20171120

පාඩම් කරනවාද? ඉගෙන ගන්නවාද.?


"පාඩම් කරනවා" කියන
තුච්ඡ පාහර නින්දිත වචන
කියන්නවත් එපා කියලා
මම අද පුතාට කිව්වා.

මම ඔහුට කිව්වෙ
"පාඩම් කරන්න එපා. ඉගෙන ගන්න"
කියලයි.

සිසුන්ගේ ඉගෙනීමට ඇති
විශාලම බාධාව පාඩම් කිරීමයි.
පාඩම් කරන සිසුවා ඉගෙන ගන්නේ නෑ.

1990 දශකයෙ
ඉන්දියාවෙ හයිද්‍රාබාද් නගරයෙ
මා නැවතී සිටි ගෙදර
අයිති කරුගේ පුතා වන  අශිෂ්
ඉතා උනන්දුවෙන් පාසල් වැඩ කරන
වයස 10-12ක දරුවෙක්.
ඔහු පොත් කට පාඩම් කරන වෙලාවට
පළාතටම ඇහෙනවා.

දවසක් ඔහුත් සමග ඔහුගෙ ගෙමිදුලේ
පොකුණෙ ගැට්ටෙ වාඩිවී ඉන්න ගමන්,
වතුරෙ පාවෙමින් තිබුණ කොළයක් පෙන්නලා
"මේ කොළේ බෝට්ටුවක් වගේ පාවෙන විදිය
විශිෂ්ඨ ගුරුත්වයට අනුව පැහැදිලි කරන්න පුලුවන්ද?"
කියල මම ඇහුවා.

විශිෂ්ඨ ගුරුත්වයට අනුව පැහැදිලි කරන්න බැරි බව
ඉතා නිහතමානීව හා ලැජ්ජාශීලීව පිළිගත් අශිශ්
ඉතා ආඩම්බරයෙන් මෙහෙම කිව්වා.
"ඔබ මට විශිෂ්ඨ ගුරුත්වය අර්ථ දැක්වීමෙ
ඕනම තැනකින් වචනයක්  දෙකක් කියන්න
මම මුලු අර්ථ දැක්වීමම කටපාඩමෙන් කියන්නම්" කියල.

ඒ විදියට පාඩම් කරල
ඔහු ඉන්ජිනේරු උපාධිය සමත් වුණා.
ඒත් අද ඔහු රැකියාව කරන්නෙ
ඉන්ජිනේරුවෙක් විදියට නෙමෙයි.
පොලිස් නිලධාරියෙක් විදියටයි.
ඔහුගෙ විද්‍යා දැනුම ප්‍රායෝගික නෑ.
ඉන්ජිනේරු උපාධි සහතිකය
නිසා උසස් නිලයක් ලැබෙන්න ඇති.

අශීෂ් විශිෂ්ඨ ගුරුත්වය ඉගෙන ගත්තෙ නෑ..
සූත්‍රය හොඳින් පාඩම් කරලා තිබුණා.
සමහර විට දැන් ඒකත් පාඩම් නැතුව ඇති.

පාඩම් කරන දේ අමතක වෙනවා.
ඉගෙන ගන්න දේ අමතක වෙන්නෙ නෑ.

බුදු දහම හොඳින් පාඩම් කරන අය
බුදු දහමෙන් දුක නිවා ගන්නෙ නෑ.
ඔවුන්ට බුදු දහම කියන්නෙ කියන දෙයක්.
දුකක් තරහක් භයක් ආවම භාවිතා කරල
දුකෙන් මිදෙන ප්‍රායෝගික ක්‍රමයක් නොවෙයි.

බුදු දහම භාවිතාවෙන් ඉගෙන ගන්න කෙනෙක්
දුකක් තරහක් භයක් ආවම භාවිතා කරල
දුකෙන් මිදෙන්නෙ ඒ මොහොතෙ ඉගෙන ගනිමිනුයි.
ඊළඟ වතාවෙ ඔහුට පැමිණෙන දුක අඩුයි.

අනඳ හිමියන් පාඩම් කළා.
අංගුලිමාල ඉගෙන ගත්තා.

පාඩම් කිරීම පරිගණකයකට දත්ත කැවීමක්.
ඉගෙන ගන්නා කෙනෙකුට පරිගණකයට අමතරව
ස්කෑනරය, ප්‍රින්ටරය ආදී ප්‍රායෝගික උපාංගත්
ඔවුන්ගේ ඉගෙනීම තුළ අන්තර්ගත වෙනවා.

දත්ත අත්දැකීම් වෙන්නෙ
ඉගෙන ගන්න කෙනා තුළයි.

"පාඩම් කරනවා" කියන
නින්දිත තුච්ඡ පාහර වචන
ශබ්ද කෝෂයෙනුත් ඉවත් කළ යුතුයි.
:)