20160314

මිනිස් මොළයේ විද්‍යාත්මක වම සහ කලාත්මක දකුණ...




මිනිස් මොළයෙ වම්පැත්තත් දකුණු පැත්තත්
එකිනෙකට බෙහෙවින් වෙනස් ආකාරයට ක්‍රියා කරන බව
අද සොයාගෙන තියනවා.
වම්පැත්ත විද්‍යාත්මකයි, යාන්ත්‍රිකයි, පුරුෂ ගුණිකයි.
දකුණ කලාත්මකයි. ස්ත්‍රී ගුණිකයි.

වම තාර්කිකයි, සමාජවාදීයි, පාක්ෂිකයි,
ඔත්තෙ සංඛ්‍යාත්මකයි...
එකාකාරී තාලයක් තියනවා.
විච්ඡදනය කරමින් ඛණ්ඩනය කරමින්
වර්ග කරනවා.
වතුර අයිස් ජලවාෂ්ප
වර්ග තුනක් විදියට දකිනවා.
ඒ විදියට සලකනවා.
විද්‍යාවෙදි මේ ගුණය ප්‍රකටයි.

දකුණ අතාර්කිකයි. ඉරත්තෙ සංඛ්‍යාත්මකයි..
කාරුණිකයි, අපක්ෂපාතීයි,
තාලයට වඩා රිද්මයක් තියෙන්නෙ.
සියලු කොටස් එකම දේක අංග විදියට
සම්බන්ධ කරමින් බලනවා.
වතුර අයිස් ජලවාෂ්ප
එක වර්ගයක ප්‍රභේද විදියට දකිනවා.
දෙවිදියටම සලකනවා.
කලාවෙදි මේ ගුණය අත්‍යාවශ්‍යයි.

හිරු, දහවල, ආලෝකය වමට බරයි.
සඳු, රාත්‍රිය, අඳුර දකුණට බරයි.

සියල්ලම මේ ආකාරයෙන් බෙදෙනවා.
හැම කෙනෙක් තුළම මේ දෙපැත්ත
එක් පසකට බරව පවතිනවා.
සමබර කර ගැනීමේ අභියෝගය
හැම කෙනෙක් ඉදිරියෙම තියනවා.

මොළයේ දෙපසම සමබර කරගත් සහ
සමබර කරගන්නා ක්‍රමය කියා දුන්
උත්තර මනුෂ්‍යයා බුදුන් වහන්සේයි.
බුදු දහමෙන් පුහුණු කරන සම්පජානෝ සතිය මගින්
සම්පූර්ණ මොළය සහ ස්නායු පද්ධතිය
භාවිතා කරන්නට මග සකස් කරනවා.

දක්ෂ විද්‍යාඥයන් වමට බරයි.
ඒත් ඔවුන් අතර ලෝක පූජිත වෙන්නෙ
දකුණෙ ස්වභාවය මිශ්‍ර වුණ අයින්ස්ටයින්
නිර්මාණාත්මක හැකියාව තිබුණ එඩිසන් වැනි අයයි.

කලාකරුවන් බිහිවෙන්නෙ දකුණෙන්.
ඒත් ඔවුන් අතර ලෝක පූජිත වෙන්නෙ
ඩාවින්චි, ටොල්ස්ටෝයි, තාගෝර් වැනි
වම් පැත්තත් මිශ්‍ර වූ අයයි.

ලංකාවෙ නිර්මාණකරුවන් අතුරෙන්
මාර්ටින් වික්‍රමසිංහ වැඩිපුර වමට බර කෙනෙක්..
ඔහුගෙ නිර්මාණ වල තර්කනය තියනවා.
සරච්චන්ද්‍ර මාර්ටින් වික්‍රමසිංහ ළඟින් ඇසුරු කළා.
ඒත් ඔහු ඊට වඩා දකුණට බරයි.
ඔහු නිර්මානය කළ දෙවෙන්දොරා සං
මොළේ දකුණු පැත්තෙ ප්‍රතිමූර්තියක්.
නොරිකො ස්ත්‍රියක් ලෙස දකුණට බර නමුත්
වම භාවිතා කොට ප්‍රශ්න ඇති කළා.

"පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ"
සිංහබාහු වදන් තුළ තර්කනය
කලාත්මකව සැඟවී තියනවා.

සේකර තුළ මේ දෙපැත්ත
වෙන්කරන්න නොහැකි තරමෙ
හොඳ සමබරතාවයකින් තිබුණා.
ප්‍රේමකීර්ති දකුණට බර වුණත්
සියුම් ලෙස වම්පැත්ත භාවිතා කළ කෙනෙක්.

වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය...
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට...

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල..
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...

සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට...
ගළන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්.

සුනිල් ආරියරත්න වමට බර කෙනෙක්.
මහාචාර්ය පදවිය සමග ඔහු වමටම කොටුවුණා.
නිර්මාණ උල්පත හිඳුණා.

ගාමිණී ෆොන්සේකා වම භාවිතා කරමින්
දකුණ නිදහස් කරගත් කෙනෙක්.
ජෝ දකුණට බරයි.
ජෝ තුළත් ප්‍රේමකීර්තිගේ මෙන් සියුම්ව
වම හොඳින් ක්‍රියා කළා.

රත්න ශ්‍රීත් වමට බර, තාර්කිකව, පාක්ෂිකව
සමාජවාදීව ලොව දිහා බලන කෙනෙක්.
දකුණ දුර්වලවීම ඔහුගෙ නිර්මාණ හැකියාවට
විශාල බාධාවක්.

සැබෑ කලාකරුවාත් , විද්‍යාඥයාත් දෙදෙනාම
මිනිස් වර්ගයාගෙන් කොටසක් තෝරාගත්තේ නෑ..
ඔවුන් වින්දිතයාට මෙන්ම වරද කරන්නාටත්
කරුණාව දැක්වුවා.

හිරිමල් යොවුන් වියේදි
දක්ෂ ලේඛන හැකියාවක් පෙන්වූ
මගේ එක් කාලයක මිතුරෙක් සමග
මම රූපවාහිනිය නැරඹුවා.
එක් දර්ශනයක
කාක්කෙක් හා පැටියෙක් අල්ලා ගනිද්දි
"අනේ පව්" කියා ඔහු කම්පා වුණා.
ඊළඟ දර්ශනයක
රාජාලියෙක් අර කාක්කා අල්ලාගනිද්දි
" හොඳ වැඩේ" කියමින් සතුටුවුණා.
ඔහු තුළ තිබුණේ අනුකම්පාවයි.
කරුණාව නොවෙයි.

අනුකම්පාවෙන් නිර්මාණ කරන කලාකරුවා
උත්තම ගණයට වැටෙන්නෙ නෑ..
ඔහුගෙ නිර්මාණ වලට පදනම් වෙන්නෙ
අනුව කම්පා වීමයි.
අනුකම්පාව සියුම් ආත්මානුකම්පාවක්.
ඔහු සටන් කරන්නෙ තමන්ගෙ වර්ගයා වෙනුවෙන්.

සැබෑ කලාකරුවා කාරුණිකයි.
ඔහු වරද සිදුවන්නාටත්
වැරදි කරන්නාටත් කරුණාව දක්වනවා.

" මා වැඳ වැටුණේ ඔබට නොවෙයි.
දුක් විඳින සියලු මිනිස් වර්ගයාටයි."

ඩොස්ටොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම පොතේ
වියරුවෙන් මෙන් ගණිකාවකට වැඳ වැටෙන
මිනීමරු රස්කොල්නිකොව් කියන
මේ වචන වල මෙන්ම මේ ජවනිකාව තුළත්
මොළයේ වමත් දකුණත් ඉතා හොඳින් මිශ්‍රව තියනවා.

ඩොස්ටොයෙව්ස්කි,
තාගෝර් ටොල්ස්ටෝයි වැන්නන්
අපක්ෂපාතී යහපත් දෙමාපියන් මෙන්
තමන්ගෙ හැම චරිතයකටම කරුණාව දැක්වුවා.
ඔවුන්ගෙ නිර්මාණවලින් විහිදෙන
ඒ කරුණාවෙන් හදවත් දයාවෙන් තෙත් වී
රසිකයන්ගෙ මිනිස් බව වර්ධනය වුණා.
හොඳ කලාකරුවන් වටා කල්ලි හැදුණෙ නෑ.
ඔවුන්ට ආදරය කළ පොදු ජනතාව
ඔවුන් සැලකුවේ පොදු වස්තූන් විදියටයි.
ගෞරවයට හේතු වුණේ
ඒ කලාකරුවන් විසින්
මොළයේ වම සහ දකුණ වෙන් කරන සීමාවන්
ස්වභාවයෙන්ම අතික්‍රමය කිරීම නිසයි.

අද ඉන්න නිර්මාණ කරුවන්ගෙ හිත් ඉතාම පටුයි.
ඔවුන් නිර්මාණ කරන්නෙ සීමිත පරාසයක වෙසෙන
තමන්ගෙ පක්ෂය වෙනුවෙන්.
ඒ නිසා ඔහු වටා කල්ලියක් හැදෙනවා.
" මේ අපේ මිනිහෙක්" කියන හැඟීම
ඒ රසිකයන් තුළ තියනවා.
ඒ හැඟීම කලාකරුවා බාල බවට
සහතික කරන මුද්‍රාවක්.

සමථ ධ්‍යානය තාවකාලික මානසික නිර්වින්දකයක්..




දහම විඳ පසක් කල යුතුයි.
අත්දැකීමෙන් තොර
කිසිවෙකුටත් බුදු දහම ස්පර්ශ කල නොහැකියි.

බුදු දහමට අනුව ක්‍රියා කිරීමෙන් නැසෙන
රාග ද්වේශ මෝහ කෙලෙස් තුනත්
සිත පිරිසිදු වීමෙන් මතුවෙන
මෙත්තා කරුණා මුදිතා සහ උපෙක්ඛාත්
සියල්ලම කායික හා මානසික අත්දැකීම්.

ඒ අත්දැකීම් දේශනයකින් හෝ
පොතපතෙන් ලබා ගැනීමට යෑම
ඉතාම බොළඳ ක්‍රියාවක්.

දේශනයකින් හෝ
පොතපතෙන් 
ලබාගන්නා දහම
පොද වැස්සටත් සේදෙන
ස්වර්ණමය ආලේපයක් පමණයි.

පොත් පත් කියවීමෙන්, තර්කයෙන් මෙන්ම
දහමට කිසිදු සම්බන්ධයක් නැති වුණත්
ධර්මයේ ප්‍රතිරූපක ඇසුරෙනුත්
මනස නිර්වින්දනය කරගන්න පුළුවන්.
දුක නැති කළා කියා
මුලා වෙන්නට පුලුවන්.

දුකෙන් මිදෙන්නට දුක යටපත් කිරීම හෝ
දුකෙන් පලා යෑම
සත්වයාට පොදු සාමාන්‍ය ක්‍රියා මාර්ගයයි.

දුකෙන් ව්‍යාජ ලෙස මිදෙන්නට
සහස් සුවහස් මාර්ග තිබුණත්
නිසියාකාරව
දුකට මුහුණ දෙන්නට මග පෙන්වන
එකම දහම බුදු දහමයි.


සංගීතය, සිනමාව, මත්පැන,
ආදී තාවකාලික සහන මං පෙත්
දසකුත් එකක් ඔස්සේ දුකෙන් පලා යන
සනාතනික දුප්පතුන්ගේ
අවසාන තිප්පොල සමථ භාවනාවයි.


පවතින සත්‍යයට මනස නිර්වින්දනය කරගෙන
තෝරාගත් අරමුණක සිත රඳවාගෙන
තාවකාලික නිරාමිස සුවයක් ලබන්නට සොයන
රෝගී මනසට සමථය ප්‍රබල ප්‍රතිකාරයක්.

තරු පිරුණ අහසේ
එක තරුවක් තෝරාගෙන ඒ දෙසම බලා සිටියොත්
අන් තරු සියල්ලම අතුරු දහන්වී
ඒ තරුව පමණක් පෙනෙනවා.
සමථ ධ්‍යානයෙහි යථා ස්වරූපය එයයි.

සසර පෙර හුරුව නිසා
සමථයට යොමුවී ඉහළ ධ්‍යාන වලට පත්වෙන
සමථ ධ්‍යාන ලාභී පුද්ගලයන් වටා
අනුන්ගේ පහනෙන් එළිය සොයන පුද්ගලයන් එක් රැස් වී
මානසිකව යැපෙනවා.

සිතත් ගතත් දුකට පත් කරන
කෙලෙස් යටපත් කරගෙන
තාවකාලික ක්ෂණික සහනයක් සොයන
මානසික යැපෙන්නාට
දියුණු සමථ ධ්‍යාන ලාභියා
ආකර්ශණීය මානසික නිර්වින්දකයක්..


සමථ ධ්‍යාන ලාභියාගෙ සිත එකඟ කරවන වචන,
භක්තිය දනවන හැසිරීම් ආදියෙන්
ඔහු ඇසුරට ඇදෙන අය ඔහුට ආකර්ෂණය වෙනවා.
කාන්දමක් ඇසුරෙහි යකඩ කැබැල්ලක් මෙන්
ඔහු සමීපයට යන අය
ඔහුගෙ පැවැත්මට තානගත වී මෝහයට පත්වීම නිසා
වායු සමීකරණය කළා වැනි කායික සුවයක්
මානසිකව ඔවුන්ට දැනෙනවා.
ඔවුන්ගේ කයෙහි පවතින වේදනාවලට
ඔවුන් නිර්වින්දනය වෙනවා.
ඔවුන් හිතන්නෙ
මේ දැන් නිවන ඔවුන් සමීපයට එනවා කියායි..

සමථ ධ්‍යාන ලාභියා අසල දැනෙන මෝහය තුළ
ඔවුන්ගෙ සිත් නිවෙනවා. සැනසෙනවා.
මෝහය පදනම්වූ තාවකාලික නිවනෙහිම රැඳෙන්න
ඔවුන් ඕනම පරිත්‍යාගයක් කරනවා.
ඒත් ඒ ආකර්ෂණය තාවකාලිකයි.
කාලයාගේ ඇවෑමෙන් ඔවුන් ඈත් වෙනවා.
අලුත් කල්ලියක් ඔහු වටා රැස්වෙනවා.

ලොව පුරාම කල්ලි රැස් කරගෙන
කල්ලි වටකරගෙන ඉන්න
හැම කෙනෙක්ම ධ්‍යානලාභීන්....
නොමේරූ මනසක් ඇත්තන්
ඒ දැහැනට ආකර්ෂණය වෙනවා.

සමථ ධ්‍යාන ලාභී ආගමික පූජකයන්ට
ජනප්‍රිය දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට
ඒ ආකර්ශණීය  ගුණය තියනවා.
ඒ කල්ලි වල පදනම මෝහයයි.

සමථ භාවනාවෙන් ලබන ධ්‍යාන වල
මූලික පදනම මෝහයයි..
සමථ ධ්‍යාන ලාභියා කරන්නෙ
මුළු ගෙදරම තියන විදුලි බල්බ දහයම නිවලා
එක කාමරයක විදුලි බල්බ එකොළහක් දැල්වීම වගේ වැඩක්.
ඒ කාමරයෙ හොඳට එළිය තියන නිසා
අනික් තැන් වුණත් ඒ වගේ ඇති කියා හිතන අය
ඔවුන්ට විශේෂ ගෞරවයකින් සලකනවා.
ඒ කාමරයෙන් පිටතට ඇවිත්
වෙන ක්ෂේත්‍රයකට යන්න වුණොත්
ඒ ක්ෂේත්‍රයට ඔවුන් ළදරුවන් වගෙයි.

කැපවීමෙන් ක්‍රියා කරන කෙනෙකුට
සමථ ධ්‍යාන ඉතා පහසුවෙන් ලැබිය හැකියි.
ඉටිපන්දම් දැල්ල බලා ඉඳලත්
දැහැන් ගත වෙන්න පුලුවන්..
විදින්න ඉන්න සතා දිහා බලාගෙනත්
දැහැන් ගත වෙන්න පුලුවන්..

මත්පැන් වලින් මත් ද්‍රව්‍ය වලිනුත්
කයට හානි කරගෙන
මිනිසා ලබන්නෙ දැහැන් ගත වීමක්.
ඒ දැහැන බිඳගෙන කෙලෙස් මතුවුණොත්
ඔහු අපරාධ කරුවෙක් වෙන්න පුලුවන්.

සමථ ධ්‍යාන ලාභියා පමණක් නොව
මුළු සමාජයම අඩුවෙන් හෝ වැඩියෙන්
තමන් ප්‍රිය කරන කොටසෙ ආලෝකය තියාගෙන
ජීවිතේ අනික් කොටස්වල ආලෝකය නිවා දානවා.
කලාවත් ඔවුන්ට නිර්වින්දකයක්.

ප්‍රිය දේට ඇති රාගය නිසා
තමන්ට ප්‍රිය ක්ෂේත්‍රය තුළ කොටුවෙලා
සැබෑ ජීවිතය ප්‍රතික්ෂේප කරනවා.

වයස්ගත වන විට
 සිහිය හොඳටම දුර්වල වෙලා
ඇවිදින මළමිණී වගේ තත්වයකට

මිනිසා
දිනෙන් දින පත් වෙන්නෙ
මේ ප්‍රිය දේ තියාගෙන
ඉතිරි සියල්ලට අවසිහිය-මෝහය
දියුණු කර ගැනීමෙන්.

රාගයෙන් හා ද්වේශයෙන් කයට හානි වීම
සමථ භාවනාවෙන් මෝහයට පත්වීම නිසා
සාපේක්ෂව අඩු වෙනවා.
විදසුනට යොමුවෙන කෙනෙකුට

සමථ
යෙන් වැඩුණ මෝහය අභියෝගයක් වුණත්
සමථ ධ්‍යානය හොඳ ප්‍රාග්ධනයක්.


සමථ භාවනාවෙන් මෙන්ම
මත්පැන් මත්ද්‍රව්‍ය වලින් ලබන දැහැන
තාවකාලිකයි.. පාලනයෙන් තොරයි..
වහා බිඳෙන සුළුයි.

මෝහය දියුණු වී
තමන් ගැන සිහිය අඩුවීම නිසා
සමාජීය වශයෙන් හානිකරයි.
ස්නායු පද්ධතිය සහ මොළය පිරිහෙන නිසා
කායික මානසික වශයෙන් හානිකරයි.

ස්වාභාවිකව සිත සුවපත් කළ හැක්කේ
විදර්ශනාවෙන් පමණයි.
විදර්ශනාවෙන් කරන්නෙ
සිත සුවපත් කරගන්නට සිතට ඉඩ දී
සිත සහ කය විවේකයට පත් කිරීමයි.

කෙලෙස් නැසී සිත පිරිසිදු වෙද්දි
මොළය සහ ස්නායු පද්ධතියත්
පිරිසිදු වෙනවා.


විදසුන් වඩන්නාට දැහැනකින් ලබන්නාක් මෙන්
ක්ෂණික සහනයක් ලැබිය නොහැකියි.
එසේ වුවත් කෙමෙන් ලැබෙන සහනය තාවකාලික නෑ.
ඔහු ශීලයත් සමාධියත් රැක ගතහොත්
විදසුනෙන් දියුණු වෙන සම්මා සමාධිය
මියෙන තුරු නොනැසී පවත්වා ගන්නත්
විදසුන් වඩන්නාට පුලුවන්.

වේදනාවට උපේක්ෂාව නැති
ශ්‍රවණය නොකළ පුහුදුන් තැනැත්තා
ජීවත් වෙන මොහොතක් පාසා
කෙලෙස් අනුසය වැඩෙනවා.
ඒ අනුව ඔහු විඳින දුකත් වැඩෙනවා.

සම්‌පජඤ්‌ඤං න රිඤ්‌චති;
තතො සො වෙදනා සබ්‌බා,
පරිජානාති පණ්‌ඩිතො.


සම්පජානෝ සතිය දියුණු කරන විදසුන් වඩන්නා
වේදනා සියල්ලම දකින්නට මනස හුරු කරමින්
උපේක්ෂාව කෙමෙන් දියුණු කරගන්නවා.

විදර්ශනාව ඔහු මෝහයට පත් කරන්නෙ නෑ.
වේදනා සියල්ලම දකිමින් දියුණු වෙන සිහිය නිසා
අවිද්‍යාව - මෝහය නැසෙමින් ප්‍රඥාව දියුණු වෙනවා.
විදසුන් වඩන්නාට නිවනක් සහනයක් තියෙන්නෙ
පවතින වේදනාවන්ට උපේක්ෂාවෙන් විසීමෙනුයි.
දුකෙන් පළා නොයමින්
දුක සිහියෙන් දකිමින් දුකට මුහුණ දෙමින්
ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් විදසුන් වඩන්නාට
උපේක්ෂාව ප්‍රණීතයි.


නූපන් කුසල් උපදවා ගන්නට දරණ
සම්මා වායාමය පදනම්ව වැඩෙන
සම්මා සතියත්, සම්මා සමාධියත්, ප්‍රඥාවත්
ඔහු ලබන අස්වැන්නයි.


සමථ ධ්‍යාන වලින් විඳින තාවකාලික සුවය
ඔහු පත්වෙන මෝහයේ ප්‍රතිඵලයක්.
සමථ සමාධිය මිථ්‍යා සමාධියක්.
මිථ්‍යා සමාධියක් ඇති කරගනිමින්
සමථ භාවනාවෙන් යටපත් කරන කෙලෙස්
විටින් විට ඇවිස්සුණාම ඔහුගෙ සංවරය බිඳෙනවා.
ශීලය බිඳෙනවා.
අසංවර හැසිරීමෙන් සහ කතාබහෙන්
ඔහුගෙ පුහුදුන් බවම ප්‍රකට වෙනවා.

විදසුන් වඩන්නා
ජීවිතයට මුහුණ දෙන විට
ඔහුගෙ සිතේ කෙලෙස් ඇති වුණත්
සිත කය දෙකම කැළඹුණත්
විදසුනෙන් පුහුණු කරන උපේක්ෂාව නිසා
විදසුනට හුරු තැනැත්තා කැළඹෙන්නෙ නෑ.
ඔහුට කෙලෙස් කියන්නෙ විදර්ශනා අරමුණක්.

විදසුනෙන් ඇති කරන සම්මා සමාධිය
කෙලෙස් වලින් බිඳෙන්නෙ නෑ.

සම්මා සතියෙන් වෙසෙන විදසුන් වඩන්නාට
විටින් විට කෙලෙස් ඇවිස්සීම
සිත කළඹන ගැටළුවක් නොවෙයි.
අභියෝගයක් පමණයි.

සම්මා සතිය තුළ කෙලෙස් වලට මුහුණ දී
කෙලෙස් නැසෙන්නට ඉඩ හැරීමෙන්
සිත පිරිසිදු වෙනවා.


කෙලෙස් නැසී සිත පිරිසිදු වෙද්දි
මොළය සහ ස්නායු පද්ධතියත්
පිරිසිදු වෙනවා.
දිනෙන් දින සිහිය වැඩෙන නිසා
කය දිරා ගියත් සිහිය පවතිනවා.

විදසුනෙන් දියුණු වෙන සම්පජානෝ සතිය
මුළු ගෙදරම විදුලි බල්බවල ආලෝකය
සෙමින් වුවත් එකවර වැඩි කර ගැනීමක්.

විදසුනෙන් ඇතිවෙන ප්‍රඥාව
ඔහු තුළින්ම මතුවෙන ප්‍රඥාවයි.
ඔහු කල්ලියක සාමාජිකයෙක් නොවෙයි.
ඔහු වටා කල්ලියක් නෑ.
ඔහු දහම තේරුම් ගන්නෙ තමන්ගෙම ප්‍රඥාවෙන්.

පච්චත්තං වේදිතබ්බෝ

දහම තමන් තුළම විඳ
තමන්ගෙම ප්‍රඥාවෙන් දහම පසක් කරන
විදර්ශනා වඩන්නා ස්වාධීනයි.

සමථ ධ්‍යානය දෝලාවක්.
විදර්ශනාව පියාපත් යුවළක්.

අහසට පිවිසෙන්න, නිදහසේ පියා සලන්න.