20170418

වයස 96 යි. "මස් කන්නෙ නෑ. පළා වලටයි කැමැති."


ගෙදර එද්දී මහ රෑ වුණත්
හැමදාම උදේ 6.00 ට මම ඇහැරෙනවා.
මම මස් වර්ග කන්නෙ නෑ.
පුංචි කාලේ ඉඳලාම පළා වර්ග වලට තමයි කැමැති.
වයස අවුරුදු 30 කෙනකුටත් වඩා ශක්තියක්
මට තියෙනවා.
බෞද්ධ දර්ශනයට ගොඩක් ළැදියි.
හැකි උපරිම අයුරින්
බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරනවා. .

ආචාර්ය එඩ්වින් ආරියදාස


 ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් අප කතා කරන්නේ අපේ රටේ වඩාත් ජනප්‍රියත්වයට පත්වුණු, විවිධ ක්ෂේත්‍රවල නියැලෙමින් රට නව මාවතකට ගෙන යන්නට ස්වකීය දැනුම බුද්ධිය, මෙන් ම හැකියාව වැය කළ සුවිශේෂී චරිත පිළිබඳවයි. ඔවුන් කුඩ‍ා කාලයේ කුමන අන්දමින් ජීවිතය ඇරැඹුවේ ද, වර්තමානයේ දෛවය විසින් ඔවුන් කොතැනකට ඔසවා තබා ඇති ද යන්න ‘දෛව රේඛාව’ තුළින් විග්‍රහ කෙරෙයි. ඒ අනුව අද පලවන්නේ මේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ දෛව රේඛාවයි‍.
මේෂ ලග්න හිමියන් ප්‍රබල කථිකත්වයෙන් යුතු අලුත් අලුත් නිමැවුම් ඉදිරිපත් කිරීමට සමත් ඕනෑම කටයුත්තක් අවසානය දක්වා ම කිරීමට සමත් අය වෙති. යමක් වහා වටහා ගැනීමේ ශක්තිය ඇති උන් හිටි හැටියේ අරුම පුදුම හැකියාවන් දක්වන අයයි. අපූරු සංවිධාන ශක්තියක් ඇති ඔවුහු ආහාර පාන, ඇඳුම් පැළඳුම් පිළිබඳ විමසිලිමත් වෙති. තමන්ට වඩා බලවත් අයට පවා අභියෝග කරන මොවුන් උපන් තත්ත්වයට වඩා දෙතුන් ගුණයකින් ඉහළ යාමට හැකියාව ඇත. ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයන් පිළිබඳ විමසා බලන කල මෙය මනාව ගැළපේ.
ඔහු අසූව දශකයේ ලේක්හවුසියේ ඇවිදින අන්තර්ජාලය විය. ලෝකයට අන්තර්ජාලය නොතිබුණු අසූව දශකයේ ලොව සියලු විෂයන් පිළිබඳව තොරතුරු ඇමෙරිකාවේ රුසියාවේ අභ්‍යාවකාශ පර්යේෂණ තොරතුරු හා නාසා ආයතනයේ තොරතුරු රටේ හැමටම කලින් ලබාදුන්නේ එඩ්වින් ආරියදාස මහතා ය. විශ්වවිද්‍යාල ජනමාධ්‍ය විෂය හදාරණ මෙරට සමස්ත සිසු පරපු‍රේ මුල් ගුරුවරයා ඔහු ය. එකවර මුද්‍රිත මාධ්‍යයෙන් ද විශ්වවිද්‍යාලයීය, දේශනවලින් ද, විද්‍යුත් මාධ්‍යවලින් ද කතා කිරීමට ඔහු රුසියෙකි.
විද්‍යාව, කලාව, තාක්ෂණය, ක්‍රීඩාව, ආගම, සංස්කෘතිය, අන්තර්ජාතික ප්‍රශ්න, සිනමාව, අභ්‍යාවකාශය යනාදී කුමන විෂය පථයක වුව ද එතුමා සතුව ඇත්තේ විශද දැනුමකි. රූපවාහිනිය ලංකාවට පැමිණීමට පෙර ඒ පිළිබඳ විශ්ව දැනුම රටේ බාල, තරුණ, වියපත් කොයිකාටත් සරල බසින් කියාදුන්නේ ඇවිදින විශ්වකෝෂයක් ලෙසිනි. එතෙක් මෙතෙක් ඉංග්‍රීසි - සිංහල දෙබසින් විශේෂාංග ලිපි 24000 ක් ලියා ඇති ඔහු ඉංග්‍රීසි බසින් පමණක් ලිපි 17000 ලියා ඇත. විශාල ධර්ම ග්‍රන්ථ සංඛ්‍යාවක් ඉංග්‍රීසි සංස්කරණයෙන් ජගත් ජනතාවට ලබාදී ඇති ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අද දෛව රේඛාවේ කතානායකයාණෝ තම ජීවිතයේ සාර්ථකත්වයට හේතුව දෛවයෙන් ගෙනා වාසනාව මෙන් ම උත්සාහය, උනන්දුව, කැපවීම බව එඩ්වින් ආරියදාස මහතා පවසයි.

• ඔබේ හඳහනට අනුව මහා සෙනෙවියෙක් වන බව කියලා තිබුණා.
මම ඉපදුණේ ගාල්ලේ උණවටුනේ. 1922.12.03. උඳුවප් පෝය යෙදුණු ඉරිදා සවස 5.00. මම උපන්නේ මේෂ ලග්නයෙන්. ඒ කාලේ මාස තුන හතරකට වරක් ජ්‍යොතිෂඥයෙක් ගෙදරට එනවා. පුංචි කාලයේ මගේ වේලා පත්කඩය බැලූ හැම කෙනෙක් ම පාහේ කිව්වේ මම සෙනෙවියෙක් වෙනවා කියලා. ජනකාන්ත චරිතයක් යන්නට තමයි මෙසේ සෙනෙවියෙක් කියා කීවේ. පුංචි කාලේ මට ආදරය, කරුණාව, උපරිමයෙන් ලැබුණා. මම පවුලේ බාලයා, වැඩිහිටි අයියලා තුන්දෙනයි, අක්කලා දෙන්නයි. .

• ඔබේ අනාගතය, ඒකාන්තයෙන් සරු වෙන බවට ගුරුවරු පවා ඉඟි පළ කළා.
ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් තමයි පාසල් අධ්‍යාපනය හැදෑරුවේ. සිංහල - බෞද්ධ මිශ්‍ර පාඨමාලාවන් එහිදී ඉගෙන ගත්තා. මගේ කුළුපඟ පාසල් මිත්‍රයකුගේ යොමු කිරීමට බොන් කැකෝ කියලා ජ්‍යොතිෂඥයෙක් හමුවුණා. ඔහු කීවා මම ලෝකේ ප්‍රසිද්ධ වෙන කෙනෙක් වෙනවා කියලා. මගේ මිතුරු සුසිරිපාලයි මමයි මේ කතාවට ඉමක් කොනක් නැතුව හිනා වුණා. මම පුංචි කාලේ ඉඳලා හොඳ මිතුරු පිරිසක් ඇසුරු කළා.
මුනිදාස සමරසිංහ, ආතර් විජේරත්න, සුසිරිපාල, අනඳපිය කුඩාතිහි වගේ අය අපි එකට එකතු වුණාම කථා කරන්නෙ ඕපාදූප නෙමෙයි. අලුත් පොත්පත් අලුත් දෑ වගේ අරුත්බර දේවල්. පුංචි කාලෙත් සිංහල, ඉංග්‍රීසි පොත් කියෙව්වා. මම පාසල් යන කාලෙත් ඔබ්සර්වර්, සිළුමිණ, පුවත්පත් තිබුණා. එහි ප්‍රහේළිකා පුරවන්න මම කැමැතියි.
දවසක් ගුරුවරයෙක් පන්තියේ ළමයින්ගෙන් අනාගතයේ කවුරුන් වෙනවද කියලා ඇහුවම මම කීවා පුවත්පත් කර්තෘ කෙනෙක් වෙනවා කියලා. අනිත් ළමයින් මට හිනා වුණා. කොහොම වුණත් ඒ කාලෙදි සිළුමිණ, ඔබ්සර්වර් පුවත්පත් කියවලා මා විශාල දැනුමක් ලබාගත්තා.

• සරසවි අධ්‍යාපනය ලැබීම ජීවිත දෛව රේඛාව සුබ දිශානතියක් කරා යොමු කළා.
ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් තමයි විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුණේ. පාසලෙන් සරසවියට තේරුණු 14 දෙනෙක් පසුකාලීනව ආචාර්ය උපාධිය ලැබුවා. මම ලිපියක් ලීවා මහින්දයේ පුදුම උපදවන අවුරුද්ද කියලා. අපි සරසවි අධ්‍යාපනය ලබන කාලයේ, අන්තර්ජාල, ටෙලිවිෂන් ස්මාර්ට් ෆෝන් කිසිවක් නැහැ. ඒත් අපි ශාස්ත්‍රයට දැක්වූ ළැදියාව, කැපවීම පුදුම තරම්. අපි විශ්ව විද්‍යාලයට යන්න පෙර යුනිවසිටි කොලේජ් තිබුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලය හා බද්ධ වෙලා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඇරැඹුවාම වසර 1945 එහි ප්‍රථම උපාධිධාරින් වුණේ අපි තමයි. ඒ කාලයේ උපකුලපති වුණේ අයිවර් ජෙනින්ස්.

• ජීවිතයේ 96 වැනි සැතපුම් කණුව පසුකරන ඔබ තවමත් ක්‍රියාශීලීයි. එදිනෙදා කටයුතු සිදුකරගන්නේ තනිවමයි. අවිවාහක යෝගයක් හඳහනේ පිහිටලා තිබුණද?
විවාහය ප්‍රමාද වෙනවා කියලා තමයි සඳහන් වුණේ. දැන් වුණත් මට විවාහයක අඩුපාඩුවක් නොදැනෙන තරමට හැමකෙනාගෙන් ම ආදරය ලැබෙනවා.
පුංචි කාලයේ දෙමවුපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් ආදරය, රැකවරණය, සෙනෙහස නොඅඩුව ලැබුණා. සමහර විට මා විවාහ වුණා නම් මේ තරමට ඥාන ගවේෂණයේ නොයෙදෙන්න ඉඩ තිබුණා. ගෙදර අය මට විවාහ වෙන්න කියලා බල කළෙත් නැහැ.
විවාහ නොවුණාය කියලා මට ජීවිතයේ කිසිම අඩුපාඩුවක් දැනෙන්නෙ නැහැ. ඒ තරමට මා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ. මට කවුරුත් තරහ කාරයෝ නැහැ. එදිනෙදා වැඩ කටයුතුවල යෙදිලා ගෙදර එද්දී මහ රෑ වුණත් හැමදාම උදේ 6.00 ට මම ඇහැරෙනවා. මම මස් වර්ග කන්නෙ නෑ. පුංචි කාලේ ඉඳලාම පළා වර්ග වලට තමයි කැමැති. වයස අවුරුදු 30 කෙනකුටත් වඩා ශක්තියක් මට තියෙනවා. බෞද්ධ දර්ශනයට ගොඩක් ළැදියි. හැකි උපරිම අයුරින් බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරනවා. .

• ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුව දෛවයද? කැපවීම, උත්සාහය, උනන්දුව වගේ ගුණාංග ද?
සියල්ලක්ම කීවොත් නිවැරැදියි. මගේ ජීවිතයේ ඉරණම දෝලනය වන ආකාරය දෛවයේ අපූරුවට ලියැවිලා තිබුණා. මගේ හස්ත රේඛා වලිනුත් ඒ බව තවදුරටත් ගම්‍ය වෙනවා. ඒ වගේ ම මම ක්‍රමානුකූල ජීවිතයකට හැඩ ගැසිලා තියෙන්නේ. ගතවෙන හැම තත්පරෙන් ම ඵලදායි ලෙස දැනුම උකහා ගන්න දැනුම කාටත් බෙදාදෙන්න වැය කරනවා.
කවුරුන් කෙරේ වුණත් මෛත්‍රිය පතුරවනවා ජීවත්වෙන්න ශක්තිය තියන කෙනාව කුඩා කාලේ වනගහනයක ගිහින් දැම්මත් මොන විදිහකින් හරි දිවි රැකෙනවා.
දෛවය, පරිසරය, වාසනා ගුණය, උත්සාහය මේ හැම දෙයක් ම කෙනකුගේ සාර්ථකත්වයට එක සේ හේතු සාධක වෙනවා. උදාවෙන හැම දවසක් ම මට අලුත් දවසක්.
දෙස්, විදෙස් රටවල සංචාරය කරමින් මා අපමණ දැනුම් සම්භාරයක් එක් රැස් කරගෙන තියෙනවා. තවමත් දැනුම් පිපාසය සංසිදී නැහැ. ඒත් වත්මන් දරු පරපුර, වැඩිහිටියන්, මේ ගතවෙන අගනා කාලයෙන් නියම ඵල ප්‍රයෝජන නොගැනීම නම් කනගාටුවට කරුණක්. තමන්ගේ දෛව රේඛාව ජයග්‍රහණය කරා මෙහෙයවිය හැක්කේ තමාටමයි.”
'''''''''''''''''''''''''''''''''''''''''
නිශානී හේරත් බන්නැ­හැක
සේයාරූ - රුවන් ද සිල්වා
සිළුමිණ

Sunday, 16 April 2017