20161222

යෝනිසෝමනසිකාරය සහ සම්පජානෝ සතිය සමානද?


යෝනි සෝමනසිකාරය සහ සම්පජානෝ සතිය
එකම ස්වභාවයක්ද දෙකක්ද.?

යෝනිසෝමනසිකාරය කුමක්ද කියා
ප්‍රායෝගිකව වේදනා, සංඥා ආශ්‍රිතව
බුදුන් වහන්සේ විස්තර කළ තැනක්
මෙතෙක් මට සොයාගන්නට ලැබී නැහැ..

සම්පජානෝ සතිය පැහැදිළිව දක්වා තියන අයුරින්
යෝනිසෝමනසිකාරය විස්තර කර නැති නිසා
වචන අනුව අනුමාන කරන්න සිදු වෙනවා.

සමහර පරිවර්තකයන් විසින්
නුවණින් දැකීම ලෙස
යෝනිසෝමනසිකාරය හඳුන්වන නමුදු
ඒ නුවණ කවර ආකාරදැයි
අත්දැකීමක් ලෙස හඳුනා ගන්න හැකියාවක් නැහැ.

අත්දැකීමක් ලෙස යෝනිය යනු
යමක් උපදින ජනිත වෙන තැන ලෙස
අපට පිළිගන්න පුලුවන්.
මේ මොහොතට අදාළව
ස්පර්ශයක් වේදනාවක්
උපදින තැන පටන්ම සිහියෙන් වසන කෙනෙකුට
රාග ද්වේශ දුරු කිරීම පහසුයි.

මහණෙනි,
රාගයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි.
කවර දෙදෙනෙක යත්:
සුභ නිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙකයි.
මහණෙනි,
මොහු වනාහි රාගයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

මහණෙනි,
ද්වේෂයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි.
කවර දෙදෙනෙක යත්:
පටිඝ නිමිත්ත හා අයොනිසොමනසිකාරය යන දෙදෙන ය.
මහණෙනි,
මොහු වනාහි ද්වේෂයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

මහණෙනි,
අයෝනිසෝමනසිකාරය නිසා
නූපන් කාමච්ඡන්දයත් උපදී.
උපන් කාමච්ඡන්දයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නුපන් ව්‍යාපාදයත් උපදී.
උපන් ව්‍යාපාදයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නූපන් ථීනමිද්ධයත් උපදී.
උපන් ථීනමිද්ධයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී.
උපන් උද්ධච්චකුක්කුච්චයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නූපන් විචිකිච්ඡාවත් උපදී.
උපන් විචිකිච්ඡාවත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.

රාගයත් ද්වේශයත් ඇති වෙන විටම
දකින්නට හැකි පුද්ගලයාගේ
රාගයත් ද්වේශය නොවැඩෙන්නේ කෙසේද.?

සුභ නිමිත්ත > රාගය
පටිඝ නිමිත්ත > ද්වේශය

යම් නිමිත්තකින් රාගය හෝ ද්වේශය උපදින විට
ඒ රාගය හෝ ද්වේශය දකින්නගේ නිමිත්ත වන්නේ
උපන් රාගය හෝ ද්වේශයයි.
නිමිත්ත තමා තුළ උපන් සංස්කාරය නිසා
සංස්කාරය උපාදාන වන්නට අවස්ථාව නැති වෙයි.

ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන්නට
යෝනිසෝමනසිකාරය අවශ්‍යය.

අවිද්‍යා සූත්‍රයෙ මෙසේ සඳහන් වෙනවා.
ශ්‍ර‍ද්ධාව පරිපූර්ණ වූවා යෝනිසෝමනසිකාරය පුරයි.
යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ සති සම්ප්‍ර‍ජන්‍යය පුරයි.

සති සම්ප්‍රජන්‍යයට යෝනිසෝමනසිකාරය
අවශ්‍ය බව සම්පජානෝ සතිය කවරේදැයි විමසීමෙන්
පැහැදිළි වෙනවා.

සම්පජානෝ සතිය කවරේදැයි
බුදුන් වහන්සේ විස්තර කරන්නේ මෙසේය.

1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;

1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ  පවතිත්..
දැනුවත්වම සංඥාවෝ  අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

සරලව
සති සම්පජන්‍ය නම්
1, විඳින සියලු වේදනා
2, දැනෙන සියලු සංඥා
3, ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.

පාරෙ ඇවිදගෙන යන කෙනෙක්
අයිස්ක්‍රීම් එකක රූපයක් දැකලා
අයිස්ක්‍රීම් එකක් ගන්න පෙළඹෙනවා.
සුභ නිමිත්ත > රාගය
සාමාන්‍ය කෙනෙකුගෙ සිත තියෙන්නෙ
අයිස්ක්‍රීම් එක ලබා ගැනීම පිළිබඳවයි.
ඔහුට රූපයෙන් ඇතිවූ රාගය පෙනෙන්නෙ නෑ..

ඔහුට යෝනිසෝමනසිකාරය තියනවා නම්
ඔහු රාගය ඇති වෙන අයුරු දකිනවා.
ඔහු රාගය උපදින විටම දකිනවා.
ආරම්භයෙදිම දකිනවා.
මේ මනසිකාරය නැතුව
සම්පජානෝ සතිය ඇති වෙන්නෙ නැහැ.

ඔහුට සම්පජානෝ සතිය ඇත්නම්
ඉන් ඇතිවෙන සුඛ වේදනාවත්
ඒ වේදනාව හඳුනා ගැනීමත්
අයිස්ක්‍රීම් එක කන්න ඇතිවෙන
කාමච්ඡන්දය නිසා ඇතිවෙන විතර්කත් සමග
ඔහු ඒ සඳහා ක්‍රියා කරද්දි ඇතිවෙන
වේදනා, සංඥා විතර්කත් යන
සියල්ලම ඔහු දකිනවා.

ඔහුට සම්පජානෝ සතිය ඇත්නම්
ඔහු සමස්ත අත්දැකීම තුළ ඇති වෙන
වේදනා, සංඥා, විතර්ක
ඇතිවෙන, පවතින, නැතිවෙන අයුරු දන්නවා.

අවිද්‍යා සූත්‍රයෙ මෙසේ සඳහන් වෙනවා.
ශ්‍ර‍ද්ධාව පරිපූර්ණ
වූයේ යෝනිසෝමනසිකාරය පුරයි.
යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ සති සම්ප්‍ර‍ජන්‍යය පුරයි.


සති සම්ප්‍රජන්‍යය වැඩෙන්නට
යෝනිසෝමනසිකාරය හේතුවෙන බව
මෙයින් වැටහෙනවා.

ඒ අනුව
යෝනිසෝමනසිකාරය සහ  සති සම්ප්‍රජන්‍යය
 එකක් නොවෙයි.
යෝනිසෝමනසිකාරය උල්පත නම්
සති සම්ප්‍රජන්‍යය ඇළ දොළ ගංගා වගෙයි.

රහත් නොරහත් කාටවත් - කියනු බෑ " දැන් මම රහත්. "


විනය රැකීම ශාසනයෙහි ආයුෂ ලෙස
බුදුන් වහන්සේ හැඳින්වූහ.

බුදු සසුනෙහි ශ්‍රාවකයෙකු ලබන
අග්‍රඵලය රහත් බවයි.

එසේ වුවද
විනයට අදාළව
භික්ෂූන් අතර රහතන් වහන්සේ
විශේෂ පුද්ගලයෙකු වශයෙන් නොසැලකෙයි.

රහත්වෙන තැනැත්තාගේ රහත් බව මත
ඔහු විශේෂ පුද්ගලයෙකු ලෙස සලකන්න්නට
විනය නීති නැත.
රහතන් වහන්සේද සාමාන්‍ය භික්ෂුවක මෙන්
විනය නීති රැකිය යුතුය.
විනයානුකූලව ඔහුට වඩා උසස් භික්ෂූන්ට
නිසි සැලකිලි කළ යුතුය.

කෙනෙකුගේ රහත් බව
සාමාන්‍ය ජනතාවට  උපාධියක් වැන්න.
ඔහුගේ උපාධිය නිසා
ඔවුන් උපාධිධරයෝ නොවෙත්.
උපාධියක් ඇති අයට
විශේෂ සැළකිලි කරන පිරිස්ද
සමාජයෙහි වෙසෙයි.
ඒ ඔවුන්ගේ හීනමානය මත කරන දෙයකි.

විනය නීති වලින් නිදහස් නැති
රහතන් වහන්සේලාගේ ක්‍රියාවන් මත
විනය නීති පැණවුණ අවස්ථාද ඇත.
ඒ නිසා මාර්ග ඵල ලැබීම
බෞද්ධ භික්ෂුවකට විනය නොසැලකීමට
හේතුවක් නොවෙයි.

සැබැවින්ම සිදු වන්නේ
කිසිදු චෛතසික බරක් වෙහෙසක් නැතිව
විනය නීති සියල්ල රැකීමට හැකි
කායික මානසික සංවරය
මග ඵල ලද කෙනෙකුට ඇති නිසා
විනය රැකීම ඔහුට සාමාන්‍ය දෙයක් වීමය.

අතිවිශාල විනය නීති අතර
පාරාජිකා හතර විශේෂ තැනක් ගණියි.
පාරාජිකාවක් නිසා
පැවිද්ද අහිමි කරගන්නා කෙනෙක්
නැවත මේ ජීවිතය තුළ
පැවිද්ද ලද නොහැකි අයුරින්
පරාජයට පත් වෙයි.

මම රහත්, මම සෝවාන් ආදී වශයෙන්
තමා ලද විශේෂ මග ඵල, ධ්‍යාන ආදිය ඇතැයි
නැති උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇතැයි
මුලාවීමකින් හැර මුසාබසින් රැවටීම
පාරාජිකා වීමට එක් හේතුවකි.

උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති කෙනෙකු
තමන් තුළ ඇති ධර්ම තවෙකෙකුට කීම
වරදක් නොවන්නේ යැයි
යම් කෙනෙකු තර්ක කළ හැක.

එහෙත් 
රහත් වූ භික්ෂුවක් වුවද
පැවිදි උපසම්පදා වූ කෙනෙකුට හැර
ගිහියන්ට හෝ
උපසමපදා නොවූ සාමණේර භික්ෂූන්ට හෝ
උත්තරී මනුෂ්‍ය ධර්මයන් පැවසීම
පාරාජිකා නොවුවත් පචිති ඇවැතකි.

ඒ අනුව
තමන් රහත් යැයි ප්‍රසිද්ධියේ පැවසීම
රහත් වූ භික්ෂුවකට වුවද නුසුදුසු මන්ද
යන ගැටළුව අපට ඇති වේ.

මින් පළමුවැන්න විය හැක්කේ
තමන් රහත්යයි පවසන තැනැත්තා වටා
ඔහුගේ රහත් බවට ගෞරවයෙන් රැස්වෙන පිරිස් විසින්
අන් භික්ෂූන් හෙළා දැකීමයි.
මේ වරද සිදුවෙන අයුරු
අද අපට දකින්නට ලැබෙයි.

තමන් රහත්යයි ප්‍රසිද්ධියේ පවසන
සිරිධම්ම හිමිගේ ගෝලයන් විසින්
" අපේ ශාස්තෘ නම්
ජීවමාන සමන්ත භද්‍රයාණෝය.
සිද්ධාර්ථ ගෞතම මැරිලා"යි
බුදුන් වහන්සේට පවා අවමන් කරනු අප දකිමු.

එක් භික්ෂුවක් විශේෂ කරගෙන
විශේෂයෙන් සැලකීම
බුදු සමයෙහි පවා සිදුවූ සාමාන්‍ය දෙයක් වුවද
අන් භික්ෂූන් හෙළා දැකීම
සසුනට ආපත්තියකි.

තමන් රහත්යයි ප්‍රසිද්ධියේ පැවසීමෙන්
භික්ෂුවකට නුසුදුසු
ආපත්තිකර පරිසරයක් ඔහු වටා ගොඩ නැගෙන්නට
ඔහුගේ ප්‍රකාශය නිසා ඔහු ලබන
ලාභ සත්කාර හේතු වෙයි.

තුන් සිවුරත් පාත්‍රයත් ඇතිව
පියාපත් බර පමණක් ඇති කුරුල්ලෙකු මෙන්
නිදහස් ජීවිතයක් ගත කරන
සැබෑ රහතන් වහන්සේ කෙනෙකුට
මහේශාක්‍ය ජීවිතය අනවශ්‍ය බරකි.

ව්‍යාජ රහතෙක්
බොරු කියා ලබන ලාභ සත්කාර ආදිය
ඔහුගේ මාන්නය පිම්බීමට හේතු වන අතර
ඔහුගේ නොමනා හැසිරීම් නිසා
සැදැහැවත් ගිහියාත් භික්ෂුවත් අතර
සහ සබඳතාවය ගිලිහී
ගිහි පැවිදි දෙපිරිසටම අලාභ සිදු වෙයි.

සත්‍ය ධර්මය සොයන්නන් ඉදිරියේ
අභිමානයෙන් හැසිරීමට
ව්‍යාජ රහතෙකුට නොහැකි වෙයි.
ඔහු වටා රැස්වන්නේ ධර්මය මුවාවෙන්
වෙනත් මානසික සුඛ විහරණ සොයන
විකෘති ශ්‍රාවක පිරිසකි.

ව්‍යාජ රහතෙකුගේ
බොල් සිංහ නාදයෙන් පසු
සිදුවෙන විශාලම හානිය නම්
ඔහුගෙන් ධර්මය ලබන්නට එන
ඔහුට රැවටුණ පිරිස සොයන
ආකර්ශණීය ව්‍යාජ ධර්මයක්
පවතින ධර්ම ඇසුරෙන් තනා ගැනීමට
ඔහුට සිදු වීමයි.

මුලාවූ ශ්‍රාවක පිරිස
වෙනත් කෙනෙකු වෙත යා නොදී
ඔහු ඇසුරෙහිම රඳවා ගැනීමට
ඔවුන් ප්‍රිය කරන අලුත් තාලේ ධර්මයක් සකස් කොට
ඔවුන් පිනවීමට ව්‍යාජ රහතාට සිදුවෙයි.
දොළොස් මහේ පහන මෙන්
ඔවුන්ගේ ව්‍යාජ ශ්‍රද්ධාව  පවත්වා ගන්නට
විවිධ සංදර්ශන පවත්වන්නට සිදු වෙයි.

රහත් වූ කෙනෙකු වූ හෝ ව්‍යාජ රහතෙකු
රහත් බව කීම නිසා සිදු වෙන
තවත් වැදගත් සංසිද්ධියක් නම්
තවෙකෙකුගේ රහත් බව මතින්
තමන්ගේ රහත් බව සලසා ගන්නට සිතන
දේවවාදී ආකල්ප මත
යැපෙන්නට කේන්ද්‍රයක් සොයන කල්ලියක්
ඔහු වටා නිර්මාණය වීමය.

ව්‍යාජ රහතෙකු වටා
එක්වෙන පිරිස හැසිරෙන ආකාරයෙන්
ඔවුන් තර්ක කරන ආකාරයෙන්
තර්ක හිර වූ විට නින්දා අපහාස
අවලාද කරන ආකාරයෙන්
ඔවුන්ගේ නියමුවා රහත් වී නැති බව
මනාව පසක් වෙනවා.

ලාභ සත්කාර ගරු නම්බු සඳහා
තමන්ගේ උවමනාවෙන් රහත් කියා කියන කෙනෙක්
විනයානුකූලව වරදක් කරනවා.

රහත් වුණා කියන කෙනෙක්
පචිති ඇවැතක් නිතර නිතර නැවත නැවත බිඳිනවා නම්
ඔහු රහතෙකු වත් බෞද්ධ භික්ෂුවක්වත් විය නොහැකියි.

ඔහු සිහි මුළාවකින් කියනවා නම් හැර
ඔහු ඒ ප්‍රකාශය නිසා පාරාජිකා වූ කෙනෙක්.

සිරිධම්ම සංවාදයෙන් පසුව මම වෙනස් වුණෙමි.



දැන් මම වෙනස් වෙලා ඇති කියා
ෆේස්බුක් සමාජ ජාල සමූහයක
ඉසුරු කියල කෙනෙක් කියල තියන කතාව ඇත්ත.

සිරිධම්ම හිමි සමග සංවාදයෙන් පසුව
අද වෙද්දි මගේ වෙනසක් වෙලා තියනවා.

මම වෙනස් වෙලා තියෙන්නෙ
සිරිධම්ම හිමිට අදාළව
මගේ හැසිරීමෙන් පමණයි.

මම සිරිධම්ම හිමි ගැන දරන
මූලික අදහස අදටත් වෙනසක් නැහැ.
මම අදත් කියනවා...
ඔහු රහත් වෙලා නැහැ...සෝවාන් වෙලාවත් නැහැ.
ඔහුත් ඔබ මා මෙන්ම පුහුදුන් පුද්ගලයෙක්.

රහත් වුණ කෙනෙක් රහත්ද කියා දැනගන්න
හැම කෙනෙකුටම බැහැ.
ඒත් පුහුදුන් කෙනෙක් " මම රහත්" කියා කියද්දි
රහත් නෑ කියා දැනගන්න පුහුදුන්
කෙනෙකුටත් පුලුවන්.
"සිරිධම්ම හිමි රහත් නෑ" කියා කියන අය කියන්නෙ
ඔහු පුහුදුන් බව වැටහෙන නිසයි.



මා සමග කළ සංවාදයෙදි ඔහුගේ අසංවර බව
මැදහත් ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයට බඳුන් වුණා.
ඔහුට එය දරාගන්නට නොහැකි වූ බව
ඒ වීඩියෝව යූ ටියුබ් එකෙන් ඉවත් කිරීමෙන්
පසුව පැහැදිළි වුණා.
සංවාදය පැවැත්වෙද්දිම
මා ඒ අසංවර හැසිරීම අත්දැක්කා.
ඔහුගෙ මාධ්‍ය කණ්ඩායම විසින්
ඔහුගේ වෙබ් අඩවි වලිනුත් මා ඉවත් කළා.

ඔහුට මුහුණ දෙන්න නොහැකි මට නොවෙයි.
මා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන
ලොවුතුරා බුදුන් වහන්සේටයි.

ඔහු රහත් නැති බවට
බුදුන් වහන්සේම සාක්ෂි දරණවා.

බුදුන් වහන්සේට අනුව
ඔහු රහත් වෙලා නැහැ කියන්න හේතු
ඔහු දෙසන දහම ඇසුරෙනුත්
ඔහුගේ චර්යාව ඇසුරෙනුත්
මම ලියූ බ්ලොග් සටහන් වල තියනවා.

රහතන් වහන්සේ යනු සියලු වේදනා
පිරිසිඳ දත් තැනැත්තාය.

මහණෙනි,
ස්පර්ශාහාරය පරිඥාත කල්හි
වේදනාත්‍රය පරිඥාත වේ.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි.

කායානුපස්සනා වේදනානුපස්සනා නැතිව
නිවන් මගක් පැවතිය නොහැක.


ඔහු
චිත්තානුපස්සනා නමින් හඳුන්වන

ඔහුගේ විපස්සනා ඉගැන්වීම වැරදි බව
දීර්ඝ වශයෙන් කරුණු සහිතව
"සිරිධම්ම විපස්සනාව බොනිකර තරුවක්."
බ්ලොග්  සටහනේ පෙන්වා දී තියනවා.

සිරිධම්ම හිමිගේ රහත් බවට අදාළව

මා ලියූ ලිපිවලට ඌණ පූරණයක් ලෙස
මා මෑතදී ලියූ අවසාන ලිපියෙන්
රහතන් වහන්සේ නොනිදන බවත්
පැහැදිලි කළා.


"ඇඳට වැටුණ ගමන් හොඳට නින්ද යනවා"
කියන සිරිධම්ම හිමි රහතෙක් නොවන බව
ත්‍රිපිටකයට අනුව ප්‍රබල සාධක සහිතව
"රහතන් වහන්සේ නොනිදයි. සැතපෙනවා පමණි."
බ්ලොග් සටහනෙන් පෙන්වා දී තියනවා.

ඔහු වෙනුවෙන් මට මුළු ජීවිතයම
ගත කළ නොහැකියි.
මට පෙනෙන දේ ඔහුටත් ලොවටත්
පැහැදිලිව පෙන්වා දෙන්න
ප්‍රමාණවත් කාලයකට වඩා ගත කරමින්
ඔහුගේ අශීලාචාර ගෝලයන්ගේ
අපහාස උපහාස නින්දා අවමාන මැද්දේ
මගේ කාලය මා ඔහු සමග ගත කළා.

මා කිවූ හැම දෙයක්ම
ඔහුගේ අන්ධ භක්තික ගෝලයන්ට නොවැටහුණත්
ඔහු වටහා ගත් බව මට රහසක් නොවෙයි.

ඔහු වෙනස් වෙන්නේ නැහැ.
ඔහුට වෙනස් වෙන්න බැහැ.
ඔහු ප්‍රමාද වැඩියි.
පුහුදුන් කෙනෙක් වශයෙන් හිඳිමින්
රහත් රුවක් මවා පෙන්වමින්
ඔහු හදාගත් මාරපාශයෙන්
දැන් ඔහුට ගැලවීමක් නැහැ.

පන්සිල්වත් නැති පිරිසක් මැද
රහතෙක් මෙන් වැජඹෙන්නට අවශ්‍ය වන
ත්‍රිපිටක දැනුමත්, තර්ක ශක්තියත්,
හිත් දිනා ගැනීමේ උපක්‍රමත්
ඒ සඳහා අවශ්‍ය ලෞකික ධ්‍යානත්
ඔහු සතුව තියනවා.
ඒ ධ්‍යානය රැක ගන්නට
ඔහු වටා ආරක්ෂක වළල්ලකුත් තියනවා.
ඒ දැහැන් බිඳෙන අවස්ථා
ඔහු වටා ඉන්න අය දන්නවා.

අන්ධ භක්තියෙන්
ඔහු රහත් කියා හිතන අය
ඔහුගේ පුහුදුන් බව දකින්නේ නැහැ.

ඔහු රහත් නැහැ කියන බහුතරයත්
ඔහුගේ පුහුදුන් බව දකින්නේ
ප්‍රඥාවෙන් හෝ තර්ක බුද්ධියෙන් නොව
ඔවුන්ගේ ධර්මානුකූල බව නිසා
ඔවුන් සතුව ඇති අතීන්ද්‍රිය ඉව මගින්.

විපස්සනා දන්නා කෙනෙකුට
සම්පජානෝ සතිය දන්නා කෙනෙකුට
රහතන් වහන්සේ නින්ද නම් මෝහයට
නොවැටෙන බව දන්න කෙනෙකුට
ඔහු රහත් නැති බව වැටහෙනවා.
ඔහු රහත් නැහැ කියා ඔප්පු කරන්න
මා වෙහෙස විය යුතු නැහැ.

ඔහු රහත් යැයි පිළිගන්නා අයට
ඔහු රහත් නැති බව පෙන්වා දෙන්නට
මා දැරූ උත්සාහය ප්‍රමාණවත්.

ඔහු රහත් නැති බව ඔහු දන්නවා.
මම දන්න බවත් ඔහු දන්නවා.
ඒ බව නොදන්නා ලොවට
ඔහු රහත් නැති බව හෙළි කරන්නට
තවදුරටත් වෙහෙස වීම නිශ්ඵල නිසා
දුරු කළ යුතු බාලයෙක් ලෙස සලකා
මා ඔහුගෙන් ඈත්වුණා.

දැන් ඔහු කරන කියන දේ මා දකින්නෙ
අන්තර්ජාලයෙ අහම්බෙන් හමුවෙන දේකින්.
ඔහුගෙ පිරිහීම ඔහුම කරගනීවි.
පිළිමයක් හදා ගැනීම වැනි දේවල්
ඒ පිරිහීම ඉක්මන් කරනවා.
ඔහු කරන්නෙ පල්ල නැති බාල්දියක්
බොරුවෙන් පුරවන්න තැත් කිරීමක්.

ඔහු සමග හෝ ඔහු අදහන පිරිස සමග
දැන් මගේ සබඳතාවයක් නැහැ.
මා පෙර මෙන් ඔවුන් ගැන සොයන්නේ නැහැ.
ඔවුන් මට ලොව අන් සියලු දේ අතර
තවත් එක් සංසිද්ධියක් පමණයි.

ඉතින්...
දැන් මා වෙනස් පුද්ගලයෙක්.

____________________________________

සිරිධම්ම හිමිගේ රහත් බව -:- මා ලියූ ලිපි

දේවාලයේ කපුවාගෙන් දොස්තරට, දොස්තරගෙන් පරිගණකයට.

ආගමත් විද්‍යාවත් අතර වෙනස්කම් තිබුණත්
ආගම අදහන්නාත් විද්‍යාව අදහන්නාත් අතර
ලොකු වෙනසක් නැත.

පොදු ජනතාව අතර
ආගම අදහන්නා මෙන්ම විද්‍යාව අදහන්නාත්
තමන් අදහන දේ ගැන කිසිදු අවබෝධයක් නැති
එකම ආකාරයේ අන්ධ භක්තිකයන්ය.

දෙවියන් වහන්සේ ලෝකය මැවීමත්
විද්‍යාවේ මහා පිපුරුම න්‍යායත්
එකම ආකාරයේ විශ්වාස වුවත් නැතත්
ඒ දෙක අදහන සාමාන්‍ය මිනිසුන්
ඒ දෙකම අදහන්නේ එකම ආකාරයේ
අන්ධ භක්තියකිනි.

විද්‍යාත්මක සොයා ගැනීම් අනුසාරයෙන්
විද්‍යාවට ස්පර්ශ කළ නොහැකි තැන් පිළිබඳ
න්‍යාය, තර්ක සහ වාද මත පදනම් වන
බටහිර විද්‍යාවේ අනුමානත්
තමාට වඩා බලවත් නොපෙනෙන බලවේග මත
දිවි හිමියෙන් යැපෙන බොළඳ මිනිසුන්ගේ
ආගමික විශ්වාසත් අතර ලොකු පරතරයක් නැත.

එමෙන්ම
මිනිසුන්ගේ ඇදහිලි සහ විශ්වාස මත
සිය ජීවිකාව ගොඩ නගා ගන්නා කපුවාත්
විද්‍යාත්මක සොයා ගැනීම් පිළිබඳව
මිනිසා තුළ ඇති විශ්වාසය මත
රෝගීන්ගේ විශ්වාසය දිනාගෙන
ඒ විශ්වාසය මත අනුමාන අනුව
රෝගීන්ගේ රෝග ගැන පරීක්ෂණ පවත්වමින්
තවමත් "ප්‍රැක්ටිස්" කරන දොස්තරලාගේත්
ජීවිකාව සපයා ගැනීම අතර වෙනසක් නැත.

මතුපිටින් බලනවිට
මේ දෙපිරිස එකිනෙකාගෙන වෙනස් වුවද
ඔවුන් මත යැපෙන මිනිසුන්ගේ
නොදන්නා කමේ අසරණ භාවය සහ
ඒ නොදන්නාකම මත
මේ බලවතුන් දෙපිරිස පවත්වන
බලපෑමෙහි වෙනසක් නැත.

කපුවා පූජා වට්ටිය ගෙන දේවාලය තුළට ගිය පසු
ඔහු කරන්නේ කුමක්දැයි බැතිමතා දන්නේ නැත.
දොස්තර ලියා දෙන්නේ කුමක්ද
ෆාමසියෙන් නිකුත් කරන්නේ කුමක්ද යන්න
රෝගියා දන්නේත් නැත.

ආගමිකයන් කපුවා, පූජකයා අදහන අයුරින්ම
රෝගියා දොස්තරද ෆාමසිකරුවාද අදහන්නේය.
කපුවාගේ ගුරුකමක් වැරදී
ආතුරයා මිය ගියොත් කපුවා වග කියන්නේ නැත.
දොස්තරගේ එකම වෙනස නම්
ඔහු වගකීම රෝගියාට හෝ
ඔහුගේ නෑයෙකුට දී අත්සන් ගැනීමයි.
එන්නතක් වැරදී රෝගියා මිය ගියත්
වගකීම ඇපකරුවාටය.

ආගම නියෝජනය කළ කාරුණික පූජකයන්
මිළ මුදලට කෑදර පූජකයන්ගේ
උප්පරවැට්ටි නිසා අතුරුදහන් විය.
සිය වෙදකමට මිලක් නියම නොකළ
කාරුණික වෙදැදුරන් හෙළා දකිමින් ඔහුට හිමි තැන
දොස්තරගේ අභියෝගයට ලක්විය.

ආගමික
පූජකයා මුදලට යටවූ විට ඒ තැන
පූජකයාගේ නියෝජිත කපුවාට හිමිවිය.
කපුවාගේ පූජා වට්ටියට මිල මුදල් අනිවාර්යය.
කෑදර කපුවාට දේවාලය තුළ හිමි තැන
අද කෑදර දොස්තර පැහැරගනිමින් සිටියි.

අද දොස්තරට හිමි තැන සැකයට බඳුන් වී
මතු අනාගතයෙහි ඒ තැන හිමිවන්නේ
ඔහු නියෝජනය කරමින් සිටින
හැඟීම් නැති පරිගණකයටය.
දොස්තර විශ්වාස නොකරන රෝගියා
පරිගණකය අදහයි.
එහෙත් පිටුපස සිටින දොස්තර විසින්
ඒ පරිගණකයට දත්ත කවන්නේ
මුදල් ඉපයීම අරමුණු කරගෙන නිසා
පරිගණකයද මුදල් සොයන යන්ත්‍රයකි.

රෝගියාත් දොස්තරත් අතරට පරිගණකය පැමිණ
තමන්ගේ ලෙඩ දුක් ආදිය සමග
පරිගණකයේ සරණ සොයන අසරණයන් අතර
සුවහසක් රෝගීන් මෙන්ම
පරිගණකයෙන් යැපෙන දොස්තරලාද
අපට දක්නට හැකිවනු ඇත.

ආගමික ශාස්තෲන් වහන්සේලාගේ
සනාතනික දහම විකෘති කරමින්
ආගමික දේශනවලට දත්ත කවා
මිනිසා නොමග යැවූ පූජකයන් මෙන්ම
විද්‍යාත්මක සත්‍යතා අනුව
තම ජීවිකාව රැකෙන අයුරින්
පරිගණකයට දත්ත කවා
රෝගීන් මුලාකරන වෛද්‍ය වෘත්තිකයන්ද
හෙට අපට හමුවනු ඇත.

මේ සූරාකෑම පවතින්නට හේතුවෙන
මූලික වරද කරුවෝ
කපුවා හෝ දොස්තර නොවේ.
ඔවුන් අදහන අන්ධ භක්තිකයන්ය.
තමන් අන්ධ භක්තියෙන් අදහන දේ ගැන
සොයා බලන්නට අවශ්‍යතාවය තිබුණත්
ඒ සඳහා අවසර නැති ආතුරයන් සහ රෝගීන්ට
අකමත්තෙන් වුවත්
ඔවුන්ගේ ගොදුරු වෙන්නට සිදුවෙයි.

අනාදිමත් කාලයක පටන් කෙරෙන
මේ සනාතනික සූරාකෑම
එළඹෙන මතු අනාගතයේද
මේ ආකාරයෙන්ම අසරණයන් මුළා කරමින්
මුහුණුවර වෙනස් වෙමින් පවතිනු ඇත.

__________________________

ආගම කුමක් වුවත්
දහම අනුව පිළිපදිමින්
සිය ජීවිතය යහපත් කර ගනිමින්
ආපසු කිසිත් නොපතමින්
අන් අයද දහමට යොමු කරමින්
ජීවිතය ගත කරන
ආගමික ශ්‍රාවකයන් අතළොස්සත්
තමන් උගත් ශාස්ත්‍රය අනුව
තමාගේ සියලුම ශක්තියෙන්
ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කරමින්
රෑ දිවා නොබලා රෝගීන් අතර වෙසෙමින්
ඔවුන්ගේ හිත සුව පිණිස වෙහෙසෙන
කාරුණික වෛද්‍යවරුන් අතළොස්ස
ත් 
මේ විවරණයට අයත් නොවන
මිහිබට දෙවි වරුන් පිරිසකි.
සමස්ත මිනිස් වර්ගයා වෙනුවෙන්
අපේ උත්තමාචාරය
ඔවුනට හිමිවිය යුතුය.