20190515

නසීරා දෝණියේ, සිංහල අපේ සෙනෙහසේ නාමයෙන්....




Facebook අතීතය තුළ
කවරදාක හෝ මා දුටු
වැඩිම ප්‍රතිචාර ලද සටහනයි මේ.

ජී.ඇල්. ආරියපාල නම්
සංවේදී ලේඛකයා විසින් රචිත
මේ සටහන තුළින් ඔහු දකින
අද දිනයේ ඛේදවාචකය තුළ
ජාති ආගම්වාදයන්ගෙන් දූෂණය නොවුන
මිනිස්කමේ සුවඳ අනුව කම්පිත
සිංහල මුස්ලිම් ෆේස්බුක් සාමාජිකයන්
දසදහසක් ඉක්මවා
දින දෙක තුනක් තුළ
ප්‍රතිචාර දක්වන ලදහ.
පළමු දිනයේ පැයකට දහසක් තරම්
අපූර්ව වේගයකින් ප්‍රතිචාර ගලා ආවේය.
එම ප්‍රතිචාර වලින් හයදහසක් පමණ
ආවරණිත ෆේස්බුක් කාලයේ ලැබිණ.

විශාල සාමාජිකයන් පිරිසක්
මේ සටහන උපුටා ලකළහ.
සමහරු තමන්ගේ සටහනක් ලෙස පළකොට
දෝෂාරෝපනයටද ලක් විය.

ජාතිවාදී ආගම්වාදී හැඟීම් වලින්
දූෂණය නොවූ මිනිස්කම් වලට පිදෙන
උපහාරයකි මේ සටහන.



අද සවස් භාගයෙහි මා ලද සංවේදී අත්දැකීම ඔබට කිව යුතුද නැද්ද යන්න තීරණය කිරීමට මට බොහෝ වේලාවක් ගතවිය.සමහරවිට ඔබ මට දොස් පවරණු ඇත.එහෙත් එය මම ඔබට කියමි.

මගේ නිවස හාත්පස සියලු නිවෙස් අයිති සහෝදර මුස්ලිම් ජනතාවටය.ඔවුන් වෙනුවෙන් ඉදිකළ පල්ලියක්ද තිබේ.සිංහල ගෙවල් ඇත්තේ කිහිපයකි. මේ නිවෙස් අතරින් මා නිවස පිටුපස ඇති වත්තේ වූ එක් නිවෙසක් මට සුවිශේෂය.ඒ පුංචි නසීරා නිසාය.

නෝම්බි කාලයට පල්ලියෙන් බෙදන කැඳ, බඳුන්වල බහා නිවෙස් කරා ගෙනයාම හැම වසරකම අප දකින සුලබ දසුනක් වන අතර,මේ කියන නිවසේ දැරිය නිසාරා ද නෝම්බි කාලයට බඳුන් දෙකක් පල්ලියට ගෙන යන්නීය. එකක් නිවෙසටය. අනික ‘සුදු සීයා“ ටය.

පල්ලියේ සිට ගෙදර යන්නට පළමු මේ කුඩා දියණිය හො ඇගේ මව මගේ කැඳ පංගුව මට හෝ ගෙදරට දී යන්නට අමතක නොකලා ය. එය මට මතක ඇති කාලයේ සිට සිදුවන දෙයකි.

එහෙත් අද සවස පල්ලියේ නෝම්බි කැඳ දානය ද රැගෙන මගේ නිවෙස ලඟින් බිම බලාගෙන යන නසීරාත් ඇයගේ මවත් අහම්බෙන් නෙත ගැටුණු විට මගේ හිත පත්තු විය.මම ඔවුන්ට නො පෙනෙන්නට පරිස්සම් වී දොර වසා දැමී මි.

එ සේ වුව මද වෙලාවකට පසු කිසිවෙකු දොරට තට්ටු කරන හඬ ඇසිණ. මා දොර ඇරියේ කුතුහලයෙනි.විමතියෙකි.ඒ පුන්චි නසීරාය. මුව පොව්වෙකු මෙන් දෑස නොපෙන්වා බිම බලාගෙන සිටි ඇය ඇයිදැයි මා විමසන්නට පළමු මෙසේ ඇසුවාය.

“ කැඳ ගෙනාවාට කමක් නැද් ද “

ඒ මොහොත මට ඉතා සංවේදී විය.

ගෝලීට ත්‍රස්තවාදයට මුවා වී කෲර ඝාතන සැලසුම් කළ සහරාන් ඇතුලු මේ විනාසයේ දින වකවානු දැන දැන සියල්ල සගවා ගත් පාපතර නිලධාරීන්ට සහ පාලකයන්ට ඒ මොහොතේ මම ශාප කෙළෙමි.

ඔවුන්ට එක් එක් අරමුණු තිබුණා විය හැක 83 නේ කලු ජූලිය වෙනුවට 19 අප්‍රේල් 21 මවා ගැටුම් ඇතිකොට චන්දය කල්තබා ගැනීම එයින් එක් වුමනාවක් වන්නට ඇත. අපි සිහිබුද්දියෙන් එම අරමුණද පරාජය කළෙමු. එහෙත් ඔවුන් සැකය වපුරන්නට සමත් වී තිබේ .මේ අහිංසක දැරිය ඊට කුමක් කරන්නද.

“කැඳ ගෙනෙන්න දුව “ මම ඇයට කීවෙමි.

ඉහේ මලක් පිපුණා යන්න මම අපමණවත් ලියැවිලිවලදී යොදා ඇත්තෙමි.ඉහේ පමණක් නොව මුහුණේ ද මල් පිපෙණු දුටුවේ මේ මොහොතේය. වහා දිව ගිය ඇය පොල්කිරි කැඳ භාජනයක් ද,ලොකු රට ඉදි පැකැට්ටුවක්ද ගෙනැවිත් මා අත තැබුවාය.

අපේ රට තවමත් යක්ෂයා ට අයිතිය. එහෙත් තවමත් දෙවියන්ද වැඩ සිටී.
G. L. Ariyapala
=========================

ජී.ඇල්. ආරියපාල විසින් රචිත
මේ සටහන කියවීමෙන්
පරිවර්තනය වූ කිසිවෙකු තැබූ
මේ සටහනද ඉතාම සංවේදීය.


Thilan Rajapaksha [[[ මගේ wall එක බැලුවොත් මම මොනතරම් තරහකින්ද ඉන්නෙ කියල හැමෝටම බලාගන්න පුළුවන්. තනිකරම මුස්ලිම් විරෝදී කතාමයි තියෙන්නෙ wall එකේ. ඒත් නසීරා දුව.. මම හිතින් මවාගත්ත නසීරා දුව සිංහල සීය ලඟට ඇවිත් "කැඳ ගෙනාවට කමක් නැද්ද" කියල අහන එක. හිතට හරිම අමාරුයි. අදින් පස්සෙ මුලුමහත් මුස්ලිම් සමාජයත් සමගම තරහෙන් ඉන්නෙ නෑ. අපිට ඒ සහෝදර කම නැති කරන්න හදන අන්තවාදීන් සමග පමණයි තරහව. ]]]

දහස ඉක්මවූ සටහන් රැසක් අතරින්
තවත් කිහිපයක්...


Supun Dhananjaya Ranasinghe
හරිම සංවේදි,,,මේක කියවද්දි දැනුන හැගීම මෙහෙමයි කියලා අකුරු කරන්න අමාරුයි

Athif Ramzi
කොමෙන්ට්ස් කියවගෙන යනකොට ඇස් දෙක කඳුලින් තෙත් වුනා❤️, ජාතියක් හැටියට අපි ඔබලා ඉදිරියේ පැරදුනා, අපට සමාවන්න, සමාවන්න

Chaminda Gamage
ජාතිවාදයක් තුන් හිතකවත් නොතිබුනු මාව ජාතිවාදියෙක් කලා පහුගිය 21 එල්ල වුනු ම්ලේච්ඡ ප්‍රහාරය.
ඔබ ආයෙත් මගේ හිතින් ජාතිවාදය අයින් කලා.
ආදරෙයි නසීරා නොදුටු දියණියේ.

Somasiri Habaragamuwa
මම දෙවියන් විශ්වාස කරන කෙනෙක් නොවෙයි .එහෙත් නසීරා කෙරෙන් මම දේවදූතියක දුටිමි. ඇය රැගෙන ආවේ කැද නොව, මෙවන් මොහොතක දේවත්වයට වඩා අගනා සැබෑ මනුෂ්‍යත්වයේ පණිවිඩයයි. නසීරා මගේ දෙවගනයි.

Afraaz Arooz
Comments ඔක්කොම කියවන්කොට හිතුනා ඇත්තටම අපිට මොකද වුනේ කියලා, කොතනද අපි හිරවුනේ කියලා හිතෙනවා,
නානා අද කැද එකක් අරන් වරෙන් කියපු උන් අපි එකට මුහුන බලාගන්න බැරුව ඉන්නවා ,ඇයි දෙවියනේ සහරාන් වගේ මිනිස්සු මේ ලොකේට මවලා අපිව පන පිටින් පුච්චන්නේ
අපි පැරදුනා #Mother #SriLanka
මුස්ලිම අපිට සමාවෙන්න

Nanda Wickramasinghe
ඇත්තටම මටත් කියන්නේ ඒ වගේම දෙයක් තියෙනවා ඉතාලියේ මම මගේ කියන කවුරුවත් නැහැ මාසෙකට එක දවසක් මට නිවාඩු ඒ දවසට මම යන්නේ මගේ හොඳම යාළුවා ලඟට එයා මුස්ලිම් ගෑණු ළමයෙක් එයා ජීවත් වෙන්නේ එයාගේ මහත්තයා දරුවො දෙන්නයි එක්ක මම යන දවසට විශේෂයෙන් කෑමක් හදලා මම එනකං එනකන් බලාගෙන ඉන්නවා එන වෙලාව ටිකක් හරි පහු වුනොත් කෝල් කරලා හොයලා බලනවා ඇත්තටම හුඟාක් හොඳ කෙනෙක් සිංහල අපේ කෙනෙකුගෙන් නො ලැබෙන තරම් උදව් උපකාර මට ලැබෙනවා .

Mohan Perera
දෑසේ කදුලු පුරවාගෙන ඔබේ සටහනත් කොමෙන්ටු වලින් කොටසකුත් කියැවීමි.ඉතිරි කොමෙන්ටු කියවාගන්න බැරිවුනේ සියලු උත්සාහයන් අබිබවා දෑසින් කදුලු උතුරන්නට වූ බැවිනි.සිංහල බොදුනුවෙකු වූ මගේ ජීවිතයේ බොහෝ සංදිස්තාන වල ප්‍රදාන චරිත වූයේ මුසිල්මානුවන්ය.අව් රුදු 24 ක් රැකියාව කල ආයතනයේ හිමිකරු වූයේ මුසුල්මානුවෙකි.ඔහු මාගෙ බොස් නොව මට ජීවිතය ගොඩනගා දුන් පියානන් ය.මගේ පව්ලේ වෙදැදුරා සහ ශල්‍ය වයිද්‍ය වරයාද මුසුල්මානුවන්‍ ය.මාගේ බිරියගේ ව්‍යිද්‍යවරයා මුසුල්මානුවෙකි.මා දරු දෙදෙන ඉතා පරිස්සමින් මෙලොවට බිහි කර දුන්නේ දෙවියෙක් වැනිවූ එම වෙදැදුරායි.දරුවන්ගේ ලමා වයිද්‍යවරයා වුයේ මුසුල්මානුවෙකි.එතුමා දරුවා ඇල්ලූ පමනින් සියලු ලෙඩදුක් පහවී දරුවා දුව පැන ඇවිදින තරම් බලයක් තිබූ එතුමා ජීවකයෙකි.

Zaroor Ameen
ඇත්තම කියනවානම් මට ඇඩුනා මෙ සිද්දියෙන් පස්සේ දැක්ක අවන්කවම අපිව තාමන් පීලිගන්න ඉන්න මගේ එකුසෙ නුපන් සහොදර සහොදරියන්ව ඉස්ලාම් දර්මයෙ නාමයෙන් මෙ කරපු කාලකන්නි වැඩේ හින්දා මර බියට වඩා ලැජ්ජාවට අපි පත්වෙලා ඉන්නෙ මෙහෙම කරන්න කියලා ඉස්ලාම් ආගමේ කොහෙවත් කියල නැහැ ,ඉස්සර නොම්බි දවස්වලට අපෙ ගෙදර කැද හදන්නේ අපිට බොන්නට වඩා අපෙ අසල්වසි සින්හල අයටයි යාලුවන්ටයි අද මෙක වෙනස් වෙලා එ දුක කියල ඉවරකරන්න බැහැ අවුරුදු 30 ලගින් හිටපු යාලුවො දාන post දැක්කම අපි අන්තාවාදී ජාතිකයන් නොවෙයි මෙකට සම්බන්ධ හා සහයොගය කරන මොඩයොත් ඉන්න්වා එ ඉතා සුලු පිරිසක් අනික් කාරනය තමයි මෙ කාලකන්නි සහරන් පිළිබඳවද මුස්ලිම් සමජය මීට පෙර සිටම අදාල ආයතන දැනුවත් කලා හැබයි ඔවුන් එය ගනන් ගත්තෙ නැහැ ,මට එක දෙයයි කියන්න තියෙන්නේ ඉස්ලාම් යනු අන්තාවාදී ආගමක් නෙමෙයි.අපි දේශද්‍රොහියොත් නෙමෙයි

Nishaz Munas
අතීතය මතක් කරවන ලිවීමක්. මේ වගේ ලස්සණ අත්දැකීම් මටත් ගොඩක් තියෙනවා. හවසට පල්ලියේ කැඳ ගන්න යද්දී අහල පහල ගෙවල් වල හිටපු කොල්ලෝ කුරුට්ටෝ එකතු කරගෙන යනවා. මුස්ලිම් නෙමෙයි කියල දැනගෙනත් භාජනය පිරෙන්න මගේ යාලුවොන්ට කැඳ දුන්නා. අපේ ගෙවල්වල හැදෙන සව් කැඳ, වටලප්පන් කෝප්පෙට, බුරියානි හට්ටියට සිංහල අයිතියක් තිබ්බ. සිංහල අව්රුද්දට හැදෙන කැවිලිවලට මුස්ලිම් උරුමයක් තිබුණා. තාක්ෂනයත් එක්ක බැඳීම් දුරස් උනා. මුස්ලිම් සංස්කෘතියට මැදපෙරදිග ආභාෂය එද්දී සිංහල සංස්කෘතිය වෙනස් උනේ බටහිර ආභාෂයෙන්. වැරදුණේ එතනයි.

Shamila Randeniya
සත්තකින්ම කිසිම මොහොතක හිතුවේ නෑ මේ සිද්ධිය සංවේදීව හිතන්න තරම් අපේ ලාංකීකයින්ගේ හිත් සංවේදී වේවී කියලා දරුවනේ හේතුව මුහුණු පොතෙ පළවුනේම වැරදි අදහස් පව් පුංචි නසීරා දූලට තේරෙන්නේ නෑ මේ කළබලය මොකක්ද කියලා, කැද කෝප්පය ගේන්න කිව්ව නිසා එයාගෙ හිත සතුටින් පිරෙන්න ඇතී

Nm Naim
මට අවුරැදු හැට පහක්. අවුරුදු හතලිහක් රාජ්‍ය සේවයේ සිංහල අයත් සමඟ වැඩ කළා. මම මාණ්‌ඩලික නිලධාරියෙකු වශයෙන් වැඩ කර දැන් විශ්‍රාම ගොස්ය. වැඩ කරන කාලයේ හැමදාම කාර්යාලයේදී අනිකුත් නිලධාරීන් සමග බත් මාළු පිනි බෙදා ගැන කෑවෙමු. විශ්‍රාම ගියායෙන් පසු ද මගේ වත්තක් තිබෙනවා එහි ගිහින් මගේ බත් එක කන විට වත්තේ ඉන්න මුර පවුලට එයින් බාගයක් දීලා කන්න පුරැදු වී සිටිමි. සියලු දෙනා සිංහල අය වෙි. අපි එහෙමයි ජීවත් වෙන්නෙ. මගේ දරැවන් ඉගෙන ගත්තේ ප්‍රසිද්ධ සිංහල පාසල් වලය. යාලුවෝ ගොඩාක් සිංහල දරැවෝ. ගෙදර කතා කරන්නෙ ද සිංහලෙන්. ඉතින් අද අපට මොකද උනේ. මම දවස් දෙකකින් ගෙදරින් එලියට ගියේ නැහැ. බයට නොවෙයි සමාජයට මුහුණ දීමට බැරි නිසාය. ඉතින් අපිට දැන් මොකද උනේ. බොහම කණගාටුයි. ඔබගේ කතුවැකිය බලා දැන් මම අඩුවා. එයතරම් දුකයි. ඔය දැකලා මට ලොකු සක්තියක් දැනුණා. ඔබට බුදු සරණයි දෙවි පිහිටයි.