20190301

තණ්හාව, දුක, විඤ්ඤාණය, වේදනාව, සංඛාර, විඥාණය මොනවාද?


Shan Siraj [[[[[මේලොවේදී සැප දුක යන තත්ත්ව දෙක නොවිඳ ඉන්න තත්වයකට පත්විය හැකියි යන්න පිළිගන්නේ නැහැ. ]]]]

ඔබේ දීර්ඝ සටහනේ
බුදු දහමට අදාළ වැදගත්ම කොටස
මේ වාක්‍යයයි....
ඔබ බුදු දහම හොඳින් හදාරන බව
මේ තැනට නොපිළිගැනීම කැටි කරන්න
හැකිවීමෙන්ම පැහැදිළියි.

ඔබට ප්‍රශ්නය වැටහෙන නිසා
පිළිතුර සොයා ගැනීම පහසුයි.
බුද්හු දහමෙන් ලැබෙන විසඳුම
ප්‍රයෝජනවත් වෙන්නෙ ඔබ වැනි
සැබෑ ප්‍රශ්නය වැටහෙන අයටයි.

සැප දුක දෙකම නොවිඳීම
සැබෑම සුවය බව ඔබ පිළිගත්තොත්
ඒ සඳහා සතර සතිපට්ඨානය වැඩීම හැර
ඔබට වෙන කරන්න දෙයක් මේ ලෝකෙ නැහැ.

ඔබේ ප්‍රශ්නයට අදාළ අත්දැකීමක්
මට අද ගෙදරදීම ලැබුණා.

අද දෝණි ඉන්නෙ අසනීපයෙන්.
"මළ වදේ නේද දෝණි"
මගේ බිරිඳ කිව්වා.
දෝණිගේ කායික දුක
බිරිඳට මානසික වේදනාවක්.
ප්‍රතිකාර කිරීමට සිදුවීමේ
කායික දුකත් ඇයට ඇති.

මම දෝණිට කිව්වා
"අකමැති අමුත්තෙකුට වගේ
ලෙඩේට සලකන්න.
ඉක්මණට යවා ගන්න සුදුසු
බෙහෙත් හේත් වලින් සලකන්න.
ඒ සැලකිලිත් විඳගෙන ඉන්නවා නම්
කැමති කාලයක් ඉඳලා යන්න හරින්න.
ඉන්න එක බරක් කරගන්න එපා.
දුක ලෙඩේ නොවෙයි දෝණි.
දුක ලෙඩේ ඉක්මණට සනීප කරගන්න
ඔයාට තියන උවමනාවයි" කියලා.

"ලෙඩේ නිසා විඳින කායික දුක
ලෙඩේ සනීප වෙනතුරු කොහොමත් තියනවා.
ඒත් ඒ ලෙඩේ ඒ කාලයට කලින්
එළවා ගන්න තියන මානසික උවමනාව
අමතරව විඳින දුකක්.
ඒ අමතර දුක විඳින්න අවශ්‍ය නෑ.
ඒ මානසික උවමනාව
මේ මොහොතෙම නැති කරගන්න පුලුවන්"

දුක වහ වහා පිටත් කරන්න
අපට තියන උවමනාව දුකක්.

සැප හැකිතරම් කල් තියාගන්න
අපට තියන උවමනාවත් දුකක්.
මේ දෙකම අයිති වෙන්නෙ තණ්හාවට.

තණ්හාව දුකයි කියන්නෙ ඒ නිසයි.

දුක වහ වහා පිටත් කරන්න
අපට තියන තණ්හාව දුකයි.

සැප හැකිතරම් කල් තියාගන්න
අපට තියන තණ්හාව දුකයි.

දුප්පත් පොහොසත් භේදයක් නැතිව
සැප විඳින අයත් දුක් විඳින අයත්
දුක වහ වහා පිටත් කරන්න කැමතියි.
සැප හැකිතරම් කල් තියාගන්න කැමතියි.
මේ කැමැත්ත තමයි තණ්හාව.

දුප්පත් පොහොසත් භේදයක් නැතිව
සැප විඳින අයත් දුක් විඳින අයත්
තණ්හාව නිසා දුක් විඳිනවා.

තණ්හාවෙන් ශෝකය උපදිනවා..
තණ්හාවෙන් භය උපදිනවා.
තණ්හාව නැතිනම් සෝකයක් නෑ..
මොන භයක්ද?

දුක් විඳින අයට දුකෙන් මිදෙන්න තියන
තණ්හාවෙන් ශෝකය උපදිනවා..
සැප විඳින අයට සැප නැති වෙයි කියා තියන
තණ්හාවෙන් භය උපදිනවා.
තණ්හාව නැතිනම් සෝකයක් නෑ..
මොන භයක්ද?

සැප දුක දෙකට ඇති තණ්හාවෙන් මිදී
ජීවත් වෙන්න පුහුණු කරන එකම ක්‍රමය
සතර සතිපට්ඨානයයි.

තණ්හාව උපදින්නෙ දුක්ඛ වේදනාවට
හිතේ උපදින අකමැත්ත-තණ්හාව නිසයි.

තණ්හාව උපදින්නෙ සුඛ වේදනාවට
හිතේ උපදින කැමැත්ත-තණ්හාව නිසයි.

සැප දුක දෙකම ඇවිත් යන අතර
හිත රාග ද්වේශවලින් නොකැළඹී
උපේක්ෂාවෙන් පසු වෙන්න පුහුණුවක්
ප්‍රායෝගිකව විපස්සනා මගින් ලබා ගැනීම
ෂාන්ගෙ ගැටලුව විසඳා ගැනීමේ මගයි.

විපස්සනා කියන්නෙ
"සමස්තය ගැන සිහියෙන් නොවිඳීම."
මේ අවස්ථාවෙ
සැපත් තියනවා දුකත් තියනවා.
දෙකම නොවිඳ සිහියෙන් ඉන්න නිසා
ඇත්තටම වෙන දේ පෙනෙනවා.


සංසාරිකා Athula Siriwardhane ගේ ඡායාරූපය
Shan Siraj [[[>>මේලොවේදී සැප දුක යන තත්ත්ව දෙක නොවිඳ ඉන්න තත්වයකට පත්විය හැකියි යන්න පිළිගන්නේ නැහැ. <<
ඇත්තටම මම පිළිගන්නේ නැත්තේ සැප දුක හමුවේ විඤ්ඤාණය සක්රීය නොවන තත්වයකට පත් වීමයි.. මෙහි දාර්ශනික ගැටළුවක් තියෙනවා... මෙම තත්වය විඤ්ඤාණය නිරුද්ධ වීමක්... මෙලෙස විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ නැති බවයි මාගේ ස්ථාවරය... ]]]


ෂාන්,
මේ ප්‍රශ්නය ඔබට එන්නෙ
ඔබ සැප දුක කියා හිතන දේ
ස්පර්ශ වෙන දෙයින් උපදිනවා කියා
වැරදි අදහසක ඉන්න නිසයි.

ඔබ සැපත් දුකත් දෙකම විඳින්නෙ
වේදනාව හඳුනා ගන්නට
සංඥාව ක්‍රියා කරන වෙලාවෙදියි.

දත් කැක්කුමක් හැදුණාම
ඔබ දුක් විඳින්නෙ දතේ එනැමලය දිරලා
ඇතුළෙ තියන ස්නායු උත්තේජනය වීමෙන්.

මේ ස්නායු උත්තේජනයෙන් උපදින වේදනාව
දුක්ඛ වේදනාවක් නිසා මේ වේදනාව
ඉවත් කරගන්න තණ්හාවක් උපදිනවා.
"වේදනාවෙන් තණ්හාව උපදිනවා."

රූප වේදනා සංඥා සංඛාර විඥාණ
කියන පංචස්කන්ධයෙන් වේදනාව ඉවත් කළොත්
සැප දුක දෙකම නොදැනී යනවා.
බැලූ බැලමට නගන තර්කයට අනුව නම්
සංඛාර විඥාණ දෙකත් නැති වෙනවා.
ඒත් එහෙම වෙන්න නැත්තෙ ඇයි කියා
පසුව සලකා බලමු.

දතේ කැක්කුමෙන් මිදෙන්න
දත ගලවද්දි එන කැක්කුම
ඔබ දරා ගන්නෙ කොහොමද?

දත් දොස්තර ළඟට එන කෙනෙකුට
දුක නොදැනෙන්න දත ගලවන්න
ඔහුට හැකි වෙන්නෙ ඇයි?

දත් දොස්තර දත ගලවන්නෙ
වේදනාව හඳුනාගන්න බැරි වෙන්න
ඒ ප්‍රදේශය විසඥ කිරීමෙන් පසුවයි.

දත අවට කාය විඥාණය
තාවකාලිකව අක්‍රිය වෙනවා.
දත අඬුවෙන් ගැලෙව්වාට
කාය විඤ්ඤාණය නැති නිසා
ස්පර්ශය අසම්පූර්ණයි...

කය+රූපය+කාය විඤ්ඤාණය
තුන එක් වීම ස්පර්ශයයි.
අඬුවෙන් අල්ලලා
දත කෑලි කඩලා ඇද්දත්
විදුරු මස් කැඩිලා ලේ ගලද්දි
අපට ස්පර්ශය දැනෙන්නෙ නෑ.

ස්පර්ශය නැති නිසා
වේදනාව දැනෙන්නෙ නෑ.

සංඥාවට හඳුනාගන්න
දුක්ඛ වේදනා ඇති වෙන්නෙ නෑ.
ද්වේශ සංස්කාර ඇති වෙන්නෙ නෑ.
දොස්තර දත ගලවනවා.

ඔබ දුක් විඳින්නෙ දත ගැලවීමෙන් නොවෙයි.
දත ගැලෙව්වා කියා ඔබ දන්නෙත් නෑ.

දුක්ඛ වේදනාව සංඥාවට එන්න කලින්
නවත්තන්න දත් දොස්තරට පුලුවන්.
වේදනාව සංඥාවෙන් එහාට නොගියොත්
ද්වේශය උපදින්නෙ නෑ.
ඵස්ස ඇත්තෙත් නෑ.. වේදනා ඇත්තෙත් නෑ..
සංඥාව ඇත්තෙත් නෑ....
සංඥා වේදයිත නිරෝධයද?...
එහෙම කියන්නත් පුලුවන්.

වේදනාවක් නැති නිසා
තණ්හාව නම් නෑ තමයි.
අපි ඔහේ බලාගෙන ඉනවා.
විසංඛාර ගතං චිත්තං
කියලා අපිට කියන්න පුලුවන්ද?

මෝහයත් සංස්කාරයක්.
අමු අමුවෙ දත ගලවන්න
දත් දොස්තර මෝහය භාවිතා කරනවා.
මෝහය තියෙද්දි සුඛ දුක්ඛ වේදනා නෑ..
මෙතනදි දොස්තර නැති කරන්නෙ
දත අවට කාය විඤ්ඤාණය...

සුඛ වේදනා  දුක්ඛ වේදනා නැති නිසා
රාග සංස්කාර ද්වේශ සංස්කාර
ඇති වෙන්නෙ නෑ තමයි.
ඒත් අදුක්ඛමාසුඛ වේදනාව තියනවා.
ඒ නිසා සංස්කාර නැති වෙන්නෙ නෑ..
මෝහය තියන නිසා විසංඛාරගත වෙන්නෙ නෑ.
මෝහයත් එක සංස්කාරයක්.

විසඥ වුණ කෙනෙක් තුළ තියෙන්නෙ මෝහය.
නේවසඤ්ඤා නාසංඥායතනාදී
ඉහළ ධ්‍යානවලට පත් වුණත්
මෝහය නැති වෙන්නෙ නෑ.

කෙලෙස් නසන කෙනෙකුට
මෝහයත් දුරු කළයුතු ක්ලේශයක්.
මෝහය ඉතුරු වෙලා තියනවා නම්
රාග ද්වේශ නැති කිරීම ප්‍රමාණවත් නෑ.
අවිද්‍යාව ඉතුරු වෙනවා.

කාය විඥාණය තියන තැන මෝහය තිබුණට
මෝහ සංස්කාරයෙන් ඇති වෙන විඥාණය
ඉපදීම නතර වෙන්නෙ නෑ.

රාග ද්වේශ නැති කරන සමථ භාවනා
නිවන් මග වශයෙන් සලකන්නෙ නැත්තෙ
මෝහය ඉතුරු වෙන නිසයි.

අවිද්‍යාවෙන් සංස්කාර උපදිනවා.
සංස්කාර නිසා විඥාණය උපදිනවා.

සමථයෙන් රාගය ප්‍රහීණ වෙනවා.
අවිද්‍යාව දුරු වෙන්නෙ විදර්ශනාවෙන්.

නිවන් මග සම්පූර්ණ වෙන්න නම්
අවිද්‍යාව - මෝහය නැති කරන
සිහිය පිහිටුවාගැනීම අවශ්‍ය වෙනවා.

වේදනාව සුඛ වුණත් දුක්ඛ වුණත්
ඒ වේදනා ගැන "සිහියෙන්" ඉන්න කෙනෙක් තුළ
මෝහ සංස්කාරය ඇති වෙන්නෙ නෑ.
රාග ද්වේශ නැතිව ඉන්න පුලුවනි නම්
සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා.
අවිද්‍යාව දුරු වෙනවා.