20180208

එජාපෙ කකුලෙන් අදිද්දී මෛත්‍රීට ජවිපෙ....

එජාප ශ්‍රීලනිප සම්මුතිවාදී රජය
වසර තුනක් තිස්සේ පැවතුණේ කෙසේද?
ජනතාව ඉදිරියේ පිරිහෙන්නට හේතු මොනවාද?

සිංහලයාගේ මාන්නයත්, ආත්මාර්ථකාමිත්වයත්
ජන්මයෙන් ගෙන නො ආවත් පෝෂණය වන්නේ
අසාධාරණ පාක්ෂික පවුල් පරිසරයෙනි.
දෙමාපියන්ට ප්‍රිය දරුවාට වැඩියෙන් සලකන නිසා
අනෙක් දරුවා ඉච්ඡා භංගත්වයට පත් වෙද්දී
සත්කාර ලද දරුවා මාන්නාධිකව වැඩෙයි.
ඔහු ඒ තැන රැකගන්නට සටන් වදියි.
සැමියා බිරිඳ අතරද මේ තරඟය ඇත.

මෛත්‍රී සම්මුතිවාදී රජය ආරම්භයේ සිටම
නොයෙක් කෙණෙහිළි වලට බඳුන් වූයේ
තරඟය ගේම කරගත් එජාපයෙනි.

මහින්දගේ බේරුවල් බොක්කට ඔක්කොම කුණුදමා
මහින්ද ගෙදර යවන්නට ජනතාව සිතූ අයුරින්
මෛත්‍රී ගැනත් ජනතාව සිතනු ඇතැයි සිතා
රජයේ මුදල් හුරුපුරුදු අයුරින් මංකොල්ලකන්නට
එජාප මැති ඇමතිවරුත්, මෛත්‍රී සමග පැමිණි
මැති ඇමතිවරුත් ක්‍රියා කළ බව අපට පෙණින.
ප්‍රවේශමෙන් කටයුතු කළ බව පෙණුනේ
මෛත්‍රීට එරෙහිව සිට පසුව එකතු වූ
පරිණත මැති ඇමතිවරුන්ය.

කුස ගින්නේ සිටියවුන්ගේ බඩජාරි කම
සුසිල්, එස්බී, අනුර යාපා වැන්නන් තුළ
දිස් නොවුණ බවත් සත්‍යයකි.
ඔවුන් සම්මුතිවාදය තුළ රැඳෙමින්
මෛත්‍රීට අවනතව ක්‍රියා කරද්දී
රනිල්ට පාලනයක් නැති එජාප ඇමතිවරු
යහපාලන දිය බොර කරමින්
මාළු අල්ලන්නට විය.

මෛත්‍රීගේ ප්‍රතිරූපයට මුවා වී
සොරකම්, වංචා දූෂණ වල යෙදී
මෛත්‍රීට බිල දමා මෛත්‍රී බිම හෙළා දමා
තමන්ගේ ගොඩ වැඩි කරගන්නට ක්‍රියා කළ
දූෂිත මැති ඇමතිවරුන්  සමග මෛත්‍රීට
යහපාලනයක් ක්‍රියාත්මක කළ හැකිද?

මේ පිළිබඳව ඉතා ඉවසීමෙන් ක්‍රියා කළත්
මෛත්‍රීට ඔවුන් පාලනය කළ යුතු වූයේ
රනිල් හරහා වීම ඔහුට තිබුණ අවාසියකි.

මෛත්‍රීගේ විරුද්ධත්වයට සවන් දී
අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමත්
රවි මුදල් ඇමති කමට පත් කිරීමත්
නොකර සිටින්නට රනිල් කීකරු වුණානම්
බැඳුම්කර වංචා අසූචි වළට
සම්මුති රජය වැටෙන්නේ නැත.

එහෙත් රනිල්ගේ ක්‍රමය එය නොවේ.
රනිල් සිය බලය පතුරුවන්නේ සගයන්ට දෙන
සන්තෝසම් වලින් බව ඔහුගේ හැසිරීම දන්නා
ලාංකික ජනතාව හොඳින් දනී.
ඔහු ඡන්දය ඉල්ලන්නේ ෆ්‍රී වයිෆයි,
චුවින්ගම්, බ්‍රේස්ලට් දීමෙනි.

"බයිසිකලෙන් එන මිනිහා
කාර් එකෙන් වෑන් එකෙන් ගෙදර යා යුතුයි.
අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා" යි
රනිල් එජාප අයට කියන්නේ ඒ නිසාය.
ඔහුත් මහින්දගේම අච්චුවේ
කූට පාලකයෙකු වීම නිසා
සම්මුතිවාදී රජය පිරිහී
එජාපයත් පිරිහෙන්නට හේතු විය.

රනිල්ගේ සහ මැති ඇමතිවරුන්ගේ
දූෂිත ක්‍රියා කලාපයන් වල බලපෑම
මෛත්‍රීගේ ජනප්‍රියත්වය පිරිහෙන්නට හේතුව
මහින්දගේ අත්තනෝමතික පාලනය
මිනිස්සු මෛත්‍රීගෙන්ද බලාපොරොත්තු වීමයි.
ඔහුට කඩුව භාවිතා කරන්නට සිදු වූයේ
වැරදි දේ කපා හෙළන්නට නොවේ.
දුර සිට ඉලක්කයට එල්ල කරන හෙල්ලක්
ඊතලයක් මෙන් වීම මෛත්‍රී ට අවාසියකි.

බැඳුම්කර කොමිසම පත් කිරීම වැනි
සමහර ඉලක්ක සාර්ථක කරගැනීමට
සමහර විටක ඔහු දක්ෂ වුවද
සමහර අවස්ථා ගිලිහී ගියේය.
මැතිවරණයට පෙර පවත්වන්නට
ඔහුට අවශ්‍ය වූ පාර්ලිමේන්තු විවාදය
එවැනි මග හැරුණු එක් ඉලක්කයකි.

ජනතාව හමුවේ බොරු වෙස් නැටුමක් නටා
ඒ අවදානම මග හැර මැතිවරණයට යන්නට
රනිල් ඇතුළු එජාපයත් ඒකාබද්දයත් සමත් වීම
මැතිවරණය හමුවේ මෛත්‍රීට අවාසියක් විය.

එජාපය දුර දිග නොබලා
කල දුටු කල වල ඉහ ගනිමින් කල
බැඳුම් කර වංචා දූෂණ හෙළිවූ විට
"මුනුත් එකයි" කියා ජනතාවට ඇතිවූ හැඟීම
රනිල්ගේ දූෂණ විරෝධී වහසි බස් අසා
වෙනස් කරන්නට ජනතාව සූදානම් නැත.
ඔහු සහ එජාපය දූෂණ විරෝධී නැති බව
මැතිවරණ වේදිකාවක කරන
කතා බහෙන් සුදු හුණු ගෑමෙන් වසාගත හැකිද?

තමන්ගේ සාක්කු පුරවා ගැනීමට අමතරව
මෛත්‍රීගේ ප්‍රතිරූපයට පහර වදින්නට
මෛත්‍රීගේ නම නරක් වෙන ආකාරයට
ජන ජීවිතය පිරිහෙන අණ පනත් පනවා
වක්‍රාකාරව ඔහුගේ ප්‍රතිරූපය බිඳින්නට
එජාපයේ මැති ඇමති වරු ක්‍රියා කළ අයුරු
අප වරින්වර දුටුවෙමු.

සමලිංගික විවාහ සහ
ගබ්සාව නීතිගත කිරීම,
මත්පැන් වල මිළ අඩුකිරීම,
මත්පැන් විකුණන කාලය වැඩි කිරීම,
කාන්තාවන් මත්පැනට හුරු කිරීම,
පාසල් නිල ඇඳුම් වෙනස් කිරීම ආදී
මෛත්‍රීගේ ප්‍රතිපත්තිවලට නොගැලපෙන
නීති රීති ක්‍රියාත්මක කරමින්
ශීලාචාර ජනතාව අතර පවතින
මෛත්‍රී පිළිබඳ පැහැදීමට
වක්‍රාකාරයෙන් පහර දෙන්නට
එජාප ඇමතතිවරු යෙදූ කූට උපක්‍රම
අසාර්ථක කරන්නට මෛත්‍රීට සිදු විය.

මේ උපක්‍රම වල එක් අවස්ථාවක්
බ්‍රිගේඩියර් ප්‍රියංකගේ සිදුවීමෙන්
එළියට පැන්න බව අපට පෙණින.
උතුරු කොරියාවට සම්බාධක පැණවීම
මෛත්‍රීගේ ප්‍රතිරූපයට හානි කරන්නට
විදේශ අමාත්‍යාංශයෙන් දරන ලද
එක් පහත් පෙළේ වෑයමකි.

මෛත්‍රීගේ පිළිතුර නිහඬය. බැරෑරුම්ය.
විදේශ ඇමති රවි ඉල්ලා අස්වුවත්
නව විදේශ ඇමති යටතේද
එවැනි ක්‍රියා කරන්නට අවකාශ ඇති බව
බ්‍රිගේඩියර් ප්‍රියංකගේ සිදුවීම තුළ
අපට පැහැදිළි වෙයි.

සමාජ ජාල වල ඡායාරූප බලා
හදිසි තීරණ ගත් විදේශ අමාත්‍යාංශය
ජනපති ඒ තීරණය අත්හිටුවා තිබියදී
ලිඛිත දැනුම් දීමක් නැතැයි ඔවුන් කීවේ
ඔවුන්ගෙ ඉලක්කය ජනපතිම වූ නිසාය.

මෛත්‍රී කරන දේ අවංකව කරන බව
ජනතාව සිය දැක්මෙන්ම පසක් කරද්දී
විරුද්ධ දේශපාලන බලවේග වලට
ඔහු පිරිහෙළන්නට ආයුධ නැත.

සොහොයුරාගෙ වාහනේ පිටිපස්සෙන් ගිහින්
මළේ ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකි.
පොලීසියේ ඉහළ නිලධාරියෙක් කලබලෙන්
ජනපතිට මහ රෑ කෝල් එකක් අරගෙන
"සර්, සර්ගෙ මල්ලි අතින් දෙන්නෙක් වාහනේ හැපිලා
ඒ දෙන්නම මැරිලා, මොකද අපි කරන්නෙ."
කියලා අහන සංස්කෘතියක නිලධාරීන්ට
මෛත්‍රීගෙන් ලැබෙන්නෙ ඓතිහාසික පිළිතුරකි.
ඒ පිළිතුර ඡන්ද බලාගෙන නොදුන් බව
යහපත් ජනතාව ඉවෙන් මෙන් දන්නවා.

විධායක බලතල ඇතිව වෙසෙමින්
"වැරදි කරු නම් මගේ සහෝදරයාට වුණත්
නීතිය ක්‍රියාත්මක කරන්න: කියන මෛත්‍රීට
චෝදනා මුඛයෙන් දොස් නගමින්
"අපි දරදිය ඇදලා ඔබව ජනපති කළා.
අපිට ඔහොම කරන්න එපා"යි ඔහුට කියන
එජාප මැති ඇමතිවරුන් ඒ හාරාගන්නේ
ඔවුන්ගේම දෙපා යට පොළොවයි.

එවන් බාල බොළඳ පහත් ක්‍රම වලින්
යහපාලන රජයේ වස්ත්‍රයෙහි පහරමින්
එජාපය කළේ බරපතල මෝඩකමකි.
ඔවුන් මෛත්‍රී නයා ලෙස සිතා ගෙන
නයි නටවන්නා බවට පත් වෙමින්
පොළේ නටන්නට යාමෙන් මුලා වූහ.
නයා නැත්නම් නටවන්නාත්
නටවන්නා නැතිව නයාත්
දෙදෙනාම මුලාවේ වැටෙයි.

මෛත්‍රීට නටවන්නට නයෙක් අවශ්‍ය නම්
පාර්ලිමේන්තුව තුළින් තනාගත හැක.
එහෙත් නටවන්නාට විරුද්ධව ගියොත්
අතරමංවන්නේ එජාප නයාමය.

මෛත්‍රී සමග එක්ව ඔහුගේ සිතැඟි අනුව
යහපාලනය ගෙන යන්නට ක්‍රියා කළා නම්
එජාපයට ඔහු සමග ජනප්‍රිය වන්නට
හැමතින්ම අවකාශ තිබුණේය.
එහෙත් ඔවුන් ක්‍රියාකළේ ඊට ඉඳුරාම පටහැණි
ආත්මාර්ථකාමී, අදූරදර්ශී ලෙසය.
එහි වාසිය අත්වූයේ ඒකාබද්ධයට සහ
ජනතා විමුක්ති පෙරමුණටය.

"මුනුත් හොරු නේද" ඒකාබද්ධය කියද්දී
තවමත් හරි බලයක් නැති නිසා පිරිසිදු ජවිපෙ
රට පුරා දූෂණ විරෝධය හයි ජැක් කොට
ඔප්පුව ලියා ගන්නට කටයුතු කරමින් සිටී.
ජවිපෙ සාමාජිකයන්ට ආතල් ගන්නට
කරණම්. බඩ පිනුම්, හිටි පිනුම් ගහන්නට
මෛත්‍රී සකස් කළ දූෂණ විරෝධී පිටිය ඇත.

ජවිපෙ මෛත්‍රීට පහර දෙන්නේ
ඡන්ද කඩා ගන්නට පමණි
වෙනත් අයට මෙන් රිදෙන්නට නොවේ.
මෛත්‍රීද ජවිපෙ ගැන වචනයක්වත් නොකියයි.

2020 රජයක් පිහිටුවන්නට ජවිපෙ සැරසෙන්නේ
ඔවුන්ට එක්විය හැකි එකම පාර්ශවය වන
මෛත්‍රී සමග එකතු වීමෙන් විය හැකිය.
දූෂණ විරෝධී මෛත්‍රී සමග
දූෂණ විරෝධී ජවිපෙ එකතු වුණොත්
2020 ශ්‍රීලනිප රජයක ජවිපෙත් ඉඳීවි.

ජවිපෙ තුළ කවදාවත්ම
රාජ්‍යතාන්ත්‍රික නායකයෙක් ඉඳලා නෑ.
ඔවුන්ට ගම් සභාවකට එහා යන්න බෑ.
ඇමතිකමක් කරන්නවත් බැහැ.

මෛත්‍රී වගේ කෙනෙක් එක්ක
ජවිපෙ එකතු නොවුණොත්
යහපත් අරමුණු සහිත සාමාජිකයන්ගෙ
ක්‍රියාකාරිත්වය අවදානමේ.

මෛත්‍රී වගේ ඔලුවක් එක්ක ආවොත්
කඳ ජවිපෙ වුණත් අපි පිළිගන්නවා.

මෛත්‍රී එක්ක ආවම
එජාප, ශ්‍රීලනිප දෙකත් පිළිගත්තා නම්
ජවිපෙ පිළිගැනීම ප්‍රශ්නයක් නොවෙයි.

මෛත්‍රී වැනි නායකයෙක් සමග එක් නොවී
ජවිපෙ සාමාජිකත්වයට හෙටක් නෑ.