20160428

සැබෑ විපස්සනාව සහ සිරිධම්ම හිමි දෙසන ව්‍යාජ විපස්සනාව


රහත් බව දක්වා මගඵල ලැබූවන් මෙන්ම
විදසුන් වඩන්නාද ආර්ය ශ්‍රාවකයෙකි.
කෙලෙසුන් නසා, ආශ්‍රව ක්ෂය කොට
රහත් බවට පත්වුවත්
සාමාන්‍ය ජීවිතය තුළ රහත් කෙනෙක් විඳින්නෙත්
විදසුන් වඩන මොහොතේදී
පුහුදුන් කෙනෙක් විඳින අත්දැකීම් බව
සිරිධම්ම නොදන්නා බව
ඔහුගේ විපස්සනා දේශනා වලින්
පැහැදිලි වෙනවා.

සිරිධම්ම උගන්වන විපස්සනාව
විපස්සනාවක් නොවේ.

ඔහු එසේ කරන්නේ කිසියම් යටි අරමුණකින් නොව
ඔහුගේ නොදන්නාකම නිසා යයි මම සිතමි.
රහත් වී ඇතැයි මුලා වී සිටින ඔහු
විපස්සනාව ලෙස උගන්වන්නේ
තමන් ලද අත්දැකීම
ක් විනා
පිරිසිදු විපස්සනා මාර්ගය නොවෙයි.


හින්දු සමථ භාවනා වලින් පත්වෙන
සිතේ සිතුවිලි නැති අවස්ථාව
සිත සිතුවිලිවලින් ශූන්‍ය වීම

නිවන කියා ඔහු හිතා ඉන්න නිසා
නිවැරදි මග සෙවීමකුත් නැහැ.

කැපවීමෙන් සමථ භාවනා වඩන්නන්
සිතේ සිතුවිලි නැති අවස්ථාවට පත්වීම
පහසුවෙන් සිදු විය හැකියි.
ඔවුන්ගේ සිත සිතුවිලිවලින් ශූන්‍ය වීම
නිවන කියා මුලාවීම සාමාන්‍ය දෙයක්..

මෙවැනි මුලාවකින් ජීවත් වෙන අය
සිය දහස් ගණනක් මේ මොහොතෙත්
භාවනා මධ්‍යස්ථානවල බවුන් වඩමින් ඇති.

ස්නායු මණ්ඩල මත ක්‍රියාකරන
කුණ්ඩලිණී වැනි හින්දු සමථ භාවනා ක්‍රම
නිසි මග පෙන්වීමකින් තොරව වැඩීමෙන්
මග වරදින්න අවකාශ තියනවා.
මානසිකව අතරමං වෙනවා.

තනිව සිත සමග ක්‍රියා නොකර
සිතත් කයත් සමස්තයක් ලෙස වඩන
විදර්ශනාව
ස්වාභාවික ක්‍රියාවලියකට ඉඩදී
අප උපේක්ෂාවෙන් විසීමක් පමණයි.

" සිත ශූන්‍ය වීම නිසා මම රහතෙක් "
වහසි බස් දොඩන
සිරිධම්මගේ දහම් දැනුමත්,
තර්කනයට ඇති ප්‍රබල හැකියාවත්,
අපේ බොළඳ මිනිසුන්
වන්දනා කරන්නට කැමති ආකාරයේ
මාන්නාධික ගෝත්‍රික නායකයෙකුගෙ
ආක්‍රමණ ශීලී පෞරුෂයත් සමග
මේ සියල්ලම පරදවන සුළු
මහ රහත් බවටත් වඩා ලොකු
විලිලැජ්ජා නැති කමත් නිසා
ඒ මුලාව රහත් බව විදියට
අපේ රටේ සුළු පිරිසකට මාර්කට් කරගන්නට
සිරිධම්ම සමත් වී තියනවා.

වායු සමීකරණය කළ කාමරවල
මහේශාක්‍ය ලෙස ජීවත් වෙන
කාය චිත්ත දුක් දොම්නස් වලින් මිදෙන්නට
නිර්වින්දක රසායනික සංයෝග
ඖෂධ ලෙස සලකා භාවිතා කරන
සැප සම්පත් විඳින සුකොමල පෙළැන්තියට
නිවන යනු  එවන් නිර්වින්දනයකි .

ළදරු වියේ සිටම
සැපටම හුරුවූ සැපම සොයන කෝමල සියුමැලි චරිතවලට
කය පිළිබඳව අවසිහියෙන්, මෝහයෙන් පසුවීම ආනන්දයකි,
නිවන සුවදායක ෆැන්ටසියක් ලෙස සිතන ඔවුන්ට
සිත ශූන්‍ය කරගෙන ලබන මෝහය
ඔවුන් සිතන පතන නිවන බඳු සුවයකි.

සැබෑ නිවන තුළ අමුතු සුවයක් නැත.
නිවන තුළ ඇත්තේ
දුකට පත්වෙන පුහුදුන් තැනැත්තා විඳින
මානසික දුක නැතිවීම පමණි.
--------------------------------------------

පින්වත් සාරිපුත්‍රයෙනි,
නිවන සැපයි, සුවදායකයි යයි ඔබ කියයි,
විඳින්න කෙනෙක් නැති නිවනේ කවර සැපයක්ද සුවයක්ද?
“උපාලි, විඳින්න කෙනෙක් නොමැති වීමමයි එහි ඇති සැපය,
විඳින්න කෙනෙක් නැති වීමමයි එහි ඇති සුවය..”
සංයුක්ත නිකාය නිබ්බානාසුඛ සූත්‍රය
------------------
මාර්ග ඵල ලාභියා පැය විසි හතර
තුළමත්
විදසුන් වඩ
න්නා විදසුන් වඩන මොහොතත් තුළ
සිදු වෙන දේ සිහියෙන් දකින නිසා මෝහයත්
ප්‍රිය අප්‍රිය භාවයෙන් නොබැඳෙන නිසා
රාග ද්වේශත් ඇති නොවන හෙයින්
විඳින්නෙකු නැත.

===================================
මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍රය

මේ සනාතන දහම පැහැදිලි වෙන
මගේ ප්‍රායෝගික අත්දැකීමක්.

Dhamma Khetta, Hyderabad - 500 070, Telangana, India
1990 දශකයේ මැදභාගයේදී
ඉන්දියාවෙ තෙලඟානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර
ධම්ම ඛෙත්ත විපස්සනා මධ්‍යස්ථානයේදී
මේ රූපයෙ දැක්වෙන
යකඩ ගේට්ටුව අරිනකොට
ජීවන් මා එක්ක ඇවිත්
එතන නතර කරගෙන තිබුණ ස්කූටරය
පසු පසට ගැනීමට යාමෙදි අත්වැරදීමකින්
ඉදිරියට පැනලා ගේට්ටුව නැවත වැහුණා.
මගේ මහපටැඟිල්ල
ඒ ගේට්ටු පළු දෙකට අහුවුණා.

එක් වරම අත ගසා දැමුණා.

ඊළඟ මොහොතෙහි මම
අත දෙසත් වේදනාවත් බැලුවා.
මහපටැඟිල්ලෙ උඩ පුරුක
දෙපලකින් පැලී ලේ ආවා.
අදටත් නිය පොත්තේ ඒ වෙනස තියනවා.

මහපටැඟිල්ලත් දබරැඟිල්ලත්
දෙකේම දැඩි වේදනාවක් දැනුනා.
අනික් ඇඟිළි තුනේ වේදනාව අඩුයි.

මෑත දිනක මට හමු වූ වෛද්‍ය ශිෂ්‍යයෙකුට
මා මේ අත්දැකීම කිව්වාම
ඔහු කිව්වේ
මහපටැඟිල්ල සහ දබරැඟිල්ල එක් ස්නායුවකටත්
අනික් ඇඟිලි තුන වෙනත් ස්නායුවකටත්
සම්බන්ධ බවයි.

මම ඒ වෙනස හඳුනා ගත්තේ
මගේ සිතේ උපෙක්ෂාව තිබුණ නිසයි.
නැත්නම් මට මුළු අතම වේදනාවක්.

ඒ වේදනාවට උපෙක්ෂාවෙන්
මම ස්කූටරයට නැග්ගා.
ස්කූටරය පැදවූ ජීවන්
ඒ සිද්ධිය සාමාන්‍ය දෙයක් ලෙස භාර ගත්තා.
මම ඔහුට කිසිවක් කීවේ නෑ.

පසුදා දහය පමණ වනතුරු වේදනාව තිබුණා.
මා කිසිදු ප්‍රතිකාරයක් කළේ නෑ.

කැටි ගැසුණ ලේ
නොතෙමා ආරක්ෂා කළා.

විශබීජ වලින් ආරක්ෂාව,
කැටි ගැසුණ ලේ ටික පමණයි.


මසකට පමණ පසු
මහපටැඟිල්ල සුව වුණා.

මේ මොහොතෙත්
සිහිය යොමු කරන විට
ඒ ඇඟිලි දෙකේ වේදනා මතු වෙනවා.
ඒ අත්දැකීමෙන් එකතු වූ ද්වේශ සංස්කාර
තවමත් තියනවා.


වේදනා ඇඟිලි වල දැණුනත්
මේ දැනෙන වේදනාවලට හේතුවෙන
ද්වේශ සංස්කාර තැන්පත්ව ඇත්තේ
ස්නායු පද්ධතියේ හෝ මොළයේ විය හැකියි.

අදටත් කලින් කලට
සිත හොඳින් තැන්පත්වූ අවස්ථාවන්හි
එදා මා සිහියෙන් නොදැක
විඥාණයෙහි තැන්පත්වූ ද්වේශ සංඛාර
ඇඟිල්ල කීරි ගැහෙන
සියුම් වේදනාවක් ලෙස මතු වී
නිරුද්ධ වෙනවා.

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති.

විපස්සනා
සැබෑ ජීවි
යෙ අත්දැකීම් වලදි
දුකෙන් මිදෙන්න උපකාර වෙන්නෙ 

ඒ ආකාරයටයි..

මම කායිකව දුක් වින්දා පමණයි.
මානසිකව දුක් වින්දේ නෑ.


වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,

පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි.
.

මොහොතෙන් මොහොතට සිහිය පිහිටුවාගෙන
සිදුවෙන කිසිවකින් නොකැළඹී,
සියල්ලටම අනිශ්‍රිතව,
ඒ වෙනස්කම් කිසිවක් අල්ලාගැනීමෙන් තොරව
උපේක්ෂාවෙන් විසීම විපස්සනාවයි.
සම්මා සතියයි, සතර සතිපට්ඨානයයි.
බුදු දහමෙහි සඳහන් නිවන් මාර්ගයයි.


 =================================
මහණෙනි,
ශ්‍රැතවත්
ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍ර

-----------------------------------


නිවන අත්විඳින
රහතන් වහන්සේලා ඇතුළු මාර්ගඵල ලාභීන්ද
පුහුදුන් වුවත් විදසුන් වඩන්නා
ඔහු විදසුන් වඩන මොහොත තුළද

ආර්ය ශ්‍රාවකයන්ය.

 
ඇසු පිරූ තැන් ඇති ඒ ආර්ය ශ්‍රාවකයන් සමග
ඇසු පිරූ තැන් නැති පුහුදුන් පුද්ගලයා
ඉතාම සරලව
සංසන්දනය කරමින්
අප බුදුන් වහන්සේ
සල්ල සූත්‍රයේ මෙසේ ප්‍රකාශ කළහ.

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත්
ආර්ය ශ්‍රාවක තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .


මුගලන් මහ රහතන් වහන්සේගේ කයෙහි ඇට කුඩු වෙනතුරු
ජීවත්විය නොහැකි තරමට සොරුන්ගෙන් පහර කෑවද
ශෝක නො කළෙහිය. ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය.
ළෙහි පැහැර නො හැඬීය. මුළාවට නො පැමිණෙහිය.
කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත..

රහත් කෙනෙකු ලෙස විපස්සනා නමින්
නිතරම දේශන පවත්වන නමුදු
මේ වෙනසවත් නොදන්නා සිරිධම්ම
බුදුන් වහන්සේ වදාළ ආකාරයට
විපස්සනාව කටපාඩමෙන්වත්
දන්නවා ඇතැයි සිතිය නොහැක.
විපස්සනාව පිළිබඳව කටපාඩමෙන් දන්නවා නම්
අත්දැකීමෙන් ලද කිසිදු අවබෝධයක් ඔහුට නැහැ.

ඔහු විපස්සනාව කියා
ජනතාව මුලා කරමින් දෙසන්නේ
ඔහුම නිර්මාණය කරගත්ත
ඔහු චිත්තානුපස්සනාව නමින් හඳුන්වන
සරල සමථ භාවනා ක්‍රමයක්.

" අතීතය ගැන නොසිතන්න
අනාගතය ගැන නොසිතන්න
වර්තමානයෙහි ඉන්න. "
මෙවැනි සුමුදු සුරතල් භාවනා ක්‍රම
හින්දු ආගමට සාමාන්‍ය දෙයක්.
ක්‍රිස්තියානි පූජකයන් විසිනුත් උගන්වනවා.

1 කායානුපස්සනා,
2 වේදනානුපස්සනා,
3 චිත්තානුපස්සනා,
4 ධම්මානුපස්සනා
ලෙස
අංග හතරකින් සමන්විත විපස්සනාව වෙනුවට
ඔහු උගන්වන සිත ශූන්‍ය කිරීමේ ක්‍රමය
ඔහු හඳුන්වන්නෙත් චිත්තානුපස්සනාව ලෙසයි.

වරදවා දෙසන චිත්තානුපස්සනාව හැරෙන්නට
කායානුපස්සනාවත්,
වේදනානුපස්සනාවත්,
ධම්මානුපස්සනාවත්
නාමිකව හෝ
ඔහුගේ දේශනා තුළ මා අසා නැහැ.

මේ ඔහුගේ විපස්සනාවයි.
------------------------------------------

මං ඕගොල්ලන්ට කියන්නම්
සෝතාපන්න වෙන්න තියන කෙටි ක්‍රමයක්.
වර්තමානයේ පැවතීමමයි.
වර්තමානය තියනකොට කිසි දුකක් නෑ.
ඒ දුක නැතිව පැවැත්තුවාම
ඒ දුක නැතිකමම තමයි
එයාගෙ විපස්සනාව.
සිහියෙන් පැවතීම.
එතකොට එයා වර්තමානයට ආවාම
වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
පිළිගන්නවද නැද්ද?
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා.
ඉතිං හරිනේ එහෙනම්..
එහෙනම් ඔය මොකක්වත් බහුබූත ඕන නෑනේ.
--------------------------------------------------
මේ ඔහු උගන්වන චිත්තානුපස්සනාවයි.

''වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව'' යනු සත්‍යයකි.
ඒ ප්‍රකාශය නිවැරදිය.
වර්තමානය යනු මේ මොහොත බව
පාසල් දරුවෙක් වුව දන්නා සත්‍යයකි.

වරද ඇත්තේ මේ ප්‍රකාශයෙහිය.
'' මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව. ''


මේ මොහොත තුළ පවතින්නේ සිත පමණක් නොවේ.
සිත එක් සාධකයක් පමණි.

සිත මේ මොහොතෙන් ග්‍රහණය කරගන්නේ
 
ඉතා සුළු කොටසකි.

ඔබ මේ වචන කියවමින් සිටින අතර
ඔබ අවට බොහෝ දේ සිදුවෙන නමුත්
ඔබේ සිත දන්නේ නැත.
මේ මොහොතේ කනට ඇසෙන නමුත්
සිතට නෑ
සෙන ශබ්ද කොතරම් ඇත්ද කියා
මදකට සවන් යොමු කර බලන්න.
----------------------------------------------------------

 මදකට සවන් යොමු කරන්න.
 සිතට නෑ
සෙන ශබ්ද කොතරම්ද?

----------------------------------------------------------
මේ මොහොතෙහි
ඔබේ අතපය හතර ඇත්තේ කොතනක දැයි
ඔබේ සිත නොදනී.

ඔබේ හුස්ම ඔබේ සිත නොදනී.

මේ මොහොතේ ඔබ තුළ සිදුවෙමින් පවතින
කිසිවක් ඔබේ සිත නොදනී.


ඔබේ සිත දන්නේ
ඔබ සිත යොමු කරන දේ පමණි.
ඔබ සොයන්නේ ශූන්‍යත්වය නම්
සරල සුගම වෑයමකින් පසුව
ඔබේ සිත ශූන්‍ය වනු ඇත.
ඔබ පන ගැහෙන මළමිණියක් බවට පත් කරමින්

මේ
අසුන මතම
ඔබේ කය අකර්මණ්‍ය කරගෙන
සිත ශූන්‍ය කරගන්නට ඔබට හැක.

මේ මොහොත යනු
ඔබේ සිත දකින කුඩා පරාසය නොවේ.

ඔබේ සිත යනු මේ මොහොත ලෙස සිතුවත්
ඔබේ සිත යනු
ඔබ මේ වචන කියවන්නට භාවිතා කරන
ඉතා කුඩා පරාසය නොවේ.


මේ මොහොත යනු ඔබේ සිතද නොවේ.
ඔබ දකින සිත යනු
ඔබ අත්දකින එක සාධකයක් පමණි.

සැබැවින්ම මේ මොහොත යනු
ඔබ තුළත් ඔබ අවටත් සිදුවෙන
බොහෝ දේවල්වල මිශ්‍රණයකි.
ඒ අරමුණු මිශ්‍රණය
ඔබේ කයත් සිතත් දෙකම
මොහොතෙන් මොහොතට වෙනස් කරමින් ඇත.

සෝයා ව්‍යංජනයක් යනු
තනිකරම සෝයා නොවේ.
කිරි, මිරිස්, කුළුබඩු ආදී
බොහෝ දේ එහි ඇත.
සෝයා පමණක් දකින්නා
නිවැරදි සිහියෙන් යුතු කෙනෙකු නොවේ.
සෝයා ව්‍යංජනය සපුරාම දත යුතුය.

එසේම සත්වයෙක් යනු
සිතක් පමණක් නොවේ.
කයක් පමණක්ද නොවේ.
දෙකම එකක් අනිකට බලපාමින්
ක්‍රියාත්මක වෙයි.

සත්වයෙකුගේ සිත වෙනස් වෙනවිට
කය වෙනස් වෙයි.
කය වෙනස් වෙන විට සිත වෙනස් වෙයි.

සිතේ හැඟීම්, ආවේග,
සිතිවිලි ආදිය අනුව කය වෙනස් වෙයි..
කයට ලැබෙන ස්පර්ශ අනුව සිත වෙනස් වෙයි

ඔබට අදාළ මේ මොහොත යනු
බාහිර ලෝකයෙහි සහ අප තුළ සිදු වෙන
නිරන්තර වෙනස්වීම් අනුව වෙනස්වෙන
ඔබේ සිත සහ ඔබේ කයයි.

ඔබේ මේ මොහොත යනු
ඔබේ සිතත් කයත් තුළ සිදුවෙන
වෙනස්වීම් සමුදායයි.


සැබෑ චිත්තානුපස්සනාවෙන්
සිත දකින කෙනෙක් විසින් සිතට විඳිය හැකි
සම්පූර්ණ වෙනස්වීම් පරාසය දැකිය යුතුය.

විපස්සනා වඩන කෙනෙක්
සම්පූර්ණයෙන්ම සිත දැකිය යුතුය.

බාහිර ලෝකයෙහි සහ අප තුළ සිදු වෙන
නිරන්තර වෙනස්වීම් අනුව වෙනස්වෙන
සිතෙහි වෙන වෙනස්වීම් දැකිය යුතුය.

සම්පූර්ණයෙන්ම කය දැකිය යුතුය.
බාහිර ලෝකයෙහි සහ අප තුළ සිදු වෙන
නිරන්තර වෙනස්වීම් අනුව වෙනස්වෙන
කයෙහි වෙන වෙනස්වීම්ද දැකිය යුතුයි.

චිත්තානුපස්සනාවට අනුව
සිත ගැන සිහියෙන් සිටින කෙනෙක්
සිතෙහි වෙනස්කම් දැකිය යුතුය.
ඒ සිත නිසා කයෙහි ඇතිවෙන
වේදනාද දැකිය යුතුය.
වේදනා පවතින කයද දැකිය යුතුය.
ඔහුගේ සිත ශූන්‍ය නම්
ඔහු මේ කිසිවක් නොදනී.
ඔහු පසුවන්නේ මෝහයෙනි.

ඔහු තුළ
බිඳෙන සුළු මිථ්‍යා උපේක්ෂාවක් පවතී.
බිඳෙනසුළු මිථ්‍යා සමාධියක් පවතී.

ඔහු ගොළුබෙල්ලෙකු මෙන්
කටුව තුළටම වී සිත රැකගනියි.
බිඳෙනසුළු සිතේ ශූන්‍ය භාවය
පරිශ්‍රමයෙන් යුතුව රැක ගනියි.

ඔහු තමන් රහත් යැයි මුලා වුවද
ඔහු සිටින්නේ සාමාන්‍ය පුහුදුන් මිනිසාටද වඩා
සිහියෙන් පහත් තලයකය.
ඔහුට මනසින් බැඳුන අය
කුඩා දරුවෙකු මෙන් ඔහු ආරක්ෂා කරනු ඇත.

කුඩා දරුවෙකු මෙන් සිත ශූන්‍ය කරගත් ඔහු
ඔහුගේ චරිතයේ දුර්වලකම් අනුව
කුඩා දරුවෙකු මෙන් නිර්ලජ්ජිතව හැසිරෙයි.
අනුගාමිකයන් එහි වරද නොදකියි.

ඔහු මෝහය දෙසට ගමන් කරන අතර
විපස්සනා වඩන්නා සිහියෙන් ගමන් කරන්නේ
සපුරාම ප්‍රති විරුද්ධ දිසාවටයි.
ඔහු කරන්නේ සියල්ල ඉවත් කොට
සිතුවිලි නතර කොට
මනස ශූන්‍ය කිරීමක් නොවේ.


විපස්සනා වඩන්නා
මේ මොහොතෙහි ඔහුගේ සිත සහ කය තුළ
සිදු වෙන සියලු වෙනස්වීම් ගැන
ඔහු පිහිටුවාගන්නා සිහිය නිසා
මේ මොහොතේ මෝහය නැති වෙයි.
ලෝභයෙන් හෝ ද්වේශයෙන් තොරව
සිහිය පවත්වා ගැනීමෙන්

මේ මොහොතේ
රාග ද්වේශ ඇති නොවෙයි.


බාහිර ලෝකයෙහි සිදුවෙන දේ අනුවත්
අප තුළමත් සිදු වෙන සියල්ල අනුව
සිත කය වෙනස්වීම පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් වෙසෙයි නම්
ඔහු විපස්සනා වඩන්නෙකි.

නිවන් මග වඩන ආර්ය ශ්‍රාවකයෙකි.

කායානුපස්සනා වඩන්නාගේ
මේ මොහොත පිළිබඳ දැක්ම මෙසේය.

ඇතුළතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
පිටතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
ඇතුළතින්ද පිටතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
කයෙහි ඇතිවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
කයෙහි වැයවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
කයෙහි ඇතිවෙන වැයවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
කයෙහි ඇතිවීම හෝ නැසීමෙහි
සිහිය පිහිටුවාගෙන
යාවජීව ලෙස
ඤාණ මාත්‍රයෙන්
එළඹ සිටි සිහිමාත්‍රයෙන්
අනිශ්‍රිතව වෙසෙයි.
පවතින කිසිවක්
මදක්වත් ග්‍රහණය නොකරයි.
මෙසේ කයෙහි කය අනුව
දකිමින් වෙසෙයි.

වේදනානුපස්සනා,
චිත්තානුපස්සනා
ධම්මානුපස්සනා වලදී
අදාළ අයුරින් වෙසෙසින් දකි
යි.
මේ වෙසෙස් දැක්ම
විපස්සනාවෙහි මූලිකම අවශ්‍යතාවයයි.
දෙවන අවශ්‍යතාවය නම්
මේ සියල්ලටම උපේක්ෂාවෙන් විසීමයි.

බුදුන් වහන්සේ වදාළ
මේ පැහැදිලි විපස්සනා මාර්ගය
සිරිධම්මගේ විපස්සනාව සමග සසඳන්න
.


සිතත් කයත් පිළිබඳව සිහියෙන් තොර නිසා
සිතිවිලි ශූන්‍ය සිතක පවතින්නේ
මෝහය විනා විපස්සනා දැක්ම නොවේ.


කය
වේදනා
සිත
සිතෙහි ඇතිවෙන ධර්මතා

යන අංග සතර වෙනස් වෙන ආකාරය
මොහොතෙන් මොහොතට සිහිය පිහිටුවාගෙන
සිදුවෙන කිසිවකින් නොකැළඹී,
සියල්ලටම අනිශ්‍රිතව,
ඒ වෙනස්කම් කිසිවක් අල්ලාගැනීමෙන් තොරව
උපේක්ෂාවෙන් විසීම විපස්සනාවයි.
සම්මා සතියයි, සතර සතිපට්ඨානයයි.
බුදු දහමෙහි සඳහන් නිවන් මාර්ගයයි.

.
සිරිධම්ම රහත් වී නැති නමුත්
ඔහු දරන චීවරයෙහි ගරුත්වය රකින්නට හෝ
කාය වේදනා චිත්ත ධම්ම යන
සතර අංගයන්ගෙන් යුතු
1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට

“එකම මාර්ගය” වූ සතර සතිපට්ඨානය
මෙවක් පටන් හෝ නිවැරදිව දෙසන්නට
ඔහු හුරු විය යුතුය.

විශ්ව විද්‍යාලවලින් පවා
ඉගෙනගෙන හුරු පුරුදු සිරිධම්ම විසින්
හැකි ඉක්මණින් විපස්සනාව ඉගෙන ගත යුතුය.
මා මෙහි කළේ
ඔහුගේ අඩුව පෙන්වාදීම සහ
ඔහු ඉගෙන ගත යුතු දේ විස්තර කිරීමයි.

සතර සතිපට්ඨානයවත් නොදන්නා සිරිධම්ම
විපස්සනාව කියමින්, චිත්තානුපස්සනාව කියමින්,
සමථය උගන්වන පුහුදුන් භික්ෂුවක් බව
ඔහුගේම දේශන වලින්
ඔහුම සනාථ කරමින් සිටියදී
අප ඔහුගේ පුහුදුන් බව සැක කළයුතු නැත.


සිරිධම්ම
කළ යුත්තේ
වහාම තෙරුවන් සරණ ගොස්
නව ජීවිතයක් ඇරඹීමයි.


තෙරුවන් සරණයි.
https://www.facebook.com/events/605109666319356/
අදාළ සටහන්.
 .

20160426

සිරිධම්ම සමග කුකුළු පොරය ඇරඹෙන තුරු...



සිරිධම්ම සමග මගේ ගැටුම ඇතිවෙන තුරු
නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න විශාල පිරිසක්
සදහම් ආශ්‍රමයෙ වගේම
ෆේස්බුක් සමාජ ජාලයෙත් ඉන්නවා.

මම සිරිධම්මගේ ගුහාවට ගොස්
ඔහු සමග සහ ඔහුගේ පිරිස සමග
බැණ අඬගසාගෙන පොර බදනවා නම්
ගිනි විච්චුම්බරයක් වෙනවා නම්
ඔවුන් දෙපිරිසම වඩාත් කැමතියි.
සජීවී අන්තර්ජාල විකාශයක් දෙනවා නම්
ඔවුන් ඉතා කැමැත්තෙන් බලා ඉඳීවි.

ඔවුන් බොහෝ දෙනෙකුට
රහත් බව, බුදු දහම,
පටිච්ච සමුප්පාදය අදාළ නෑ.
ඔවුන්ට වැදගත් වෙන්නෙ
දෙදෙනෙක් පොරට වැටීමයි..
ඉන් එක්කෙනෙක් පොර වීමයි..

ඔවුන්ට වැදගත් මගේ ජය පරාජය
නොවෙයි..
මම පොරක් නොවෙයි.
බුදුන්ටත් වඩා බුදු වී සිටින
මහා මුනීන්ද්‍රයණන්ගේ ජය හෝ පරාජය
ඒ දෙපිරිසට වැදගත්.
ඒ දෙපිරිස උත්තේජනය කරන
ඒ උගුලට මම අසුවිය යුතුද?

රහතෙක් ලෙස වෙන ඕනෑම තැනකට යන්න
සොබා දහමෙන්ම ලැබුණ දායාදයක් ලෙස
ඔහු විසින්ම පුරාජේරු කියන
වරප්‍රසාදයක් ඔහුට තියනවා.

මේ සිරිධම්මගේ කයිවාරුවක්..
=============================
මා සඳහා සොබා දහම දීපු.
එකම සාක්ෂිය දීල එවල තියෙන්නෙ.
උඹට එකම එක වරප්‍රසාදයක් දෙනෝ.
ඒ වරප්‍රසාදය තමයි,
උඹව කිසිකෙනෙකුට,
මනුස්ස ලෝකෙ මනුස්සයෙකුටවත්,
දිවියලෝකෙ දෙවියෙකුටවත්,
බ්‍රහ්ම රාජයෙකුටවත්,
සහම්පතී මහා බ්‍රහ්මයාටවත්,
සනත් කුමාර මහා බ්‍රහ්මයාටවත්,
උඹව පරද්දන්න බෑ.

ඉතිං ඒක ඇතිනෙ මට.
============================
 
ඔහුට ෆේස්බුක් එන්න ඒ වරප්‍රසාදයෙන් අවසර නෑ.
ෆේස්බුක් සොබා දහමට යටත් නැතුව ඇති..

සිරිධම්ම තමන්ගෙ පිරිස හඳුනනවා.
ඔවුන්ගේ දුර්වලකම් හොඳින් දන්නවා.
ඔහු තනිවම පිටිය හදාගෙන පෙන්වන
ඒක පුද්ගල පොර කුකුල් රංගනයෙන්
ඔවුන් ලබන අමන්දානන්දය
ඔහු නිරන්තරයෙන් දකිනවා.
ඔවුන් ඔහුගේ රංගනයෙන්
මානසිකව සුරතාන්තයට පත්වෙන හැටි
ඔහු නිතර අත්දකිනවා.
ඒ උත්තේජනයට පෝෂණය අවශ්‍යයි.

ඔහුගේ සුරූපී රූමත් බව, මිහිරි මැර කටහඬ
දෑසින් දෙසවනින් ආශ්වාදනය කරන ඔවුන්
එවැනි විශේෂ චරිතයක් විසින්
ගණන් ගතයුතු නැති
මේ වයසක කෙසඟ මිනිසා
ඔහුගේ නින්දා අපහාස වලට බඳුන් වී
තුට්ටු දෙකේ සමච්චල් වලට ගොදුරුවී
ඔවුන්ගේ සිනාවට ලක්වී පලා යනු දැකීම
ඔවුන්ගේ අභිප්‍රාය බව
සක්සුදක් මෙන් පැහැදිලි නිසා
මේ සියවසේ සිරිලක බිහිවූ
කූටම ආගමික පූජකයා වන සිරිධම්ම
මට ඔහුගේ සදහම් සිරියහනටම එන්න කියන්නෙ
ඔහු වටා සිටින පිරිසට පොරක් වී
ඔහු ලබන තෘප්තිය අලුත් කර ගැනීමට සහ
ඔහු පොරක් ලෙස ගරු කරන පිරිස ලබන
උත්තේජනය අලුත් කිරීම සඳහායි.

ඔහු මොනවා කිව්වත්
ඒ කියන දේ ඇත්ත නැත්ත ඔවුන් දන්නෙ නෑ.

සිත ශූන්‍ය වුණාම රහත්...
ආත්මය සමතුලිත වුණාම රහත් කිව්වාම
සාදු කියන ඔහුගේ පිරිස චූන් වෙන්නෙ
ඔහුගෙ සුරූපී පෙනුමෙන්, රූමත් භාවයෙන්..
ඔහු වටා විහිදෙන
ඉමල්ෂන් තීන්තෙන් ඇඳපු බුදුරැස් මාලාවෙන්..
වයිවාරන්න මල්වැල් වලින්, උස් මහා අසුන දරා සිටීමෙන්
ඔහුගේ පුරාජේරු වලින්, මැර හැසිරීමෙන්...
ඔවුන්ට ඔහු ළඟ දැවැන්ත ආරක්ෂාවක් දැනෙනවා.
රජමැදුරට පැමිණි යටත් වැසියන් මෙන්
ඔහු අබියස ඔවුන් ඉන්නෙ මහා හීනමානයකින්.

ඔහු කියන දේ සැක කරමින් හෝ
සැබැවින්ම නොවැටහෙන නිසා
ඔහුගෙන් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන
අහිංසකයන්ට මරිමෝඩයා තකතිරුවා ලෙස
නින්දා අපහාස කරමින්
මානසිකව වැටෙන්නට පහර දෙනවිට
කෝපයෙන් බැණ වැදී එළවා දමන විට
මේ සුවච කීකරු ගැත්තන් පිරිස
ඔහුගේ පොර ස්වභාවය නරඹමින්
ඔවුන්ගේ සිත් තුළ ඇති
සමන්තභද්‍ර ප්‍රතිරූපය පොලිෂ් කරමින්
මනයෙන් උද්දාමයට පත් වෙනවා..

සෙත්සිරි දෙන මහ ගුණ මුහුදාණන්
සත්හට වන බව දුකට වෙදාණන් කියමින්
නළල බිම ඔබා, පසඟ පිහිටුවා
බුදුන් වහන්සේටවත් නැති භක්තියකින්
ගාථා කියමින් ඔවුන් වන්දනා කරන
අරහත් වූ භාග්‍යවත්වූ සමන්ත භද්‍රවූ
අසම සමවූ තිලොවට අගවූ මහා මුනීන්ද්‍රයන් වහන්සේ
තමන් වැනි පුහුදුන් කෙනෙකු මෙන්
ව්‍යාපාද නීවරණයෙන් මුළාවී
ඵරුෂ වචන කියන්නේ කෙසේදැයි
ඔවුන් සිතන්නේ නෑ.
බැරි වීමකින් හෝ යම් කෙනෙකුට සිහිපත් වුණත්
ඔවුන් වහාම පිළින්දවච්ච වචනය සිහිපත් කොට
ක්ෂණයකින් සිත සනසා ගන්නව.

ඔහුගේ මැර හැසිරීමෙන් උද්දාම වෙන ඔවුන්
ඔහුට පෙරළා පහර වදින විට කෝපයට පත් වෙනවා.

ඔවුන්ගේ දැක්මට අනුව
ඒ පහර වදින්නෙ සිරිධම්මට නොවෙයි.
ඔවුන් තුළ ඇති ඔහුගේ මහා මුනිඳු ප්‍රතිරූපයටයි..
ඒ ප්‍රතිරූපයේ නිර්මාතෘවරුනුත් ඔවුන්මයි.
ඒ නිසාම
සිරිධම්මට වදින වදින පහරෙන්
ඔවුන් කම්පා වෙනවා. සැලෙනවා.
කුපිත වෙනවා.

සමහර සිරිධම්ම ගෝලයන් මෙහි පැමිණ
එකම දහම් කරුණක්වත් නොවිමසා
මරදානේ චොප්පෙ අයියාගේ සහායට ඩැනීලා ස්වරූපයෙන්
බීමතින් හැසිරෙන්නෙ ඔවුන්ගෙම සිත්වල
ඔවුන්ම හදාගත් මහ රහත් ප්‍රතිරූපය රැක ගන්නයි.
සිරිධම්ම විසින් ඔහුගේම ආරක්ෂාවට
ඔහුගේ ළමා සොල්දාදුවන් මෙන්
තමන් කැපී රජා රකින ඉත්තන් මෙන්
ඔවුන් භාවිතා කරනවා.

ඒ අනුගාමිකයන් වගේම
පොර කුකුළු සන්දර්ශන නරඹන්නට
නොසන්සිඳෙන සා පිපාසා සහිත පිරිසක්
මෙතනත් ඉන්නවා.

ෆේස්බුක් ජාලය තුළම දෙන්නෙක් පැටළුණත්
ඒ පැටලීම තුළ තියන
ද්වේශය, මාන්නය ඔවුන් රස විඳිනවා.
ඒ සමග හිතන කොට
සිරිධම්ම කියන්නෙ කලකින් කන්න ලැබෙන
හොඳ හෝටලයක්.

මිනිසා ගන්නා ආහාර වර්ග හතරෙන්
මනසට අවශ්‍ය මනෝ සංචේතනා -
සහ විඥාණයට ආහාරයක් වන
ද්වේශය මේ මගින් ලබා ගන්නවා.
ඒ ද්වේශය සමග මිශ්‍ර වෙලා තියන
බුදු දහමෙ සත්‍යතා
බොහෝ දෙනෙකුට මග හැරෙනවා.

මම මේ ගොංපස් ගොඩ අවුස්සන්නෙ
ඒ තුළ සැඟවී තියන
ධර්මය නම් දියමන්ති කලාපය නිසයි.

V FM
සංවාදය
දුරකථනයෙන් සිදු කළා නම්
බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙයි.
ඔවුන්ට සැබැවින්ම අවශ්‍ය ධර්මය නොවෙයි.
ඔවුන් ඩේටා කපාගෙන,
කාලය නාස්ති කරමින් සොයන්නෙ
මමත් සිරිධම්මත් බදාගෙන
බිම පෙරළෙමින් ගහගැනීම නරඹමින් ලබන
ඔවුන්ට ජීවිතයටම අමතක නොවෙන
උපරිම තෘප්තියක් ආශ්වාදයක්.
සිරිධම්මත් කැස කවමින් ඉන්නෙ
ඒ තෘප්තිය ඔවුන්ට ලබා දෙන්නයි.

ඒත්
මේ මුළු සිද්ධියෙම රැස් බහින
පොඩි පරහක් තියනවා.
ඒ පරහ නම්
මම විදසුන් වඩන්නෙක් වීමයි.

අධිකරණයක් ඇතිවුණොත්
විසඳෙන තුරු පලා යෑම නුසුදුසු යැයි
වරක් බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට පැවසුවා.
ඒ මට මග පෙ
න්වන
මා වෙනුවෙන් විදසුන සොයාගත් මගේ ගුරුවරයායි..
ඒ මග යන විදසුන් වඩන්නෙක්
ජීවිතයෙන් පලා යන්නෙ නෑ.

ඒ වගේම ....
විදසුන් වඩන්නෙක්
කෙලෙස් බරව,
නීවරණවලින් ඇස් අන්ධ කරගෙන
බීමතින් මෙන් හැසිරෙමින්
මදාවි බසින් ගේම ඉල්ලන අය හමුවට
කෙලෙස් බරව,
නීවරණවලින් ඇස් අන්ධ කරගෙන
බීමතින් මෙන් කඩා පනින්නෙත් නෑ.

කෙලෙස් බරව,
නීවරණවලින් ඇස් අන්ධ කරගෙන
බීමතින් මෙන් ගේම ඉල්ලන අයට
විදසුන් වඩන්නෙක්  මුහුණ දෙන්නෙ ප්‍රඥාවෙන්...
තමන් තුළ සිදුවෙන වෙනස්වීම් පිළිබඳව
පිහිටුවා ගත් සිහියෙන්....
ඒ වෙනස්වීම්වලට උපේක්ෂාවෙන්...

ආවේගශීලීව, නීවරණ නිශ්‍රිතව
පොර කුකුළෙක් මෙන් පොරට නොයන්නට
අවශ්‍ය සංයමය, සංවරය, පුහුණුව
විදසුන් වඩන්නාට විදසුන විසින්ම
ලබා දී තියනවා.

දැන් සැබැවින්ම සිදු විය යුත්ත නම්
සිරිධම්ම රහත්ද කියන ගැටළුව
ඔහුගේ දහම් දැනුම සහ
ඒ දැනුමට අදාළව ඔහුගේ අත්දැකීම
ඔහු පිරික්සා ඔහුගෙන්ම විමසා
පිරිසිඳ දැන ගැනීමයි.

ඒ සඳහා යන ගමනේදී
පදක්කම්, සම්මාන, කිරුළු අදාළ නෑ.
කුකුළු පොර බැදීම් නයි මුගටි සටන් අවශ්‍ය නෑ.

ඉක්මණින් හෝ ප්‍රමාද වී
හැකි හොඳම අයුරින් සිරිධම්ම මුණ ගැසී
එළඹුණ ගැටළුව විසඳෙන තුරු
මේ ආරම්භ කළ කාර්යයෙහි නොකඩවා නිරත වීමයි
මගේ අද දවසේ වගකීම.
මම ඒ වගකීම කල්යල් බලා ඉටු කරනවා.



මැයි 08දා වී එෆ් එම් නාලිකාවෙ සංවාදය පැවැත්වෙනවා.

නියමිත පරිදි සංවාදය පැවැත්වුණොත්
ධර්මය සොයන අයට රසයක් ලැබෙයි..
සබ්බ රසං ධම්ම රසං ජිනාති.
මම කැපවෙන්නෙ ඔවුන් සඳහායි.

පොර වෙන්න කැමති පොර කුකුළන්
පොරකනවා බලන්න කැමති අය
පොරකුකුළු සටන් පවතින
වෙනත් නාලිකා සොයා ගත යුතුයි.
========================================


20160417

මං කාටවත් බය නෑ. මං සියල්ලන්ටම අභියෝග කරනෝ. -සිරිධම්ම



ආශ්‍රමවාසී භික්ඛු සිරිධම්මගේ
විවෘත අභියෝගය සහිත වාචික සෙල්ෆිය.

------------------------------

"බොරුකාරයන්ට වංචා කාරයන්ට
මිථ්‍යා දෘෂ්ඨි පතුරුවන්නන්ට
මේ සමාජයෙ ඉන්න ඉඩ තියන්නෙ නෑ.
මං ඔවුන් විනාශ කරනෝ.
දෙපයින් අල්ලා පරසක්වළ ගසනෝ.
අහල තියනවනේ අපේ වචනයක්....
දෙපයින් අල්ලා පරසක්වළ ගසනවයි කියලා අහල නෑ?
මොකක්ද දෙපයින් අල්ලා පරසක්වළ ගහනවයි කියන්නෙ?
මගේ අතට, මගේ අතට අහුවුණොත්
කවුරුහරි බොරුකාරයෙක්, වංචාකාරයෙක්..
අසත්‍ය වපුරවන්නෙක්....

ලෝකෙ කරන්න පුලුවන් ලොකුම බොරුව තමයි
නිවනෙයි කියලා වෙන එකක් කියන එක...

වෙන මොන බොරු කළත් ඒක සාධාරණයි.
මිනිස්සු ජීවත් වෙන්න බොරු කොන්නෝ.
මිනිස්සු ව්‍යාපාර සඳහා බොරු කොන්නෝ.
මිනිස්සු උසාවියකදී තා ඔයවගේ තැනකදී
මිනිස්සු බොරු කියනෝ
තමන්ගෙ මේ ගැලවීම... ආදිය පිණිස...
ඒවට සමාව දෙන්න පුලුවන්..
ඒවා භෞතික වැරදිනෙ..

දැන් එක වැරැද්දක් තියනෝ
සමාව දෙන්න බැරි..

නිවනේ නාමයෙන් බොරු කියනෝ.
නොදැකපු නිවනක් දැක්කයි කියල
මිනිස්සු අන්දවනෝ.

දැන් ඔය අපි දන්නෝ කවුද ඔය ඉන්නෙ ඔයි
මීවන පලානෙ හාමුදුරුවොයි
වහරක හාමුදුරුවොයි.....
මේ දෙන්නා මිනිස්සු අපායට යවන කෙමනක්.
මේ දෙන්නා මිනිස්සුන්ට විසාල
බොරුවක් පතුරවනෝ.
මුලු බුද්ධ වචනෙ විනාස කරලා.
බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙයි කියල කියනෝ..
එතනින්ම විසාල පව් කන්දක් ගොඩගහගෙන
අපාගත වෙන්න ලෑස්ති වෙනෝ.
මේවට ඔහෙලා අහුවෙන්න එපා.
ඔහෙලා අහුවෙන්න එපා.

එක එක්කෙනා... දැන්..
තව එක්කෙනෙක් රහත් වෙලයි කියලා..
අර කවුද මන් දන්නෙ නෑ හාමුදුරු කෙනෙක්...
අර රතිඤ්ඤා හමුදුරුවෝ...
රතිඤ්ඤා හමුදුරුවෝයි කියන්නෙ..
අර කවුද මොකක්ද දිවයින පත්තරේ ගියේ
ඒ දිවයින පත්තරේ පල් මෝඩයොත්
එක එක චරිත ඉස්සරහට ගේනෝ.

දිවයින පත්තරේ කතෘ තුමා
නිවන් දැකල තියෙන්න එපායැ
ඇත්ත නිවන බොරු නිවන මොකක්ද කියලා හොයාගන්න.

පුළුවන් නම් එන්න කියන්නකො
මාත් එක්ක කතා කරන්න.
ඔය ඕන කතෘ කෙනෙකුට.
කතා කරලා පුලුවනි නම් මාව පරද්දන්න කියන්න.
මාත් එක්ක සාකච්ඡා කරන්න එන්න කියන්න.

ඔවුන් එකෙක්වත් ඔලුවෙ පණ තියනකං
මං හොයාගෙන එන්නෙ නෑ..
ආවොත් පරද්දන බව දන්නවා..

මං කාටවත් බය නෑ.
මං සියල්ලන්ටම අභියෝග කරනෝ.
සියල්ලන්ව පරද්දනෝ.
සියල්ලන් පරසක්වල ගසනෝ.

පර සක්වල ගසනවයි කිව්වාම
ටිකක් බය වෙයි මේගොල්ලො මට..

බොරුකාරයන් අල්ලා පරසක්වළ ගසනෝ.
වංචාකාරයන් අල්ලා පරසක්වළ ගසනෝ.
මිථ්‍යා දෘෂ්ඨි විනාශ කරනෝ.
සත්‍ය පහළ කරවනෝ.

මනුස්ස ලෝකෙට යම්කිසි කෙනෙක්
මනුස්ස ලෝකෙ විනාස වෙන්න ආසන්නයේ
සත්‍ය අරගෙන මනුස්ස ලෝකේ එනවා නම් ඒ මමයි.
ඒ සත්‍ය අරගෙන එන පණිවිඩ කාරයා තමයි මම.
ආයෙ එක්කෙනෙක් එන්නෑ කාලෙකට.
දැන් ඔහෙලා මම කියන සත්‍ය අහන්න.

බොරු කාරයන්ගෙ බොරුවට වංචාවට අහුවෙන්න එපා..
ඒ මිනිස්සු ඔහෙලා අමාරුවෙ දානෝ.
මගෙන් වුණත් ප්‍රශ්න කරන්න. විමසන්න.
වචන නිවන නෙවෙයි.
මාර්ගය නිවනයි.
මාර්ගය නිවන.

 පියවරෙන් පියවර සිහියෙන් අසාගෙන සිට
ඒ මාර්ගයේ මග සලකුණු අහන්න.
නිවන පොත්වල නෑ.
නිවන හදවතේ ඇත.

නිවන කෙනෙකුට දේශනා කරන්න බෑ.
දේශනාවකින් නිවන තේරුම් ගන්න බෑ.
දැනෙන දෙයින් නිවන තේරුම් ගත හැක.
මං කියන දේ ගැන හොඳට කල්පනා කරන්න..

නිවනක් ගැන දේශනා කරන්න බෑ...
දැනෙන දෙයින් නිවන තේරුම් ගත හැක.

සත්‍ය....
කිසි කෙනෙකුට අසන්න පුලුවන් දෙයක් නෙමෙයි.
සත්‍ය දැනෙන දෙයක් පමණයි..

සත්‍ය දැනෙන්නේ කාටද.?
සත්‍යය උදෙසා සිත් පුරුදු කළ,
අව්‍යාජ වූද.
නිරහංකාර වූද,
මාන්නය නැති කළා වූද
සත්‍යවාදී මිනිසුන්ට පමනක් සත්‍ය තේරේ
වෙන කිසිවෙකුට නොතේරේ.
ඒ නිසා මා කියන දේ අහන්න.

යමෙක් සත්‍ය කියනවා නම් මේ මනුලොව
ඒ මා පමණයි..

දැන් ගෞතම බුදු හාමුදුරුවොත් මෙහෙම කිව්වනෙ.
මාත් එහෙමම කියනෝ..

කියන කොට ඒ කාලෙ මිනිස්සු පිළිගත්තද, ප්‍රතික්ෂේප කළාද?
ප්‍රතික්ෂේප කළා. සමහර මිනිස්සු බැන්නා.
සමහර මිනිස්සු කිව්වා බොරු කාරයයි කියලා.
ඒක මට ප්‍රශ්නයක් නෑ.

කොච්චර බොරුකාරයයි කිව්වත්
කිසිම ඇත්ත කියන්නෙකුට
මේ බොරුකාරයා ඉස්සරහ
කොන්ද කෙළින් තියාගන්න බැරි එකයි
ප්‍රශ්නෙ තියෙන්නෙ..

ඒ ඇත්ත කියනවයි කියන ඊනියා සත්‍යවාදීන් කිසි කෙනෙකුට
මේ බොරුකාරයා ඉස්සරහට ඇවිල්ල
හිටගෙන ඉන්න බැරි එකයි ප්‍රශ්නෙ.
 එක්කො කලන්තෙ දානෝ.
එක්කො චූ වැක්කෙරෙනෝ.
ඔය දෙකෙන් එකක් වෙනෝ.

ඒ නිසා ඔහෙලා මතක තියාගන්න
මේ ආපුද්...
මේ කරන මේ මාර්ගය මොකක්ද කියලා
ගවේශණය කරන්න පටන් ගන්න.

දැන් ඇත්තටම තේරෙන්නෙ නැද්ද
මම මෙච්චර බය නැතුව කතා කළාම
ඒකම මදිද කියා?
තේරෙන්නෙ නැද්ද?

දැන් මේ දේශනාව වීඩියෝ කරනෝ.
වීඩියෝ කරලා මේක දානෝ.
දාපු ගමන් මොකද්ද වෙන්නෙ?
අවශ්ය නම් මේකට උත්තර දෙන්න පුළුවන්
ඕන කෙනෙකුට.
හැබැයි මේ තාක් උත්තර දෙන්න කවුරුවත් එන්නෙ නෑ.

මං අහන්නෙ ඒ සාක්ෂි මදිද කියා.
ඈහ්?

ඒක තමයි එකම සාක්ෂිය..මා සඳහා සොබා දහම දීපු.
එකම සාක්ෂිය දීල එවල තියෙන්නෙ.
උඹට එකම එක වරප්‍රසාදයක් දෙනෝ.
ඒ වරප්‍රසාදය තමයි,
උඹව කිසිකෙනෙකුට,
මනුස්ස ලෝකෙ මනුස්සයෙකුටවත්,
දිවියලෝකෙ දෙවියෙකුටවත්,
බ්‍රහ්ම රාජයෙකුටවත්,
සහම්පතී මහා බ්‍රහ්මයාටවත්,
සනත් කුමාර මහා බ්‍රහ්මයාටවත්,
උඹව පරද්දන්න බෑ.

ඉතිං ඒක ඇතිනෙ මට.
හොඳයි ඒක නැතුව මනුස්ස ලෝකෙට ආවනම්
මොකද වෙන්නෙ.

එහෙනං මේ එක්කෙනෙක්වත් ඔහෙලා
සත්‍ය සොයන්නෙ නෑ මා ළඟ ඉඳගෙන.
ඔහෙලා වෙන වෙන තැන්වල
සත්‍ය ඇතෙයි කියලා හොයාවි..

ලෝකෙ  හැමදාම සත්‍ය කියන එක
නිගමනය එන්නෙ වාදයකින්.
වෙන විදියක් නෑ.
ගෞතම බුදු හාමුදුරුවො බොහොම විවෘතව වාද කළා එදා සමාජයේ.
උන් වහන්සේ මේ බයේ හැංගිලා පළා ගිය නරියෙක් නොවෙයි..
අනික් එක වාදයකට එන්න කිව්වහම
වෙන වෙන ඒවා කිය කිය
උන්වහන්සේ මගහරින්න අවශ්‍යතාවයකුත් නෑ.

තමුන් ඇත්ත දන්නවා නම්
දන්න දේ ඇත්තෙයි කියලා තමනුත් දන්නවා නම්,
ඒක පරද්දන්න බැහැ කියලත් තමුන් දන්නවා නම්
ඉතිං ම අහන්නෙ මොකටද බය කියලා ඔච්චර.
අනික ආර්ය ශ්‍රාවකයෙක් ආර්ය භාවයට පත් වෙච්ච උතුමෙක්,
මොකටද බය වෙන්නෙ.?
රහතෙක් බුදු කෙනෙක් කාටද බය.
ඒ ගොල්ලො ඒ බය නැති කරලා..
බය නැති කරපු අය කතා කරන්න බයකුත්
කිසි කෙනෙක් එක්ක නෑ.

කුමාර කස්සප මහ රහතන් වහන්සෙ පොඩි කෙනෙක්.
අවුරුදු හතයි දහයයි. පොඩි වයස.
පායාසි රාජයා කියන්නෙ මාහාරාජ්‍යයේ යුව රාජයෙක්.
පැරැද්දුවා කතා කල්ලා.

සත්‍ය දන්නවා නම්
හොඳ ඥාණයකුත් තියනවා නම්
සිත පිරිසිදු නම්,
උතුම් නිර්වාණ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරලා නම්,
ඒ කිසි කෙනෙක් වයස පොඩි වුණයි කියලා,
වයස බාල වුණයි කියලා
පරද්දන්න පුලුවන් කමක් ඇත්තෙ නෑ.
ඒක ලෝකෙ පවතින සදාතනික සත්‍යයක්.

දැන් සමාජයට වැරදි එකක් දීල තියනවා..
බුද්ධාගමේ අය වාද කරන්නෑ...
බුද්ධාගමේ වාද කොරන්නෙ නැත්තං
අර සච්චකත් එක්ක මොකද්ද කොළේ.
එතකොට දීඝ නිකායෙ පායාසි රාජයත් එක්ක
මොකද්ද කොළේ.

ඕවා ඔක්කොම බොරු.

මේ බොරු කියන්නෙ
කොන්ද පණ නැති කම වහගන්න කියන හිවල් කතා මිසක්,
කවදාක්වත් කොන්දෙ පණ තියන
වල්ගෙ පණ තියන සිංහයෙක් කියන කතා නොවෙයි මේවා.
ඒ නිසා මේවට අහු වෙන්න එපා."
===========================================

සිරිධම්ම හිමිගෙ වහසිබස් ගැන
මමත් කියන්නේ මේ ටිකමයි.
''කවදාක්වත් කොන්දෙ පණ තියන
වල්ගෙ පණ තියන සිංහයෙක් කියන කතා නොවෙයි මේවා.
ඒ නිසා මේවට අහු වෙන්න එපා."
''ලෝකෙ  හැමදාම සත්‍ය කියන එක
නිගමනය එන්නෙ වාදයකින්.
වෙන විදියක් නෑ.
ගෞතම බුදු හාමුදුරුවො බොහොම විවෘතව වාද කළා එදා සමාජයේ.
උන් වහන්සේ මේ බයේ හැංගිලා පළා ගිය නරියෙක් නොවෙයි..
අනික් එක වාදයකට එන්න කිව්වහම
වෙන වෙන ඒවා කිය කිය
උන්වහන්සේ මගහරින්න අවශ්‍යතාවයකුත් නෑ.'' "මං කාටවත් බය නෑ.
මං සියල්ලන්ටම අභියෝග කරනෝ.
සියල්ලන්ව පරද්දනෝ.
සියල්ලන් පරසක්වල ගසනෝ.''

ආදී වහසි බස් කියමින් අභියෝග කළ
සිරිධම්ම හිමි පසුගිය මාස හතර තුළ
විවාද මානසිකත්වයෙන් මිදී

චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය,
සතර සතිපට්ඨානය වැනි දහම් කරුණු නොසලකා හැර
 බෞද්ධ සංස්කෘතිය හදාරණ ශිෂ්‍ය හිමි නමක්
 ''සුහද'' සංවාදයකට කැඳවන්නට තරම්
 බියගුල්ලෙක් වුණේ ඇයි.?

සීවලී හිමියන්ගෙ බෞද්ධ සංස්කෘතිය පාඩම අතරෙ
සිරිධම්ම හිමියන්ගෙ
සුපුරුදු ''මම රහත්'' කොමර්ෂල් අහන්න පුලුවන්.
ධර්මය නෑ.

සීවලී හිමියන් සටහන් පොතක් කියවනවා
කියා හිතෙනවා..



 "මං කාටවත් බය නෑ.
මං සියල්ලන්ටම අභියෝග කරනෝ.
සියල්ලන්ව පරද්දනෝ.
සියල්ලන් පරසක්වල ගසනෝ.

පර සක්වල ගසනවයි කිව්වාම
 ටිකක් බය වෙයි මේගොල්ලො මට..

බොරුකාරයන් අල්ලා පරසක්වළ ගසනෝ.
වංචාකාරයන් අල්ලා පරසක්වළ ගසනෝ.
මිථ්‍යා දෘෂ්ඨි විනාශ කරනෝ.
සත්‍ය පහළ කරවනෝ."
මේ වහසි බස් දැන් කෝ.

අධිමානයෙන්, වියරුවෙන් පසුවෙන
 මැරයෙකු මෙන් ලොවටම අභියෝග කරමින්
 අසංවර ලෙස හැසිරෙමින් සිටි
 සිරිධම්ම හිමිගේ මානය බිඳී
 පසුගිය මාස හතර තුළ
 ඔහුගේ වාග් සංවරය
 දියුණු වූයේ කොහොමද?

මා සමග පැවති විවාදයෙන් පසුව
 ඔහු උගත් පාඩම් ඇති බව
 මේ පවත්වන දුර්වල සහ ධර්මයෙන් බැහැර
 ඉතිහාස පාඩමෙන් අපට වැටහෙනවා.

නැවතත් ශිෂ්‍ය හිමි වරුන් සමග
 මෙවැනි ඉතිහාස පාඩම් පැවැත්විය යුතු නෑ.
මේ කරුණු පොතපතෙන් ඉගෙන ගන්න පුලුවන්.
ධාරණ ශක්තිය ප්‍රමාණවත්.

සිරිධම්ම හිමි "මම රහත්" කියා
 තවදුරටත් වහසි බස් කියනවා නම්
 ඔහු සංවාද කළ යුත්තේ දහමයි.
ඔහුගෙ රහත් බව පිළිබඳව හෙළිවන්නේ
 දහම් සංවාදයකිනුයි.
ඔහු ඒ සඳහා බියෙන් පසු වෙනවා.
=================================

මා සමග පැවති විවාදය


--------------------------------------------------------------------------------------

සංවාදය 
17000ක් ඉක්මවා Youtube
වීඩියෝ පටය නරඹා තිබුණ ද
නැරඹූ අය සිරිධම්ම හිමිගේ අසංවර හැසිරීම විවේචනය කළ බැවින්
ඉවත් කරන්නට ඇත.


සංවාදයට සවන්දෙන්න.


.

20160416

ප්‍රායෝගික විපස්සනා අත්දැකීමක්.


අද මගේ දකුණු අත
පණ නැති ස්වභාවයක් දැණුනා.
ඒ අතේ දැනෙන වේදනා
වම් අතේ වේදනා සමග සැසඳුවාම
දකුණු අතේ
හිරිවැටුණ ස්වභාවයක් දැණුනා.
මෝහ සංස්කාර...
අදුක්ඛමාසුඛ වේදනා....හිරිවැටුණ ස්වභාවය...

මෝහ සංස්කාර නිසා
ඒ දැනෙන
හිරිවැටුණ ස්වභාවය
අදුක්ඛමාසුඛ වේදනා ගැන
ටික වෙලාවක් සිහියෙන්-උපේක්ෂාවෙන් ඉඳලා
නැවත වැඩට යොමුවුණා.
දැන් ඒ අතේ කැක්කුම් වැනි වේදනා දැනෙනවා.

හැම වෙලාවෙම කය පිළිබඳව
සිහිය පවත්වා ගන්න තරම්
මගේ පුහුණුව ප්‍රමාණවත් වෙලා නැහැ.
අද වෙනතුරු
අත පිළිබඳව සිහියෙන් තොරව
වැඩ කටයුතු කරද්දී
අතේ ඇතිවෙන වේදනා
මට නොදැණුන නිසා
අතේ පේෂි වල කාය සංස්කාර විදියටත්
අතට සම්බන්ධව මොළයෙ සහ ස්නායු වල
චිත්ත සංස්කාර විදියටත්
එක් රැස්වෙනවා.

සිහිය තිබුණා නම්
වැඩ කරන විට දැනෙන දුක්ඛ වේදනා විදියට
ද්වේශ සංස්කාර ඇති කළ යුතුව තිබුණ ඒ වේදනා
දැන් විඥාණයෙ රැස් වෙලා තියෙන්නෙ
අදුක්ඛමාසුඛ වේදනා මූලික
මෝහ සංස්කාර විදියටයි..

දැන් මෝහය දැනෙන අතට සිහිය අතට යොමු කළාම
ඒ හිරිවැටීම් වගේ පෙණුන

මෝහ සංස්කාර නිදහස් වෙලා
ඒ සංස්කාර වල මූලික ස්වභාවය වන

ද්වේශ සංස්කාර
කැක්කුම් විදියට මතු වෙනවා.
සංස්කාර වල ස්වභාවය
ඉපදුණොත් වැය වීමයි.
ඉපදුණොත් නිරුද්ධ වෙනවා.

උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති.

මේ දැනෙන කැක්කුම් වලට උපේක්ෂාව නැත්නම්
අලුත් ද්වේශයක් හිතේ උපදිනවා.
ඒ ද්වේශයත් විඥාණයෙ රැස් වෙනවා.

මේ අවස්ථාවෙදි හැම කෙනෙක්ම කරන්නෙ
නිර්වින්දනයට යොමුවීමයි.
ඔසුවක් සොයා ගියොත් ලැබෙන්නෙත් නිර්වින්දකයක්.

අතේ දැනෙන වෙනස්වීම ගැන
සිහියෙන් - උපේක්ෂාවෙන් සිටීමෙන්
ඒ සංස්කාර නිරුද්ධ වෙලා
සිතෙත් කයෙත් අදාළ ප්‍රදේශ
පිරිසිදු වෙනවා.
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති.

දැන් දකුණු අත වම් අතට වඩා හොඳින් දැනෙනවා.
වමත පිළිබඳව සිහියෙන් සිටීමෙන්
ඒ ක්‍රියාවලියම වම් අතෙත් සිදු වෙයි.

මේ අත්දැකීම
දස දින විපස්සනා පුහුණුව
එදිනෙදා ජීවිතය තුළ
ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන
එක විදියක්.

බුදු දහම
අකාලිකව, විඳ පසක් කළ හැකි දහමයි..

===============================
ව්‍යාජ රහත් සිරිධම්මගේ
ගෝලයෙකු විසින් නිර්මාණය කොට
ෆේස්බුක් සමාජ ජාලයට මුදා හළ පැරඩියකි මේ.

වී එෆ් එම් ගුවන්විදුලියේ
සම්මාදිට්ඨි වැඩ සටහනට සහභාගි වූ

ව්‍යාජ රහත් සිරිධම්ම
මේ පිළිබඳව ආවේගශීලීව අදහස් පළ කළ බව
ෆේස්බුක් සමාජ ජාලය තුළ සංවා
යට බඳුන් විය.


මේ පැරඩියට අදාළ සිදුවීම් මාලාව පිළිබඳ
වෙනත් සටහන්.
.
මං කාටවත් බය නෑ.
මං සියල්ලන්ටම අභියෝග කරනෝ.
-සිරිධම්ම
.
 සිරිධම්මගේ අභියෝගය කොන්දේසි සහිතව පිළිගනිමි.
 

20160411

සම්මා සතිය වන්නේ කුමක්ද?


සතර සතිපට්ඨානය වැඩීමෙදි
ආතාපී සම්පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,

කියන ගුණයෙන්
සිහිය පිහිටුවාගෙන හිඳීම ප්‍රමාණවත්.

කිසිවක් කළ යුතුයි කියා සිතන්නෙ
මමත්වය නිසයි.

සිහිය වඩන්න අවශ්‍ය සියලුම දේ
මහා සතිපට්ඨාන සූත්‍රය තුළ අඩංගුව තියනවා.

සම්මා සතිය වන්නේ කුමක්ද?
කතමා ච භික්‌ඛවෙ, සම්‌මාසති?
ඉධ භික්‌ඛවෙ, 
භික්‌ඛු

කායෙ කායානුපස්‌සී විහරති
ආතාපී සම්පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,

වෙදනාසු වෙදනානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,

චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,

ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
අයං වුච්‌චති භික්‌ඛවෙ, සම්‌මාසති.

සතර සතිපට්ඨානය හැර
අන් සියල්ලම මිච්ඡා සතියයි..

සතර සතිපට්ඨානය වැඩෙන්න
සිහිය මේ ගුණාංග වලින් යුක්ත වෙන්න ඕන..
ආතාපී
සම්පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,


ආතාපි කියන්නෙ වීර්යයෙන්..
එයින් අදහස් වෙන්නෙ
සතිය මොහොතක් පාසා පිහිටුවා ගත යුතුයි කියන එකයි..
දවසක් වැඩුවත් පුරුද්දක් වෙන්නෙ නැහැ..

සරල අත්දැකීමක් ලෙස බලන විට
සම්පජානෝ සතිය කියන්නෙ
මේ පවතින මොහොත තුළ
සමස්ත සිත සහ ශරීරය
එකම ඒකකයක් විදියට
විඳීමයි..

විස්තර කළ හොත්

සති සම්පජන්‍ය නම්
විඳින සියලු වේදනාත්
දැනෙන සියලු සංඥාත්
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.


මේ පවතින මොහොත තුළ
සිහියෙන් ඉන්න කිසිම දෙයක්
'' ලෝභයෙන් හෝ ද්වේශයෙන් නොගෙන..''
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං, 

ලෝභ ද්වේශ දෙක නිසා තමයි සිහිය නැති වෙන්නෙ.

සතර සතිපට්ඨානය වැඩීමෙදි
ආතාපී සම්පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,

කියන ගුණයෙන්
සිහිය පිහිටුවාගෙන හිඳීම ප්‍රමාණවත්.


සතර සතිපට්ඨානය වැඩීමෙදි
කිසිවක් කළ යුතුයි කියා සිතන්නෙ
මමත්වය නිසයි.

මේ මොහොත
එක මොහොතක් විදියට අරන්..
මොහොතින් මොහොතට
ආතාපී සම්පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
කියන ගුණයෙන්
සිහිය පිහිටුවාගෙන හිඳීම ප්‍රමාණවත්.



කායානුපස්සනා සම්‌පජඤ්ඤපබ්‌බ
සම්පූර්ණ කොටසම ගත්තාම
සිහිය පිහිටුවිය යුතු ආකාරය
බුදුන් වහන්සේ කියනවා.

පුන ච පරං භික්‌ඛවෙ,
භික්‌ඛු අභික්‌කන්‌තෙ පටික්‌කන්‌තෙ සම්‌පජානකාරී හොති.
ආලොකිතෙ විලොකිතෙ සම්‌පජානකාරී හොති.
සමිඤ්‌ජිතෙ පසාරිතෙ සම්‌පජානකාරී හොති.
සඞ්ඝාටිපත්‌තචීවරධාරණෙ සම්‌පජානකාරී හොති.
අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්‌පජානකාරී හොති.
උච්‌චාරපස්‌සාවකම්‌මෙ සම්‌පජානකාරී හොති.
ගතෙ ඨිතෙ නිසින්‌නෙ සුත්‌තෙ ජාගරිතෙ
භාසිතෙ තුණ්‌හීභාවෙ සම්‌පජානකාරී හොති.


ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති.
බහිද්ධා වා කායෙ කායානුපස්‌සී විහරති.
අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති.

‘අත්‍ථි කායො’ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති
යාවදෙව
ඤාණමත්‌තාය
පතිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.

එවම්‌පි ඛො භික්‌ඛවෙ, භික්‌ඛු කායෙ කායානුපස්‌සී විහරති.

කායානුපස්සනාව වෙන්නෙ
මේ සියල්ලම සම්පූර්ණ වුණාමයි..

01, 
ඇතුළතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
02, 
පිටතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
03,
ඇතුළතින්ද පිටතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
04,
කයෙහි ඇතිවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
05,
කයෙහි වැයවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
06,
කයෙහි ඇතිවෙන වැයවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
07, 
කයෙහි ඇතිවීම හෝ නැසීමෙහි
සිහිය පිහිටුවාගෙන
08,
යාවජීව ලෙස
09,
ඤාණ මාත්‍රයෙන්
10,
එළඹ සිටි සිහිමාත්‍රයෙන්
11,
අනිශ්‍රිතව වෙසෙයි.
12,
පවතින කිසිවක්
මදක්වත් ග්‍රහණය නොකරයි.
13,
මෙසේ කයෙහි කය අනුව
දකිමින් වෙසෙයි.

සිහිය වඩන්න අවශ්‍ය දේ විස්තර කරන්න
මහා සතිපට්ඨානය ප්‍රමාණවත්.

සිහිය වඩන්න අවශ්‍ය සියලුම දේ
මහා සතිපට්ඨාන සූත්‍රය තුළ අඩංගුව තියනවා.

20160405

රත්න ශ්‍රී, තාගෝර්, සේකර, ප්‍රේමකීර්ති, සුනිල්..


 සමාවෙන්න මට

සමාවෙන්න මට
මල් නොගෙනාවට
සමාවෙන්න බුදු සාදු
මල් විකුණන්නට
මදි වුනොතින් හෙට
අපෙ අම්මාටයි පාඩු

වැවෙන් නෙළූ මල්
මිටියට බැඳලා
විකුණන්නයි ගියෙ අම්මා
පන්සල පාමුල
ගල් පඩි පෙල ලඟ
ඈ අර මල් විකුණනවා

නෙළුම් මලක්
සත පණහට දීලා
හාල් අරන් එයි අම්මා
පාන් පැලේ
බුදු පාන තියා අපි
බුදු සාදුට පින් දෙනවා

 
1987 - 'රන් කිරි කට' කාව්‍ය සංග්‍රහය.

1987 - 2016 
එදා මෙදා තුර රත්න ශ්‍රී වෙනස් වී ඇත්ද?

වසර තිහකට පෙර
රත්න ශ්‍රී මවන මේ දර්ශනයෙහි
චරිත කිහිපයක් ඇත.
ප්‍රධාන චරිතය කුඩා දැරියයි.
ඇගේ අම්මාද ප්‍රධාන චරිතයකි.
නොවැදගත්ම චරිතය බුදුන් වහන්සේය.
ඇය උන් වහන්සේ වෙත ආවේ මන්ද.?

බුදුන් වහන්සේ
ඇගෙන් මල් බලාපොරොත්තු වන බව
ඇය මල් නැතිව මෙහි පැමිණීම වරදක් බව
පළමු පේළි තුනෙන් ගම්‍ය වෙයි.

ඇයට මල් ගෙනෙන්නට උවමනාව තිබුණත්
හෙට විකුණන්නට මල් මදිවෙන බැවින්
ඇය එකම මලක්වත් ගෙනාවේ නැත.
එමගින් ඇය වරදක් කර ඇති බැවින්
බුදුන් වහන්සේගෙන් සමාව ඉල්ලයි..
ඇගෙන් වරදක් වී ඇත්තේ
මිනිසුන් මල් ගෙනත් පුදන තෙක් බලා සිටින
පන්සලේ ලොක්කා වන බුදුන් වහන්සේටය.

අම්මාට මල් කුමටදැයි
බුදුන් වහන්සේ තවම දන්නේ නැත.
අම්මා පන්සල පාමුල පඩිපෙළ ළඟ
මල් විකුණන්නීය.

සත පණහට නෙළුම් මලක් දී
අම්මා හවසට ගෙදරට හාල් ගෙනෙයි.
අම්මා මල් විකුණන්නේ බුදු සාදු නිසාය.
ඔවුන් ජීවත් වන්නේ බුදු සාදු නිසාය.
ඒ වෙනුවෙන් ඇය බුදු සාදුට
පිං දෙන්නට පොරොන්දු වන්නීය.

මේ කවි පෙළ පුරා අප දකින්නේ
මේ අම්මාත් දුවත් විසින් නියෝජනය කරන
සමාජවාදියෙකුගේ ධනවාදී අදහස්ය.
ඔහුට බුදු සාදු යනු
දුප්පතුන්ට ජීවන මාර්ගය සලසා දෙන
මහන්තත්ත වැදගතෙකි.
ඔහු තමන්ට මල් පුදන්නට
මිනිසුන් එනතුරු බලා සිටින නිසා
දුප්පතුන් මල් විකුණා ජීවත් වෙති.
ඒ වෙනුවෙන් ඔහුට පිං දුන්නාම ඇත.

මේ සමාජවාදී සත්‍යයෙහි ඇති
කාව‍යමය බව කුමක්ද.?
රත්න ශ්‍රී මේ නිර්මාණයෙන්
මේ චරිත මත හෙළන
අපූර්ව ආලෝකයක් වේද?

ශ්‍රද්ධාව පොදක් නැති මේ දැරිය
අතිශයින් බොළඳය.
ඇගේ චින්තනය පටුය.
ඇය බුදු සාදු හමුවට පැමිණියේ
පවුල ඔහුට ණයගැති නිසාය.
වරදක් කොට නිදහසට කරුණු රැගෙන
සමාව ඉල්ලාගෙනය.

මෙයින් ගම්‍ය වෙන ගැඹුරුම සත්‍යය
මේ තිදෙනා අතුරෙන් රත්න ශ්‍රී හඳුනන්නේ
මල් අම්මා පමණක් බවයි.

ඔහු දරුවන්ගේ සිත් නාඳුනයි.
බුදුන් වහන්සේ නාඳුනයි.
බුදුන් වහන්සේ නිසා සුවපත්වූ
අපද නොහඳුනයි.

රත්න ශ්‍රී දන්නේ මහා පුරුෂයෙකු ලෙස සලකා
බුදුන් වහන්සේට මල් පහන් පුදන
මල්පහන් නැතිව පන්සල් යාම
වරදක් ලෙස සිතන
අන්ධ භක්තික ජනතාවයි.

බුදුන් වහන්සේ සිටින තැන සිට බලනවිට
රත්නශ්‍රී සිටින්නේ අන්ධ භක්තිකයන්ටත් එපිටිනි.
උපතින් අන්‍යාගමික වුවත්
බුදුන් වහන්සේ හඳුනන කවියෙක්
මේ සිදුවීම පිළිබඳව ලිව්වා නම්
ඔහුට මතු කල හැකිව තිබුණ හැඟීම් මොනවාද?

දැන හෝ නොදැන
මල් පහන් පුදන්නට මිනිසුන් එන්නේ
මිනිසා දුකෙන් මුදන මගක් සොයාගෙන ගොස්
උන් වහන්සේ ඔවුන්ට කරුණාව දැක්වූ බැවිනි.
ඔවුන් දුකෙන් මුදා ලූ බැවිනි.

උන් වහන්සේගේ දහමෙන්
අබැටකවත් ප්‍රයෝජනයක් නැති අය පවා
තමන් මෙතෙක් ලද සැනසිල්ලක් නැතත්
පටාචාරාවන්ට, කිසාගෝතමීට,
අංගුලිමාලට, සුනීතට, සෝපාකට,
රජ්ජුමාලාට හෝ සැනසිල්ල ලබා දෙන්නට
උන් වහන්සේට හැකියාව තිබුණ බවද
උවමනාව තිබුණ බවද විශ්වාස කරන බැවිනි.
දැරිය මේ සියල්ල දැනගත යුතු නැත..
රත්න ශ්‍රී දැන සිටියේ නම් ප්‍රමාණවත්ය.
එවන් ශ්‍රද්ධාවක් වී නම්
දැරියගේ හැඟීම් සහ වචන තුළින්
අපට ඒ සුවය දැනෙනු ඇත.

කුස පුරවන සමාජවාදයට වඩා
සිත නිවා ලන ශ්‍රද්ධාව
මිනිසා සුවපත් කරවයි.
කුසට වඩා පහසුවෙන් හිත නිවෙයි.
කුස නිවීම එක වේලකටය.
හිත නිවීම ජීවිතයටම විය හැක.

මේ දැරියගේ කතාව මුලින් කියා
ඇගේ මවගේත් ඇගේත් ශ්‍රද්ධාව
ඇය තුළ මතු කළා නම්
සමාජවාදී සමාජයක් සොයන රචකයා
නෙලන හැම මලකින්ම මුදල්ම පතන
ඒ සඳහා සියල්ලම කරන උග්‍ර ධනවාදියෙකු බවට
අප තුළ ඇති ආකල්පය ඉරිතලනු ඇත.

අපි මේ කවිපෙළට ශ්‍රද්ධාව එක් කර
සාහසික ලෙස වෙනස් කර බලමු.

සමාවෙන්න මට
මල් ගෙන ආවට
සමාවෙන්න බුදු සාදු
මල් විකුණන්නට
මදි වේවී අද
අපෙ අම්මාටයි පාඩු

වැවෙන් නෙළූ මල්
මිටිය බඳින්නට
කලින්ම මේ මල මට දීලා
ඔබට පුදන්නට
යන්න කියා මට
මල් විකුණන්නට ගිය අම්මා
පන්සල පාමුල
ගල් පඩි පෙල ලඟ
ඔබට පුදන මල් විකුණනවා

නෙළුම් මලක්
සත පණහට දීලා
හවස් වෙනතුරා මල් විකුණාලා
හාල් අරන් එන අපෙ අම්මා
ඔබට පුදන්නට හැමදාමත්
මලක් ඉතුරු කර ගෙනැවිල්ලා
පාන් පැලේ බුදු සාදුට තියලා
බුදු සාදුට අපි පින් දෙනවා


මේ සංස්කරණයෙහි
මල් ගෙනෙන තෙක් බලා සිටින
බුදුන් වහන්සේගේ මහන්තත්වය
ඉවත්වී ඇත.
මේ සිදුවීමට
උන්වහන්සේගේ දායකත්වයක්
ඇත්තේම නැත.
දැරිය තවමත් රත්න ශ්‍රීගේමය.
ඇය සිතන්නේ ධනවාදීවය.
මේ මල විකුණන්නටත් තිබුණා.
ඇය මල ගෙනාවේ අම්මා දුන් නිසාය.
ශ්‍රද්ධාවන්තිය අම්මාය.

රත්න ශ්‍රීගේ කවියෙහි
බුදුන් වහන්සේ නිරමාණය වන්නේ
ඔහු තුළ උන්වහන්සේ මැවී ඇති අයුරිනි.

රත්න ශ්‍රීගේ කුඩා කාලය තුළ
බුදුන් වහන්සේට ශ්‍රද්ධාව ඇති කරන
සිදුවීම් නොතිබෙන්නට ඇතැයි මට සිතෙයි.

මගේ අතීතය සිහිපත් කරන විට
සැදැහැවත් මල් විකුණන්නිය
මගේ අම්මා වැනි යැයි මට කිව හැක.
මා තුළ බුදුන් වහන්සේට ශ්‍රද්ධාව ඉපදුණේ
අපේ අම්මාගේ ශ්‍රද්ධාව නිසාය.
ඇය බුදුන් වහන්සේ පිදුවේ
කිසිදු පැහැදිලි හේතුවක් නැතිවය.
වයස අවුරුදු 34ක් වනතෙක්ම
මා තුළ උන්වහන්සේ පිළිබඳ පැවතියේ කුහුලකි.
මට උන් වහන්සේ ජීවමානව මුණ ගැසුණේ
විපස්සනාවට යොමු වූ පසුවයි.

සිතූ පැතූ සම්පත් ලැබෙන
නාග මාණික්‍යයක් ලබා ගත හොත්
ළමයින්ට  පාසල් රෝගීන්ට රෝහල් තනා දෙන්නෙමැයි
කුඩාම අවදියේත් සිහින මැවූ මා
බුදුන් වහන්සේ සෝපාකට, සුනීතට,
රජ්ජුමාලාට පිහිට වන විට
සතුටෙන් කඳුළු සැලුවෙමි.

මා පාසලට යන අතරමග
අඩක් නිමවා අත්හැර දැමීමෙන්
වල් බිහිවූ ගොඩනැගිල්ලක් අසල
සෝපාකට හෝ සුනීතට
බුදුන් වහන්සේ පිහිට වූ අයුරු
සිතේ මවාගෙන විඳි අයුරු
මට අද මෙන් මතක ඇත.

එදා බුදුන් වහන්සේ මට ජීවමාන මවකි.. පියෙකි.
අද උන්වහන්සේ මට සදහම් මග දක්වන
මගේ එකම ගුරුවරයායි.

එදා අම්මා රත්තරන් මලක් දී
මා බුදුන් වඳින්නට යැව්වා නම්
එහි මිළ කීයදැයි මා සිතන්නේ නැත.
මා ඒ මල පිදීමෙන් ලබන සැනසීමට
මිළක් දැක්විය නොහැක.
රත්න ශ්‍රී තුළ කවරෙක් හෝ සවිකළ
කවි ලිවීමේදී ස්වයංක්‍රීයව වැඩ කරන
කැල්කියුලේටරය මා සතුව නැත.

මගේ ශ්‍රද්ධාව
සම්මා වායාමයටත්, සම්මා සතියටත්,
සම්මා සමාධියටත් හැරී
ප්‍රඥාව වන්නට හේතු වූයේ
වයස 34දී මට ගොයෙන්කා තුමාගෙන්
ඉගෙන ගන්නට ලැබුණ විපස්සනාව නිසාය.
ඒ පුහුණුවෙන් පසු මා විඳින දුක්
කෙමෙන් අඩුවන විට
බුදුන් වහන්සේගේ බෝසත් දිවිය
අසංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක් වුවද
ඒ සියල්ලම ගත කළේ මා වෙනුවෙන් වුවද
ඒත් වටිනවා යැයි මට සිතුණ වාර ගණන
කොතරම්දැයි මට මතක නැත.
අදත් මම එසේ සිතමි.

මා මේ දැරිය දෙස බලන්නේ
ඉහත දැක්වුණ පසුබිමෙහි සිටයි.
එහෙයින් රත්න ශ්‍රී දකින කෝණයෙන්
ඇගේ සහ මවගේ දරිද්‍රතාවය නිසා
මල් නොපුදා විකුණුවාට කම් නැතැයි සිතා
මට සැනසීමට නොහැක.
ඔවුන් බුදුන්ට පුදන මලෙහි වටිනා කම
ඔවුන්ගෙන් මිලට ගෙන පුදන මල් වලට වඩා
බෙහෙවින් වැඩි යැයි මම සිතමි.

නිර්මාණකරුවාගේ ශ්‍රද්ධාව
නිර්මානයකට බලපාන අයුරු
පහළ දැක්වෙන තාගෝර් කිවිඳුන්ගේ
කෙටි ගද්‍ය නිර්මාණය විමසා බලමු.

මේ නිර්මාණයත් නෙළුම් මල් පිදීමක් පිළිබඳවයි.
රවීන්ද්‍රනාත් තාගෝර් කිවිඳුන්
බුදුන් වහන්සේ දකින්නෙ කෙසේද?
__________________________

 
නෙළුම් පූජාව.
කරුණාවක් නැති තුෂාරය හේතු කොට ගෙන  නෙළුම් මැලවී තිබුණේය.
උයන් පල් සුදාස්ගේ පොකුණේ පමණක් එක නෙළුමක් පිපී තිබුණේය.

මේ නෙළුම විකිණීම පිණිස ඔහු එය රජවාසලට රැගෙන ගියේය.
අතර මගදී ඔහුට ධනවත් වෙළෙන්දෙක් මුණ ගැසුණේය.
නෙළුම වෙළෙන්දාගේ සිත් ගත්තේය.

" නුඹේ නෙළුම මම ගන්නම්.
නගරයේ වැඩ සිටින බුදු හාමුදුරුවන්ට පූජා කරන්න.
මිල කීයද." ඔහු විමසුවේය.

සුදාස් ඊට රන්කාසියක් ඉල්ලුවේය.

වෙළෙන්දා රන්කාසිය සොයනවිට,
තථාගතයන් වහන්සේ වෙත යනු පිණිස
රජතුමා වාසලින් නික්ම ආවේය.
ඔහු හෙළ නෙළුම දැක,
බුදුරජාණන් වහන්සේ උදෙසා මම මෙය ගන්නම්.
මිල කීයද?" විචාළේය.

" එය මම රන් කාසියකට විකුණා තිබෙනවා."
උයන්පල්ලා කීවේය.

" මම රන්කාසි දහයක් දෙන්නම්" රජතුමා කීවේය.

" මම රන් විස්සක් දෙන්නම්" වෙළෙන්දා මොර දුන්නේය.

නෙළුම මිලදී ගැනීම පිණිස ඔවුහු තරක් වූහ.
මිල ක්‍රමයෙන් නැග්ගේය.

උයන්පල්ලා මේ තරඟයට කන්දෙමින් කල්පනා කළේය.
" තථාගතයන් වහන්සේ උදෙසා ඔවුන්ට මෙය උවමනාවී තිබෙනවා.
උන්වහන්සේගෙන් මට මීට වඩා කොපමණ ගත හැකිද"
ඔහු සිතුවේය.

" සමාවෙන්න. මම නෙළුම විකුණන්නේ නැහැ. "
ඔහු දෙඅත ඔසවා කියා සිටියේය.
මෙසේ කියා ඔහු
බුදුන් වහන්සේ ශාන්තව
දිව්‍යමය තේජසින් වැඩ සිටිය තැනට දිව්වේය.

සුදාස් උන්වහන්සේ දැක තැතිගෙන සිට ගත්තේය.
මොහොතකට ඔහුට කිසිවක් කර කියා ගැනීමට නොහැකි විය.
පසුව ඔහු උන්වහන්සේගේ ශ්‍රී පාමුල ඇද වැටී
උන් වහන්සේට නෙළුම පූජා කළේය.

"ඔබට කුමක්ද උවමනා.?
උන්වහන්සේ මද සිනාවක් පාමින් විචාළේය.

"කිසිවක් නොවෙයි,
ඔබ වහන්සේගේ ශ්‍රී පාද පද්මයෙන් ස්පර්ශය වූ
දූවිලි කැටයක් පමණයි මට උවමනා"
ඔහු මහත් ආශාවෙන් ඉල්ලා සිටියේය.

___________________________

මෙහි චරිත හතරක් ඇත.
වැදගත්ම චරිතය සුදාස්ය.
ඔහු මල් විකුණන්නෙකි..
තුෂාරයෙන් සියලු නෙළුම් මල් මැළවී ඇත.
ඔහු සතුව ඇත්තේ එකම පිපුණු මලකි.
එහි සැබෑ වටිනා කම ඔහු දනී.

සුදාස් ධනවාදියෙකි.
ඉල්ලුමට සරි ලන සැපයුමක් නැති බව දන්නා ඔහු
ධනවත් වෙළෙන්දා සූරාකන්නට සිතුවේය.
රන් කාසිය කුඩා මුදලක් නොවේ.
වෙළෙන්දා මල ගන්නේ ඇයිදැයි කියන විට
අප බුදුන් වහන්සේ කවුදැයි නොදන්නෙමු.
සුදාස් සහ අප උන් වහන්සේ ගැන දැනගන්නේ
වෙළෙන්දාගේ සහ රජුගේ තරඟය නිසාය.

බුදුන් වහන්සේ කවුදැයි නොදත්
සුදාස්ගේ සිත තුළ කෑදරකම උපදියි.
ඔහු බුදුන් වහන්සේ වෙත දුවන්නේ
මුදලට කෑදර ධනවාදියෙකු ලෙසයි.
බුදුන් දුටු මොහොතේ පරිවර්තනය වන ඔහු
නිමේශයකින්  ශ්‍රද්ධාවන්තයෙකු වෙයි.
ඔහු ප්‍රඥාව දෙසට පලමු පියවර තබා ඇත.
රන්කාසි විස්ස ගත්තා නම්
ඔහු ගෙදර යන්නේ කැළඹුණු සිතකිනි.
මේ නිවීම ඔහු තුළ නොවේ.

සුදාස් තුළ අප මේ දකින්නේ
සුදාස් දුටු බුදුන් වහන්සේ නොවේ.
අප සමග සුදාස් මේ දකින්නේ
උපතින් හින්දු බ්‍රාහ්මෝ නිකායෙහි උපන්
හින්දු ආගමිකයෙකු වූ තාගෝර් කිවිඳුන්
සිය මනසින් දුටු බුදුන් වහන්සේය.
රත්න ශ්‍රීගේ බුදුන් වහන්සේත්
තාගෝර්ගේ  බුදුන් වහන්සේත් අතර
අප දකින පරතරය ශ්‍රද්ධාව නොවේද?

රත්න ශ්‍රීගේ කවි පෙළ සමග
මේ ගද්‍ය නිර්මානය සසඳන විට
මේ නිර්මාන දෙක අතුරෙන්
වඩාත් කාව්‍යමය කවර නිර්මාණයද?
පද ගැලපීම අනුව පමණක්
නිර්මාණයක් කාව්‍යමය වේද?

මල් වෙළෙන්දෙකු ලෙස
සුදාස් දක්වන ධනවාදී කෑදරකම
රත්න ශ්‍රීගේ කවි පෙළෙහි මවත් දියණියත්
දෙදෙනා තුලම ඇත.
මව ඇයට මලක් දුන්නේ නැත.
ඇය ඊට නිදහසට කරුණු කියන්නීය.
ඔවුහු සම්ප්‍රදායික බැතිමතුන්ය.

තාගෝර් නිර්මාණයේ සිදුවීම අවසාන වනවිට
සුදාස් සැදැහැවතෙකු බවට පරිවර්තනය විය.
ඔහු අපූර්ව චරිතයකි.
අවම වශයෙන් රන්කාසි
විස්සක් ගත හැකිව තිබුණ නෙළුම
බුදු සිරි පත්ලෙහි පහස ලද
වැළි කැටයකට හුවමාරු කරන්නට තරම්
සුදාස් වීතරාගී විය.
ඔහු වීතරාගී කළේ බුදුන් වහන්සේ නොවේ.
වීතරාගී තාගෝර් කිවිඳුන් විසින් බුදුන් දුටු පමණින්
සුදාස්ගේ සිතෙහි දැවුණ රාගය නිවා
ඔහුගේ සිත නිවා ලූ හෙයින්
ඔහුට ඒ රන්කාසි විස්සක් අගනා නෙලුම
බුදු පාමුල වැටුණ වැළි කැටයක් තරම්වත්
නොවටනා දෙයක් විය.

සත පනහක මලක්වත් නැතිව
හිස් අතින් බුදු පුදට එන මල් දැරිය
බුදුන් වහන්සේ පාවිච්චි කරමින්
ඇගේ සහ මවගේ දරිද්‍රතාවය නිරුවත් කොට
මල් අසුන මත කාටත් පෙනෙන්නට තබා
රත්න ශ්‍රීගේ සමාජවාදී පැමිණිල්ල
අප වෙත අමුවෙන්ම වාර්තා කරමින්
සිය කාර්යය හමාර කරන්නීය.

කුඩා දැරියක් වුවද
ඇය සිතන්නේ මේරූ ගැහැණියක මෙනි.
මේ කවිය කියවා විඳින
මේ චින්තනයෙන් යුතුව අකලට මෝරන දැරියන්
සමාජවාදී, කාන්තා වාදී චින්තනයක් සමග
ලෝකය සමග පොර බදමින් ජීවත් වන්නෝ
නොවනු ඇත්ද?

කුඩා දැරියකගේ සිත කියවන්නට
වැඩිහිටි පුරුෂයෙකුට පහසු නැත.
එවන් උත්සාහයක් අති සාර්ථකවූ
මේ අවස්ථාවත් විමසා බලමු.

 



මලක් නෙළා ගෙනැවිත් බුදු සාදුට පිදුවා
ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නෙ ඇත්ත ම ඇත්තෙන්
මේ මල මම නෙළා ගත්තෙ මගෙ මල් වත්තෙන්
නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ

ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුණේ
ලොකු අම්මා එක්කල මම නුවර ගියානේ
බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
ඉතින් තව ම ඇයි හිමි මා දෙස හිනැහෙන්නේ

අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
සමාවන්න හිමියනි බොරු නොකියමි හිතකින්
නෙළා ගත්තෙ මේ මල නංගි ගෙ මල් ගසකින්

දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසි දින නොකරනු මැනැවි ළමයිනේ..


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්.
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : පේෂලා මෙන්ඩිස්

සිල් දෙකක්ම බිඳගත් මේ දැරිය
ඉරිදා ඉස්කෝලේ බුදු පුදට
මලක් ගෙන එන්නේ සොරකම් කිරීමෙනි.
එමතුද නොව ඇය බොරුවක්ද කියන්නීය.
ඇය එතරම් ලොකු අමාරුවක හෙළන ප්‍රේමකීර්ති
ඉතා සංයමයෙන් යුතුව බුදු හිමිගේ සැකය
වෙනත් හේතුවකැයි අනුමාන කරන්නට
ඇය පළමුව පොළඹවයි..
නැත්නම්
බුදු හිමියන් නොමග යවන්නට
අවධානය වෙනතක යොමු කරන්නීය.
මේ කොටස නොමැති වුණා නම්
ගීතයෙන් අඩක් පමණ වටිනා කම අඩුවෙයි.
ගිය ඉරිදා ඉස්කෝලෙ එන්න නොහැකි වුණේ
ලොකු අම්මා එක්ක නුවර ගිය නිසා බව ඇත්තකි.
එහෙත් බුදු හිමි ඇගෙන් සත්‍යය ඉල්ලා සිටියි.

අප දුටු රත්න ශ්‍රීගේ මල් දැරිය
මේ බොරුකාර සෙරට වඩා හොඳය.
මල් දැරිය අවංකය. නිදොස්ය. සිල්වත්ය.
එහෙත් මේ දැරිය මෙන් සැදැහැවත් නැත.

මේ බොරුකාර සෙර සැදැහැවත්ය.
පව් කළද පවට ලජ්ජා බය ඇත්තීය.
ඒ ශ්‍රද්ධාව නිසා පිරිසිදු වෙන ඇය ආපසු යන්නේ
තමන් සීලය රකින්නට ඉටා ගෙන
අන් අයද සිල් රකින්නට පොළඹවන
පිවිතුරු ශීලවන්තියක ලෙසිනි.
මේ වෙනස සමග අප ඇයට ආදරය කරමු. ගරු කරමු.
ඊටත් වඩා ප්‍රේමකීර්තිට ආදරය කරමු.

ප්‍රේමකීර්ති සොරකම් කරන්නෙකු යයි මා නොසිතන නමුදු
බොරු නොකියන්නෙකු නොවේ යයි සිතමි.
ඔහු ගීතය හමාර කරන්නේද බොරුවකිනි.
"දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසි දින නොකරනු මැනැවි ළමයිනේ."

දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ නොසිටියි.
ඒ අදහස බොරුවක් බව අප දන්නා නමුත්
ඒ බොරුව දැරියගේ කෝණයෙන් සත්‍යයකි.
ඇය මේ කියන්නේ මොහොතකට පෙර ඇය අත්දුටු දේය.
ඇගේ කෝණයෙන් ඒ ඇය වෙනස් කළ ශක්තියයි.

භික්ෂුවක් ඇවැතක් ආරෝචනය කරන්නාක් මෙන්
ඇය හොරකමත් බොරුවත් කළ බව පිළිගත්තේ
බුදු සාදු ඈ දෙස
හෙලූ බැල්ම නිසාය.
ඇය සොරකමෙන් බොරුවෙන් මුදා ගත්තේ ඒ හැඟීමයි.

එහෙත් මේ දැරියගේ අත්දැකීම තුළින්
සියලුම දරු දැරියන් වෙත
ප්‍රේමකීර්ති සම්ප්‍රේෂණය කරන දයාබර පණිවිඩය
තවත් දශක ගණනාවක් තිස්සේ
අපේ රටවැසියන් අත, අතින් අතට යනු ඇත.

ප්‍රේමකීර්ති අපට පෙන්වන බුදුන් වහන්සේත්
තාගෝර් කිවිඳුන්ගේ හද තුළ විසූ
බුදුන් වහන්සේත් අතර පරතරයක් තිබේද?

මේ ස්වරූපයෙන් සපුරාම බැහැරව
රත්න ශ්‍රී මෙන් තම දුක් ගැනවිල්ල සමාජගත කරන්නට
බුදුන් වහන්සේ නිර්දය ලෙස භාවිතා කරන
හැවිල්ලක් මෙන් ද්වේශයෙන් ගිණියම්වූ බොදු ගීයක්
අපි දැන් විමසා බලමු.

 

අනාථනාථයාණනී......
තුන් ලෝ තල තිලකායමාන වූ
ශාක්‍යසිංහ වූ
අනාථනාථයාණනී

මුවින් සිනාසී සිතින් වෛර කරනා
සිරුර වැළඳ ගෙළ සිරකොට හිස සිඳිනා
බුදු බණ නෑසූ රුදු මිනිසුන් දැක
පඬුපුල් සෙලසුන් උණු නොම වෙද අද

දෙතොලැ හලා හළ විෂ තැන තැන ඉසිනා
ප්‍රේමය සාමය පාගා බිඳ දමනා
නොමිනිස් කැළ නම් යහ මඟ නො දකිත්
සිව් වැනි වරටත් බුදු හිමි වැඩියත්


ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු නිර්මාණය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

සමාජයේ වෙසෙන රුදු නොමිනිස් කැළ සමග උපන්
ද්වේශයෙන් ලියැවුණ ගීතය අවසන් කෙරෙනුයේ
සිව් වැනි වරටත් බුදු හිමි වැඩියත්
නොමිනිස් කැළ යහමඟ නොදකින බව කියමිනි.
.
බුදු හිමියන් නාථ වූයේ එවන් අනාථයන්ට බව
සුනිල් ආරියරත්නයන්ට අමතක වූවාක් වැන්න.
ද්වේශයට පෝෂණයක් මිස
නිවීමක් සැදැහැ සිතට නව පණක් දීමක්
එම ගීතයෙහි නැත.

ගලක් වී පහර කන්නට, සිරිපා මුල මලක් වී පරව යන්නට
බුදුන්ටම පිදෙන්නට සිතන සිතක් තේමා කරගෙන
ප්‍රේමකීර්ති ලියූ තවත් ගීයක් මට සිහිවෙයි.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කළාවූ
ක්ෂාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි
මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල
විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය
ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්


ගායනය-සංගීතය.: වික්ටර් රත්නායක
ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද රචනය

බුදු දහම සමග
ප්‍රේමකීර්ති තුළ වූ සමීප සබන්දතාවය
මෙහි දෙවන කොටසෙන් පැහැදිලි වෙයි.
යකුළු පහරට කැපී වෙන් වෙන ගලක් මෙන්
ඔබේ පිළිරුව තනන්නට පූජාවක් වී
ඉවසා සිටින්නට පෙරුම් පුරමින් ඔහු පතන්නේ
අත්පා කපද්දී ක්ෂාන්ති පාරමිතා පිරූ
බෝසත් තවුසා අත්දුටු ක්ෂාන්තියයි..

අද ඔබ දෙපා මුල මලක් විඳින සිහිලස
කෙලෙස් ගින්නෙන් දැවෙන මට නැත.
මිනිසෙකු වන මට මලක් වන්නට නොහැකියෙන්
මා මලක් වන දිනක ඔබ පාමුල පරවුණාවේ.

ප්‍රේමකීර්ති මේ ගීතයට නගන්නේ
ඔහු තුළ ඇති ශ්‍රද්ධාව පමණක් නොවේ.
ඔහු සිය පෑන් තුඩින් අපේ ශ්‍රද්ධාවටද පණ පොවයි.
ප්‍රේමකීර්ති බුදුන් වහන්සේ හමුවට ගියා නම්
අනේපිඬු සිටු පුතුට මෙන්ම
"එන්න ප්‍රේමකීර්ති හිඳගන්න " කියා
බුදුන් වහන්සේගෙන් සැලකුම් ලබන්නට තරම්
බුදුන් වහන්සේට සමීප බවක් ඔහු තුළ වූ බවක්
මින් හැඟෙයි.

බුදුන් වහන්සේ පිළිබඳ සේකර තුළ වූ
අනුපමේය ශ්‍රද්ධාව පිළිබිඹු කරන ගීයෙන්
මේ විවරණය අවසන් කරමි.

මෙලොව පිහිටක් නැති වූ කල
බවුන් වඩනට වනයට ගොස්
කෙලෙස් මල ඉවත් කළ හැකි බව ඔහු දනියි.

බුදුන් වහන්සේගේ යෝධ බුද්ධ කාය
ඔහුගේ කුඩා බව පෙන්වා
ඔහු සිත මෝහනය කර ඇත.
එහෙත් ඒ කුඩා බව
ඔහුත් බුදුන් වහන්සේත් අතර
පරතරයක් ඇති කර නැත.

ඔහුගේ සිතුම් පෙළ අපේ ශ්‍රද්ධාව සහ
බුදුන් වහන්සේ පිළිබඳව අප තුළ ඇති රුව සමග
මනාව සමපාත වෙයි. සැසඳෙයි.


 
ඇසේ මතුවෙන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොලෝ තලයේ අනේ පිහිටක් නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

 __________________________________

තාගෝර්, ප්‍රේමකීර්ති සහ සේකර
තිදෙනා තුළ වූ ශ්‍රද්ධාව ස්වරූපයෙන් වෙනස්ය.
ඔවුනොවුන්ට ආවේණිකය.

තාගෝර්ගේ ශ්‍රද්ධාව ඔහු තුළ වූ
දේව වාදයෙන් පෝෂණය වී ඇත.

ප්‍රේමකීර්තිගේ ශ්‍රද්ධාව
පවෙන් ආරක්ෂා කරන සෙවනකි.
ආත්මික පූජාවකි.

බුදුන් වහන්සේගේ සරණ සෙවීමෙන්
කෙලෙස් නැසෙන බව සේකර දනියි.
ඔහු තමාත් බුදුන් වහන්සේත් අතර වූ
පරතරය සිතින් දකියි. නොසැලෙයි.

ඒ වෙනස්කම් කෙසේ වුවද ඔවුන්ගේ නිර්මාණ
සුනිල් සහ රත්න ශ්‍රීගේ නිර්මාණ වලට වඩා
අප හදවත් ස්පර්ශ කරන්නේ
ඒ නිර්මාණවලට පදනම්වූ නිර්මාණකරුවාගේ ශ්‍රද්ධාවයි.

 -----------------------------------------------------




මිනිස් මොළයේ විද්‍යාත්මක වම සහ කලාත්මක දකුණ...