20160515

පුරුෂයා ස්ත්‍රියට යටත්වෙන බල 5 ක්, බුදු දහමට අනුව,



 මහණෙනි,
ස්ත්‍රියට මේ බල පසෙකි.
කවර පසෙක් ද යත්:
රූපබලය,
භොගබලය,
ඤාතිබලය,
පුත්‍රබලය,
සීලබලය යි.
මහණෙනි, මේ
ස්ත්‍රියගේ බල පස යි.
මහණෙනි මේ බලපසින් යුතු
ස්ත්‍රිය
සැමියා යටත් කොට ගෙන පවතියි.
 
මහණෙනි,
එක් බලයකිනුදු යුතු පුරුෂ තෙමේ
ස්ත්‍රිය යටත් කොට ගෙන පවතියි.
කවර එකෙකින්ද යත්:
ඉසුරු බෙලෙනි.


මහණෙනි,
ඉසුරු බෙලෙන් මඬනා ලද ස්ත්‍රිය
රූපබලය නො ම රකී.
භොගබලය නො ම රකී.
ඤාතිබලය නො ම රකී.
පුත්‍රබලය නො ම රකී.
සීල බලය නො ම රකී යි.

---- අභිභුය්‍ය සූත්‍රය ----

බොහෝ දෙනෙක්
උනන්දු වෙන පැහැදිලි සත්‍යතා කිහිපයක්..
ප්‍රායෝගික ජීවිතය ගැන
බුදුන් වහන්සේගෙ පුළුල් අවබෝධය පෙනෙනවා..
මේ සූත්‍රයෙන්
අපි අලුතෙන් ඉගෙන ගන්න දේ අඩුයි.

මේ සූත්‍රයෙ තියෙන්නෙ
අපිට ඇහේ ඇනෙද්දි නොපෙනෙන දේවල්..
එදිනෙදා අපි අවට සිදු වෙන දේවල්.
අපේ ජීවිත වල
අපි දන්න අයගෙ ජීවිත වල
මේ සත්‍යතා නිතරම අපි දකිනවා.

කාන්තාවන්ට නම්
මේ බාල ගති මතු වෙනකොට
හිත පාලනය කරගෙන
පවුලෙ සාමය රැක ගන්න පුලුවන්.

පිරිමින්ගෙ තුවාලවලට බාම් එකක්.
ඉසුරු නැති පිරිමියා මේ බලවලට යටත්.
 
රූපබලය, භොගබලය, ඤාතිබලය,
පුත්‍රබලය, සීලබලය යි.
මේ ස්ත්‍රියගේ බල පස යි.
මේ බලපසින් යුතු ස්ත්‍රිය සැමියා යටත් කොට ගෙන පවතියි.

අද සමාජයෙ ගැහැණිය ඉසුරු සොයා යන්නෙ
මේ යටත් කමෙනුත් මිදෙන්නයි..


පිරිමියාට ඉසුරු තියනවා නම්
ගැහැනියගෙ බලතල සියල්ලම
අකර්මණ්‍ය වෙලා
ගැහැණිය ඔහුට යටත් වෙනවා..

පිරිමි සල්ලි හොයන්න
අලුත් අලුත් වාහන ගන්න
ලොකු ගෙවල් හදන්න
මැරෙන්න හදන්නෙ
මේ නිසයි..

ගැහැණිය යටත් කරගන්න හිතාගෙන
මුදල් හොයන්න මැරෙන මිනිසා
අනියමින් නැවතත් ගැහැණියට යටත්..


දරුවන් ලොකු වෙන කොට
මව ඒ හයිය අරගෙන
සැමියා යටත් කර ගැනීම
හැම පවුලකම දකින්න ලැබෙනවා.
ඒ ප්‍රවණතාවයෙන් දුක් විඳින
දුර්වල හිත් ඇති සංවේදී පිරිමි
එක්කො දරුවන්ට වහල්ලු වගේ
සේවය කරනවා..
නැත්නං මත්පැනට ඇබ්බැහි වෙනවා.
හොඳ සිහියෙන්
ඒ පරිසරය තුළ ජීවත් වෙන්න
ඔහුට බැහැ.
ඔහුගෙන් ගිළිහුණ ආධිපත්‍යය
මත්පැනෙන් ලැබෙනවා.
නැත්නම් මෝහයට වැටෙනවා.

සිල්වත් ආගමිකයන්
තම තමන්ගෙ ආගමට අනුව
එක අරමුණකට හිත එකඟ කරගෙන
අනික් අරමුණු සියල්ල ඉවත් කරන
සමථයට යොමුවෙලා
මත්පැනෙන් ලබන ප්‍රතිඵල
දෙකම ගන්නවා.

පවුලෙ ප්‍රශ්න වලදි ඇති වෙන කෙලෙස්
සමථ භාවනාවෙන් යටපත් වෙන නිසා
සමාහිත හිතක් ඇත්තෙක්, සාන්තුවරයෙක්
නිවන් මගට පිළිපන්නෙක් විදියට
පවුලෙ ගරු සරු ලබනවා.

ඉඳහිට ආවේග ඇවිත් කට වැරදුණාම
ඒ සිතිවිලි වලට බැඳීමක් නැතුව කිව්වා වගේ
දහමක් වගේ පෙනෙන පාඨයක් දෙසලා
ප්‍රශ්නයෙන් දුක් විඳින පවුලෙ අය මුලා කරලා
බොරුවෙන් නිරුවත වහ ගන්නවා.

එහෙම නැත්නම් ප්‍රශ්න ඇති වෙනකොට
අතීතයත්, අනාගතයත්
ඇතුළෙත් පිටත් සිදු වෙන වෙනස අමතක කරන්න
තමන් හුරුවුණ සමථ ක්‍රමය අනුගමනය කරලා
ඒ ක්‍රමයෙ පිහිටෙන් හිත ශූන්‍ය කරගෙන
ඇත නැත දෙකම නැතුව ආත්මය සමතුලිත කරගෙන
සියලු ප්‍රශ්න වලට මෝහයෙන් වෙසෙනවා.

විපස්සනා වඩන ආර්ය ශ්‍රාවකයන්
ජීවිතේ ප්‍රශ්න වලින් කයෙහි වෙන වෙනස්වීම්
මොහොතින් මොහොතට සිහියෙන් දකිමින්
ඒ අප්‍රසන්න වෙනස් වීම වලට
තවත් ද්වේශය ඇති කර නොගෙන
ඇතිවෙන ද්වේශයට උපේක්ෂාවෙන්
මේ සත්‍යය දකිමින් සැනසිල්ලෙන් ඉන්න අතරෙ
උදාවෙන ප්‍රශ්න සිහියෙන් සහ උපේක්ෂාවෙන්
විසඳා ගන්නවා.
ඔහුට මේ ප්‍රඥාව පහළ වෙනවා.