20180502

ඈ මිය ගියේ බටහිර වෛද්‍ය ක්‍රමය කණා ෂොට් පෙළක් නිසා ද?...



“වෛද්‍යවරු 15 දෙනෙක් විතර මගෙ දරුවව බලල තියෙනවා. (බිල පෙන්වමින්) ඒවාට මුදල් අයකරල තියෙනවා. ඒ වෛද්‍යවරුන් 15 දෙනාටම මගෙ දරුවට අසාධ්‍ය ද නැත්ද කියල හොයාගන්න බැරිවෙලා තියෙනවා. "

දින 7 ක් මුළුල්ලේ රටේ නමගිය පුද්ගලික රෝහලකින් ලද නේවාසික ප්‍රතිකාරවලින් පසු, රුපියල් හත්ලක්ෂයක (රු. 700,000) රෝහල් බිලකින් ද පසු, 2017 අප්‍රේල් 7 වැනිදා 26 හැවිරිදි රොමාලි ද සිල්වා යුවතියගේ දිවි සොරා ගැනුණේ ඩෙංගු මාරයා විසින් ය යන්න හුදෙක් ඉතිහාසයට එක් වූ කාරණයක් පමණක් නොවේ. එය නැවත නැවතත් විමසා බලා තහවුරු කර ගත යුතු ඛේදවාචකයකි. ලංකා නිව්ස් වෙබ්, ඇගේ කතාවේ සවිස්තරය ඔබ හමුවට ගෙන ඒම මෙසේ ආරම්භ කරන්නේ ලංකාවේ පුද්ගලික රෝහල් කර්මාන්තය හෝ ඇගේ මරණයේ වගඋත්තරකාර වෛද්‍යවරුන් ජනතා අධිකරණයට පැමිණවීමට පමණක්ම නොවේ.

------------------------------------------------------------

“අඩුම ගානෙ පැයකට වතුර මිලි ලීටර 150 ක් දෙන්න. 150කට වඩා වැඩි වෙන්න දෙන්න එපා..” යැයි ඔවුන්ට උපදෙස් ලැබිණි.

රොමාලි සිටියේ වතුර ටිකක් බොන තරමක තත්වයකවත් නොවේ. ඇගේ පියා රොහින්ද්‍ර අද මෙසේ කියයි. “අපිට කිසිම වෙලාවක වතුර දෙන්න එපා කිව්වෙ නෑ. මිලි ලීටර 150කට වඩා වැඩි නොවෙන්න වතුර දෙන්න කියල තමයි හැම තිස්සෙම කිව්වෙ. අපේ දුව නැති වෙලා මාස තුන හතරකට පස්සෙ අපි දැනගත්තා ඩෙංගු රෝගියෙකුට වතුර කියන්නෙ වහ කියලා. අද අපි දන්නවා, මේ රෝහලේ අය ඒ ගැන දැනගෙන හිටියෙ නැති බව..”

එම අනවබෝධය, හුදෙක් නොසැලකිල්ල විය හැකිද? එය නොසැලකිල්ල නම් රෝගීන් එයට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද? රටේ මෙවැනි වසංගත තත්වයක් පවතින විටදී රජයේ සහ පුද්ගලික රෝහල් එයට සූදානම් වී ඩෙංගු ප්‍රොටෝකෝලයකට අනුව රෝගීන්ට වෙදකම් කළ යුතුය. එසේ කළ නොහැකි නම් ඔවුන් රෝගී ජීවිත සියතට ගැනීමේ අවදානම නොගෙන සිටිය යුතුය. අප මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන්නේ සමස්ත පද්ධතියේ අසමත්භාවය මිස පුද්ගලික වගකීම පමණක් නොවේ.

----------------------------------------
 ආණ්ඩුවේ රෝහල්වල ක්‍රියාත්මක වන ඩෙංගු ප්‍රොටෝකෝලය අනුව සෑම ඩෙංගු රෝගියෙකුම දිනපතා ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කළ යුතුය. එක් දිනක සිදුකරන පළමු ස්කෑන් පරීක්ෂාව පිළිබඳ වෛද්‍යවරයා තෘප්තිමත් නොවන්නේ නම් එම රෝගියා එදිනම දෙවන ස්කෑන් පරීක්ෂාවකට ද යොමු කරනු ලබයි. “නමුත් මගෙ දුව දවස් හතක් ඉස්පිරිතාලෙ හිටියා. එකම එක ස්කෑන් එකයි කළේ. දෙවැනි එක කළේ දුව නැති වෙන්න පැය දෙකකට විතර කලින්..” පියා රොහින්ද්‍ර පවසයි.

----------------------------------------
එදින රාත්‍රියේම රොමාලිගේ නාසයෙන් ලේ ගලා එන්ට පටන් ගත්තේය. ඇය කිවිසන විට ටිෂූ කඩදාසියේ ලේ බිංදු තැවරෙන්නට විය. "Ammi.. this is not good.. please call the doctor!", ඒ වදන් මරණයේ සෙවණැල්ලට මුවා වෙමින් සිටි රොමාලිගේ ය. රොමාලිගේ මාපියෝ කලබල වූහ. නමුත් හෙදියන් ඔවුන්ට එවිට කීවේ ඩෙංගු රෝගියෙකුට මෙසේ වීම ඉතාම සාමාන්‍ය දෙයක් බැවින්, බිය වන්නට දෙයක් නැති බව ය. “අයියෝ මිස්, බයවෙන්න එපා, ඩෙංගු පේෂන්ට්ස්ලට ලේ විදින්නෙ ටැප් එකක් ඇරිය වගේ..’‘ යැයි එතැන සිටි හෙද සොයුරිය කීවාය. ඔවුහු අයිස් තබා ලේ ගැලීම නතර කළහ.

--------------------------------------------

“මම ඩොක්ටර්ස්ලගෙන් ඉල්ලන්නෙ "Don’t judge a patient according to the report. Just come and see the condition of the patient. I think in that way you can save a lot of lives" (“වෛද්‍ය වාර්තා විතරක් බලල රෝගියෙකුගෙ තත්වය විනිශ්චය කරන්න එපා. ඇවිත් බලන්න රෝගියාගෙ ඇත්ත තත්වය මොකක්ද කියලා. ඒ විදිහට කළොත් ගොඩක් ජීවිත බේරගන්න පුළුවන්”) කියලයි.” ඒ කිසිදා නොසිඳෙන කඳුළු ගඟක් අතරින් අප සමග දොඩමළු වූ රොමාලිගේ ආදරණීය මවගේ වදන් ය.

“මම ඩොක්ටර්ස්ලගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි.. "Just feel for everyone!" “සල්ලි තියෙනව, සල්ලි නෑ කියල නෙවෙයි, හැම කෙනෙකුටම එක වගේ සලකන්න. මම ඉල්ලන්නෙ එච්චරයි..’‘

“ඩොක්ටර්ස්ලා රෝගීන්ගේ ජීවිත මේ තරම් සැහැල්ලුවට ගන්න හොඳ නෑ.. මේ වෙච්ච දෙයින් අපිට අපේ දුවව මුළු ජීවිතේට ම නැතිව ගියා..” ඇගේ පියා රොහින්ද්‍ර වරින් වර කතාවට මැදිහත් වෙයි.

“මගෙ මේ දුව ව ලස්සනට බන්දන්න කවදහරි දවසක මට ලොකු හීනයක් තිබුණා..” ඒ තාත්තාට තවත් දරාගත නොහී කටහඬ බිඳී යයි. ඊළඟ නිමේෂයේ ඔහු හඬන්නට පටන් ගනියි. ඔහු මහ හඬින් වැළපෙයි. මේ දුක උහුළන්නෝ ඔවුහු ය. මේ දුක දන්නෝ ඔවුහු ය....

“මං දන්නව රොමාලි ආයෙත් එන්නෙ නෑ. ඒත් මේ වගේ දෙයක් තවත් අම්ම කෙනෙකුට, තාත්ත කෙනෙකුට, පවුලකට වෙන්න දෙන්න නරකයි.”! ඒ ඔවුන්ගේ හඬ ය.

බ්‍රැන්ඩික්ස් i 3 සමාගමේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඈ, අවාසනාවන්ත අයුරින් මෙලොව හැර යන විට යන්තම් 26 හැවිරිදි වූවාය. ජීවිතයේ සුන්දරම වයසේ පසුවූවාය. දහසක් බලාපොරොත්තු පොදි බැඳ සිටි පවුලක එකම දියණිය වූවාය. එංගලන්තයේ නොටිංහැම් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව සහ කළමනාකරණ උපාධි ධාරිනියක වූ ඈ ව්‍යාපාර ප්‍රවර්ධනය පිළිබඳ සිය උපාධියේ අවසන් වසරේ පසුවූවාය.

රොමාලි මේ පුංචි වයසට SOS ළමා ගම්මානයේ දරුවෙකුට මාස්පතා ඉගෙනීමට උදව් කරමින් සිටියාය. සිය රැකියාවේ මුල් අවධියේ පසු වූ බැවින් ඇය විශාල වැටුපක් ලැබුවේ නැත. නමුත් වැටුප් දිනයේ සවස නොවැරදීම ඇය අනාථ නිවාස හෝ මහලු නිවාස වෙත ගියාය. ඒවායේ ජීවත් වන අසරණයන්ට බේත් හේත් ගැනීමට, වෙනත් අත්‍යාවශ්‍ය දේ ගැනීමට සිය අතේ ඇති මුදල ඔවුන් වෙත පරිත්‍යාග කළාය. රොමාලි මිය යන තෙක්ම මේ දෙමාපියන් පවා දියණියගේ හදවත මෙතරම් විසල් බව දැන නොසිටින්නට ඇත.

ඉඳින් ‘දෛවය විසින් ඇගේ දිවිය අකාලයේ සොරාගත්තා’ යැයි කියන්නට අපි නොකැමැත්තෙමු. දැන් මේ අම්මාට, තාත්තාට, මල්ලීට මතු නොව මුළු රටටම අහිමි වී තිබෙන්නේ ලෝකයක් වටිනා එවන් දරුවෙකි. අපේ රටේ රොමාලිලා මෙසේ අකාලයේ ජීවිතයෙන් සමුගෙන යන්නේ මේ රටේ මුල් බැසගත් කාලකණ්නි කම නිසා මිස එයට වඩා අඩු යමක් නිසා නොවේ. එයට වගඋත්තරකාර පාර්ශවයන් නීතිය හමුවට ගෙන එන්නට මේ රටේ නොසැලකිලිමත් නිලධාරිවාදය සහ පුද්ගලික රෝහල් පාලනාධිකාරින් අසමත් නම්, එම වගඋත්තරකරුවන් ජනතාව හමුවේ හෙළිදරව් කරන්නට වගකිව යුතු මාධ්‍යයක් වශයෙන් අපි කටයුතු කරන්නෙමු. අප තරයේ විශ්වාස කරන්නේ මෙය හුදු සිද්ධියක් පමණක් නොවන බවයි. මේ ලිපි මාලාව තුළ අප ප්‍රශ්න කර සිටින්නේ සමස්ත ක්‍රමයේ ඛේදවාචකයයි. රොමාලිගේ මව්පියන්ට ඇතිවූ මේ වේදනාව අන් කිසිවෙකුට අත් නොවනු පිණිස සැබවින්ම සිදුවූයේ කුමක්දැයි අපි මෙහි ලියා තබමු. අප තරයේ විශ්වාස කරන්නේ මෙය දෛවයට, ඉරණමට හෝ කරුමයට භාර කර නිහඬ විය යුතු තවත් එක් කඳුළු කතාවක් නොවන බවයි.

               ****************************

ඇගේ කෙටි දිවිය හයිකු කවියක්

ඇගේ දෙමාපියන් හා සොයුරා සමග අප කතාබස් කළ මේසයට පිටුපස ඈ වෙනුවෙන් ඉදි කළ අල්තාරයකි. ඒ මත නොනිදන පහන් කිහිපයකි. ඒ පහන් වටා සුවඳ මල් කළඹ තබා තිබේ. අල්තාරයට පිටුපස බිත්තිය පුරා ඇගේ කෙටි ජීවන කවිය විදහා දැක්වෙන සමරු සටහන් ය.

ඔව්. ඇගේ ජීවිතය හයිකු කවියකි. එය ඉතා කෙටිය. සුන්දර ය. එතරමටම අරුත් බර ය.....

මේ අහිංසකාවියගේ ජීවන ආදර්ශ පාඨය වූයේ "Live, laugh and love" “ජීවත් වෙන්න, සිනාසෙන්න, ආදරය කරන්න” යන්නයි. ඒ බව සනාථ කරමින්, මේ වියෝ වූ ලස්සන ආත්මය වෙනුවෙන්, ඒ සුන්දර සිනහව වෙනුවෙන් ඇගේ නිවසේ තවත් ස්ථාන කිහිපයක්ම වෙන් කර තිබේ. වෙන කරන්නට දෙයක් ශේෂ වී නැති නිසාවෙන්ම, ඇගේ දෙමාපියන් ඒ ජීවන පාඨය සමගින් සිය ජීවිත ඉදිරියට ගෙන යන්නට සූදානම් ය. පියාගේ හදේ දියණිගේ මතකය කා වැදී ඇති තරම ගැන මේ ලෝකයේ තිබෙන දෘෂ්‍යමාන ක්ෂුද්‍රතම ඉඟිය, රොහින්ද්‍ර ගේ දකුණු බාහුවේ ලැගුම් ගෙන තිබෙන ඒ පාඨය සඳහන් ටැටූ එකකි. එය සැබවින්ම ‘හදේ කෙටූ ටැටූ’ එකකි.

                ****************************

‘‘ගෙදර එක්කරගෙන ගිහින් බ්ලඩ් කවුන්ට් එක අඩු වුණාම එන්න!“

2017 මාර්තු 30 වැනිදා වන විට ද රොමාලි යනු ඇගේ වයසේ ඕනෑම යුවතියක් තරමට කෙළිලොල් සහ නිරෝගී යුවතියක් වූවාය. නමුත් එදා සවස ඇය පැවසුවේ සිරුර රිදුම් දෙන බවකි. එනිසා ඇයව ඇගේ ආදරණීය දෙමාපියන් විසින් පුද්ගලික රෝහලක් වෙත රාත්‍රියේ කැඳවාගෙන යනු ලැබිණි. මේ කාලය ලංකාව, ඉතිහාසයේ දරුණුතම ඩෙංගු උවදුරෙන් බැටකන්නට පටන් ගෙන තිබූ අවධියයි. දෛවයේ සරදමකට මෙන්, ඇය මීට පෙර රැකියාව කළ සමාගම විසින් පවත්වාගෙන ගිය dengue.lk වෙබ් අවඩිය භාර දී තිබුණේ ද මේ පුංචි සාවිය හට ය. එනිසාම මේ වසංගතය ගැන ඇයට මනා අවබෝධයක් ද විය. එනිසා ඇය සිය මවට මෙසේ කීවාය. “අම්මි.. මගෙ ඇඟට හරි නෑ. මගෙ ඇඟ ඔක්කොම රිදෙනවා.. අපි කෝකටත් ඩෙංගි ඇන්ටිජන් ටෙස්ට් එකක් කරගත්තොත් හොඳයි නේද...?”!

ඒ වන විට පුංචි සාවිය උදරයේ වේදනාවකින්, හිසේ වේදනාවකින් සහ මස් පිඬු වේදනාවකින් පෙළෙමින් සිටියාය.

එම ඩර්ඩන්ස් රෝහලේ ඇයව පරීක්ෂා කළ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයාගේ මතය වූයේ ද ඩෙංගු රෝගය හැම තැනම පවතින නිසා ඇන්ටිජන් පරීක්ෂාව කරගැනීම හොඳ දෙයක් බවයි. ඔවුහු එදා රාත්‍රියේ නැවත නිවසට ආහ. රුධිර පරීක්ෂාවේ ප්‍රතිඵල නිකුත් වන තෙක් ඇයට නොකඩවා පැනඩෝල් දෙන්නට නියම කර තිබිණි. රෑ මැදියමේ, එනම් මාර්තු 31 වැනිදා අළුයම 1.30 ට පමණ රෝහලෙන් නිවසට හදිසි ඇමතුමක් ලැබිණි. එයින් කියැවුණේ ඇන්ටිජන් පරීක්ෂාවේ ප්‍රතිඵල ‘පොසිටිව්’ බවයි. එනම් ඩෙංගු වෛරසයට එරෙහි ප්‍රතිදේහ ඇගේ රුධිර සාම්පලයේ තිබූ බවයි. ඉතා සරල ලෙස පවසන්නේ නම් ඇය ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවයි.

දුරකථන ඇමතුම ගත්තේ රොමාලිගේ මව විසිනි. ඇය පුවත අසා බියපත් ව කලබල වූවාය. “බ්ලඩ් කවුන්ට් එක කීයද..? මම දැන්මම දුවවත් එක්කරගෙන එන්නම්..” යැයි ඇය කීවාය. නමුත් රෝහලෙන් පැවසුවේ රුධිර පට්ටිකා ප්‍රමාණය 225,000 ක් වන නිසා කලබල නොවී, දියණිය ඇඳ විවේකයෙන් තබා, පසුදින රෝහලට පැමිණෙන ලෙස ය.

රුධිර පට්ටිකා ප්‍රමාණය අනතුරුදායක මට්ටමට පහළ ගොස් නැතිනම් රෝගියාව නිවසට ගෙන ගොස් ඇඳ විවේකයෙන් තබා, දිගටම රුධිර පරීක්ෂාවට ලක් කර පට්ටිකා ප්‍රමාණය දිගින් දිගටම පහළ බසින්නේ නම් හෝ අනතුරුදායක මට්ටමට ළඟා වන්නේ නම් රෝගියාව රෝහලට ඇතුළත් කරන ලෙස පැවසීම සාමාන්‍ය දෙයකි.

31 වැනිදාට රැය පහන් විය. ඒ වන විට රොමාලි දැඩි උණ ගතියක් ප්‍රකට කරන්නට වූවාය. එය ෆැරන්හයිට් අංශක 104, 105 වැනි පාඨාංකයක් දක්වන්නට විය. ආහාර අරුචිය ද ඇති විය. රොමාලිගේ මව, ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා ඇමතුවාය. “කලබල වෙන්න එපා. හවස 2.30 ට වගේ දුවව එක්කරගෙන එන්න..” ඒ අනුව එදින සවස 2.30 ට පමණ රොමාලි ව පවුලේ වෛද්‍යවරිය වෙත කැඳවාගෙන යනු ලැබිණි. නැවත පට්ටිකා පරීක්ෂාවක් සිදුකරනු ලැබීය. පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල ලැබුණු විගස ඔවුන්ව අමතන බව කී පවුලේ වෛද්‍යවරයාගේ ද උපදෙස වූයේ රොමාලිව වෙහෙසට පත් නොකර ඇයව විවේකයෙන් තැබිය යුතු බවයි. රොමාලිට සිදුකළ මේ දෙවන පට්ටිකා පරීක්ෂාවේ දත්ත අනුව දැන් එය 175,000 දක්වා පහත බැස තිබිණි. “කලබල වෙන්න එපා.. රෝහලට ඇතුළත් කරන්න අවශ්‍ය වුණොත් කරමු..” යැයි පවුලේ වෛද්‍යවරිය පැවසීය. ඒ 31 වැනිදා සිකුරාදා දිනය පුරාම ඇගේ උණ අඩු වැඩි වෙමින් තිබිණි. උපදෙස් දී තිබුණේ පැය 8 න් 8 ට පැනඩෝල් ලබාදෙන ලෙස ය. නමුත් පැනඩෝල් බී පැය 4 ක්වත් ගතවන්නට පෙරම නැවත උණ ගතිය උත්සන්න වෙයි. එක් අවස්ථාවක ඇයගේ සිරුර නොකඩවා වෙව්ළන්නට ද පටන් ගත්තේය. ඇගේ මව ඇගේ සයනය අසලින් නොසෙල්වී දියණියගේ සිරුර තෙත මාත්තු කරමින් උණ රකුසා පළවා හරින්නට වෙහෙස වූවාය. පසුදින, එනම් අප්‍රේල් 1 වැනිදාට පහන් විය. පුංචි සාවිය සිටියේ තනිවම හිස ඔසවා ගන්නට පවා නොහැකි තරම් විඩාපත්ව ය. දුබලව ය. ඇයව තවදුරටත් නිවසේ තබාගෙන සිටීම අවදානම් බව ඇගේ මවට දැනුණේය. උදේ 7 වන විට ඇය නැවත පවුලේ වෛද්‍යවරියව දුරකථනයෙන් ඇමතුවාය. “මට මෙයාව ගෙදර තියාගන්න බයයි..” ඇය වෛද්‍යවරිය අමතා කීවාය. පවුලේ වෛද්‍යවරියගේ අදහස වූයේ ද රොමාලිගේ තත්වය තවදුරටත් නරක අතට හැරෙන්නේ පට්ටිකා ප්‍රමාණය තවදුරටත් පහත වැටෙමින් තිබුණු නිසා විය යුතු බව ය. “මේක තමයි වෙලාව දුව ව ගිහින් රෝහලකට ඇතුළත් කරන්න..” යැයි ඇය උපදෙස් දුන්නාය. ඇය තවත් කරුණක් සඳහන් කළාය. “දුවට ප්‍රතිකාර කරන්න හොඳම කෙනා තමයි, ඩොක්ට ආනන්ද විජේවික්‍රම..”

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අයිඩීඑච් උණ රෝහලේ ප්‍රධානියා ය. අයිඩීඑච් රෝහල ලංකාවේ ඩෙංගු වසංගතය මැඬලීම සඳහා මහත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින රෝහලකි. ඒ අනුව වේලාවේ හැටියට කළ හැකි හොඳම දෙය වූයේ එම වෛද්‍යවරයා පුද්ගලික චැනල් සේවයේ යෙදෙන රෝහලකට රොමාලිව ඇතුළත් කිරීමයි. සොයාබැලීමේදී දැනගත හැකි වූයේ කිරුළ පාරේ පිහිටා තිබෙන ආසිරි මෙඩිකල් හොස්පිට්ල් සහ ලංකා හොස්පිට්ල් හිදී පමණක් එම වෛද්‍යවරයා හමුවිය හැකි බව ය. ඒ අනුව ඔවුහු ආසිරි මෙඩිකල් හොස්පිට්ල් වෙත ගියහ.

රෝහල් පර්යන්තයේ මෝටර් රිය නතර කරන්නට ඉඩක් පවා නොතබා ඇය දෙවරක් වමනය කළාය. මෝටර් රියෙන් ඇයව පිටතට කැඳවා ගැනීම පවා අසීරු විය. රෝද පුටුවක් වහා කැඳවිණි. කාමර සියල්ලම පාහේ පිරී තිබූ නිසා ඇයව කැඳවාගෙන ගියේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ය. ඇයට වහාම ඩ්‍රිප් එකක් සම්බන්ධ කෙරිණි. ඒ වේලාවේ ද ඇගේ සිරුරේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 104 ක් වූ බව ඇගේ මව පවසන්නීය. වහාම කළ යුතු බව පැවසූ තවත් පරීක්ෂණ ගණනාවකට ද රොමාලි ලක්කෙරිණි. ඉන්පසු රොමාලිව නේවාසික රෝගියෙකු වශයෙන් රෝහලට ඇතුළත් කර ගැනිණි. ඒ වන විට දහවල උදා වී තිබිණි.

ආසිරි මෙඩිකල් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාව දුරකථනයෙන් ඇමතීය. ඔහුට ලැබී තිබුණු පිළිතුර වූයේ රුධිර පරීක්ෂාවක් කර ඔහුට ප්‍රතිඵල වාර්තා කරන ලෙසය. දියණියගේ රුධිර සාම්පලය ඉහළ මාලයේ තිබූ රසායනාගාරය වෙත පියා, රොහින්ද්‍ර මහතා භාරදුන්නේය. මෙය ‘හදිසි’ බව කියන්නට යැයි ද වෛද්‍යවරයා ඔහුට උපදෙස් ලබා දී තිබිණි. තමන් පැමිණියේ නිවැරදි තැනට ය යන විශ්වාසය ඔහු තුළ විය. ඔහු දෙවරක්ම රසායනාගාරය තුළට ගොස් සිය දිවි සරි දියණියගේ රසායනාගාර වාර්තාව ඉක්මනින් ගත හැකිදැයි විමසා බැලුවේය. අවසානයේ ඊ මේල් මාර්ගයෙන් එය අදාළ අංශය වෙත යොමු කෙරුණේය. ප්‍රතිඵලය අනුව මේ වන විට රුධිර පට්ටිකා ප්‍රමාණය 144,000 දක්වා පහත බැස තිබිණි. හදිසි රෝග අංශයේ වෛද්‍යවරයා, නැවතත් ඩෙංගු විශේෂඥයා, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වෙත දුරකථන ඇමතුමක් ගත්තේය. එවිට ඔහු කියා තිබුණේ එම වාර්තාව අනුව රොමාලි ව රෝහලට ඇතුළත් කර ගැනීමට තවම වේලාසන වැඩි බවයි.! එනිසා රෝගියාව ගෙදර ගෙන ගොස්, පට්ටිකා ප්‍රමාණය 100,000 දක්වා පහළ බැසි විට රෝගියාව රෝහලට ඇතුළත් කරන්නැයි ඇගේ දෙමාපියන්ට පවසන ලෙසට ඔහු කියා තිබිණි.

වෛද්‍යවරයා, ඩෙංගු විශේෂඥයාගේ උපදෙස දෙමාපියන්ට දැනුම් දුන් විට ඔවුහු කලබලයට පත්වූහ. සාවියගේ මව එතැන සිටි වෛද්‍යවරයා සමග වාද කළාය. “ඇයි මෙහෙම කරන්නෙ...? මගෙ දුවට ඩෙංගු පොසිටිව්.. වමනෙ දානවා... මම කොහොමද අම්ම කෙනෙක් විදිහට මගෙ දුවව ගෙදර ගෙනිහින් බලාගන්නෙ..?” යැයි ඇය හැඬු කඳුලින් විමසා සිටියාය. “...මම දුවව හොස්පිට්ල් එකට ගෙනාවෙ එයාව ඇතුළත් කරන්න. එහෙම කරන්න කියල මගෙ ෆැමිලි ඩොක්ට කිව්ව නිසා...”

හදිසි ඒකකයේ සිටි තරුණ වෛද්‍යවරයා එවිට මෙසේ කීවේය. ''If you are so concerned, we will give a suppostry to get down the fever.." “එහෙම නම් අපි උණ අඩුවෙන්න සපෝස්ට්‍රි එකක් (ගුද මාර්ගයෙන් ඇතුල් කරන කරලක්) දෙමු..”

“ඔයගොල්ලො දන්නවද ඩෙංගුවලට සපෝස්ට්‍රි එක තමයි නරකම..?” රොමාලිගේ මව ඇසුවාය.

ඔහු එයට කිසිවක් කීවේ නැත. අනතුරුව මෙසේ කීය. “ඔයාලගෙ කැමැත්ත අනුව අපි ඕනෙම නම් වෙන ඩොක්ට කෙනෙක් යටතේ මෙයාව ඇතුළත් කරගන්නම්...”

සිය දියණිය පසු වූ තත්වය අනුව ඇයව ඇතුළත් කර ගන්නා වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසයකින් පසුවීම ඔවුන්ට අත්‍යාවශ්‍ය විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ ආසිරි සෙන්ට්‍රල් හොස්පිට්ල් වෙත සිය දියණියගේ ජීවිතය භාරකරන්නට ය.

“ඇයි ආසිරි සෙන්ට්‍රල් එක තෝරාගත්තෙ?” අපි ඇසුවෙමු.

එවිට රොමාලිගේ මව මෙසේ කීවාය. “අපිට මේ හොස්පිට්ල් එක ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මීට අවුරුදු හතරකට කලින් මම මොළයේ සැත්කමකට මුහුණ දුන්නා. ඒක කළේ ආසිරි සෙන්ට්‍රල් රෝහලේදි. මට හොඳම ප්‍රතිකාර ලැබුණා. උපරිම අවධානයක් මට ලබාදුන්නා. අපිට උවමනා වුණේ මගෙ දුවට ලංකාවෙ දෙන්න පුළුවන් හොඳම ප්‍රතිකාරය දීල දුවගෙ ජිවිතේ බේරගන්න.. ඒ අනුව අපි ඒ තීරණය ගත්තා..”

එය සැබවින්ම දෛවෝපගත තීරණයක් විය. මේ සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවය බවට පත්වන්නේ මෙම රෝහලයි. අවසානයේ රොමාලිගේ දිවි සොරාගැනුණේ 2011 වසරේ රොහින්ද්‍ර මහතා විසින් සොෆ්ට්ලොජික් ගෲප් හි හත්වැනි කොටස් හිමිකරු වශයෙන් ආයෝජනය කළ මුදලේ ද දායකත්වයෙන් ඉදි කෙරුණු, ආසිරි සෙන්ට්‍රල් හොස්පිට්ල් හිදීම ය. කෙසේ වෙතත් රොමාලි ව රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට ඔහු එහි කොටස්හිමියෙක් නොවේ.

මරණයේ සෙවණැල්ල යට...

ඔවුන් රොමාලි ව ආසිරි සෙන්ට්‍රල් වෙත ඇතුළත් කරන තීරණය ගන්නා විට වේලාව පස්වරු 3ට පමණ වන්නට ඇත. රොමාලි ඒ වේලාවේ දුබල හඬින් මෙසේ කීවාය. ''Ammi.., I am not feeling good… take the decision what you'll want to do… මාව ගෙදර ගෙනියන්න එපා..!! ඒත් තීරණයක් ගන්න. මාව කාර් එකට දාන්න කලින් මාව ගෙදරද ගෙනියන්නෙ හොස්පිට්ල් ද ගෙනියන්නෙ කියන ගැන තීරණයක් ගන්න.” රොමාලි සාමාන්‍යයෙන් කිසිම දෙයකට බල කරන දරුවෙක් නොවේ. නමුත් ඇය මෙවර එතරම් අවධාරණාත්මක වූයේ මන්ද?

ඒ පුංචි සාවියට මරණයේ සෙවණැල්ල ඉව වැටී තිබුණාද..?

“නෑ... අපි ඔයාව ගෙදර ගෙනියන්නෙ නෑ..” මව හඬමින් කීවාය. ඇයව නැවත මෝටර් රිය වෙත දමනු ලැබුවේ ද රෝද පුටුවේ තබාගෙන ඒ වෙත පැමිණීමෙන් පසුව ය.

රොමාලිගේ මව අද මෙසේ කියන්නීය. ’‘ඒ වෙලාවෙ අපිට කිව්වා ඩොක්ටර් ආනන්ද විජේවික්‍රම තමයි හොඳම ඩොක්ට කියලා.. එහෙම කියල ආසිරි මෙඩිකල් එකට ගියාම අපිට කිව්වා, ප්ලේට්ලට් කවුන්ට් එක අඩු නැති හින්දා ගෙදර ගෙනිහිල්ලා ගේන්න කියලා. ඉතින් මට ඇත්තටම හිතෙනවා, ඩොක්ටර් ආනන්ද විජේවික්‍රම තමයි මුලින්ම මේකට වග කියන්න ඕනෙ.. ඒ ඩොක්ටර්ට මම ඒ වෙලාවෙ කෑ ගැහුවා. අම්ම කෙනෙකුට විතරයි ඒ දුක දැනෙන්නෙ. මට තේරුණා මගෙ දුවගෙ තත්වය හොඳ නෑ කියලා. වමනෙ දානවා.. උණ.. ඔළුව උස්සන්න බෑ.. විජලනය කියල සේලයින් දුන්නා. මම එතකොට කිව්වා, අඩුම ගානෙ ඩොක්ට ට කියන්න ඇවිල්ල මගෙ දරුව ඉන්න තත්වය බලන්න කියලා. කන්ඩිෂන් එක බලල කියන්න මට ගෙදර ගෙනියන්න කියලා, එතකොට මම ගෙදර ගෙනියන්නම් කියලා..”

පෙර සඳහන් කළ ව්‍යපාරික සබඳතාව නිසා රොහින්ද්‍ර මහතා සහ ආසිරි හොස්පිට්ල් ජාලයේ කළමනාකාරිත්වය අතර හිතවත්කමක් විය. එදින උදෑසන ආසිරි මෙඩිකල් වෙත දියණිය ගෙන යන්නට පෙර ද ඔහු රෝහලේ විධායක නිලධාරියෙකු සමග කතා කර තිබූ අතර එහිදී කියා තිබුණේ තමන් දියණියව ආසිරි මෙඩිකල් එකට ගෙන යන බව සහ, අවශ්‍ය වුවහොත් ඔහුට කතා කරන බව ය. “ප්‍රශ්නයක් නැහැ රොහින්ද්‍ර. මම කාමරයක් ලෑස්ති කරල තියන්නම්... දුවව ඇතුළත් කළාට පස්සෙ අපි ඒ කාමරේට දුවව මාරු කරමු. මේ දවස්වල පේෂන්ට්ස්ල ගොඩක් වැඩියි..” යැයි ද ඔහු පවසා තිබිණි.

රොහින්ද්‍ර මහතා මෙසේ අසයි. “මගෙ දුව වෙනුවෙන් ආසිරි මෙඩිකල් රෝහලේ කාමරයක් ලෑස්ති කරල තිබුණා. නමුත් ඩොක්ට ආනන්ද විජේවික්‍රම යටතෙ දුව ව රෝහලට ඇතුළත් කර ගන්න බෑ කියනව නම් මොකද කරන්නෙ..?”

මේ අනුව ඔවුන්ට තෝරාගැනීමක් තිබුණේ නැත.

එනිසා ඔවුන් දැන් යා යුතුව තිබුණේ ආසිරි සෙන්ට්‍රල් හොස්පිට්ල් වෙත ය. ඒ යන අතරවාරයේ මෝටර් රිය නතර කළ ඔවුහු නැවත පවුලේ වෛද්‍යවරියට ඇමතුමක් ගත්හ. ඇය ඒ වෙලාවේ කාර්යබහුලව සිටින්න ඇත. ඇමතුමට පිළිතුරක් ලැබුණේ නැත. එවිට පියා රොහින්ද්‍ර, පෙර කී විධායක නිලධාරියා හට නැවත දුරකථන ඇමතුමක් ගත්තේය. ඔහු ආසිරි මෙඩිකල් රෝහලේදී සිදුවූ දෙය පැවසුවේය. ඔහු දැනුම් දුන්නේ ආසිරි සෙන්ට්‍රල් වෙත වහාම පැමිණෙන ලෙස ය. එම රෝහලට පැමිණෙන ඩෙංගු රෝගයට ප්‍රතිකාර කරන හොඳ වෛද්‍යවරයෙක් යටතේ දියණිය රෝහලට ඇතුළත් කරමු යැයි ද ඔහු යෝජනා කළේය.

ඔවුන් ගිය වහාම රොමාලිට ඩ්‍රිප්, කැනියුලා ආදී හදිසි ප්‍රතිකාර ලබාදී පැය භාගයක් ඇතුළත ඇයව නේවාසික රෝගියෙක් වශයෙන් ලියාපදිංචි කර රෝහලට ඇතුළත් කර ගන්නා ලදී. රෝහල විසින් මුලින්ම රොමාලිට ලබාදෙන්නට අදහස් කළ වෛද්‍යවරයා දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ බැවින් ඊළඟට දුරකථනයෙන් සම්බන්ධ කර ගැනුණේ විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක ය. සිය දරුවාගේ ජීවිතය පිළිබඳ උපරිමයෙන් වද වෙන දෙමාපියන් වශයෙන් ඔවුහු ද වෛද්‍ය පණ්ඩුක කරුණානායක පිළිබඳ පෙර කී විධායක නිලධාරියාගෙන් යම් විමසීමක් කිරීමට ද අමතක නොකළහ. “බයවෙන්න එපා. මගෙ දුවටත් ඩෙංගු හැදිල එයා තමයි හොඳ කරල දුන්නෙ..” යැයි ඔවුන්ට පිළිතුරු ලැබිණි.

ඒ සෙනසුරාදා දහවලේ පටන් පුංචි සාවියගේ ජීවිතය භාරවූයේ විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා වෙත ය. එතැන් පටන් පුරා දින හතක් මුළුල්ලේ පුංචි සාවියගේ ගිලන් සයනය අසලින් මව සහ පියා නොසෙල්වී සිටියහ.

ඩෙංගු රෝගීන් දිනපතා ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කළ යුතුව තිබියදී මේ දින හත පුරාවටම ඈ වෙනුවෙන් ආසිරි සෙන්ට්‍රල් රෝහලේදී සිදුකෙරුණේ එකම එක ස්කෑන් පරීක්ෂාවක් පමණි. එහි ප්‍රතිඵලය ද වෛද්‍ය බලධාරීන් විසින් අවසන් මොහොත දක්වාම ගණන් ගෙන තිබුණේ නැත.

අවසානයේ සිදුවූයේ කුමක්ද?

ජීවිතයේ කිසි දිනෙක රෝහලකට ඇතුළත් නොවූ ජීවය පිරුණු ඒ පුංචි සාවිය, යළි කිසිදා නොආවාය.


දිනය අප්‍රේල් 1 වැනිදා ය. ලංකාවේ විශිෂ්ටතම ඩෙංගු විශේෂඥයෙකු මෙන්ම ජාත්‍යන්තර සම්මාන දිනූ ඩෙංගු පර්යේෂකයෙකු ද වන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, ඇගේ පට්ටිකා ප්‍රමාණය ලක්ෂය දක්වා අඩුවීමෙන් පසු රෝහලට ඇතුළත් කරන්න යැයි ද එතෙක් ඇය නිවසට රැගෙන යන්න යැයි ද රොමාලිගේ මාපියන්ට කී නිසාද, රොමාලි පසුවූ තත්වය අනුව ඇය නිවසේ තබාගැනීම අන්තරායකර යැයි ඇගේ දෙමාපියන් තීරණය කළ නිසා ද ඇය දැන් නේවාසික ව සිටින්නේ ආසිරි සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේ ය.

ඒ සෙනසුරාදා දහවලේ සිට රොමාලිගේ දිවි භාර වුණේ විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක වෙත ය.

මේ කතාවේ පළමු කොටස ලංකා නිව්ස් වෙබ් හි පළ වීමෙන් අනතුරුව සමාජ ජාල මාධ්‍ය හරහා අදහස් දක්වමින් බොහෝ දෙනා මතු කළ කාරණයක් වූයේ “ඇයි රජයේ රෝහලකට ගියෙ නැත්තෙ?” යන්නයි. එය, මේ ලිපි මාලාව සඳහා ඇගේ දෙමාපියන් හමු වූ විට අප විසින් ද ප්‍රථමයෙන් මතුකළ ප්‍රශ්න අතරින් එකකි. එයට පිළිතුරු සැපයූයේ රොමාලිගේ ආදරණීය මවයි.

“දුව කවදාවත් රෝහලකට ගිය කෙනෙක් නෙවෙයි. අපිට ඕනෙ වුණේ ලංකාවෙ හොඳම ස්පෙෂලිස්ට් කෙනෙකුට අපේ දුව පෙන්නල සනීප කර ගන්න. ඒ වෙද්දි අපි අයිඩීඑච් හොස්පිට්ල් එක ගැන දැනගෙන හිටියෙ නෑ. ඩොක්ට ආනන්ද විජේවික්‍රම ඉන්නෙ ඒ හොස්පිට්ල් එකේ කියල අපි දැනගත්තෙ අපේ ෆැමිලි ඩොක්ට කියද්දි.’

මුල්ලේරියාව අයිඩීඑච් ප්‍රදේශයේ පිහිටා තිබෙන ‘උණ රෝහල’ නමින් ප්‍රකට අයිඩීඑච් රෝහල, ඩෙංගු වසංගත තත්වයන් ලංකාව තුළ මතු වූ මෑත කාලීන සෑම අවස්ථාවකදීම ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළ රෝහලක් බවට අවබෝධයක් ඔවුන් තුළ නොවීම අවාසනාවකි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඩෙංගු පර්යේෂණ සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වූ එම රෝහලේ සිටින විශේෂඥයා ලවා සිය දියණියට ප්‍රතිකාර කරවා ගන්නට ය. ඔවුන් මුලින් ආසිරි මෙඩිකල් රෝහල වෙත යන්නේ ඔහු එම රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටින නිසා ය. අයිඩීඑච් රෝහල යනු, රෝහලේ වාට්ටු හා ඇඳන් පහසුකම් නොමැති නම් රෝගීන් බිම පැදුරුවල තබාගෙන හෝ වෙදකම් කර මරණයෙන් ගළවාගන්නා රෝහලකි. ඔවුන් සරණ පැතූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, එම රෝහලේ වසර 7 ක් පමණ දීර්ඝ කාලයක් සේවයේ යෙදී සිටින, එම රෝහලට පැමිණි ඩෙංගු රෝගීන් 11,000 ක් දෙනාට ප්‍රතිකාර කළ, ඔවුන්ගේ දිවි බේරාගත් වෛද්‍ය විශේෂඥයෙකි. ඉඳින් යම් හෙයකින් එදා දුරකථනයෙන් ‘දුවව ගෙදර එක්කරගෙන ගිහින් ප්ලේට්ලට් කවුන්ට් එක ලක්ෂයට අඩු වුණාම ඇඩ්මිඩ් කරන්න’ යැයි නොකියා, ‘දුව ව අයිඩීඑච් එකට එක්කගෙන එන්න’ යැයි නිකමට හෝ කීවා නම්.... අද මේ පුංචි සාවිය ජීවතුන් අතර සිටින්නට ඉතා විශාල සම්භාවිතාවක් තිබූ බව මෙහි ලියා තබමු.

තවද රොමාලිගේ දෙමාපියන් වැනි අය පුද්ගලික රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නේ වඩා හොඳ ප්‍රතිකාර සහ සුවපත්වීම නමැති නීත්‍යානුකූල අපේක්ෂාව පෙරදැරි කර ගෙන බව ද අප අවබෝධ කර ගත යුතුය.

පුංචි සාවියගේ මව සහ පියා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දකින්නේ ඇය සමුගෙන මාසයකට පමණ පසු ඔවුන් සිය දියණිය සිහිපත් කරමින්, ඩෙංගු රෝගීන් වෙනුවෙන් නියැළී සිටින සත්කාර්යය ඉටුකිරීම පිණිස අයිඩීඑච් රෝහල වෙත ගිය පසුව ය.

රොමාලිගේ මව මෙසේ පවසන්නීය.

“අයිඩීඑච් එකේ දොස්තරලා, අපි සැරින් සැරේ එතැනට ගියාම ඒ ගොල්ලො අපිට කිව්වෙ හැම රෝගියෙක්ම තමන්ගෙ පවුලෙ කෙනෙක් කියල හිතල සලකනවා කියලයි. පිට කෙනෙක් කියල සලකන්න එපා කියන එකයි. මම ඒ බව මගෙ ඇස් දෙකටම දැක්කා. මගෙ දුව නැති වෙලා මාසෙකින් මමයි මගෙ පුතයි, දුවගෙ යාළුවෙකුයි එක්ක එතැනට ගියා. එහෙම යද්දි ඩොක්ට ආනන්ද විජේවික්‍රම තව කෙනෙක් එක්ක ඒ පේෂන්ට්ලව බලනවා. මම දැක්කා ඒ ස්කෑන් මෙෂින් එක ඇඳෙන් ඇඳට ගෙනිච්ච හැටි.. ඒ වෙලාවෙ මට ඕනෙ වුණා ඒ ඩොක්ට ළඟට ගිහින් අහන්න, "Dr. why couldn't you do this to my child"  “ඩොක්ට, මගෙ දරුවට මෙහෙම සලකන්න බැරිවුණේ ඇයි’ කියලා.”

නමුත් ඇයට එය අසන්නට නොහැකි විය. රොමාලිගේ සොයුරාගේ බසින් ඇය එවේලේ පියවි ලෝකයට එන්නට ඇත. “අම්මි,.. දැන් ගිහින් ඇහුවට අපේ අක්කි ආපහු එන්නෙ නෑ..!”

ආසිරි සෙන්ට්‍රල් රෝහලේදී රොමාලිගේ ගිලන් සයනය අසලින්ම සිටියේ, ඇය අවසන් හුස්ම හෙළන හෝරාව දක්වාම ඇය අසල සිටියේ ඇගේ මව ය. ඇගේ මව සමග සෙවණැල්ල මෙන් සිටියේ ඇගේ පියා ය. මේ ඛේදාන්තයේ අවසානාත්මක සහ විශ්වාසනීය ඇසින් දුටු සාක්ෂිකරුවන් වශයෙන් ඔවුන්ගේ ප්‍රකාශවලට අද්විතීය වැදගත්කමක් හිමිවන්නේ මේ පසුබිම අනුව ය.

ඩෙංගු ප්‍රොටෝකෝලයක් තිබුණාද..?

රොමාලිගේ නේවාසික ප්‍රතිකාර සඳහා ආසිරි සෙන්ට්‍රල් රෝහල විසින් ඔවුන්ට කාමර යුග්මයක් ලබා දී තිබිණි. ඔවුහු රොමාලිගේ සුවදුක් බැලීමට පැමිණෙන මිතුරන් පවා ඇගේ සයනය අසලට යැව්වේ නැත. ඈ සිටියේ කතා කළ නොහැකි තරම් නිදිබරව ය. දුර්වලව ය. පුංචි සාවිය දින හතරක් පමණ යන තෙක් වැඩි වශයෙන්ම කළේ නිදාගැනීමයි.

ඈ අසීරුවෙන් වරින් වර නාන කාමරය වෙත ගියාය. තෙවැනි දිනය වන විට රෝහලෙන් ඇය වෙත රෝද පුටුවක් ලබාදීම සිදුවිය. “ටොයිලට් එකට යද්දිත් නැගිටින්න දෙන්න එපා. වීල් චෙයා එකේ තියාගෙන යන්න..” හෙදියෝ කීහ. නමුත් ඩෙංගු රෝගියෙකුට ලබාදිය යුතු නිසි ප්‍රතිකාරය ඇය වෙත ලැබුණේද..?

මෙම පුද්ගලික රෝහලේ සිද්ධි සමුදාය ඔබ සැසඳිය යුත්තේ මේ වසංගත තත්වයේදී අයිඩීඑච් රෝහල ක්‍රියාත්මක කරමින් සිටි ප්‍රශස්ත ඩෙංගු ප්‍රොටෝකෝලය සමග ය.

ආසිරි සෙන්ට්‍රල් රෝහල වෙත ඇතුළත් වන විටද රොමාලි දැඩි උණෙන් පෙළෙමින් සිටියාය. ඇය අධික හිස කැක්කුමක් ගැන පැමිණිලි කළාය. විදෙස්ගත ව සිටි සොයුරා සමග දුරකථනයෙන් කථා කරන විට ඇය කීවේ තමන්ට ඉවසාගත නොහැකි තරම් උදර වේදනාවක් තිබෙන බවයි. පළමු දිනයේ ඇගේ රුධිර පරීක්ෂණ වාර්තාවට අනුව, පට්ටිකා ප්‍රමාණය 144,000 කි.

එම පළමු දිනයේදීම රොමාලිගේ දෙමාපියන් අතට පෑනක්, කොළයක් සහ මිනුම් බඳුනක් ලබාදෙනු ලැබීය. රොමාලි විසින් පානය කරන ජලය පරිමාව සහ ඇගේ සිරුරෙන් පිට කරන මුත්‍රා පරිමාව එහි ලියන ලෙසට උපදෙස් ලැබිණි.

පැයකට වතුර මිලිලීටර 150 ක්!

“අඩුම ගානෙ පැයකට වතුර මිලි ලීටර 150 ක් දෙන්න. 150කට වඩා වැඩි වෙන්න දෙන්න එපා..” යැයි ඔවුන්ට උපදෙස් ලැබිණි.

රොමාලි සිටියේ වතුර ටිකක් බොන තරමක තත්වයකවත් නොවේ. ඇගේ පියා රොහින්ද්‍ර අද මෙසේ කියයි. “අපිට කිසිම වෙලාවක වතුර දෙන්න එපා කිව්වෙ නෑ. මිලි ලීටර 150කට වඩා වැඩි නොවෙන්න වතුර දෙන්න කියල තමයි හැම තිස්සෙම කිව්වෙ. අපේ දුව නැති වෙලා මාස තුන හතරකට පස්සෙ අපි දැනගත්තා ඩෙංගු රෝගියෙකුට වතුර කියන්නෙ වහ කියලා. අද අපි දන්නවා, මේ රෝහලේ අය ඒ ගැන දැනගෙන හිටියෙ නැති බව..”

එම අනවබෝධය, හුදෙක් නොසැලකිල්ල විය හැකිද? එය නොසැලකිල්ල නම් රෝගීන් එයට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද? රටේ මෙවැනි වසංගත තත්වයක් පවතින විටදී රජයේ සහ පුද්ගලික රෝහල් එයට සූදානම් වී ඩෙංගු ප්‍රොටෝකෝලයකට අනුව රෝගීන්ට වෙදකම් කළ යුතුය. එසේ කළ නොහැකි නම් ඔවුන් රෝගී ජීවිත සියතට ගැනීමේ අවදානම නොගෙන සිටිය යුතුය. අප මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන්නේ සමස්ත පද්ධතියේ අසමත්භාවය මිස පුද්ගලික වගකීම පමණක් නොවේ.

රොමාලිගේ මව මෙසේ කියයි. “හොස්පිට්ල් එකේ අය ඇවිල්ලා ඒක මොනිට’ කළා. සමහර වෙලාවට කිව්වා වතුර මිලිලීටර 100 ක් දෙන්න කියලා. සමහර වෙලාවට 150 දක්වා වැඩි කරන්න කිව්වා. මේ අතරවාරයෙ සේලයින් එකත් 100-150 අතරෙ අඩු වැඩි කළා.”

ඉරිදා දවස එසේ ගෙවී ගියේය. ඒ වන විට රොමාලි මුත්‍රා පිට කරන වාර ගණන අතර කාලයේ විශාල පරතරයක් ඇති වී තිබිණි. ඇගේ ආහාර රුචිය මුළුමනින්ම පාහේ නැති වී ගොස් තිබිණි. ඇයට සිය උදරය ස්පර්ශ කිරීම පවා වේදනාජනක වී තිබිණි.

ඔවුන් මේ බව වෛද්‍යවරයාට සහ හෙද හෙදියන් හට දැනුම් දුන්න ද එදින ඇගේ උදරය ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරුණේ නැත.

අවදානම් පැය 48

සඳුදා දිනයේ උදෑසනම වෛද්‍ය පණ්ඩුක කරුණානායක රොමාලිගේ දෙමාපියන් හමුවට පැමිණ මෙසේ කීවේය. ''She has started her critical period “ඇය අවදානම් කාල පරිච්ඡේදයට අවතීර්ණ වෙලා..”

සෑම ඩෙංගු රෝගියෙකු ම පැය 48 ක බරපතළ අවදානම් සහිත කාලපරිච්ඡේදයක් පසු කළ යුතුය. මේ කාලය තුළදී රක්තපාත තත්වය උත්සන්න වේ. රොමාලි එම තීරණාත්මක අවධියට එළඹ සිටියාය. ඒ ඇය ආසිරි සෙන්ට්‍රල් රෝහල වෙත ඇතුළත් කර ගෙවා දමන තෙවැනි දිනයයි.

මේ තෙවැනි දිනයේ දහවල් 1 ට පමණ ඇයව ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරිණි. එහි වාර්තාව අපි පිරික්සා බැලුවෙමු. early fluid leakage යැයි එහි පැහැදිලිව සටහන් කර තිබේ. එය පැහැදිලිවම ඩෙංගු රෝගියාගේ තත්වය බරතළ වෙමින් යන බවට නිසැක සාධකයකි. එසේ තිබියදීත් ඇයව දෙවැනි ස්කෑන් පරීක්ෂාවකට පසුදින යොමු කෙරුණේ නැත. රොමාලි දිගින් දිගටම දරුණු උදරයේ වේදනාව ගැන පැමිණිලි කරමින් සිටියත්, එයින් සිව් දිනක් ගත වන තෙක්ම, එනම් ඇය මෙලොව හැර දමා යන දිනය දක්වාම දෙවැනි ස්කෑන් පරීක්ෂාවකට ඇය ලක් කෙරුණේ නැත.

දෙවැනි ස්කෑන් පරීක්ෂාවකට දියණිය ලක් නොකළේ ඇයිදැයි, එසේ කරන ලෙස නිර්දේශ නොකළේ ඇයිදැයි රොමාලිගේ පියා, පසුව විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායකගෙන් විමසුවේය.

“ඔහු කිව්වෙ, ස්කෑන් එක දිගටම මට කරන්න හේතුවක් තිබුණෙ නෑ කියලයි. තුන්වැනි, හතරවැනි, පස්වෙනි දවස්වලත් එහෙම කරන්න උවමනාවක් නෑ කිව්වා, මොකද ඇයගෙ අනෙක් රුධිර දත්ත (බ්ලඩ් කවුන්ට්ස්) සතුටුදායක විදිහට තියෙන නිසා.” රොහින්ද්‍ර අප සමග පැවසුවේය.

“දුවට ඇඳෙන් බැහැලා ටොයිලට් වුණත් යන්න කමක් නෑ කිව්වා.” ඒ, රොමාලිගේ මවගේ ආවර්ජනයයි.

නමුත් ආණ්ඩුවේ රෝහල්වල ක්‍රියාත්මක වන ඩෙංගු ප්‍රොටෝකෝලය අනුව සෑම ඩෙංගු රෝගියෙකුම දිනපතා ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කළ යුතුය. එක් දිනක සිදුකරන පළමු ස්කෑන් පරීක්ෂාව පිළිබඳ වෛද්‍යවරයා තෘප්තිමත් නොවන්නේ නම් එම රෝගියා එදිනම දෙවන ස්කෑන් පරීක්ෂාවකට ද යොමු කරනු ලබයි. “නමුත් මගෙ දුව දවස් හතක් ඉස්පිරිතාලෙ හිටියා. එකම එක ස්කෑන් එකයි කළේ. දෙවැනි එක කළේ දුව නැති වෙන්න පැය දෙකකට විතර කලින්..” පියා රොහින්ද්‍ර පවසයි.

ස්කෑන් පරීක්ෂාවේ වාර්තාව සමග ඇගේ දෙමාපියන් වෛද්‍ය පණ්ඩුක හමුවූහ. එවිට ඔහු කියා තිබෙන්නේ රොමාලිගේ උදර වේදනාවට හේතුව මාංශපේශීවල ගැටළුවක් බවයි. “මෙයාට තියෙන්නෙ මස්ල් ප්‍රොබ්ලම් එකක්. ඒක අපි දුවට සනීප වුණාට පස්සෙ මාස දෙකකින් විතර කතා කරමු..” යැයි ඔහු එවිට පවසා තිබේ.

“අපි විශ්වාස කරන විදිහට ඩොක්ට පණ්ඩුක මේ රිපෝට් එකේ තියෙන early fluid leakage කියන එක දැක්කෙ නෑ. මොකද ඒක දැක්ක නම් ඔහු පහුවදා, ඒ කියන්නෙ 4 වැනිදා නැවත ස්කෑන් එකක් කරන්න ඕනෙ.. පස්වැනිදා නැවත ස්කෑන් එකක් කරන්න ඕනෙ. මේ විදිහට දිනපතාම ස්කෑන් කරන්න ඕනෙ...”

“ඒ වෙලාවෙ ඩොක්ට අපිට කිව්ව නම් එක සැරයක් නෙවෙයි, දෙපාරක් දවසට ස්කෑන් කරන්න ඕනෙ කියලා, එහෙම නැතිනම් දුවව අයිසීයූ එකට දාන්න ඕනෙ කියලා... මමයි බිල ගෙවන්නෙ. ඒ දේවල්වල කිසිම ගැටළුවක් තිබුණෙ නෑ. මොකද අපිට ඕනෙ අපේ දුවව බේරගන්න... නමුත් ඔහු අපිට එහෙම කිව්වෙ නෑ. එහෙම කළේ නෑ..” පියා රොහින්ද්‍ර පවසයි.

රොමාලිගේ මරණයෙන් පසු රෝහල විසින් සිදුකළ පරීක්ෂණයේ විස්තර ද ඔවුන් සතුව තිබේ. එහි සඳහන් වන්නේ “පැය 45 කට පසුව රෝගියාගේ යටිබඩේ අභ්‍යන්තර රුධිර වහනය ආරම්භ විය” යනුවෙනි. පැය 4කට පසුව යනු ඇය රෝහල් ගත කර තුන්වැනි දිනය, එනම් අප්‍රේල් 4 වැනිදා ය. නමුත් එයට පෙර දිනයේ, එනම් අප්‍රේල් 3 වැනිදා සිදුකළ ස්කෑන් පරීක්ෂාවට අදාළ වාර්තාවේම early fluid leakage  යනුවෙන් සඳහන් වේ. එසේ නම් රුධිර වහනය ආරම්භ වුයේ පැය 45කට පසුව යැයි සඳහන් වීම නිවැරදි ද?

“රුධිර වහනය පටන් ගත්ත කියල හොයාගන්න විදිහක් නෑනෙ, ස්කෑන් එකක් කරන්නෙ නැතිව..?” රොහින්ද්‍ර විමසා සිටියි.

“මට හිතෙන්නෙ මේක ඩොක්ටගෙ වරද. ඩොක්ටගෙ නොසැලකිල්ල. දැන් ඉතින් මොනව වුණත් අපේ දුව අපිට නැති වුණා. මට ඕනෙ අපි මේ විඳින දුක වෙන කාටවත් විඳින්න නැති වෙන්න..!!”පියා රොහින්ද්‍ර සිය එකම දියණිය අහිමි වීම ගැන උපන් අත්‍යන්ත දුකෙනි.

“කාගෙ අතිනුත් වැරදි වෙනවා. ඩොක්ටර් කියල එයා දෙවියෙක් නෙවෙයි, එයා අතිනුත් වැරදි වෙන්න පුළුවන්. නමුත් මං අහන්නෙ, මේ තරම් දෙයක් රිපෝට් එකේ කියල තියෙද්දිත් ඇයි එයා ස්කෑන් එක කළේ නැත්තෙ..? අවසාන දවස වෙනකල් ඊළඟ ස්කෑන් එක කළේ නැත්තෙ..?” ඔහු විමසයි.

වෛද්‍ය පණ්ඩුක පිළිබඳ ඔවුන්ට ඒ අවස්ථාවේ කිසිදු අපැහැදීමක් තිබුණේ නැත. “අපිට මේ ඩොක්ට ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මම දැකල තියෙනව සමහර ඩොක්ටර්ස්ලා ඇවිත් විනාඩි පහෙන් ලෙඩ්ඩු බලල යනවා. නමුත් මේ ඩොක්ට විනාඩි 10-15 දුව ව පරීක්ෂා කළා. දවසට දෙවතාවක් පවා ආවා. ක්‍රිටිකල් පීරියඩ් එකේ දවසට තුන් වතාවක් ආවා. ඒ වගේ ඩොක්ට කෙනෙක් අතින් වරදක් වෙනව කියල අපි හිතුවෙ නෑ..” ඒ රොහින්ද්‍රගේ හඬ ය.

“කියන්න තියෙන දේ කියන්න ඕනෙ..”

අප්‍රේල් 4 වැනිදා වන විට රොමාලිගේ පට්ටිකා ප්‍රමාණය 20,000 දක්වා පහත බැස තිබිණි. පුංචි සාවිය සමුගන්නට යන්නේද? දෙමාපියන් වෛද්‍යවරයාට සහ හෙදියන්ට ඇවිටිලි කළේ ඇය ව දැඩි සත්කාර ඒකකයට ගෙන යන ලෙස ය. නමුත් වෛද්‍ය පණ්ඩුකගේ අදහස වුණේ රෝගියාගේ තත්වය පාලනය කර තිබෙන නිසා එසේ කිරීම අනවශ්‍ය බවය. අවශ්‍ය කර තිබෙන්නේ ඇයට ඇඳ විවේකය ලබාදීම බව ඔහු පැවසුවේය.

පසුදින උදෑසන වන විට (අප්‍රේල් 05 වැනිදා) ඇගේ පට්ටිකා ප්‍රමාණය 8,000 දක්වා පහත බැස තිබිණි. එදින, එනම් බදාදා සවස රොමාලිගේ සහෝදරියකගේ ඇඳුනුම්කමක් මත එක්තරා වෛද්‍ය මහාචාර්යවරයෙක් රොමාලිගේ සුවදුක් බැලීමට පැමිණියේය. ඔහු හෙදිය ද ඉදිරියේ රොමාලිගේ දෙමාපියන් සමග මෙසේ කීවේය.

“මට කියන්න තියෙන දේ මම කියන්න ඕනෙ. මේ හොස්පිට්ල් එක ඩෙංගු ප්‍රොටෝකෝල් එක අනුගමනය කරන්නෙ නෑ.. මෙයාට වතුර දීල වැඩියි. !”

ගැස්ට්‍රයිටිස්..?

එදින රාත්‍රියේම රොමාලිගේ නාසයෙන් ලේ ගලා එන්ට පටන් ගත්තේය. ඇය කිවිසන විට ටිෂූ කඩදාසියේ ලේ බිංදු තැවරෙන්නට විය. "Ammi.. this is not good.. please call the doctor!", ඒ වදන් මරණයේ සෙවණැල්ලට මුවා වෙමින් සිටි රොමාලිගේ ය. රොමාලිගේ මාපියෝ කලබල වූහ. නමුත් හෙදියන් ඔවුන්ට එවිට කීවේ ඩෙංගු රෝගියෙකුට මෙසේ වීම ඉතාම සාමාන්‍ය දෙයක් බැවින්, බිය වන්නට දෙයක් නැති බව ය. “අයියෝ මිස්, බයවෙන්න එපා, ඩෙංගු පේෂන්ට්ස්ලට ලේ විදින්නෙ ටැප් එකක් ඇරිය වගේ..’‘ යැයි එතැන සිටි හෙද සොයුරිය කීවාය. ඔවුහු අයිස් තබා ලේ ගැලීම නතර කළහ.

වෛද්‍යවරුන් පැමිණ පරීක්ෂා කරන සෑම අවස්ථාවකදීම පුංචි සාවිය සිය දරුණු උදර වේදනාව ගැන පැමිණිලි කළාය. වෛද්‍ය පණ්ඩුක කරුණානායක හැරුණු විට ඇය රෝහල්ගත ව සිටි දින 7 ක කාලය තුළ වෛද්‍යවරුන් 15 දෙනෙක් පමණ ඇයව බැලීමට පැමිණියහ. ඔවුන් සියලු දෙනාම කියා සිටියේ, “බයවෙන්න දෙයක් නෑ. ගැස්ට්‍රයිටිස්වලටයි මෙහෙම වෙන්නෙ” යනුවෙනි.

රොහින්ද්‍ර මෙසේ පවසයි. “වෛද්‍යවරු 15 දෙනෙක් විතර මගෙ දරුවව බලල තියෙනවා. (බිල පෙන්වමින්) ඒවාට මුදල් අයකරල තියෙනවා. ඒ වෛද්‍යවරුන් 15 දෙනාටම මගෙ දරුවට අසාධ්‍ය ද නැත්ද කියල හොයාගන්න බැරිවෙලා තියෙනවා. වෛද්‍ය උපදෙස් සඳහා පමණක් යැයි කියමින් ඔවුන් රුපියල් 25062 ක් අය කරල තියෙනවා. මගෙ දුවව ඇවිත් බලන්න විතරක්... ඒ කාටවත් මගෙ දුවගෙ තත්වය අඳුනගන්න බැරි වුණා..”

බදාදා සවස පටන්ම රොමාලි මුත්‍රා පහකිරීමට නොහැකි කමකින් පෙළුණාය. ඇගේ සුවදුක් බැලීමට ආ රෝහලේ එකම එක නේවාසික වෛද්‍යවරයෙක් පමණක් රොමාලිගේ තත්වය පිළිබඳ සිය කණස්සල්ල පළ කරන්නේ ද මේ අතරවාරයේ ය. දමිල වෛද්‍යවරයෙකු වූ ඔහු පවසා තිබෙන්නේ රොමාලි ව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු බවයි. නමුත් එය සිදුවුණේ ද නැත.

ඒ වන විට රොමාලිගේ අතපය ද ඉදිමී තිබිණි. ඇස් යට කළු පැහැ වී පිම්බී තිබිණි. පුංචි සාවිය සීඝ්‍රයෙන් මරු වෙත යමින් සිටියාය.

“ඉක්මනට ගෙදර යන්න පුළුවන්!”

අප්‍රේල් 6 වැනිදා එනම් බ්‍රහස්පතින්දා දිනයේ අළුයම 3 වන විට රොමාලිගේ පට්ටිකා ප්‍රමාණය 10,000 දක්වා පහත වැටුණේය. එදින උදෑසන 11 පමණ වන විට පට්ටිකා කියවීම 13,000 ක් විය. නමුත් එසේ තිබියදීත් රෝහලෙන් රොමාලිගේ දෙමාපියන්ට දැනුම් දුන්නේ “හෙට නැත්නම් අනිද්දා දුවට ගෙදර යන්න පුළුවන්” බව ය.!

පහනක් නිවෙන්නට කලින් මදක් දීප්තිය වැඩි වේ. ඇය එදින උදෑසන අවදි වුණේ මද සිනාවකිනි. සැබවින්ම ඇය මරු සමග සිනාසෙමින් සිටියාය. ඒ බව නොදත් ඇගේ මව්ට දැනුණේ සතුටකි. “මම හිතුව මගෙ දුව සනීප වෙනව කියලා..”

“පුතා අද ඔයා මොනව හරි කනවද?” යැයි ඇය රොමාලිගෙන් ඇසුවාය. රොමාලි යෝගට් එකක් කෑමට මනාපය පළ කළාය. ඇය යෝගට් කෝප්ප භාගයක පමණ රස බැලුවාය.

උදෑසන විශේෂඥ වෛද්‍යවරයා පැමිණෙියේය. ඔහුගේ ද අදහස වුණේ රොමාලි සුව වෙමින් සිටිනා බව ය. “හෙට විතර ඔයාට ගෙදර යන්න පුළුවන්” යැයි ඔහු කීවේය.

ඒ අනුව පුංචි සාවියගේ ඩ්‍රිප් එක ද ගළවා දමන ලදී. නමුත් මේ ලියැවෙමින් තිබුණේ ඇගේ කෙටි සුන්දර ජීවිතය නමැති හයිකු කවියේ අවසන් පද පේළියයි.

එදින දහවල් ද පෙර කී දමිල වෛද්‍යවරයා පැමිණියේය. ඔහු ඇය පරීක්ෂා කරන විට ඇය වේදනාවෙන් භරිත වූවාය. තවමත් දැඩි උදර වේදනාවක් දැනෙන බව ඔහුට කීවාය. “රොමාලි, මම හිතන්නෙ ඔයාට තවම සනීප නෑ...” යැයි එම වෛද්‍යවරයා කීවේය.

රොමාලිගේ මව කලබල වූවාය. ඩෙංගු රෝගය නිසා බරපතළ තත්වයට පත්වූ සිය දියණිය මේ සා ඉක්මනින් නැවත නිවසේ තබාගන්නේ කෙසේද? ඇය හෙද සොයුරිය පැමිණි විට කීවේ, රොමාලිට නොදැනෙන්නට වෛද්‍ය පණ්ඩුකගෙන් ඉල්ලීමක් කරන ලෙස ය. ඒ ඉල්ලීම අන් කිසිවක් නොව, රොමාලිව තව දින දෙකක්වත් රෝහලේ තබාගන්නා ලෙස ය.

එම ඉල්ලීම ඉටු කරන බවට හෙදිය පොරොන්දු වූවාය.

එදින දහවලේ ඇය ඉතිරි යෝගට් භාගයේ ද රස බැලුවාය.

එදින සවස 6ට පමණ රොමාලි සිය මව ඇමතුවාය. ඇයට ආහාර රුචියක් ඇති ව තිබිණි.

“අම්මි, මට මැංගො ට්‍රීස්වලින් නාන් එකක් ගෙනත් දෙන්න. මට ලූණු ඕනෙ. මට අච්චාරු ඕනෙ... මගෙ කට තිත්තයි..”

ඇය කුඩා කටවල් තුනක් පමණ ගත්තාය. මව්ගේ දෑසේ කඳුළු පිරුණි. ඇය රොමාලි, දින ගණනකට පසුව මරණ මංචකයෙන් නැගිට ආහාර ගන්නා හැටි ඡායාරූපයකට ද නැගුවේ ඒ සිය දියණිය ගන්නා අවසන් ආහාර වේල බව නොදැන ය. එම ඡායාරූපය සදාකාලික සිහිවටනයක් ලෙසින් අද ඉතිරි ව තිබේ. ඇස් යට කළු පැහැ ගැන්වුණු, අත් කළු ගැසුණු, මුහුණ ඉදිමුණු පුංචි සාවියගේ ස්වරූපය එහි මනාව සටහන් ව තිබේ.

එදින රාත්‍රියේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10 ට පමණ රොමාලිගෙන් එංගලන්තයේ ඉගෙනුම ලබන එකම සොයුරා වෙත එස්එම්එස් පණිවුඩයක් ලැබිණි.

"Are u free to talk?" යැයි එයින් අසා තිබිණි.

සොයුරු රොෂේන්ද්‍ර ඇයට එවේලේම ඇයට ඇමතුමක් ගත්තේය. ඒ දින කිහිපය පුරාම ඔහු ඇය පසුවූ තත්වය අනුව ඇයව අමතා තිබුණේ නැත. ඇගේ සුවදුක් විමසූ විට ඇය කියා තිබුණේ “මට හෙට හරි අනිද්ද හරි ගෙදර යන්න පුළුවන්. ඒත් මගෙ තාම බඩ රිදෙනවා..” යනුවෙනි.

එදින මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් ඇගේ සුවදුක් විමසීමට පැමිණි විටද ඇය සයනය මත හිඳ ඔවුන් සමග සාමිචියේ යෙදීමට ඇය සමත් වූවාය.

හෘදයාබාධයක්

නමුත් දෛවෝපගත පසුදින, එනම් අප්‍රේල් 7 වැනිදා අළුයම 1 වන විට ඇගේ පට්ටිකා ප්‍රමාණය 12,000 දක්වා පහත බැස්සේය.

අළුයම 1.15 ට පමණ, පුංචි සාවිය වේදනාවෙන් මොර දුන්නාය. “අම්මී..” යැයි දුබල හඬින් කෑ ගැසුවාය. ඇගේ ගෙළ සහ වම් අත වේදනාවෙන් පුපුරු ගසන බව හඬමින් කීවාය.

“අම්මි,.. අයි කාන්ට්.. අයි කාන්ට් අම්මි.. මට මොකක් හරි වෙනවා. මගෙ පපුව හිර වෙනවා. මගෙ කට රිදෙනවා.. මගෙ අත රිදෙනවා..” පුංචි සාවිය විලාප නැගුවාය.

ඒ වන විට ඇගේ දකුණු අත් වැළමිටේ ඇතුල් පැත්තට වන්නට ලේ ලපයක් ඇති වී තිබිණි. එය ඉදිමී තිබිණි.

රොමාලිගේ මව සීනුව නාද කරමින් කෑ ගෑවාය. හෙදියෝ දෙදෙනෙක් වහා පැමිණියහ.

“මගෙ වේදනාව පිටකොන්ද පැත්තට යනවා..” රොමාලි සිය මව සමග හඬමින් කීවාය. කළ යුත්තේ කුමක්දැයි මවට සිතාගත හැකි වූයේ නැත. ඇය තම බෑගයේ තිබූ ඇක්ස් ඔයිල් බෝතලය ගෙන ආලේප කළාය. පුංචි සාවිය වේදනාව දරාගත නොහැකි තැන කොට්ටය බදාගෙන බිමට නැමුණාය.

“අනේ සිස්ටර්, හාට් ඇටෑක් එකක්වත්ද..?”

රොමාලිගේ මව බියපත්ව ඇසුවාය.

නමුත් හෙදියන්ගේ අදහස වුණේ හෘදයාබාධයක් ඇති වන්නේ නම් එම වේදනාව එන්නේ වම් අතට මිස දකුණු අතට නොවන බව ය. ඔවුහු පැනඩෝල් ගෙන ආහ.

“අනේ සිස්ට.. මෙච්චර ලොකු වේදනාවකට පැනඩෝල්..?” රොමාලිගේ මව උමතුවෙන් මෙන් කෑ ගෑවාය.

“නෑ නෑ. බය වෙන්න දෙයක් නෑ. කලබල කරන්න එපා..” යැයි පිළිතුරු ලැබිණි.

රොමාලි වමනය කළාය. ඒ සමගම ඇයට කිවිසුමක් ගියේය. නැවතත්, ලේ බිඳිති කිහිපයක් ටිෂූ කඩදාසියේ නැවත තැවරුණේය.

විශේෂඥ වෛද්‍යවරයා පැමිණියේය. ඒ වන විට හෙදියන් විසින් ඇගේ දකුණු අත බැන්ඩේජ් කර තිබූ අතර ඔහු උදරය පරික්ෂා කර බැලුවේය. බලා මෙසේ කීවේය. "A Civiar Gastric attack!" බරපතළ ගැස්ට්‍රයිටිස් තත්වයක්...”!!!

වහාම ගැස්ට්‍රයිටිස් රෝගීන් ට ලබාදෙන ගැවිස්කෝන් ඔසුව ලබාදෙන ලෙස ද ඔහු නිර්දේශ කළේය.

ඇයව දැඩි සත්කාර ඒකකයට ගෙන යමුදැයි රොමාලිගේ දෙමාපියන් ඇවිටිලි හඬින් ඉල්ලා සිටි විට ඔහු කීවේ එසේ කිරීම අවශ්‍ය නොවන බව සහ මෙය හුදෙක්ම ගැස්ට්‍රික් තත්වයක් බව ය.

තමන්ට වැසිකිළි යාමට අවශ්‍ය බව රොමාලි හදිසියේම කීවාය. රොමාලිගේ මව ඇයව වත්තම් කරගෙන ගියේ හෙදියන්ගේ ද ආධාරයෙනි. රොමාලි ඒ මොහොතේදී සිය හිස මවගේ ඇකයේ තබාගෙන සිටියාය. ඈ සිටියේ හිස තනිවම කෙළින් කරගත හැකි තත්වයක පවා නොවේ.

ආපසු සයනය වෙත යන විට ඇය කඩදාසියක් මෙන් සුදුමැලි ව සිටියාය. මරණය මෙන්ම ශීතල වී සිටියාය. ඇය ඇඳට වැටුණේ “මට හුස්ම ගන්න බෑ... මට හුස්ම ගන්න බෑ..” යැයි කියමිනි.

ඉන්පසු ඇය එකවරම දෑස් පියාගත්තාය.

“අනේ පුතා.. ඇස් දෙක අරින්න.. ඇස් දෙක අරින්න..” මව බියපත් ව කෑ ගෑවාය. පියා රොහින්ද්‍ර දුවගෙන විත් ඇගේ සයනයට නැග, මුහුණට වැරෙන් තට්ටු කර “ඇස් අරින්න දුව..” යැයි කියමින් කෑ ගෑවේය.

ඒ වන විට ඇයට ගැවිස්කෝන් නියම කර, වෛද්‍යවරයා පිටව ගොස් තිබිණි. එසේ යන්නට පෙර ඔහු විසින් හෙදියන්ට ලබාදී තිබූ උපදෙස වූයේ “නිතරම දෙන්නෙක් ලෙඩා ළඟ ඉන්න” යන්නයි.

රොමාලිගේ මාපියෝ නොකඩවා සීනුව නාද කළහ. කිසිවෙක් පැමිණියේ නැත. පෙර කී හෙදියන් ද වෛද්‍යවරයා සමගම පිටව ගොස් තිබිණි.

“රොහින්ද්‍ර, දුවල ගිහිල්ල ඩොක්ටව එක්කරගෙන එන්න..’‘ යැයි රොමාලිගේ මව කෑ ගෑවාය.

නේවාසික වෛද්‍යවරයා සහ තවත් වෛද්‍යවරියන් දෙදෙනෙක් දිව ආහ.

“මෙයාගෙ නාඩි වැටෙන එක නවතිනවා.. හිමටෝමා.. හිමටෝමා..!!” රොමාලි ව පරීක්ෂා කළ නේවාසික වෛද්‍යවරයා කලබලයෙන් කීවේය. හිමටෝමා යනු අභ්‍යන්තර ලේ වහනයයි. “ඉක්මනට ඩොක්ට ට කතා කරන්න..!”

රොමාලි ගොදුරු ව සිටියේ ‘කාඩියැක් ඇරස්ට්’ හදිසි හෘදයාබාධ තත්වයකට බව ඔවුන් දැනගත්තේ පසුව ය.

රොමාලි ව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කෙරුණේ ඒ අන්තිම මොහොතේදී ය. ඒ වන විටත් ඔවුන් ප්‍රමාද වැඩි ය. මරණයේ සෙවණැල්ලට මුවා වී මාරයා ඇය වෙත කුරුමාණම් අල්ලමින් සිටියේය.

මේ තරුණ ජීවිතය මෙසේ අකලට අහිමි වීම සමස්ත පද්ධතියේ, පුද්ගලික වෛද්‍ය සේවයේ බිඳවැටීම සහ අසමත් භාවය ප්‍රකට කරන සිදුවීමකි. අප මේ සැරසෙන්නේ තනි පුද්ගලයෙක් අල්ලා දඬු කඳේ ගැසීමට නොවේ. විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා ද රෝගී ජීවිත බේරාගැනීම සම්බන්ධයෙන් කීර්තියක් උසුළන වෛද්‍යවරයෙක් බව අපි දනිමු. මෙහි සැබෑ ගැටළුව පවතින්නේ මෙතෙක් ආමන්ත්‍රණය නොකළ අර්බුදය තුළ ය.

ඩෙංගු ප්‍රොටෝකෝලයක් නොමැති, නමුත් කිසිවිටෙක ඒ බව පිළිනොගත් සහ පිළිගැනීමේ අවශ්‍යතාවක් ද නොතිබුණු ආසිරි සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේ  නේවාසික ව සිටි රොමාලිගේ පට්ටිකා ප්‍රමාණය 2017 අප්‍රේල් 6 වැනිදා එනම් බ්‍රහස්පතින්දා දිනයේ අළුයම 3 වන විට 10,000 දක්වා පහත වැටී තිබිණි.  එදින උදෑසන 11 පමණ වන විට ද පට්ටිකා කියවීම 13,000 ක් විය. නමුත් එසේ තිබියදීත් රෝහලෙන් රොමාලිගේ දෙමාපියන්ට දැනුම් දුන්නේ “හෙට නැත්නම් අනිද්දා දුවට ගෙදර යන්න පුළුවන්” බව ය. මද සුවයක් පෙන්නුවද දැඩි උදර වේදනාවකින් පීඩිතව සිටි ඇගේ පට්ටිකා කියවීම අප්‍රේල් 7 වැනි සිකුරාදා වන විට 12,000 දක්වා පහත වැටුණේය. එදින අළුයම 1.15ට පුංචි සාවිය මොර දුන්නාය. ඇගේ මුළු සිරුරම, විශේෂයෙන්ම ගෙළ සහ වම් අත වේදනාවෙන් පුපුරු ගසමින් තිබිණි. නමුත් රෝහලේ හෙදියන් ඇයට නිර්දේශ කළේ පැරසිටමෝල් පමණි. ඇගේ ජීවිතය භාරව සිටි විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායකගේ අදහස වුණේ මෙය ‘බරපතළ ගැස්ට්‍රයිටිස් තත්වයක්‘ බවය! නමුත් සැබවින්ම ඇති වී තිබුණේ හෘදයාබාධ තත්වයකි.  මරණය මෙන්ම ඈ ශීතල වී සිටියාය. “මට හුස්ම ගන්න බෑ... මට හුස්ම ගන්න බෑ..” යැයි කියමින් ඇය ඇඳට වැටුණාය.

ඉන්පසු එකවරම දෑස් පියාගත්තාය.

ඉන්පසු නැවත යන්තමින් දෑස් හැරියාය. ‘‘අම්මි.. මම මැරෙන්න යනවා...“ යැයි දුබල හඬින් කෙඳිරුවාය.

වෛද්‍ය පණ්ඩුක කරුණානායක ඇය ව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු යැයි තීරණය කළේ ඒ අවසන් මොහොතේ ය. සැබවින්ම එය කළ යුතුව තිබුණේ එයට දින කිහිපයකට පෙර බව පෙර ලිපිවලින් ද අපි අවධාරණය කළෙමු.

රොමාලිගේ දෙමාපියන්ට මුලින්ම උවමනා වී තිබුණේ ලංකාවේ හොඳම ඩෙංගු විශේෂඥයා වශයෙන් සැලකෙන, ජාත්‍යන්තර කීර්තියට පත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වෙතින් රොමාලිට ප්‍රතිකාර ලබාදෙන්නට වුවත්, එය වැළකී ගිය ආකාරයත්, පට්ටිකා ප්‍රමාණය 100,000ට අඩුවූ පසු රෝහලට ඇතුළත් කරන්නැයි දුරකථනයෙන් උපදෙස් දුන් හෙයින් ඇයව ආසිරි සෙන්ට්‍රල් රෝහලට ඇතුළත් කරන්නට සිදුවූ අන්දමත් මීට පෙර ලිපිවලින් අප සවිස්තරාත්මකව කියා ඇත. මේ අවසන් මොහොතේ, රොමාලිගේ ප්‍රාණය ඇගෙන් නිරුද්ධ වෙමින් තිබූ නිමේෂයේ විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා නැවතත් කියමින් සිටියේ, තමන් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි දැඩි සත්කාර ඒකකයේ සිටින රොමාලිට ප්‍රතිකාර කරන්නට සූදානම් වන බවය!

ඒ අනුව ඔහු විසින් වෛද්‍ය විජේවික්‍රම ව දුරකථනයෙන් අමතා ඇති අතර වෛද්‍ය පණ්ඩුක කරුණානායක පසුව කීවේ, උදේ වරුවේ කාර්යබහුල බැවින් තමන් සවස 2 වන විට පැමිණෙන බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසූ බව ය.

’‘දවල් දෙකෙන් පස්සෙ මගෙ දුව ව බලන්න ඩොක්ට ආනන්ද විජේවික්‍රම එනව කියලත්, දුවට ප්‍රතිකාර කරන්න ඔහුගෙ උපදෙස් ගන්නව කියලත් මට ඩොක්ට පණ්ඩුක කිව්වා..” ඒ රොහින්ද්‍රගේ වදන් ය.

නමුත් සවස 2 වන තෙක් රොමාලිගේ ප්‍රාණය ඇය වෙත තිබිණිද?

දැඩි සත්කාර ඒකකයේ

රොමාලි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු රොමාලිගේ මව දෙවතාවක් ක්ලාන්තය දමා ඇද වැටුණාය. සිය එකම දියණිය සිටින්නේ මරණ මංචකයේ බව ඇගේ සිතට දැඩි සේම දැනෙමින් තිබිණි. පියා රොහින්ද්‍ර ඇයව පිටතට වත්තම් කරගෙන පැමිණ, අසල බංකුවක වාඩි කරවා දැඩි සත්කාර ඒකකයේ සිය පුංචි සාවිය සිටි ගිලන් ඇඳ අසලට ගියාය.

පුංචි සාවිය අමාරුවෙන් වදන් ගළපාගෙන මෙසේ කීවාය. “තාත්ති.., මාව වඩාගෙන ටොයිලට් එකට එක්කරගෙන යන්න!”

“අනේ පුතේ මේ විදිහට යන්න බෑනෙ..” ඒ වන විට දියණියව සෙළවීමට පවා බියපත්ව සිටි රොහින්ද්‍ර, සිය දියණියට කීවේය. ඇය සැබවින්ම සිටියේ සෙළවීමට පවා සුදුසු තත්වයක නොවේ. එනිසා ඇයට ඩයපරයක් අන්දවනු ලැබිණි. ඔක්සිජන් මුහුණු ආවරණයක් ද ලහිලහියේ පැළඳවිණි. රොමාලි එය අල්ලා පසෙකට විසි කර දැමුවේ, ඒ සංවේදනය පවා ඇයට මහා වේදනාවක් ජනිත කළ නිසා විය යුතුය. “තාත්ති, ඔක්සිජන් මාස්ක් එක ළඟින් තියල අල්ලගෙන ඉන්න. මට අමාරුයි..” යැයි ඇය සිය දයාබර පියා අමතා කීවාය. රොහින්ද්‍ර එසේ කළේය.

“තාත්ති, මට යන්න දෙන්න!”

“තාත්ති, මට ඉන්න බෑ තාත්ති.. යැයි කියමින් මද වේලාවකට පසු ඈ මහත් වූ වේදනාවෙන් යුතුව සයනයේ වාඩි වූවාය. පියාව වැළඳගන්නවා සේ ඔහුට හේත්තු වූවාය. ඉන්පසු එකවරම මෙසේ කීවාය. “තාත්ති.. අයැම් ගොයින් ටු ඩයි....”

ඒ වදන් අප සමග පුනරුච්ඡාරණය කරන විට රොහින්ද්‍ර වේදනාව තවදුරටත් උහුළා ගත නොහී මහ හඬින් වැළපුණේය. ඒ වේදනාව මේ මිහිපිට කිසිම තාත්තා කෙනකුට අත් නොවිය යුතු බව පමණක්, කම්පනයෙන් යුතුව මෙහි ලියා තබමු.

“මම කිව්වා පුතේ කවදාවත් ඒක වෙන්නෙ නෑ පුතේ.. මම ඉන්නවා ඔයාට...” යැයි රොහින්ද්‍ර ඒ වේලාවේ ද හඬමින් ඇයට සවියක් වන්නට උත්සාහ කර තිබිණි. “එතකොට පුතා කිව්වා, ලෙට් මී ගෝ තාත්ති, අයැම් ගොයින් ටු ඩයි තාත්ති.. ලෙට් මී ගෝ...”

“මට යන්න දෙන්න” යැයි පුංචි සාවිය එසේ කියන්නට ඇත්තේ ඇයට යන්නම සිදුවන බව සක් සුදක් සේ ඇයට දැනී තිබූ නිසා විය යුතුය. සිය ඉතිරි ජීවිත කාලයේ කෙදිනකවත් අමතක කළ නොහැකි ඒ වදන් පෙළ මේ තාත්තාගේ දෙනෙත් මත ඉතිරි කර තිබෙන්නේ සදාකාලික කඳුළකි. ඒ කඳුළට හැකි නම් ඔබ නමක් දෙන්න!

’‘තුන් පාරක් මට කිව්වා, තාත්ති මට යන්න දෙන්න කියලා... අන්තිමට කිව්වා මට වතුර ටිකක් දෙන්න කියලා.. මම... මමයි වතුර පෙව්වේ...” රොහින්ද්‍ර මහ හඬින් වැළපෙයි.

’‘පුතා, ඔයාගෙ ආගමේ මොනව හරි දෙයක් මතක් කරගන්න...” ඒ අසල සිටි කාරුණික හෙදියක් රොමාලිට කීවාය. “අනේ ආන්ටි මට මොකුත් මතක් වෙන්නෙ නෑ ආන්ටි..” එවිට පුංචි සාවිය දුබල සහ අසරණ හඬින් කීවාය.

’‘මම එහෙනම් ගාථා කියන්නද..?” එවිට හෙදිය ඇසුවාය. රොමාලි යන්තමින් හිස සැළුවාය. ඒ වන විට රොමාලිගේ හද ගැස්ම දැක්වෙන යන්ත්‍රය විටින් විට 0 පෙන්වමින් තිබූ හෙයින් ඇය නොකඩවාම එම යන්ත්‍රය රීසෙට් කරමින් සිටියාය. වෛද්‍යවරුන්ට නොවැටහුණු සත්‍යය ඒ හෙදියට දැනුණු සෙයකි.  ඇගෙන් කලබලකාරී බවක් දිස්විය.

නමුත් පුංචි සාවිය අවසන් මොහොතේ හෝ කෙසේ හෝ බේරෙනු ඇතැයිද, දෙවියන් වහන්සේ ඇගේ අහිංසක ප්‍රාණය සිහින් නූලකින් හෝ අල්ලා තබාගනු ඇතැයි ද රොහින්ද්‍ර ඒ තීරණාත්මක නිමේෂයේ දී ද සිතුවේය. එසේ පැතුවේය.

උදේ 5.30ට පමණ රොහින්ද්‍රගේ ඥාති සහෝදරයෙක් වන ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් රොමාලි ව බැලීමට දැඩි සත්කාර ඒකකය වෙත ආවේය. රොහින්ද්‍රට පිටතට යන ලෙසට ඉල්ලීමක් කෙරිණි. ඔහු එසේ කළේය. පසුව දැඩි සත්කාර ඒකකයෙන් රොහින්ද්‍රගෙන් විමසුවේ රොමාලිට කැතීටරයක් දැමීමට අවශ්‍ය බවත්, පෙර කී වෛද්‍යවරයා ලවා එසේ කිරීමට කිරීමට ඔවුන් එකඟද යන්නත් ය. රොහින්ද්‍ර එයට එකඟ විය. විනාඩි 45 කට පමණ පසු එම ඥාති සොයුරා රොහින්ද්‍ර වෙත, එනම් දැඩි සත්කාර ඒකකයෙන් පිටතට ආවේය. වෛද්‍යවරයෙක් වුවද ඔහු සිටියේ හඬමිනි.

’‘ඇයි අයියෙ අඬන්නෙ..?” රොහින්ද්‍ර වෙව්ළුම් හඬින් ඔහුගෙන් ඇසුවේය.

’‘නෝ මල්ලි, එයාට හොඳ වෙයි..” අවිනිශ්චිත හැඟීම් දහසක් සමග සිදුවන්නට යන දෙය ඉවෙන් මෙන් දැනී තිබුණත් වෛද්‍යවරයා රොමාලිගේ තාත්තාට එය නොහැඟවීමට ප්‍රවේශම් වුණේය.

ඒ ඥාති සොහොයුරු වෛද්‍යවරයා පසුව රොහින්ද්‍ර සමග කියා සිටියේ රොමාලිගේ ජීවිතය බේරීමට ඇති හැකියාව 5% ක් පමණක් වන බව එදා ඔහු දැන සිටි බවයි. ගිලන් සයනයේ-මරණ මංචකයේ වැතිර සිටි රොමාලි ට කැතීටරය දැමීමට උත්සාහ කරන අවස්ථාව වන විටද ඇගේ වකුගඩු මුළුමනින්ම පාහේ අක්‍රිය වී පැවති බව ඔහුට දැනුණේය. නමුත් රොහින්ද්‍රට ඒ බව එවේලේ කියා, ඔහුව තවත් හඬවන්නට හෝ ශෝකයෙන් ඔහු ව උමතු කරන්නට ඥාති සොයුරාට සිත් දුන්නේ නැත.

“හුස්ම ගන්න ලේසි වෙන්න!”

උදෑසන 9 ට පමණ රොහින්ද්‍රට සහ රොමාලිගේ මවට වෛද්‍යවරුන් වෙතින් කැඳවීමක් ලැබිණි. ඔවුන්ට පැවසුණේ රොමාලිට තවත් හෘදයාබාධයක් (කාඩියැක් ඇරෙස්ට්) ඇති වූ බව ය.

උදෑසන 10.30 පමණ වන විට නැවත වරක් ඔවුන්ට වෛද්‍යවරුන්ගෙන් කැඳවීමක් ලැබිණි. ඔවුන් දැනුම් දී සිටියේ රොමාලි ව ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කිරීමට සිදුවූ බව ය. එයින් ඇයට හුස්ම ගැනීමට පහසු වනු ඇතැයි ඔවුහු කීහ.

රොමාලිගේ පියා රොහින්ද්‍ර, තවත් ඉවසනු නොහී නැවත වරක් සිය එකම දියණියගේ ගිලන් සයනය වෙතට ගියේය. ඒ වන විට එහි තවදුරටත් සිටියේ තමන්ගේ ප්‍රාණ සම කෙළිලොල් දියණිය නොවේ. ඇය නිසොල්මනේ වැතිරී සිටියාය. පසුව 11.30ට පමණ වෛද්‍යවරුන් දෙමාපියන්ට දැනුම් දුන්නේ ඇයට තවත් හෘත් අකරණිය තත්වයක් හෙවත් කාඩියැක් ඇරෙස්ට් තත්වයක් ඇති වූ බවයි.

“නෑ නෑ... එයාට සනීප වෙයි..” වෛද්‍යවරු හැකි පමණින් ඔවුන්ට සැනසුම් බස් කියන්නට උත්සාහ කළහ.

මේ අතරවාරයේ රොමාලිගේ මව, මරදාන ෆැටිමා දේවස්ථානයේ දේවගැතිවරයා කැඳවාගෙන ආවාය. ඔහු විසින් සිදුකළ අවසන් යාතිකාව, පුංචි සාවියට අස්වැසිල්ලක් වන්නට ඇත.

ඉන්පසු සවස 1.30ට පමණ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැමිණෙනවා යැයි කී වේලාවට හෝරාවකට පමණ පෙර, පුංචි සාවිය යන්නටම ගියාය.

වෛද්‍යවරු ඔවුන් වෙත පැමිණ මෙසේ කීහ.

"Sorry… we lost her…!!"

’‘මං හිතනවා, ඊට කලින් එයා අපිව දාල ගිහින් තිබුණත් ඩොක්ටර්ස්ලා අපිට කිව්වෙ නැත්ද කියලා..” රොහින්ද්‍ර මහත් වේදනාවෙන් යුතුව අතීතාවර්ජනයේ යෙදෙයි. “.. හැබැයි එක බ්ලඩ් ටෙස්ට් එකක් කරල තියෙනවා දවල් 11.45ට විතර... ස්කෑන් එකක් කරල තියෙනවා, 12.15 ට විතර...”

ඇයව රෝහලට ඇතුළත් කළ දිනයේ පටන් නොකඩවා-දිනපතා කළ යුතුව තිබූ ස්කෑන් පරීක්ෂාව, තෙවැනි දිනයේ Early fluid leak යැයි සඳහන් වූ වාර්තාවෙන් පසුව හෝ ඔවුන් දිනපතා කළ යුතුව තිබූ ඒ ස්කෑන් පරීක්ෂාව ඔවුන් කර තිබුණේ ඒ අන්තිම දිනයේ අන්තිම මොහොතේ ය. ඇය මරණ මංචකයේ සැතපී සිටියදී ය.

"Her condition is stable!!"

ඩෙංගු වැළඳී ඇති බව සක් සුදක් සේ පැහැදිලි වෙමින් තිබියදීත් දින ගණනාවක් ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර කළ මේ රෝහල, රොමාලිගේ අකල් මරණයෙන් පසු ඇගේ රෝග විනිශ්චය තුණ්ඩුවද දෙමාපියන් වෙත ලබාදුන්නේ නැත. රෝහලේ තර්කය වූයේ රෝගියෙක් මිය ගිය පසු රෝහලෙන් නිකුත් කරන්නේ මරණ සහතිකය පමණක් බවයි.

රොහින්ද්‍රලා ඇය රෝහල්ගත ව සිටි කාලයට අදාළ ‘බෙඩ් හෙඩ් ටිකට් එක’ එසේත් නැතිනම් ඇඳ ඉහපත වාර්තාවේ ඡායාපිටපත් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියත් ඔවුන්ට අද දක්වා එය රෝහල විසින් ලබා දී නැත. ආසිරි රෝහල් සමූහයේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ද බ්‍රහස්පතින්දා, එනම් රොමාලි දඩි සත්කාර ඒකකයේ පසුවන අතරවාරයේ රොමාලිගේ කාමර අංකය සහ නම සමග ඇගේ තත්වය කුමක්ද, සිදුවෙමින් යන්නේ කුමක්ද යන්න කෙටි පණිවුඩයකින් විමසා ඇසූ විට රොමාලිගේ ජීවිතය භාරව සිටි වෛද්‍යවරුන් පවසා තිබුණේ “ෂී ඊස් රිකවරින්” යනුවෙනි. එයින් එකක දැක්වෙන්නේ රොමාලිගේ තත්වය දැන් යහපත් බව ය. තවත් එකක දැක්වෙන්නේ ඇගේ පට්ටිකා ප්‍රමාණය 8000 සිට 11000 දක්වා දැන් ඉහළ ගොස් ඇති නිසා ඇය අවදානම් අවධියෙන් මිදී ඇති බවයි. රොහින්ද්‍රගේ මිතුරෙකු විසින් ඔහු වෙත ලබාදී ඇති එම කෙටි පණිවුඩ රොහින්ද්‍ර සතුව සුරැකිව තිබේ.

This pt's (diagnosed with Dengue fever) platelet count is 13000, PCV is 37.9,Hb 12.8, day7, Rocephin omitted today, on PCM and P'prazole under Dr. Panduka Karunanayake. Stable, no other complaints.

… patient's platelets are picking up now it had gone down to 8k now its 11k so she is out of critical phase…

රොමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල තුළ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ බව පසුව රොහින්ද්‍රලාට අසන්නට ලැබිණි. නමුත් මාස 3 ක් පමණ යන තෙක් කිසිවක්ම සිදුවූයේ නැත. පුංචි සාවිය සදහටම යන්නට ගොසිනි. ඇයට ආදරය කරන අය ඒ මහා දුක් කඳ මැද ඕලාරිකව බලා සිටියහ. අවසානයේ මාස 3 ක් ගෙවුණු තැන රොහින්ද්‍ර, රෝහල් පාලනාධිකාරිය විසින් සිදුකළ බව කියන ඒ පරීක්ෂණයේ වාර්තාවක් ඉල්ලා යැව්වේය. එහි සඳහන් වන ආකාරයට ඩෙංගු රෝගීන් සඳහා fluid charts පවත්වාගෙන යාම අනිවාර්ය ය. නමුත් රොමාලි ඇතුළත් කළ කාලසීමාවේ එවැන්නක් එම රෝහලේ තිබී නැත. දියණියට ලබාදෙන දියර ප්‍රමාණය සහ ඇගෙන් බහිස්‍රාවයෙන් ඉවත් වන දියර පරිමා ලියා ගන්නා ලෙස කියමින් රෝහලෙන් ඔවුන් වෙත ලබාදී තිබුණේ එක්සයිස් කොළයකි!

වෛද්‍ය සභාව තවම ගොළුයි!

ඒ වාර්තාවේ පිටපත් සහ සෙසු සියලු ලියකියවිලි සමගින් ඔවුන් මෙම පුද්ගලික රෝහලේදී සිදුවූ වෛද්‍ය නොසැලකිල්ල සහ තම ප්‍රාණ සම දියණිය අකලට අහිමි කිරීමට එරෙහිව වෛද්‍ය සභාව වෙත ද, එදිනම සෞඛ්‍ය වෛද්‍යවරයා වෙත ද  අභියාචනය කර තිබේ. ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ තම දියණියට අත්වූ මේ ඛේදනීය ඉරණම මේ රටේ තවත් දරුවකෙුට අත්නොවනු පිණිස, එකී පුද්ගලික රෝහලේදී ඇය මුහුණ දුන් සිදුවීම් සමුදාය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ය. වෛද්‍ය සභාවෙන් ඔවුන් වෙත පිළිතුරු ලිපි එවමින් කියා තිබෙන්නේ පරීක්ෂණයක් සඳහා දිනයක් ඉදිරියේදී ලබාදෙන බව ය. නමුත් රොමාලි සමුගෙන ගොස් දස මසක් ඉක්ම යන්නට ආසන්න තැන පවා, අද දක්වා ද ඒ වෙනුවෙන් වෛද්‍ය සභාව විසින් පැවැත්වූ පරීක්ෂණයක් තබා, ඒ සඳහා ලබාදුන් දිනයක් ද නැත.

රොහින්ද්‍ර විසින් මෙයට දින කිහිපයකට පෙර වෛද්‍ය සභාවේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් නැවත වරක් ඒ ගැන විමසූ විට ඔහු කියා තිබෙන්නේ, තමන් වෙත මෙවැනි පැමිණිලි රාශියක් ලැබෙන නිසා, ඒවා ලැබෙන පිළිවෙළට විභාග කරන බව ය. ඒ අනුව ඔවුන්ගේ පැමිණිල්ල නිසැක වශයෙන්ම විභාග කරන නමුත් එය විභාගයට ගන්නා දිනයක් තවම කිව නොහැකි බවත් රෙජිස්ට්‍රාර්වරයා දුරකථනයෙන් කියා තිබේ!

පුද්ගලික රෝහල විසින් සිදුකළ බව කියන පරීක්ෂණයේ වාර්තාව සහ රොමාලිගේ වෛද්‍ය වාර්තා අතැතිව ඇගේ එකම සොයුරා රොෂේන්ද්‍ර අප සමග කතා බහට එක්වෙමින් කීවේ මෙසේ ය.

“අවදානම් කාලපරිච්ඡේදයෙන් පැය 45කට පස්සෙ රෝගියාගෙ intra abdominal bleeding තත්වය ඇතිවුණා කියල රෝහලෙන් ලබාදුන්න වාර්තාවේ සඳහන් වෙනවා. නමුත් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව සිදුකළේ අප්‍රේල් 3 වැනිදා. අක්කව රෝහලට ඇතුළත් කළ දවසෙ. ඒ වාර්තාවෙ "Early fluid leak" කියල ඉතාම පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. එහෙම නම් ස්කෑන් පරීක්ෂාව නැවත නොකළේ ඇයි? අපි අයිඩීඑච් ගියාම කියනවා ඔවුන් දිනපතාම ස්කෑන් පරීක්ෂා කරනව කියලා. නමුත් මොවුන් එහෙම නොකෙළේ ඇයි? අපි තමයි මේ පරීක්ෂාවන්ට බිල් ගෙවන්නෙ. එහෙම නම් ඔවුන්ට ඒක කරන්න තිබුණා. මට තේරෙන්නෙ නෑ වෛද්‍යවරයා කොහොමද තීරණය කළේ එහෙම පරීක්ෂා කිරීම අනවශ්‍යයි කියලා. සිද්ධිය වසං කරන්න උවමනා නිසා ඔවුන් අපට දෙන වාර්තාවෙ තියෙනවා ලේ වහනය ආරම්භ වුණේ තීරණාත්මක කාලයෙන් පැය 45කට පස්සෙ කියලා. මම අවංකවම හිතනවා, මේ වගේ ඩොක්ට කෙනෙක් කිසිම රෝගියෙකුට ප්‍රතිකාර නොකළ යුතුයි කියලා. මං කියන්නෙ මගෙ අක්කට මෙහෙම වුණා නම් තව ඕනෙම කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්...”

“ඒ වගේම.. මේ වාර්තාවෙ තියෙනවා, රෝගියා අවදානම් කාල පරිච්ඡේදය සාර්ථකව පසුකළා කියලා. රෝහලට ඇතුළත් කළ දවසෙ ඉඳන් මගෙ අක්කට තිබුණු වේදනාව.. ඇයට වෛද්‍යවරුන් ස්පර්ශ කළත් වේදනාකාරී වෙන තත්වයක් තිබුණෙ. එහෙම නම් ඇය අවදානම් කාල පරිච්ඡේදය සාර්ථකව පසුකළා කියල කියන්නෙ කොහොමද..? ආසිරි සෙන්ට්‍රල් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරයා අත්සන් කළ මේ වාර්තාව රෝහල ආරක්ෂා කරගැනීම සඳහා පමණක් ලබාදුන් එකක්. මෙයට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි. එහෙමත් නැතිනම් මේ අය මින් ඉදිරියට කිසිම රෝගියෙකුට ප්‍රතිකාර නොකළ යුතුයි..”

එක් වෛද්‍යවරයෙකුට රෝගීන් 1500 ක් සිටින මේ රටේ පෞද්ගලික රෝහලකට රෝගියෙක් ඇතුළත් වන්නේ හෝ භාරකරුවන් විසින් රෝගියාව ඇතුළත් කරන්නේ රජයේ රෝහලකට වඩා පහසුකම් සහ ඉහළ ප්‍රතිකාර එහිදී ලැබෙනු ඇතැයි සද්භාවයෙන් විශ්වාස කරමිනි. ඒ නිසා, අවම ප්‍රමිතියෙන් ඔබ්බට වූ ප්‍රතිකාර ලබාගැනීම පිණිස ඔවුන්ට නීත්‍යානුකූල අපේක්ෂාවක් පැන නගියි. නමුත් රට තුළ ඩෙංගු වසංගතයක් වැනි ජාතික උවදුරක් ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි පුද්ගලික රෝහල්, අවම ප්‍රමිතියවත් පවත්වාගෙන යාමට උත්සුක වී නැති අන්දම ඛේදජනක ය. ඒ වෙනුවට අත්‍යාවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ මගහරිමින් හෝ ඒ පිළිබඳ සවිඥානික නොවෙමින්, හැකිතාක් දින ගණනක් රෝගියාව රෝහලේ තබාගැනීමට උත්සාහ කරමින්, හැකිතාක් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරමින් ‘බිල ලොකු කරගැනීම‘ කෙරෙහි පමණක් යම් පෞද්ගලික රෝහලක් උත්සුක වනවා නම්, ඒ සියල්ලෙන්ම පසුව රෝගියාගේ ජීවිතය ද අහිමි වනවා නම් එවැනි රෝහල් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද?

ආසිරි සෙන්ට්‍රල් රෝහලේ රොමාලිගේ රෝහල් බිල රුපියල් හත් ලක්ෂයක් (රු700,000 ක්) විය.

“මගෙ දුව නැතිවෙන්න හේතුව, උවමනාම පරීක්ෂණය කරල නැහැ.. හැමදාම ස්කෑන් කළා නම් ඩොක්ටර්ට ඒක කියවන්න පුළුවන් නෙ. තුන්වැනි දවසෙ කෙරුව පළවෙනි ස්කෑන් එකේ රිපෝට් එකේ උවමනාම කොටස ඩොක්ට රීඩ් කරල නැහැ... ඒක දැක්කෙ නෑ.. ඒක නොදැක්ක නිසානෙ හතරවැනි, පස්වැනි, හයවැනි දවස්වල ස්කෑන් එකක්වත් කරන්න ඩොක්ට ට උවමනා නොවුණෙ....” ඒ පියා රොහින්ද්‍රගේ වදන් ය.

මේ තර්කයට බලධාරීන් පිළිතුරු දෙන්නේ කෙසේද?

“අත්වැරදීම් වෙන්න පුළුවන්. නමුත් අපි බදු ගෙවන අපේ සල්ලිවලින් ඩොක්ටර්ස්ලා ඉගෙන ගෙන, අපේම දරුවන් ව මෙහෙම නොසැලකිලිමත් කමෙන් මරනව නම්... අඩුම ගානෙ රට ඉඳන් ඉගෙන ගෙන එන ඩොක්ට කෙනෙක් හරි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් පිටවුණු ඩොක්ට කෙනෙක් හරි අතින් මෙහෙම දෙයක් වුණා නම් හිතන්න පුළුවන්. නමුත් මේ අය රජයේ වෛද්‍ය විද්‍යාලවලින් පිටවෙන වෛද්‍යවරු...”

රොහින්ද්‍රගේ තර්කය ඉතා පැහැදිලි ය. අප පසුකරමින් සිටින්නේ ලංකාවට කිසිසේත්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල උවමනා නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය වෛද්‍යවරුන් එකසේ හඬ නැගූ යුගයකි. නමුත් මේ රටේ රොමාලිලාගේ දිවි සොරාගන්නේ එවැනි සියලු සුදුසුකම් සැපිරූ වෘත්තිකයන් විසිනි. අනෙක් අතට, යමක් කමක් කළ හැකි දැනුම් තේරුම් තිබෙන රොමාලිලාගේ පවුල්වලට අත්වුයේත් මේ ඉරණම නම්, සාමාන්‍ය අහිංසක දුප්පත් රෝගියෙකුගේ ජීවිත ඉරණම ගැන එතැනින් එහාට කුමන කතාද?

රොමාලිගේ මව, ඩිනාලි මෙසේ ද කියයි. “ඩොක්ට විජේවික්‍රම වුණත් ඇහුවෙ රොමාලිගෙ ප්ලේට්ලට් කවුන්ට් එක ගැන විතරයි. රෝගියගෙ තත්වෙ මොකක්ද කියල ඔහු හොයල බැලුවෙ නෑ... අඩුම ගානෙ ඔහුට කියන්න තිබුණා, රෝගියාව ඇතුල් කරන්න, මම ප්ලේට්ලට් කවුන්ට් එක ලක්ෂයට අඩු වුණාට පස්සෙ ඇවිල්ල රෝගියව බලන්නම් කියලා..”

රොමාලි සමුගෙන ගියේ 2017 අප්‍රේල් 7 වැනිදා ය. අද පවා රොමාලිගේ මාපියන්ට මාසයේ 6 වැනිදාට නින්දක් නැත. ඔවුහු දැඩි මානසික පීඩනයකින් සහ ලෝකයේ දරාගැනීමට අපහසුම වේදනාවෙන්-දරු දුකෙන් හඬති. හරියටම හයවැනිදා රාත්‍රියේ පුංචි සාවිය, මද සුවයක් පෙන්වමින් තමන් ආසා කළ කෑම ගෙනැවිත් දෙන්නැයි ඇවටිලි කළ හැටි ඔවුන්ට සිහි වේ. හත්වැනිදාට එළිවෙන පාන්දර ඇය මරණ මංචකයේ වැතිර ගත් අයුරු ඔවුන් මේ දිවි ඇති තෙක් අමතක කරන්නේ කෙසේද?

රොමාලිගේ පවුලේ අය පමණක් නොව, රොමාලිට මහත් සේ ආදරය කළ ඇගේ මිතුරු මිතුරියන් ද ඇගේ අති සුන්දර මතකය ජීවමානව පවත්වාගෙන යති. ඔවුහු ඈ වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කරති. මේ පුංචි රටේ තවත් පුංචි සාවියක් මෙවන් විපතකට ගොදුරු නොවනු පිණිස ඔවුන් හැකි සෑම දෙයක්ම කරනු නොඅනුමාන ය.

ආසිරි සෙන්ට්‍රල් පුද්ගලික රෝහල ඩෙංගු රෝගය කළමනාකරණය පිළිබඳ සිය කාර්යමණ්ඩලය පුහුණු කරනු සඳහා හෙදියන් 30කගෙන් යුත් පළමු කණ්ඩායම අයිඩීඑච් රෝහල වෙත යවන්නේ රොමාලිගේ මරණයෙන් පසු මාස 3 ක කාලයක් ඇතුළත ය.

“මගෙ දුව මැරුණ නෙවෙයි, මගෙ දුව ව මරාගත්තා...!!”

රොහින්ද්‍ර මහත් කම්පිත හඬින් පවසයි. මේ මහා කම්පනයට, මේ මහා වේදනාවට, දිවි ඇති තෙක් පහව නොයන මේ අසමාන දරු දුකට.. හැකි නම් ඔබ නමක් දෙන්න....

සටහන- රදිකා ගුණරත්න, හංසනී සම්පත් | ඡායාරූප - පැතුම් සේනාරත්න


https://youtu.be/kiZolSumsQg