20140804

සිදු වෙන සියලුම දේවල් නිශ්චිතයි..



එක් නිශ්චිත මොහොතක
නිශ්චිත ඝණ්ටාවකට
නිශ්චිත පහරක් වැදුණොත්
සිදු වෙන සියලුම දේවල් නිශ්චිතයි..
අහඹු සිදුවීම් නැහැ.
එක පරමාණුවක් ගත්තත්
මුළු විශ්වයම ගත්තත්
සියලු වෙනස්වීම් නිශ්චිතයි..

දිය පහරක් මිටිම, පහසුම තැනට
ගලා බසිමින් මුහුදට යන්නාක් මෙන්ම
ලෝකයත් එක මොහොතක සිට
අනෙක් මොහොතට වෙනස් වන්නේ
වෙනස් විය හැකි අවම අවස්ථාවටය.
මිනිස් සිතිවිලි පවා
බාහිර හා අභ්‍යන්තරික ක්‍රියාවලියක
ප්‍රතිඵල වෙයි..
ස්වාධීන නැත.

පරමාණු වල සිට සක්වලවල් දක්වා
සියලුම දේ ජාලයක් ලෙස නිශ්චිත මගක
චලනය වෙනවා.
මිනිස් සිතිවිලි පවා ඊට යටත්..
ඔබ කරනවා කියා ඔබ සිතන දේත්
ඔබ කියනවා කියා ඔබ සිතන දේත්
ඔබ සිතනවා කියා ඔබ සිතන දේත්
ඔබට ඉබේම ඇතිවෙන රාග ද්වේශ මෝහ..
නීවරණ වල නිපදවීම් අනුව
ඉබේටම පහළ වෙන
වචන හා ක්‍රියා නොවේද?

ඔබ තුළ ඉබේට සිදුවෙන ක්‍රියාවලිය
ඔබට නතර කළ හැකිද?

හුස්ම නිශ්චිතව
ඇතුල්වන්නේ පිටවන්නේ කෙසේද?
හුස්ම ගන්නේ ඔබද?
සිතිවිලි ඇති කරගන්නේ ඔබද?
දවස පුරා ඉරියව් වෙනස් කරන්නේ ඔබද...
ඒ සියල්ලම ඉබේට සිදු වෙනවා නොවේද?

අප සාක්ෂිකරුවන් බව
අපට අමතකයි.
ඉබේට සිදුවෙන දේවල්
මමත්වයෙන් අල්ලාගෙන
අපි කරනවා කියා සිතනවා.
තත්පර කිහිපයකට
ඔබ කරන සියල්ල නතරකොට
ඉබේට සිදුවෙන දේවල් දෙස
සමස්තයක් ලෙස බලා ඉන්න..

ඉන් පසුව
ඉතා සෙමින්
ඔබේ කයට ඉබේට හැසිරෙන්නට දී
ඔබට ඉබේට සිතිවිලි ඇතිවෙන හැටි..
ඔබ ඉබේට ඒ සිතුවිලි ක්‍රියාවට නගන විදිය
ඉබේටම සන්සුන්ව බලා ඉන්න.