සිදුවිය. බල්ලා රැක ගැනීම සඳහාය.
බැරිවීමකින් හෝ බල්ලාට දත් පාරක් වැදුනිද යන සැකය මත පැයෙන් පැයට පමණ බල්ලා පරීක්ෂාවට ලක් කෙරුනි. එහෙත් බල්ලාගේ වෙනසක් නොවුනි. ඒ ගැන සතුටු වීමි. බල්ලා ගැන සතුටු වූනිසා මිය ගිය පොළඟා ගැන දුකක් ඇති නොවුනි.
උදෑසන මෑණියන්ගේ පිංකම සඳහා පිටත් වන්නට අපට සිදුවිය. බල්ලා ගැන වූ සැකය හේතුවෙන් බල්ලා බිරිඳගේ මලනුවන් කෙනෙකුගේ යටතට පත්කෙරුනි.
උදෑසන වන විට තත්වය නරක අතට හැරෙන්නට වුණි. බල්ලාගේ එක් අතක් ඉදිමී බල්ලාගේ පසුපස පන නැති වේගෙන යන්නට වුණි. මේ නිසා වහාම බල්ලා පශු වෛද්‍ය නිලධාරි වරයා වෙත යැව්වද ඔහු ක්ෂේත්‍රෙය් සැරිසරමින් සිටි නිසා ගැටළුවක් ඇතිවිය. එහෙත් දුරකතනයෙන් ඔහු අමතා කතා කිරීමෙන් පසු හැකි ඉක්මණින් ප්‍රතිකාර කටයුතු ඇරඹුනි. බල්ලාට Anti-Venom Serum ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව බල්ලාගේ දිවි රැක ගැනීමට හැකිවුණි. දැන් අප සිටින්නේ සර්ප භීතිකාවකිනි. සර්පයින් සිටින්නේ මිනිස් භීතිකාවකිනි. එදා දරුවන් වෙනුවෙන් අර පොළඟුන් දෙදෙනා මරා දමනු මා බලා සිටියේ මෙලෙස බල්ලාට කළ ප්‍රතිකාර කර දරුවන්ගේ දිවි ගලවා ගැනීමේ තත්වයක් උදාවන්නට තිබූ ඉඩක් ඉවත් කිරීම පිණිසය. එක් අනතුරක් ඉවත් වූ සැනින් සදා ආරක්ෂිත නැත. ඒ බව මම දනිමි. ඒත් ඒ අනතුර තව දුරටත් නැත.
 ===========================================
.
සිතන්නට හැකි එකම සත්වයා ලෙස
මොන පුරසාරම්, කට මැත දෙඩුවත්
ආවේග ශීලී වුණාම
මිනිසාත් තවත් සත්වයෙක් පමණයි.

තමන්ට හානිකරයි කියල හිතෙන
ඕනම දෙයක් හෝ කෙනෙක් ගැන
බිය, සැක, තරහ ආදී
ස්වභාවයකින් ද්වේශය ඇති වීම
මිනිසාට පමණක් සීමා නොවුණ
සියලුම සත්වයන්ට පොදු
ස්වාභාවික කැළඹීමක්.

ඒ කැළඹීමෙන් කම්පා නොවී
ඒ කැළඹීමට මුහුණ දෙමින්
නිවැරදිව සිතීම,
නිවැරදිව ක්‍රියා කිරීම
මිනිසාට පමණක් සීමා වූ
සුවිශේෂී මානසික තත්වයක්..

සහජයෙන්ම ඒ හැකියාව රැගෙන එන අය
මිනිසා අතර විරල නමුත්, නැත්තෙ නැහැ.
ලින්කන්, ටොල්ස්ටෝයි,තාගෝර් වැන්නවුන්
මිනිසුන් මෙන් ජීවත් වී
මිනිසුන්ගෙන් ගරු සත්කාර ලබමින්
වසර සියගණන් ජීවත් වෙන්නෙ
ඒ ශක්තිය ඇතිව ඉපදී
මේ ජීවිතය තුළත්
ඒ හැකියාව දියුණු කරගත් අය වීම නිසයි.

කැළඹීමට මුහුණ දෙමින්
නිවැරදිව සිතීම,
නිවැරදිව ක්‍රියා කිරීමට හැකියාව
රැගෙන ආවත් නැතත්
ඒ පුහුණුව සිතා මතා ලබා ගැනීම
විදර්ශනාවයි.

එහෙම නැත්නම්
කරදරයකට පත්වුණාම
තමන්ගෙ දේ රැකගන්න
අනික් හැම සතුන්ටම පොදු
මානසික හා කායික උපාංග වල
පිහිට පතන්න වෙනවා.
අතීතය අනාගතය මෙන්ම
අනික් සතුන් පිළිබඳව
පුළුල් ලෙස සිතිය නොහැකි සතුන්ට
ඊට වඩා දෙයක් කරන්න බැහැ.

සතුන්ට ඔවුන් සහ
ඔවුන්ගෙ දරුවන්ගෙන් එහාට
ඔවුන්ම සිතා මතා තනාගත් සීමාවල්නැහැ..

කෙසේ වුවත්
යමක් පුලුල්ව දැකීමෙ හැකියාව නැති නිසා
මිනිසාට වඩා සතුන් තුල බිය සැක වැඩියි.

පොළඟා තමා අසලින් යනවිට
බල්ලා නොබිරුවා නම්
බල්ලාට එරෙහිව හැරෙන්නට
පොළඟාට හේතුවක් නැහැ.

සතුන්ට අපට මෙන්
ඇත්ත ඇති සැටියෙන් දකින්නට නොහැකි නිසා
ඔවුන් බියෙන් තැතිගත්තාම
තමන් රැකෙන්නට
අනිකා නැති කරන්න සිතනවා.

මිනිසා අතර මේ මානසිකත්වයට
පහසුවෙන් පත්වෙන්නේ
ඉතාම පටු මානසිකත්වයක් ඇති
වඩාත්ම බලයට කෑදර දේශපාලනඥයායි.
දූෂිත පූජකයන් සහ කෑදර වෙළඳුන්ද
බිය සැක නිසා කෙටි මාර්ග සොයනවා.

පොදු මිනිසා තුළ බිය ඇති කරන
ප්‍රධානම හේතුව
ඔහු කොටුවී සිටින සීමාවන්.
මේ සීමාවන් ජය ගැනීමට එකම ක්‍රමය
එකට එක්ව ක්‍රියා කරන
සිහිය සහ උපෙක්ෂාවයි.
සිහියත් උපෙක්ෂාවත් බිඳුණු විට
මිනිසා තම සීමාව රැකගන්නට
ආවේගශීලීව ඉදිරිපත් වෙනවා.

"මම" මිනිසාට ඇති ප්‍රබලම සීමාවයි...
මගේ දරුවන්, මගේ සුරතලුන්,
මගේ යානවාහන, මගේ ගේ දොරඉඩකඩම්...
මගේ කියල මම හිතන හැමදේම
මා වටා මා තනා ගන්නා සීමාවක්,
මගේ රට, මගේ ජාතිය... මගේ ආගම...
සීමාවන් වලට සීමාවක් නෑ.

මේ සීමාවල් වලට කොටු වුණාම
හානියක පෙරනිමිති පෙනෙන කොටම
තමන්ගෙ කියල හිතන දේ රැකගන්න
අනික් හැම සතුන්ටම පොදු
මානසික හා කායික උපාංග වල
පිහිට පතන්න මිනිසාටත් සිදු වෙනවා.

එවන් පදනමක ජීවත්වෙන කෙනෙකුට
බයෙන් සැකෙන් තරහෙන් ජීවත් වීමට සිදුවීම
සාමාන්‍ය දෙයක්...

තමන්ට හානිකරයි කියල හිතෙන
ඕනම දෙයක් ගැන ද්වේශයක් ඇති වීම
මිනිසාට පමණක් සීමා නොවුණ
සියලුම සත්වයන්ට පොදු
ස්වාභාවික කැළඹීමක්.
ඒ කැලඹීම ඇතිවෙන්නෙ
සතුන්ගෙ ආරක්ෂාවටයි.

බය සැක තරහ ආදී
මේ හැම හැඩයක්ම ගන්නෙ
එකම ද්වේශය තමයි.
අනතුරකට මුහුණ දුන්විට
මිනිසාත් සතෙකු මෙන්ම කැළඹීම
පිළිගත හැකි වුවත්
මිනිසාත් සතෙකු මෙන්ම ක්‍රියා කිරීම
මිනිසෙකු ලෙස පිළිගත හැකිද?
කැළඹීමෙන් කම්පා නොවී
අදාළ සියලුදෙනාම රැකෙන මගක්
මිනිසාට සොයාගත නොහැකිද?

මේ සිදුවීමෙ වැදගත්ම දේ
බල්ලාටත් සර්පයාටත් නැති
කාය ශක්තියක්,
මානසික බලයක් හා චිත්ත ශක්තියක් ඇති මිනිසා
බයෙන් අගතියට යෑමයි.
දැන උගත්කම්, බුද්ධි මහිමය ආදී
සියලුම සම්පත් ක්ෂණිකව අතුරුදහන් වී
අර දෙන්නාටම වඩා බියෙන් තැති ගත් මිනිසා
ඔවුන් දෙදෙනාගෙන් එකෙක් අනතුරට වැටී
එකෙකුගේ දිවි තොර වෙන තරමෙ
අසරණ තත්වයකට මිනිසා පත්වීමයි.

සාමාන‍‍ය සත්වයෙක් මෙන් ක්‍රියා නොකොට
මිනිසෙක් මෙන් ක්‍රියා කොට
මේ තිදෙනාම රැකගන්නට
ඔහුට හැකි වුණා නම්
මා මිනිසාට ගරු කරනවා.



20140323

ඉන්දියාවෙ අන්ධ ළමයෙකුගෙ විශ්මිත ගායන හැකියාව



මේ 2013 වසරෙ
ඉන්දියාවෙ හයිද්‍රාබාද් නගරයෙ
පවත්වන ලද වැඩ සටහනක්.
( 1993-2005 අතර වරින් වර ඉන්දියාවෙ ගත කළ
වසර තුන හතරක කාලයෙන්
වැඩිම කාලයක් මම ගත කලේ හයිද්‍රාබාද් නගරයේ.)

පරමේශ්වර රාඕ නමැති මෙම අන්ධ ළමයා
මගේ ජීවිතය තුළ මා දුටු හොඳම ආධුනික ගායකයායි.
මෙවැන්නෙක් පිළිබඳ මා අසාවත් නැහැ.

ඔහුගේ ගීත වල ශාස්ත්‍රීය දක්ෂතාවය
සාමාන්‍ය හැකියාවක් ඇති කෙනෙකුට
පුහුණුවෙන් ලබාගත හැකි හැකියාවක්.

එහෙත් පරමේශ් ඔහුගේ ගීතවලට එක් කරන
ලාලිත්‍යය, ස්වර මාධූර්යය,
හැඟීම සහ සුන්දරත්වය
අනුකරණය කළ හැක්කක් නොවේ.

ඔබ විමසන කෙනෙක් නම්
මේ ආධුනික ගායකයන් තෝරන
වැඩ සටහන බලලා
මේ ගායකයන් සමග
අපේ ආධුනික ගායකයන් සසඳන්න.
මේ විනිසුරු මණ්ඩලය සමග
අපේ විනිසුරු
මණ්ඩලය සසඳන්න.
මේ ප්‍රේක්ෂක මඬුල්ල සමග
අපේ ප්‍රේක්ෂකයන් සසඳන්න.

http://youtu.be/qFP62TVf7IM

ජාති වාදීවෙන්නෙ නැතුව
මේ දෙපිරිසෙන් වැඩිය විමසන්නෙ
කවුද කියල බලන්න.

එක ගීතයක් ගැන
ඔවුන් කතා කරන ප්‍රමාණයත්
එහි ගැඹුරත් මැනගන්න
භාෂාව දැනගතයුතු නැහැ.


http://youtu.be/Hl9Xm8NTLAg?t=20m24s
ඒ වැඩ සටහන කොයිතරම්
චාම්ද කියල බලන්න.
  විනිසුරු මඬුල්ල
ඒ වෙලාවෙම ළමුන්ගෙ වැරදි හදනවා.
අපේ විනිසුරු මඩුලුවල
සංගීතය නොදැන
නම නිසා ඇවිත් උන්න
නොගැලපෙන අය කීදෙනෙක්
ඔබ දැකල තියනවද.

මේ වැඩසටහනේ
මුල් තැනට ආවෙ මේ අන්ධ ගායකයා.
2013දි ඔහු තෝරාගන්න ගීත බලන්න...
ඔහු 100%ට සීයක් හොඳින් ඉදිරිපත් කළා
ඉතාම අමාරු කොටස් ගායනා කළා කියල
අන්ධ ගායකයා වර්ණනා කරන්නෙ
දශක කිහිපයක් තිස්සෙ
මුළු ඉන්දියාවෙත්
ලොව පුරාත් ඉන්න ඉන්දියානුවන් අතරත් වඩාත්ම ජනප්‍රිය
දකුණු ඉන්දියාවෙ ප්‍රධානම ගායකයා එස්. පී. බාලසුබ්‍රමනියම්.

ඒත් ඔහු ඒ වර්ණනාව පිළිගන්නා
නිහතමානී බව බලන්න.
http://youtu.be/Hl9Xm8NTLAg?t=20m24s
 

අනික් සංගීතඥයා
ගීතය පුරාම රස විඳිමින් ඉඳලා
ගීතය හමාරවෙන්නත් කලින් නැගිටලා ඇවිත්
තමන්ගෙ කරේ පැළඳගෙන ඉන්න රන් මාලය ගලවා
අන්ධ ළමයාට උපහාරයක් ලෙස පුදනවා.



මොන ප්‍රසංශා ලැබුණත්
ඒ කිසිවකින් නොසැලී ඉන්න
ඔහුට ඇති හැකියාව
ඔහුගේ ගායන හැකියාව මෙන්ම
විශ්මිතයි..

එය ඔහුගේ ආගමික විශ්වාසය හා
බැඳු ශක්තියක් වීමට
බොහෝ දුරට ඉඩ තියනවා.


http://youtu.be/Hl9Xm8NTLAg?t=20m29s

 දෑස් කුමටද?
-
දෑස් ඇති අයටත්
නොදැනෙන නොහැඟෙන දේකට
අන්ධ ළමයෙකු
මෙතරම් සංවේදී විය හැකිනම්,
ඒ දැනෙන දේ
මෙසේ සම්ප්‍රේෂණය කළ හැකි නම්
දෑස් කුමටද?

මේ හැකියාව ඇතිව
යම් දිවියක උපදින්නට හැකි නම්
දෑස නැතිවාට කම් නැත.

20140321

පශ්චාත් නූතනවාදය යනු කුමක්ද ?


පශ්චාත් නූතනවාදය යනු කුමක්ද
කියල සංවාදයක් මතුවුණ නිසා...
නිර්මාණකරුවන්ගෙ ස්වභාවය
වාද වල ස්වභාවය
වාද වල ඍජු නිර්මාතෘවරු , අහඹු නිර්මාතෘවරු
නූතනවාදය
පශ්චාත් නූතනවාදය
වියරුවෙන් මෙන් ඔවුන් පසුපස යන වාදීන් ආදී කරුණු
චුවින්ගම් එකක වගේ හපලා විසිකරන්න හිතුණා.

මම මේ අවස්ථාවෙදි
පශ්චාත් නූතන වාදය කියල හිතන ලක්ෂණ
මගේ ඉහත ප්‍රකාශයෙත් තියනවා.

මම පශ්චාත් නූතන වාදය කියල කියන්නෙ
සම්ප්‍රදාය මනාව දැනගෙන හෝ
යන්තම් දැනගෙන හෝ කොහෙත්ම නොදැන
හිතාමතා සම්ප්‍රදාය බිඳින
සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරන
අත්තනෝමතික පුද්ගලයන් විසින්
කරන නිර්මාණ වල ලක්ෂණ මත
ගොඩ නැගෙන රටාවක්.

පස්චාත් නූතනවාදයෙහි නිර්මාතෘවරුන්
සම්ප්‍රදාය බින්දෙ යහපත් චේතනාවෙන් විය හැකියි.
පසුව එය
වෙනත් ඕනෑම ආගමක්, වාදයක් මෙන් වල් බිහිවී
වනසතුන් අතට පත්වූවා විය හැකියි.
වාදයක් හැදෙන්නෙ සැබෑ
නිර්මාණකරුවෙක්ම මුල්කරගෙනයි.

නිර්මාණ කරුවන් විවිධයි.
අතුරු නිර්මාණ කරුවන් වර්ග බොහෝ ඇතත්
මූලික වර්ග කිහිපයක් තියනවා.

සහජ හැකියාව මතම නිර්මාණ කරන අය
පහසුවෙන් නිර්මාණ කළත්
ඔවුන්ට අවස්ථාවක් ලද ගමන්ම
හැකියාව මතුවෙනවා.
ඔවුන් ප්‍රතිභාපූර්ණයි.
ඒත් බොහෝ දුර යන්නෙ නැහැ.
නිර්මාණවල එකාකාරී ස්වභාවයක් තියනවා.
නිර්මාණ කල්පැවතුණත්
පුළුල් ක්ෂේත්‍රයක පැතිරෙන්නෙ නැහැ.
ඔවුන්ට එහෙම උවමනාවකුත් නැහැ.
ඔවුන්ගෙ මොළයෙ වැඩියෙන් ක්‍රියා කරන්නෙ දකුණු පැත්තයි.
නැපෝලියන්, කෙනඩි, ශේක්ස්පියර්, චෙකොෆ්, කිශෝර් කුමාර්, රෙහෙමාන්,
දිලිප් කුමාර්, ආශා භෝන්ස්ලේ, කිශෝර් කුමාර, ආර්. ඩී. බර්මාන්, නන්දා මාලනී,
ජෝ අබේවික්‍රම මේ ගණයට වැටෙනවා..

ඔහු නිසි පරිදි ශාස්ත්‍රීය ක්‍රම සහ පුහුණුව ලබමින්
කිසියම් කෘතියක් නිර්මාණය කරන ක්‍රමය සොයාගන්නවා.
ඔවුන් ශාස්ත්‍රීය දැනුමක් මද පමණින් හෝ ලද බවක්
ප්‍රකට වෙන්නේ නැහැ.
ඔවුන්ගෙන් සහජ හැකියාව ඇති තැනැත්තා
අවම ශාස්ත්‍රීය දැනුමකින්
අවශ්‍ය ටික සොයාගන්නවා.
ඔවුන්ට වෙන කරන්න දෙයක් නැහැ.
ඔවුන් උපන්නේ ඒ සඳහාම වගෙයි.
ඔවුන් තර්ක කරනවාට වඩා රසවිඳීමට බරයි.
ඔවුන් ප්‍රතිභාපූර්ණයි.
ඔවුන්ගෙ නිර්මාණ විශ්ලේෂණය කරන්න අපහසුයි.
ඔවුන්ගෙ නිර්මාණවල අව්‍යාජ බවක්, හුරු බවක්,
සාම්‍ය්යක්, ගලායෑමක් දකින්නට ලැබෙනවා.
ඔවුන් ඉපදුණේ ඒ සඳහාම කියල අපිට හිතෙනවා.
ධර්මාශෝක, තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො,
ගෝර්කි, මයිකල් ඇන්ගලෝ, අයින්ස්ටයින්, එඩිසන්,
සත්‍යජිත් රායි, අකිරා කුරොසාවා,
බ්‍රූස් ලී, නෞෂාද්, මොහමඩ් රාෆි, ලතා මංගෙශ්කාර්,
එස්.පී. බාලසුබ්‍රමනියම්, ඉලයරාජා, අමිතාබ් බච්චන්, ආමිර් ඛාන්,
සේකර, අමරදේව, ප්‍රේමකීර්ති, එවැන්නන්.
ඔවුන් නම්‍යශීලීයි.
පහසුවෙන් අවස්ථානුකූලව හැසිරෙනවා.
චණ්ඩාශෝක රජු ඉතාම දරුණු රජෙක් වුණත්
සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ කෙනෙක් හමුවෙ නැමුණා.
ඒ අවස්ථාවට සුදුසු ලෙස හැසුරුණා. ඒ අනුව ජීවත් වුණා.

ඔවුන් මොනවා කළත් නිරායාසයෙන් පහසුවෙන් කරනවා.
ඔවුන්ගෙත් මොළයෙ වැඩියෙන් ක්‍රියා කරන්නෙ දකුණු පැත්තයි.
ඔවුන් රජකම් කළත්,
විද්‍යඥයන් වුණත්,
කලාකරුවන් වුණත් මේ ලක්ෂණ තියනවා.

සහජ හැකියාව අඩු තැනැත්තා
අමතර වෙහෙසක් දරලා
ශාස්ත්‍රීය ක්‍රම සහ පුහුණුව වැඩිපුර ලබමින්
අර මට්ටමට ක්‍රියා කරනවා.
ඔවුන් දිනන්නෙ උත්සාහය නිසා.
පරදින්නෙ කුසීත බව හෝ තිර අරමුණක් නැති නිසා.
ශාස්ත්‍රීය පරිචය මත ඔහු බොහෝ දුර යනවා.
ප්‍රතිභාව දියුණු කරගන්නවා.
ඒත් ඔවුන් තුළ සදාතනික නුහුරු බවක්,
සියුම් ආධුනික බවක් දිගටම දක්නට ලැබෙනවා.
ඔවුන් තර්කානුකූලවත් හිතන නිසා
ඔවුන්ගෙ නිර්මාණ විශ්ලේෂණය කරන්න පහසුයි.
ලින්කන්, ඩාවින්චි, ටොල්ස්ටෝයි, රවිශංකර්, වික්ටර් රත්නායක,
සුනිල් ආරියරත්න

සහජ හැකියාවක් ඉතාම අඩුවෙන් ඇතත්
ශාස්ත්‍රීය පුහුණුව නිසාම නිර්මාණ කරන අය
කොයිතරම් හොඳට කොයිතරම් ලොකු දෙයක් කළත්
ඔවුන් අන් අයගෙ අවධානයට ලක් වෙන්නෙ නැහැ.
බොහෝ විට ඔවුන් හොඳ ගුරුවරුන් වෙනවා.

ඉහත දැක්වෙන ලැයිස්තු අසම්පූර්ණයි.
මා ඇසුරු කළ කෘතීන් හා ඔවුන්ගේ චරිත ගැන ඇති
සාමාන්‍ය අවබෝඅධය මත වර්ගීකරණය කළත්
අපූර්ව අවස්ථාවන්හි ඔවුන් නිර්මාණය කරන සමහර කෘතීන්
වෙනත් වාර්ගික ලක්ෂණත් පෙන්වනවා.

මේ හැමකෙනෙක්ම සාමාන්‍ය මිනිසුන් අතර විශේෂයි.

ඔවුන් වටා පිරිසක් එකතු වෙනවා.
ඒ පිරිස සංවිධානය වී කල්ලිගැහෙනවා.
ඒ පිරිසත් විවිධයි.
රසිකයන්, අනුගාමිකයන්, ශිෂ්‍යයන්, ගෝලයන්, ආධාරකරුවන්,
හෙංචයියන්, එහෙයියන්, පන්දම් කරුවන්,
ප්‍රශස්ති ගායකයන් ආදී වශයෙන්
කූඩැල්ලන් මෙන් ඔවුන්ගෙන් යමක් ලබන අය
ඔවුන් වටා රොක්වෙනවා.

මේ එක්වෙන පිරිස තුළ හිස් එහෙයියන් මෙන්ම
පක්ෂපාතී අනුකාරකයින් පිරිසකුත් බිහි වෙනවා.
ඒ අනුකාරක පිරිස යම් පමණකට වර්ධනය වුණාම
ඔවුන් වටා සම්ප්‍රදායක් ගොඩ නැගෙනවා.
ඒ සම්ප්‍රදාය තවත් පැතිරෙන කොට
විචාරකයන් ඔවුන් වර්ගීකරණයකට ලක් කිරීමෙන්
වාදයක් ගොඩ නැගෙනවා.

අතීතයේ නිර්මාණ කරුවන් ආවේ
දෙමව්පියන්ගෙන් දරුවන්ට වශයෙන්
පරම්පරාවෙන් පරම්පරාවටයි.
සහජ හැකියාවෙන් යුත් අය නිසා
පරම්පරාවෙන් පැවතෙන අය ශිල්පීන් ලෙසත්
සහජ හැකියාවන් ඇත්තන්
කලාකරුවන් ලෙසත් වැඩුණා.

පසුකාලීනව ලොව පුළුල්වෙනවිට
පාරම්පරික ශිල්පීන්ගේ දරුවන්
වෙනත් කාර්යයන් සඳහා යොමුවෙද්දී
සහජ හැකියාව ඇත්තන්
ශිල්පීන් වෙත යොමුවුණා.
කිසියම් ක්ශේත්‍රයක කැපී පෙනෙන පුනරුදයක් ඇතිවන්නේ
මේ පිරිස් දෙක එක්වීමත් සමගයි.

බුදුන් වහන්සේ මේ සඳහා ඇති හොඳම නිදසුනයි.
රජ පවුලක කුමරෙක් ලෙස ස්දුහත් කුමරුන්
බමුණන්ගෙන් වේද හා ශාස්ත්‍රත්,
ශිල්පීන්ගෙන් ශිල්පීය තාක්ෂණත්,
යෝගීන්ගෙන් සමථ භාවනා ක්‍රමත් හදාරා,
සහජයෙන් ගෙනා ශක්තියෙන්
විදසුන සොයාගත්තා.

චිත්‍ර කලාවට ඩාවින්චිලාත් යුගයත්
විද්‍යාවට අයින්ස්ටයින් යුගය
සාහිත්යයට ශේක්ස්පියර් යුගය
ටොල්ස්ටෝයි යුගය ආදී වශයෙන්
පුනරුදයක් ඇතිවෙනවා.

පසු කාලීනව සහජ හැකියාව ඇත්තන්
ශිල්පීන් ඇසුර නොලබා හිතුමතේ නිර්මාණ කරනවා.
ඒත් ඔවුන්ගේ නිර්මාණවල සංයමයක් තියනවා.

ශාස්තරයක් විදියට ගොඩ නැගිය නොහැකි
කිසියම් ශිල්පීය උපක්‍රම රැසක් මත
වාදයක් ගොඩ නැගෙනවා.
එසේ නැත්නම්
ශිල්පීය ක්‍රමයක් නැති තර්කානුකූල දැනුමක් මත් හෝ
මිනිසුන්ට පහසුවෙන් යොමුවිය නොහැකි
ශිල්පීය ක්‍රම නිසා වාද ගොඩ නැගෙනවා.
බොහෝ විට වාද ගොඩ නගන්නේ
කෘති පිළිබාඳ අත්දැකීමෙන් තොර
ගොඩ ඉඳන් පීනන පිරිසක් විසින්.
ඔබ කිසියම් වාදයක් අනුගමනය කරනවා නම්
ඔබ ඒ වාදයට අනුව ජීවත්වූ එක මොතක් හෝ
ඔබේ ජීවිතය තුළ ඇත්දැයි සිතා බලන්න.
එසේ නොකරණ කෙනෙක් නම්
ඔබ ඊට පටහැනිව ජීවත් වෙනවා නම්
ඔබ වක්‍රාකාරයෙන් එම වාදය විනාශ කරන කෙනෙක්.

වාදයක් ලොවට සාපයක් වෙන්නෙ
කිසියම් වාදයක් හදාරමින්
ඒ වාදයට අනුව ගිරවුන් මෙන් හිතන්න, කතා කරන්න,
තමන්ගෙ වාදිත්වය පෙන්වන්න විවාද ඇතිකරගන්නා
පුස්සන් පිරිස නිසයි.

ඔවුන් නිසා වාදයට මුල් වූ
හරවත් චින්තනයෙන් මිනිසා ඈත් වෙනවා.
බොහෝ විට එක් යුගයක බිහිවෙන වාද
වෙනත් වාදයකට අනුපූර්ව ලෙස පදනම් වෙනවා.

හැම වාදයක්ම නිර්මාණ ශීලී නැහැ.
වාදයක් හුවා දක්වන පුස්සන්
මොන ප්‍රශස්ති ගැයුවත්
වාදයක් සම්භාව‍ය හෝ නිවැරදි වන්නෙත් නැහැ.
නිර්මාණකරණයට අතවත් තබා නැති පුස්සන්
නිර්මාණකරණය පිළිබඳ වාද වෙනුවෙන්
දිවි හිමියෙන් ඉදිරිපත්වීමම
වාදයක ඇති නිරර්ථකභාවය
පැහැදිලිව පෙන්නුම් කරන්නක්.
ආගමට එරෙහිව ජීවත් වෙන දූශිත පූජකයන්
ආගම රකින්නට පෙරට ඒමත් එවැන්නක්.

නූතනවාදයට වැටෙන කෘති ගොඩ නැගෙන්නෙ
ශාස්ත්‍රීය රීති පසෙකට දමමින්
සම්ප්‍රදායෙන් පරිබාහිරව නැවුම් යමක් කරන්න උත්සාහ කරන
සම්ප්‍රදාය හෙළා නොදකින පිරිසක් විසින්.
ඔවුන් විද්‍යාත්මකව හිතන්න පුරුදු වෙන ලෝකයට
ගැලපෙන ලෙස හීතන්න උත්සාහ කළ
ගවේශකයන් පිරිසක්.
නූතනවාදයෙ සැබෑ නිර්මාණකරුවන්
ශාස්ත්‍රීය දැනුම ඇති අය නිසා
එයින් ලද ආභාෂය මත
ඔවුන්ගෙ නිර්මාණවල
මිනිසාට ප්‍රතික්ෂේප කළ නොහැකි
ශාස්ත්‍රීය ලක්ෂණ දක්නට ලැබුණා.
පසුව නූතනවාදී කෘති කියා
විකාර නිර්මාණය කරන්නට යොමුවෙන
හිස් මිනිසුන් රැසක් බිහිවුණා.

පශ්චාත් නූතන වාදය ගොඩ නැගෙන්නෙ
සම්ප්‍රදායට ඍජුවම පහර දෙන නිර්මාණ කරුවන් විසින්.,
ඔවුන්ගේ ප්‍රධාන අරමුණ සම්ප්‍රදාය බිඳීමයි.
ඒ අනුව තවත් සම්ප්‍රදායක් බිහිවෙනවා.
දර්ශන හෙළා දකින තවත් දර්ශනයක්...
වාද හෙළා දකින තවත් වාදයක්...

කෙසේ වුවත් වාදවලින්
අවසානයෙදි වෙන්නෙ
දක්ෂයන් මෙන් තමන් හුවා දක්වන
අධික මාන්නයෙන් යුතු
නිර්මාණකරණයෙහි අදක්ෂ පිරිසක්
ඔවුන්ගේ කෘති ජනතාවගේ හිස් තුළට
බලෙන් ඔබ්බන්නට යොමුවීම සහ
ඔවුන් මෙන් හිතන එහෙයියන් පිරිසක්
ඔවුන් කරතබාගෙන යෑමයි..

වාදයකින් ප්‍රයෝජන ගත හැකි
සීමිත දක්ෂතා සහිත
අවංක නිර්මාණකරුවන් අතලොස්සක් සිටිය හැකියි.
අබ්බගාතයෙකුට කිහිලිකරු අවශ්‍යයි.
ඒත් සහජයෙන්ම නිර්මාණශීලී කෙනෙක්
වාදයක සරණ පැතීම
ඔහුට බාධකයක් වෙනවා.

නිර්මාණකරණය අරමුණුකර නොගත් වාද නිසා
සහජ හැකියාව ඇත්තන් පවා නොමග යනවා.
ඇවිදින්නට හැකි අයත්
අබ්බාගාතයින් සඳහාම නිර්මාණය වූ
වාද නමැති කිහිලිකරු භාවිතා කොට
ගමන ව්කෘති කරගන්නවා.

කිසිදු වාදයකට යට නොවී
ශාස්ත්‍රත්, සම්ප්‍රදායත්, අන් සියලු වාදත් අවශ්‍ය පමණට හදාරා
ස්වාධීනව හෝ ශාස්ත්‍රානුකූලව නිර්මාණයෙහි යෙදීම
නිර්මාණශීලී ජීවිතයකට ප්‍රමාණවත්.

මා මෙහි සාරාංශ ගතකොට දක්වා ඇත්තේ
ඉතා විශාල පරාසයක්.
හිතට එකඟ නැති කිසිවක් අන්ධ භක්තියෙන් පිළි නොගන්න.
මේ කිසියම් දිශාවක් ආනතියක් පෙන්වන
ඉඟියක් පමණයි.
ඔබම සොයා දැනගත යුතුදේ බොහොමයි.

සිහියෙන් විමසා බලන්න.
අඩුලුහුඬුතැන් පුරවා ගන්න.
වැරදි යයි ඔබ හිතන තැන් පෙන්වා දෙන්න.

සංවාදයට විවෘතයි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ කොතනින්ද?


.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ
සම්මා වායාමයෙන්..
නියම විදියට ගමන ආරම්භ වෙන්නෙ
සම්මා සතියෙන්, සම්මා සමාධිය වැඩෙන්න පටන් ගැනීමෙන්,,

ආර්ය අෂ්ඨාංගික මාර්ගය 
අනුගමනය කළ යුත්තේ
සෝවාන් වූ පසුව කියන්නෙ
අතනින් මෙතනින් කෑලි මූට්ටු කරලා
හදාගත්ත තර්කයක්..
තමන්ගෙ ගෝලයන්
විදර්ශනා වැඩීමෙන් මුදවා ගන්න
කයිරාටික ගුරුවරු හදාගත්ත උගුළක්.

එහෙම දෙයක් තියනවා නම්
බුදුන් වහන්සෙ පැහැදිලිව කියනවා
ආර්ය අශ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ
සෝවාන් වූ තැනින් කියලා.

සෝවාන් වීම
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙ 
එක් කඩඉමක් විතරයි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ
සම්මා වායාමයෙන්..

තමන් ගැන සිහියත්..
සිහියෙන් දකින දේට උපේක්ෂාවත්
එක් අසුරු සැණකට හෝ වඩන්න
උත්සාහ කරන දවස තමයි
කෙනෙක් සම්මා වායාමයට වැටෙන දවස..

සම්මා වායාමයෙ විස්තර වෙන
උපන් නූපන් කුසල් අකුසල් මොනවාද?


සම්මා වායාම
අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය
ඡන්දං ජනේති වායමති,
විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති,
උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය
ඡන්දං ජනේති වායමති විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති.

කුසල් අකුසල් රැස්වෙන ආකාර දෙක

බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ
සඳහන් කරනවා.


මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.
ඒ පහ කුමක්ද?
කාමච්ඡුන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.
----------------------------------------------------------
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

කවර වූ සතරෙක්ද?
1, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.

20140311

අත්දුටුවයි සත්තයි! දුක හා දොම්නස සංසිඳෙනවා.



දුක් විඳින කෙනෙක්
දුකෙන් මිදෙන්න කරන්නෙ
සතුට සෙවීමයි.

සතුටු වෙන්න සොයා ගත් දේ
වෙනස් වෙන කොට
නැවත ඔහු දුක් විඳින්නට පටන් ගන්නවා.

නැවත සතුට සොයනවා.

දුකත් සතුටත් අතර දෝලනය වෙමින්
දිවිය පුරාම ඔහු දුක් විඳිනවා.

දුකෙන් ක්ෂණිකවම මිදෙන මග
ඒ මොහොත තුළම තියනවා.

දුක කියන්නෙ කායික දුකක්
හා මානසික දොම්නසක්.
කායික හා මානසික වෙනසක්.

ඒ වෙනස හඳුනාගෙන
ඒ වෙනසට උපේක්ෂාවෙන් ඉන්න පුළුවනි නම්
දුක සංසිඳෙනවා.

දුකක්, වේදනාවක්, දොම්නසක්, තරහක් ආවම
ඔබ තුළ තියන වෙනස හඳුනාගන්න.

ඒ වෙනස වෙනස් වෙන හැටි දකින්න.

ඒ වෙනසට උපේක්ෂාවෙන් ඉන්න.

දුක හා දොම්නස සංසිඳෙනවා.

20140310

අප්‍රාණික අගුලක වුණත් හැඟීමක් දැනෙනවා නම්




රජරට රැජින දුම්රියෙ එද්දි
මගේ පුතා පෙන්වපු දසුනක් මේ .
මම ඒ විශ්මය තීව්‍ර කරන්න උත්සාහ කලා.

  • දර්ශ රණවක wow.. looking animation art...'
  • දර්ශ රණවක I like this.. he telling something ...
  • Dinusha Deshapriya Samaratunga wonder how you child view's creativity...
  • Sharmane Warnakulasuriya wow.. yr son is so creative....
  • Lakindu Amendra wow pattai appa...
  • Dilhan Maduranga This is something we can call "අපූර්ව"
  • -Chandana Liyana Arachchi- ඇත්තටම අපුරුයි
  • Janith C Pemasundara සර්ට වගේම පුතාටත් හොද ඇහැක් තියෙන බව පේනවා
  • Gihan Harshana අපේ වචනයෙන් කියනවනමි.........පට්ට
  • Kaveen Manishka Kariyawasam දැක්ක ගමන් මට මතක් උනේ මේක!
  • Kaveen Manishka Kariyawasam මට මතක් උනේ මළගිය ඇත්තෝ පොතේ එක තැනක කියන්නේ ජපානේ මිනිස්සු හිත්පිත් නැති යන්ත්‍ර පවා සායම් කර විසිතුරු කර ඒවාට ජීවයක් එක් කරනවා කියන කොටස......
  • Kaveen Manishka Kariyawasam ඒ වගේම මතක් උනා කලින් වතාවක් ඔබතුමා සමුහයකට පළකරපු මේ වගේම දෘඩ වස්තුවක සුන්දරත්වය පිලිබඳ චයාරුපය
  • Sriyantha De Silva Aramuna nam apoorui.pht ekat tikak balance wnanam ???
  • Athula Siriwardhane .
    පුතා මේ මුහුණු සොයන්න පටන් ගත්තෙ
    ඒ ඡායාරූපයෙන් පසුවයි.. කවීන්..
  • Athula Siriwardhane .
    Sriyantha.
    ඡයාරූපයක් සමබර කරද්දි

    ඇහැට සුවයක් වෙන විදියට
    ස්ථානගත කරන්නයි
    බොහෝ අය පෙළඹෙන්නෙ.

    ඒත් ඡායාරූපයක් දැනෙන්නෙ
    හැඟීමක් ඇතිවෙන ආතතියක්
    හිතා මතාම ඇති කිරීමෙන්..

    හැඟීම විඳිනවා නම්
    රාමුව හරි..
  • Udesh Kotuwegedara අපූරු දැක්මක්...
  • Nimalsiri Jayasena athula...hariyatama hari
  • Nadun Akalanka පට්ට
  • Lakindu Amendra kamak na neda mn meka mage 4n eke lock screen ekata dammata? eka niyameta match wenawa...
  • Athula Siriwardhane .Thanks...
    අන්තර්ජාලයෙ පළ කරන දේවල් පස්සෙ
    මම එළවන්නෙ නැහැ.

    මම එක තැනක දාන එකක්
    වෙනත් අය විසින්
    තව දෙතුන් තැනක පළ කිරීම
    අගය කිරීමක් කියලයි මම දකින්නෙ.
  • Sajith Fernando හරි අපූරුයි
    පණ තියෙනවා
  • Lakindu Amendra ඇත්තමයි. මේක හරිම ලස්සන පින්තූරයක්. මං ඒකයි මගෙ 4n එකේ lock screeen එකට දාන්නද කියල ඔයාගෙන් ඇහුවෙ. කලාකරුවෙක් සතු දෙයක් අනවසරයෙන් ගන්න එක හරි මදි කියල මට හිතුනා.
  • Athula Siriwardhane .
    750+ ලයික් දමපු
    හැම කෙනෙකුටම

    ස්තූතිවන්ත වෙනවා..
    පුතා වෙනුවෙනුත්...

  • Ishan Anushka Herath next cover photo
  • AV Hertz wow.. awsome feeling
  • Athula Siriwardhane .
    මට මේ ප්‍රතිචාරය අදහන්නත් අමාරුයි..
    සාමාන්‍යයෙන් මගේ ඡායාරූපයකට

    ලයික් වැටෙන්නෙ උපරිම 30ක් 40ක්...
    නිතර ස්තූති කරල
    ඡායාරූපය උඩට ගැනීමත්
    මම කරන්නෙ නැහැ.
    කෘතඥතාවය දැණුනත්
    මම ස්තූති කිරීමෙන් වළකින්නෙත්
    ඒ හේතුව නිසයි.
    ඉතාම කලාතුරකින්
    ලයික් 100ක් ඉක්මවල තියෙනවා.
    200ක් දක්වා ගිය බවක් මතක නැහැ.
    පැය 3ක් ඇතුළත් 500 ඉක්මවා යාම
    කොහොම සිදු වුණාද කියල
    හිතන්න අමාරුයි.

    සැබෑ මුහුණක හැඟීමක අපි දකින
    හැඟීම් නිරූපණයකදි මතුවෙන
    පොදු ලක්ෂණ සහිත
    හැඩතල කීපයක් මෙහි තියනවා.

    අප තුළ හැඟීමක් ජනිත කරන්නෙ
    අපේ විඥාණය තුළ සටහන් වුණ
    ඒ පොදු ලක්ෂණයි.

    මිනිසුන්ගේ හෝ සතුන්ගේ
    ඡායාරූපවල වුණත් අපි විඳින්නෙ
    මේ ලක්ෂණම තමයි.

    මම පුද්ගලිකව කැමතියි
    මෙවැනි අජීවී වස්තූන්ට
    ජීවයක් කවන්න.

    අපි නිතර දකින මානයෙන් මිදිලා
    නව මානයකින් දකින මෙවැනි ඡායාරූප
    අපි ගන්න අනික් ඡායාරූප වලටත්
    අපූර්වත්වයක් එක් කරන්න
    හේතු වෙන්න පුලුවන්.

    මෙවැනි අජීවී වස්තුවක හැඟීම් දකින්න
    අපි පුරුදු වුණොත්
    මිනිසුන් සහ සතුන්ගෙ
    සියුම් හැඟීම්වලට පවා
    සංවේදී වීම පහසු වෙයි.

    ඉතින්,
    මේ අගය කිරීමෙදි,
    ඔබේ රසඥතාවයට යමක් එක්වුණා නම්
    ඔබේ අගය කිරීම සම්පූර්ණයි.
    අපේ ගනුදෙනුව සම්පූර්ණයි.

    ඔබට නැවත වරක් ස්තූතියි.
  • Sajith Fernando සමහරවිට මේ වගේ සමූහ ගැන ඔබගේ තිබුනු යම් ආකල්ප වැරදි වෙන්න පුළුවන්...
  • Athula Siriwardhane .
    මේ සමූහ ගැන
    වැරදි හෝ නිවැරදි ආකල්ප

    ඇතිකරගන්න බැහැ සජිත්...

    මේ සමූහ දවසින් දවස වෙනස් වෙනවා.

    අපේ ආකල්පත්
    බිල්ඩින්ග් බ්ලොක් සෙට් එකක් වගේ
    දවසින් දවස අලුතෙන් හිතමින්
    ඒ වෙනස්වෙන ආකාරයට
    අලුතෙන් හදාගන්නවා නම්
    හිත කැළඹෙන්නෙ නැතුව ඉන්න පුලුවන්..
  • Sajith Fernando එහෙමනම් මම සාර්ථකයි
  • Athula Siriwardhane . ඒ කොහොමද?
  • Sajith Fernando මම කැළඹෙන්නේ නැහැ
  • Athula Siriwardhane .
    හිතේ තරහක් දුකක් තියෙද්දිත්
    කැළඹෙන්නෙ නැතුව ඉන්න පුලුවන්ද?
  • Sajith Fernando කැළඹුන අවස්ථා ඇත්තේම නැහැ කියන්න බැහැ.
    මම අවසන්වතාවට කැළඹුනේ ඔබගේ ප්‍රකාෂයක් නිසා.
  • Athula Siriwardhane .
    එහෙනම් මගේ ප්‍රකාශය සාර්ථකයි..
  • Sajith Fernando කෙනෙක්ගේ ප්‍රකාෂය මුළුමනින්ම අසාර්ථක වුනත් තව කෙනෙක් කැළඹෙන්න පුළුවන්
  • Athula Siriwardhane .
    ඒ කියන්නෙ කැළඹීම
    ප්‍රකාශයට සාපේක්ෂ නෑ කියන එකද...
  • Sajith Fernando ප්‍රකාෂය අතිශයින් අසාර්ථකයි
    පේන්න තියෙන දෙයක් ගැන
    ඇති කරගත් වැරදි වැටහීමක් ඒක

    කැළඹීම අතිශය තාවකාලිකයි
    මිනිත්තු කීපයක් පමණ
  • Athula Siriwardhane .
    මොකක්ද ප්‍රකාශය?
  • Sajith Fernando අමතක කලා
  • Athula Siriwardhane .
    කැළඹීම ඔබේ වගකීමක්..
    ප්‍රකාශය වැරදි නම්

    දැනගන්න වටිනවා...
  • Sanjeewa Marasinghe 889 likes .. damn... U deserve a medal
  • Athula Siriwardhane .
    They deserve the prize.. not me Sanjeewa..
  • Charith Gunarathna මේ photo එක සුපිරිම එකක්. මන් ගොඩක් ආසයි. Urban Decay
  • Sajith Fernando මතක තියාගත්තා නම් තවම කැළඹිලා
    මම මොකටද ලේ පුච්චගන්නේ
    ඔබගේ හෝ ගිම්හාන මහත්මයාගේ වෝල් එකේ තිබුනා වගේ මතකයි
  • Athula Siriwardhane .
    ඔබේ ක්‍රමයත් සාමාන්‍ය ක්‍රමයමයි..
    මම හිතුවා වැරදියි..
  • Sajith Fernando නැහැ මම මුළු මනින්ම අමතක කලා
    ඒත් කැළඹීම ගැන විමසූ නිසා මම මතක් කලා අවසන් වරට කැළඹුනේ කවදද කියලා.
    සිද්ධිය මතක නැහැ

    නමුත් කැළඹුනා මතකයි
    පිළිතුරු දෙන්න තරම්වත් වෙලාවක් කැළඹීම හිතේ තියාගත්තේ නැහැ
    ඔබට මා ගැන කැමති විදිහකට තේරුම් ගන්න පුළුවන්
  • Athula Siriwardhane .
    සජිත්,
    ප්‍රතිචාර දක්වන

    පොදු ක්‍රම තුනක් තියනවා...
    1 කැමතිවෙනවා.
    2, අකමැති වෙනවා..
    3, නොසලකා හරිනවා.

    හතරවැනි ක්‍රමයකුත් තියනවා.
    ඔබ දරන වගකීම් අනුව
    ඔබ හතරවැනි ක්‍රමය සොයා ගත යුතුයි..
    ඉහත ක්‍රම තුන
    ඔබේ වගකීම් අනුව
    ඔබට ගැලපෙන්නේ නැහැ..
  • Athula Siriwardhane .
    සිද්ධිය අමතක කළාට
    පිච්චුණ ලේ තවම තියනවා.

    සිද්ධිය මතක තියෙද්දි
    ලේ පිච්චෙන්නෙ නැතිව ඉන්න
    හතරවෙනි ක්‍රමයට පුලුවන්..
  • Sajith Fernando ඔබ හිතනවා ඇති මම මතක තියාගෙන ඉන්නවා කියලා
    සිද්ධිය අමතක වුනත්
    එහෙම නම් මේ ප්‍රතිචාරය වෙනස් වෙන්න තිබුනා

    මම මේ ප්‍රතිචාර දක්වන්නේ සිදුවීමක් නොවුන ගානට
    මගේ හිතේ ඔබ ගැන කලකිරීමක්වත්
    ඔබ ගැන කැළඹීමක්වත් නැහැ
  • Dileepa Wattegama පින්තූරු ගන්න හෑම කෙනෙක්ට හෑම අතින්ම මෙ පින්තූරෙ හොඳ ආදර්ශයක්, තාක්ෂයනය, කලාව, වර්න, හෑඩතල, ස්තානගත කිරීම, මේ හෑමදෙයක් ගෑනම හිතන්න පුලුවන් සරල පින්තූරයක් මේක. අපි නොදකින අපේ වට පිටවේ සුන්දරත්වය සොයන්න අපිව උනන්දු කරවන පින්තූරයක් මේක. හරිම අගෙයි අතුල සර්.....
  • Dileepa Wattegama ඒ වගේම මෙහි ඈති එකම දෝශය වන්නේ නිවෑරදිව නාභිගත නොවීමයි... එය පින්තූරය රස විඳින්ට කොතරම් බදාවක්ද යන්න බලන ප්‍රේක්ෂකයගේ දෘෂ්ටියට අනුව තීරනය වේ....
  • Athula Siriwardhane ප්‍රේක්ෂකයගේ දෘෂ්ටියට අනුව... ow Dileepa
  • Athula Siriwardhane .http://ridmasankalana.blogspot.com/2013/05/19.html
    නිදහසට කරුණක් නොවෙයි දිලීප..
    ...See More

  • Athula Siriwardhane .
    අප්‍රාණික අගුලක වුණත්
    හැඟීමක් දැනෙනවා නම්
    විඳින්න කැමති බව...
    නැවත වරක් තහවුරු කරමින්
    පැය විසි හතරක් තුළ 1000+ ලයික් දමපු
    හැම කෙනෙකුටම නැවත ස්තූතිවන්ත වෙනවා..
    පුතා වෙනුවෙනුත්.......