20170602

මහින්දට සාපේක්ෂව තෙවරප්පෙරුම


"අනේ තෙවරප්පෙරුමගෙ ජනප්‍රියත්වය
අපිටත් තිබුණා නම්" කියල
දේශපාලන කෑදරකමක් ගෑවිලාවත් තියන
හැම කෙනෙක්ම යටි හිතින් හිතනවා ඇති.
ඔවුන් ඒ ජනප්‍රියත්වය විකුණලා ලබන
ගේ දොර අඹුදරුවන්, යාන වාහන
පිටරට සවාරි, තරු පහේ සාද ගැන
සිහින මවනවා ඇති

එදා මහින්ද ගැනත් ඔවුන් එහෙම හිතන්න ඇති.

ඒත් මහින්දගෙ ජනප්‍රියත්වය
ඔහුටම ආවේණික වූ විශේෂ ජනප්‍රියකමක්.
විජය කුමාරණතුංගගෙ ජනප්‍රියත්වයත් ඒ වගෙයි.
ජනප්‍රියත්වය තියෙද්දි
ඔවුන් අමුතුම තලයක වැජඹෙනවා.

ජනප්‍රියත්වය නිසා ඉහළ යන බැලුම්
හුළං බැස්සාම බිමට පහත් වෙනවා.
ජනප්‍රියත්වය නැති වෙලා ගියදාට
ඔවුන් හිස් මිනිසුන් බවට පත් වෙනවා.

ජනපති මහින්ද පැරදිලා මන්ත්‍රී මහින්ද වුණා.

දැන් ඔහු තැන තැන යමින් මොනවා හෝ කියවන
හිස් මිනිසෙක් බවට පත් වෙලා තියනවා.
ඔහු ළඟ තියනවා කියා ඔහුට කැමති අය විශ්වාස කළ
රාජ්‍ය තාන්ත්‍රික හැකියාව දැන් අතුරුදහන් වෙලා.
ඔහුට තියනවා කියා ජනතාව රැවටුන්
මහා පෞරුෂයෙන් පාර්ලිමේන්තුව
කළඹවන්න ඔහුට හැකි විය යුතුයි.
සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් දැනෙන තරම්වත්
දැන් පාර්ලිමේන්තුව තුළ ඔහු පෙනෙන්නෙ නෑ.
මේ සිත කය දෙක තුළ බලයක් නෑ.
ඔහුගෙ බලය තිබුණෙ විධායක බලතල වලයි.
විධායක බලය පිරිහීමත් සමග
ඔහුත් සාමාන්‍ය දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙක්.

එදා මාධ්‍යවලින් පුම්බා උඩ යැව්ව
ප්‍රබල ජන නායක මහින්ද වෙන කෙනෙක්ද?

තිස් වසරක් තිස්සෙ නටල
වෙහෙස වෙලා උන්න ත්‍රස්ත්වාදීන් තුළ
නාටකයෙන් මවා පෙන්නුව දක්ෂ කම
ඔවුන් තුළ ඇත්තටම තිබුණාද?

මාධ්‍යවලින් කිව්ව විදියට
ලෝකයේ මෙතෙක් පහළ වුණ
දරුණුම, භයානකම ත්‍රස්තවාදීන් සමග
මෙතෙක් පහළ වුණ දරුණුම, භයානකම
ත්‍රස්තවාදී නායකයා පරාජය කරල
තිස් වසරක යුද්ධයක් පරාජය කළ
මෙතෙක් ලොව පහළ වූ හොඳම නායකයා
අද මෛත්‍රී ගහන ගහන පදයට නටමින්
පන්සල් ගානෙ යනවා.

මැයි පළමු වෙනිදා
ගෝල්ෆේස් පිට්ටනිය පිරෙන්න සෙනග ආවට
හැමදාම තිබුණ ජනප්‍රියත්වයට ආව මිසක්
ඔහුගෙ අමුතු දක්ෂතාවයක්, වෙනසක් නිසා
සෙනග ආව කියල අපි දැක්කෙ නැහැ.
සෙනග පෙන්වීමෙන්
නැති වුණ ජනප්‍රියත්වය ලබන්න ඔහුට බැහැ.
ඔහු නැවත බලයට එන්නත් බැහැ.

එදා ජනතාව විශ්මයට පත්කළ
මහින්දගෙ අද්භූත රාජ්‍යතාන්ත්‍රික ඥාණය
ඔහුගෙ ජනප්‍රියත්වය නිසා මැවී පෙණුන මායාවක්.
මාධ්‍ය මගින් මවා පෙන්වූ ඉන්ද්‍රජාලමක් බව
ජනතාවට දැන් පෙනෙනවා.

මහින්ද වසර අටක් සේවය කළේ
සමස්ත රට වැසියාට නොවෙයි.
ඔහු ප්‍රිය කළ ඔහුගේ පිරිවරටයි.
ඒ පිරිවර නම්  අදත් ඔහු සමග ඉන්නවා.
ඒත් බහුතර ජනතාව ඔහු පිළිගන්නෙ නෑ.

ජන්මයෙන් ගෙනා වාසනා ගුණය සමග
වෙළඳ ප්‍රචාරණ ක්‍රම භාවිතා කරමින්
කටහඬ, උඩු රැවුල, සාටකය සමග
වේදිකාවේ රංගනයෙන් ජනප්‍රියත්වය ඇතිකරගෙන
ඒ මත යැපෙමින් රටේ සම්පත් ගසාකන
ආත්මාර්ථකාමී දේශපාලනඥයන්
කවදාක හෝ ඒ පව් ගෙවිය යුතුයි.

තෙවරප්පෙරුමට තමන්ගෙ මිනිස්සු කියා
වෙන්කරගත්ත කොටසක් ඇත්තෙ නෑ.
ඔහුට ජාති භේද, ආගම් භේද,
පක්ෂ භේද ඇත්තෙ නෑ.

තෙවරප්පෙරුමගෙ ජනප්‍රියත්වය
ඇත්තටම සේවය කරන කෙනෙකුට
ස්වභාවයෙන්ම හිමි වෙන දෙයක්.

තෙවරප්පෙරුමගෙ ජනප්‍රියත්වය වෙනස්.
ඔහු ජනප්‍රියත්වය ලබන්න සේවය කළා නොවෙයි.
සේවය කිරීම ඔහු ජන්මයෙන් ගෙනාව දෙයක්.
ඔහුගෙ ජීවිතය ගැන තියන වීඩියෝ එක
ඒ සඳහා නිදර්ශන සපයනවා.

මහින්දට මෙන් හොරකම් කරද්දිත්
ඔහු ප්‍රිය කරන බොළඳ ජනතාවක්
තෙවරප්පෙරුම වටා දැනට නෑ.

ඔහු ඒ සේවයෙන්වත්, ජනප්‍රියත්වයෙන්වත්
තමන්ගෙ වාසියට දෙයක් කරගන්න
හිත යොමු කරන දවසෙ ඉඳලා
ඔහු පිරිහෙන්න පටන් ගනීවි.

මහින්දගෙ ජනප්‍රියත්වය වෙනස්.

මහින්දගෙ ජනප්‍රියත්වය ලබන්න
සමාජයෙ තවත් කෙනෙකුට තියා
ඔහුගේම සහෝදරයන්ටවත් බැහැ.

තෙවරප්පෙරුමගෙ ජනප්‍රියත්වය
ආශ්චර්යයක් නොවෙයි.
සාමාන්‍ය දෙයක්.

අද ලංකාවෙ වෛද්‍යවරු අතර
වෛද්‍ය නාමල් ගමගේට තියන ජනප්‍රියත්වය
තෙවරප්පෙරුමට තියන විදියෙ
ගෞරවය මුසු ජනප්‍රියත්වයක්.
වෛද්‍ය පාදෙණියගෙ ජනප්‍රියත්වය
මහින්දගෙ වැනි බොල් ජනප්‍රියත්වයක්.

ඔහුගෙ කරුණාව තියෙන්නෙ
පුද්ගලික රෝහලට එන අයටයි.
ඔහු වැඩ වර්ජනය කරන්න තෝරාගන්නෙ
පෞද්ගලික රෝහල්වලට නො එන
අන්ත අසරණ දුප්පත්ම කොටස වන
රජයේ රෝහලේ බාහිර රෝගීන් පිරිසයි.
දුප්පත් බාහිර රෝගීන් දුක් වින්දාට
පාදෙණියගෙ ජනප්‍රියත්වය රකින පිරිස
ඔහුට නැති වෙන්නෙ නෑ.
ඔවුන් අදාළම නෑ.

වෛද්‍ය පාදෙණියගෙ වගකීම තියෙන්නෙ
ඔහු මත යැපෙන සංගමයේ වෛද්‍යවරු සහ
ඔවුන් සොයාගෙන චැනල් කරල එන
සල්ලිකාර රෝගීන් පිරිසට පමණයි.

වෙළඳ සන්නාමයක් දරණ
ජනප්‍රියත්වය පෝෂණය කරන
හැම කෙනෙක්ම පාහේ ව්‍යාපාරිකයෙක්.
ඔවුන් ඒ සන්නාමය විකුණමින්
ධනය, බලය, තනතුරු
ලබා ගන්නවා.

තෙවරප්පෙරුම, නාමල් ගමගේ වැන්නන්
තමන්ගෙ ජනප්‍රියත්වය මාකට් එකට
අරන් ගිහින් විකුණන්නෙ නෑ.
මහින්ද, පාදෙණිය කරන "ජනප්‍රියත්වය විකිණීම"
හැමෝටම කරන්නත් බෑ.
නාමල් රජපක්ෂටත් බෑ.
නවින් ද සොයිසාට, නලින්ද හේරත්ටත් බෑ.

පාලිත තෙවරප්පෙරුම,
වෛද්‍ය නාමල් ගමගේ කරන
 ජනතා සේවය නම් ඕනම කෙනෙකුට
තමන්ගෙ මට්ටමෙන් කරන්න පුලුවන්.

දෑස් අන්ධ පුද්ගලයෙකුට
පාර පනින්න උදව් කරන පාසල් සිසුවාත්
ඒ විදියෙ සේවයක් කරනවා.
පාරෙ තියන කෙසෙල් ලෙල්ල ඉවත් කරන
සිඟිති පාසල් දරුවාත්
කරන්නෙ ජනතා සේවයක්.

ජනතා සේවය සරලයි.
ජනතා සේවය මහිමාන්විත නෑ.
සැබෑ ජනතා සේවකයා වටා
රැස් වළල්ලක් නා.

ජනතා සේවකයා
ජනප්‍රියත්වයට වහලෙක් නොවෙයි.
ඔහු ස්වාධීන පුද්ගලයෙක්.
ඔහු නම රැකගන්න වැඩ කරන්නෙ නෑ.
ඔහු පෙර්ටළා යමක් සොයන්නෙ නෑ.
ඔහුගෙ සේවය එතනින් හමාරයි.
ඒකාංගිකයි.
මෙගා මට්ටමට යන්නෙ නෑ.

අද ඉන්න මන්ත්‍රීම, ඇමතිකම් දරන අය
තමන්ගෙ විෂය ක්ෂේත්‍රය තුළ
තමන්ගෙ දක්ෂකම් වලින් ක්‍රියා කළොත්
ඒ ජනප්‍රියත්වය ඔවුන්ටත් ලබන්න පුලුවන්.

තෙවරප්පෙරුම කොපි කරන එක නොවෙයි
අනික් දේශපාලනඥයන් දැන් කළ යුත්තෙ.

තෙවරප්පෙරුම වගේ වෙනවා කියල
විදුලිබල ඇමති වයරින් කරන්න
සූදානම් විය යුතු නෑ.
ජල සම්පාදන ඇමති
"පයිප්ප වැඩ කරනවා" කියමින්
ගෙවල් ගානෙ යන්න සූදානම් විය යුතු නෑ.

දුක් විඳින මිනිහෙක් ඒ දුකෙන් මුදවා ගන්න
තමන්ගෙ ශක්තියෙන්, තමන් දන්න විදියට
ක්‍රියා කිරීම හැම කෙනෙකුගෙම යුතු කමක්.
නිරෝගී හැම කෙනෙක් තුළම
ඒ උවමනාව ස්වාභාවිකව තියනවා.

අනික් දේශපාලනඥයන් දැන් කළ යුත්තෙ
තෙවරප්පෙරුමගෙ සේවා දායක මානසිකත්වය
තමන්ගෙ හිතේ පත්ලෙන් මතු වෙන්න ඉඩදෙමින්
දැන් හිතේ තියන පහත් උවමනාවල්
ඉවත් කර ගැනීමයි.

තමන්ගෙ ගේ දොර,
තමන්ගෙ වාහනය,
තමන්ගෙ ඡන්ද ටික
කියන පහත් මානසිකත්වය තියන තුරු
කිසිම කෙනෙක් තුළින්
තෙවරප්පෙරුම කෙනෙක් බිහි වෙන්නෙ නෑ.

තමන්ගෙ ගේ දොර,
තමන්ගෙ වාහනය,
තමන්ගෙ ඡන්ද ටික,
තෙවරප්පෙරුම භාවිතා කරන්නෙ
ජනතාවට සේවය කරන්නයි.

දේශපාලනඥයාගෙ මූලිකම සහ එකම වගකීම
ජනතාවට සේවය කිරීමයි.

ඩී. එස්.ලා නායකත්වය දරන කාලෙ
ජනතා සේවයට පුද්ගලික ධනය වැය කළා.
ඩඩ්ලි සේනානායක මහතා මිය යද්දි
ඔහුගෙ බැංකු ගිණුමෙ තිබුණෙ
රුපියල් හාරසියයටත් වඩා අඩු ගණනක්.
ඔවුන් ස්විස් බැංකු ගිණුම් දාගෙන හිටියෙ නෑ.

ආසන ක්‍රමයත් එක්ක ඒ රටාව නැති වෙලා
පාර්ලිමේන්තුව හොර ගුහාවක් කරගත්ත
හොරු සහ මංකොල්ලකාරයො බිහි වුණා.

දැන් ඉන්නෙ දේශපාලකයන් පත් කරලා
ඔවුන්ට වහල් කම් කරන හෙංචයියන් පිරිසක්.

ජනප්‍රිය දේශපාලනඥයන් කැකුණ තලද්දි
වට පිටාවෙ විසි වෙන තනතුරු, වරදාන,
වරප්‍රසාද, දොළපිදේනි පතමින්
ආගමික පූජකයන්, වෛද්‍යවරු, නීතිඥයන්,
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුත්
දේශපාලකයන්ට ගොට්ට අල්ලන
වහල් මානසිකත්වයෙන් පෙළෙන රටක
තෙවරප්පෙරුම වැනි ජනතා සේවකයන්
ඉඳහිට බිහිවුණත් කොන් වෙනවා.

මේ වර ගංවතුරෙන්වත්
ඒ වහල් මානසිකත්වයෙන්
එක තට්ටුවක් හරි සේදිලා ගියානම්
මේ ගංවතුර අපේ රටට ආශීර්වාදයක් කියල
මතු දවසක අපිට හිතේවි.