20170504

වෛද්‍යවරුන්ගේ උසස්පෙළ ප්‍රතිඵල අහමු.

 

වෛද්‍යවරුනි, වෛද්‍ය සිසුනි
ඔබේ උසස්පෙළ ප්‍රතිඵල මොනවාද?
ඔබ AAA වෛද්‍යවරයෙක්/සිසුවෙක්ද?
SSS වෛද්‍යවරයෙක්/සිසුවෙක්ද?

සයිටම් විරෝධී වෛද්‍යවරු සහ වෛද්‍ය සිසුන්
එම ආයතනයට ඉදිරිපත් කරන එක් චෝදනාවක් නම්
"සයිටම් සිසුන්ගේ උසස්පෙළ ප්‍රතිඵල පහත්ය"
යන චෝදනාවයි.

අද අපට හමුවෙන SSS වෛද්‍යවරයාත්
අප ඉදිරිපිට හැසිරෙන්නේ
AAA වෛද්‍යවරයෙක් ලෙසයි.
ඉහළ ප්‍රතිඵල ලද වෛද්‍යවරුන්ට
මේ මගින් හානියක් වෙයි.

සයිටම් තීන්දුවට අනුව
රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයක් සඳහා
නීතිගත කල ප්‍රමිති නිර්ණායක නැත.
ඒ නිසාත් නිර්ණායකයක් ලෙස
වෛද්‍යවරයාට ඇති
එකම නීතිගත නිර්ණායකය
උසස්පෙළ ප්‍රතිඵල පමණකි.

වෛද්‍ය අධ්‍යාපනයට තේරීමේදී
"සිසුන්ගේ පොදු කුසලතාවය නොසලකා
අනිවාර්යයෙන් ඉහළම ප්‍රතිඵල වලින්ම
සිසුන් තෝරාගත යුතුය" යන්නද
අනිවාර්ය ප්‍රතිපත්තියක් ලෙස
නිරන්තරයෙන් අවධාරණය කිරීමද
උසස්පෙළ ප්‍රතිඵලවල මට්ටමේ අගය
තව තවත් වැඩි කරවයි.

සයිටම් විරෝධී වෛද්‍යවරුන්ට අනුව
වෛද්‍යවරයෙකුගේ උසස්පෙළ ප්‍රතිඵල අනුව
ඔහුගේ ප්‍රමිතිය ප්‍රබලව අඩුවන්නේය යන
වෛද්‍ය ක්ෂේත්‍රයේ මත සැබෑ නම්
රෝගී ජනතාවද ඒ ප්‍රතිඵල දැන ගැනීම
වෛද්‍යවරයෙකු පිළිබඳව තීරණ ගනිද්දී
ඉතාම වැදගත් වේ.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා
ජීව විද්‍යාව, රසායන විද්‍යාව
භෞතික විද්‍යාව යන විෂය තුනට
SSS ගැනීම ප්‍රමාණවත් ලෙස
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම
පිළිගන්නා නමුදු
"AAA ගත් වෛද්‍යවරයා
SSS ගත් වෛද්‍යවරයාට වඩා උසස්ය"
යන ආකල්පය ෆේස්බුක් වෛද්‍යවරුන් සහ
ෆේස්බුක් වෛද්‍යසිසුන්ගේ නිගමනයකි.

අපි ඒ නිගමනයට හිස නමමින්
මේ යෝජනාව ක්‍රියාත්මක කළොත්
ඔවුන් අනතුරු හඟවන සයිටම් වෛද්‍යවරු
උසස් පෙළ ප්‍රතිඵලවලින්ම හඳුනා ගන්නට
රටේ ජනතාවට අවකාශ ලැබේ.
වෛද්‍ය සභාවෙන් ලියාපදිංචිකරන
සියලුම වෛද්‍යවරුන්ගේ උසස්පෙළ ප්‍රතිඵල
ඔවුන්ගේ වෙබ් අඩවි තොරතුරු වලට එක් කළ යුතුය.

වෛද්‍යවරයාගේ නම සහ සුදුසුකම්
සඳහන් කරන සෑම තැනකම
උපාධිය ආදී අනෙක් තොරතුරු සමග
උසස්පෙළ ප්‍රතිඵලත් ඇතුළත් කිරීම
අනිවාර්ය කරන නිර්ණායකයක්
ප්‍රමිති නිර්ණායක පාර්ලිමේන්තුවේ
නීතිගත කිරීමේදීද ඇතුළත් කළ යුතුය.

ව්‍යාජ උසස්පෙළ ප්‍රතිඵල සඳහන් කිරීම
නීතිය ඉදිරියේ දඬුවම් ලබන වරදක් බවට
පාර්ලිමේන්තු පනතෙන්ම පත් කළ යුතුය.

මේ යෝජනාව ක්‍රියාත්මක වන තුරු
මින් මතු වෛද්‍යවරයෙක් හමුවෙන රෝගීන්ද
ඔහුගේ උසස් පෙළ ප්‍රතිඵල විමසීමෙන්
ඔහුගේ අධ්‍යාපනයෙහි ගුණාත්මක වටිනාකම ගැන
පැහැදිලි අදහසක් ඇති කරගත හැකිය.

ජන මාධ්‍ය වැඩ සටහන් නිවේදක නිවේදිකාවන් විසින්
වැඩ සටහන ආරම්භයේ කරන හඳුන්වාදීමේදී
වැඩ සටහනට සහභාගි වෙන වෛද්‍යවරුන්ගේ
උසස්පෙළ ප්‍රතිඵල ප්‍රකාශ කළ යුතුය.
පුවත්පත්වල වෛද්‍යවරු ගැන ලිපි ලියන අයද
අදාළ උසස්පෙළ ප්‍රතිඵල සඳහන් කිරීම
මේ අනුව වැදගත් වෙයි.

මේ යෝජනාවට බාධා කරනවා නම්
ඒ බාධාව වෛද්‍යවරුන්ගෙනි.
ඉහළ උසස්පෙළ ප්‍රතිඵල ඇති සියලුම වෛද්‍යවරු
මේ යෝජනාවට කැමති වනු ඇත.
පහත් උසස්පෙළ ප්‍රතිඵල ඇති අය විරුද්ධ වීම
අනිවාර්යයෙන්ම විය හැකි දෙයක් වුවද
ඔවුන්ගේ බාල ගුණාත්මක බව තවදුරටත් සඟවාගෙන සිටීමට
රජය හෝ ජනතාව ඉඩ දිය යුතු නොවේ.

ඔබ මේ යෝජනාවට කැමතිද?

ඔබ දැනට ඇසුරු කරන වෛද්‍යවරු
කොතරම් සාර්ථක ලෙස
උසස්පෙළ කඩ ඉම පසු කළා දැයි
ඔබ දන්නවාද?


===================================
පහත දැක්වෙන ප්‍රකාශය උපුටා ගැනීම
- රාවය -
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
2009 දී කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන්
යාපනේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තෝරා ගැනුණු
එක් ශිෂ්‍යයෙකුගේ අපොස උසස් පෙළ ප්‍රතිඵලය වුණේ
‘S’ තුනකි. ඔහුගේ ඉසෙඞ් ලකුණු අගය 0.1149 කි.
එම වසරේම, එනම් 2009 දීම
වෛද්‍ය විද්‍යාව සඳහා සයිටම් ආයතනයට
ශිෂ්‍යයන් 24 දෙනෙකු තෝරා ගැනුණි.

ඒ අතරින්
අඩුම අපොස උසස් පෙළ ප්‍රතිඵල සහිත ශිෂ්‍යයාට
‘S’ දෙකක් සහ ‘C’ එකක් තිබුණි.
ඔහුගේ Z ලකුණු අගය 0.2351 කි.

එනම්, මේ සයිටම් ශිෂ්‍යයාට වඩා
0.1202 ක් අඩුවෙන් ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට
රජයේ වෛද්‍ය පීඨයක ඉඩ තිබුණු බව ය.

රජයේ විශ්ව විද්‍යාලවල සිටින්නේ
රටේ ශිෂ්‍ය ප්‍රජාවේ හොඳම ‘මොළකාරයන්’ යැයි කියන
මිථ්‍යාවේ මහත කොතරම්ද?

මෙසේ සිදුවන්නේ,
‘දිස්ත්‍රික්ක ක්‍රමය’ යනුවෙන් හැඳින්වෙන
එක්තරා සූත්‍රයක් නිසා ය.

මේ සූත්‍රය තුළ,
අපොස උසස් පෙළ විභාගයෙන්
දීප ව්‍යාප්තව ඉහළම ලකුණු ලබන ශිෂ්‍යයන්ගෙන්
විශ්ව විද්‍යාලයකට තෝරා ගැනෙන්නේ
සියයට 40 ක් පමණි.
එනම්, සියයට 60 ක්ම තෝරා ගැනෙන්නේ
අඩු ලකුණු මට්ටමක් ඇති ශිෂ්‍යයන් අතරින් වන බවයි.
ඒ සඳහා භාවිත කෙරෙන නිර්ණායකය වන්නේ
අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්ක සඳහා
වැඩි සැළකිල්ලක් දැක්විය යුතුය යන කාරණයයි.
මේ පිරිස මා හඳුන්වන්නේ
‘මොනරාගල ශිෂ්‍ය පරම්පරාව’ වශයෙනි.

අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
කෑ මොර දෙන පුද්ගලයන් අතරේ
මෙවැනි ‘මොනරාගල වෛද්‍යවරුන්’
කොපමණ සිටීදැ යි සොයා බැලීම වටී.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ගාමිණී වියන්ගොඩ
- රාවය - 
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල