20170709

ගිනි අවියෙන් රට ගිනි තියන තවත් 88-89ක්....?

තරුණයන් ගිනි අවි අතට ගන්නා,
තැන තැන වෙඩි හඬ ඇසෙන,
ගං දියේ මළකඳන් පාවෙන
ත්‍රාසය, භීතිය, රජ කරන
තවත් භීෂණයක් අත ළඟයි,
කියන රජයේ වෛද්‍ය සංගමය
නිවැරදිද?

ඔවුන්ට එවැනි අවශ්‍යතාවයක් හෝ
එවැනි සූදානමක් ඔවුන් තුළ වේද?
එවැන්නක් සිදු වුවහොත් සිදු වන්නේ
ඔවුන්ගේ සටන් සගයා වන අන්තරෙන් බව
අපට සිතා ගත හකිය.

එවැනි අපරාධකාරී,
ම්ලේච්ඡ අස්වැන්නක් නෙලාගන්නට අවශ්‍ය
මානසික සරු බිමක් අප වටා
ඉදි වෙමින් ඇත.

බීජ වගාව සයිටම් විරෝධයයි.
වපුරන අය අස්වැන්නද නෙළා ගන්නවා ඇත.

වැරදියට ක්‍රියා කළ හිස කඳින් වෙන්වූ
රට පුරා විසිරෙන මළකඳන් ඉපනැල්ල
88-89මෙන් මතකයක් පමණක් වනු ඇත.

ඝාතන සංස්කෘතියක් බිහි කරගන්නට
ආතතියෙන් පෙළෙන, වෛරී හැඟීමෙන් පෙළෙන
විනාශකාරී, දාමරික තරුණ ඉත්තන්
දහස් ගාණක් අවශ්‍යය.

88-89 මෙන්
ඝාතන සංස්කෘතියක ඉත්තන් වන
විනාශකාරී නොදැමුණු තරුණ පෙළක් ඇති කරන
ත්‍රස්තවාදී සංස්කෘතිය නිර්මාණය කිරීමට අවශ්‍ය
ප්‍රධාන සුදුසුකම ද්වේශයයි.

ද්වේශය පහළ වන්නේ
තමන් කැමති දෙ නොලැබීමෙහි
ප්‍රතිඵලයක් ලෙසය.

යමක් ලැබීමට ඇති කැමත්ත රාගයයි.
රාගය ප්‍රධානම ඉන්ධනය වන අතර
කාමයෙන් රාගය පෝෂණය වෙයි.

රාගය පෝෂණයට අවශ්‍ය
පහසුවෙන් කාමය ඇවිස්සෙන පරිසරයකි.
සෑහෙන කලක් තිස්සේ ඒ පරිසරය
අප වටා නිමවෙමින් පවතිනවා..
කාමය සොයන කාමච්ඡන්දයෙන්
ලොව මුල්තැනට පත් වන්නේ එනිසාය.

රාගයත්, කාමයත්
කාසියෙහි අනිත් පැත්තවන
ද්වේශයට ක්ෂණයක් ප්‍රමාණවත්ය.
කාමය පදනම් වී, පසුබිම් වී කෙරෙන ම්ලේච්ඡ ඝාතන
මේ ප්‍රවණතාවයට සාක්ෂි දරයි.

දාමරික ක්‍රියාවලට පෙළඹෙන
ඉක්මණින් සුළුදේටත් කෝප වෙන,
අඬදබර වලට යොමුවෙන තරුණයන්
ස්වභාවයෙන්ම රාගාධිකය.
ආවේගශීලීය.

අවශ්‍ය පියවර ගැනීමෙන්
මේ රාගය ද්වේශය බවට හරවා
භාවිතා කළ හැක.

ගෙදරට එන විදුලිය වගේම
රාගයත් ද්වේශයත් එකම ධාරාවක්.
කායිකව එකම ආවේගයක්
භාවිතාවෙදි
එකිනෙකට වෙනස් ප්‍රභේද දෙකක්.
වාතාවරණය ප්‍රිය නම්
රාගය විදියට පවතිනවා.
අප්‍රිය වුණ ගමන් ද්වේශයට හැරෙනවා.

ස්ත්‍රී දූෂකයාගෙ රාගය
බිය මතු වුණාම ද්වේශය වෙනවා.
ඔහු ඝාතනයටත් පෙළඹෙනවා.
ඔහුගෙ රාගයේ ආවේගය
ඝාතනයට ප්‍රමාණවත්.

පෙම්වතිය අත්හැරීමෙන්
ඇය ගැන තිබුණ රාගයම
ද්වේශයට හැරෙනවා.
රාගය ද්වේශයට හැරුණාම
පෙම්වතිය මරන්න හැකි වෙනවා වගේම
සිය දිවි නසා ගන්නත් පුලුවන්.

මේ ද්වේශයම දේශපාලනික අරමුණක් සඳහා
සියුම් විදියට භාවිතා කරන අයට
මරාගෙන මැරෙන දාමරිකයෙක්
නොමිලේම නිර්මාණය කරගන්න පුලුවන්.
ඔහු මරණය වෙත යන්නේ
ඔහුගේම කැමැත්තෙන්.
ඔහු ස්වයං සම්මානිත විරුවෙක්.
සිහිනෙන් ඇවිදින කෙනෙක්.

කාමය අවුස්සන පොතපත, නිල් චිත්‍රපට ආදියට
ඇබ්බැහි වුණ තරුණ පෙළ රාගයෙන් දැවෙනවා.
රාගයෙන් දැවෙන මනසේ ද්වේශය අවුස්සා
ද්වේශාධිකයන් අතට ගිනි අවි පුපුරන ද්‍රව්‍ය දී
ජනතාව පෙළන දරුණු විනාශකාරී ක්‍රියාවනට
ඔවුන් යොමු කරගැනීමට ත්‍රස්තවාදීන්ට හැකි වෙනවා.

තමන් තීරණ ගන්නවා කියා
ත්‍රස්තවාදී තරුණයා හිතනවා.
ඒත් ඔහු තවත් කෙනෙකු අත ගිනි අවියක් විතරයි.
ගිනි අවියක ගින්දරෙන් හානි කළ හැකි නිසා
ඒ තරුණයාට ප්‍රබල ඉල්ලුමක් තියනවා.

ද්වේශය ඇවිස්සිය හැකි කතා පවත්වන
ද්වේශය ඇවිස්සිය හැකි අවස්ථා වලට
ද්වේශාධික ඉත්තන් යොමු කළ  හැකි අය
ත්‍රස්තවාදී කණ්ඩායම් මෙහෙයවන
නායකයන් බවට පත් වෙනවා.

කල්ලි හැඟීමෙන් පෝෂණය වී
ඔහු අදහන පිරිස ඔහු පසු පස යන්නෙ
නායක සතා පසුපස ඇදෙන
ඒකමිතික සතුන් රැළක් වගෙයි.

මේ කණ්ඩායම් වල සමාජිකයන් අතර
නූගතුන් මෙන්ම උගතුන්, විද්වතුන් සහ
ඉහළ පෙළේ වෘත්තිකයන්ද සිටිය හැකියි.
ද්වේශාධික හැඟීම් ඇවිස්සීමෙන් පසුව
ඔවුන්ගේ බුද්ධිය අකර්මණ්‍ය වෙනවා

මේ කණ්ඩායම් වල සංවිධායකයන් සහ
ඊනියා නායකත්වය දරණ නරුම පුද්ගලයන්
සාමාජිකයන් මෙන් පහසුවෙන් ඇවිස්සෙන්නේ නැහැ.
ඔවුන් බොහෝ විට ජීවත් වන්නේ
හැඟීම් රහිත, නරුම, ගෝත්‍රික ස්වභාවයේ ජීවිතයි.
ඔවුන්ගේ හැසිරීම දෙබිඩි ස්වරූපයක් ගන්නවා.
පුද්ගලික ජීවිතයේ ඔවුන් සාමාන්‍ය මිනිස්සු.
රට යොමු කරන දේශපාලන දර්ශනය
ඔවුන්ගේ ජීවිත තුළ නැහැ.

ඔවුන් ද්වේශය මුදා හරින්නේ කථිකත්වයෙන්.
නරුම බව බිඳගෙන හැඟීම්බරවෙන
ඔහුගේ වදන් වල ඇති ද්වේශයේ රිද්මයට
සතෙක් ගැටුමකට යොමු කරන හෝමෝන
රාගයෙන් ද්වේශයෙන් දැවෙන තරුණයන් තුළ
අනිවාර්යයෙන් නිතැතින්ම පහළ වෙනවා.
මේ හෝමෝන වලින් කැළඹෙන සිතක පෙළඹීම
වේගයෙන් එන දුම්රියක් ඉදිරියට වුවත්
තරුණයන් යොමු කරන්නට දක්කාගෙන යන්න සමත්.

ඔවුන් තමන් මහා සමාජ සේවයක් කරනවා මෙන්
මේ වියරුහුණු බොළඳ තරුණ පෙළ සිතුවත්
ද්වේශයෙන් අත්තනෝමතිකව හැසිරෙන
මේ පිරිස සමාජයටත් සාමයටත් හානිකරයි.
ඔවුන් කරන්නේ අටුව කඩා පුටුව හැදීමක්.

මේ පිරිස සමාජයෙන් ඉවත් කරගන්නට
අපේ රටේ කටයුතු වලට අත පොවා ලාභ ලබන
විදේශීය බලවේග වලට අවශ්‍යයි.
ඔවුන් මතු කරගන්නට හැකි වාතාවරණයක්
ඔවුන් මේ සමාජය තුළ ඉතා සියුම් ලෙස
නිර්මාණය කරගෙන යනවා.

අවි අතට ගැනීම් ගැන කෙරෙන අනාවැකි
ඇත්තටම ඔවුන් තුළ ඇති බලාපොරොත්තුවට
වෙස් පැළඳවීමක් පමණයි.

අවි අතට ගන්නේ ඉවත් කළ යුතු පිරිසයි.
ඒ ඔවුන් හඳුනා ගන්නා ලක්ෂණයයි.
එක් කාක්කෙකුගේ හඬ ගෑම ඇසෙන විට
එකතු වෙන කපුටන් රැළක් මෙන්
රටේ නොයෙකුත් තැන් වලින් ඇවිත්
එක් කඳවුරකට රොක් වෙන
මේ අවාසනාවන්තයන් පිරිස
අවසන තෙක්නොදන්නා නමුත්
ඔවුන් එසේ රැස් කෙරෙන්නේ
යාගයක බිලිපූජාවට විය හකිය.

මේ පිරිස උඩට මතු කරගෙන
ඔවුන් සීරුවෙන් ලැයිස්තු ගත කරගෙන
සාමකාමීන්ගෙන් වෙන් කරගෙන
සමාජයෙන් ඉවත් කර දමන්නට
සමාජය පිරිසිදු කරන්නට
මින් පෙර පැවති කැරලි දෙකක් සමත්වුණා.

කරුණු කාරණා අනුව
තුන්වැනි කැරැල්ලේ මුව විටෙහි
අප දැන් ඉන්නවාදෝහෝයි සැකයක්
සිදුවීම් පෙළ ගැසෙන ආකාරය තුළ
අපට දකින්න පුලුවන්.

මෛත්‍රීගේ නමෙන් කියවෙන මෛත්‍රී ගුණය
ඔහුගේ සිත තුළත් සැබැවින්ම පවතී නම්
ඔහුගේ සමය තුළවත් මේ ප්‍රවණතාවයට
දළු ලන්නට නොදී තබාගන්නට
ඔහුට හැකි වනු ඇති.