20131120

ආත්ම දෘශ්ඨිය කුමක්ද



ආත්ම දෘශ්ඨිය කුමක්ද කියා
කෙනෙක් ඇහුවා..

ආත්ම දෘශ්ඨිය + සක්කාය දිට්ඨිය

මට දැනෙන විදියට
සරලව කියන්න පුලුවන්...
මේක වචන මාත්‍රයෙන් දැනගත්තට
සක්කාය දිට්ඨිය අඩුවෙන්නෙ නම් නෑ.

අපි හිතමු,
ගහකට "ගහ මමයි" කියල හිතුණාම
වෙන්න පුලුවන් දේවල් කිහිපයක්..

ඉන් පස්සෙ ගහ සුළඟට වැනෙනකොට
ගහ හිතනවා මේ වැනෙන්නෙ මමයි කියලා.
ගහ ඒ සුළඟ නිස්සා දැනෙන දේ
ප්‍රිය නම් ගහ හිතනවා
මේ සුළඟට කැමති ගහ තමන් කියලා.
ඒ සුළඟ හමල අවසාන වුණාම
ගහ තැවෙන්න පටන් ගන්නවා
නැවත සුළඟක් හමන තුරු.

අලුතෙන් දලු දාන කොට
මල් හැදෙන කොට, ගෙඩි හැදෙන කොට
ඒ දේවල් තමන්ගෙ කියලා ගහ හිතනවා.

ඒත් අපි දන්නවා
ජලය වාතය ලවණ වර්ග ආදී
සාධක රැසක් නිසා ඇතිවෙන ප්‍රතිඵල
ගහ කරන දෙයක් නෙමෙයි කියලා.

සතෙක් වුණත්..
බඩගිනි වුණාම ආහාර සොයා යනවා..
පිපාසයට ජලය සොයා යනවා.
කාමාශාවට සමහන් වෙනවා.
ශරීරයට ඇතිවෙන උවමනාවල්
සතා ඇතිකර ගන්න දේවල් නෙමෙයි.
සතාගෙ ශාරීරික අවශ්‍යතා විතරයි.

සතෙක් වුණත්
සමහර රස ප්‍රිය කරනවා.
සමහර රස අප්‍රිය කරනවා.
ඒක් උගේ ස්වභාවයක් විනා
ඌ උවමනාවෙන් කරන දෙයක් නෙමෙයි.

මිනිසා සංකීර්ණයි.
මිනිසා වුණත්
තමන්ගෙ කය සහ කායික අවශ්‍යතා
තමන්ගෙ කියල හිතනවා.
ඒ අවශ්‍යතා සපුරා ගනිද්ඩි
ඒ අත්දැකීම වල ප්‍රිය අප්‍රියතා අනුව
සැලසුම් හදනවා.

මොන තරම් සංකීර්ණ සැලසුම් හැදුවත්
ඔහුගෙ සැලසුම් සියල්ලටම පාදක වෙන්නෙ
ශරීරයට ප්‍රිය දේවැඩි වැඩියෙන් ලබා ගැනීමත්..
අප්‍රිය දේ මග හැරීමත් විතරයි.

මේ ව්දියට කයට දැනෙන දේ අනුව
කය තමන් කියල හිතන එකයි,
සක්කාය දිට්ඨිය.

විපස්සනා වඩන කෙනෙක්
කයත් වේදනාත් සිහියෙන් දකිමින්
කය වෙනස් වෙද්දි
පුරුදු විදියට ප්‍රතික්‍රියා නොකර
උපේක්ෂාවෙන් ඉන්න විට
කය තමන් නොවන බව
අත්දැකීමෙන් වැටහෙන්න පටන් ගන්නවා.
ඒ වැටහීම ඒ මොහොතට තමයි.
ඒත් ඒ ප්‍රඥාව
සාමාන්‍ය ජීවිතයටත් කාන්දු වෙනවා.
ඔහු කෙමෙන් කෙමෙන්
කයට ඇති වහල් බවෙන් මිදෙනවා.
කය නිසා විඳින
දුක් වලින් මිදෙන්න පටන් ගන්නවා.