20170204

දේශපාලනික විරුද්ධකරුවන් සොයාගෙන වැනසීමට...


1815 රට අල්ලාගත් ඉංග්‍රීසින්ට විරුද්ධව
1818 ඇතිවුණ කැරැල්ල ඔවුන්ගේම සැලැස්මක්ද?


ඉංග්‍රීසින්ගේ පාලනයට එරෙහි විය හැකි අය
එක තැනකට එකතු කර විනාශ කිරීමට
ඔවුන්ට භාවිතා කළ හැකි හොඳම උපක්‍රමය
ඔවුන්ගේම කෙනෙක් කැඳවුම් කරු ලෙස යොදා
කැරැල්ලක් සංවිධානය කිරීමයි.

කැරැල්ලෙන් හෙළිවුණ විරුද්ධවාදීන්
විශාල පිරිසක් ඝාතනය කිරීම සහ
තවත් පිරිසක් හඳුනා ගැනීම
ඉංග්‍රීසි රජයට ප්‍රයෝජනවත් විය.

"එදා හෙළදිව" පොතෙහි සඳහන්
අඹන්වෙල රාළ මෙහෙයවූ කැරැල්ලටත්
මූලිකම සාධකය විය හැක්කේ
රාජසිංහ රජුට තම පුතා ගැන තිබුණ
සැකයෙන් ඔහු තුළ ඇතිවූ භීතිය විය යුතුය.

කැරැල්ල වෙන අවස්ථාවේ
මාළිගය තුළ කාමරයක සිරවී
අනාරක්ෂිතව අසරණව උන් රජුට
ඉතා පහසුවෙන් පළා යන්නට
කැරලි කරුවන් ඉඩ හැරියේ ඇයි.
පසුව බලන දුර්ගයේදීත් ඔහු බේරිණ.

කැරැල්ලෙන් පසුව කැරලිකරුවන් රජ කුමරු හමුවී
රජකම ගන්නට කැමැත්ත විමසූ අවස්ථාවේ
ඔහු නිහඬව සිටියේය.
ඔහුගේ මුනිවත තුළ වූ ඉඟිය
"ලැබුණොත් භාර ගන්නෙමි"යි යන අදහස ලෙස
සැක පහළ කළ රජු සිය පුත්‍රයා මැරුවේය.

දඬුවම් සඳහායි කියා
අඹන්වෙල රාල ලන්දේසි කොටුවට යැවූ නමුත්
ඔහු එහි යහතින් ජීවත් විය.

2010 දී දැනුවත්ව හෝ නොදැනුවත්ව
සරත් ෆොන්සේකා මහින්දගේ රජයට කළ සේවාව
නැසිය යුතු වල්පැල මතු කිරීමද?.
පසුකාලීනව හමුදාව තුළත්
දේශපාලන ක්ෂේත්‍රය තුළත්
යම් යම් සංශෝධන සිදු වූයේ
ඒ දත්ත භාවිතයෙන්ද?

2015දී එවැන්නක් සඳහා ඉත්තා වුණ මෛත්‍රී
දාම්පෙත කරකවා බලය අල්ලාගත්තේ යැයි
අපට සැක කළ හැක.
මේ බල පරිවර්තනයට ප්‍රබල සාධකයක් වූ
මාදොළුවාවේ සෝභිත හිමියන්ගේ දායකත්වයට
ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා විය හැක.

අදත් අප දකින
නොයෙක් දේශපාලන නාඩගම් තුළ
අපට මතුපිටින කුමක් පෙණුනත්
ඇතුළතින් සිදුවෙන පරිවර්තන
අප නොදන්නෙමු.

සිරිමාවෝ බණ්ඩාරනායක නම්
තමාට එරෙහි ප්‍රධානම බල වේගය
ප්‍රජා අයිතිවාසිඅම් අහෝසි කොට ඉවත් කරගෙන
"ජනපති මිය ගියොත් අගමැති ජනපති" වෙන
මාරාන්තික ව්‍යවස්ථාව නිර්මාණය කරගෙන
තමන්ගේ තැනට එන්නට මහත් සේ කෑදර
ප්‍රේමදාස අගමැති තනතුරේ තබාගෙන
වසර එකොළහක් බලය පවත්වාගන්නට
ජේ ආර් ජයවර්ධන සමත්විය.

තෙවන වරටත් බලය ගන්නට කැස කැවූ
ජේ ආර්ගේ සැලැස්ම ජවිපෙ සහායෙන් අක්‍රිය කොට
ප්‍රේමදාස පක්ෂයේ බලය අල්ලාගත් නමුත්
ඔහු සිය බලය පතුරවන්නට සිහින මැවූ
හයෙන් පහක බලය ඇති පාර්ලිමේන්තුව
ප්‍රේමදාස ජනපති වෙන රාත්‍රියේම
විසුරුවා හරින්නට ජේ ආර් ගත් තීරණය
ජේ ආර්ගේ පුද්ගලික පළිගැනීමක් වුවද
රටට සිදු වූ විශාල සෙතකි.

ඔහුගේ රජයට විරුද්ධ විය හැකිව තිබුණ
ජවිපෙ ක්‍රියාකාරීන් සියල්ලෝම ඉවත් කිරීමට
ප්‍රේමදාස ඉතා ඉක්මණින් ක්‍රියා කළේ
ඔහු භාවිතා කළ බළල් අත
ඔහුට විරුද්ධ වෙනෙකෙකුට
යළි භාවිතා කරන්නට ඉඩ නොතබමිනි.

තෙවන වරටත් බලය ගන්නට කැස කැවූ ජේ ආර්
තමා ප්‍රතික්ෂේප කළ එජාපයටත්
ප්‍රේමදාස, ලලිත්, ගාමිණී තිදෙනාටත්
එකම හැන්දෙන් බෙදා පළිගැනීමේ අරමුණෙන්
ඔවුන් තිදෙනම අතුගා දමා
චන්ද්‍රිකාට බලය ලබා දෙන්නට
තිරය පිටුපස සිට දායක වන්නට ඇතැයි
ඔහුගෙ ස්වභවය අනුව සැක සිතිය හැක.

ජේ ආර්ට තෙවන වර බලය නොදීමෙන්
එජාපය බැරෑරුම් ලෙස විනාශවී යන්නට
ප්‍රේමදාස, ලලිත්, ගාමිණී තුන්කොන් බල අරගලය හේතු වී
ඔවුන් ඝාතනය නොවුණා නම් අපේ ඉතිහාසය වෙනස් වනු ඇත.
ඔවුන් තිදෙනා සිටින දේශපාලන බිමක
මහින්ද රනිල් දෙදෙනාත් බැසිල් ගෝටා ආදීනුත්
දුබල ඉත්තන් ලෙස කොන් වෙන්නට ඉඩ තිබිණ.

ඉතා සැලකිල්ලෙන් ඉතිහාසය දෙස බැලුවොත්
මතුවී පෙනෙන විරුද්ධවාදීන් සහ
නොපෙනෙන විරුද්ධවාදීන් මතුකරගෙන නැසීම සඳහා
කලින් කල නොයෙක් කැරළි කෝලාහල
විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ ඇති වෙයි.
වඩාත් නිවැරදිව කිව හොත් ඇති කරනු ලබයි.

මේ දාදු කෙළි වල කැපෙන ඉත්තන් අතරට
නොදැනුවත් කම නිසා එක්වී කැපී යන
අවසනාවන්තයන් බොහෝය.

ප්‍රමිතිය නැති නිසා සයිටම් එක වැසිය යුතුද?


සයිටම් ගැටලුව
එකිනෙකට වෙනස් තල දෙකක සිදුවෙන
අවසානයක් නොමැති සටනක්.
මග හිටියත් ගෙදර ගියත්
සයිටම් දිනන තත්වයක් තියෙන්නෙ
ජනතාව අතීරණයක ඉන්න අතරෙ
දූෂිත දේශපාලකයන්ට සයිටම් පාර්ශවය
ලාභ දායී කාසි උල්පතක් වීම නිසයි.

ජනතාවට වාසි පැත්තකට
සයිටම් ආයතනය පරිවර්තනය කරගන්න
වෛද්‍යවරුන්ට ඇති නොහැකියාව නිසා
ජනතා නිහඬතාවය තුළ
ඔවුන්ගෙ සටන ගිලී යාම වැළැක්විය හැකිද?

උසාවි තීන්දු වෙනස් කරන්න බලපෑ හැකි
එකම බලවේගය ජනතාවයි.
වෛද්‍යවරුන් ඉදිරිපත් කරන තර්ක
ඔවුන්ට වටහාගත හැකිද?

 =======================
අශෝක හඳගමගේ අදහස
රජයේ වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසු කම් නොලබන
එහෙත් උගෙනීමට කැමති අයට විකල්ප අවස්ථා තිබිය යුතුය.
එය අයිතියකි.
එහෙත් ලංකාවේ වෛද්‍ය වෘතියෙහි යෙදීමට නම්,
රජයේ විශ්ව විද්‍යාලයක ( මුදල් ගෙවා හෝ නොගෙවා ) හෝ
පුද්ගලික විශ්ව විද්‍යාලයක මුදල් ගෙවා හෝ උගත් අය
සමත් විය යුත්තේ එකම පොදු (අවසන්) විභාගයකි.
එය වෛද්‍ය සභාව අනුමත කල විභාගයක් විය යුතුයි. -

 =======================

පුද්ගලයෙක් විදියට මා ඉතා ගරු කරන
දැඩි හිතවත් කමක් ඇති වෛද්‍ය ශිෂ්‍යයෙක්
පහත දැක්වෙන  පුද්ගලික පණිවිඩය මට එවා තිබුණේ
අශෝක හඳගමගේ අදහස මා අගය කිරීමට එරෙහිව
ඔහුගේ පිළිතුරු අදහස ලෙසයි..


 



[[හොඳ ප්‍රමිතියක් තියෙන වෛද්‍ය විද්‍යාලයකින් ඉගෙනගත්තාට මගේ කිසි විරොධයක් නැත.]]
සියලුම වෛද්‍ය සිසුන් සහ වෛද්‍යවරුන්
මේ ආකල්පයේම ඉන්නවා නම් අපි ගරු කරනවා.
අලුතෙන් කඩයක් දාන කෙනාට
මුදලාලි කෙනෙකුගෙ තියන ඉරිසියාව තියන අයත්
මේ දෙපිරිස අතර ඕන තරම් ඇති.
ඔබේ විරෝධතා ව්‍යාපෘතිය දුර්වල වෙන්න
ඔවුන්ගෙ හැසිරීම සහ ප්‍රතිචාර හේතු වෙනවා.
අසභ්‍ය වචන කියමින්, නින්දා අපහාස කරමින්
උගතුන්ට නොගැලපෙන තුට්ටු දෙකේ මුඩුක්කු හැසිරීමෙන්
වෛද්‍ය වෘත්තියට නිගා දෙන්නෙ
එවන් මුදලාලි මානසිකත්වයෙන් යුතු බාලයන් බව
සාමාන්‍ය ජනතාව වටහා ගන්නවා.
ඔබේ සටනෙන් සාමාන්‍ය ජනතාව ඈත් කරන
ප්‍රධානම බලවේගය මේ මැර මුදලාලිලායි.
සමහරවිට සැඟවී ක්‍රියා කරන
ඔබ වැනි අයට සාපේක්ෂව බලද්දි
ඔවුන් මහා බලවත් කියා හිතෙනවා ඇති.
ඒත් අදහස් දැක්වීමෙදි
ඔබ සතු නිවීම, පැහැදිලි චින්තනය
හිතන්න ශක්තියක් ඇත් අයගෙ සිත්වල
ගැඹුරට කාවදිනවා.

දෙවනුව, ඔබේ මේ ආකල්පය වෛද්‍ය විද්‍යාල සටනෙදි
"සයිටම් එක අපේ ප්‍රමිතියෙන් ක්‍රියා කරනවා නම්
අපි සයිටම් පිළිගන්නවා" කියන ආකල්පය
මේ විරෝධතා ව්‍යාපෘතිය තුළ
 අපට දකින්නට ලැබෙන්නෙ නැහැ.
"සයිටම් එක මේ ප්‍රමිතියෙන් ක්‍රියා කරනවා නම්
අපි පිළිගන්නවා" කියන ආකල්පය
ඔබ අතර කවරෙකු හෝ දරනවාද?

"ප්‍රමිතිය නැති නිසා සයිටම් එක වැසිය යුතුයි"
කියන තැන ජනතාව නැහැ.
ජනතාව කියන්නෙ
රොගී වීම දුකක්, ජරාව දුකක්, මරණය දුකක් කියන
සදාතනික දුක්ඛ සත්‍යය නිසා දුක් විඳින,
ලෙඩවෙනවාට, මහලු වෙනවාට, මැරෙනවාට බයෙන් ආතුර වෙලා
ඒ බියෙන් ජීවත් වෙන සදාකාලික මානසික රෝගීන් පිරිසක්.
වෛද්‍ය වෘත්තීය ක්ෂේත්‍රය වේගයෙන් දියුණු වෙන්නෙ
කායිකව මානසිකව කරන වැරදි නිසා
වේගයෙන් වැඩිවෙන මේ තුන් බිය නිසයි.

ඔවුන් නිවැරදි මගට යොමු කරනවා වෙනුවට
ජනතාවට තියන මිථ්‍යා බිය වැඩි කරන්න
නවීන විද්‍යාවත්, වෛද්‍යවරුත් විශාල දායකත්වයක් සපයනවා.
"වෛද්‍යවරයෙක් සමග අඩ පැයක්"
රූපවාහිනී වැඩ සටහනක් නරඹන නිරෝගී ගෘහණිය
කුස්සියට යනවා වෙනුවට ඇඳට යන්නෙ
මානසික රෝගියෙක් විදියටයි.
ඇය ඇයට නැති ලෙඩක් පරීක්ෂා කරන්න යොමුවෙන කොට
ඒ නැති ලෙඩට බෙහෙත් කරන්න ක්‍රියා කරන කොට
ඒ වියදමෙන් වෛද්‍ය ක්ෂේත්‍රය අමතරව දියුණු වෙනවා.

මේ තුන් බියෙන් වෙසෙන ජනතාව
නව වෛද්‍යවරුන් පිරිසක් බිහි කරන "සයිටම් එක
වැසිය යුතුයි" කියන ආකල්පයෙන්
ඔබේ සටනට එකතු කරගන්න බැහැ.
ඔවුන් ලෙඩ වුණාම වෛද්‍යවරයාගෙ ප්‍රමිතිය හොයනවා නම්
අද ඉන්න බොහෝ ජනප්‍රිය වෛද්‍යවරුන්ට ත්‍
රී වීල් එකක් අරන් පාරට බහින්න වෙයි.

බියපත් ජනතාව ගස් ගල් වුණත් සරණ යනවා.
ජනතාවට මොන ප්‍රමිතියෙන් හෝ වෛද්‍යවරුන් අවශ්‍යයි.
සයිටම් ප්‍රමිතිය ප්‍රශ්නයක් නම්
රජයේ වෛද්‍යවිද්‍යාල මට්ටමට සයිටම් ප්‍රමිතිය නංවනවාට
ඔවුන් කැමති වෙයි.
ඔබලා කැමතිද?

පාර බදු අරන් තියන ප්‍රයිවෙට් බස් එක්ක බලද්දි
අද සීටීබී බස් වලට අයත් වෙලා තියන ඉරණම වගෙ ඉරණමක්
ඔබලාට අයත් වෙයි කියා ඔබට බියක් තියෙනවාද?


[[[විභාග එකක්, පුහුණුව තව එකක්. වෛද්‍ය අධ්‍යාපනයේදී මේක සෑහෙන්න වැදගත්. ඒකයි ක්ලිනිකල් නැති ලමයින්ට විභාගයකට වාඩි වෙන්න, අඩුම තරමින් ඇක්ට් 16 වත් ලියන්න අවසර නැත්තේ]]]
මේ ගැන කිසිම විවාදයක් නැහැ.
ඔබ මේ කියන අත්‍යාවශ්‍ය ප්‍රමිතිය
අද ඔබ අතරෙ ඉන්න අයගෙනුත් කී දෙනෙකුට තියනවාද?
"රෝගියා සුවපත් කරන්න මම ඉගෙනගන්නවා"
කියන ආකල්පය තියන අය කී දෙනෙක් ඔබ දන්නවාද?
සයිටම් සිසුන්ට  රජයේ රෝහල්වල ක්ලිනිකල් ලබා දෙනවාට විරුද්ධ වෙන්නෙ
ප්‍රමිතිය නෑ කියන වෛද්‍යවරුම නොවේද?.

ක්ලිනිකල් ලබා දීම සඳහා
සයිටම් එකෙන් ගෙවීමක් ලබන්න රජයට අයිතියක් තියනවා.
ඒ ගෙවීමට අඩු ගෙවීමක් දේශපාලකයාට ගෙවා
ඒ පහසුකම නොමිලේ ලබන්න හැකියාව
රටේ සමස්ත ජනතාවම පෙළෙන මන්ද බුද්ධිකත්වයේ වරදක්.

[[[ ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව වෛද්‍ය අධ්‍යාපනය වෙන්න ඕනේ ආකාරය ගැන කමෙන්ට් කරනවා දැක්කාම ඇත්තටම කණගාටුයි.]]]
ඔව්.
ඔබ මෙන් හිතන්න කතා කරන්න පුලුවන්, යහපත් මිනිසුන්ට
ප්‍රසිද්ධියේ කතා කරන්න ශක්තිය නැති නිසා
පුද්ගලික පණිවිඩ වලින් ආවේගය නිදහස් කර හැරීම
රෝගයකට නිර්වින්දක දීමක් වගෙයි.
බටහිර වෛද්‍ය ක්‍රමයෙ තියන දුර්ගුණ
වෘත්තිකයන්ගෙ ජීවිත වලට කාන්දුවීම වළක්වන්න බැහැ.
ඖෂධ වලින් සුව කළයුතු රෝග නිර්වින්දක වලින් යට ගහන පුරුද්ද
නොදැනුවත්වම ඔබේ ජීවිතවලටත් ඇබ්බැහි වෙනවා.
"රෝගියෙකුගෙ කකුල නියම ප්‍රමිතියට නැත්නම්
ප්‍රමිතිය හදනවාට වඩා කකුල කැපීම පහසුයි" කියන
 බටහිර වෛද්‍ය විද්‍යාතමක සිද්ධාන්තය අනුව
සයිටම් එක ඉවත් කිරීමට ක්‍රියා කරද්දි
හැකිනම් කකුල බේරාගත යුතුයි කියන තැන ජනතාව ඉන්නවා.
ඔබ ඉන්න තැන සාමාන්‍ය ජනතාව නැති බව
ඔබ පළමුවෙන් වටහාගත යුතුයි.
අවම වශයෙන් ඒ කතා කරන සාමාන්‍ය ජනතාවවත්
ඔබ ඉන්න තැනට ගන්න ඔබ උත්සාහ කළ යුතුයි.
ඒ කාර්යය පුද්ගලික පණිවිඩ මගින් කරන්න බැහැ.
ඔබ අවංක නම්, ඔබ පිරිසිදු නම්,
ඔබ අනාවරණය වීම ඔබට ගැටලුවක් නොවිය හැකියි.
ඔබ මා ගැන හිතන දේත්,
මේ ප්‍රකාශ කියවන ජනතාව හිතන දේත්
මට ගැටලුවක් නොවෙන්නෙ
මම මේ කියන දේ මම හිතන දේම නිසයි.
අදහසක් පළකිරීමෙන් අපට නැතිවෙන දේවල් තියනවා.
ලැබෙන දේවලුත් තියනවා.
නැතිවෙන දේට වඩා ලැබෙන දේ වටිනවා නම්
අදහස් පළ කරන්න බියවිය යුතු නෑ.
ප්‍රතිරූප රකින අයට අවංක වෙන්න බැහැ.
මමත්වය නැති කරන්න පළමුව
ලොව දකින ප්‍රිතිරූපය මම කියා හිතන
ආත්ම වංචාවෙන් මිදිය යුතුයි.

[[[තව එකක් දැන් වෛද්‍ය සභාව තියෙන්නේ නමට විතරයි. සයිටම් එක නඩු තීන්දුවකින් වෛද්‍ය සභාවේ බල රහිත කරලා තියෙන්නෙ.]]]
ඒ තීන්දුව අසාධාරණ නම්
ඒ තීන්දුවට එරෙහිව නඩුවක් කියන්න
වෛද්‍ය සභාවට පුලුවන් වියයුතුයි.

[[[ තමන් කොච්චර බුද්ධිමත් කියල හිතාගෙන හිටියත් ලංකාවේ මිනිස්සු දේශපාලකයින්ගේ ඇජෙන්ඩා එකට නොදැනීම අහුවෙනවා. දැන හෝ නොදැන දේශපාලකයින්ගේ උවමනා වෙනුවෙන්ම හඬ නගනවා. ]]
ප්‍රශ්නයක දෙපැත්තක් තියන වෙලාවට
ඔබට විරුද්ධ පැත්තෙ දේශපාලනඥයා ඉන්නවා නම්
ඔබ වැනිසියේ වෙළෙන්දා වගේ මස් රාත්තලම ඉල්ලනවා නම්
ඔබ වැරදියි කියා සිතන බහුතර ජනතාව
නිතැතින්ම දේශපාලනඥයාට එකතු වීම වළක්වන්න බෑ.
"සයිටම් එක වැසිය යුතුයි" කියන තැනට
ජනතාව ගැනීම කළ හැකි දෙයක් නොවෙයි.
හැම විටම නිවැරදි නැති වුණත්
අද කාලෙ රජයෙ ආයතන වලට වඩා
පුද්ගලික අංශය හොඳයි කියන
වැරදි අවබෝධය තදින් පැතිරිලා.
සයිටම් එකේ අඩුපාඩුව ප්‍රමිතිය නම්
ප්‍රමිතිය වැඩි කිරීමට ඔබේ බලය යොදාගත යුතුයි.

නැත්නම්
මෙතෙක් කල් ඔබලා මොන ප්‍රමිතියෙන් ආවත්
ප්‍රමිතිය ප්‍රශ්න නොකර ඔබලා පෝෂණය කළාක් මෙන්
සයිටම් වෛද්‍යවරු එළියට බහින ප්‍රමිතියෙන් ඔවුන් භාරගන්න
අනාගතයෙ රෝගී ජනතාවට සිදු වෙයි.
බියපත් ජනතාව ගස් ගල් වුණත් සරණ යනවා.

කාලයක් ප්‍රතිකාර ගත්තත්
ඔබේවත් ඔවුන්ගේවත් ප්‍රමිතිය මනින්න
සාමාන්‍ය ජනතාවට බැහැ.

තමන්ගෙ වෛද්‍යවරයගෙ ප්‍රමිතිය
අත්දැකීමෙන්ම දැනගන්න තුරු
ඔවුන්ට සියලුම වෛද්‍යවරු එකයි.