20160630

ගිහියාත් පැවිද්දාත් නිදහස්, බුදුන් වහන්සේත් නිදහස්


බුදු සසුනෙ ගිහි පැවිදි දෙපිරිසේ
වගකීම අතර ලොකු පරතරයක් තියනවා.

බුදු දමට සම්බන්ධව
අතහැරීම ගැන කතා කරනවා නම්
ඔබ මේ දෙපිරිසේ වගකීම් හොඳින් අධ්‍යයනය කරන්න.

ගිහියන් කියන්නෙ
බුදුන් වහන්සේට නොබැඳුණු
සිය කැමැත්තෙන් දහම පිළිපදින
නිදහස් පිරිසක්.

බුදුන් වහන්සේත්
ඒ නිදහස් පිරිසට දහම් දෙසන
නිදහස් පුද්ගලයෙක්.

ගිහියන් පන්සිල් රකින්නවත්
බුදුන් වහන්සේට බැඳිලා නෑ.
ගිහියෙකුගෙ බැඳීම සරණ යෑම පමණයි.
ඒ තීරණය ගන්න තරම්
ශ්‍රද්ධාව තියන කෙනෙක්
බුදු දහම පිළිපදින අංශු මාත්‍රයක් පාසා
නිවනට ළං වෙනවා.

 

 පැවිද්දන්ගෙ බැඳීම වෙනස්.
පැවිද්දන්  සිය කැමැත්තෙන්
නිවන් දකින්න පොරොන්දු වෙලා සිවුර ලබාගෙන
බුදුන් වහන්සේගෙ විනය නීති මාලාව
නිසියාකාරව පිළිපදින්න
ඒ ඒ ශීලයන් රකින්න බැඳී සිටින
සිල් බිඳුණොත් දඬුවමට යටත්
සමාජය පිළිගත් ආයතනයක
යාවජීව සාමාජිකයන් පිරිසක්.
කැමති විටක සිවුර හැර යන්න
ඔවුන්ට නිදහස තියනවා.

ඔවුන් සතු එකම වගකීම
නිවන් ලබා ගැනීමට කටයුතු කිරීමයි.
ඔවුන් පැවිදිවෙන්නෙ ඒ පොරොන්දුව දීලයි.

හරියට මහණ දම් නොපිරුවොත්
දානය ඇතුළු සිවුපසයටම ඔවුන් ණයයි.
එසේ ලබන සිවුපසය සොරකමක්.

දුසිල් මහණුන් ලබන වැඳුම් පිදුම්
ලබන සිවුපසයත් ඔවුන්ට පව් පුරවනවා.

බුදු දහමට අනුව
ගිහියන් සහ පැවිද්දන්
දුකෙන් මිදෙන්න යන්නෙ
ස්වයං තීරණ මතයි.

බුදුන් වහන්සේ කරන්නෙ
අපේ ඉල්ලීම් වලට එකඟ වීමක්.

 
පන්සිල් අටසිල් කියන්නෙ
අපි දෙන පොරොන්දුවක්.
කවුරුවත් බල කරන්නෙ නෑ.


පැවිද්දත් ඒ වගෙයි.
නිවන් දකින්න පොරොන්දු වෙලා
සිවුර ලබා ගන්නෙ.

බුදුන් වහන්සේ කියන්නෙ
කල්ලි නායකයෙක් නොවෙයි.
කිසිවකින් නොබැඳුන
සර්වාකාරයෙන්ම නිදහස් පුදගලයෙක්.
තුන් සිවුරත් පාත්‍රයක් අතට අරන්
ඕන වෙලාවක එළියට බැහැලා
ඕන තැනක යන්න පුලුවන් කෙනෙක්.
එහෙම ගිය කෙනෙක්.

අපිත් ඒ වගේම නිදහස් පුද්ගලයන්.
දහම පිළිපැද්දොත් අපේ දුක නිවෙනවා.
අපි උන්වහන්සේට කෘතවේදී වෙනවා.
උන්වහන්සේගේ ගුණයට ණය ගෙවන්නයි
මම ඔබට මේ කතා කරන්නෙ.