20180227

පනාමුරේ මෛත්‍රීගෙ දූෂණ සටන ඉවරද?


සිංහල ජාතියේ අබිමන් කෙළෙසන
කුණ බැහැපු ශ්‍රී ලංකා දේශපාලනය තුළ
අපට තව මෛත්‍රීලා 225ක් හදාගන්න බෑ.
මේ 225ම ගමන් කරන්නෙ දූෂණය දිසාවටයි.
ඔවුන් පාර්ලිමේන්තු එන්නෙත් දූෂණය සඳහායි.
අපි ඒ හැමෝම ගැන හිතන්නෙ එහෙමයි.
අපට ඔවුන් පෙනෙන්නෙ එහෙමයි.

අප මෙතෙක් බලාපොරොත්තු තැබූ
දූෂණ විරෝධයේ නියමුවා
මෛත්‍රීත් මේ සටනෙදි අසාර්ථකයි.


මෛත්‍රී වෙස්මුහුණක් කරගෙන
යහපාලන හොරු මහ බැංකුව
මහ දවාලෙ බින්දා.


මේ කුණුගොඩවල්
පුලුවන් විදියට සුද්ධ කරගෙන
දූෂණය කරන්න තියන ඉඩකඩ අහුරගෙන
එදින් එදාට පුළුවන් විදියට
ඉදිරියට යන්නයි අපට වෙන්නෙ.

වයස 15-16 සිට වසර 50ක්
දේශපාලනයෙ කතා අහපු නැති මෛත්‍රී
බලයෙන් පහ කරන්න කතා හදන රටේ
ඇත්ත හොරු නැති පාර්ලිමේන්තුවක්
එක රැයෙන් හදා ගන්න බෑ..

රට හෙමිහිට හරි ගමන් කරන්නෙ
දූෂණ විරෝධය පැත්තට නම්
ඒ මෛත්‍රීගෙ තනි මැදිහත්වීම මතයි.

අදටත් මෛත්‍රීගෙ සටනට එකතු වෙලා
හොරුන්ට විරුද්ධව නැගී හිටින කෙනෙක්
මුළු පාර්ලිමේන්තුව තුළම නැහැ.

සමහරු මෛත්‍රී කරාවිද නැද්ද කියා
බලාගෙන සිදුවීම ගැන කතා කරනවා.
නොකරාවි කියල හිතෙන කොට සතුටුයි.
" දූෂණය නැති කරන්නෙ නෑ" කියමින්
අසතුට පෙන්වන්නෙ සතුට හංගාගෙනයි.

මෛත්‍රී දූෂණය නැති කරන්නෙ නෑ කියා
මහ හඬින් දෝෂාරෝපනය කරන
"කිසිම කෙනෙක්" මෛත්‍රීට උදව් කළේ නෑ.
ඔවුන් මහින්දගෙ, රනිල්ගෙ හොර ගුහා ක්‍රමයට
යටි හිතින් ආශීර්වාද කරනවා.

මෛත්‍රී වසර තුනක් තිස්සේ තනිවම
රට හරි දිසාවට යොමු කරගෙන තියනවා.
යම් කෙනෙක් උවමනාවෙන් බැලුවොත්
ඒ බව පැහැදිලිව පෙනෙනවා.

බැලිය යුත්තෙ දූෂණය නැතිවෙලාද
ඔක්කොම හරිද කියා නොවෙයි.
එදා තිබුණ දූෂණය අඩුවෙන පැත්තට
ආකල්පමය අතින් හෝ රට ගමන් කරනවාද?
දූෂණ විරෝධයේ වර්ධනයක් වෙලාද?
දූෂණය නැති කිරීම ගැන යම් පමණක
බලාපොරොත්තුවක් දැල්වෙනවාද කියායි.

මේ එවැනි කාලීන කරුණු දෙක තුනක්.

1,
මිනිස්සු මෛත්‍රීට දොස් කියන්නෙ
එකම එක හේතුවකට, එකම එක දුර්වල කමකට.

"මෛත්‍රී හොරු ඇල්ලුවෙ නෑ"
මේ චෝදනාව ලබන්න ඔහු මිනිසුන් තුළ තිබුණ
විශ්වාසය බිඳ දමා තියන බව පෙනෙනවා.
දූෂණ විරෝධී ශීලාචාර පොදු ජනතාව
අදටත් ඔහු පිළිබඳව විශ්වාස කරනවා.
ඔහු පිරිසිදු බව පිළිගන්නවා.

මෛත්‍රී ට දොස් නගන අයගෙන්
සියයට අනූ නවයක්ම හඬ නගන්නෙ
දූෂණය නැති වෙනවාට කැමති නිසා නොවෙයි.
ඒ මිනිස්සුත් තමන්ගෙ මට්ටමෙන්
කාර්යාලයෙ, වැඩපලේ, වැඩ කරන බස් රියේ
දූෂණ වලින් කීයක් හරි හොයන අය.

ඔවුන්ගෙ ලේවල, අඹුදරුවන්ගෙ ලේ වල
දූෂණයෙන් ලද පෝෂණය තියනවා.
ඔවුන්ට දූෂණය කියන්නෙ වරදක් නොවෙයි.
දූෂණය ඔවුන්ට ආදායම් මාර්ගයක්.
ඒ ආදායම පෝෂණය වෙන විදියෙ
දූෂණකාමී රජයක්, පාලනයක්
ඔවුන්ට නැවතත් අවශ්‍ය වෙලා තියනවා.

දූෂණ විරෝධයෙන් තමන්ගෙ නායකයන්ට
දුකක් කරදරයක් වෙයි කියා බියෙන් පසුවෙන
දූෂණ පාක්ෂික වංචනික මිනිසුන් එක් රොක්වී
මෛත්‍රීට චෝදනා කිරීමෙන් උත්සාහ කරන්නේ
මෛත්‍රීගෙ දූෂණ විරෝධය දුර්වල කිරීමයි
මෛත්‍රීට හිතැති අය කලකිරවීමයි.

අපේ රටේ චින්තන ශක්තිය දුර්වල
අහිංසක මිනිස්සු පමණක් නොවෙයි.
උගතුන් පවා කතන්දර අහලා
මුළාවෙන්නෙ කුඩා දරුවන් වගෙයි.
සමාජ ජාලවල ඒ දරුවන් බහුලයි.

මේ සියල්ලට යටින් සමාජය තුළ
මෛත්‍රී බිහි කළ දූෂණ විරෝධී ධාරාව
නිරුපද්‍රිතව නොසැලී ගලා බසිනවා.
ඒ ප්‍රවාහය මතුපිටට පෙනෙන්නෙ
යම් යම් අවස්ථාවලදි දක්වන
නිසග ප්‍රතිචාර මගිනුයි.

රනිල් නීතිය හා සාමය අතට ගැනීම
එවැනි එක් අවස්ථාවක් බවට පත්වුණා.
දූෂණයට විරුද්ධව නැගුණ
ඒ ප්‍රතිචාර අපි හැමෝම
දැක්කා.

2,
රනිල් නීතිය හා සාමය අතට ගත්තාම
ලංකාවම කැළඹුණා, දොස් කිව්වා, කෝපවුණා.
උපහාසයෙන්, අපහාසයෙන් සිනාවුණා.
සමාජ ජාලා පෝස්ට් වලින් වැසී ගියා.
හැමකෙනෙක්ම වගේ වචනයක් හෝ කිව්වා.
අන්තිමේ ඔහු "ඇමතිකම ගත්තෙ
තාවකාලිකවයි" කියා බේරෙන්න
ඔහුට සිදුවීම හාස්‍යජනකයි.

සාගල ඉන්නතුරු ඔහුත් බැණුම් ඇහුවා.
ඔහු ජාත්‍යන්තර පොලීසියෙන් අල්ල ගත්ත
ජාත්‍යන්තර වරෙන්තු කාරයොත්
නිදහස් කරන තුරු කල් මැරුවා.

රනිල් ගත්ත ගමන්ම අමාරුවේ වැටුණේ
නීලකාස හොරෙක් විදියට ලංකාවෙ තියන
සුපතළ පිළිගැනීම නිසයි.
වෙන රටක කෙනෙක් ගෙනල්ල
අපෙ මහ බැංකුව කැඩුව හොරා
නීතිය භාර ඇමතිකමට
තමාවම පත් කරගත්තාම
ඒක මහා ආන්දෝලනයක් වුණේ
රටේ පවතින දූෂණ විරෝධය
ඉතාම ප්‍රබල නිසායි.

දැන් මිනිස්සු නීතියට හා සාමයට
පෙරට වඩා බෙහෙවින් සංවේදීයි.
සමරිසියන් කියා නින්දා ලබන
සාගලට හෝ රනිල්ට නීතිය රකින්න බෑ,
ඔවුන් ඒ සඳහා ගැලපෙන්නෙ නෑ කියලා
අද සාමාන්‍ය ජනතාව හිතනවා.
ප්‍රසිද්ධියේ කියනවා.

මේ ප්‍රවණතාවය දූෂණ විරෝධයේ
තවත් එක් මුහුණුවරක් නොවේද?
දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නෙ
දූෂණය නැති කළ හැකි නායකත්වයක්.
ආත්ම ආරක්ෂාව ගැන නොසිතා
දිවි හිමියෙන් සටනට බසින්නට කැමති
එඩිතර පිරිසිදු නායකත්වයක්.

පිරිසිදු කියන්නෙ රහතෙක් නොවෙයි.
අද ඉන්න රහතුන්වත් පිරිසිදු නෑ..
ඇඳට වැටුණ ගමන් නින්ද යන
ඔවුන් ඇත්තටම රහතුනුත් නොවෙයි.

අද පාර්ලිමේන්තුවෙ පුටු රත් කරන
දූෂණය වැගිරෙන කුණුගොඩවල් වලට
සාපේක්ෂව හෝ දූණ චෝදනා රහිත
සරත් ෆොන්සේකා වැනි කෙනෙක්
බොහෝ දෙනෙක් ඉල්ලා සිටිනවා.

3,
සරත් ෆොන්සේකා
මේ තනතුර ගන්නවා නම්
රටේ ජනතාව කැමතියි, සතුටුයි.
විරුද්ධ බලවේගයන්ට බිය නොවී
නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව ඇති
දක්ෂ මිනිහෙක් රටට අවශ්‍යයි කියන
මානසිකත්වයකින් ජනතාව සැදී පැහැදී සිටිනවා.
මේ විශ්වාසය ඇතිවුණේ මෛත්‍රීගෙ ආගමනයෙන්.

ඒ අභියෝගයට මුහුණ දෙන්න
සරත් ෆොන්සේකාට බැරි වුණොත්
ඔහුගෙ යුධ හමුදාපති කීර්තියත් වතුරෙ.

4,
නීතිය භාර ඇමති කවුද කියා
අද ජනතාව සැලකිල්ලෙන් බැලීමත්
අපේ රටේ හැටියට හොඳ ප්‍රවණතාවයක්.

දූෂිතයන් ඉවත් කිරීම සඳහා
කොමිසම් මගින් මෛත්‍රී ලබා දුන්
බැඳුම් කර සහ වංචා දූෂණ වාර්තා දෙක
එඩිතරව අතට අරන් හොරු අල්ලන
දක්ෂ ඇමති කෙනෙක් ඔවුන් සොයනවා.
මේ අද දූෂණ විරෝධයේ තත්වයයි.

මහින්දගෙ කාලෙ නීතිය හා සාමය ඇමති කියලා
පඹයෙක් හෝ සිටි බවට සලකුණක්
කාටද මතක තියෙන්නෙ? ඔබට මතකද?
ඇමතිවරු නම් රැසක් හිටියා තමයි.
නමට සහ භාණ්ඩාගාරය සුද්ද කිරීමටයි.
රටේ අනික් හැමදේම පාලනය
රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයෙ තියෙද්දි
නීතිය තිබුණේ මහින්ද හා ගෝටා අතේ.

ඇමති කෙනෙක් ඉන්න ඇති පඹයෙකුට අන්දලා.
ඔහු කරන්නෙ එදා වේල ශේප් කර ගැනීමයි.
එදා නීතිය තිබුණේ රාජපක්ෂ පාලනය
මහජනතාවගෙන් රැක ගන්නයි.

ජනවාරි අටවෙනිදා රාත්‍රියෙත් නීතිය රොක් වෙලා
අරලියගහ මන්දිරයෙ මහින්ද ළඟ බලා හිටියා.
ඒත් ජනතාව නීතිය අතට ගත්තා.
මහින්ද ගෙදර ගියා.

දස වසරක් තිස්සෙ
ඒ දූෂිත පාලනයෙන් ප්‍රයෝජන අරන්
දූෂණයට ඇබ්බැහි වුණ දූෂිත මිනිස්සු
යළිත් ඒ දූෂිත පාලනය කරළියට ගෙනත්
හිතේ හැටියට රටේ දූෂණය රජකරවන්න
ආයෙමත් පිඹුරුපත් සකස් කරනවා.

ඒ පාලනයට කැමති දූෂිත හිත් ඇති
අපේ රටේ දූෂණ පාක්ෂික ජනතාව
මහින්ද වීසි කරන පොල්ලෙල්ලටත්
ඡන්දෙ දෙන්න සූදානම්.
ඔවුන්ගේ පිපාසය එතරම් බලවත්.

මෛත්‍රීට දූෂණය නැති කරන්න බැරි වුණත්
දූෂණයෙන් එතෙර ලෝකයක් තියන බව
හදවතට දැනෙන, ඒ උණුහුමෙන් සැනසෙන
ශීලාචාර ජනතාවක් අපේ රටේ ඉන්නවා.
දූෂිත හිත් සුවපත් කරමින් ක්‍රියා කරන
ඒ ශීලාචාර අතළොස්ස මතු කවදා හෝ
මේ බිම ජය ගත යුතු බව අපි දන්නවා.

පිරිසිදු සිත් ඇති, පිරිසිදු ජාතියක් වෙසෙන
පිරිසිදු රටක් පිළිබඳව අති පිරිසිදු අරමුණ විසින්
මේ දූෂිත කටු කොහොල් ඉවත් කර දමා
රට පිරිසිදු කරන පිරිසට අයිති කෙනෙක් වෙන්නට
සිතින් හෝ ඒ හා බද්ධ වෙන්නට තරම්
ඔබ වාසනාවන්තද?



 


20180220

පාසල් සිසුන්ට ටැබ් පරිගණක එපා -ජනපති මෛත්‍රී

ඇපල් පරිගණක නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්,
2010දී අයිපෑඩය ලොවට හඳුන්වා දෙමින්
"අයිපෑඩය අරුම පුදුම අධ්‍යාපනික උපකරණයක්.
ඔබට වීඩියෝ නරඹන්න පුලුවන්.
අනිත් අය සමග අන්තර් සබඳතා පවත්වන්න පුලුවන්."
අයිපෑඩය මේ සියල්ල සඳහා ඇති
හොඳම විකල්පය බව ඔහු කියා සිටියේය.

පාසල් දරුවන්ට ටැබ් දෙන්නට වෙහෙසෙන
අධ්‍යාපන ඇමති අඛිල විරාජ්ගේ අරමුණ
මේ මගින් මුදලක් ඉපයීම නොවෙයි නම්
සමහරවිට ස්ටීව්ගේ මතය දරනවා ඇත.
සාමාන්‍ය දූෂිත මැති ඇමති වරු මෙන්
පුද්ගලික ලාභයක් තකා ටැබ් දෙනවා නම්
ඔහුට මේ මතය කොහෙත්ම වැදගත් නැත.
ඔහුට සිසුවා හෝ සිසුවාගේ ඉගෙනීම හෝ
දෙමාපියන් මුහුණ දෙන ගැටලු හෝ
ඔහුට එවිට අදාළ නොවනු ඇත.
ඔහුට අදාළ වන්නේ ලාභය පමණි.

ස්ටීව් ජොබ්ස් කියන්නාක් මෙන්
පාසල් දරුවන්ට ඉගෙන ගන්නට ඇති
හොඳම විකල්ප මාර්ගය විදියට
අකිල විරාජ්ද සිතනවායැයි
අපි උපකල්පනය කරමු.

එසේ වුවද
අඛිල විරාජ් නොදන්නා දෙයක්
ස්ටීව් ජොබ්ස් දැන සිටියේය
එනම් ඔහු නොකී තවත් සැලකිය යුතු කරුණු
ඔහු පියෙක් වශයෙන් සිතද්දී ඔහුට තිබුණ බව
පසුව ඔහු අයිපෑඩය ගැන දැරූ
වෙනස් අදහස් නිසා ලොවට හෙළි විය.

The Newyork Times පුවත් පතෙහි
ජනමාධ්‍යශිල්පියෙක් වන
නික් බිල්ටන් සමග ස්ටීව් ජොබ්ස් පැවසූ
ඉතා වැදගත් අදහසක් ගැන කියයි.

"ජනමාධ්‍ය ශිල්පීන් පළ කරන ලිපි ගැන
ශිල්පියාට ප්‍රසංශා කරන්නට හරි
වැටහීම වැරදි බව කියන්නට හරි
ඔවුන් කැඳවන සිරිතක් ස්ටීව්ට තිබුණා.
මේ සඳහා මමත් කිහිප වරක්
ස්ටීව් හමුවුණා මට මතකයි.

අයිපෑඩය හඳුන්වා දීමෙන් වසර 2ට පසුව
මා ඔහු හමු වූ දිනක මම ඔහුගෙන් ඇසුවා
"ඔබේ දරුවන් අයිපෑඩයට බොහොම කැමති ඇති."

"නැහැ,ඇත්තටම අපේ  ගෙදර
අයිපෑඩ් භාවිතා කරන්න
අපි ඔවුන්ට ඉඩ දෙන්නෙ නෑ.
දරුවන්ට එයින් ඇතිවෙන බලපෑම
අනතුරු දායකයි කියල අපි හිතනවා."

අපි අපේ දරුවන්ට තාක්ෂණය ලබා දෙන්නෙ
සීමා සහිතවයි.

මම ඉන් විශ්මයට පත්වී ගල් ගැසුණෙමි.
මා සිතුවේ ස්ටීව්ගේ නිවස
යොවුන් පාරාදීසයක් කියායි.
ඔහුගේ නිවසේ බිත්ති වෙනුවට ඇත්තේ
විශාල ප්‍රමාණයේ ටච් ස්ක්‍රීන් යැයි
මම සිතා සිටියෙමි.
ඔහුගේ කෑම මේසයට ටයිල් මෙන්
පෑඩ් අල්ලා තිබෙනු ඇතැයිද
ගෙදරට එන අමුත්තන්ට චොක්ලට් මෙන්
අයිපෑඩ් බෙදනු ඇතැයිද සිතුවෙමි.

ඉන් පසුවද එවැනි විධායක මට්ටමේ
නිලධාරීන් සහ ඉහළ ධනවතුන්
මුණ ගැසී ඇති අතර ඔවුන්ද පැවසුවේ
සමාන අදහස්ය.

මේ දරුවන් හැදීමේ ශෛලියෙන්
මම බලවත් විමතියට පැමිණියෙමි.
බොහෝ දෙමාපියන් දරුවන්ට
දිවා රෑ තිස්සේ ස්මාර්ට් ෆෝන් භාවිතාවට
ඉඩ දීලා තියනවා.
(උපුටා ගැනීම අවසන්.)

ස්ටීව් ජොබ්ස් අයිපෑඩය හැදුවෙ
පාසල් යන වයසේ දරුවන්ට නොවෙයි.
පරිගණකයක් සහ අන්තර්ජාලයෙන්
පාසල් දරුවෙක් නිසි ප්‍රයෝජන ගත්තොත්
ඔහුට ලබා ගත හැකි දේ බොහොමයි.
ඒත් දනට ඒ පහසුකම් තියන
කීදෙනෙක් අධ්‍යාපනය ලබන්නට
ඒ පහසුකම් භාවිතා කරනවාද?

මොබයිල් ෆෝන් එක, අයි පෑඩ් එක
ලෝකයට, අන්තර් ජාලයට විවෘත වෙනවා
කියා අගය කරන පිරිසට නොපෙනන
දුරාචාරය පිරි බොරු වලවල් රැසකටත්
දරුවාට දොරගුළු ඇරෙනවා.

කාමය සොයා අන්තර්ජාලයේ සැරිසරන
කාමාතුර තරුණ ජනතාවක් සිටින රටක
නොමිලේ අයි පෑඩ් දීම යහපතක්ද?
පනින රිලවුන්ට ඉනිමං තැබීමේ අගය
වැටී අතපය කඩා ගන්නා ඉලවුන්ගේ
දෙමාපියන් නගන අඳෝනා වලින්
රටේ ජනතාව තේරුම් ගනීවි.

ටැබ් බෙදා දී මාස කීපයක් තුළ
සමාජයේ ඇතිවෙන ප්‍රශ්න නිසා
ඒ සියල්ල එකතු කොට විනාශ කරන්නට
රජයට සිදු වනු ඇති.

අයි පෑඩ් දැනටත් භාවිතා කරන
වැඩිහිටි සිසුන්ගේ භාවිතා විවිධත්වයේ
ප්‍රතිශතය මනින්නට මෘදුකාංගයක් ලිව්වොත්
ඔවුන් වින්දනයට ගත කරන වෙලාවත්
අධ්‍යාපනයට භාවිතා කරන වෙලාවත්
සසඳා බලන කෙනෙක් විශ්මයට පත් වෙයි.

ඔබ දන්නා පවුල් වල
පරිගණක හා මොබයිල් ෆෝන් ඇති
ළමුන්ගේ එදිනෙදා ජීවිත වලත් වින්දනය
අධ්‍යාපනය අතර පරතරය කීයද?

අධිතාක්ෂණය භාවිතා කරන
පාසල් වියේ දරුවන් විෂාදය වැනි
මානසික රෝගවලට ගොදුරු වීමත්
සිය දිවි නසා ගැනීමට පෙළඹීමත්
දියුණු බටහිර රටවල පවා අධිකයි.

ධනපති පවුල්වල දරුවන් නිසා
ඒ දෙමාපියන්ට ඇති වන ප්‍රශ්න හැර
දුප්පත් සහ මධ්‍යම පාන්තික දරුවන්ටත්
ඔවුන්ගේ පවුල් වලටත් ප්‍රශ්න වැලක් ඇති කරන
අඛිල විරාජ්ගේ මේ අදූරදර්ශී තීරණය
අනුමත නොකළ නිසා ජනපති මෛත්‍රීට
ඡන්ද ලක්ෂ ගණනාවක් අහිමි වුවත්
ඒ නිසා ආරක්ෂාවෙන යොවුන් ජීවිත
ඒ ඡන්දවලට වටිනා හෙයින්
මෛත්‍රී ගත් තීරණයට
ජනතා ප්‍රණාමය.











20180216

අපරාධවලට හේතුව අවි භාවිතයේ නිදහසද?


ඇමරිකානු සිසුවෙක් ගිනි අවියකින්
ඉවක් බවක් නැතිව වෙඩි තබමින්
සහෝදර සිසු සිසුවියන් 17දෙනෙක්
එක තැන මරා දමන්නට හේතුවුණේ
ඔහුගේ කාමුක ඉල්ලීමකට කැමති නොවූ
එක ශීලාචාර සිසුවියක් නිසා පහළ වූ
අසීමිත කෝපයයි.
ගිනි අවියෙන් නිකුත් වුණ උණ්ඩ වලින්
සංකේතවත් වුණේ ඒ කෝපයයි.

මේ සිසුවාට ආගමික පදනමක් තිබුණා නම්
ඔහුගේ කෝපයෙන් මිදෙන්නට අවශ්‍ය වන
ආගමික ක්‍රම හැම ආගමකම තියනවා.
ආගමික ක්‍රමවලට හුරු නොවුණ අයත්
හිත සමනය කරගන්න භාවිතා කරන්නෙ
මේ ක්‍රම බව ඔවුන් දන්නෙ නෑ.
එවැනි ක්‍රම නැති අය මේ වගේ අනතුරු
සමාජයට සිදු කරනවා.

මේ වගේ අවස්ථාවන් වලින් බේරෙන්නට
විසඳුම් සොයන නිරාගමික සමාජය
අවි ආයුධ භාවිතයට ඇති නිදහස
මේ ප්‍රශ්නයට හේතුව මෙන් සලකමින්
අවි ආයුධ ඉවත් කරන්නට යෝජනා කළා.
ඒ විසඳුම සාර්ථක විසඳුමක්ද?

අපරාධකරුගෙන් අවි ආයුධ ඉවත් කිරීම
යුධ ටැංකියක තුවක්කුව අයින් කිරීමක්.
වාහනේ හානිකර බව ඒ වගේමයි.

මිනිසා තමයි හානිකරම අවිය.
අවි ආයුධ කියන්නෙ කියන්නෙ
ඒ හානිකර අවියෙ දිගුවක් විතරයි.

ඒක විසඳුමක් තමයි..
ඒත් ඉතාම බොළඳ මොන්ටිසෝරි විසඳුමක්.

පිස්සෙකුගෙන් ආයුධේ උදුරගන්නවාට වැඩි
විශේෂ බුද්ධිමත් කමක් ඒ විසඳුමේ නෑ.
සතෙකුට වුණත් ඒ විසඳුම හදා ගන්න පුලුවන්

මේ අපරාධකරුවා කඩුවක් අරන්
මේ පාසලට ගියානම්
දහයක් දොළහක් මරන්න ඉඩ තිබුණා.
මීට වැඩි වෙන්නත් තිබුණා.
පොල්ලක් අරන් ගියා නම් සිසුන් කීපදෙනෙක්
මරන තුරු විසඳුමක් නෑ.

වාහනේ නියුට්‍රල් එකට දැම්මා කියලා
එන්ජිම නතර වෙන්නෙ නෑ.
එන්ජිම නතරකරගන්න ක්‍රමයක් අවශ්‍යයි.

ඒ ක්‍රමය පවතින්නෙ ආගම් වල විතරයි.
විද්‍යාව සොයා ගත් විසඳුමක් නෑ.
විද්‍යාවෙන් උපකරණයක් හැදුවත්
කෝපයෙන් වියරු වැටෙන මිනිහා
සමනය කරගන්න ක්‍රමයක් හොයන්නෙ නෑ.
ඔහුට ඒක රෝගයක් නොවෙයි, ශක්තියක්.

ආවේගයක් එන මිනිහා හොයන්නෙ ආයුධයක්
ඒ ආවේගය සමනය කරගන්න හිතන්නෙ
තමන් දකින්න පුලුවන් ශීලයක් තියන මිනිහෙක්.
ශීලය තියන මිනිසුන්ට දැනටමත්
ඕන තරම් ක්‍රම ආගම් වල තියනවා.

අවි ආයුධ පාලනය කරන නීති කියන්නෙ
ඉතාම බොළඳ මොන්ටිසෝරි විසඳුමක්..

පිස්සෙකුගෙන් ආයුධේ උදුරගන්නවාට වැඩි
බුද්ධිමත් කමක් ඒ විසඳුමේ නෑ.
සතෙකුට වුණත් ඒ විසඳුම හදා ගන්න පුලුවන්

අවි ආයුධ පාලනය කරන නීති හැදුවට
ඒ අවි භාවිතා කරන මිනිස්සු
හැදෙන්නෙ නෑ..

පිස්සෙක් නීති වලින් ඇඳකට බැන්දාට
එයාගෙ පිස්සුව හොඳ වෙන්නෙ නෑ.
බෙහෙත් පෙති වලින් නිර්වින්දනය කළත්
ඔහු සුවපත් වෙන්නෙ නෑ.

තුවක්කුවෙන් තියන එකෙන් වෙන්නෙ
අතේ තියාගෙන ඉන්න කෙනාට ලැබෙන
බලයෙ ප්‍රමාණය විතරයි.

ඒ තුවක්කුව Fire වෙන්නෙ
ඔහුගෙ හිතේ දෙන ද්වේශයෙන්...
ඒ ද්වේශය පාලනය කරන්න තමයි
රජයෙන් නීතියත් ආගමෙන් සීලයත්
භාවිතා කරන්නෙ.
ඒ දෙකේදිම ආවේග පාලනය කරනවා.

වාහනේ නියුට්‍රල් එකට දැම්මා කියලා
එන්ජිම නතර වෙන්නෙ නෑ.
එන්ජිම නතරකරගන්න ක්‍රමයක් අවශ්‍යයි.

නීතිය හෝ සීලය ඇරුණාම
හිතේ තියන ආවේගයකින් නිදහස් වෙන්න
මේ ලෝකෙ තියන්නෙ ක්‍රම දෙකයි
එක්කො සමථ අනික විපස්සනා.

ලෝකෙ තියන හැම පිලිගත්ත ආගමක්ම
හිත සමාහිත කරගන්න භාවිතා වෙන්නෙ
සමථය මුල් කරගත් මානසික විසඳුම්.
ඒ විසඳුම් වලින් කරන්නෙ
ද්වේශයට හේතුවුණ අරමුණෙන් සිත අරන්
වෙනත් අරමුණකට යොමු කිරීමයි.

ආගමිකව නොවුණත් හැම කෙනෙක්ම
ගීත අහලා, රූපවාහිනී බලලා
මත්පැන් බීලා ආවේග සමනය කර ගන්නවා.

හැම කෙනෙකුටම කාලයට අමතරව
හිතේ ආවේග සමනය කරන ක්‍රම
භාවිතා කරනවා.

නිරාගමිකයාත් මේ ක්‍රම
නොදැනුවත්ව භාවිතා කරන අතරෙ
"මම ආගමික නෑ" කියලා උද්දාම වෙනවා.

සමථ ඇරෙන්න තියෙන විපස්සනා
වෙනත් ආගම් වලට මිශ්‍ර වෙලා නම්
ඒ බුදුන් වහන්සේ හොයා ගත්තට පස්සෙයි.
විපස්සනා තියෙන්නෙ බුදු දහමෙ විතරයි.
විපස්සනා අවශ්‍ය වෙන්නෙ
සමථයෙන් හිත තැන්පත් කිරීම
තවකාලික බව සහ
ඒ සමථය රැකගැනීමත්
අපහසු බව වැටහුණාමයි.

ගැටළු ඇති කරන අරමුණක් නිසා
කෙනෙකුගෙ හිත කැළඹිලා අවුල් සහගත වුණාම
''අරමුණ වෙනස් කිරීමෙන් හිත නිවා ගැනීම''
අසාර්ථක ක්‍රමයක් විදියට බුදුන් වහන්සේ දුටුවා.

අරමුණ වෙනස් කිරීමෙදි සිත නිවුණාට
අදාළ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ.
අරමුණ පිළිබඳ තොරතුරු වල
හැඟීම ඇතිකරන කොටස අක්‍රිය නිසා
ඔහු සැබෑ ප්‍රශ්නයට සංවේදී නැහැ.

බුදුන් වහන්සේ සෙවූ kraමය නම්
ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම සංවේදීව
සම්පජානෝ සතියෙන් යුතුව
උපේක්ෂාවෙන් වෙසෙමින්
ප්‍රශ්නය විසඳන ක්‍රමයයි.

ප්‍රශ්නයට මුහුණ දෙමින්
තමන්ගෙ හිත හොඳටම කැළඹිලා තියෙද්දි
ඒ කැළඹීමට සංවේදී නොවී
ප්‍රශ්නයට විසඳුම් දෙන්න හැකි වෙන
ප්‍රයෝගික විසඳුම සොයා ගන්න
බුදුන් වහන්සේ සමත් වුණා.

බුදුන් වහන්සේ අගය කළ තැනැත්තා
ප්‍රශ්නයකදි හිත කැළඹුණාම
'සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී'
කොයි විදියට හැසිරෙන කෙනෙක්ද?

''සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
ඉතිරි ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.''

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො”

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.

සිත සැනසිල්ලෙන් තියාගන්නා අරමුණෙන්
ප්‍රායෝගික ජීවිතයෙන් බැහැරවෙන්නෙ නැතුව
සිතේ සැනසිල්ල ලබාගන්න ක්‍රමය
විදසුන් වැඩීමයි.

හිත කැළඹෙන්නෙ අපේ කය අනුවයි.
හිත අනුව කයත් කැළඹෙනවා.

කයේ හෝමෝන වලින් සිත කැළඹෙනවා.
සිතේ කැළඹීමෙන් කයේ හෝමෝන ඇති වෙනවා.

ඇසින් අනතුරක් දැක්කාම
හිත කැළඹෙනවා.
ඒ අනුව අනතුරට මුහුණ දෙන්න හෝ
අනතුරෙන් පලායන්න අවශ්‍ය වෙන
හෝමෝන කයට එක් වෙනවා.
මේ හෝමෝන අනුව
නැවත හිත කැළඹෙනවා.

සිතේ වෙනස් වීම් වලට අනුව
කයට ඉබේම එක් වෙන
ප්‍රතික්‍රියා කාරක හෝමෝන නිසා
සතෙක් මෙන් ප්‍රතික්‍රියා නොකර
ඒ හෝමෝන මගින් කරන පෙළඹවීම
නොසලකා ක්‍රියා කරන්නට
විදසුන් වඩන්නෙක් පුහුණු වෙනවා.

කයෙහි ද්වේශය ඇති කරන හෝමෝන
සිතෙහි ඇති වෙලා තිබුණත් සිත කැළඹෙන්නෙ
ඒ හෝමෝන නිසා ඇති වෙන අප්‍රිය වේදනා
දුක්ඛ වශයෙන් ගැනීමෙනුයි.

මේ කැළඹිල්ල සතෙකුට අවශ්‍යයි.
මිනිසෙකුට අවශ්‍ය වෙන්නෙ
මනසෙන් විසඳන්න බැරි ප්‍රශ්නයකදියි.

මනසෙන් ප්‍රයෝජන ගන්න නම්
කයේ දුක්ඛ වේදනා ඇතිවුණාම
සිතේ ද්වේශය ඇති කර නොගෙන ඉන්න ක්‍රමය
විදසුන් වඩන කෙනෙක් විදියට
පුහුණු වීම අවශ්‍යයි.

20180215

නිරාගමික නිදහස ඇමරිකානු සිසුන් රැසක් ඝාතනය කරයි.

විද්‍යාව කොතෙක් දියුණු වූවද
මිනිස් සිත ආවේගශීලී වූ විට පාලනය කළ හැකි
විද්‍යාත්මක ක්‍රමයක් හෝ උපකරණයක්
මෙතෙක් ලොව නිපදවා නැත.
සිත සමනය කරන හැකියාව ඇති
එකම උපකරණයද සිතම පමණි.

සිත භාවිතා කොට සිත දමනය නොකර
සිය ආවේගය නිදහසේ නිදැල්ලේ මුදා හළ
මේ වියරු පාසල් සිසුවා භුක්ති වින්දේ
ඇමරිකානු සමාජය තුළ පවතින
නිරාගමික නිදහසයි.

ඇමරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක්-17ක් මරුට


ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාර්ක්ලන්ඩ්හි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විනය සම්බන්ද හේතුන් මත එම පාසලෙන් නෙරපනු ලැබූ 19 හැවිරිදි පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකරනු ලැබ ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

රයිෆලයක් රැගෙන පැමිණි සැකකරු සිසුන් තිදෙනකු පාසලෙන් පිටතදී ද 12 දෙනකු පාසල තුළදීද ඝාත‍නය කර ඇත. තවත් දෙදෙනකු රෝහලට ගෙනයන අවස්ථාවේ මියගොස් ඇත.

වෛද්‍යවරුන් පවසන්නේ තුවාල ලැබූ අයගෙන් පස්දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

2012 වර්ෂයේ කනෙක්ටිකට් ප්‍රාන්ත පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 20දෙනකු මියගිය අතර ඉන්පසුව පාසලක සිදු වූ භයානකම වෙඩිතැබීමේ සිද්ධිය මෙය බව බලධාරීහු පවසති.

මේ වසරේ පළමු දින 45 තුළ
ඇමරිකාවේ පාසල් සිසුන්ට වෙඩි තැබීම් 6ක් සිදුවිය.
මේ හය වැනි වෙඩි තැබීමයි.

අතීතයේ කෙනෙක් කඩුවක් ගෙනැවිත් කෙටුවා නම්
මේ ප්‍රමාණය මීට වඩා බෙහෙවින්ම අඩුවෙයි.

විද්‍යාත්මක දියුණුව මගින්
මරන්නට සැරසෙන මිනීමරුවන්ටත්
අවශ්‍ය විද්‍යාත්මක පහසුකම්
නො අඩුව සපයන්නේ මුදලටයි.

විද්‍යාවේ දියුණුව සමග
මිනිසා සියල්ලෙන්ම නිදහස සොයන්නට විය.
පළමුවෙන්ම ඔහු නිදහස සොයන්නේ
ආහාර, ඇඳුම් පැළඳුම් හා නිවාස ආදියටයි.
මේ මූලික අවශ්‍යතාවයන්ගෙන් සුඛිත මුදීත වී
විද්‍යාත්මකව දියුණු බටහිර සමාජය තුළ
හිතේ උපදින කාමයට තටු ලැබෙන්නේය.

රස කාමය නිදහසේ විඳින්නට
ඒ නිදහස අන් අයට හිරිහැරයක් නොවන සේ
සංවරව සහ සංයමයෙන් විඳින්නට
අතීතයේ සිට පැවත එන ශීලාචාර ක්‍රම වන
ආගමෙන්, සංස්කෘතියෙන්, සදාචාරයෙන් වෙන් වී
උපරිම නිදහස සොයා ගිය මිනිසාගේ ගමන
නිරාගමික වීමෙන් කූටප්‍රාප්තිය ලැබීය.

සිත සසල වූ විට, කුපිත වූ විට
ඒ කැළඹුණු සිත සමනය කරගන්නට සහ
සමාහිත කරගන්නට, ප්‍රඥාවෙන් විමසන්නට
සියලු ආගම් වලින් නොයෙක් ක්‍රම සපයා ඇත.
මිනිසාගේ හැඟීම් සහ ආශාවන්
අන් අයට හිරිහැර නොකොට විඳින්නට
මිනිසාට අවශ්‍ය නිදහස ලබා දෙන
සරලම මාර්ගය වන ආගම
විලංගුවක් ලෙස සලකා බැහැර කොට
බලෙන් ලබාගත් නිරාගමික නිදහස තුළ
ආගමෙන් ලබා දුන් පහසුකමට සරිලන
කිසිදු විකල්පයක් ඉදිරිපත් නොවීය.

විද්‍යාව කොතෙක් දියුණු වූවද
මිනිස් සිත ආවේගශීලී වූ විට පාලනය කළ හැකි
විද්‍යාත්මක ක්‍රමයක් හෝ උපකරණයක්
මෙතෙක් ලොව නිපදවා නැත.
සිත සමනය කරන හැකියාව ඇති
එකම උපකරණයද සිතම පමණි.

සිත භාවිතා කොට සිත දමනය නොකර
සිය ආවේගය නිදහසේ නිදැල්ලේ මුදා හළ
මේ වියරු පාසල් සිසුවා භුක්ති වින්දේ
ඇමරිකානු සමාජය තුළ පවතින
නිරාගමික නිදහසයි.

කෝපාවිෂ්ඨ වූ කෙනෙකු තුවක්කුවක් රැගෙන
සිය කෝපය මුදා හැරීම අමානුෂිකය.
සියල්ලන් පොදුවේ සමාන  මිනිසුන් ලෙස සලකා
සියල්ලන්ටම දෙන මානව හිමිකම් වලින්
මෙවන් අසමාන මිනිසුන් බිහිවන්නට
මග හසර සකස් වෙයි.

මේ සාහසික මිනීමරුවාගේ
පීඩනයට, ආතතියට හේතුව ලෙස
මෙම පාසලේ සිසුවෙකු සඳහන් කළේ
ඔහු විසින් කළ කාමුක යෝජනාවක්
සිසුවෙක් හෝ සිසුවියක් ප්‍රතික්ෂේප කිරීම
මේ සමූහ ඝාතනයට හේතුව බවයි.

කාමයට නිදහස උපරිමයෙන් ඇති
ඇමරිකානු සමාජය තුළ වෙසෙන ඔහු
මේ ප්‍රතික්ෂේප කිරීම සැලකුවේ
ඔහුට කළ අපරාධයක් ලෙස බව
ඔහුගේ හැසිරීමෙන් පෙනෙයි.

කාමයට නිදහස ලබා දෙන සමාජයක
කාමුක ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නට ඇති
සාධාරණ මානුෂික නිදහසද ඒ සමගම
ඊට සමානුපාතිකව අවම වෙයි.

මේ සිදුවීමෙන් භීතියට පත් වෙන
මේ පාසලේ සිසු සිසුවියන්ට සිදු වන්නේ
මෙවැන්නෙක් කරන කාමුක ඉල්ලීමකට
මේ භීතිය නිසාම එකඟ වන්නටය.
මෙවන් කාමුක ඉල්ලීමක් ලද විට
"17 දෙනෙකුට වෙඩි තියන මිනිසුන් අතර
තනි මා අනාරක්ෂිතය" යන බිය
ඔවුන් තුළ පහළ වීම සාධාරණය.

නිරාගමික ලෝකය ප්‍රතික්ෂේප කළත්
සියලුම මිනිසුන් එකිනෙකාට බෙහෙවින් වෙනස්ය.

"සියල්ලෝම සමානයි" කියන තර්කය
ව්‍යාජ පුහු මායාවක් පමණක් බව
මේ මිනිසා ලොවට ඔප්පු කොට ඇත.

ඔහුගේ ඉල්ලීමට එකඟ වුණා නම්
ඔහු කරන්නේ ඇය රිසි සේ පාවිච්චිකොට
හපය ඉවත දැමීම පමණක් නොවේද?

මෙවන් අපරාධයක් කළ හැකි
නරුම කාම අපරාධකරුවෙකුට
කළ නොහැක්කේ කුමක්ද?

ඔහුගෙ මේ වෙනස හඳුනාගන්නට
පාසල් සිසු සිසුවියන් පුහුණු නොකොට
"සියල්ලන්ම සමානයි" යන මායාවෙන්
පාසල් සිසුන්ගේ අහිංසක ඇස් අඳ කළ
මේ පාසලේ නිරාගමික සංස්කෘතිය විසින්
මේ ඝාතන වල වගකීම භාර ගත යුතුය.

කාමයෙන් දැවෙමින් කෙනෙකු පසුපස එන
නොමිනිස් වන මෘග සිත් ඇත්තෙකුට
ඔහුගේ කාමුක ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසු
මානසිකව පත්වන්නේ ගෞදුරක් සොයන
මෘගයෙකුගේ භූමිකාවට විය හැක.
එවිට අනෙකා ප්‍රමාද වැඩිය

එක සිසුවෙක් මේ පිළිබඳව කියමින්
"අපේ ප්‍රතිපත්තිය වූයේ ඇතුළට එන සියලු දෙනාම
සමානයන් ලෙස සලකා වැළඳ ගැනීමයි.
ඒත් එයා ඒ විදියට අපි ගැන හිතුවේ නෑ..."
ශෝකයෙන් පැවසුවා.

කෙනෙකුගේ සිතට එන ආවේගයට අනුව
නිදහසේ හැසිරෙන්නට නීතියෙන් ලබා දෙන
මායාවෙන් මුළා වූ නිරාගමික නිදහස තුළ
ගුණගරුක මිනිසුන් පමණක් නොව
මෙවැනි මිනිස් වෙස් ගත් තිරිසනුන්ද නිදහස්ය.

එක් ඇමරිකානුවෙක් පැවසුවේ
"ඔබේ දරුවා මෙවන් ඉරණමකින්
ගලවා ගන්නට ඔබට අවශ්‍ය නම්
ඔහු නිවසේ රඳවාගෙන
අධ්‍යාපනය දෙන්න". කියායි.

ජීවිතය අනියතය, මරණය නියතය.
නිරාගමික බව නිදැල්ලේ හැසිරෙයි.







20180212

රාජපක්ෂ කඳවුරේ දූෂණ විරෝධියා

 


ජන්මයෙන් හෝ පුරුද්දෙන්
යන එන රැකියා කරන තැන
හොර බොරු වංචා කරන මිනිසුන්ට
රටට හොර මැර වංචා දූෂණ කරන
පාලක පන්තියේ නීලකාස හොරුන්
වෙන් කර හඳුනාගන්න අවශ්‍ය වෙන
හිතේ පිරිසිදු කම ඇත්තෙ නෑ.

වංචා දූෂණ කරන කෙනෙකුට
එක් අයෙක් ලබා දෙන ඡන්දය මගින්
හොරකමට අවශ්‍ය ආයුධ තනා ගන්නට
පහසුකම් සපයන බව නොදන්නා මිනිසුන්
ඒ හැම හොරකමකටම අනුබල දෙන
යාන්ත්‍රණයෙ කොටස්කරුවෙක්.

දූෂිතයෙක් ප්‍රතික්ෂේප කරන්න
තමන් තුළ දූෂණ විරෝධී ගුණය
වගා කරගත් කෙනෙකු විය යුතුයි.
කුඩා කල මාපියන්, නෑසියන් මෙන්ම,
ගුරුවරුන් විසින් පවා පෝෂණය කරන
හොර බොරු වංචා වලින් දූෂිත
අඳුරු හිත්වලට දූෂිතයන්
හඳුනා ගන්න බැහැ.

අපේ රටේ ඡන්ද දායකයන්ටත්
දේශපාලනඥයෙන්ගෙ හොර මැර දූෂණ
හඳුනා ගන්න බෑ, වෙනස තේරෙන්නෙ නෑ
2018 මැතිවරණයෙ ප්‍රතිඵලවලින්
ඒ බව සහතික වුණා.

මේ තාක් හොරු කියා රට හංවඩු ගැසූ
රනිල් මහින්ද දෙන්නාම එකතුව
සියයට 70ට වඩා ඡන්ද ගත්තා.
ඔවුන්ට ඡන්දෙ දෙන මිනිස්සුන්ට
ඔවුන් මොනව කළත් කමක් නෑ.

අපට පළමුව ජයගන්න වෙන්නෙ
මේ දේශපාලනඥ හොරු නොවෙයි.
තවමත් අඩ නින්දෙ පසුවෙන ජනතාවයි.

රනිල් හොරෙක් වුණාට
මැරයෙක් වගේ හැසිරෙන්නෙ නෑ.
ජනපති මෛත්‍රී යටතෙ
අගමැති බලතල නැතිව
ජාතික රජයක් තුළ
රනිල් පාලනය කරන්න පුලුවන්.

මහින්ද හොරෙක් විතරක් නොවෙයි...
කුපිත වුණාම ඕනම කෙනෙකුට
හොම්බට අනින්න යන මැරයෙක්.
අපි අකුරැස්සෙදි ඒ බව දක්කා.
ඔහුට මෛත්‍රී එක්ක වැඩ කරන්න බැහැ.

දූෂණ චෝදනා නැතිව
දේශපාලනික ලෝකයේ ක්‍රියා කරන
එකම එක රාජපක්ෂවරයා ලෙස
මහින්ද ගෝටා ඇතුළුව කවුරුත් ගරු කරන
චමල් රාජපක්ෂ පරිණත දේශපාලනඥයා
දේශපාලන මඩ ගොහොරුවේ
මඩ නොගෑවුණ සුදු නෙලුමක්.
රාජපක්ෂ පාලනය තුළ
ඔහු කැපී නොපෙනෙන්නට හේතුව
මේ පිරිසිදු කම විය හැකියි.

රාජපක්ෂ පාර්ශවය තුළ
ඔහු බලවත් කිරීමට හැකි වුණොත්
දූෂණ විරෝධී කඳවුරට ජයග්‍රහණයක්.

පක්ෂ විපක්ෂ දෙපක්ෂයම
සමව නියෝජනය කළ චමල්
කථානායක ධූරයේ කළ සේවය කළ ආකාරය
රාජපක්ෂ කඳවුරේ අඳුර යම් ප්‍රමාණයකට දුරු කරන
දීප්තිමත් හුළු අත්තක් බව සත්‍යයකි.

එජාප, ශ්‍රීලනිප, ජවිපෙ. මුස්ලිම් සහ
දෙමළ පක්ෂ ඇතුළු සියල්ලන්ගෙන්
දූෂණ චෝදනා නැති පිරිසක්
තෝරාගෙන හදන රජයක් නියෝජනයට
මහින්දට කැමති පිරිස වෙනුවෙන්
එම රජයට එක්වන්නට හැකියාව සහ
අවශ්‍ය සුදුසුකම් නො අඩුව ඇති
එකම රාජපක්ෂවරයා ඔහුය.

අද පිපෙන දූෂණ විරෝධී පොහොට්ටුවට
මහින්ද පාර්ශවය තුළ පණ දෙන්නට
පළාත්පාලන අපේක්ෂකයන්ගේ හෙට ගැන
අද ඔහු දරන මේ සරල එහෙත් තියුණු අදහස
අපේ රටේ යහපාලන අනාගතයට
ඉතාම වැදගත්ය.
-------------------------------------

චමල් රාජපක්ෂ ලංකාදීප පුවත්පතට...

"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කරන්නට නොදෙන බවත් තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ජනසභා පිහිටුවා ඒ මගින් සංවර්ධන කටයුතු කිරීම සඳහා පියවර ගන්නා බවත්  
චමල් රාජපක්ෂ මහතා පැවසීය.

"දූෂණය නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩ පිළිවෙලක් හදනවා. අපි බලයේ සිටි අවධියේ අපෙන් වූ වැරදි හා අඩුපාඩුකම් පිළිබඳව අපිට නිසි අවබෝධයක් තිබෙනවා. එම අවබෝධයත් සමඟ අපි අළුත් ගමනක් යනවා." චමල් රාජපක්ෂ මහතා තව දුරටත් පැවසීය.

දැන් අපිට තෝරාගන්න වෙන්නෙ
වැඩිම දූෂණ විරෝධීන් ඉන්න කඳවුර.

පොහොට්ටුව පාර්ශවයෙ
දැනට ඉන්නෙ චමල් විතරයි..

එජාපය පැත්තෙ කරු ඉන්නවා.
කරුගෙ අතීතයත් හැසිරීමත් මත
මෛත්‍රී මෙන් ඔහුත්
ස්වාභාවිකව, ජන්මයෙන්ම
දූෂණ විරෝධියෙකු බව පැහැදිලියි.

අපක්ෂපාතීව කටයුතු කරන්නට
පක්ෂ රැස්වීම් පවා වර්ජනය කරන කරු
අඳුරු එජාපයට පහනක්.

ශ්‍රීලනිපයේ මෛත්‍රීත් ඇතුළුව
දූෂණ විරෝධී දේශපාලනඥයන්
පක්ෂ තුනට තුන් දෙනෙක් සිටීම
අපේ දේශපාලනයට සම්පතක්.

මෛත්‍රී චමල් කරු
කාන්තාරෙකට වතුර පොදත්
ක්ෂේම භූමියක් වගේ වටිනවා.



20180211

දූෂණ විරෝධී මෛත්‍රී පරාදයි.

මෛත්‍රී හරි.

පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ
සහයෝගය නැති අවස්ථාවක
තනි බලයට නීතිය අතට ගෙන
සොරු අල්ලන්නත් දඬුවම් දෙන්නත්
මෛත්‍රී ක්‍රියා කළ යුතුව තිබුණා කියා
යම් දේශපාලනික විඥාණයක් ඇති
නීති ගරුක පුරවැසියන් කිසිවෙක්
මොහොතකටවත් සිතන්නේ නෑ.

බැඳුම්කරය ගැන කමිටු තුනක්
කරන විමසුම් වලින් පලක් නොවෙන තුරු
ඔහු ඒ ප්‍රශ්නයට අත නොගැසුවේ
පාර්ලිමේන්තු ක්‍රමයට ඇති
ගෞරවය නිසා විය යුතුය.
එහෙත් ඒ කමිටු වලින් නිසි විමසුම
සිදු නොවන බව හෙළි වූ පසුව
ඔහු වෙනම කොමිසමක් පත් කොට
කලින් සොයා නොගත් බොහෝ රහස්
සොයා ගන්නට සමත් විය.

ප්‍රජාතන්ත්‍රවාදීව හොරුන්ට දඬුවම් දෙන්න
මෛත්‍රී මෙතෙක් ක්‍රියා නොකළා නම්
මෛත්‍රී අද ජීවතුන් අතරවත්
නොසිටින්නට ඉඩ තිබුණ බව
සියයට 70ක මහා බලවේගය
එකා මෙන් දූෂණ පාක්ෂිකව
නැගී සිටීමෙන් පැහැදිලි වෙනවා.

රට පුරා විසිරී සිටින්නාවූ
වංචා දූෂණ පාක්ෂික බහුතරය
සොරුන් වංචනිකයන් පිළිගන්න බව
අපට දැනගන්න පුළුවන් වුණේ
මෛත්‍රී මනා ඉවසීමෙන් යුතුව
පාර්ලිමේන්තුව, අධිකරණය හරහා
ක්‍රියා කරන්නට වෑයම් කළ විට
ඒ උත්සාහයන් එජාප රජය විසිනුත්
ව්‍යර්ථ කරන්නට ක්‍රියා කළ බව
අපි නිරන්තරයෙන් දුටුවා.

ඇස් පනාපිට සිදු වෙන හොරකම්
විමර්ශනය කොට වාර්තා ගත කළත්
ඒ සොරකම් වලින් බේරෙන්නට එකට වැඩ කළ
එජාප, ශ්‍රීලනිප දෙකේම හොරු ජනතාව
තමන්ගේ ඡන්දය මගින් බේරාගත්තා.
දැන් ඔවුන්ට නිදහස් වෙන්නට අවශ්‍ය නම්
අවශ්‍ය දූෂණ පාක්ෂික ජනවරම
ඔඅවුන්ට ලැබී තියනවා.

මේ ජන බලයට එරෙහිව
හොරුන්ට බලෙන් දඬුවම් කරන්න
මෛත්‍රී සූදානම් වුණා නම්
මේ බලවේගය ඉදිරියේ
ඔහුට ජීවිතයත් නැති වෙනවා.

මේ පරාජය අපේ ජයග්‍රහණයක්.
සැබෑ දූෂණ විරෝධයක් ඇති වෙන්න
රටේ ඉන්න දූෂිතයන් සංඛ්‍යාව
ගණන් ඉලක්කම් වලින් දැන ගන්න ඕන.

එජාපෙටත් පොහොට්ටුවටත් වැටුණ
හැම ඡන්දයකින්ම පෙන්වන්නෙ
සොරකම දූෂණය අනුමත කරන
අපේ රටේ ජනතාවෙ සැබෑ ප්‍රමාණයයි.
ඒ ප්‍රමාණය අද රටටම
ඉලක්කම් වලින් පෙනෙනවා.

පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු බය නැත්තෙ
රටේ ඉන්න හොරු ඔවුන් අනුමත කරන බව
ඒ හැම හොරෙක්ම පැහැදිලිව දන්න නිසයි.

මේ බලවේගයෙ බලය කොතරම්ද කියා
මෛත්‍රී වෙන කාටත් හොඳින් දන්නවා.
ඔහු වසර තුනක් හොරු අල්ලන්න කල්ගත්තෙ
මේ තරම් විශාල චෞර බලවේගයක්
ඔහුට තනිවම ජයගන්න බැරි බව
ඔහු තේරුම් ගත් නිසායි.
අද ඔහු නිවැරදි බව
අපට වැටහෙනවා.

රටේ බහුතර ජනතාව ඉල්ලන්නෙ
සුපුරුදු හොරු දූෂිතයෝම නම්
ඒ බහුතර මතය ජයග්‍රහණය කොට
හොරුන් දූෂිතයන් කිරුළු පැළඳීම
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙනුවෙන් දුක් විඳින්න
ප්‍රජාතන්ත්‍ර වාදය අගයන අපි සූදානම් විය යුතුයි.

මේ දූෂිතයන්ගේ රටේ සිටින
එකම දූෂණ විරෝධියා මෛත්‍රී බව
පසුගිය වසර තුනක් තිස්සේම
අපි නිරන්තරයෙන් දුටුවා.

පනාමුරේ ඇත් රාජා මෙන්
දූෂණ විරෝධී කඳවුරට
නොයෙක් පාර්ශවයන්ගෙන් පහර දෙමින්
මේ වසර තුන තුළ දූෂණය පිටු දකින්න
මෛත්‍රී තනිව ගෙනගිය සටනට
අවංකව සහය දුන් එකම දේශපාලනඥයෙක්වත්
මෛත්‍රී වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිටියේ නෑ.

වසර පණහක් තිස්සේ බොරු කරන
දූෂණ විරෝධී ජවිපෙ පවා ඔහුට විරුද්ධයි.
ජවිපෙ කරන්නෙ තනිකර බොරුවක්.
ජවිපෙ සැබැවින්ම දූෂණ විරෝධී නම්
ඔවුන් මෛත්‍රීගේ වැඩ පිළිවෙලට
සහය දිය යුතුව තිබුණා.

ජවිපෙ හබන් කුකුළන් කළේ
මෛත්‍රී තලන කැකුණ වලට ලොබ වී
තව ඡන්ද දෙක තුනක් සොයා යාමයි.
තිබුණ සියයට පහවත් රැකුණෙ
මෛත්‍රීගෙන් හැලුන විද්වත්, කලාකරු
කියාගන්නා බොළඳ දූෂණ විරෝධීන්ගෙන්.
ජවිපෙ සෙවූ ඡන්ද දෙකතුන ලැබුණා.

බලය නැති කඳවුරක ඡන්ද
රට පුරා වක්‍රව ක්‍රියාත්මක වුණේ
දූෂණ විරෝධියාට විරුද්ධවයි.
ජවිපෙ වැඩ පිළිවෙළේ වාසිය
දූෂණ පාක්ෂිකයාටයි.

ජවිපෙ දිගින් දිගටම
ව්‍යංගයෙන් සැලසුම් කළේ
මේ දූෂණ විරෝධය පරදවන්නයි.
ඔවුන් හැම විටම ක්‍රියා කරන්නේ
ධන හෝ ඍණ උත්ප්‍රේරකයක්
වශයෙන් බව ඔවුන් අත ගැසූ
හැම දේකින්ම පෙනෙනවා.
හැම ප්‍රතික්‍රියාවක් අවසානයේම
ජවිපෙ ඡන්ද සියයට පහ හය
වෙනස් වන්නේ නෑ.

මෛත්‍රීට විරුද්ධව ජවිපෙ සමග එක්වුණ
කලා කරුවන් හා විද්වතුන් පසු පස සිටියේත්
මෛත්‍රීට විරුද්ධ දූෂණ පාක්ෂිකයන්මයි.

ලක් ඉතිහාසයේ පළමු වතාවට
දූෂණයට විරුද්ධ තනි මිනිහෙකුත්
ඔහුට විරුද්ධ දූෂිතයන් පිරිසත්
මේ පළාත්පාලන මැතිවරණයේදී
මුහුණට මුහුණ ගැටුණා.

දූෂණ පාක්ෂික පිරිසේ
බලය විමසා බලන විට
සටනින් මෛත්‍රී ජයග්‍රහණය කිරීම
විය නොහැකි දෙයක්ව තිබුණ බව
අද අපට නිසැකව පෙනෙනවා.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නැතිව
මෛත්‍රීට දූෂණ විරෝධී නීතියක්
සකස් කිරීමට හැකියාව නීතියෙන් නෑ.
පාර්ලිමේන්තුවේ අඩක් ඔහුට නැති නම්
පවතින නීති වලට අනුව වත්
ජනතා කැමැත්ත පිළිබඳව
සහතිකයක් පාර්ලිමේන්තුවෙන්
ලබා ගන්න ඔහුට බෑ.

සම්මුතිවාදී රජය විවාහයක්.
මේ රජයත් දූෂිත චෝදනා ලද රජයක්
අනියම් පුරුෂයන් සොයන බිරිඳක් සමග
දරුවන් සුචරිතයේ පිහිටුවන්නට
මෛත්‍රීට නීතියෙන් ලැබෙන ශක්තියක් නෑ.
දරුවනුත් වැඩි පිරිසක් නැගී සිටින්නේ
අනාචාරයේ හැසිරෙන බිරිඳ සමග නම්
මෛත්‍රීට කළ හැක්කේ ගෙදර පාලනය
අනාචාරයේ හැසිරෙන බිරිඳට දීමයි.

රටේ බහුතරය දූෂණයට
කොන්දේසි විරහිතව පක්ෂ වුණාට
අද රට ක්‍රමිකව පත් වෙමින් තියන තැන අනුව
රටේ විශාල පිරිසක් දූෂණයට විරුද්ධයි.

දූෂණ වංචා දැක දැක
සියයට හැටක් විතර විරුද්ධව හිතන්නෙ
රාජ්‍ය මට්ටමේ දූෂණයෙ බරපතලකම
ඔවුන්ට නොතේරෙන නිසයි.

රටෙන් බහුතරයක් පක්ෂව සිටින
සොරුන් රැළකට දඬුවම් කරන්නට
ජීවිතයත් අහිමි වන්නට ඉඩ තිබියදී
නොගැලපෙන කාලයක ක්‍රියා කර
මේ බලවේගය විසින් පරදවනු ලැබුවත්
දූෂණයට විරුද්ධව සටන් කරමින්
දූෂිතයන්ගේ මහා පවුර බිඳින්නට
තනිවම සටන් කළ ඇත් රජෙකු මෙන්
මෙසේ පරාජය වීම ගෞරවණීයයි,
මෛත්‍රී.

පනාමුරේ ඇත් රජු පිළබඳ පුවත
කුඩා කල අම්මාගෙන් නැවත නැවත
අසාගෙන ඒ රූප මවා ගෙන විඳින විට
එදා ඇසට නැගුණ කඳුලු වලට වඩා
අද නැගෙන කඳුළු වෙනස්.

එදා කඳුළු නැගුණේ ඇත් රජු වෙනුවෙන්.
අද කඳුලු නැගෙන්නේ කිසිත් නොදැන
ඇත්ගාලට වී ලැබෙන අයුරින් කමින් බොමින්
තමන් පාලනය කරන දූෂිතයන්ට නතු වී
රටේ භාණ්ඩාගාරය පවරාදී
භාණ්ඩාගාරය පෝෂණය කරමින්
මන්ද පෝෂණයෙන් පෙළෙන
දෙශපාලනිකව දෑසම අන්ධ වූ
ජනතාව නම් ඇත් රැළ වෙනුවෙනුයි.

අප දන්නා මෛත්‍රී
මේ දූෂණ පාක්ෂික ප්‍රතිඵලයට සාපේක්ෂව
දූෂණ විරෝධී ඉදිරි ගමන සැලසුම් කරනවා ඇතැයි
අප විශ්වාස කරන්නෙමු.

මෛත්‍රී අරඹන්නට සූදානම් වන
පුළුල් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරය
අද අපේ අනාගත බලාපොරොත්තුවයි.



20180208

එජාපෙ කකුලෙන් අදිද්දී මෛත්‍රීට ජවිපෙ....

එජාප ශ්‍රීලනිප සම්මුතිවාදී රජය
වසර තුනක් තිස්සේ පැවතුණේ කෙසේද?
ජනතාව ඉදිරියේ පිරිහෙන්නට හේතු මොනවාද?

සිංහලයාගේ මාන්නයත්, ආත්මාර්ථකාමිත්වයත්
ජන්මයෙන් ගෙන නො ආවත් පෝෂණය වන්නේ
අසාධාරණ පාක්ෂික පවුල් පරිසරයෙනි.
දෙමාපියන්ට ප්‍රිය දරුවාට වැඩියෙන් සලකන නිසා
අනෙක් දරුවා ඉච්ඡා භංගත්වයට පත් වෙද්දී
සත්කාර ලද දරුවා මාන්නාධිකව වැඩෙයි.
ඔහු ඒ තැන රැකගන්නට සටන් වදියි.
සැමියා බිරිඳ අතරද මේ තරඟය ඇත.

මෛත්‍රී සම්මුතිවාදී රජය ආරම්භයේ සිටම
නොයෙක් කෙණෙහිළි වලට බඳුන් වූයේ
තරඟය ගේම කරගත් එජාපයෙනි.

මහින්දගේ බේරුවල් බොක්කට ඔක්කොම කුණුදමා
මහින්ද ගෙදර යවන්නට ජනතාව සිතූ අයුරින්
මෛත්‍රී ගැනත් ජනතාව සිතනු ඇතැයි සිතා
රජයේ මුදල් හුරුපුරුදු අයුරින් මංකොල්ලකන්නට
එජාප මැති ඇමතිවරුත්, මෛත්‍රී සමග පැමිණි
මැති ඇමතිවරුත් ක්‍රියා කළ බව අපට පෙණින.
ප්‍රවේශමෙන් කටයුතු කළ බව පෙණුනේ
මෛත්‍රීට එරෙහිව සිට පසුව එකතු වූ
පරිණත මැති ඇමතිවරුන්ය.

කුස ගින්නේ සිටියවුන්ගේ බඩජාරි කම
සුසිල්, එස්බී, අනුර යාපා වැන්නන් තුළ
දිස් නොවුණ බවත් සත්‍යයකි.
ඔවුන් සම්මුතිවාදය තුළ රැඳෙමින්
මෛත්‍රීට අවනතව ක්‍රියා කරද්දී
රනිල්ට පාලනයක් නැති එජාප ඇමතිවරු
යහපාලන දිය බොර කරමින්
මාළු අල්ලන්නට විය.

මෛත්‍රීගේ ප්‍රතිරූපයට මුවා වී
සොරකම්, වංචා දූෂණ වල යෙදී
මෛත්‍රීට බිල දමා මෛත්‍රී බිම හෙළා දමා
තමන්ගේ ගොඩ වැඩි කරගන්නට ක්‍රියා කළ
දූෂිත මැති ඇමතිවරුන්  සමග මෛත්‍රීට
යහපාලනයක් ක්‍රියාත්මක කළ හැකිද?

මේ පිළිබඳව ඉතා ඉවසීමෙන් ක්‍රියා කළත්
මෛත්‍රීට ඔවුන් පාලනය කළ යුතු වූයේ
රනිල් හරහා වීම ඔහුට තිබුණ අවාසියකි.

මෛත්‍රීගේ විරුද්ධත්වයට සවන් දී
අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමත්
රවි මුදල් ඇමති කමට පත් කිරීමත්
නොකර සිටින්නට රනිල් කීකරු වුණානම්
බැඳුම්කර වංචා අසූචි වළට
සම්මුති රජය වැටෙන්නේ නැත.

එහෙත් රනිල්ගේ ක්‍රමය එය නොවේ.
රනිල් සිය බලය පතුරුවන්නේ සගයන්ට දෙන
සන්තෝසම් වලින් බව ඔහුගේ හැසිරීම දන්නා
ලාංකික ජනතාව හොඳින් දනී.
ඔහු ඡන්දය ඉල්ලන්නේ ෆ්‍රී වයිෆයි,
චුවින්ගම්, බ්‍රේස්ලට් දීමෙනි.

"බයිසිකලෙන් එන මිනිහා
කාර් එකෙන් වෑන් එකෙන් ගෙදර යා යුතුයි.
අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා" යි
රනිල් එජාප අයට කියන්නේ ඒ නිසාය.
ඔහුත් මහින්දගේම අච්චුවේ
කූට පාලකයෙකු වීම නිසා
සම්මුතිවාදී රජය පිරිහී
එජාපයත් පිරිහෙන්නට හේතු විය.

රනිල්ගේ සහ මැති ඇමතිවරුන්ගේ
දූෂිත ක්‍රියා කලාපයන් වල බලපෑම
මෛත්‍රීගේ ජනප්‍රියත්වය පිරිහෙන්නට හේතුව
මහින්දගේ අත්තනෝමතික පාලනය
මිනිස්සු මෛත්‍රීගෙන්ද බලාපොරොත්තු වීමයි.
ඔහුට කඩුව භාවිතා කරන්නට සිදු වූයේ
වැරදි දේ කපා හෙළන්නට නොවේ.
දුර සිට ඉලක්කයට එල්ල කරන හෙල්ලක්
ඊතලයක් මෙන් වීම මෛත්‍රී ට අවාසියකි.

බැඳුම්කර කොමිසම පත් කිරීම වැනි
සමහර ඉලක්ක සාර්ථක කරගැනීමට
සමහර විටක ඔහු දක්ෂ වුවද
සමහර අවස්ථා ගිලිහී ගියේය.
මැතිවරණයට පෙර පවත්වන්නට
ඔහුට අවශ්‍ය වූ පාර්ලිමේන්තු විවාදය
එවැනි මග හැරුණු එක් ඉලක්කයකි.

ජනතාව හමුවේ බොරු වෙස් නැටුමක් නටා
ඒ අවදානම මග හැර මැතිවරණයට යන්නට
රනිල් ඇතුළු එජාපයත් ඒකාබද්දයත් සමත් වීම
මැතිවරණය හමුවේ මෛත්‍රීට අවාසියක් විය.

එජාපය දුර දිග නොබලා
කල දුටු කල වල ඉහ ගනිමින් කල
බැඳුම් කර වංචා දූෂණ හෙළිවූ විට
"මුනුත් එකයි" කියා ජනතාවට ඇතිවූ හැඟීම
රනිල්ගේ දූෂණ විරෝධී වහසි බස් අසා
වෙනස් කරන්නට ජනතාව සූදානම් නැත.
ඔහු සහ එජාපය දූෂණ විරෝධී නැති බව
මැතිවරණ වේදිකාවක කරන
කතා බහෙන් සුදු හුණු ගෑමෙන් වසාගත හැකිද?

තමන්ගේ සාක්කු පුරවා ගැනීමට අමතරව
මෛත්‍රීගේ ප්‍රතිරූපයට පහර වදින්නට
මෛත්‍රීගේ නම නරක් වෙන ආකාරයට
ජන ජීවිතය පිරිහෙන අණ පනත් පනවා
වක්‍රාකාරව ඔහුගේ ප්‍රතිරූපය බිඳින්නට
එජාපයේ මැති ඇමති වරු ක්‍රියා කළ අයුරු
අප වරින්වර දුටුවෙමු.

සමලිංගික විවාහ සහ
ගබ්සාව නීතිගත කිරීම,
මත්පැන් වල මිළ අඩුකිරීම,
මත්පැන් විකුණන කාලය වැඩි කිරීම,
කාන්තාවන් මත්පැනට හුරු කිරීම,
පාසල් නිල ඇඳුම් වෙනස් කිරීම ආදී
මෛත්‍රීගේ ප්‍රතිපත්තිවලට නොගැලපෙන
නීති රීති ක්‍රියාත්මක කරමින්
ශීලාචාර ජනතාව අතර පවතින
මෛත්‍රී පිළිබඳ පැහැදීමට
වක්‍රාකාරයෙන් පහර දෙන්නට
එජාප ඇමතතිවරු යෙදූ කූට උපක්‍රම
අසාර්ථක කරන්නට මෛත්‍රීට සිදු විය.

මේ උපක්‍රම වල එක් අවස්ථාවක්
බ්‍රිගේඩියර් ප්‍රියංකගේ සිදුවීමෙන්
එළියට පැන්න බව අපට පෙණින.
උතුරු කොරියාවට සම්බාධක පැණවීම
මෛත්‍රීගේ ප්‍රතිරූපයට හානි කරන්නට
විදේශ අමාත්‍යාංශයෙන් දරන ලද
එක් පහත් පෙළේ වෑයමකි.

මෛත්‍රීගේ පිළිතුර නිහඬය. බැරෑරුම්ය.
විදේශ ඇමති රවි ඉල්ලා අස්වුවත්
නව විදේශ ඇමති යටතේද
එවැනි ක්‍රියා කරන්නට අවකාශ ඇති බව
බ්‍රිගේඩියර් ප්‍රියංකගේ සිදුවීම තුළ
අපට පැහැදිළි වෙයි.

සමාජ ජාල වල ඡායාරූප බලා
හදිසි තීරණ ගත් විදේශ අමාත්‍යාංශය
ජනපති ඒ තීරණය අත්හිටුවා තිබියදී
ලිඛිත දැනුම් දීමක් නැතැයි ඔවුන් කීවේ
ඔවුන්ගෙ ඉලක්කය ජනපතිම වූ නිසාය.

මෛත්‍රී කරන දේ අවංකව කරන බව
ජනතාව සිය දැක්මෙන්ම පසක් කරද්දී
විරුද්ධ දේශපාලන බලවේග වලට
ඔහු පිරිහෙළන්නට ආයුධ නැත.

සොහොයුරාගෙ වාහනේ පිටිපස්සෙන් ගිහින්
මළේ ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකි.
පොලීසියේ ඉහළ නිලධාරියෙක් කලබලෙන්
ජනපතිට මහ රෑ කෝල් එකක් අරගෙන
"සර්, සර්ගෙ මල්ලි අතින් දෙන්නෙක් වාහනේ හැපිලා
ඒ දෙන්නම මැරිලා, මොකද අපි කරන්නෙ."
කියලා අහන සංස්කෘතියක නිලධාරීන්ට
මෛත්‍රීගෙන් ලැබෙන්නෙ ඓතිහාසික පිළිතුරකි.
ඒ පිළිතුර ඡන්ද බලාගෙන නොදුන් බව
යහපත් ජනතාව ඉවෙන් මෙන් දන්නවා.

විධායක බලතල ඇතිව වෙසෙමින්
"වැරදි කරු නම් මගේ සහෝදරයාට වුණත්
නීතිය ක්‍රියාත්මක කරන්න: කියන මෛත්‍රීට
චෝදනා මුඛයෙන් දොස් නගමින්
"අපි දරදිය ඇදලා ඔබව ජනපති කළා.
අපිට ඔහොම කරන්න එපා"යි ඔහුට කියන
එජාප මැති ඇමතිවරුන් ඒ හාරාගන්නේ
ඔවුන්ගේම දෙපා යට පොළොවයි.

එවන් බාල බොළඳ පහත් ක්‍රම වලින්
යහපාලන රජයේ වස්ත්‍රයෙහි පහරමින්
එජාපය කළේ බරපතල මෝඩකමකි.
ඔවුන් මෛත්‍රී නයා ලෙස සිතා ගෙන
නයි නටවන්නා බවට පත් වෙමින්
පොළේ නටන්නට යාමෙන් මුලා වූහ.
නයා නැත්නම් නටවන්නාත්
නටවන්නා නැතිව නයාත්
දෙදෙනාම මුලාවේ වැටෙයි.

මෛත්‍රීට නටවන්නට නයෙක් අවශ්‍ය නම්
පාර්ලිමේන්තුව තුළින් තනාගත හැක.
එහෙත් නටවන්නාට විරුද්ධව ගියොත්
අතරමංවන්නේ එජාප නයාමය.

මෛත්‍රී සමග එක්ව ඔහුගේ සිතැඟි අනුව
යහපාලනය ගෙන යන්නට ක්‍රියා කළා නම්
එජාපයට ඔහු සමග ජනප්‍රිය වන්නට
හැමතින්ම අවකාශ තිබුණේය.
එහෙත් ඔවුන් ක්‍රියාකළේ ඊට ඉඳුරාම පටහැණි
ආත්මාර්ථකාමී, අදූරදර්ශී ලෙසය.
එහි වාසිය අත්වූයේ ඒකාබද්ධයට සහ
ජනතා විමුක්ති පෙරමුණටය.

"මුනුත් හොරු නේද" ඒකාබද්ධය කියද්දී
තවමත් හරි බලයක් නැති නිසා පිරිසිදු ජවිපෙ
රට පුරා දූෂණ විරෝධය හයි ජැක් කොට
ඔප්පුව ලියා ගන්නට කටයුතු කරමින් සිටී.
ජවිපෙ සාමාජිකයන්ට ආතල් ගන්නට
කරණම්. බඩ පිනුම්, හිටි පිනුම් ගහන්නට
මෛත්‍රී සකස් කළ දූෂණ විරෝධී පිටිය ඇත.

ජවිපෙ මෛත්‍රීට පහර දෙන්නේ
ඡන්ද කඩා ගන්නට පමණි
වෙනත් අයට මෙන් රිදෙන්නට නොවේ.
මෛත්‍රීද ජවිපෙ ගැන වචනයක්වත් නොකියයි.

2020 රජයක් පිහිටුවන්නට ජවිපෙ සැරසෙන්නේ
ඔවුන්ට එක්විය හැකි එකම පාර්ශවය වන
මෛත්‍රී සමග එකතු වීමෙන් විය හැකිය.
දූෂණ විරෝධී මෛත්‍රී සමග
දූෂණ විරෝධී ජවිපෙ එකතු වුණොත්
2020 ශ්‍රීලනිප රජයක ජවිපෙත් ඉඳීවි.

ජවිපෙ තුළ කවදාවත්ම
රාජ්‍යතාන්ත්‍රික නායකයෙක් ඉඳලා නෑ.
ඔවුන්ට ගම් සභාවකට එහා යන්න බෑ.
ඇමතිකමක් කරන්නවත් බැහැ.

මෛත්‍රී වගේ කෙනෙක් එක්ක
ජවිපෙ එකතු නොවුණොත්
යහපත් අරමුණු සහිත සාමාජිකයන්ගෙ
ක්‍රියාකාරිත්වය අවදානමේ.

මෛත්‍රී වගේ ඔලුවක් එක්ක ආවොත්
කඳ ජවිපෙ වුණත් අපි පිළිගන්නවා.

මෛත්‍රී එක්ක ආවම
එජාප, ශ්‍රීලනිප දෙකත් පිළිගත්තා නම්
ජවිපෙ පිළිගැනීම ප්‍රශ්නයක් නොවෙයි.

මෛත්‍රී වැනි නායකයෙක් සමග එක් නොවී
ජවිපෙ සාමාජිකත්වයට හෙටක් නෑ.

20180206

GMOA දොස්තරලා සහ වෛද්‍ය සිසුන් ජවිපෙ අතරමං කළේ ඇයි?


පසුගිය කාලයේ අසාර්ථක වූ
පෞද්ගලික අධ්‍යාපන විරෝධයේදී
වෛද්‍ය ක්ෂේත්‍රයේ සඳලු තලෙන් බැස
ජවිපෙ සාමාජිකයා වෙතට සේන්දු වී
ඔවුන්ගේ කරට අත දා ගත් දොස්තරවරු
මේ මැතිවරණයේදී නන්නාඳුනන ලෙස
ජවිපෙ අමතක කර දැම්මේ ඇයි?

එකෙක් රිසි විටක රිසි පරිදි අනිකා පාවිච්චි කොට
යහනේ හැර දමා යන සමලිංගිකයන් මෙන්
සයිටම් සටන බිඳ වැටුණ පසු ජවිපෙ හැර යන්නට
GMOA දොස්තරවරු සහ වෛද්‍ය සිසුන් පිරිස
මේ තරම් ගුණමකු වූයේ ඇයි?

නිර්ධන කම්කරු පන්තිය නියෝජනය කරමින්
ඔවුන් සමාජවාදයට දක්කාගෙන යන
71 සිට වසර පණහක නාටකයක් රඟපාන
අප රටේ අසාර්ථකම ප්‍රධාන පක්ෂය ජවිපෙය.

ඈත අතීතයේ යකැදුරාගේ වෘත්තිය වූ
මිනිසාගේ රෝ බිය මත යැපෙමින්
රැකවලාගේ මායාකාරී අද්භූත භූමිකාව
අද තාක්ෂණයෙන් යාවත් කාලීන කරගෙන
නැති රෝග වලට බෙහෙත් දී මුදල් උපයන
දොස්තර ව්‍යාපාරිකයන් අතළොස්සක් එක්ව
ජවිපෙ එක වේදිකාවක රැඟුවේ ඇයි?

ඒ රංගනයෙන් වශී වූ වෛද්‍ය සිසුන් පිරිසක්
ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් සහ
ජනතාව අතරින් පිරිසක් ඔවුන් පසුපස වැටී
පාරවල් දිගේ රස්තියාදු වූයේ ඇයි?

උසස්පෙළ සහතිකයට ලකුණු වැඩි නිසා
අන් සියල්ලන්ම අභිබවා ජය කෙහෙළි නංවන
රටේ ඉහළම උගතුන් මෙන් හිතන, කියන
රජයේ වෛද්‍යවරු සහ වෛද්‍ය සිසුන්
වසර පණහක් තිස්සේ බලයට එන්නට වලිකන
අසාර්ථකම දේශපාලන පක්ෂය සමග
අත්වැල් බැඳගත්තේ අනෙක් ප්‍රධාන පක්ෂ
ඔවුන්ට සහාය නොදුන් නිසා පමණක් නොවේ.
ඔවුන්ගේ අරමුණුත් ජවිපෙ නායකයන්ගේ අරමුණුත්
වෙනස් සතුන් දෙදෙනෙකුගේ වලිගය මෙන්
එකිනෙක සමග මනාව සැසඳුණු නිසාය.
දෙයාකාරයකින්ම පෑහුණ නිසාය.

පළමු ආකාරය වෘත්තික අරමුණයි.
සුලබව ලැබෙන පෞද්ගලික අධ්‍යාපනය
දෙපිරිසේම බඩගෝස්තරයට අදාළ බලය
ආරක්ෂා කර ගැනීමට තර්ජනයක් වීම
මේ දෙපිරිසටම පොදුය..

දොස්තරවරු සංචිතය රටට අවශ්‍ය
අවම මට්ටමට වඩා ඉහළ ගියහොත්
දැනට ක්ෂේත්‍රයේ සිටින දොස්තර මුදලාලිගේ
මාසික චැනල් ආදායමෙන් කොටසක් අඩු වී
නවකයන් අතරට බෙදී යාමේ ගැටලුව නිසා
දොස්තර පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධය.

දොස්තරවරු සහ වෛද්‍ය සිසුන් මෙහිදී
එකම ඒකමිතික  බල ඇණියක් වුවද
එතුළද ලොවට නොපෙනෙන බෙදීමක් ඇත.

දොස්තරවරු වෛද්‍ය සිසුන් පන්ති වර්ජනයට
යොමු කරන්නේද පළමුව කී පරිද්දෙන්
බඩ ගෝස්තරවාදී වෙළඳපොළ අවමය
නඩත්තු කිරීමේ කූට ක්‍රමෝපායේදී
ඔවුන්ගේ ක්ෂේත්‍රයට ආසන්නතම සතුරා
දෙවන පෙළ සිටින වෛද්‍ය සිසුවාම වන හෙයිනි.
ඔහු තව එක වසරක් හෝ ප්‍රමාද කිරීම මගින්
චැනල් දොස්තරගේ ආදායමට වෙන හානිය
වසර ගණනාවකට අවම කර ගත හැක.

පෞද්ගලික අධ්‍යාපන විරෝධී සටන මගින්
අනාගත වෛද්‍යවරු අට දහසක් පමණ
එක් වෛද්‍යවරයෙකු වසර බැගින් ප්‍රමාද කොට
මේ ඉලක්කය යම් තරමකින් සපුරාගන්නට
දොස්තර මුදලාලි පෙලැන්තියට හැකිවූ බව
සංවේගයෙන් සිහිපත් කළ හැක.
වෛද්‍ය සිසුන්ට නැති වූ වසර වෙනුවෙන්
ඔවුන් ලද ප්‍රතිලාභය කුමක්ද යන්න
ඔවුන්ගෙන්ම ඇසිය යුතු පැනයකි.

ජවිපෙ අරමුණු අනුවද නිදහස් අධ්‍යාපනයට
පරම සතුරා ලෙස පෞද්ගලික අධ්‍යාපනය පෙන්වා
ඔවුන්ගේ කඳවුරට ගාල කරගෙන බිල්ලට දෙන
ජවිපෙ සටන් වල  ප්‍රධානම බළ ඇණිය වන්නේද
බොළඳ පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන් පිරිසයි.
මෝරා ඇට්ටර වූ ජවිපෙ සාමාජිකයන් පාරට බසින්නේ
මේ ළමා හමුදාවට මුවා වී ඔවුන් පෙරටු කරගෙනය.
88-89 බිලිපූජා බිම්වල, ටයර් සෑ මතුයේ
ගලා ගිය අහිංසක ලේ දහරාවෝ සිසුන්ගේය.

පෞද්ගලික අධ්‍යාපනය ව්‍යාප්ත වීම නිසා
ජවිපෙට අහිමි වෙන මේ  නාහෙට නාහන පිරිස
ඔවුන්ගේ ප්‍රධානම සම්පතයි.

දොස්තරවරු සහ ජවිපෙ එක්වී අවි ආයුධ අතට දී
බිලි පූජාවකට දක්කන්නට සූදානම් වූයේ සිසුන්ය.
එමගින් සටන යුද බිමට ගන්නට ජවිපෙ හැකි වෙයි
චැනල් වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නට යන
ආසන්නම තරඟකරුවන් පිරිස අඩු කරමින්
ඒ නවකයන් පිරිස වෙළඳපොළට පිවිසීම ප්‍රමාද කර
සිත් සේ පොල් කඩන්නට චැනල් දොස්තර මුදලාලිලාට
මේ සමගම අවසර ලැබෙන්නේය.

නිදහස් අධ්‍යාපන උගුලේ හිරවෙන රැකියා විරහිත තරුණයා සහ
හෙට දවස ගැන බිය ඇති අනාරක්ෂිත පාසල් සිසු පරපුරත්
දේශපාලන අරමුණු සඳහා බිලීබාගන්නට ජවිපෙට ලැබෙයි.

ප්‍රධාන පක්ෂවල සගයන්ට
කැට සොලවා ධනවත්වූ ජවිපෙ නායකයෝ මෙන්ම
රෝගීන්ගේ කැට බිඳ ධනවත් වූ දොස්තරලා
රටට එපා කියන පෞද්ගලික අධ්‍යාපනය
සිය දරුවන්ට අවශ්‍ය ලෙස ලබා දෙන්නට
කිසි විටකත් පැකිළෙන්නේ නැත.

විදේශයන්හි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලබා
මෙරටට එන ධනවත් වෛද්‍ය උපාධිලාභීන්ට
ලක්ෂ ගණන් වලට වෛද්‍ය අධ්‍යාපනය විකුණන්නට
(ACT16,) ERMP ටියුෂන් කඩ දමන්නේද
මේ උපාධි කඩ එපා කියන දොස්තරලාමයි.

නිදහස් අධ්‍යාපනයේ සුදු සිල් රෙද්ද පෙරවූ
මේ මාරාන්තික පුද්ගලික අරමුණු වෘක රංචුවට
පෞදගලික අධ්‍යාපනයට විරුද්ධව අවි අතට දී
පාරට බස්සවාගෙන  ජනතාවට හිරි හැර කර
රජයේ ආයතනවලට පැන කඩා බිඳ දමා
දේශපාලනික බලය සහ වෘත්තීය බලය පෙන්වා
වෙනත් වෘත්තීය හා දේශපාලනික අරමුණු
මේ හිරිමල් බොළඳ සිසුන් මගින් ඉටු කරගන්නට
මේ කූට ව්‍යාපාරිකයන් දෙපිරිස ක්‍රියා කරන්නේ
ඔවුන්ගේ අරමුණු සමපාත වන නිසාය.

වලිගය ඇති නිසා සමානව පෙනෙන නමුත්
හිස කඳ බඩ වෙනස්වන සතුන් මෙන්
නිර්ධන පන්තිය මත යැපෙන ධනපති ජවිපෙ සහ
අසරණ රෝගීන් මත යැපෙන දොස්තර පිරිස
පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ සටනට
එකම සිසුන් පිරිසක් එක්ව බිල්ලට දීමෙන් සම වුවත්
ප්‍රයෝගිකව අහසට පොළව මෙන් වෙනස්ය.

වායු සමීකරණ සුව විඳිමින් හිඳ
ටයි එක නැතුවගෙදරින් එළියට නොබහින දොස්තර
ලේ පැහැති ටී ශර්ට් එකේ දාඩිය ගඳ දරාගෙන
පාරේ පෝස්ටර් ගහන ජවිපෙ සාමාජිකයා සමග
පාප්ප බාල්දිය අතට ගෙන පෝස්ටර් ගහන්නට යන්නේ
හිතේ ඇතිවෙන පිළිකුළ පාලනය කරගෙන බව
මේ දෙපිරිසට මැදිව විඳවන බව අපි දනිමු.

දොස්තර වරුන්ගේ සටනට ජවිපෙ එක්වූයේ
ඒ මගින් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ඇති නිසාය.
ජවිපෙට උපකාර වීමෙන් දොස්තර වරුන්ට
ලැබිය හැක්කේ කුමන ප්‍රතිලාභයක්ද?

හැත්තෑව දශකයේ පටන් වසර පණහක් තිස්සේ
මැතිවරණයක් පාසා කන්දක් මෙන් විළිලන නමුත්
ප්‍රතිඵල ලෙසින් සියයට පහක මී පැටියෙක් වදන
අසාර්ථක ජවිපෙට එක් වී දිනාගත හැකි දෙයක්
චැනල් පොල් ව්‍යාපාරික  දොස්තර සංහතියට නැත.
ඔවුන් රටක ජාතියක රෝගීන් බේරා ගන්නට යන්නේ
දිය බොර කිරීමෙන් ලැබෙන මාළු අස්වැන්න වෙනුවෙනි.

ජවිපෙ අශ්වයා පිට නැග තම ගමන ගියාට
ජවිපෙ අශ්වයා කරේ තියාගෙන බලය සොයන්නට
රටේ ඉහළම උගතුන් ඉදිරිපත් නොවන්නේ ඇයි?

පෞද්ගලික අධ්‍යාපන විරෝධී වලිගය ඇති නිසා
සමානව පෙනෙන නමුත් හිස කඳ බඩ වෙනස් සතුන් මෙන්
ධනපති නිර්ධන වශයෙන් වර්ගීකරණය  කරද්දී
අහසට පොළව මෙන් වෙනස් මේ දෙපිරිස
මැතිවරණ වලදී එක්වන්නේ නැත.

සිහින ලෝක මවාදී මුලා කළ හැකි
සුනිල් පෙරේරා ප්‍රමුඛ කලාකරුවන්,
සිහින ලෝකවල වෙසෙන යෞවනයන් සහ
නූගත් ගැමි ජනතාවට නොපෙනෙන දුර්වලකම්
ජවිපෙ දෙස බලන කූට දොස්තර වරු
සක් සුදක් සේ පැහැදිලිව දකිති.

2020 ජවිපෙට බලය ලබා දීමෙන්
පෞද්ගලික අධ්‍යාපනය නැති කරන්නට
දොස්තරවරු නම් සිතන්නේ නැත.

දොස්තර මහත්තුරුන්ට දරදිය ඇද්ද
ජවිපෙ කම්කරු සහෝදරයිනි.
අපේ සාතිශය සංවේගයයි මේ.

20180204

බෙල්ලන්විල හාමුදුරුවෝ සැබෑ බෞද්ධ භික්ෂුවක්ද?

බෙල්ලන්විල හාමුදුරුවෝ
දර්ශනවාදය ආදී මිසදිටු දහම් ඇසුරු කරමින්
මහාචාර්ය පට්ටම් ගහගන්න යද්දි
ඒ මිල ගෙවන්න වෙන්නෙ ස්වාභාවිකව ලැබෙන
මනුස්සකමත් මිල කරලා බව අපි දන්නවා.

වන සතෙක් අල්ලාගෙන
තමන්ගෙ වත්තෙ හිර කරගෙන
ඌ විඳින වදහිංසාවන් ගැන හැඟීමක් නැතුව
උගෙන් තෘප්තියක් ලැබූ භික්ෂුවක් විදියට
අධ්‍යාපනයෙන් අවිහිංසාව නොවැඩුණ බව
අවිහිංසාවට සංවේදී ලොවට පැහැදිළියි.
සංවේදී ගිහියෙක්වත් අනුමත නොකරන
සත්ව හිංසාවක් තමන්ගෙ විහාරයෙ වෙද්දි
ඌට ආහාර ටිකක් දීල සැනසෙන්න
බෙල්ලන්විල හාමුදුරුවන්ට
සොබා දහම ඉඩක් තබා නැහැ.

සාමාන්‍ය භික්ෂුවකට වඩා දස්කම් ඇති
බෙල්ලන්විල හාමුදුරුවන් උපයාගත් ධනය
බුදු සසුන පෝෂණය හේතු නොවීම
අපේ රටේ සහ ජාතියේ අවාසනාවක්.

අලි ඇතුන් ගෙරින් රැකීම දෙවෙනි වෙන්නෙ
අඹුදරුවන් රැකීමටම පමණයි.
අඹුදරුවන් මෙන් මුවින් ඉල්ලුවෙ නැතත්
සතෙකුගෙ පැවැත්ම වෙනුවෙන් කැප වීම
භික්ෂුවකට කැප වහල්කමක් නොවෙයි.
භික්ෂුව නොබැඳුණු කෙනෙක්.

බුදු සසුනෙහි භික්ෂුවට පණවන ලද
විනය නීති වලට අමතරව සීලස්ඛන්ධයක්
චූල සීල, මධ්‍යම සීල, මහා සීල යනුවෙන්
බුදු දහමෙ පවතිනවා.

සීලස්ඛන්ධයෙන් එහාටත්
ඉන්ද්‍රිය සංවරය, සම්පජානෝ සතිය,
අප්පිච්ඡතාවයේ සතුට,
නීවරණ ප්‍රහාණය, ධ්‍යාන,
විවිධ ඤාණ ආදියත් තියනවා.
සිවුපසයත් ලාභ සත්කාරත් ලබමින්
ගිහි කම සිවුරෙන් වසා ගත්
අපට රහසක් නොවෙන ගිහි ජීවිතවල
මේ ලකුණු කිසිවක් සොයාගන්න බැහැ.

සිල් අතුරෙන් මූලික චූල සීලය අනුව
අලි ඇතුන් ලැබීම සම්බන්ධව ගත් කල
බුදුන් වහන්සේට අනුව භික්ෂුව ගරු කළ යුතු
සාධක දෙකක් මෙසේ දක්වන්න පුලුවන්.

මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද යත්:
මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ),
සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ,
මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.

ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින්
පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි.
මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.

අල්පේච්ඡ බවත් භික්ෂුවකගේ ගුණයක්.

මෙහි මහණ තෙමේ
කය වසා රක්නට පමණ වූ සිවුරෙන් ද,
කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි.
හේ යන යන අතැ අටපිරිකර පමණක් ගෙන ම නික්මෙයි.
යම් සේ පියා හඹන කුරුළු තෙමේ යන යන තැනට
පියාපත් බර ඇති ව ම පියා හඹා ද,
එසේ ම මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරින් ද
කුස ගිති නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි.
හේ තමා යන තැනට පාසිවුරු පමණක් ගෙන ම යෙයි.
මෙසේ මහණ තෙමේ ලත් පසයෙහි සතුටු වේ.

මෙවැනි බොහෝ ප්‍රමිති නිර්ණායක
බුදු සසුනෙහි භික්ෂුවකට අයත්.
ඒ ප්‍රමිතිය බාල වන භික්ෂුවක්
යස ඉසුරු සම්පත්, තානාන්තර ආදියෙන්
ඇතුළාන්තයේ හිස් බව වසාගෙන
මිසදිටු, දුප්ප්‍රාඥ ගිහියන්ගෙන්
ලාභ සත්කාර ලබාගෙන වැජඹේනවා.
බහුජන හිතාය, බහුජන සුඛාය,
ලෝකානුකම්පාය ආදී යුතුකම්
බුදුසසුන වෙනුවෙන් ඉටු වෙන්නෙ නැහැ.

බුදුන් වහන්සේ උගත් නූගත් දෙපිරිසම අතර
ගෞරවයට බඳුන් වෙන්නෙ ප්‍රඥාව නිසා නොවෙයි.
බුදුන් වහන්සේ සියලු සතුන්ට දක්වන ලද
මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන
සතර බ්‍රහ්ම විහරණ නිසයි.

බුදුන් වහන්සේගේ ප්‍රඥාව හඳුනාගන්න
විදසුන් වඩා ප්‍රඥාව පහළ කරගත යුතුයි.
තර්කයෙන් බුදු දහම හඳුනාගන්නා,
බුද්ධියෙන් අගය කරන තර්ක බුද්ධිය
බෙල්ලන්විල හිමියන්ට වගේම බහුල බොදුනුවන්ටත්
ප්‍රයෝජනයක් නොවන බව බොදුනු උගතුන් කරන
බහුවිධ මෝඩකම් නොපණත් කම් නිසා වැටහෙනවා.
බුදු දහම තර්ක ගෝචර නෑ.

සාමාන්‍ය ජනතාවට වුණත් බුදුන් වහන්සේගේ
කරුණාව පහසුවෙන් ප්‍රකට වෙනවා.
බුදුන් වහන්සේ මොනම හේතුවක් මතවත්
උන්වහන්සේ වෙසෙන ආරාමයක් තුළ
සතෙක් ගැටගසා තිබීම නොඉවසන බව
බොදුනුවන් නොවෙන අය පවා පිළිගන්නවා.

සැබෑ බෞද්ධ භික්ෂුව
පැලයක්වත් ගලවන කෙනෙක් නොවෙයි.
"මහණ තෙමේ පැල වන දෑ පැල වුණු දෑ
කැඩීමෙන් බිදීමෙන් වැළැක්කේ වේ. "

"අපෝ පැළයක්වත් ගලවන්නෙ නැතුව
අපි ජීවත් වෙන්නෙ කොහොමද" කියා
ගිහියන් කලබල වෙන්න අවශ්‍ය නෑ.
ගිහියන් පන්සිල් රැකීම ප්‍රමාණවත්.

තුන් සිවුරත් පාත්‍රයත් ඇතිව පිඬු සිඟා වඩිමින්
යම් සේ පියා හඹන කුරුළු තෙමේ යන යන තැනට
පියාපත් බර ඇති ව ම පියා හඹා ද,
එසේ ම මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරින් ද
කුස ගිති නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙමින්
බුදුන් වහන්සේගෙ සසුනෙ භික්ෂු විනය රකිනවා නම්
පැළයක් ගලවන්නවත් අවශ්‍ය වෙන්නෙ නෑ.

භික්ෂුව තමන් උපයාගෙන කන විදියෙ
මිථ්‍යා ආජීවයට, ගිහි චර්යාවට වැටුණාම
ගිහියෙක් වගේ අලියෙකුගෙන් වුණත් අනතුරක් වෙන තැනට
නොදැනුවත්වම පත් වෙන්න පුලුවන්.

ගිහියන්ගෙන් ඈත්වී, ගිහි චර්යාවෙන් මිදී
භික්ෂුවකට ජීවත් වෙන්න හැකි විදියට
විනය පද්ධතියක් බුදුන් වහන්සේ සකස් කළා.
සැරියුත් මුගලන් ඇතුළු අසූ මහා තෙරුන්ගේ පටන්
සියලුම සිල්වත් භික්ෂූන් වහන්සේලා විසින්
චූල සීල, මධ්‍යම සීල, මහා සීල
ආරක්ෂා කළේ බුදු සසුනෙ පැවැත්මටයි.

මහා පන්සලක් හදාගෙන, මහා ඉසුරු මැද
අලි ඇතුන් යාන වාහන ආදී ගිහි සම්පත් වල
සංකේත ලොවට ප්‍රදර්ශනය කරමින් ලබන
යස ඉසුරු ලෝභී දායක දායිකාවන්ගේ
යස ඉසුරු පිරුණ ලෝකයේ වීරයෙක් වී
බුදු සසුනට නොගැලපෙන ජීවිතයක් ගත කරන
සියලුම භික්ෂූන් විසින් යළිත් වරක් තාමා දෙස
බුදු වදනට අනුව ආවර්ජනාත්මක බැල්මක් හෙළා
තමන් නිවැරදි කරගන්නට අවස්ථාවක්
බෙල්ලන්විල හිමියන්ගේ ලබා දී තියනවා

නිවැරදිව ජීවත් වෙන භික්ෂුවකට
මේ හැම වචනයක්ම ප්‍රයෝජනවත්.

8. [ශුභ මාණව:] “පින්වන් අනඳ තෙරුනි, ඒ භවද්ගෞතමයන් වහන්සේ යම් දහමක්හුගේ ගුණ වදාරන සුලු වූ සේක් නම්, යම් දහමෙක්හි මේ ජනතාව ගැන්වූ සේක් නම්, පිවිස්වූ සේක් නම්, පිහිටිවූ සේක් නම්, ඒ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධය කවරෙ යැ?”

9. [අනඳ තෙරණුවෝ:] “මාණවය, මෙහි අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, සම්මත දෙවියන් (රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද) කොට, මධ්‍යයෙහි භද්‍රක (නිවරද) කොට, අවසනැ භද්‍රක (නිවරද) කොට, අර්‍ථ සහිත කොට, ව්‍යංජන සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පරිපුර්‍ණ කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහිත වූ) පරිශුද්ධ ශාසනබ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙයි.

10. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුරජුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්විත වූයේ, ‘ගිහිගෙයි වීසීම සම්බාධයෙකි (අවහිරයෙකි). රාගාදි රජස් නැගෙන රජස් පථයෙකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතයක් සේ කොට මේ බඹසර සරන්නට පහසු නො වේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’යි මෙසේ නුවණින් සලකයි.

11. හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වූ හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිස හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමොක්ඛසංවරයෙන් සමන්විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නේ, නිවරද වූ කායවාක්කර්‍මයෙන් සමන්විත වූයේ එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ, ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සිත් තන්හි) සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ, සිවුපසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්‍ෂාපදයන් හි සමාදන් වැ හික්මෙයි.

12. මාණවය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද යත්: මෙහි මහණ තෙමේ ප්‍රණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නො දරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නො දරන්නේ), පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ, මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.

ඔබට ඉතිරි කොටසත් කියවන්න අවශ්‍ය නම්
මේ යොමුව ඇසුරු කරගන්න.
http://www.thripitakaya.org/tipitakaya/Index/54?s=15