20170607

විෂාදයට නැති බුද්ධිය කොස් කොටන්නද?


විෂාදය මානසික රෝගයක් නොවෙයි.
කාටත් පොදු මානසික ස්වභාවයක්.

ප්‍රිය අප්‍රියතාවය මත සිතේ සතුට වෙනස් වෙන
ඕනම කෙනෙක් විෂාදයට ගොදුරු වෙන්න පුලුවන්.
එහෙම නැති කෙනෙක් සාමාන්‍ය මිනිසුන් අතර නෑ

විෂාදයට බඳුන් වීමෙදි
අධ්‍යාපනය පලක් වෙන්නෙ නැති බව
අපි පහසුවෙන්ම තේරුම් ගත්තෙ
පේරාදෙණිය විද්‍යා උපාධිධාරිනියක්
විෂාදය
මාතෘකාවක් බවට පත් කරමින්
සිය දිවි නසාගැනීම නිසයි.

ඇගේ ප්‍රශ්නය විසඳාගන්නට හෝ
අවම වශයෙන් දිවි ගලවා ගන්නටවත්
ඇගේ අධ්‍යාපනය හෝ ඉන් ලද බුද්ධියක්
ඇයට පිහිට වූයේ නැත.

ඇය රේල් පීල්ලට ගෙල තබාගෙන සිටිද්දී
වේගයෙන් එන දුම්රිය සමීප වෙද්දීවත්
ඇගේ බුද්ධිය ක්‍රියා කළේ නැත.
ඇය මුහුණ දුන් ප්‍රශ්නයේදී
ඇගේ බුද්ධිය ඇයට උපකාර කළා නම්
ඒ සිය දිවි නසා ගන්නට පමණි.

ඔහුගෙ රැකියාව, තනතුර, සමාජ තත්වය,
ඔහුගෙ යස ඉසුරු සම්පත් ආදී වෙනත් කිසිවක්
අදාළ වෙන්නෑ.

විෂාදය හැදෙන්න මූලිකව තියෙන්නෙ හේතු දෙකයි.
විෂාදය ඇරඹෙන විසප්පුවක් හැදෙන්නේ
ඒ මූලික කටු දෙකෙන් එකක්
ඒ පුද්ගලයාට ඇනෙන නිසයි.

අපි දකින හේතු කාරණා සියල්ලම
මේ මූලික හේතු දෙකෙන් බිඳුණු
ශාඛා, කුඩා ශාඛා සහ අනු කුඩා ශාඛායි.

විෂාදය නමින් හඳුන්වන තත්වයට
විෂාදය මේරූ පසු මනසේ ස්වභාවය දකින කිසිවෙක්
විෂාදයට සැබෑ හේතුව වන මානසික මුල්  දකින්නේ නෑ.

කවදා කාට කොහේදී කොහොම හැදුණත්
විෂාදයට මේ ලෝකයෙහි ඇත්තේ මූලිකම හේතු දෙකයි.
1, ප්‍රිය දෙයකින් වෙන් වීම.
2, අප්‍රිය දෙයක් හා එක් වීම.
ප්‍රිය අප්‍රිය දෙක මූලිකව සම්බන්ධ නැතිව
මෙලොව කිසිවෙකුටත් විෂාදය ඇති වෙන්නෙ නෑ.

ප්‍රිය දේ හෝ අප්‍රිය දේ කෙනෙක් වෙන්න පුලුවන්.
දෙයක් වෙන්න පුලුවන්. උපකරණයක් වෙන්න පුලුවන්.
රැකියාවක්, තනතුරක් වෙන්න පුලුවන්.
වෙනත් ඕනම දෙයක් වෙන්නත් පුලුවන්.
සීමාව ප්‍රිය අප්‍රිය වීම පමණයි. අවස්ථා අසීමිතයි. අප්‍රමාණයි.

විෂාද සර්ප පැටියා පිළිසිඳගන්නෙ කොහොමද?

අපි එක උදාහරණයක් ගනිමු.
සුරූපී උපාධිධාරිණියක් ඇස ගැටෙන
කඩවසම්, ප්‍රිය මනාප, ධනවත්,
කෙළිලොල් තරුණයෙක් ඇය හා බැඳෙනවා.

ඔහු ඇගේ සිත ගන්නට ක්‍රියා කරද්දී
ඔහුගෙ දසුන කෙමෙන් ඇයට ප්‍රිය වෙනවා.
ඔහුගේ රුව දකින විට, හඬ ඇසෙන විට
ඇගේ ඇස් වලින්, කන් වලින් මළයට යන
පණිවිඩ නිසා ඇති වෙන සංවේදනා මාලාව
ඔහු ඇසුරේ පසුවෙන විට ඇය පත්වන තත්වය
ඇයට ඇගේ සිතට ඉතාම ප්‍රියයි.

මේ සංවේදනා මාලාව නිසා
ඇගේ කයට එකතු වෙන හෝමෝණ වලින්
ඇය තුළ ඇති වෙන ස්වභාවය ඇයට ප්‍රියයි.
ඔහු ඇසුරේ පසුවෙන විට ඔහුගෙ රුව, දසුන,
හඬ ස්පර්ශයෙන් සහ ඔහුගේ කය ස්පර්ශයෙන්
ඇය තුළ උපදින කය පුරා නින්නාද වෙන සුඛ වේදනා
ඇගේ සිත කුල්මත් කරනවා.

මේ වෙනසම ඔහු තුළත් ඇති වෙනවා.
ඔවුන් එකිනෙකාට බැඳෙන්නේ ඔවුනොවුන්ගේ
කය තුල ඇති වෙන සුඛ වේදනාවලට
ඔවුන් ප්‍රිය කරන නිසයි.
ඔවුන් සිතින් අල්ලාගන්නේ මේ සුඛ වේදනා
ඔවුන්ට ලබාදෙන මූලාශ්‍රය වන පුද්ගලයායි.

ඇත්ත වශයෙන්ම මූලාශ්‍රයේ පෙනුම,
හැසිරීම, කතාබහ අනුව පහළ වෙන සුඛ වේදනා
ඔවුන් විඳින ආස්වාදය උත්තේජනය කරනවා.
ළඟ නැති වෙලාවට සිතින් මවා ගත් රූප
දුර කථන කතා බහ, SMS ආදියෙන්
පණ දෙමින් පෝෂණය කරන මේ උත්තේජක මූලාශ්‍රය
සදහටම තමන් සතු කරගන්නට
ඔවුන් දෙදෙනාම සිහින මවනවා.

ඇය ඇගේ සිත තුළ ඇති වෙන
මේ සර්ප පැටියාගේ මිහිරි හුරතලයෙන්
අමන්දානන්දයට පත්වී ආස්වාදනය වී
තරුණයා ඉතා තදින් සිතින් අල්ලා ගන්නවා.
ඒත් ඔහුගේ ඇය පිළිබඳ අත්දැකීම
ඒ තරම් ප්‍රබල නොවෙන්නට පුලුවන්.

ඇය නිසා ඔහු තුළ මෙතෙක් ඇති වුණ
සුඛ වේදනා සමුදාය පරදවා
නව සුඛ වේදනා සමුච්චයක් උපදවන්නට සමත්
වෙනත් තරුණියක් ඔහුට මුණ ගැසුණොත්
ඔහු ඇගෙන් ඈත්වී ඇය හා බැඳෙනවා.

තවමත් සිතින් ඔහු හා බැඳී සිටින ඇයට
දරාගත නොහැකි වන්නේ ඔහු අහිමිවීම නොවෙයි.
ඒ ඇය ඒ අහිමි වීම දකින ආකාරය පමණයි.
ඇත්ත වශයෙන්ම ඇයට දරාගත නොහැකි වන්නේ
ඔහු සමග ඇසුර නිසා ඇය තුළ නින්නාද වුණ
සුඛ වේදනා සමුච්චය නැති වීමයි.

දැන් ඇගේ සිත තුළ ඔහු නිසා පහළ වන්නේ
දුක්ඛ වේදනා සමුච්චයක් පමණයි.
මේ විෂාදයේ ආරම්භයයි.
ඔහු හමුවන්නට, දුරකථනයෙන් අමතන්නට
ඇය ගන්නා ක්‍රියාමාර්ග අසාර්ථක වෙද්දි
ඇගේ විෂාදය උත්සන්න වෙනවා.

පිරිමියෙක් නම් මේ අවස්ථාවෙදි නැඹුරුවන්නේ
අහිමිවූ තරුණියගෙන් පළිගන්නටයි.
තරුණියක් ක්‍රියා කරන්නේ සිය දිවි නසා ගැනීමටයි.

ලාභ, අලාභ, යසස, අයස,
නින්දා, ප්‍රසංශා, සැප, දුක්
මේ කිසිවක් නිසා
සිත කම්පා වීම, ශෝකය ඇතිවීම,
සිත කිළිටි වීම, අනාරක්ෂිත බව ආදිය සිදුවීමෙන්
විෂාදය පිළිසිඳගන්නට හේතු වෙනවා.

ප්‍රේමය අහිමි වීම, රැකියාව අහිමි වීම,
තනතුරෙන් පහත වැටීම හෝ අහිමි වීම,
බිරිඳ හෝ සැමියා නොමග යෑම, දරුවන් නොමග යෑම,
විභාග අසමත් වීම, රෝගයකින් එක්තැන් වීම...
මේ ලැයිස්තුව ඔබත් දන්නවා.

මේ සියල්ලම බාහිර හේතු පමණයි.
මේ බාහිර හේතු නිසා උත්තේජනය වන
පසිඳුරන් සහ මනස යන ආයතන හයෙන්
මොළය සහ ස්නායු පද්ධතිය කම්පා වෙමින්
විෂාදය කෙමෙන් කෙනෙක් තුළ වැඩෙනවා.
බාහිර අරමුණකින් පහර වදින විට
අභ්‍යන්තරය ඉරි තලනවා.

මූලික හේතුව කුමක් වුවත්
කෙනෙකුගේ මනසට බරක් වෙන සියලු දෙයින්
මානසික ප්‍රිය අප්‍රිය භාවය ඇති වීම නිසා
මනසේ රාග හෝ ද්වේශ සංස්කාර එක් රැස්වෙමින්
විෂාදයෙ බීජය මානසිකව පෝෂණය වෙනවා.

මනසේ සංස්කාර වලට සමපාතිකව
කයට හෝමෝන එකතු වීම  වැනි
ජෛව රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන්
විෂාදයෙ බීජය කායිකවත් පෝෂණය වෙනවා.

හැම කෙනෙක් තුළම
ඔහු උපන්දා පටන් මිය යන තුරාම
ඔහු ගතකරන හැම මොහොතකම
ඔහු පසු කරන විඳින විඳවන
හැම ප්‍රිය අප්‍රිය දේකින්ම
විෂාදයේ සර්ප පැටියා පිළිසිඳ ගන්නවා.
හිත වෙනත් අරමුණු වලට යොමු වෙද්දී
සංස්කාර සර්ප පැටවුන්ට පෝෂණය නැතිව
අනුසය කෙලෙස් බවට පත් වෙලා
හිත පතුළට දරණ ගසාගෙන
සැඟවෙනවා.

මානසික හේතු මත හෝ වෙනත් හේතු මත
පවුලෙන්, සමාජයෙන් වෙන්ව තනිව වෙසෙන අයට
ඔවුන් තුළ වැඩෙන විෂාද කළලයට අවශ්‍ය
පෝෂණය සපයන්නට සුදුසු වාතාවරණයක්
ඔවුන් වටා ගොඩ නැගෙනවා.

කල් ඉකුත් වීමෙන් විවාහයක් කර නොගත් කතක්
පවුලේ සොයුරු සොයුරියන් අතර විසීමෙන්
විෂාද කළල වලට පෝෂණය නැති වෙනවා.
එහෙත් ඇය රැකියාවක් සොයාගෙන පිටව ගොස්
තනිව ජීවත්වන්නට පටන්ගත් විට
විෂාදයට ගොදුරු වීම නිසා
සිය දිවි නසාගන්නා තැනට ඇය පත් විය හැකියි.

1, ප්‍රිය දෙයකින් වෙන් වීම.
2, අප්‍රිය දෙයක් හා එක් වීම හෙතුවෙන්
මනසෙහි ජනිතවන විෂාද කළලය
කුඩා කාලයෙ මඳ විෂ සහිත සර්පයෙක්.
පවුලේ සොයුරු සොයුරියන් අතර වෙසෙන කාලයෙත්
විෂාදයට නැඹුරු කෙනෙක්
පවුලට දුක් වේදනා ගෙන දෙන කෙනෙක් වන්නට
බොහෝ අවකාශ තියනවා.
ඔවුන් අතර ඇගේ සැනසීම ලැබෙන අයුරු
අපි වෙනම සලකා බලමු.

විෂාදයේ විසකුරු සර්ප කළලයට
මානසික සිතුවිලි, හැඟීම් ඇතිවෙමින්
 රාග/ද්වේශ සංස්කාර මානසිකව එකතුවෙනවා.
ඒ හේතුවෙන්
කය තුළත මොළයේ ඩහ
ස්නායු පද්ධතියේත් ජනිත වෙන
හෝමෝන ඇතුළු ජෛව රසායනික
කායිකව විෂාද කළලය
පෝෂණය කරනවා.

නොකඩවා පෝෂණය ලබමින්
කෙමෙන් වැඩී මෝරන
ඒ කුඩා සර්ප කළලය සිත කය වසාගත්
විෂඝෝර නාගයෙක් බවට පත් වුණාම
ඒ විෂ ඝෝර නාගයා
ළා බාල බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව
විෂාදය නමින් ගෞරව පූර්වකව හඳුන්වනවා.

බටහිර වෛද්‍ය විද්‍යාව අපූර්ව විද්‍යාවක්.

බටහිර වෛද්‍ය විද්‍යාව
නිරෝගී අයට කිසි සේත්ම අදාළ නෑ.
බටහිර වෛද්‍ය විද්‍යාව අවදිවන්නේ
කෙනෙකුට කරදරයක් වෙන තැනට
රෝගයක් වර්ධනය වූ පසුවයි.

ඖෂධ සමාගම් සහ
ඔවුන්ගේ නියෝජිත ව්‍යාපාරික වෛද්‍යවරුන්
බටහිර වෛද්‍ය විද්‍යාව මගින්
මිනිසුන් රෝගීන් බවට පත් කරන්නට
විශාල වෙහෙසක් දරන්නේත් මේ නිසායි.

විෂාදය මානසික රෝගයක් කියන තැනට
වර්ධනය වෙනතුරුම බටහිර වෛද්‍ය විද්‍යාව
කෙනෙකුගේ මානසික තත්වය ගැන සොයන්නේ නෑ.
විෂාදය සමාජයට හෝ ඔහුටම දරාගත නොහැකිනම්
මනෝ වෛද්‍යවරයා ඇස් කන් යොමන්නට සූදානම්.

සර්පයා ඉවත් කරන්නට ප්‍රමාද වැඩි නිසා
දැන් ඔහු කරන්නේ පුද්ගලයාගේ කය හරහා
ඔහුගේ මනසෙහි සංවේදී භාවය නසනවා.
සමස්ත පුද්ගලයාම විසංවේදී වන ලෙස
ඔහුගේ කයෙහි පණිවිඩ ගමන් කරන  ජාලය වන
සංවේදනා දැනෙන ස්නායු පද්ධතියත්
ඒ අනුව තීරණ ගන්නා මොළයේ ක්‍රියාකාරිත්වයත් නසමින්
පුද්ගලයා කෙමෙන් මෝහයට පත් කරනවා..

විෂාදය බැහැරින් එන දෙයක් නොවෙයි.
සිත තුළම ඉපදී මෝරන විෂක්.

මේ නාගයා හිමිකරුට දෂ්ඨ කළොත්
සිය දිවිනසා ගැනීමක් සිදු වෙනවා.
විෂාද නාගයා සිතක වැඩී මේරුවාම
ඒ විෂ නිසා අදාළ පුද්ගලයා
ආයතන හයෙන්ම අන්ධ වෙනවා.

ඔහුගේ අධ්‍යාපනය, උපාධිය, තනතුර
ආදී කිසිවකින් ඔහුට පලක් නෑ.
ඔහු සිතේ රැස් කරගත් විෂ
ඔහුට දරා ගන්න බෑ.
ඔහුගේ නාග විෂෙන් ඔහුම නැසෙනවා.
ආත්මානුකම්පාවෙන් හෝ පළිගැනීමේ සිතින්
ඔහු තමන්ගේ ජීවිතය හානි කරගන්නවා.

ඔහු සිය දිවි හානි කරගන්නේ
ඔහුගේ සිතේ ද්වේශය අධික වීමෙන්
විෂාදය උත්සන්න වී ඔහු පත් වෙන
ක්ෂණික සිහිසුන් බව
මෝහයට හේතු වෙන නිසා විය හැකියි.

ඔහුට දෂ්ඨ කරන නාගයා
හඳුනා ගෙන නසන්නට
ඔහුටම නොහැකි වීම නිසා
ඔහුට ඔහුම අහිමි වෙනවා.

මේ නාගයා
හිමිකරුට දෂ්ඨ නොකළොත්
විශාදයට හේතු වුණ අරමුණ
දැන් ඔහු සමීපයේ නැත්නම්
සමීපයේ සිටින කෙනෙකුට හෝ
දෂ්ඨ කරන්නට යොමු වෙනවා.

මේ නාගයා
අනුසය කෙලෙස්ද මතු කරගනිමින්
සංස්කාර විෂ සමග රැස් කරගෙන
දැවෙන සිත තුළ දඟර ගැසෙමින් ඇඹරෙද්දී
හිමිකරු ද්වේශයෙන් වියරු වැටෙනවා.
නැතහොත් මෝහයෙන් අකර්මණ්‍ය වෙනවා.

රාගයෙන් පෙළෙන්නෙකුගේ විෂාදය
ඔහු ස්ත්‍රී දූෂණයකට පොළඹවනවා.
සොරකමට, මංකොල්ල කෑමට පොළඹවනවා.
පර ස්ත්‍රී පර පුරුෂ සේවනයට යොමු කරනවා.

ද්වේශය මුල් වෙන විෂාදයේදී
ඔහු කරන කියන හැම දේකටම
ඒ නාග විෂ මුසු වෙනවා.
ඔහුගේ වචනවලට, ක්‍රියාවලට
ඒ විෂාද විෂ මුසු වෙනවා.
වචන දූෂ්‍ය වෙනවා.
ක්‍රියා රුදුරු වෙනවා.

විෂාද විෂ සහිත තැනැත්තා
අසභ්‍ය කෝපාවිෂ්ඨ නින්දා,
අපහාස, අවමාන, අවලාද ආදියෙන්
තව කෙනෙකුගේ මනසට දෂ්ඨ කරනවා.
විෂාද විෂ ප්‍රබල නම්
වචනයෙන් පහර දී මදි වෙන නිසා
අතින් පයිනුත් පහර දෙනවා.
විෂදයේ නාගයා උග්‍ර විෂ සහිත නම්
ඔහු ජීවිත හානිවලට පවා
පොළඹවන්නට විෂාදයට පුලුවන්.

ඔබ තුළත්, මා තුළත් අන් හැම කෙනෙකු තුළමත්
විෂාදය අඩු නැතිව උපදිනවා.
නොයෙක් හේතු මත සිතේ තැන්පත් වෙනවා.

උදේ අවදි වෙන විට ඇති නොරුස්නා බව,
ඒ නිසා සිදු වෙන ප්‍රමාදය,
වැඩට යන වාහනය වැරදීම,
රතු ඉර වැදීම නිසා උපදින විෂාදය
දරන්නට බැරි තත්වයට තත්වයට මෝරන්නේ
ඒ හේතුවෙන් රැකියාව අහිමි වීමෙනුයි.

විෂාදයට පත්වෙන තැනැත්තාට
ඔහුගේ සීමාව තුළ විසඳිය නොහැකි ප්‍රශ්න නිසා
විෂාදය පහළ විය හැකියි.
විෂාදය නිසාත් ප්‍රශ්නය විසඳා ගැනීම
ඔහුට අපහසු විය හැකියි.
කොහොම වුණත් විෂාදයෙන් පළමුවෙන්ම පීඩා විඳින්නේ
විෂාදයෙන් පෙළෙන තැනැත්තාමයි.
ඉන් ඔහු මුදවා ගන්නට
වඩාත්ම හැකියාව ඇත්තේත් ඔහුටමයි.

මේ සර්ප පැටව් හැම හිතකම
උදේ පිබිදුණ මොහොතේ සිට
රාත්‍රී නින්දට යන තුරුම
අපි හැම කෙනෙකුගේම සිත් තුළ
දවස පුරාම පහළ වෙනවා.

ප්‍රිය දෙයක් සිතින් අල්ලා ගන්නාවිටම
අප්‍රිය දෙයක් සිතින් අල්ලා ගන්නාවිටම
විෂාදයට බඳුන් වීමේ අවදානම
ඒ උපාදානය තුළ සැඟවී තියනවා.

ආරම්භක අවස්ථාවේ පහළ වෙන හැඟීම
විෂාදයෙහි මූලික අවස්ථාව ලෙස
කිසිවෙක් දකින්නේ නෑ.
තමන්ට දෂ්ඨ කරන මදුරුවා
තමන්ගේ සිත තුළ කීටයෙකු ලෙස
වර්ධනය වෙන ආකාරය දකින්නට
ප්‍රමාණවත් සිහියක් පිහිටා ඇති කෙනෙක් නෑ.

මුලදී සර්ප විෂෙන් වෙන හානිය
සිතට දැනෙන්නට තරම් අප සංවේදී නෑ.
ඒ නිසා සමහර පැටව් පෝෂණය ලබමින්
අපේ හිතට විෂ එකතු කරනවා.

ප්‍රිය වීම හෝ අප්‍රිය වීම ප්‍රබලව නූපදින නිසා
සිතේ උපදින විෂාද පැටවුන් අකාලයේ මිය යන්නෙ
විෂඝෝර තත්වයට නිසි පෝෂණය නොලබන නිසයි.
එසේ නැත්නම් විෂ සමනය වෙන්න හේතු ලැබෙන නිසයි.
ඒ පිළිබඳව වෙනම ලිපියක සලකා බලමු.

සමස්ත සසරම පෙරට ගමන් කරන්නේ
ස්පර්ශයෙන් උපදින තණ්හාව නිසා
වේදනාවට මුල්වූ දේ උපාදාන කර ගැනීමෙන්
භවය සකස් වීමෙන්.

විෂාදය ඇරඹෙන්නෙ කුඩා ප්‍රිය වේදනාවකින්.
විපස්සනා වඩන්නෙක් කයත් වේදනාත් ගැන සිහියෙන්
වේදනාවට රාගයෙන් හෝ ද්වේශයෙන් නොබැඳී වෙසෙමින්
සිහිය පිහිටුවා ගැනීමට පුහුණුවක් ලබනවා.
ඔහු සාමාන්‍ය කෙනෙක් මෙන් වේදනා ඇසුරෙන් ලොව දකිමින්
ලෝකයට ප්‍රතිචාර දක්වමින් ජීවත් වුණත්
වේදනා ප්‍රිය වීම හෝ අප්‍රිය වීම නිසා
තදින් අල්ලා ගැනීමට යොමු වෙන්නෙ නෑ.

ප්‍රිය වේදනා සුඛ වේදනා ලබා දුන්
කෙනෙක් හෝ දෙයක් ඈත් වෙද්දී අහිමි වෙද්දී
ඔහු තුළ ඇති වෙන දුක්ඛ වේදනා සමුච්චය
කායික වේදනා විදියට දකිමින්
විෂාදයට හේතු වෙන මානසිකත්වයෙන් මිදෙන්නට
විදසුන් වඩන ආර්ය ශ්‍රාවකයෙකුට පුලුවන්.

මේ සංසිද්ධිය බුදුන් වහන්සේ මෙසේ දකිනවා.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

විශාදය පිළිසිඳගන්නා විටම
විෂාදයෙන් මිදීමට හොඳම මාර්ගය
මානසික වේදනාව කායිකව දකිමින්
සිහියෙන් උපේක්ෂාවෙන් විසීමයි.
ආර්ය ශ්‍රාවක මාර්ගයයි.

ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තැනැත්තාට
විෂාද මාර්ගය දිගේ ඉදිරියට නොගොස්
ඒ මොහොතෙම ඉවත් වෙන්න නොහැකි වුණත්
ඔවුන්ටත් ගැලවීමේ මාර්ග බොහෝ තියනවා.
ඒ පිළිබඳව වෙනම කතා කළ යුතුයි.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මහණෙනි,
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.

හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
-------------------------------------------------------
විෂාදය චෙතසික වෙදනාවක්.
ඒ චෙතසික වේදනාව
කායිකව විඳින විදසුන් වඩන්නා
කිසි දිනක විෂාදයට ගොදුරු නොවෙයි.

======================================

පේරාදෙණියේ මන්ද බුද්ධික උපාධිධාරිණිය අපට ගුරුවරියක්.