20170829

අපොස උසස්පෙළ විභාග මගඩිය මහා පරිමාණ ජාවාරමක්???

රජයේ වෛද්‍යවරයෙක්
රජයේ වෛද්‍ය විද්‍යාලයට
කෙසේ හෝ
දරුවා ඇතුළු කරගන්නට සිතා
මුදලට අධ්‍යාපනය ගන්නට දියත් කල
නව පන්නයේ මෙහෙයුමක තොරතුරු
පසුගිය දිනවල හෙළිවිය.

[ අදාළ ප්‍රවෘත්තිය ලිපිය අවසානයේ..]

රජයේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු
චැනල් කඩ සහ පුද්ගලික රෝහල් කඩ මගින්
මුදලට වෛද්‍ය අධ්‍යාපනය විකිණීම
කරගෙන යන බව මුළු රටම දනියි.

මේ රජයේ වෛද්‍ය සංගම් වෛද්‍යවරයා
තමන්ගේ අදක්ෂ දරුවාට නුසුදුසු
ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගන්නට
තාක්ෂණික උපකරණ භාවිතා කරමින්
මුදලට අධ්‍යාපනය ගන්නට
සුපිරිසිදු වාණිජමය මෙහෙයුමක්
තාක්ෂණික දියත් කළේය.

මේ වෛද්‍යවරයාත් අදාළ ප්‍රශ්නවලට
පිළිතුරු නොදන්නා බව මින් හෙළි වෙයි.
ඔහු අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දන්නවා නම්
ටියුෂන් ගුරුවරුන්ට මේසා විශාල මුදලක්
මේ පිළිතුරු වලට ගෙවන්නට අවශ්‍යද?

මේ වංචනික වෛද්‍යවරයාද
උසස්පෙළ සමත්වන්නට ඇත්තේ
වෙනෙකෙකු විභාගයට වාඩි කිරීම වැනි
වංචනික සහ සාවද්‍යවූ
පැරණි පන්නයේ ක්‍රමයකින් විය හැක.
අසම්පූර්ණ වෛද්‍ය අධ්‍යාපනයකින් පසු
ඔහු ප්‍රතිකාර කරන රෝගීන්ගේ ජීවිත
අනතුරේ බවට අපට සැක කළ හැක.

මෙවැනි වෛද්‍යවරුන් පිළිබඳව සොයා බලා
ලියාපදිංචිය අවලංගු කිරීම සඳහා
නීති ක්ෂේත්‍රයේද පුද්ගලයින් සහිතව
වෛද්‍ය සභාවත් වගකිවයුතු ආකාරයේ
වෛද්‍ය කොමිසමක් පත් කළ යුතුය.

මුදලට අධ්‍යාපනය ලබන
මෙවැනි වංචනික වෛද්‍යවරුන් බිහි වන විට
රෝගී ජීවිත අනතුරේ බව පැහැදිළි සත්‍යයකි.

ටියුෂන් ගුරුවරයාගේ මෝඩකම සහ
ඔහුගේ අසීමිත කෑදරකම නිසා
මේ විභාග වංචාව අද මෙසේ හෙළි වුණත්
අද ඊයේ ඇරඹුණා විය නොහැක.
මේ තාක්ෂණික උපකරණ තරම්ම පැරණි
මහා පරිමාණ ජාවාරමක් විය හැක.

වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින අසාමාන්‍ය එකමුතුකම මත
විශාල සංඛ්‍යාවක් දරුවන් මේ පිහිට ලබන්නට ඇත.

ප්‍රශ්න පත්‍රය ලබාදීම එක සිසුවෙක් කළ නමුත්
මේ පිළිතුරු බෙදා හැරීම සාමූහිකව සිදුවූ
පුළුල් වංචනික ක්‍රියාවක් විය නොහැකිද?

මේ උපකරණය කණේ සවිකර ඇත්නම්
ලංකාව පුරාම විසිරුණ පාසල් සිසුන් දහස් ගණකට වුව
එක් අයෙකුට කියන පිළිතුරු වලට සවන්දිය හැක.

වෛද්‍යවරුන් සහ වෙනත් ධනවතුන්ගේ දරුවන් සතුව
මේ ටියුෂන් ගුරුවරුන්ගේ පංතිවල සිසුන් සතුව
මේ උපකරණය තිබුණාද කියා පොලීසිය සෙවිය යුතුය.

මේ සිසුවාගේ පිළිතුරු පතට
වාචිකව සමාන කම් දක්වන
වචන සහ කරුණු පෙළ ගැස්වීම අතින්
පැහැදිලි සමානකම් දක්වන සියල්ලන්ම
මෙහිදී සැක කිරීම වරදක් නොවේ.

නිදහස් අධ්‍යාපනය රැකගන්නට
උද්ඝෝෂණ කරන වෛද්‍ය සිසුන් අතර
මේ ක්‍රමයට සමත් වූවන් කීදෙනෙක් සිටීද?
අද සිටින එකම වෛද්‍ය ශිෂ්‍යයෙක් හෝ
මේ ක්‍රමයෙන් නොපැමිණි සැබෑ දක්ෂයෙක් කියා
අපට පිළිගත හැකි සාක්ෂි මොනවාද?

මේ උපකල්පන බිඳින්නට
ඔවුන් සතුව ඇති සාක්ෂි මොනවාද?

විද්‍යා අධ්‍යාපනය මිළට ගැනීමට
ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ක්‍රියා කළ
ටියුෂන් ගුරුවරුන් සතුව තිබී සොයා ගත්
රු දසලක්ෂයේ මුදල ඒ සිසුන් සියල්ලන්ගේම
දෙමාපියන්ගේ සම්මාදමක් විය හැක.

ටියුෂන් ගුරුවරු අතුරුදහන් වූයේ කෙසේද?
අතුරු දහන් වුණාද? අතුරු දහන් කළාද?

මේ ධනපති වංචනිකයන්ගෙන්
සැබෑ දක්ෂ සිසුන් බේරා ගන්නට
රජය ගන්නා තාක්ෂණික ක්‍රියා මාර්ගය කුමක්ද?
ඒ ක්‍රියාමාර්ගයත් තම වාසියට මිලදී ගන්නට
ධනවතුන්ට නොහැකි වේද?

දක්ෂ දුප්පත් සිසුන්ගේ අවස්ථාව
ධනවතුන් යොදන උප්පරවැට්ටි වලින්
පැහැර ගැනීම වළක්වන්නට
රජයේ වෛද්‍ය සංගමය ඉදිරිපත් වෙනවාද?

රජය කුමන ක්‍රියා මාර්ග ගත්තත්
මේ වෛද්‍යවරයා රැක ගන්නට කළ හැකි
සියල්ල නොපිරිහෙළා ඉටු කරන්නට
රජයේ වෛද්‍ය සංගමය ඉදිරිපත්වනු ඇත.

මුදල් හමුවේ නීතිය අසරණ නම්
මේ ගුරුවරු දෙදෙනාත්, වෛද්‍යවරයාත්
සිසුවාත් නිදහස් වීමට නියමිතය.

මුදලට ගත් අධ්‍යාපනයෙන්
AAA ගෙන උසස්පෙළ සමත්වන මේ සිසුවා
රජයේ වෛද්‍ය පීඨයක මුල් 40%න් ඇතුල් වී
මේ ආකාරයටම වෛද්‍ය විද්‍යා පීඨ වල
සියලු විභාගද සමත් වනු ඇත.

මේ සිසුවාත්
ඔහු සමග එක් වෙන සිසුන් පිරිසත්
අවසන් විභාගයේ බහුවරණ ප්‍රශ්න වලට
ලකුණු සියයම ගනු ඇත.

ලංකාවේ විභාගවලින් සමත් වෙන සිසුන්
ඔවුන්ගේ අධ්‍යාපන සහතිකයෙන් මැනිය නොහැකි
දියුණු තාක්ෂණික යුගයක් අප ඉදිරියේ ඇත.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

කැමරාව බොත්තමක - ස්විචය පාදයේ -
ශ්‍රවණ උපකරණය කනේ

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා පාදයෙන් ක්‍රියා කරන කමිස බොත්තමක සවි කළ කැමරාවක ආධාරයෙන් ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් සිය නිවසේ පරිගණයකයට යවා ඇත. සිසුවාගේ නිවසේ සිටි ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයා සහ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා කනේ සවි කළ උපකරණයෙන් ඊට පිළිතුරු කියා දී ඇත.

විභාගයට පෙර අදාළ ටියුෂන් ගුරුවරු දෙදෙනා බොරැල්ලේ කොටා පාරේ පිහිටි වෛද්‍යවරයාගේ නිවසට ගොස් මෙම ක්‍රමය අත්හදා බලා තිබේ. සිසුවා එම නිවසේ උඩු මහළට ගොස් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් ලියන අතරතුර මෙම උපකරණය ආශ්‍රයෙන් එහි ඡායාරූප  බිම් මහලේ ඇති පරිගණකයට එවා  පහළ මහලේ සිටි ටියුෂන් ගුරුවරු දෙදෙනා එහි පිළිතුරු කියාදෙමින් තාක්ෂණික උපකරණයේ ක්‍රියාකාරිත්වය දින කිහිපයක් අත්හදා බලා ඇත.

දරුවාගේ පියා වන පොලිස් රෝහලේ වෛද්‍යවරයා ඇමෙරිකානු ඩොලර් 900කට (රුපියල් 137700) එම තාක්ෂණික උපකරණ මිලට ගෙන ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පතින් ඒ සඳහා ගෙවීම් කර ඇත.

විභාගයේදී සිසුවාට පිළිතුරු කියාදීම වෙනුවෙන් රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාට රුපියල් දස ලක්ෂයක මුදලක් ලබා දී ඇතැයි ද, එයින් රුපියල් නව ලක්ෂ අනූ දහසක් ගුරුවරයාගේ නිවසේ ඇඳක් යට තීබී සොයාගත්තේයැයි ද පොලිසිය පවසයි.

රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාගේ පියා, සහෝදරයෙක් සහ අනුමාන ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කළ බව කියන මුද්‍රණාලයක පුද්ගලයෙක් සහ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවා සහ සිසුවාගේ පියා ද මේ වන විට රිමාන්ඩ් බාරයේ සිටිති.

විභාගය අතරතුරදී සිසුවාට උදව් කළ බව කියන ටියුෂන් ගුරුවරුන් දෙදෙනා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
-ලංකාදීප ඇසුරෙන්

"ඔබ ගබ්සා කරනවාද?" මගේ (වයස 9) දියණියගේ පිළිතුර



මගේ දියණියගේ වයස 9යි.

ඇය කියන වචන
සොබා දහම විසින් ඇයට දුන්
මාතෘත්වයේ ප්‍රකාශනයක්.

video

ගබ්සාව කියන්නෙ කුමක්දැයි
සාමාන්‍ය දැනීමක් දියණියට තියනවා.

සොබා දහම විසින් ඇයට දුන්
මාතෘත්වය දරාගෙන
දරුවන් උපදින වීඩියෝ
ඇය නරඹා තියනවා.

මගේ දියණිය ඉපදුණේ
රෝහලට යන ත්‍රී වීලරයෙදි
මගේම අතටයි.
ඒ සිදුවීමත් නැවත නැවත අහලා
ඇය සම්පූර්ණයෙන්ම දන්නවා.

ළදරු වියේදීම
නළවන්න බෝනික්කෙක්වත් සොයන
ගැහැණියකගේ දරු සෙනෙහස
සොබා දහමෙන්ම දීලයි තියෙන්නේ.
අපි කළ යුත්තේ පෝෂණය කිරීමයි.

ළදරුවා මරන්නට පෙර
සොබා දහම විසින් ඇයට දුන්
ඒ සෙනෙහස, ඒ සිහිය මැරිය යුතුයි.

සෙනෙහෙබර මවක් වෙන්නට
සැරසී සිටින නොමේරූ යුවතියක්
කුසේ සිටින දරුවාත් නොදන්න
අව සිහියෙන් වියරු වී සිටින
මිනීමරු ගැහැණියක් කරන්න
කුරිරු ලෝකය සමත් වෙනවා.

ඔබ හිතනවාද
දරුවෙක් ගබ්සා කරන්න තීරණය කරන
ගැහැණියකට තමන්ගෙ දරුවා ගැන
ඒ වෙලාවට සිහිය තියනවා කියලා.

මෙලොව පහල වෙන කිසිම මවක්
ඒ තීරණය තනිවම ගන්නෙ නෑ.
බාහිර බලපෑම් නිසා ඇයට
දරුවා ගැන සිහිය නැති වෙනවා.

එවෙලෙම උපන් දරුවෙක්
එක මොහොතකට මව අතට දුන්නොත්
ඇය නොමරා දරුව මරන්න ලැබේවිද?

ඇයගේ ඒ සිහිය නැති කරන්නෙ
ඇගේ වැඩිහිටියන් විසින් සහ
ඇය ගබ්සාවට පොළඹවන
වෛද්‍යවරයා විසිනුයි.

ඔවුන් මවත් දරුවාත් අතර
ස්වාභාවික බැඳීම බිඳින්න
වචන භාවිතා කරනවා.

මවත් දරුවාත් අතර
ස්වාභාවික බැඳීම
වචනවලින් ශක්තිමත් කරන්න පුලුවන්.

මගේ දියණිය කියන වචන
සොබාදහමට එකඟයි.

ගබ්සාව සොබා දහමට විරුද්ධයි.

මගේ දියණිය කියන වචන
සොබා දහම විසින් ඇයට දුන්
මාතෘත්වයේ ප්‍රකාශනයක්.
ඒ වචන අලුතෙන් ඇයට දෙන්න
වෙන කෙනෙක් අවශ්‍ය නෑ.

ඒත් ගබ්සාවට කෙනෙක් පොළඹවා ගන්න
කෲර ලෝකයක පෙළඹවීමක් අවශ්‍යයි.
ප්‍රාණයක අගය නොදැනෙන තරම්
රළු, කෲර හිත් අවශ්‍යයි.

සොබා දහමේ තියන සොඳුරුම සහ
ප්‍රබලම බැඳීම බිඳින්න
කෲර මිනිසුන්ගෙ වචන වලට පුලුවන්.

කවදා හරි ඒ කුරිරු වචන
මගේ දියණියට මතුරන විෂඝෝර යකැදුරන්ට
ඇගේ මේ සිතුවිලිත් සමග ගැටෙන්න වෙයි.
එදාට ඒ මොහොතට මුහුණ දීමට
ඇගේ දරුවා බේරා ගන්න හැකිවෙන්න
දියණිය සවිමත් කරන්නට ක්‍රියා කිරීම
ඇගේ දෙමාපියන්ගේ වගකීමයි.

අද පරිසරය විෂ සහිතයි.
ඒ විස නැසීමට නොහැකි වුණත්
ප්‍රතිශක්තිය දීම අපේ වගකීමයි.

අනිවාර්යයෙන්ම
දියණියගේ අදහස් වලට
අපේ සිතුම් පැතුම් බලපානවා.

අපි ගබ්සාව නිවැරදියි කියා හිතන
දෙමව්පියන් වුණා නම් සමහර විට
ඇයත් එහෙම හිතන්න පුලුවන්.

එහෙම නොවෙන්නත් පුලුවන්.

අපි සියලු දෙනාම ගබ්සාවට කැමති වුණත්
ඇය විරුද්ධ වෙන්නත් පුලුවන්.

අපේ මේ ජීවිතය කියන්නෙ
දිගු සසරේ එක මොහොතක් විතරයි.
මේ ජීවිතයෙ සිතුම් පැතුම් වලට
පෙර සසර බලපානවා වගේම
මේ ජීවිතයෙ සිතුම් පැතුම්
මතු සසරටත් බලපානවා.

දෝණි
ස්වභාවයෙන්ම සතුන්ට ආදරෙයි.
ඒ කරුණාවට වඩා හිතවත්කමක්.

පුංචිම කාලේ මැස්සෙක් වැහුවත්
"ඌ ආවෙ මට ආදරේට" කියලයි කියන්නෙ.

මාතොටින් එන උතුරු හුළඟේ
ගීතය තෝරලා දුන්න දවසෙ
අවුරුදු පහක් වයසැති දෝණි
අඬ අඬා ගීතය කීප වරක් අහල
නිදාගන්න ගිහිනුත් ඉකිබිඳිමින්
යලිත් වාදනය කරන්න කිව්වා..

තමන්ගෙ කුසේ ඉන්න දරුවෙක් මරන්න
සංවේදී හිතකට බැහැ.

ගබ්සාවක් කියන්නෙ
හොඳින් ඇස් පෙනෙන වෛද්‍යවරයෙක්
කාන්තාවක් අන්ධ කරලා කරන
කුරිරු මිනිස් ඝාතනයක්.

දරුවා ඉපදුණාට පස්සෙ
අම්මා අතට දීල මරන්න ඉල්ලුවොත්
ගබ්සා කරන අම්මලාගෙන්
සියයට අනූ නවයක්ම කැමති වෙන්නෙ නෑ.

මිනිසුන් බහුතරයක් වෙසෙන රටක
ගබ්සාවට අවසර ලැබෙන්නෙ නැහැ.

ඒත් අපේ සමාජයේ මිනිසුන් විරලයි.
මිනිස්කම යටපත් වූ තිරිසනුන් බහුලයි.

මේ වීඩියෝවට මූලාශ්‍රය වුණේ
ෆේස් බුක් සමූහයක සංවාදයක්.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
Kasun J--------- (මෙසේ කිසි දිනෙක සිදු නොවේවයි පතමි),
ඔබේ දියණියට අතවරයක් වී එයින් දරු ගැබක් හට ගත්තොත්,
ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ?

Athula S--------- අතවරය කළ තැනැත්තාට
නීතියෙන් දිය හැකි උපරිමය ලබා දෙන්නට ක්‍රියා කරනවා.
දියණිය සම්බන්ධව සොබා දහමේ විසඳුම භාර ගන්නවා.

දරුවා කෙසේ හෝ ජීවත් විය යුතුයි.
දියණිය අතේ යම් වරදක්,
පෙළඹෙන හැසිරීමක් වැන්නක් තිබුණත්
දරුවා ඒ කිසිවකට සම්බන්ධ නෑ.
ඔහුට සම්පූර්ණ ජීවත් වීමේ අයිතිය තියනවා.

Kasun J--------- හරිම මානුෂික තීරණයක් අරගෙන තියෙනවා..
දැන් ඔබේ දියණිය කියනවා ඇයට මේ දරුවා අවශ්‍ය නෑ..
දරුවා හම්බුණත් ඇය හදන්නේ නෑ...
දැන් ඔබ මොකද කරන්නේ ..?

Athula S---------.
නිදහස් කාන්තාවක් විදියට
දියණිය කැමති තීරණයක් ගන්න කියනවා.
ඇගේ තීරණය ගබ්සාව නම්
ඇය ගෙදරින් යවනවා.

තවත් මිනිස් ජීවිතයක
වටිනාකම නොදන්නා ගැහැණියක් සමග
එක වහලක් යට ජීවත් වීම භයානකයි.
ඇයට ඇය හැරෙන්නට
කුසේ ඉන්න දරුවාවත් දැනෙන්නෙ නෑ.
ඇය දියණියක් ලෙස මම සලකන්නෙ නෑ.

අවම වශයෙන් මෙලොවට බිහි වෙන තුරුවත්
ඒ දරුවා රැක ගැනීමට වගකීමක්
නිතැතින්ම ඇයට තියනවා.

ඒ ළදරුවාත්, සොබා දහමත්
ඇය විශ්වාස කරනවා.

ඔබ නිසා මම දියණියගෙන් ඒ ප්‍රශ්නය ඇහුවා.
ඇය මොන හේතුවක් මතවත්...
ඇය මැරුණත් දරුවා නැති කරන්නේ නෑ.
මම ඇගේ පිළිතුරු රෙකෝඩ් කළා..
පළකරන්නම්.

Kasun J---------
හා.. පළ කරන්න..

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ඇගේ මේ අදහස්
ඇගේ චිත්ත සන්තානය නම්
එවන් දියණියක ලද හෙයින් නිවුණෙමි.



20170828

කාලෝ ෆොන්සේකා "කතරගම දෙවියො නෑ" කියන අන්ධ භක්තිකයෙක්.


''දෙවියො ඉන්නවා'' කියල කියන්නෙ
දෙවියො ඉන්නවද නැද්ද කියා
නොදන්න මිනිස්සු පිරිසක්..
ඔවුන්ගෙ ළඟ සැකයක් තියනවා.
ඔවුන් ඒ සැකය තර්ක කරල
නැති කරගන්නවා.

කතරගම එන්නෙ දෙවියො සැක කරන පිරිසක්.

ඔවුන්ගෙ භක්තිය නිසාම දෙවියො
ඔවුන්ට විශේෂයෙන් සලකනවා නම්
ගෙදර හිටියත් පිහිට ලැබෙන්න ඕන.
ඔවුන්ට දෙවියො සැකයි..
ඔවුන්ගේ භක්තියත් සැකයි.

ඔවුන් දෙවියන්ට පොඩි පූජාවක් කියලා
ලොකු දෙයක් භාර වෙනවා.
"අරක දුන්නොත් මේක දෙන්නම්"
ඔවුන් පොරොන්දු වෙනවා.
ඔවුන්ටත් දෙයියො ෂුවර් නෑ.

හිතන දේ ලැබුණොත් භාරෙ ඔප්පු කරනවා.
හිතන දේ නොවුණොත් දෙවියො අත් හරින්නෙ නෑ.
තමන්ගෙ අඩුපාඩුවක් නිසා දෙවියො දුන්නෙ නෑ කියල
තමන්ට වරද පටවාගෙන
දෙවියො නිදොස් කොට නිදහස් කරනවා.

ඔවුන් අන්ධයි.
දෙවියො ඉන්නවා කියා නිශ්චිතව දන්නෙ නෑ..
කාගේ හරි තර්ක අනුව ඉන්නවා කියා
දෙවියො ඉන්නවා කියා විශ්වාස කරනවා.

දෙවියෝ නෑ කියන්නෙත් අන්ධයෝ.
ඔවුනුත් දෙවියො නෑ කියා ඔප්පු කරගන්න
නොයෙක් විකාර වැඩවල යෙදෙනවා.
විකාර වැඩ කරන අය අදහනවා.
කාලෝත් ඒ වගේ අන්ධයෙක්.
විකාර වැඩ කරන අන්ධයෙක්.

2
'දෙවියො නෑ' කියල කියන්නෙ
දෙවියො ඉන්නවද නැද්ද කියා
නිශ්චිතව දන්න මිනිස්සු නොවෙයි.

ඔවුනුත් සැකයක් තියන අන්ධයො පිරිසක්..

'දෙවියො නෑ' කියල කියන්න
ඔවුන්ටත් ඔවුන්ගෙ තර්ක තියනවා.
'ඉන්නවා' කියන තර්ක වගේම
'නෑ' කියන තර්කත් තියනවා.
තර්ක විතරයි.
ප්‍රත්‍යක්ෂයක් නෑ.

සමහර අන්ධයෝ 'ඉන්නවා' කියන්න
ඔවුන්ගේ විශ්වාස අනුව පරීක්ෂණ කරනවා.
ගිනි පාගනවා, කාවඩි නටනවා..
උල් කටුවලින් එල්ලිලා යනවා.

ඒ මිනිස්සුත් කරන්නෙ පරීක්ෂණ.
ඒ පරීක්ෂණ අනුව ඔවුන් නිගමනවලට එනවා.
හැම වෙලාවෙම නිගමනය වෙන්නෙ
"ඔව්. දෙවියො ඉන්නවා" කියලයි.
ඔවුන්ගේ අන්ධ විශ්වාසය
ඔවුන් තහවුරු කර ගන්නවා.
ඒ පරීක්ෂණ විද්‍යාත්මක නෑ.
ඔවුන් පරීක්ෂා කරන්නෙ සංකල්පයක්.

පරීක්ෂණ කරන්නෙ
උපකල්පනයක් තියන මිනිස්සු.
කාලෝට දෙවියො නෑ කියල
උපකල්පනයක් තියනවා.

කාලෝත් කරන්නෙ පරීක්ෂණයක්..
ඔහුගේ විශ්වාසය අනුව ඔහු පරීක්ෂණ කරනවා
ඔහුටත් තහවුරු කරගන්න ඕන දෙවියො නෑ කියල.
ඔහුත් නිශ්චිතව දන්නෙ නෑ..
"දෙවියො ඉන්නවා" කියන අන්ධ භක්තිකයො
නොයෙක් පූජා භාණ්ඩ අරගෙන යද්දි
කාලෝත් "දෙවියො නෑ" කියන භක්තියට අනුව
අරක්කු, ඌරු මස් අරගෙන කතරගම යනවා.
දෙගොල්ලම යන්නෙ තමන්ගෙ විශ්වාසය
තහවුරු කරගන්නයි.

මොනවා අරගෙන ගියත්
කතරගම දෙවියො ඉන්නවද නැද්ද කියා හොයන්න
කතරගම යන ඔක්කොම මිනිස්සු
එක වගේම අන්ධයෝ පිරිසක්.

කාලෝත් කරන්නෙ පරීක්ෂණ.
ඒ පරීක්ෂණ අනුව කාලෝ නිගමනයකට එනවා.
හැම වෙලාවෙම නිගමනය වෙන්නෙ
"ඔව්. දෙවියො නෑ" කියලයි.

ඔහුගේ අන්ධ විශ්වාසය
ඔහු තහවුරු කර ගන්නවා.
ඒ පරීක්ෂණ විද්‍යාත්මක නෑ.
ඔහුත් පරීක්ෂා කරන්නෙ සංකල්පයක්.

අර මිනිස්සු ඔවුන්ගේ  පරීක්ෂණ අනුව
"ඉන්නවා"නිගමනවලට එනවා.
කාලෝගේ  පරීක්ෂණ අනුව
"කෝ දෙවියො නැහැනෙ" කියන නිගමනයට
කාලෝ එනවා.

ඔවුන් ඉන්නවා කියා දක්කෙත් නෑ..
කාලෝ නෑ කියා දැක්කෙත් නෑ.
ඉන්නවා කියන මිනිහත් අන්ධයි.
නෑ කියන මිනිහත් අන්ධයි.

3
දෙවියො ඉන්නවා කිව්වත් නෑ කියා කිව්වත්
ඒ දෙක සඳහාම කරන පරීක්ෂණ
වර්ග දෙකම විද්‍යාත්මක නෑ.
ඔවුන් දෙගොල්ලොම පරීක්ෂා කරන්නෙ
ලෝකෙ පවතින සංකල්පයක්.

අන්ධයො දෙගොල්ලම අඳුරු අතපත ගාමින්
වාද කරනවා, තර්ක කරනවා.
දෙවියො ඉන්නවා කියල දකින කෙනෙකුත් නෑ.
දෙවියො නෑ කියල දකින කෙනෙකුත් නෑ.
කාලෝ හිතනවා,
කතරගම දෙවියො ඉන්නවා නම්
අරක්කු බීල ඌරු මස් කෑල ගිනි පෑගුවාම
මොනවා හරි නරකක් වෙන්න ඕනෙ කියා
මිනිස්සු කියන කතාව බොරු කියලා.

කාලෝ එහෙම කරලත් බලනවා.
අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුවා...
ඔහුට මිනිස්සු කියන විදියෙ දේවල් වෙලා නෑ.
ඔහු හොඳින් ඉන්නවා වගේ පෙනෙනවා.

කතරගම ගිහිං
අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුවාම
මිනිස්සු වෙනවා කියන අනතුරක්
කාලෝට මෙතෙක් වෙලා නෑ කියල ඔහු කියනවා.

"මේ දක්වා මට කිසිම අනතුරක් කරන්න
කතරගම දෙවියන්ට බැරි වුණා"

ඔහුට වෙන කිසිම නරකක් වෙලා නැද්ද?
එහෙම වෙන්න බෑ.

ඒත් කතරගම ගිහිං
අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුව නිසා
වෙන මොනවා හරි නරකක් වුණා නම් අපි දන්නෙ නෑ.
වෙන මොනවා හරි නරකක් වුණා නම් ඔහු දන්නෙත් නෑ...
අර මිනිස්සු දන්නෙත් නෑ.
එහෙම වුණා නම් දෙවියො ඉන්නවා කියන්න පුලුවන්ද?
ඒ නරක වුණේ දෙවියන්ගෙන් නොවෙයි කියන්න පුලුවන්ද.?
ඒ නරක වුණේ දෙවියන්ගෙන් කියන්න පුලුවන්ද.?

මම වගේ කෙනෙක්
අරක්කුත් බීල ඌරු මසුත් කාල ගිනිත් පෑගුවා නම්
ආයෙ කවුරුවත් මොකුත් අමුතුවෙන් කරන්න ඕන නෑ.
ඒ විඳින වද වේදනා හොඳටම ඇති.
විෂ්ණු බටකොළ කෑවා වගෙයි.

පාදෙණියට අනුව වසර පහක් කාලෝ සභාපති.
ඒත් ඔහුට සභාපති කම නැති වුණා.

දේව භක්තිකයෝ කිව්වොත් සභාපති කම නැති වුණේ
''කාලෝ අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුව නිසා'' කියලා
නාථ දෙවියො පිළිගන්න පාදෙණිය වුණත්
ඒ මිනිස්සු කියන එක  පිළිගනීවි.

නාථ දෙවියො නෑ කියලා පාදෙණියට පිළිගන්වන්න
කාලෝ ෆොන්සේකාට පුලුවන්ද?

නාථ දෙවියො ඉන්නවා කියලා
කාලෝ ෆොන්සේකාට පිළිගන්වන්න
පාදෙණියට පුලුවන්ද?

කාලෝ අද ඉන්නෙත් එදා උන්න තැනමයි.
ඔහු ඔප්පු කළ දෙයක් නෑ.
කතරගම දෙවියො නෑ කියා
ඔහු ඔප්පු කරලා නෑ.

4
කාලෝගෙ මේ පරීක්ෂණයෙන්
ඔප්පු වෙන්නෙ එකම දෙයයි.
අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුවාට
මිනිස්සු කියන විදියෙ හානියක් වෙන්නෙ නෑ.

කාලෝ පරීක්ෂා කරන්නෙ ඒ ප්‍රකාශය විතරයි.
කතරගම දෙවියො නෑ කියා ඔහු ඔප්පු කරලා නෑ.

ඒත් ඒ කතාව බොරු වුණා කියලා
''කතරගම දෙවියෝ ඉන්නවා'' කියල හිතන මිනිස්සු
අබමල් රොණකින්වත් වෙනස් වෙන්නෙ නෑ..

ඒ මිනිස්සු කාලෝට කියාවි...
"හරි කාලෝ, ඒ කතාව බොරු තමයි..
ඒත් අනික් කතා ඔක්කොම ඇත්ත"
කාලෝට කට උත්තර නැති වෙනවා.

ඒ එක එක්කෙනාට දෙවියො ඉන්නවා කියන්න
ඕන තරම් හේතු තියන දිග ලැයිස්තු තියනවා.

ඔහුට ඒ කතා එකින් එක බොරු කරන්න වෙනවා.
කාලෝගෙ ජීවිත කාලෙත් මදි වේවි.

කාලෝ මහාචාර්ය වුණා කියලා
උපන් ගෙයි මෝඩකම් නැති වෙන්නෙ නෑ.
මේ කතාවත් මේ වැඩෙත් අමු මරි මෝඩ වැඩක්.
මේ වගෙ මෝඩ වැඩක් කරන්න
මහාචාර්ය කෙනෙක්ම වෙන්න ඕන.
අපි ඔය තැනට වැටෙන්නෙ නෑ.

මිථ්‍යා විශ්වාස බොරු බව
කවදාවත් ඔප්පු කරන්න බැහැ.
අන්ධයෙකුගෙ අඳුර නැති කරන්න බෑ.

මේ වගේ විශ්වාසයක් ගත්තාම
කාලෝ ෆොන්සේකාත් හැසිරෙන්නෙ අන්ධයෙක් වගේ.

ඔහුත් අර අන්ධයො ඉන්න තැනම තමයි ඉන්නෙ.

අනිත් අන්ධයෝ
''දෙවියො ඉන්නවා'' කියලා විශ්වාස කරනවා.
අන්ධ කාලෝ ''දෙවියෝ නෑ'' කියල විශ්වාස කරනවා.

''දෙවියෝ නෑ'' කියලා දෙගොල්ලටම
නිශ්චිතව පෙනෙන්නෙ නෑ.

දෙවියො විශ්වාස කරන අයට
''දෙවියො ඉන්නවා'' කියලා තර්ක තියනවා.
කාලෝටත් ඒ වගේම ''දෙවියො නෑ'' කියල
ඔහු හදාගත් තර්ක තියනවා.

'දෙවියො ඉන්නවා' කියන මිනිස්සුත් එක්ක
මුළු ජීවිතේම ගැටුම් ඇති කර ගත්තත්
ඔවුන්ගෙ අන්ධ භාවය නැති වෙන්නෙත් නෑ...
කාලෝගෙ අන්ධ භාවය නැති වෙන්නෙත් නෑ.

''දෙවියෝ නෑ'' කියලා දෙගොල්ලටම
නිශ්චිතව පෙනෙන්නෙ නෑ.

5
කාලෝ තරුණ වයසෙ ඉඳලා
මේ දක්වා මුළු ජීවිතේම උත්සාහ කළත්
තව කල්ප ගාණක් උත්සාහ කළත්
ආකිමිඩීස් ''යුරේකා'' කියාගෙන දිව්වා වගේ
ජයග්‍රාහී අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

කාලෝ ''දෙවියො ඉන්නවා'' කියලා විශ්වාස නොකළාට
විශ්වාස කරන මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.
ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ කාලෝටයි.

ඔහුට මහාචාර්ය කමක් තියන නිසා
ඒ මහාචාර්යකම මත ඔහු විශ්වාස කරන
කතරගම දෙවියන්ගෙ ගෝලයෝ වගේ
අන්ධයන් පිරිසක් ඔහු පසු පස යනවා.
ඒ පිරිස සනසන්න ඔහු ඒ මහාචාර්ය කම
පොලිෂ් කරන්න මේ වගේ මෝඩකම් කරනවා.

අඳුරත් එක්ක පොර බදලා අඳුර නැති කරන්න බෑ.
අඳුර නැති කරන්න නම් ආලෝකය අවශ්‍යයි.

ආලෝකය ගෙනාවම අඳුරෙ ඉන්න
ඇස් ඇති මිනිස්සු සත්‍යය පසක් කරනවා.

කතරගම දෙවියෝ හිටියත් එකයි නැතත් එකයි.
ඉන්නවා කියල හිතන අන්ධයො ඉන්නවා කියපුවාවෙ.
නෑ  කියල හිත අන්ධයො නෑ කියපුවාවෙ.
කවුරුවත් දෙවියෝ ඉන්නවා කියල දැකලත් නෑ.
දෙවියෝ නෑ කියලා දැකලත් නෑ.

දෙවියෝ ඉන්නවාද නැද්ද කියා දනගන්න
මේ ලෝකෙ තියන එකම ක්‍රමය විපස්සනාවයි.
විපස්සනා වඩන කෙනෙකුට තමන් හරියට පෙනෙද්දි
"මම" කියන්නෙ කවුද කියල දකිද්දි
දෙවියො නෑ කියල පෙනෙනවා.
දෙවියෝ කියන්නෙ මොනවටද කියා පෙනෙනවා.

කාලෝ අන්ධයෙක් නොවෙන්න පුලුවන්.
ඔහුත් අනික් අය වගේම අඳුරෙ අතපත ගාන
ඇස් තියන කෙනෙක් වෙන්නත් පුලුවන්.

කාලෝ අන්ධයෙක්ද කියල දැන ගන්න
ඔහු විපස්සනාවට යොමු කළ යුතුයි.

විපස්සනා කළාට පස්සෙත්
ඔහුට දෙවියන් ඉන්නවද නැද්ද කියා
'නිශ්චිත' නැත්නම් ඔහුත් අන්ධයෙක්.

ඔහු අන්ධයෙක් නොවෙයි නම් 'යුරේකා' කියාවි.
අදටත් පොකුණකට බහින කාටවත්
ආකිමිඩීස් දුටු දේ පෙනෙන්නෙ නෑ.
ඒත් පරීක්ෂණය කරන්න තරම්
විමර්ශන ශීලී අය සොයා ගන්නවා.

විපස්සනා වඩන අයත්
ඇත්ත සොයා ගන්නවා.
දෙවියො ඉන්නවද නැද්ද කියල සොයන්න බෑ.
ඒත් ඇත්තටම තියෙන්නෙ මොනවද කියල
සොයා ගන්න පුලුවන්.

දෙවියො පස්සෙ යන මිනිස්සු
දෙවියො පස්සෙ යන්න ඔවුන්ට ඇති වෙන
දුක් කරදර වලින් මිදෙන්නයි.
දෙවි කෙනෙක් නැතුව ඒ ටික කරගන්න පුලුවන් අයට
දෙවියො අවශ්‍ය නෑ.
දෙවියො අවශ්‍යයි කියන අයට
අකුල් හෙළන්න ඕනත් නෑ.

විපස්සනා කරන කෙනෙක්
දුක පිළිබඳ ඇත්ත දකිනවා.
විපස්සනා කියන්නෙ
දුකෙන් මිදෙන විදිය තමයි.
දුකයි මිදීමයි දෙකම ඔහු අත්දකිනවා.

ඔහු සංකල්පත් සංකල්ප විදියට දකිනවා.
සංකල්ප බොරු කරන්න යන්නෙ නෑ.
කරන්න බැරි බව දන්නවා.

ඔහු ඇත්ත දකිනවා..
ඔහු දකින ඇත්ත
අනික් අයට නොපෙනුණා කියා
ඔහුට ගැටලුවක් නෑ.

කැමති අය දකින්න යොමු කරනවා.
දකින්න යොමුවෙන කෙනා අන්ධයෙක් නොවෙයි නම්
ආලෝකය ඔහු තුළ දැල්වෙද්දි
ඇත්ත පෙනෙන බව ඔහු දන්නවා.

6
කාලෝට පෙනෙන දෙයක් නෑ.
ඔහුත් අන්ධ භක්තිකයෙක්.

බුදුන් වහන්සේ දැක්ක දෙයක් තියනවා.
ඒ මාර්ගයෙන් ගියොත් තව කෙනෙකුටත්
ඒ දේ ඒ විදියටම දකින්න පුලුවන්.,

බුදුන් වහන්සේ දැක්ක දේ ඇත්ත බව
විපස්සනා කරන කෙනෙකුට දකින්න පුලුවන්.

කාලෝ සංකල්ප පස්සෙ යද්දි
ආකිමිඩීස් විසඳුමක් හොයනවා.
සොයා ගත්තාම "යුරේකා" කියනවා.

ආකිමිඩීස් ''යුරේකා' කියද්දි
බුදුන් වන්හසේ ''අනේක ජාති සංසාරං'' කියනවා.

හරියට විපස්සනා කරන කෙනෙකුට
දෙවියන් විතරක් නොවෙයි
''මම'' කියා කෙනෙකුත් නෑ... කියල
ආනාපාන සතිය වඩද්දිම වැටහෙනවා.

දෙවියො නෑ..
දෙවියො කියන්නෙත් "මම" වගේම සංකල්පයක්.

ඒත් මේ ලෝකෙ කිසිම කෙනෙකුට
දෙවියො නෑ කියලා ඔප්පු කරන්න බෑ.

මිනිස්සු සංකල්පයක් හදාගත්තාම
ඒක ඉවත් කරන්න  වෙන කෙනෙකුට බැහැ.
එහෙම ඉවත් කරන්න යන කෙනාටත්
වලට බහින්න වෙනවා.

කාලෝත් ඉන්නෙ විශ්වාස කරන
අන්ධයා ඉන්න වලේමයි.
කතරගම දෙවියො නෑ කියලා
තර්ක කරන පිරිසක් ඉන්න සංකල්ප වලට
කර වටක් බැහැගෙන ඔහුත් තර්ක කරනවා.

කාලෝ වගේ හිතන අන්ධයො කොටසක්
ඔහු පිළිගන්නවා.
ඒ අන්ධ භක්තිකයො ''දෙවියො නෑ'' කියල අදහනවා.

දෙපැත්තෙම ඉන්න
අන්ධ ගෝල බාලයො පිළිගන්නෙ
තමන්ගෙ අන්ධ ගුරා කියන නිසයි..

"කතරගම දෙවියො ඉන්නවා" කිව්වත්,
"කතරගම දෙවියො නෑ" කිව්වත්,
එක අන්ධයෙක් තව පිරිසකට කණ වැල අල්ලනවා.

ආර්ය ශ්‍රාවකයා ඔය දෙපිරිසටම අයිති නෑ.

ඔහු සියල්ලම දැකල නෑ..

ඒත් අඳුරෙ ඉන්න
'ඇස් තියන කෙනෙකුට'
එකම එක අකුණකින් වුණත්
'අඳුර කියන්න මොකක්ද
ආලෝකය කියන්නෙ මොකක්ද' කියා
සියයට සියයක්ම වැටහෙනවා.

එක ක්ෂණයකට
සම්මා සතිය පිහිටුවා ගන්නා කෙනෙක්
එතැන් පටන් නිවන් මාර්ගයට වැටෙනවා.

'ආලෝකය කියන්නෙ මොකක්ද' කියා
සියයට සියයක්ම වැටහෙන
අඳුරෙ ඉන්න 'ඇස් තියන කෙනෙක්'
ආර්ය ශ්‍රාවකයෙක්.

කල්ප ලක්ෂ ගාණක් සසරෙ හිටියත්
ආලෝකය දැක්කාම හඳුනා ගන්නවා.

20170825

විජයදාස ඉවත් කළේ කවුද?

විජයදාසගේ ඉවත්වීම
කාගේ තීරණයක්ද? කාගේ තීන්දුවක්ද?

රනිල් ප්‍රමුඛ එජාපය විසින් පත්කළ
ඔවුන්ගේම ඇමති වරයා ඉවත් කිරීමට
ඔවුන් ගත් තීරණයට මෛත්‍රී එකඟවීම
මෛත්‍රීගේ තීරණයක් ලෙස හුවා දක්වන
යම් ප්‍රවෘත්ති පළ වීමෙහි
යටි අරමුණ කුමක්ද?

විජයදාසට
පළමු ප්‍රහාරය එල්ල කළේ
අජිත් පී පෙරේරා විසින්
සිරස මාධ්‍යයේදීය.
ඉන් පසුව සටන අතට ගත්
එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින්
විජයදාස ඉවත් කරන්නට
ඒකමතිකව එකඟ වූහ.

ඉන්පසුව අගමැති විසින්
විජයදාස ඉවත් කරන මෙන්
ජනපතිගෙන් ඉල්ලා සිටි අතර
විජයදාස ඉවත් කිරීම
තමා සතු දෙයක් නොවන බව ජනපති පැවසුවේ
විජයදාස  පත් කිරීම
එජාපයේ තීරණයක් වන බැවිනි.

ඒ අවස්ථාවේ රනිල්ගේ කට වචනයට
මෛත්‍රී විසින් විජයදාස ඉවත් නොකළේ
ඔහුගේ අනාගත දැක්ම නිසාද?
එසේ කළානම් වගකීම ඔහුගේය.

කටවචනයෙන් ඉල්ලීම ඉටු නොවූ පසු
මහලේකම් කබීර් හෂීම් හරහා
ජනපතිට ලිඛිතවම ඉදිරිපත් කළ
නීත්‍යානුකූල ඉල්ලීමක් අනුව
එජාපයේ තීරණයට සහ ඉල්ලීමට අනුව
විජයදාස ඉවත් කෙරුණු බව
මුළු රටම දන්නා කරුණකි.

සමහර මාධ්‍ය වාර්තාවල
"ජනපති විජයදාස ඉවත් කරයි"
"ජනපතිගේ තීන්දුව...
ජනපතිගේ තීරණය...." ආදී වශයෙන්
සඳහන් වීම
අහඹුවක් හෝ වැරදීමක් නොවේ.

රනිල් ප්‍රමුඛ එජාපය විසින් පත්කළ
ඔවුන්ගේම ඇමති වරයා ඉවත් කිරීමට
ඔවුන් ගත් තීරණයට මෛත්‍රී එකඟවීම
මෛත්‍රීගේ තීරණයක් ලෙස හුවා දක්වන
යම් ප්‍රවෘත්ති පළ වීමෙහි
යටි අරමුණ කුමක්ද?

විජයදාස ඉවත් කිරීමේ වගකීම
කෙසේ හෝ මෛත්‍රීට පැවරීමෙන්
මෛත්‍රීම පත් කළ බැඳුම් කර කොමිසමට
ඔහුම බාධා කරනවා කියා රූපයක්
ජනතාව තුළ ඇති කිරීම
එහි අරමුණ වන්නට ඉඩ තිබේ.

සත්‍යවශයෙන්ම
රවිට ඉවත් වන්නට බලපෑම් ආවේ කොහෙන්ද?
විජයදාස ඉවත් කරනු ලැබුවේ කවුද?

එජාප රජයේ ක්‍රියාකලාපයට
මෛත්‍රීගේ ඇති සම්බන්ධය කුමක්ද?
ඔහු මේ රජය පාලනය කරන්නේ
අධ්‍යක්ෂක ලෙස විනා
ප්‍රධාන නලුවා මෙන් නොවේ.

විජයදාසගේ ප්‍රශ්නය
එජාපයට අදාළ ප්‍රශ්නයක් බවට
නිදහස් පාක්ෂික මන්ත්‍රී වරු
ජනපති සමග එකඟතාවයකට පැමිණි බව
එක් කැබිනට් ප්‍රකාශකයෙක් කීය.

රවිගේ ඉවත් වීම ගැන හෝ
විජයදාසගේ ඉවත් කිරීම ගැන
මෛත්‍රී දරණ සැබෑ මතය අදටත් අභිරහසකි.

රවිට ඉවත් වෙන්නට මෛත්‍රී යෝජනා කළ බවට
දූෂමාන ආරංචි පැතිර ගියද
ඔහු රවි ගැන දරන අදහස පැහැදිලි නැත.
මෛත්‍රී ඒ කාලයේ පළකළ එකම වැදගත් අදහස
"හොරුන් සමග රජයක් ගෙන යන්නට
මා කැමති නෑ" යන ප්‍රකාශය පමණි.

එජාපය කරන බොහෝ දේ පිළිබඳව
මෛත්‍රී දරණ පුද්ගලික මතය අප දන්නේ නැත.
එජාප රජයේ ක්‍රියාකලාපයට
මෛත්‍රීගේ ඇති සම්බන්ධය කුමක්ද?

අඛිල පාසල් නිල ඇඳුම් වෙනස් කරන්නට
සැරසෙමින් සිටින විට මත්‍රී ප්‍රසිද්ධියේ කීවේ
පාසල් නිල ඇඳුම වෙනස් නොකරන බවයි.
නිල ඇඳුම වෙනස් කළා නම් එහි වගකීම
අකිලට නොව තමාට පැවරෙන බව ඔහු දනී.
ගොනා හැරෙන විටම ඔහු පොල්පැලය රැකගන්නේ
ගොනාගේ අනාගතයට වඩා
පොල්පැලයේ අනාගතය දීර්ඝ බැවිනි.

ඩෙංගු උවදුර භාවිතා කරමින්
පාසල් නිල ඇඳුම වෙනස් කරන්නට
අකිල දැරූ බොළඳ උත්සාහය අනුව
පාසල් දරුවන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම
අකිලගේ පුද්ගලික අවශ්‍යතාවයක් බව
රටට හෙළි විය.

සයිටම් ප්‍රශ්නය හමුවේ දොස්තර ඇමතිත්
දොස්තර නෙවිලුත් දොස්තර සංගමයත්
තුන්කොන් ගේමක් දෙන බව පැහැදිලිව පෙනෙන විට
"සයිටම් ප්‍රශ්නය විසඳන්නට ඉදිරි පත් වෙමි"යි
ඍජුව පැවසූ මෛත්‍රී අදාළ සියල්ලන්ම
තනි තනිව ගෙන්වා සකච්ඡා කාරමින්
ඔවුන්ගේ අදහස සහ පවතින තත්වයට
වහා විසඳුම් ඉදිරිපත් කළේය.

"රජයේ වෛද්‍ය සංගමය ඉල්ලූ සියල්ලම
දැන් දීලයි තියෙන්නෙ, තව මොනවද ඉල්ලන්නෙ?"
එක් වෛද්‍ය සංගම් වර්ජනයක් ආරම්භයේදී
සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කළේය.
වර්ජනය අසාර්ථක විය.

සයිටම් විරෝධයට මෛත්‍රී මුහුණ දීමෙන් පසු
සයිටම් විරෝධයට ලැබූ බහින කලාව
අද එහි උපරිමයට පත් වී ඇත.

ඛණිජ තෙල් වර්ජනය මෛත්‍රී එක රැයෙන් විසඳීය.
කිසිවකුට තුවාල වූයේ නැත. මැරුම් කෑවේ නැත.
තුවාල වූයේ එවකට නැගෙමින් පැවති
මන්ද පෝෂිත වර්ජන රැල්ල පමණි.
ඒ වර්ජන රැල්ල අතුරු දහන් විය.

ඉදිරි මාස තුන තීරණාත්මක බව
ජනපති මෛත්‍රී විසින්ම ප්‍රකාශ කොට ඇත.
ඒ බව පැහැදිලි වන සලකුණු
දවසින් දවස ප්‍රබලය.

ජනතා ප්‍රශ්න වලදී ඉදිරිපත් වෙන මෛත්‍රී
දේශපාලනඥයන් කැකුණ තලන විට
හබන් කුකුළෙකු නොවන ප්‍රතිපත්තියක පිහිටා
ඔවුන්ගේ කුළල් ඔවුනොවුන්ටම කාගන්නට ඉඩදී
තමන්ගේ ගමන හැල්මේ යන බව පෙනෙයි.
video

20170821

පොලිස්පතිගෙ භාවනාව සහ සිංහල බෞද්ධ කම


සිංහල බෞද්ධ පොලිස්පති
පොලිස් නිලධාරීන්ට "භාවනා කරන්න"
කියල චක්‍රලේඛයක් යැව්වාම
බුදු දහම කියන්නෙ මොකක්ද කියා නොදන්න
සිංහල බෞද්ධයන් ඔහුට හිනා වෙනවා.

යහපාලනේ සිංහල බෞද්ධ ඇමති වරු
"බෝම්බයක් තියනවා' කිව්වාම
පොලිස් නිලධාරියා භාවනා කරාවි" කියා
සිංහල බෞද්ධ පොලිස්පතිට අපහාස කරනවා.

හිත එකඟ කරගන්න
'භාවනා කරන්න' කියපු සිංහල බෞද්ධ පොලිස්පති
"ඇයි භාවනා නොකළෙ" කියල
විදුලි සෝපාන ක්‍රියාකරුට ගහනවා.

''පොලිස්පතිතුමාට
භාවනාවෙන් පලක් වෙලා නෑ නේද'' කියල
මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනවා.
භාවනා කළත් නැතත්
ලැබෙන ප්‍රතිඵලය ගැන ඔහුට අදහසක් තියන නිසා
ඒ ප්‍රශ්නය ප්‍රඥාවන්තයි.

"බෝම්බයක් තියනවා"කිව්වාම
පොලිස් නිලධාරියා භාවනා කරාවි කියා
උපහාසයෙන් හෙළා දකින
යහපාලනේ සිංහල බෞද්ධ ඇමති
මාධ්‍ය වේදියා තරම්වත්
''භාවනාව කුමක්ද'' කියා නොදන්න බව
ඔහුගෙ වචනවලින්ම පැහැදිලි වෙනවා.

මේ කිසිම ''සිංහල බෞද්ධ''යෙක්
පිළිවෙතින් ''බෞද්ධ'' නොවෙන බව
ඔවුන්ගේ කල් ක්‍රියාවෙන් සහ වචන වලින්ම
ඔවුන් ප්‍රදර්ශනය කරනවා.

උපතින් සිංහලයෙකු වීම
චරිතයෙන් බෞද්ධයෙකු වීමට
සුදුසු කමක් නොවෙයි.

මේ කිසිම කෙනෙක්
වචනයේ පරිසමාප්තාර්ථයෙන්
සිංහල වුණත්
 සැබෑ බෞද්ධයෙක් නම් නොවෙන බව
ඉතාම පැහැදිලිව පෙනෙන කරුණක්.

සිංහලයා බෞද්ධයෙක් නොවෙන්නෙ
ඔහුගෙ බෞද්ධකමට ඉදිරියෙන් තියන
සිංහල කමේ ඇති නොහැකියාව නිසා බවත්
මේ සමගම පැහැදිලි වෙන කරුණක්.

බෞද්ධයන් විදියට ඉපදුණේ නැති
සිංහලත් නොවෙන ලක්ෂ ගණන් ජනතාව
ලොව පුරා විපස්සනා මධ්‍යස්ථානවල
මේ මොහොතෙත් විපස්සනා වඩමින් සිටියදී
ලංකාවේ සිංහලයන් ''භාවනා කරන්න'' කීම පවා
උපහාසයෙන් හෙළා දකිනවා.

උපන්දා සිටම බෞද්ධයෙක් වුණත්
කවදාවත්ම භාවනාවක් නොකළ සිංහලයන්
භාවනාව පිළිබඳව දක්වන අදහස්
සමාජ ජාල තුල අපි දකිනවා.

භාවනාව යනු කුමක්ද?

සැබෑ බෞද්ධයෙක් කරන
භාවනාවෙන් කෙරෙන්නෙ කුමක්ද?

භාවනා කරන්නාගෙයි
නොකරන්නාගෙයි වෙනස මොකක්ද?

භාවනා නොකරපු කෙනෙක් භාවනා කරන විට
ඔහු තුළ සිදු වෙන වෙනස් කම් මොනවාද?

මේ ප්‍රශ්න වලට උත්තර නොදැන
පොලිස්පති පොලිස් නිලධාරීන්ට
'භාවනා කරන්න' කිව්වාම
වපරැහෙන් බලලා හිනා වෙන්නෙ
අපහාස මුඛයෙන් කතා කරන්නෙ
සැබෑම සිංහලයෝ මිසක්
සැබෑ බෞද්ධයො නෙමෙයි.

සිංහලයා = බෞද්ධයා
කියන්න බැහැ.

සරලවම බැලුවොත්
ආගම මොකක් වුණත්
ජාතිය මොකක් වුණත්
සාමාන්‍ය පුහුදුන් කෙනෙකුගෙ
සිත ක්‍රියා කරන ආකාරය අනුව
ඔහු ජීවත් වෙන්නෙ සතෙක් වගෙයි.
බෞද්ධයා වුණත් එහෙමයි.

අපි මේ උදාහරණය බලමු.

අපේ ගෙදර ඇති කරන බල්ලා
අපිට වගේම මමත්වයක් තියන බල්ලෙක්.

'අපේ' ගෙදර 'උගේ' ගෙදර කියලයි
බල්ලා හිතාගෙන ඉන්නෙ.

මිනිසාගේ ආරක්ෂකයා බල්ලා කියලයි
ඔය හැම බල්ලම හිතාගෙන ඉන්නෙ.

ඒ මමත්වය නිසා
සද්දයක් ඇහුණ ගමන් ඌ බුරාගෙන යන්නෙ
සද්දෙ නිසා ඇති වෙන විචිකිච්ඡා නීවරණය නිසයි.

ඌට ඒ සද්දෙ සැකයි.

හිතේ සැකේට
බල්ලා බුරාගෙන දුවගෙන යද්දි
ඒ ආවෙ 'අපේ' පවුලෙ ඉන්න 'උගේ ෆේවරිට්' නම්
ඌ එතන ඉඳන් නකුට වන වනා යන්නෙ
ඌටම ආවේණික නර්තනයකින්.

එකපාරටම වෙනස් වෙලා
ඌ එහෙම හැසිරෙන්නෙ ඇයි.?

සැකය ඇති වෙද්දි උගේ ලේවලට
ඉබේම එකතු වුණ හෝමෝන වලට
ඌ අකැමති නිසා ඉබේම බුරාගෙන ගියා.

ඒ එන්නෙ ෆේවරිට් කියල දැක්කාම
ඒ රූපයෙන් ඇසේ විඥාණය අවදි වෙලා
හෝමෝන ධාරාව වෙනස් විදියකට
දැනෙන්න පටන් ගන්නවා.

දැන් කයෙහි ඇතිවෙන වේදනා
සැප වේදනා මාලාවක්.

කලින් තිබුණ ද්වේශය
මොහොතකින් රාගය බවට පෙර්ළුණා.

මේ සියල්ලම සිදු වෙන්නෙ ඉබේටමයි.
කිසිම බල්ලෙක් දන්නෙ නෑ..

කයටත් හිතටත් සංවේදී වුණොත්
මේ සියල්ලම දැන ගන්න මිනිසුන්ට පුලුවන්.

ඒ වුණාට මිනිස්සුත් කිසිම දෙයක් දන්නෙ නෑ.

රූපවාහිනියෙ මොකක් හරි දැක්කාම
පස්සෙන්දා උදේට දුවගෙන ගිහින්
ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඒක ණයට අරන් එන්නෙ
රූපවාහිනියෙ වැටුණ රූප මාලාවෙන්
ක්‍රමානුකූලව ඇති කළ හෝමෝන ධාරාව
ඔහු තුළ ඇති කළ ආවේගය නිසයි.

වෙළඳ දැන්වීමෙ ලස්සණ රූප
ඔහු තුළ සැප වේදනා ඇති කරද්දි
මනසට ගැලපෙන්න තෝරාගත් වචන
ලතාවකට කරන තර්කයෙන්
ඔහුගේ මනසත් අක්‍රිය කරනවා.

වෙළඳ ප්‍රචාරණ ආයතන වල
වෙළඳ දැන්වීම් සකස් කරන අය
පරිභෝජනයට අදාළව
ඔබේ මනස වැඩ කරන ආකාරය
මනෝ විද්‍යාඥයෙකුට වඩා
හොඳින් දන්නවා.

ඔවුන් ඔබේ පොකට් එකට විදින්න
භාණ්ඩ නිශ්පාදකයාට සහය වෙන්නෙ
ඔබේම හෝමෝන භාවිතා කරලයි.

මේ මානසික ක්‍රියාකාරිත්වය දකින්න
හොඳම ක්‍රමය භාවනා කිරීමයි.

භාවනා කරන කෙනෙකුට
පළමුවෙන්ම ලැබෙන අවබෝධය
කයත් වේදනාත් හැරුණාම
මනසකුත් තියන බව දැනගන්නට ලැබීමයි.

ඇස් පියාගෙන කරන භාවනාවල
සරලම භාවනා ක්‍රමය නම්
සිතට මතුරන්නට වචනයක් හෝ
වචන කිහිපයක් ලබා දීම.

හින්දු භක්තිකයෙක් නම්
"ඕං, ශ්‍රීං, රාම්, නාරායනම් ආදී
පැහැදිලි තේරුමක් නැති
සරල සංකේතයක්
සිතින් මතුරන්න කියා දෙනවා.

ටික වෙලාවක් මතුරද්ඩි
සුපුරුදු හිතේ අවුල නිසා
හිත වෙන දේකට ගිහින් හිතමින් ඉන්නවා.
සිතුවිලි ධාරාවෙ
පොඩි හිඩැසක් ආව ගමන් ආයෙමත්
අර වචනය මතක් වෙනවා.
ඔහු ආයෙමත් සිතින් මතුරනවා.

හිත ආපසු එන මොහොතෙ
ඔහුට ඔහුගෙ සිත පෙනෙනවා.
ඔහු දකිනවා අර මන්තරය වෙනුවට
ඔහු මතුරමින් සිටියෙ වෙනත් වචන බව
දැන් ඔහුට පෙනෙනවා.

මේ අතරෙ
ඔහුට තවත් දෙයක් පෙනෙනවා.
කලින් වගේ හිත තැන් තැන් වල දුවද්දිට වඩා
මන්තරය මතුරද්දි හිතට විවේකයි කියල
ඔහු ටික ටික තේරුම් ගන්නවා.
මේ විවේකයට සංහිඳියාවට ඔහු ඇලෙනවා.

මේ ආකාරයට මන්තරයක් මැතිරීමෙන්
ඔහුගෙ හිතෙන් ඔහු ගන්න ප්‍රයෝජනයක් නැතත්
ඔහුගෙ හිත නිවෙනවා.
සැනසෙනවා.

මේ සැනසීම ලබා දෙන
ගුරුවරයාට, ආශ්‍රමයටත්
ඔහු ඇලෙනවා.

හැම ආගමකම මේ ක්‍රමය භාවිතා වෙනවා.
හිත නිවා ගන්නා අරමුණෙන්
මොන ආගමික ක්‍රමය භාවිතා කලත්
අවසානයේ සිදු වෙන්නෙ
මේ ආකාරයට හිත තැන්පත් කිරීමක්.

ස්තොත්‍ර, දේව යාතිකා, භජන් ගායනා කිරීම,
ආශ්වාස ප්‍රශ්වාස ගණන් කිරීම
යාඤා කිරීම, ශාන්ති කර්ම, බෝධි පූජා ආදී
දහසකුත් එකක් සිත නිවන ක්‍රම වල තියෙන්නෙ
එකම පදනමක්. එකම රටාවක්.

මේ ක්‍රමය ඉතාම පහසුයි.

කාලයක් තිස්සේ
කිසියම් තාලයකට රිද්මයකට  කියන වචන වලින්
සිතේ ප්‍රපඤ්ච තැනීම දුර්වල කරගැනීමෙන්
සිත නතර කරගන්න
සිත නිවාගන්න ඕනම කෙනෙකුට පුලුවන්.

'ඕම්' කිව්වත්, 'නමෝ මරියනී' කිව්වත්,
'අල්ලාහු අක්බර්' කිව්වත්, 'සුඛී හෝතු' කිව්වත්
මොන වචනයක් හරි නොකඩවා රටාවකට කිව්වොත්
කොයි සිතත් මිනිස් සිතක් නිසා
සිත කියන්නෙත් වචන නිසා
ඒ හැම සිතක්ම
ඉතා පහසුවෙන් බිඳෙන සුලු
තාවකාලික සමාධියකට පත් වෙනවා.

හිත ශූන්‍ය වෙනවා.

හිත ශූන්‍ය වුණාට
ඔහුත් අපි මෙන්ම පුහුදුන් කෙනෙක්.
අපි මෙන්ම ලෝකය රස විඳින ඔහු
ඉතිරිකාලය තුළ පුරුදු වෙන්නෙ
හිත හිස් කරගන්නයි.

හිත ශූන්‍ය වෙන කෙනෙක්
තමන් රහත් වෙලා කියා මුළා වුණත්
හිස් හිතක් කියන්නෙ මෝහයෙන් පසු වෙන හිතක්.

ක්‍රියා විරහිත කළ විදුලි සීනුවක් වගෙයි.
පද්ධතිය තියනවා. සීනුව වදින්නෙ නෑ.

පණිවිඩ ආවට ගන්නෙ නෑ.
"USER BUSY"

මේ ක්‍රම
ප්‍රගුණ කළ කෙනෙක්
මොන ක්‍රමයෙන් වුණත් පත් වෙන්නෙ
එකම මෝහයට.

මෝහයෙන් පසු වෙන කෙනෙකුට
අමුතු බලයක් තියනවා.

ඔහු පරිගණකයක් මෙන් අවදියෙන් සිටින අතරම
පරිගණකයක් මෙන්ම හැඟීම් නැති
නරුමයෙක් වෙනවා.

හැඟීම් නැති නරුමයන් දුක් විඳින්නෙ නෑ.
ඔවුන්ට දුක් දැනෙන්නෙ නෑ.

දුක් විඳින්නෙ සංවේදී මිනිසුන් පමණයි.

හිත ශූන්‍ය කරගෙන
ස්වභාවයෙන්ම හැඟීම් නැති නරුමයෙක් වුණාට
ඔහුගේ නරුම කමට නිශ්චිත සීමාවක් තියනවා.
ඔහුත් කෝපය, බිය, කාමය ආදියට
යම් අවස්ථාවන්හි හෝ ගොදුරු වෙනවා.

අනුගාමිකයාගේ දරුවාට අනතුරක් වෙලා
ඔහු සෝකයෙන් තැවෙද්දි
සමථ භාවනානුයෝගී ගුරුවරයා
මරණය පිළිබඳව දීර්ඝ දේශනාවක් කරලා
අනුගාමිකයගෙ හිත සනසාවි.
ඒත්
ඔහුගේ දරුවාට අනතුරක් වුණාම
ඔහු හඬා වැටෙන්නෙ හරකෙක් වගේ.

කාලයක් ගත වෙලා සෝකය නිවෙද්දි
නැවත හිත සන්සුන් කරගන්න
ඔහුට අර මන්තරය භාවිතා කරන්න පුලුවන් වේවි.

මේ ක්‍රමය
යම් දුරකට ප්‍රායෝගිකව භාවිතා කරන්නත්
සමථ යෝගියෙකුට පුලුවන්.

වචන මතුරා සමාධිය ලබාගන්න පිරිස
දරන්න බැරි අත්දැකීමකට මුහුණ දෙන වෙලාවට කරන්නෙ
ඔවුන් හුරුවූ යමක් සිතින් මැතිරීමයි.

ආගමික සමථ භාවනා ක්‍රම වෙනුවට
බාහිර ලෝකයෙ අරමුණුවලින්
හිත වෙන්කරගෙන රැකගන්න ක්‍රමයක් විදියට
අද තරුණ පෙළ මොබයිල් ෆෝන් භාවිතා කරන්නෙ
දැනුවත්වම නොවෙයි.

බාහිර ලෝකයෙ අරමුණු වලින් කැළඹෙන්නෙ නැතුව
තමන්ගෙ වපසරියක සිත රැකගෙන ඉන්න හැකි වුණත්
අප්‍රිය කරන යමක් සිදු වෙලා
ඒ සංහිඳියාව බිඳුණාම
තමන්ගෙ හිතේ තියන කුණු කන්දල් සියල්ල
අනෙකා බ්ලොක් කරන තුරු ඔහුගෙ වපසරිය පුරා
විසුරුවා ලන්නටත් අද තරුණ පෙළට
මොබයිල් ෆෝන් එකක් භාවිතා කිරීමෙන් හැකි වෙනවා.
මේ නිර්වින්දනය උපරිමයට ගිහින්
කෝච්චියට බෙල්ල තියන්නත්
ඔහු යොමු වෙන්න පුලුවන්.

හෙඩ් ෆෝන් දාගෙන
ගීතවලට සවන්දීමත් මේ ක්‍රමයෙම දිගුවක්.
තව කෙනෙක් රටාවකට කියන වචන
හෝ සංගීතමය නාද මාලාවක්
ඔහු හෙඩ් ෆෝන් දාගෙන අහනවා.

බස් වල ඉන්න එවැනි අය දිහා බලන්න.
ඔවුන් සිතින් නිවුණ නරුම පුද්ගලයන්.
ඔවුන් වෙනත් කිසිවකට සංවේදී නෑ.

මේ නරුම බව
කැළඹෙන හිතක් තියන පොලිස් නිලදරුවෙකුට
ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියනවා.
හිත හානිකර වීම වළක්වන්න
භාවිතා කළ හැකි උපාය මාර්ගයක්.

කිසියම් ආගමකට අනුව හෝ මොබයිල් ෆෝන් එකෙන්
ඔහුගෙන් පිටතත් ඔහු ඇතුළතත් ඇති කැළඹීම
ඔහුට හුරු වූ මන්තර මැතිරීමකින් නිවාගන්න
කෙනෙකුට ලැබෙන හැකියාව ඔහුගෙ රැකියාවට සවියක්.

ආයතන තුළ කැපී පෙනෙන සාමාජිකයන්
දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙවැනි යම් ක්‍රමයක්
භාවිතා කරමින් සිත රැක ගන්නවා.

කොතනක හෝ යම් කෙනෙක්
අන් අයට වඩා ඉදිරියෙන් ඉන්නවා නම්
ඔහු තුළ අන් අය තුළ නැති
තැන්පත් බවක්, සමාධියක් තියනවා.

සමථ භාවනාවක් පුහුණුවුණ
පොලිස් නිලධාරියෙකුට රාජකාරි වෙලාවෙ
හිත සන්සුන්ව තබා ගන්න
මේ ක්‍රමයත් හොඳයි..

ඔහුගේ සාර්ථකත්වය පවතින්නෙ
ඔහුගෙ පුහුණුවෙන් ලබන ධ්‍යානයෙ
ප්‍රබල බව මතයි.

මේ ක්‍රමය පිළිබඳව හොඳ පුහුණුවක්
නිතර අභ්‍යාසයෙන් ලබාගත්තෙ නැත්නම්
ද්වේශකාරක හෝමෝන වලින් කැළඹී
මේ යුවතිය කියන ආකාරයට ''සුඛී හෝතු'' කියමින් වුණත්
ඇයට පහර දෙන්න ඔහුට පුලුවන්.
මේ වෙලාවෙ
ඔහු තුළ පහළ වුණ
ද්වේශය ජනනය කරන හෝමෝන මට්ටම
මිනිහෙක් විදියට හැසිරීමෙ හැකියාව
ඔහුට අහිමි කොට තියනවා.
ඔහු 'සුඛී හෝතු' කිව්වට
ඒ ද්වේශයෙන් හිත මුදා ගන්න
මේ වෙලාවෙ පලක් නැති වෙන්න පුලුවන්.

මන්තර ක්‍රමයට ලබා ගන්නා
සමථ ක්‍රමයේ සමාධිය සීමා සහිතයි.
තාවකාලිකයි. අන්ධයි.

සිදුහත් තවුසාටත් මේ තාවකාලික සමාධිය
අටවෙනි ධ්‍යානය දක්වාම හුරුවෙන්න ලැබුණේ
ආළාර කාලාම, උද්දකරාමපුත්ත සෙවනෙයි.

ඉතාම කෙටි කලක් තුළ මේ ධ්‍යාන ලබාගත්
සිදුහත් තවුසා ඔහු සොයන මග ඒ නොවෙන නිසා
දුකෙන් මිදෙන සැබෑ මග සොයා
නික්ම ගිය නිසා ලොවට බුදු දහම ලැබුණා.

ගැටළු ඇති කරන අරමුණක් නිසා
කෙනෙකුගෙ හිත කැළඹිලා අවුල් සහගත වුණාම
''අරමුණ වෙනස් කිරීමෙන් හිත නිවා ගැනීම''
අසාර්ථක ක්‍රමයක් විදියට බුදුන් වහන්සේ දුටුවා.

අරමුණ වෙනස් කිරීමෙදි සිත නිවුණාට
අදාළ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ.
අරමුණ පිළිබඳ තොරතුරු වල
හැඟීම ඇතිකරන කොටස අක්‍රිය නිසා
ඔහු සැබෑ ප්‍රශ්නයට සංවේදී නැහැ.

බුදුන් වහන්සේ සෙවූ කරමය නම්
ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම සංවේදීව
සම්පජානෝ සතියෙන් යුතුව
උපේක්ෂාවෙන් වෙසෙමින්
ප්‍රශ්නය විසඳන ක්‍රමයයි.

ප්‍රශ්නයට මුහුණ දෙමින්
තමන්ගෙ හිත හොඳටම කැළඹිලා තියෙද්දි
ඒ කැළඹීමට සංවේදී නොවී
ප්‍රශ්නයට විසඳුම් දෙන්න හැකි වෙන
ප්‍රයෝගික විසඳුම සොයා ගන්න
බුදුන් වහන්සේ සමත් වුණා.

බුදුන් වහන්සේ අගය කළ තැනැත්තා
ප්‍රශ්නයකදි හිත කැළඹුණාම
'සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී'
කොයි විදියට හැසිරෙන කෙනෙක්ද?

''සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
ඉතිරි ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.''

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො”

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.

සිත සැනසිල්ලෙන් තියාගන්නා අරමුණෙන්
ප්‍රායෝගික ජීවිතයෙන් බැහැරවෙන්නෙ නැතුව
සිතේ සැනසිල්ල ලබාගන්න ක්‍රමය
විදසුන් වැඩීමයි.

හිත කැළඹෙන්නෙ අපේ කය අනුවයි.
හිත අනුව කයත් කැළඹෙනවා.

කයේ හෝමෝන වලින් සිත කැළඹෙනවා.
සිතේ කැළඹීමෙන් කයේ හෝමෝන ඇති වෙනවා.

ඇසින් අනතුරක් දැක්කාම
හිත කැළඹෙනවා.
ඒ අනුව අනතුරට මුහුණ දෙන්න හෝ
අනතුරෙන් පලායන්න අවශ්‍ය වෙන
හෝමෝන කයට එක් වෙනවා.
මේ හෝමෝන අනුව
නැවත හිත කැළඹෙනවා.

සිතේ වෙනස් වීම් වලට අනුව
කයට ඉබේම එක් වෙන
ප්‍රතික්‍රියා කාරක හෝමෝන නිසා
සතෙක් මෙන් ප්‍රතික්‍රියා නොකර
ඒ හෝමෝන මගින් කරන පෙළඹවීම
නොසලකා ක්‍රියා කරන්නට
විදසුන් වඩන්නෙක් පුහුණු වෙනවා.

කයෙහි ද්වේශය ඇති කරන හෝමෝන
සිතෙහි ඇති වෙලා තිබුණත් සිත කැළඹෙන්නෙ
ඒ හෝමෝන නිසා ඇති වෙන අප්‍රිය වේදනා
දුක්ඛ වශයෙන් ගැනීමෙනුයි.

මේ කැළඹිල්ල සතෙකුට අවශ්‍යයි.
මිනිසෙකුට අවශ්‍ය වෙන්නෙ
මනසෙන් විසඳන්න බැරි ප්‍රශ්නයකදියි.

මනසෙන් ප්‍රයෝජන ගන්න නම්
කයේ දුක්ඛ වේදනා ඇතිවුණාම
සිතේ ද්වේශය ඇති කර නොගෙන ඉන්න ක්‍රමය
විදසුන් වඩන කෙනෙක් විදියට
පුහුණු වීම අවශ්‍යයි.

මේ අරමුණ පෙරදැරිව
ඉන්දියාවෙ තිහාර් සිර කඳවුරේ සිරකරුවන් දහසකට
දස දින විපස්සනා පාඨ මාලාවකින්
1994 අප්‍රේල් මාසෙ මේ ක්‍රමය පුහුණු කළා.


ඔවුන් තුළ ඇතිවුණ ධනාත්මක වෙනස නිසා
තිහාර් සිර කඳවුර තුළ සිරකරුවන් සඳහාම
විපස්සනා මධ්‍යස්ථානයක් ඇති කළා.

ඉන් පසුව ඉන්දියානු පොලිස් ඇකඩමිය මගින්
පොලිස් නිලධාරීන් දහසකටත්
විපස්සනා දස දින පුහුණුව ලබා දුන්නා.
ඉන්දියාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව
විපස්සනා ඉගැන්වීම කෙරෙන්නේ
ඉන් ලබන ප්‍රතිඵල නිසායි.

සමහර ප්‍රාන්ත වල
දස දින විපස්සනා පාඨ මාලා සඳහා
රජයෙන් නිවාඩු පවා අනුමත කරනවා.

පොලිස්පතිගේ මෙහෙයවීම මත
පොලිස් නිලධාරීන් භාවනා කළ යුතු නම්
ඔවුන්ට පුහුණුව ලබා දීම රජයේ වගකීමක්.

සමථ භාවනාව හෝ විපස්සනා වැඩීමට
නිසි පුහුණුවක් ලබා දීම සිදු විය යුතුයි.

මෙවැනි පියවරක් කරා යොමු වීම
ශ්‍රී ලංකාවේ අපහසු කාර්යයක් වී ඇත්තේ
සමහර සිංහලයන් බුදු දහමට දක්වන
අකමැත්ත නිසයි.

දුකෙන් මිදීමේ ඒකායන මාර්ගය ලෙස
විපස්සනාව ලොවට හඳුන්වා දුන්
බුදු දහම අදහන පිරිසක් විදියට
ලෝකයට පෙන්වන සිංහල ජනතාව
බුදු දහම මතුපිටින් තවරාගෙන
ඇතුළතින් දුක් විඳින පිරිසක්.

කිසිම ආගමක් දහමක් නැති පිරිස් විසින්
"බුදු දහමෙන් ප්‍රයෝජනයක් නෑ"
කියන මතය පතුරුවන්නට වෙහෙස වෙද්දි
තවත් විශාල පිරිසක්
දහම පිළිනොපැද වන්දනා මාන කරමින්
බුදු දහමෙන් ප්‍රයෝජනයක් නැතිව
දුක් විඳිනවා.

කිසිවෙකුට බුදු දහමෙන් ප්‍රයෝජනයක් නැත්නම්
එය සම්පූර්ණයෙන්ම ඔහුගේ පුද්ගලික ප්‍රශ්නයක්.

වසර 2600ක් තිස්සේම
සීල, සමාධි, ප්‍රඥා වඩන අය
බුදු දහමෙන් ප්‍රයෝජන ගන්නවා.

සිංහලයාට ඒ හැකියාව නැති වීම
බුදු දහමෙ ප්‍රශ්නයක් නොවෙයි.

යතුර වැරදියට දැමීමෙන්
කිසිම අගුලක් ඇරෙන්නෙ නෑ.

වතුර කරාමයක් අරින්නෙ නැතුව
බෝතලේ අල්ලාගෙන හිටියාට
බෝතලේ පිරෙන්නෙ නෑ.

බුදු දහම දේශනා කරන්නෝ තුළ ධර්මය නැත්නම්
බෝතලේ අඩුපාඩු නැතත් වතුර ලැබෙන්නෙ නෑ.

මග පෙන්වීමක් ලැබෙන්නෙ නෑ.
කොයිතරම් වැඳ පුදාගෙන හිටියත්
එතනම තමයි.

කරාමයෙන් වතුර ගැලුවත්
බෝතලේ මූඩිය ඇරල නැත්නම්
වතුර පිරෙන්නෙ නෑ.

බෝතලේ හිල්වෙලා නම්
ඒත් වතුර පිරෙන්නෙ නෑ.

බුදු දහමෙ අඩුවක් නෑ කියල
සහ සුද්දෙන්ම කියන්නෙ
දුක් දොම්නස්, සෝ තැවුල් වලින්
ඒ මොහොතෙම මිදෙන්න මාර්ගය
බුදු දහමෙන් කියල තියන නිසයි.

www.dhamma.org
මේ යොමුවෙ තියන
ඕනම විපස්සනා මධ්‍යස්ථානයක දින සටහන අනුව
දසදින පාඨමාලාවක අවසාන දිනයෙ
ළඟම විපස්සනා මධ්‍යස්ථානයට ගිහින්
දස දිනක් තිස්සෙ පුහුණු වුණ
වෙනත් ආගමකින් ආව කෙනෙකුගෙන්
බුදු දහම ගැන අහල බලන්න.

සිංහල ජාතියෙ උපන් අයට
බුදු දහම පිහිටන්නෙ නැත්තෙ
සිංහල කමේ ප්‍රශ්නයක් නිසා මිස
බුදු දහමෙ අඩුවක් නිසා නොවන බව
ඔබටම තේරුම් ගන්න පුලුවන්.

20170819

අපි හැම කෙනෙක්ම ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් කෙනෙක්

දෝණියි පුතයි දෙන්නම
ෂර්ලොක් හෝම්ස් කියවන්න පටන් අරන්.
මම දෙන්නාගෙන් ඇහුවා
"ඇයි ඒ පොත්වලට කැමති?"

"කතාවට ආසයි, රහස් ගතියට ආසයි.
ෂර්ලොක් හෝම්ස් කරන දේවල්
අසාර්ථක වුණාම ආයෙමත් හොයාගන්න විදිය
බලන්න ආසයි." දෝණි කියනවා.

"අපි කෙනෙක් දැක්කාම ගැහැණු පිරිමි වෙනස
අඳුගන්න තරම් පහසුවෙන් කෙනෙක් දැක්කාම
ෂර්ලොක් හෝම්ස්ට ඔහු ගැන හිතාගන්න පුලුවන් වීම,
අභිරහසක් හෙළිකරගන්න විදිය,
අපි නොදකින දේවල් දැකීම"
ඒ පුතා කැමති දේවල්.

පොත් කියවන බොහෝ දෙනෙකුගෙ
රූපාන්තරණයෙ එක් අවධියක
මේ වගේ ඔවුන්ටම ආවේණික හෙතු සහ
හැම කෙනෙකුටම පොදු හේතුත් මත
ෂර්ලොක් හෝම්ස් කතා පෙළ ආශාවෙන් වැළඳ ගන්නවා.

ශේක්ෂ්පියර්, ටොල්ස්ටෝයි, ගෝර්කි, මෝපසං
ඩොස්ටොයෙව්ස්කි, අකුතගාවා, තාගෝර්,
ඔස්කා වයිල්ඩ්, චෙකොෆ්, වික්ටර් හියුගෝ
වගේ ලේඛකයන්ගේ නිර්මාන වලට
හැම පරම්පරාවකම රසිකයන්
ආකර්ෂණය වෙනවා.

යම් පරම්පරාවක රසික පිරිසක්
ඔවුන් ප්‍රතික්ෂේප කරන්න එකම හේතුව
රසිකයාගේ රසඥතාවය සහ
භාෂා ඥාණය පිරිහීම පමණයි.

අපේ පුංචි දූපත තුළත්
ටී. බී. ඉලංගරත්න, ඩබ්. ඒ. සිල්වා,
මාටින් වික්‍රමසිංහ, කරුණාසේන ජයලත්,
සරච්චන්ද්‍ර, සේකර ආදී
කවදා කාටත් ගැළපෙන්න ලියූ
සුවිශේෂී ලේඛකයන් පිරිසක් ඉන්නවා.
ඔවුන්ගේ පොත් කියවන්න හුරුවෙන
අළුත්ම රසිකයන් පිරිසකුත්
හැමදාම පහළ වෙනවා.

හැම කාලෙකම ඉන්න රසිකයන්ගේ
ගෞරවාදරයට පාත්‍ර වෙන අතරෙ
ඒ සන්නිවේදන පරාසය නාඳුනන
නවක ලේඛකයන්ගෙ ඊර්ෂ්‍යාවටත්
පරිහාසයටත්, හෙළා දැකීමටත්
පරම්පරා ගණනක් තිස්සෙ බඳුන් වෙනවා.

ඒ ලේඛකයන්ගෙ නිර්මාණ කල් පවතින්නෙ
ඔවුන් කිසියම් කල් පවතින රසායනිකයක්
හිතා මතා මුසු කළ නිසා නොවෙයි.
ඔවුන් චරිත වශයෙන්ම ඒ නිර්මාණ
පහළ විය හැකි රසඥතාවයක්,
පෞරුෂයක්, වින්දනයක්, චරිතයක් ඇති
සුවිශේෂී මිනිසුන්.

අද කාලෙ ඉන්න රචකයන්
තමන්ගෙ නිර්මාණ ඉතා සුවිශේෂි කියා
තමන්ම තමන් ගැන හිතාගෙන ඉන්න
පටු පරාසයකට නිර්මාණ කරන පිරිසක්.
ඔවුන් ලියන සමහර චරිතවලට පාක්ෂිකයි.
සමහර සංස්කෘතික රටාවන්ට පාක්ෂිකයි.
සමහර කතා රටාවන්ට පාක්ෂිකයි.
මේ ආදී පාක්ෂික භාවයන් නිසාම
ප්‍රතිවිරුද්ධ චරිත සමග
සියුම් ද්වේශයක් ඔවුන් තුළ පැහැවනවා.
ඔවුන්ගේ නිර්මාණ රළු ගොරෝසු නිර්මාණ වෙනවා.

රචකයා පාක්ෂික වෙනවා කියන්නෙ
ඔහු ඒ චරිත ඔහුගෙ නියෝජිතයන් ලෙස
භාවිත කිරීමයි.

හැම චරිතයක් තුළම ඔහු ඉන්නවා.
පියදාස සිරිසේන හොඳම උදාහරණයක්.
ඒ රචකයා පක්ෂ නායකයෙක් වගෙයි.
ඔහුට ඉන්නෙ රසික ජනතාවක් නොවෙයි.
රසික පාක්ෂිකයන් පිරිසක්.

හොඳ ලේඛකයෙක් දරුවන්ට වගේ
හොඳ නරක වෙනසක් නැතුව
හැම චරිතයකටම ආදරෙයි.
අපිත් ඒ විදියටම ඒ චරිත දිහා
සැනසිල්ලෙන් බලනවා.

හොඳ ලේඛකයන්ගෙ චරිත තුළ
ලේඛකයාගෙ නියෝජනය අපට දැනෙන්නෙ නෑ.
ඔවුන්ට වරදිනවා. ඔවුන් වැරදි කරනවා.
ඒත් ඔවුන්ට ඒ වැරදි වලට
සාධාරණ හේතු තියනවා.
ඔවුන් සත්තු වගේ නිකරුණේ හැඟීම් බරව
වඳුරා දැලි පිහිය වනනවා වගේ
හැසිරෙන්නෙ නෑ.

කාලාන්තරයක් තිස්සේ පරම්පරා ගණන්
හැම පරම්පරාවකම අය කියවන පොත්වල
අපූර්ව නමුත් පොදු මිනිස්සු ඉන්නවා.

අපි ඒ චරිත හඳුනනවා.
ඔවුන් අපූර්ව පිටසක්වළ ජීවීන් නොවෙයි.
අපූර්ව එදිනෙදා හමුවෙන මිනිසුන්.
ඒ මිනිසුන් අතර ඇති වෙන ගැටුම් අපූර්වයි.
මේ කිසිවක් අපි නොදන්න දේවල් නොවෙයි.
ඒත් අපි නොදකින, අපිට නොපෙනෙන දේවල්.

අද රචකයන්ගේ නිර්මාණවල
පොදු ඇල් මැරුණ බවට පදනම් වුණ
ඔවුන්ට මග හැරෙන උණුහුම නම්
මේ අපූර්ව බව සමග පහසුවෙන් මුහු වෙන
පොදු මානුෂික හොඳ සහ
පොදු මානුෂික නරකයි.

පැරණි ලේඛකයන් ගෙ නිර්මාණ
බතුයි පොල් සම්බලුයි වගෙයි.
අද ඉන්න රචකයන් නිර්මාණය කරන්නෙ
බෙහෙත් වගේ අපූර්ව සංයෝගයක්.
බෙහෙතක් ගැලපෙන්න රෝගයක් අවශ්‍යයි.
ඔවුන්ට තියන රෝගී තත්වයෙම ඉන්න
රෝගීන් පිරිසක් ඒ නිර්මාණ වැළඳගන්නවා.
පොදු ජනතාව ප්‍රතික්ෂේප කරනවා.

පොදු ජනතාව පොත් කියවමින්
ඒ චරිත තුළ හොයන්න වෙහෙසෙන්නෙ
කියවන ඔවුන්ම මිස ලේඛකයා නොවෙයි.

අපි ෂර්ලොක් හෝම්ස් කියවන්නෙ
සර් ආතර් කොනන් ඩොයිල්
හමුවෙන්න හිතාගෙන නොවෙයි.
අපි හොයාගෙන යන්නෙ අපිමයි.
අපිට හමුවෙන්නෙත් අපිමයි.

අපි හැම කෙනෙක් තුළම
අභිරහස් විසඳන්න කැමති
ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ඉන්නවා.
ඒත් ඒක කරගන්න බැරි
වොට්සන් කෙනෙකුත් ඉන්නවා.

'ධර්ම යුද්ධය' නැරඹුවෙමු.


වසර හක් පමණ තිස්සෙ
පවුලක් ලෙස සිංහල චිත්‍රපට සහ ටෙලි නාට්‍ය
සම්පූර්ණයෙන්ම වර්ජනය කර ඇති අප
පවුලක් ලෙස තෘප්තියෙන් යුතුව
ධර්ම යුද්ධය නැරඹුවෙමු.

කිව යුතු බොහෝ දේ ඇතත්
ටිකක් කියන්නට සිතමි.

අප සිනමා ශාලාවට යන්නට හේතුව වූයේ
පසුගිය වසර තුන හතරේ
මේ චිත්‍රපටය හින්දි, දෙමළ ඇතුළු
ඉන්දියානු භාෂා ගණනාවකින් නිපදවා තිබීමයි.
මේ චිත්‍රපටය ලංකාවේද ජනප්‍රිය වන බව
අප ලද අත්දැකීම අනුව කිව හැක.

අප චිත්‍රපටය නැරඹූ සිනමා ශාලාවෙහිද
ආසන 80%ක් පමණ පිරී තිබුණු අතර
නැරඹීමෙන් පසු ඉතා ප්‍රමෝදයෙන් යුතුව පිටවී යන
විවිධ වයස්වල ප්‍රේක්ෂක කැළක් දකින්නට ලැබීම
අද කාලයේ හැටියට ලොකු සතුටක් විය.

තිරගත වීම ආරම්භ කළ දින සිට මසක්‌ ඇතුළත
දෙලක්‍ෂ විසි පන්දහසකට අධික ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ නැරඹූ
ධර්මයුද්ධය චිත්‍රපටය දින තිහක්‌ ඇතුළත ලැබූ ආදායම
රුපියල් ලක්‍ෂ පන්සිය දහහතර (514) කි.
එය කරුණු කිහිපයක්‌ නිසාම
නව ආදායම් වාර්තාවක්‌ බවට පත්ව තිබේ.

සමස්තයක් ලෙස ඉන්දියානු කතා ආකෘතිය
පිළිබඳව කිව යුතු බොහෝ වැදගත් දේ ඇත.
ඒ කරුණු දෙවනුවට තැබුව හොත්
ලාංකික නිශ්පාදනය ඉතා හොඳ තත්වයකින්
සෑම අංශයකින්ම පාහේ සාධාරණත්වය
ඉටු කර ඇති බව කිව හැක.

රඟපෑම් අංශයෙහි විටින් විට කෘතිම බවක්
ජැක්සන් දිල්හානිද ඇතුළුව බොහෝ නළුනිළියන් තුළ
වරින් වර හෝ අපට දක්නට ලැබුණේ
ඔවුන්ගේ නොහැකියාව නිසා නොව
නිසි පෙරහුරුවක් නොමැති බව නිසායැයි
විශ්වාස කරන අතර සමාව නොදෙමි.

කුමාර තිරිමාදුර සහ තිසුරි යුවනිකා
සිය චරිත තුළ ඉතා හොඳින් හැසිරුණහ.

පොලිස් නිලධාරිණියටගේ චරිතය රඟ පෑ
පාපනාසම් චිත්‍රපටයේ නිළියට වඩා
නීතිඥවරියක සේ රඟපෑ කුසුම් රේණුද
සිය චරිතය මනා අවබෝධයෙන් සහ සැලකිල්ලෙන්
ඉදිරිපත් කළ බව කිව හැක.

ජැක්සන්ට අද ක්ෂේත්‍රයේ අභියෝග නැතියෙන්
ඔහු චරිතය සැහැල්ලුවෙන් ගත්තා දෝයි
අපට සැක සිතෙන අන්දමට නොසැලකිලිමත් වූ
යම් යම් අවස්ථා අප ඔහු තුළ දුටුවෙමු.

ජැක්සන් රඟපාන සියලුම චරිත තුළ
ඔහුත් යම් ප්‍රමාණයක් නියෝජනය වීම
අප ජැක්සන් තුළ දකින ලක්ෂණයකි.

ඔහු ගාමිණී ජෝ ටෝනි වැනි නලුවන්ට
පසුපසින් ඉන්නට ප්‍රධානම හේතුව
මේ ජැක්සන් නියෝජනය බව මම සිතමි.

දෙබස් උච්ඡාරණයේදී සහ රංගනයේදී
 අමතර සියුම් හැසිරීම් රඟපෑමට මුසු නොකිරීම
ඔහුගේ මේ දුර්වල කමට එක් හේතුවකි.

උදාහරණයක් ලෙස
කුමාර තිරිමාදුර නිතරම කොණ්ඩය සැකසීම
වැනි චරිතයට ආවේණික ගති ලක්ෂණ
ජැක්සන් කරන බවක් මා දැක නැත.

මෙහි දෙමළ චිත්‍රපටය වූ
පාපනාසම් චිත්‍රපටයේ රඟපෑ
කමලහසන් මේ අංශයෙහි විශිෂ්ඨයෙකි.

කමලහසන්ගේ රංගනය ඉතාම
ස්වාභාවික ස්වරූපයක් දැරීය.
ඔහු ඒ වරද නිසා විඳවන බව
පැහැදිලි ලෙස පෙණුනු අතර
ඔහුගේ ප්‍රඥාව පිළිබඳව
අප තුළ පහළ වූයේ ගෞරවයකි.

ජැක්සන්ගේ රඟපෑම තුළින්
අපට පිළිබිඹු වූයේ කපටියෙකි.
ඔහු ඒ කපටිකම යොදාගන්නේ
පවුලේ ආරක්ෂාවට නිසා හැර
ඔහුගේ යහපත් කමක් දක්නට නැත.
මේ හේතුවෙන් ඔහුගේ යහපත් බව පෙන්වන
සමහර අවස්ථාවල ඔහු අසමත් වෙයි.

සමස්තයක් ලෙස ජැක්සන් හොඳින් රඟපෑවද
"පාපනාසම්" චිත්‍රපටයේ කමලහසන් රඟන
අවසාන පාපෝච්ඡාරණ දර්ශනයේදී
අපට දක්නට ලැබෙන 'පවක් කිරීමේ කම්පාව'
අප මුළු සිංහල චිත්‍රපටය පුරාම
ජැක්සන්ගේ හරිශ්චන්ද්‍ර තුළ නොදුටුවෙමු.

ධර්ම යුද්ධය කළ යුත්තේ
තමාගේ පාපයට විරුද්ධවයි.

video

 කමලහසන්ගේ එම අති විශිෂ්ඨ රංගනය
ඔහු චරිතය වටහාගැනීමේ විශිෂ්ඨත්වයමයි.
ඒ බව අපට පැහැදිලිව පසක් වන්නේ
'පාපනාසම්'හි මුල් මලයාලම් චිත්‍රපටයෙහි
එකම අධ්‍යක්ෂකවරයා යටතේ
මොහන් ලාල්ගේ රංගනයෙහිද
කමල්ගේ ආධ්‍යාත්මික කම්පාව
අප නොදුටු හෙයිනි.

"මේ පාප නාසම් ගංගාවට
මිනිස්සු දුර බැහැර ඉඳන් එන්නෙ
ඔවුන්ගේ පව් සෝදා හරින්නයි.
අපි මේ ගමේ මිනිස්සු.
අපි මේ ගඟෙන් නාල
අපෙ පව් ටික ටික සෝදා ගන්නම්"

ඔහු නීතියෙන් බේරුණත් ඒ ගැලවීම
ජයග්‍රහණයක් ලෙස නොසින්තන අතර
බොරු කීම, අනියම් මිනීමැරුම සැඟවීම
පාපයන් ලෙස පිළිගනියි.

සිංහල චිත්‍රපටිය
මේ දර්ශනයේදී ඉතාම දුර්වලය.

අවසාන පාපෝච්ඡාරණ දර්ශනයේදී
කමල්ගේ සියොළඟ ගැහෙන්නට තරම්
ඔහු තුළ වූ කම්පාව බලවත්ය.
මේ හැඟීම්බර බව
පාපනාසම් චිත්‍රපටයට එක් කිරීම
කමලහසන්ගේම යෝජනාවක් බව
අධ්‍යක්ෂක ජීතු ජෝසෆ් පවසා ඇත.

කමලහාසන්ගේ රඟපෑමෙහි
විශිෂ්ඨත්වය
වරුන්ගේ දෙමාපියන්ගේ වේදනාව කම්පාව
ඔහුත් ආධ්‍යාත්මිකව විඳිමින් කරන
පාපෝච්ඡාරණයයි.
ඔවුන්ට ඔවුන්ගේ දරුවා නැති වීම
ඔවුන්ට වුණ දෙවෙනි පාඩුවයි.
පළමුවැනි පාඩුව නම් ඔහු චරිතයක් ලෙස
දූෂිත, කාමුක, නරුමයෙකු වීමයි.
මේ පාඩු දෙකම ඔවුන්ටය.

කමලහාසන්ගේ දරුවන් මේ දෙකෙන්ම
ආරක්ෂාවූ දෙදෙනෙකි.
එහෙත් ඔහු වරුන්ගේ දෙමාපියන් අබියස
කම්පාවට පත්වන්නේ ඔවුන් ගැනය.

හරිශ්චන්ද්‍ර සැනසෙන්නට හේතු ඇතිව සිටියදී
අනෙක් දෙමාපියන්ගේ කම්පාව තමන්ගේ මෙන් විඳීම
අප ජැක්සන්ගේ රංගනය තුළ නොදුටුවෙමු.
ඔහු මතුකරන්නට උත්සාහ කෙළේ
ඔහුගේ වචන වලින් කිවූ ආත්මාර්ථකාමයයි.
ඔහුගේ පවුල පිළිබඳ ඒකමිතික හැඟීමයි.

මේ සැබෑ ජැක්සන් විය හැක.
එහෙත් හරිශ්චන්ද්‍ර එවැන්නෙක් යයි
කමල්ගේ රංගනයෙන් මතු නොවේ.

හරිශ්චන්ද්‍ර ජීවිතය ජයගන්නේ
ඔහුගේ යහපත් බව නිසාය.
ඔහුගේ ආත්මාර්ථකාමී බව නිසා නොවේ.
ඔහුගේ යහපත් බව හොඳින්ම හෙළිවන කේන්ද්‍රීය දර්ශනය
ඔහු සිය පවුලෙහි අනාගතය අවදානමෙහි හෙළා
වරුන්ගේ දෙමාපියන් සනසන්නට
සිය වරද ඔවුන් හමුවේ පිළිගැනීමයි.

පාපනාසම් පාපය නසන්නට දරණ
වෑයමක් ලෙස මනාව නිරූපණය වෙයි.
ධර්ම යුද්ධය නම් ධර්ම යුද්ධයක් නොව
අධර්මයට විරුද්ධ යුද්ධයක් පමණකි.
මේ වෙනසට හේතුව
අප පුන පුනා කී පරිදි
ජැක්සන්ගේ අර්ථ කථනය
සහ කමල්ගේ අර්ථ කථනය
වෙනස් වීම බව අපට පෙනෙයි.

සහාය නළුනිලියන්ගේ රංගනය
සමස්තයක් ලෙස ඉතා හොඳ තත්වයක
පැවතුණ බව කිව හැක.

කෙටි කාලයක් දකින නමුත්
ධනුකද හොඳ උත්සාහයක් දැරූ අතර
අභිනය පිළිබඳව සිහියෙන් පසුවන බවද
සමස්ත රඟපෑම තුළ පෙනිණ.
එහෙත් ඔහු ඔහුගේ චරිතය
සිතින් අනුමත නොකරන බවක්
ඉතාම දුෂ්ඨ කොටස් රඟපෑමේදී ප්‍රකාශ විය.

ඔහු සමස්ත කාලය තුළම
දුෂ්ඨ ලීලාවෙන් රඟපෑම නිසා
චරිතය එකාකාරී විය.
'පාප නාසම්'හි වරුන්ගේ රංගනය තුළ
කෙමෙන් ගොඩ නැගෙන දුෂ්ඨ කම
වඩා රිද්මයානුකූලය.

ඔබ රඟපාන චරිතය කොතරම් දුෂ්ඨ වුවද
ඔබ එය භාරගත් පසු චරිතයේ හැසිරීම
ඔබ හිතට එකඟවිය යුතුය.
ඒ සම්පූර්ණයෙන්ම ඔබයි.
චරිතය කවරක් වුවද වෙනුවෙන්
හදවතින්ම පෙනී සිටිය යුතුය.

"හංස විලක්" චිත්‍රපටයේ අප දුටු
බල්බය සෙලවීමක් වැනි උපක්‍රමයකින්
එම කේන්ද්‍රීය අවස්ථාව ලබා දුන් හැඟීම
තවත් තියුණු වන්නට ඉඩ තිබිණ.

විදුලි බල්බය වෙනුවට
විදුලි පන්දමක් භාවිතා කළා නම්
දර්ශනයෙහි හැඟීම් ඇති කිරීම
තව දුරටත් සාර්ථක වන්නට
අවකාශ තිබිණ.

ධනුකගේ අවසාන රංගනය සහ
එහිදී ඔහු දෑස භාවිතා කල ආකාරය
සහ පාලනය කරගත් ආකාරය
ඉතාම විශිෂ්ඨයි.
ඒ උද්වේගකර මොහොත
අප සිත් තුළ ප්‍රබලව සනිටුහන් කරන්නට
ඔහුගේ රඟපෑම මනාව ඉවහල් විය.

පාප නාසම්හි රඟපෑ නළුවා
සිය දෑස වැසෙන්නට හැරීම
දුර්වල කමක් බව වැටහෙන්නේ
ධනුකගේ දෑස නොවැසීම නිසාය.

කුමාර තුළත් පාප නාසම් චරිතයට වඩා
අතිශයෝක්තියක් දක්නට ලැබුණ නමුත්
ඔහු නොකඩවාම සිය චරිතය තුළ
රැඳී සිටියේය.

තිසුරි යුවනිකාද ඉතාම හොඳින්
ඇගේ චරිතය රඟපෑ නමුත්
සමස්ත චිත්‍රපටය පුරාම දක්නට ලැබුණ
කැමරාව අනවශ්‍ය ලෙස ඔවුන්ට සමීප වීම
මනා රඟපෑමක් වුවත් අතිශයෝක්තියක් ලෙස
හුවා දැක්වෙන අවස්ථා විය.

පාපනාසම් චිත්‍රපටයේ දර්ශන වලදී
අපත් චරිතත් අතර ප්‍රමාණවත් දුරක්
අධ්‍යක්ෂකවරයා පවත්වාගෙන ඇත.
ධර්ම යුද්ධයෙහි දක්නට ලැබෙන
අපත් ඒ දර්ශන වල කොටස් කරුවන් බව
අපට හැඟෙන තරමට සමීප රූප
අධික ලෙස භාවිතා වී තිබිණ.

සමස්තයක් ලෙස
අධ්‍යක්ෂණය, රඟපෑම, ආලෝක කරණය
ඇඳුම් පැළඳුම්, අවස්ථා නිරූපණය
ආදී සියලුම අංශ වලින්
ධර්ම යුද්ධය නාට්‍යයකට සමීප වන අතර
පාපනාසම් ඉතාම ස්වාභාවික ලෙස
ඉදිරිපත් කොට ඇති බව කිව හැක.

මෙහි ජපන් මුල් චිත්‍රපටය ඇතුළුව
ඉතිරි ඉන්දීය චිත්‍රපටද ඉදිරි දිනවල
නරඹන්නට බලාපොරොත්තු වෙමු.

ජපන් චිත්‍රපට කතා සැකිල්ල හැරුණ විට
සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි.