20161214

වියෝ ගීයක් මළ අඳෝනාවක් විය යුතුද?

අත්දැකීමකදි අපි හැඟීමක් විඳින කොට
අපි තුළ එක් රැස් වෙන දෙයක් තියනවා.
ඒ ඉතිරි වෙන දේ
භාව වශයෙන් හඳුන්වනවා.

ඉන්දියාවෙ භාව වශයෙන් හඳුන්වන්නෙ
බුදු දහමෙ රාග, ද්වේශ හා මෝහ කෙලෙස්ම තමයි.

කලාකරුවෙකුගෙ ප්‍රතිභාව කියල හඳුන්වන්නෙ
මේ භාව මතු කර ගැනීමට ඇති ශක්‍යතාවයි.
භාව මතුකර ගනිද්දි
කලාකරුවා ඒ භාවය නිර්මාණාත්මක ලෙස
සකස්කිරීමෙන් රසයක් බවට පත් වෙනවා.

"අනේ දෙයියනේ..
මගේ ගෑණි මැරුණෝ..
මං ඉඳලා වැඩක් නැතෝ"
කියල අඳෝනා තියන
අසරණ ස්වාමිපුරුෂයාගෙ ශෝකය
මතුපිටින් නිවුණට ඇතුළෙ තැන්පත් වෙනවා.
නැවත බිරිඳට සම්බන්ධ මොනව හරි
දැක්කම, ඇහුවම, හිතුණාම
භාව මංජුසාව කැළතිලා
හිතෙ සෝ තැවුල් නැගෙනවා.
ඔහු පෙර පරිදිම නැතත්
නැවතත් හඬා වැටෙනවා.
ඒත් සිදුවෙන්නෙ
ඔහු එදාට තවත් භාව ටිකක්
තැන්පත් කරගන්නවා.

සොබාදහමට අනුව
සිදුවෙන්නෙ  භාව විශෝදනයක්.

භාවය හැඟීමක් විදියට මතුවෙද්දි
ඔහු තුළ, ඔහුගෙ කයේ හා සිතේ සිදුවෙන වෙනසට
ඔහු උපෙක්ෂාවෙන් හිටියා නම්
ඒ භාවය මතුවෙලා
සංස්කාරයක් විදියට නිරුද්ධ වෙනවා.
ඔහුගෙ හිත නිවෙනවා. පිරිසිදු වෙනවා.
විදසුන් වඩන්නෙක් හැසිරෙන්නෙ එහෙමයි.

ඔහු කලා රසිකයෙක් නම් ඒ මතුවෙන භාවය
ශෝක රසය හෝ කරුණා රසය බවට පත්වෙන විදියෙ
කිසියම් කලා නිර්මාණයක් රස විඳිනවා.
ගීතයක් අහනවා. පොතක් කියවනවා.
ඔහුගෙ දෑසින් කඳුලු වැගිරේවි.
ඔහු සුසුම් හෙළාවි.
ඒත් ඔහුට ශෝකය රසයක්.
ඔහු අඳෝනා කියන්නෙ නැහැ.
මත්පැන් බොන්න යන්නෙ නැහැ.
කලාත්මක නිර්මාණය ඇසුරෙන්
ඔහු තුල එක් රැස් වුණ ශෝක භාවය
ශෝක රසය විදියට මතුකරගන්න
ඔහු සමත් වෙනවා.
ඔහු තුල ඒ වැඩෙන්නෙ ප්‍රතිභාවයි.
ඔහුගේ භාවයන් රස ලෙසින් මතුවෙමින්
ඔහුගේ ප්‍රතිභාව තියුණු වෙනවා.

ඔහු අත්දැකීම් පරිපූර්ණ රසිකයෙක් වෙද්දි
ඔහුගේ තියුණු ප්‍රතිභා ශක්තිය
ඔහුට වඩාත් හුරු කලාමාධ්‍යයකින්
පිටාර ගලනවා.
ඔහු නවක කලාකරුවෙක් වෙනවා.
ඔහුට යම් අවධානයක් ලැබෙනවා.
ඔහුගෙ නිර්මාණ වලට රසිකයන් බිහිවෙනවා.
එවිට ඔහු වඩ වඩාත් උවමනාවෙන්
වඩාත් සියුම් භාව මතුකර ගනිමින්
තියුණු රස බවට පෙරළමින්
නිර්මාණයට ඒ රස කවමින්
නිර්මාණකරණයෙහි යෙදෙනවා.

මේ මතුකරගන්නා භාව
සියුම් වෙන විදියට
හිත සමාහිත කර ගැනීමත්..
මතුවෙන භාවයට උපෙක්ෂාවෙන්
ඒ භාවය තමන්ගෙ චිත්‍රය,
නර්තනය, ගායනය, රංගනය ආදී කලා මාධ්‍යයකින්
රිද්මයානුකූල ආත්ම ප්‍රකාශණයක් ලෙස
එළිදක්වද්දි කලාකරුවා පරිණත වෙනවා.
ඔහුතුළ ආගමික ක්‍රමවේදවලින් ලබන
සංයමය වැන්නක් ඔහු තුළ වැඩෙනවා.

රසයෙන් ආලිප්ත වූ ඒ නිර්මාණ සමග
ඍජුව බද්ධ වෙන්න
නිශ්චිත අත්දැකීමක් අපට නැති වුණත්
අපේ රසභාව මංජුසාව සියුම්ව කැළතිලා
අපි රසවත් වෙනවා.

ඔහු ජනප්‍රිය වෙනකොට
ඔහු වටා රොක්වෙන පිරිසට
ලොබ බැඳගෙන
වෙළෙන්දන්, පූජකයන්, දේශපාලනඥයන්
ඔහුට දැල එළනවා.
ඔහුගෙ චරිතය දුර්වලනම්,
පිරිසිදු බව පළුදු සහිත නම්,
ඔහුගෙ පොඩි නැඹුරුවක් ලැබුණොත්
හොඳින් හෝ නරකින්
ඔවුන් තමන්ගෙ අරමුණ ඉටු කරගන්නවා.

මත්පැන්, මුදල්, කාන්තාව, ප්‍රසිද්ධිය,
ගරු නම්බු ආදියට කෑදර වෙන කලාකරුවා
ඒ දූෂිත සිතින් නිර්මාණකරණයට එන විට
කිලිටි සිතට පෙරමෙන් සියුම් ආකාරයෙන්
රසභාව අතුකරගන්න බැහැ,
ඔහුත් කලාවත් පිරිහෙනවා.
ඒ කලාව ඇසුරු කරන්නාත් පිරිහෙනවා.

කලාව මිනිසා ආගම දෙසට යොමු කරන්නත් පුලුවන්.
ආගමෙන් ඉවතට යොමු කරන්නත් පුලුවන්.
දිසාව තීරණය වෙන්නෙ
ඔහුගෙ චරිතය අනුවයි.

ප්‍රබල රසභාව මතු වෙන විදියට
කලාත්මක ප්‍රකාශනයක් නිමැවීම
අති දුෂ්කර කාර්යයක්..
ඔහුට පළමුවෙන්ම තම මාධ්‍යය
නිරායාසයෙන් හසුරුව්න්නෙක් විය යුතුයි.

අපි කවුරුවුණත්
හැඟීමකින් යමක් දිහා බැලුවොත්
අපිට ඒ මුළු වස්තුවම පෙනෙන්නෙ නැහැ.
අපි විශේෂයෙන් දකින දේවල් තියනවා.
ඒ දේවල් ඉස්මතු වෙන විදියට
නිර්මාණය සකස් කර ගැනීම
අති දුෂ්කර කාර්යයක්..

දකින දේ තුළ තියන
සියල්ලම ඒ දකින විදියෙන්ම
කොපි කරගන්න උත්සාහ කිරීම
වාර්තාකරණය මිසක්
ප්‍රකාශනය නෙමෙයි.

කලා නිර්මාණයකට
පැහැදිලි දිසාවක් ලබා දෙන්නෙ
නිසි හාවයන් උත්තේජනය කොට
රස මතුකරගෙන රස ගන්වන
කලාකරුවාගෙ ප්‍රතිභා ශක්තියයි.

ප්‍රතිභා ශක්තිය හීන පුද්ගලයන්ගෙ
නිර්මාණ අමුයි.
මතුකරන්නෙ කාමය, කෝපය, ඉරිසියාව වැනි
ගොරෝසු භාව හා රලු, ඕලාරික රසයි.
ඒ කෘති රස විඳින්නත්
ඔවුන් වැනිම මානසිකත්වයෙන් පෙළෙන
රසික පිරිසක් ඔවුන්ට ඉන්නවා.
ඒ කෘතිවල පැවැත්ම තාවකාලිකයි.

මළ අඳෝනාවක්
එක සැරෙන්ම එපාවුණාට
සනත් නන්දසිරිගෙ
"එදා මෙදා තුර කඳුලට විවරවු" ගීතය හෝ
ගුණදාස කපුගේගෙ "සුමනෝ," වගේ රසාලිප්ත නිර්මාණ
යළි යළිත් අහන්න පුලුවන්.

සම්භාව්‍ය කලාව
කලා රසිකයා පෝෂණය කරමින්
ආගම දෙසට යොමු කරනවා.
රළු, ඕලාරික හැඟීම් පාදකවූ බාල කෘතීන්
ඊට ගොදුරුවන්නා ආගමෙන් ඉවතට යොමු කරනවා.
දිසාව තීරණය වෙන්නෙ
ඔහුගෙ චරිතය අනුවයි.

ඒ නිර්මාණ වල තියෙන්නෙ
එම නිර්මාණ කරුවන් තෝරාගත්
සියුම් භාවමය රස කොටස් විතරයි.

සනත් නන්දසිරිගෙ
"එදා මෙදා තුර කඳුලට විවරවු"