20171005

බිළිඳු ළදරුවා මහමග දමා ගිය පූජනීය වෛද්‍ය ශිෂ්‍ය දියණියනි


ඇය නිවැරදි නැත.
ඇය වැරදි නොකළාද නොවේ.
අද කාලයේ පියෙකු නැති දරුවන්ට ලැබෙන
බොහෝ මව්වරුන් සමග සසඳන විට
ඇය පූජනීයයි.

ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි.
ඇය තරුණයෙකුට ප්‍රේම කළාය.
ඔහුද වෛද්‍ය ශිෂ්‍යයෙක් විය හැක.
ඇය ගැබ් ගත්තාය.
දස මසක් තිස්සේ ඇය දරුවා
කුස තුළ නොනසා රැක ගත්තාය.
නොදන්නා පෙදෙසකට පැමිණ
නිවසක නවාතැන් ගෙන දරුවා බිහි කොට
දරුවාද සමග නවාතැනට පැමිණියාය.
තවත් දින දොළහක් තිස්සේ
තනිව කිසිදු පිළිසරණක් නැතිව
දරුවා හදාගන්නට තැත් කළාය.

ඇයට පෙම්වතාගෙන් සරණක් නැත.
ඇගේ දෙමාපියන්ගෙන් සරණක් නැත.
ඔවුන්ගේ නෑසියන් වෙත යා නොහැකිය.
හිතවතුන්ගෙන්ද සරණක් නැත.

මෙවන් පසුබිමක් සහිතව
තවම දෙමාපියන්ගෙන් යැපෙන
සරසවි සිසුවියක වශයෙන් වෙසෙමින්
ඇය සිය දරුවාගේ වගකීමත් දරාගෙන
නාඳුනන පළාතක කුලී ගෙයක වසමින්
දස එකුන් මස් දින 12ක්
ඇගේ කිරිකැටි දරුවා රැක ගන්නට
දැරූ වෑයම පිළිබඳව
ඔබ සිතන්නේ කුමද?.

ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි.
දරුවා ගබ්සා කරන්නට අවශ්‍ය වී නම්
සැතත් හිතත් ඇති කෙනෙක්
සරසවි බිමෙන්ම සොයාගන්නට තිබිණි.
ක්ෂේත්‍රය රකින්නට වැරදි වැසීම
කිසිසේත්ම නුහුරු කාරියක් නොවන
වෛද්‍ය ක්ෂේත්‍රයෙහි සරණ පැතුවා නම්
ඇයට මේ දරුවාගෙන් නිදහස් වන්නට
බොහෝ කාලයක් තිබිණ.

ඒ දිගු කලටත් වඩා
ඇය බිළිඳු ළදරුවාත් රැකගෙන
දින දොළහක් තිස්සේ ළතවීමෙන් පසුව
දරුවා නොමරා, හානියක් නොකොට
මග දමා ගියේ ඇයි?

ඇය දරුවකු ප‍්‍රසූත කළ බව
දෙමව්පියන් දැනගතහොත්
ඇය මරාදමනු ඇතැයි ඇය සිතූ බව
ඇය පොලීසියට කියා ඇත.

වෛද්‍යවරුන් වෙන්නට යන සිසුන්ගේ
දෙමාපියන්ගේ චින්තන රටාවත්
ඔවුන්  අහස උසට තබන බලාපොරොත්තුත්
ඔවුන් සමාජයෙන් බලාපොරොත්තුවන
ගරු සම්මාන සහ සත්කාරත්
දියණිය ප්‍රසූත කළ දරුවා නිසා
අහිමි කරගන්න ඔවුන් කැමති නොවනු ඇත.

එවන් දෙමව්පියන්ගෙන්,
දරුවා ඔහුගේ නොවන බව කියන
ඇගේ පෙම්වතාගෙන් මෙන්ම
දූෂණය වූ කාන්තාවන්ගේ ගැබ් නසන්නට
සැත් අමෝරාගෙන බලා සිටින රීරි යකුන්ගෙන්
ළදරුවා රැකගෙන ජීවත් කරගන්නට
මේ සරසවි දියණිය දැරූ උත්සාහය
අද වැනි කුරිරු සමාජ පසුබිමක
පූජනීය, ගෞරවණීය කාරියකි.

දරුවා සුරැකිව බිහිකොට
දින දොළහක් පුරා හදා වඩා ගත්
ඇය සැසඳීම කළ යුත්තේ
සියලු රැකවරණ මැද වෙසෙන
වාසනාවන්ත මව්වරුන් සමග නොවේ.
තමන්ගේ කුසේ ඉන්නා දරුවා
සැතකින් කැබලි කරමින් ඝාතනය කොට
කැබලි ටික ඉවත ලන්නට පෙළඹෙන
කුරිරු මව්වරුන් සමගය.

පේරා සරසවි බිමේ තුරුලතා
කතා කළ හැකිනම් කියාවී
මා ඔබට වෙන් කළ සෙනෙහසින්
හන්තාන කම්පා කළ හැකී....
මහ වැලිය උතුරා ගලා යන්නට
මා ඔබට පෑ සෙනෙහස ඇතී.

මිනිස් හිත්වල තෙතක් නෑ
දෙතොල සනහන දිය පොදක් නෑ
මේ රුදුරු කාන්තාරයේ
එකම දිය බිංදුව ඔබයි
නිබඳ මා ළඟ රැඳී
මහද ගිනිදැල් නිවූයේ ඔබ...

අද
ඔබ මෙසේ මේ මාවතේ
දමා යන්නේ බිළිඳුනේ
නුඹ මගේ වූ පවින්
නුඹ මරන්නට සැත් අමෝරා
බලා ඉන්නා ලෝකයෙන්
හෙටත්
නුඹ රකින්නට බැරි නිසාවෙනි
කමා කළ මැන බිළිඳුනේ.

=================================================
මූලාශ්‍ර වූ ප්‍රවෘත්තිය
දරුවා මහ මග දමාගිය සරසවි සිසුවියට ඇප(උපාලි ආනන්ද) ලංකාදීප පුවත්පත

දින 12ක් වයසැති තම දරුවා මග දමා ගියැයි අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කළේය.

රාත‍්‍රි කාලයේ බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට භාජනය කර පලා යාමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය පොලොන්නරුවේදී සැකපිට අත් අඩංගුවට ගෙන තිබිණි.

මව සහ දරුවා සම්බන්ධයෙන් ඞී එන් ඒ පරික්ෂණ වාර්තාවක්  කැඳවන ලෙසට දුන් නියෝගයක් කළ ඞී.එන්.ඒ පරික්ෂණයේදී දරුවාගේ මව අදාළ සරසවි සිසුවිය බවට  සියයට සියයක්ම තහවුරු වී තිබේ.

එම දරුවා දැනට නිරෝගීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රැකවරණ ලබමින් සිටී.

දරුවා ඔතා තිබූ සුදු රෙදි කැබැල්ලේ සුනඛයෙකුගේ අත් සහ කකුල්  ඇති බවට සලකුණු දක්නට තිබී ඇති අතර එම සුනඛයා දරුවාට කිසිදු හානියක් නොකර තිබීම පිලිබදව පොලිසිය විමතියට පත්වූ බව අධිකරණයේදී කියැවිණි.

දරු ප‍්‍රසූතියක් අපේක්ෂාවෙන් පුලියන්කුලම ප‍්‍රදේශයේ කුලී නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවියක  මීට දින කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරුවකු ප‍්‍රසූත කර එම දරුවාද රැගෙන යළි කුලී නිවසට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

ඇය එම ප‍්‍රදේශයේ තරුණයකු සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කර ගෙන ඇති අතර පසුව ගැබිණියක බවට පත්ව ඇති බවත් ඒ බව සිය මවට පියාට හෝ පවුලේ කිසිවකුට පවසා නැති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

ඇය දරුවකු ප‍්‍රසූත කළ බව දෙමව්පියන් දැනගත හොත් තමා මරා දමනු ඇතැයි බිය නිසා  දරුවා මෙලෙස දමා පැන ගිය බව සැකකාර මව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

ඇය අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමට පවා ඇය දැඩි අකමැත්තක් පල කළ බවද පැවසේ.

ඇය කුලියට සිටි නිවසේ කාන්තාවට පවසා ඇත්තේ තම සැමියා ජපානයේ රැකියාවක් කරන බවයි.