20150704

හෘද සාක්ෂියට එරෙහිව මනස පිනවීම



ජනවරමට එරෙහිව, ජනතාවට එරෙහිව,
හෘද සාක්ෂියට එරෙහිව
මනස පිනවමින්

වැරදි කරමින් ජීවත් වෙන කෙනෙකුට
දඬුවම් කීරීමට නම්
පැමිණිලි, චෝදනා, සාක්ෂි, ඔප්පුකිරීම්,
නීති රෙගුලාසි අවශ්‍යයි..
සොබා දහමට ඒ කිසිවක් අවශ්‍ය නෑ.

ඔහු හිතනකොටම... ඔහුගෙ කර්මය ඇරඹෙනවා.
කල් යල් බලා, ඔහු කරන කියන දේ මාර්ගයෙන්ම
සොබා දහම දෙන දඬුවම් අංග සම්පූර්ණයි.

පරාජයෙන් පසුව
විශ්‍රාමයක් නැතුව...
විශ්‍රාමගන්න ඉඩක් නැතුව
හිතට සැනසිල්ලක් නැතිව,
මුහුණේ සිනාපොදක් නැතිව
අනුන්ගෙ බලකිරීමට තැන තැන යමින්
යන යන තැන වැරදි වැරදී
විඳින දුකට හේතුව කළ කර්ම තමයි
නීතියෙන් ඔප්පුකරන්න බෑ කියා
වහසිබස් දොඩන කර්ම තමයි..

අපි කර්මඵල පිළිගන්නෙ
අපි කරපු කර්ම වල ඵල වලින්
අපිත් දුක් විඳින නිසයි..


නීතියෙන් ඔප්පු කරන්න සාධක නැතත්
වැරදි කරමින් ජීවත් වෙන කෙනෙක්
කළා කියා දන්න කර්මවල විපාක
ඇස්පනාපිට පළදෙන බව
අපේ අත්දැකීමෙන්ම
අපට පෙනෙන නිසයි.

වසර දහයක් කළ කර්ම වල
බරපතලකම නොපෙනෙන පිරිස ගැන
විශ්වාසය තබාගෙන
වරද වරද ලෙස දකින අයගෙන්
නින්දා අපහාස විඳිමෙන්
මේ යන දුෂ්කර ගමන
තමන්ගෙ කර්ම කියා පිළිගන්නට
ඇස පහළ වුණොත්
මේ විඳින දුකෙන්
ප්‍රතිලාභයක් ලැබෙයි.

රජයෙන් නීතියෙන් දඬුවම් නොලැබුණාට
හොර මැරකම් වල දූෂණවල යෙදුණ අයට
ඒ සඳහා පරිසරය සකස්කරමින්
අනුබල දුන් අයට
බේරෙන්න නොලැබෙන බව
කර්මයත්, පුනරුත්පත්තියත් පිළිගන්න
බොදුනු ප්‍රඥාවන්තයා දන්නවා.

වැරදි කරන අය නීතියෙන් බේරුණොත්
ඔහුගෙ ඉරණම භාරවෙන්නෙ සොබා දහමටයි.
පව් මේරුවාට පස්සෙ දුක් විඳින අය
අද අපිට දකින්න පුලුවන්..

නීතියෙන් ඔප්පු කරලා
ඔවුන් සිරගත කළා නම්
අපේ ජනතාවට මේ අත්දැකීම
මේ වගේ ප්‍රබලව ලැබෙන්නෙ නෑ.

මේ දිනවල විටින් විට පල දෙන්නෙ
කරන ලද කර්ම වලින් ඉතාම සුළු කොටසක් විතරයි..
විශාල කොටසක් භවය පුරා විසිරිලා ඇති.

දරුවන්ට තමනුත්, මුලු ලොවමත් ගැටලුවක්.


.
කුඩා දරුවන්ට
ලිංගිකත්වය ගැටළුවක් නොවෙයි..
ලිංගික කුතුහලය දරුවාට ඇති කරන්නේ
ඔවුන්ට නිතර ඇස ගැටෙන
කාමුක වැඩිහිටි හැසිරීම් සහ,
කාමුක රූපවාහිනියයි.

බහුතරයක් වැඩිහිටියන්ගේ
මුලත් අගත් ඇති ගැටලුව
පසිඳුරන් සනසමින්
කම්සුව විඳීම විය හැකියි.

දරුවන්ට තමනුත්, මුලු ලොවමත් ගැටලුවක්.

 පාසලේ උගන්වන්නේත්
පොතපත ඇසුරෙන් ගුරුවරුන් දුටු
තර්කානුකූල සිහිනයන් විනා
ඔවුන් දුටු හෝ දරුවන් දකින
සැබෑ ලෝකය නම් නොවෙයි.

කයින් වැඩුණත් සිතින් නොමේරූ ගුරුවරයා
ගහකොළ ගැන දරුවන්ට කියන විට
ජනේලයෙන් පෙනෙන ගහකොළවත්
පෙන්වන්නේ නැත.

කිසියම් ප්‍රතිභා පූර්ණ දරුවෙක්
ගහකොළ දෙස බලාගෙන
පාඩමට අනුව සිතුවත්
රටහුණු කෑල්ලෙන් හිසට පහරදී
යළි පොත තුළට දරුවා ඇද දැමීම
ගුරුවරයාට අනුව ඔහු කරන සේවයයි.
දරුවා රජකරන්නට
සිහින මවන දෙමාපියන්ටත්
ඒ ගුරුවරයා දෙවියෙකි.

නිසි මග නොපෙන්වීමෙන්
ඉඳුරන් පහම එක් එක් පමණට
මිනිසා නොමග යවන නමුත්
ඒ නොමග යෑම නොදන්නා නිසා
ඔවුන්ගේ අත්දැකීම් අනුව
දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් ඇති
විශාලම ප්‍රශ්නය ලිංගිකත්වය
විය හැකියි.

ලිංගික ප්‍රශ්න කතා කිරීම
එකම විසඳුම හෝ හොඳම විසඳුම නොවේ.
රාගය සහ කාමච්ඡන්දය යනු
සුළු සංවේදනා ටිකක් රස විඳින්නට කරන
මහා සංග්‍රාමයක් බව පෙන්වා දීම ප්‍රමාණවත්.
වෙහෙස මහන්සිවී මුදල් උපයාගෙන,
තෝරා බේරා රැගෙන විත්,
දන්නා සියලු ශිල්ප දක්වමින් පිස,
මේසයට වාඩිවී ආහාර බුදිමින්,
අප දිනපතා තුන් වේලක් සොයන්නෙ
අපේ දිවෙහි උපදින
ප්‍රියජනක සංවේදනා බව
කුඩාම දරුවෙකුටත් ග්‍රහණය කළ හැකියි.

කාමච්ඡන්දයෙන් වියරු වැටුණ කුෂාන්
කොටකෙතන මව මැරූ ඝාතකයා
පළමුව ක්‍රියාකළේ ආවේග ශීලීවයි.
ඔහු මළකඳ සඟවන්නට සහ
මිනීමැරුම සඟවන්නට ක්‍රියාකළ
තර්කානුකූල මානසිකත්වයෙන්
මිනීමැරුමට පෙර ක්‍රියා කළා නම්
මව අහු අතින් මිය නොයන්නට ඉඩ තිබුණා.

කුෂාන් වියරුවැටුණේ
පෙම්වතිය කෙරෙහි වූ කාමච්ඡන්දය නිසයි.
ඔහු ඔහුගේ හිත දුටුවා නම්
ඔහු ඊට වහල් වන්නේ නැහැ.


හිත දකින්නේ නැති කෙනෙක්
හිත දමනය කරගන්නේ කෙසේද?

ආහාරයක් දුටු විට කැළඹෙන තමන්ගේ හිත දකිමින්
ආහාරය පාලනයෙන් යුතුව රස විඳින
වැඩිහිටියන් සහ ළමුන්
කාමයට මුහුණ දී නොකිළිටිව ඉන්නට සමත් වෙති.

ඉඳ හිට යමක් අහම්බෙන් සිදුවුවද
පාඩමක් මිස හානියක් නොවනු ඇත.

දරුවාට දෙන ලිංගික අධ්‍යාපනයෙහි
සරලම සහ මූලිකම පාඩම
වැඩිහිටියන් පසිඳුරන්ගේ වහලුන් බව
තමන්ම දැනගැනීමයි.

ඔබ කාමුක නම්
දරුවා නව යොවුන් වියට එන්නටත් පෙරාතුව
කාමුක වීම අරුමයක් නොවෙයි.

ඔබේ කාමය නොලද පෝෂණයක්
ඔබේ විසිත්ත කාමරයේදීම දරුවාට ලබා දෙන්නට
අද ජනමාධ්‍ය සැදී පැහැදී සිටිනවා.

දරුවා  වටා කැරකෙන කාම පිපාසිත ලෝකයෙන්
දරුවා රැකගැනීමට ඇති හොඳම මග
ඔබේ ලිංගික දැනුම
අමු අමුවේම දරුවා ට සම්ප්‍රේෂණය කිරීම නොවේ.

ඔබ කාමයට මුහුණ දී,
කාමයට වහල් නොවී දෙපයින් හිටගෙන
ඔබ අනුකරණය කරන්නට දරුවාට ඉඩ දීම
ඔබේ වගකීමයි.

වැඩිහිටියන්ගේ අන් හැම චර්යාවක් මෙන්ම
පසිඳුරන් දමනයෙන් යුතුව වැඩිහිටියන් කරන දේත්
නිරායාසයෙන්ම
දරුවාට සම්ප්‍රේෂණය වෙයි.

හිටපු ජනපති නටවන නාම යෝජනා නාටකය.


මෛත්‍රී කතා නැත, දකින්නටත් නැත.
මහින්ද කතා නැත, දකින්නටත් නැත.
රනිල් කතා නැත, දකින්නටත් නැත.
චන්ද්‍රිකා කතා කළත් පිළිගන්නේ නැත.


ප්‍රධාන නලුවන් තිරය පිටුපස සැඟවී සිටියදී
අවශේෂ නලුවන් සහ විකට නලුවන් පිරිස
වෙස්මුහුණු විනිවිද පෙනෙන
ඇඹුල් කරගත් මුහුණින්
උගුරට හොරා බෙහෙත් කමින්, කසාය බොමින්
මනමාලි නැති සමලිංගික මගුලක් වැනි
අක් මුල් නැති විකට ජවනිකාව
අප හමුවේ රඟ දක්වන්නේ
හැමදාම නාටක බලන, රැවටෙන,
පොදු ජනතාව වන අප සඳහා බව
අප අත්දැකීමෙන්, පළපුරුද්දෙන්ම දනිමු.

දේශපාලකයන් කලබල වුවද,
මෙවර නම් ජනතාව විමසිල්ලෙනි.

මනමේ කුමරුගේ අනුමැතිය නැති නමුත්,
මනමේ කුමරිය ඉතා අපහසුවෙන් ඇඹරෙමින්,
වැදි රජුගේ පිරිවර ඉදිරියට විසි කළ
මළ බැඳුනු කඩුකොපුව තේජසින් අමෝරාගෙන
වැදිරජු එයිද, එඩියෙන් 
විජිතපුර අවසන් සටනට....


හැංගි හැංගි වෙස්මුහුණු බැන්දත්
නාම යෝජනා දෙන්නට කල් එළැඹි පසු,
නළුවන් නටන බව අප දන්නා හෙයින්,
නිවා ගතහැකි නම් නිවාගත යුතු
දරුණු කුතුහලයක් දැනට ඇත.

කිසි සේත්ම
අපට අලුත් නැති නමුත්
අපූරු, නාට්‍යමය රසයෙන් අනූන
මේ දේශපාලන නාටක ලියා සැඟවී සිටින
දක්ෂ, නිර්මාණාත්මක තිර රචකයා කවුද?