20180220

පාසල් සිසුන්ට ටැබ් පරිගණක එපා -ජනපති මෛත්‍රී

ඇපල් පරිගණක නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්,
2010දී අයිපෑඩය ලොවට හඳුන්වා දෙමින්
"අයිපෑඩය අරුම පුදුම අධ්‍යාපනික උපකරණයක්.
ඔබට වීඩියෝ නරඹන්න පුලුවන්.
අනිත් අය සමග අන්තර් සබඳතා පවත්වන්න පුලුවන්."
අයිපෑඩය මේ සියල්ල සඳහා ඇති
හොඳම විකල්පය බව ඔහු කියා සිටියේය.

පාසල් දරුවන්ට ටැබ් දෙන්නට වෙහෙසෙන
අධ්‍යාපන ඇමති අඛිල විරාජ්ගේ අරමුණ
මේ මගින් මුදලක් ඉපයීම නොවෙයි නම්
සමහරවිට ස්ටීව්ගේ මතය දරනවා ඇත.
සාමාන්‍ය දූෂිත මැති ඇමති වරු මෙන්
පුද්ගලික ලාභයක් තකා ටැබ් දෙනවා නම්
ඔහුට මේ මතය කොහෙත්ම වැදගත් නැත.
ඔහුට සිසුවා හෝ සිසුවාගේ ඉගෙනීම හෝ
දෙමාපියන් මුහුණ දෙන ගැටලු හෝ
ඔහුට එවිට අදාළ නොවනු ඇත.
ඔහුට අදාළ වන්නේ ලාභය පමණි.

ස්ටීව් ජොබ්ස් කියන්නාක් මෙන්
පාසල් දරුවන්ට ඉගෙන ගන්නට ඇති
හොඳම විකල්ප මාර්ගය විදියට
අකිල විරාජ්ද සිතනවායැයි
අපි උපකල්පනය කරමු.

එසේ වුවද
අඛිල විරාජ් නොදන්නා දෙයක්
ස්ටීව් ජොබ්ස් දැන සිටියේය
එනම් ඔහු නොකී තවත් සැලකිය යුතු කරුණු
ඔහු පියෙක් වශයෙන් සිතද්දී ඔහුට තිබුණ බව
පසුව ඔහු අයිපෑඩය ගැන දැරූ
වෙනස් අදහස් නිසා ලොවට හෙළි විය.

The Newyork Times පුවත් පතෙහි
ජනමාධ්‍යශිල්පියෙක් වන
නික් බිල්ටන් සමග ස්ටීව් ජොබ්ස් පැවසූ
ඉතා වැදගත් අදහසක් ගැන කියයි.

"ජනමාධ්‍ය ශිල්පීන් පළ කරන ලිපි ගැන
ශිල්පියාට ප්‍රසංශා කරන්නට හරි
වැටහීම වැරදි බව කියන්නට හරි
ඔවුන් කැඳවන සිරිතක් ස්ටීව්ට තිබුණා.
මේ සඳහා මමත් කිහිප වරක්
ස්ටීව් හමුවුණා මට මතකයි.

අයිපෑඩය හඳුන්වා දීමෙන් වසර 2ට පසුව
මා ඔහු හමු වූ දිනක මම ඔහුගෙන් ඇසුවා
"ඔබේ දරුවන් අයිපෑඩයට බොහොම කැමති ඇති."

"නැහැ,ඇත්තටම අපේ  ගෙදර
අයිපෑඩ් භාවිතා කරන්න
අපි ඔවුන්ට ඉඩ දෙන්නෙ නෑ.
දරුවන්ට එයින් ඇතිවෙන බලපෑම
අනතුරු දායකයි කියල අපි හිතනවා."

අපි අපේ දරුවන්ට තාක්ෂණය ලබා දෙන්නෙ
සීමා සහිතවයි.

මම ඉන් විශ්මයට පත්වී ගල් ගැසුණෙමි.
මා සිතුවේ ස්ටීව්ගේ නිවස
යොවුන් පාරාදීසයක් කියායි.
ඔහුගේ නිවසේ බිත්ති වෙනුවට ඇත්තේ
විශාල ප්‍රමාණයේ ටච් ස්ක්‍රීන් යැයි
මම සිතා සිටියෙමි.
ඔහුගේ කෑම මේසයට ටයිල් මෙන්
පෑඩ් අල්ලා තිබෙනු ඇතැයිද
ගෙදරට එන අමුත්තන්ට චොක්ලට් මෙන්
අයිපෑඩ් බෙදනු ඇතැයිද සිතුවෙමි.

ඉන් පසුවද එවැනි විධායක මට්ටමේ
නිලධාරීන් සහ ඉහළ ධනවතුන්
මුණ ගැසී ඇති අතර ඔවුන්ද පැවසුවේ
සමාන අදහස්ය.

මේ දරුවන් හැදීමේ ශෛලියෙන්
මම බලවත් විමතියට පැමිණියෙමි.
බොහෝ දෙමාපියන් දරුවන්ට
දිවා රෑ තිස්සේ ස්මාර්ට් ෆෝන් භාවිතාවට
ඉඩ දීලා තියනවා.
(උපුටා ගැනීම අවසන්.)

ස්ටීව් ජොබ්ස් අයිපෑඩය හැදුවෙ
පාසල් යන වයසේ දරුවන්ට නොවෙයි.
පරිගණකයක් සහ අන්තර්ජාලයෙන්
පාසල් දරුවෙක් නිසි ප්‍රයෝජන ගත්තොත්
ඔහුට ලබා ගත හැකි දේ බොහොමයි.
ඒත් දනට ඒ පහසුකම් තියන
කීදෙනෙක් අධ්‍යාපනය ලබන්නට
ඒ පහසුකම් භාවිතා කරනවාද?

මොබයිල් ෆෝන් එක, අයි පෑඩ් එක
ලෝකයට, අන්තර් ජාලයට විවෘත වෙනවා
කියා අගය කරන පිරිසට නොපෙනන
දුරාචාරය පිරි බොරු වලවල් රැසකටත්
දරුවාට දොරගුළු ඇරෙනවා.

කාමය සොයා අන්තර්ජාලයේ සැරිසරන
කාමාතුර තරුණ ජනතාවක් සිටින රටක
නොමිලේ අයි පෑඩ් දීම යහපතක්ද?
පනින රිලවුන්ට ඉනිමං තැබීමේ අගය
වැටී අතපය කඩා ගන්නා ඉලවුන්ගේ
දෙමාපියන් නගන අඳෝනා වලින්
රටේ ජනතාව තේරුම් ගනීවි.

ටැබ් බෙදා දී මාස කීපයක් තුළ
සමාජයේ ඇතිවෙන ප්‍රශ්න නිසා
ඒ සියල්ල එකතු කොට විනාශ කරන්නට
රජයට සිදු වනු ඇති.

අයි පෑඩ් දැනටත් භාවිතා කරන
වැඩිහිටි සිසුන්ගේ භාවිතා විවිධත්වයේ
ප්‍රතිශතය මනින්නට මෘදුකාංගයක් ලිව්වොත්
ඔවුන් වින්දනයට ගත කරන වෙලාවත්
අධ්‍යාපනයට භාවිතා කරන වෙලාවත්
සසඳා බලන කෙනෙක් විශ්මයට පත් වෙයි.

ඔබ දන්නා පවුල් වල
පරිගණක හා මොබයිල් ෆෝන් ඇති
ළමුන්ගේ එදිනෙදා ජීවිත වලත් වින්දනය
අධ්‍යාපනය අතර පරතරය කීයද?

අධිතාක්ෂණය භාවිතා කරන
පාසල් වියේ දරුවන් විෂාදය වැනි
මානසික රෝගවලට ගොදුරු වීමත්
සිය දිවි නසා ගැනීමට පෙළඹීමත්
දියුණු බටහිර රටවල පවා අධිකයි.

ධනපති පවුල්වල දරුවන් නිසා
ඒ දෙමාපියන්ට ඇති වන ප්‍රශ්න හැර
දුප්පත් සහ මධ්‍යම පාන්තික දරුවන්ටත්
ඔවුන්ගේ පවුල් වලටත් ප්‍රශ්න වැලක් ඇති කරන
අඛිල විරාජ්ගේ මේ අදූරදර්ශී තීරණය
අනුමත නොකළ නිසා ජනපති මෛත්‍රීට
ඡන්ද ලක්ෂ ගණනාවක් අහිමි වුවත්
ඒ නිසා ආරක්ෂාවෙන යොවුන් ජීවිත
ඒ ඡන්දවලට වටිනා හෙයින්
මෛත්‍රී ගත් තීරණයට
ජනතා ප්‍රණාමය.