20160303

බිහිරෙක් අන්ධයෙක් හිතන්නෙ කොහොමද?




ක්‍රියාවක් සිදු වෙද්දි
අවස්ථා කිහිපයක් පසු වෙනවා.
1,
ස්පර්ශය
( මනස සහ පසිඳුරන් මත )
2,
වේදනාව
( ස්නායු වල වෙන වෙනස )
3,
හැඟීම
( වචන නෑ )
4,
සිතිවිලි
( වචන තියනවා. )
5,
ක්‍රියාව..

අපි හැඟීම විදියට විඳින්නෙත්
සිතිවිලි මගින් හිතන්නෙත්
අපේ ඉඳුරන් මත ස්පර්ශ වෙන අරමුණු වලින්
අපි ග්‍රහණය කරගන්නා තොරතුරු වලින්
අපි හදා ගන්නා සංකේත පමණයි.
අපි හිතන්නෙ වචන වලින් සහ රූප වලින්.
කියවන්න ඉගෙනගෙන නැත්නම්
බිහිරෙක් හිතන්නෙ කොහොමද.
ඔහුට වචන නැහැ.
අන්ධයෙක් හිතන්නෙ කොහොමද?
ඔහුට රූප නැහැ.

අපට නිවස කියන්නෙ සංකේත රූපයක්.
අපි වචන ඉගෙන ගනිද්දි
ඒ සංකේතය තව දුරටත්
සරල කර ගන්නවා.

කෙනෙක් ඔබේ නිවස කියා
අපි දෙන්නෙකුට කිව්වොත්
අපි දෙන්නාගේ සිත් තුළ ඇති වෙන සංකේත
එකිනෙකට බොහෝ සෙයින් වෙනස්.
සිරකරුවෙකුට නිවස කියන්නෙ
අපට වඩා වෙනස් දෙයක්.
ඔහුගෙ නිවස ව්‍යාකූල රූපයක්.
වෙනත් නුවරක නවාතැන් ගත් කෙනෙකුට
නිවෙස් දෙකක් තියනවා.
ඔහු වැඩ ඇරී යන්නෙ එක නිවසකට.
සති අන්තෙ යන්නෙ අනිත් නිවසට.

මොන විදියට නිවස කිව්වත්
අපි කවුරුත් භාවිතා කරන්නෙ අපට සාපේක්ෂ සංකේතයක්.
ඇස් පෙනෙන. කන් ඇහෙන. කියවන්න පුලුවන් අපිට
නිවස කියන්නෙ වචනයේ හැඩය සහ
ඒ ඇසුරෙන් ඇඳෙන
බිත්ති හතරක් වහලයක් සහිත සරල සංකේතයක්...

බිහිරෙක් අදහස් ප්‍රකාශ කරද්දි
වචන නැති වුණාට
ඔහුත් රූපමය සංකේත භාවිතා කරනවා.

ඔහුට නිවස කියන්නෙ ඔහු අතින් එහි හැඩය පෙන්වද්දි
ඔහුගෙ මනසෙ ඇඳෙන රූපයයි..

බොහෝ මාර්ග සංඥා අපට කතා කරන්නෙ
ගොලු භාෂාවෙන්..

 
බිහිරාට කියවන්න පුලුවනි නම්
ඔහුත් අපි වගේ අකුරු එකතුවම භාවිතා කරාවි.

අන්ධයෙක් නිවස කියන්නෙ
බ්‍රේල් ක්‍රමයට ඔහුගෙ අතට ස්පර්ශ වෙන හැඩය සහ
නිවස සැරයටියෙන් සහ අත්වලින් ස්පර්ශ කරලා
ඔහුගෙ මනස තුළ සකස් වෙන සංකේත විය හැකියි..
ඔහු මවා ගන්න නිවස අපි දකින නිවස නොවෙයි..
ඔහුගෙ නිවසට ඔහු එන පාර, ගේට්ටුව ආදී
මග සලකුණුත් ඇතුලත් ඇති.

ඒ තොරතුරු වලින් රූපයක් ඇන්දොත්
පිකාසෝගෙ
චිත්‍රයකට වඩා සංකීර්ණ රූපයක් 
අපට ලැබේවි..

මම ඔබ ගැනත්... 
ඔබ මම ගැනත් හදාගන්න ප්‍රතිරූපත්
අන්ධයෙකුගෙ රූප වගේ අසම්පූර්ණයි.

 
ෆේස්බුක් ජාලය තුළ අපි හදාගන්න රූප
සැබෑ මිනිසුන් සමග සසඳන විට
පිකාසෝගේ චිත්‍රයකට සමාන විය හැකියි.

මට පිස්සුද?


 ෆේස්බුක් වාසී හිතවතුන්ට විශේෂයෙනි.
ෆේස්බුක් සමූහවල සංවාද වලට පිවිසී
සංවාදයේ මාතෘකාව ගැන කිසිවක් නොපවසා
මානසික වෛද්‍යවරයෙක් ළඟට මා යායුතුයි
කියා කරුණාවෙන් මට නිර්දේශ කරන
ෆේස්බුක් සමූහ වාසී
සියලුම මානසික රෝගී හිතවතුන්ට
මම හදවතින්ම ස්තූති කරනවා.


පොඩි මානසික ප්‍රශ්නයක් ආවත්
ඔවුන් මනෝ වෛද්‍යවරුන් ළඟට දුවනවා ඇති..
බිරිඳ සහ දරුවන් රැගෙන යනවා ඇති.
නෑ සිය හිත මිතුරන් යොමු කරන්නටත්
ඔවුන් ඇබ්බැහි වී ඇති.

මට ඇතැයි ඔවුන් සිතන ප්‍රශ්න වලට
ඔවුන් රෝගී වූ අවස්ථාවලදී
අනුගමනය කරන ප්‍රතිකාර ක්‍රම
ඔවුන් මටත් යෝජනා කිරීම ස්වාභාවිකයි.

ත්‍රිපිටකයෙන් බුදු වදනක් ගෙන පළ කළත්
කියවා ගන්න තේරුම් ගන්න නොහැකි වූ විට
මානය නිසා විමසන්නත් නොහැකිව
ඔවුන් මට කියන්නෙ
මානසික වෛද්‍යවරයෙක් හමු වෙන්න කියලා.

සීලයක් නැති චරිතයත්
දමනයක් නැති කෑදර කමත් නිසා
තමන් විසින්ම දූෂිත කරගෙන
මානසික ප්‍රශ්න වලින් අසරණ වී සිටින
තමන්ගෙ මනස ගැන කිසිත් නොදන්න කෙනෙකුට
වෙන අදහසක් එන්න විදියකුත් නැහැ.

වැරදි චර්යාවන් නිසා
මානසිකව අංගවිකල වූ බොහෝ දෙනෙකුට
වෛද්‍යවරයා කියන්නෙ ස්වර්ණමය කිහිලිකරුවක්.
වාහනයක අමුතු සද්දයක් එනවිට
ගරාජයකට අරන් යන්නාක් මෙන්
මොන කායික මානසික ප්‍රශ්නයක් ආවත්
ඔවුන් දුවන්නෙ වෛද්‍යවරුන් ළඟටයි..

රැගෙන එන ප්‍රශ්නය කොතරම් සරල වුණත්
ප්‍රශ්නය අණ්වීක්ෂයෙන් විශාලනය කර පෙන්වා'
දුරේක්ෂය අනිත් පැත්ත හරවා සුවය ඈත් කර පෙන්වන්න
බොහෝ වෛද්‍යවරු මැනවින් පුහුණු වී තියනවා.
වෛද්‍ය වාර්තාව අනුව
තමන්ගෙ රෝගයේ බරපතලකම ගැන
තමා සිතූ දේ නිවැරදියි කියා
තමන්ගෙ හැකියාව ගැන උදම් අනමින්
රෝගියා ගෙදර එනවා.
වෛද්‍යවරයාත් සතුටුයි. රෝගියාත් සතුටුයි.

මානසික වෛද්‍යවරයා ළඟට යන්නට
ඔවුන්ට සිදු වෙන්නට ප්‍රධානම හේතුව
මනස වැරදි ආකාරයෙන් යොදා ගැනීමයි.
කාමය, කෝපය, බය ආදියෙන්
තමන් විසින් දවස පුරා දූෂ්‍ය කරගෙන
රෝගී කරගත් මනස රැගෙන ඔවුන් යන්නෙ
ඔවුන් තරම්වත් ඔවුන්ගෙ මනස නොදන්න
රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන
මනෝ වෛද්‍යවරයා ළඟටයි.
ලැබෙන ප්‍රධාන ප්‍රතිකාරය නිර්වින්දනයයි..

රාගය නිසා ද්වේශය නිසා
ඔවුන් ඇති කරගන්නා මානසික රෝග කියාගෙන
ඔවුන් භක්තියෙන් අදහන
මනෝ වෛද්‍යවරයා ළඟට ගිහින්
ආචාර පවත්වා එකත්පස්ව හිඳගත් පසු
ඔහු කරන්නෙ ප්‍රශ්නය කියන්න ඉඩ දී
රෝගියාගේ මනස මෝහයට පත් කරවන
සුදුසු නිර්වින්දකයක් දෙන එකයි.

වසර ගණනාවකට පෙර
මා දන්නා මහළු ස්ත්‍රියක්
වැටී කකුලෙ ඇටයක් කැඩුණා.
නිදහසේ තමන් කැමති තැනක යන්න
කලක් තිස්සේ පුරුදු වී සිටි ඇයට
ලොකු මානසික අපහසුවක් තිබුණා.
ඇගෙන් ඇගේ දරුවන්ට
නොයෙක් කරදර පැමිණියා.
හරිශ්චන්ද්‍ර මනෝ වෛද්‍යවරයා
ඇයට රු දෙදහසක රසායනික සංයෝග නියම කළා.
ඒ සංයෝග ගැනීමෙන් පසු
ඇය දවස් දෙකක් සිහිය නැතුව
මළාක් මෙන් මෝහයට වැටී ඇඳේ සිටියා.
පමණ ඉක්මවා ගිය නිර්වින්දනයෙන්
සමස්ත පුද්ගලයාම මෝහයට පත් වුණා.
ඇගේ කරදරයෙන් මිදී දරුවන් සැනසුණා.
ඇගේ වගකීම ඇති දරුවන් ඔවුන්ගේ පහසුව තකා
ඇයට ඒ නිර්වින්දක තවමත් දෙනවා.
දිනෙන් දින මෝහයට පත්වන ඇය
ඇවිදින මළකඳක් බවට පත්වෙන ආකාරය
කලක් තිස්සේම මා සියැසින් දුටුවා.

ඇය යකැදුරෙක් ළඟට ගෙන ගියත්
ඔහු කරන්නෙත් එවැනි ක්‍රියාවක්මයි..
ඔහුගෙ ක්‍රම වෙනස් වෙන්න පුලුවන්.
ඒත් සිදු වෙන්නෙ මෝහයට පත් කිරීමයි.

මානසික ප්‍රශ්න නිසා මත්පැන් බොන අය
මත්පැන් මගින් කරගන්නෙත්
කය මාර්ගයෙන්
මනස මෝහයට පත් කර ගැනීමයි.
ඉන් පසු ඔහුට සිදුවෙන දේත්
ඔහු සිදුකරන දේත් ඔහු දන්නෙ නෑ.
ඔහුගෙ මානසික බරෙන්
ඔහු තාවකාලිකව නිදහස් වෙනවා.
නැවත ප්‍රශ්නය හොල්මන් කරනකොට
නැවත බෝතලය වෙත යනවා.
එකම විසඳුම මෝහයට පත් වීමයි.

බුදු දහම මගින් දෙන විසඳුම
මේ ප්‍රතිකාර වලට සපුරාම ප්‍රතිවිරුද්ධයි.
බුදු දහමෙ මූලිකම ප්‍රතිකාරය
දැන් පවතින අවිද්‍යාවත් නැසීමයි.
තව දුරටත් අවිද්‍යාවට පත් කිරීම නොවෙයි.

මිනිස් මනස දෙස වැරදි ආකාරයෙන් බැලීමෙන්
බොළඳ ළදරු මනෝ විද්‍යාව විසින්
මානසික ප්‍රශ්න සියල්ල පඹගාලක් මෙන් පටලවා
මානසික ප්‍රශ්න වලින් මුදල් උපයන්න හැකි වන ආකාර්ටයට
රැවටිලිකරුවන් පිරිසක් නිර්මාණය කොට තියනවා.
ඔවුන්ගෙ මානසික ප්‍රශ්න විසඳගන්නවත්
ඔවුන්ට බැහැ..

බුදු දහම අනුව
මිනිස් මනස ක්‍රියා කරන ආකාරය ඉතාම සරලයි.
මානසික ප්‍රශ්න සරලයි. විසඳුමත් සරලයි.
ඒත් ප්‍රශ්නය විසඳා ගන්න තමාම ක්‍රියා කළයුතුයි.
උපන්දා පටන් යැපෙන මිනිසාට
ඒ සරල විසඳුමත් ඉතාම අපහසුයි.

දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, රැකියා ආයතනයෙන්...
යන යන හැම තැනකින්ම හමුවෙන හැම කෙනෙකුගෙන්ම
තරාතිරම වෙනස්ක්ක් නැතිව යැපෙන
මනසින් දෙවෙනි තුන්වෙනි පන්තියට වැටුන මිනිසුන්ට
කිහිලිකරුව අත්වැල තරම් උතුම් වස්තූන්
මෙලොව තවත් නෑ.

ස්වාධීන මිනිසා තමන්ගෙ ප්‍රශ්නයක් අරන්
තව කෙනෙක් වෙත යන්නෙ ඔහුට බැරිමනම් පමණයි.
පහසුව සඳහා කිහිලි කරු අත්වැල් ඔහු සොයන්නෙ නෑ.
බුදු දහම ගැලපෙන්නෙ එවැනි අයටයි.

මිනිසුන් සියලුදෙනාටම
ජීවත් වෙද්දි එන මූලික ප්‍රශ්න එකම ආකාරයි.
වෙළඳ නාමය වෙනස්. මුහුණුවර වෙන.
ප්‍රමාණය වෙනස්.
රැකියාව නැති වුණාම
කම්කරුවාට එන ප්‍රශ්නම
ඉන්ජිනේරුවාටත් ඔහුගෙ පර්මාණයෙන් එනවා.
කම්කරුවාට සයිකලය අහිමි වෙද්දි
ඉන්ජිනේරුවාට සුඛෝපභෝගී වාහනය අහිමි වෙනවා.

මනස මුහුණ දෙන ප්‍රශ්න සියල්ල වර්ග අටකටත්
ඒ ප්‍රශ්න වර්ග අට නිසා
මිනිසා මුහුණ දෙන සියලුම මානසික ප්‍රශ්න වලට හේතු
වර්ග තුනකටත් බෙදන්න බුදුන් වහන්සේ සමත් වුණා.

ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංශා සැප දුක් නිසා
අපේ මනස කැළඹෙනවා... වෙහෙසෙනවා...
තැවෙනවා... දැවෙනවා...

රාග - අපේ කැමැත්ත නිසා එන මානසික ප්‍රශ්න
ද්වේශ - අපේ අකමැත්ත නිසා එන මානසික ප්‍රශ්න
මෝහ - අපේ නොසැලකිල්ල නිසා එන මානසික ප්‍රශ්න
මේ තුනට අයිති නොවෙන මානසික ප්‍රශ්න මිනිසාට නෑ.

මේ සියලුම මානසික රෝග වලින් මිදෙන්න
බුදුන් වහන්සේ එක මගක් සොයා ගත්තා.
අපට දුකෙන් මිදෙන්න හැකි මාර්ගයත් දේශනා කළා.
ඒ මාර්ගයෙන් මානසික රෝග සුව වෙන්න
හේතු කිහිපයක් බලපානවා.

1,
මානසික ප්‍රශ්නය ඇති වුණාම මනස තුළ තනි නොවී
සමස්ත පුද්ගලයා විදියට සමස්ත ප්‍රශ්නයට මුහුණ දීම.
2,
ප්‍රශ්නය දකින තැන සමග
ප්‍ර
ශ්නයේ කොටස් වන අනෙක් දේවලටත් අවධානය බෙදීමෙන්
ඒ ප්‍රශ්නයට අවශ්‍ය අවම මානසික ශක්තිය යොදාගැනීම.
3,
ඒ මගින් ප්‍රශ්නය ඉක්මවා අමතරව නොකැළඹීම.
4,
ප්‍රශ්නය  නිසා නව රාග ද්වේශ මෝහ සංස්කාර ඇති නොවීම.
5,
ප්‍රශ්නය නිසා අප තුළින් මතුවෙන පැරණි සංස්කාර නිරුද්ධ වීම.
6,
ප්‍රශ්නය අප තුළම විසඳෙන නිසා
බාහිර කිසිවෙකුත් ඉන් දුක් නොවිඳීම.

මානසික ප්‍රශ්නයක් කියන්නෙ
තනිකරම මනස තුළ ඇතිවෙන දෙයක් නොවෙයි.
මනස කියන්නෙ මොනිටරය පමණයි.
මානසික ප්‍රශ්නයක් කියන්නෙ
මනස හිමිකරුවාට පාලනය කළ නොහැකි
ප්‍රබල විතර්කයක්.
විභාගයකට අනවශ්‍ය ලෙස වෙහෙසෙන දරුවා
මානසික ප්‍රශ්නයක් ලෙස පෙනෙන
විතර්ක මාලාවකට මුහුණ දෙනවා.
දුර්වල සිත් ඇති සැමියන්, භාර්යාවන්,
අවිවාහක ස්ත්‍රීන් පමණක් නොව
ආගමික පූජකයන් පවා
ඔවුන්ට පාලනයක් නැති විතර්ක
උපාදාන කරගෙන ප්‍රශ්න ඇති කර ගැන්නවා.

ප්‍රශ්නය මානසිකව මොනිටරයෙන් පෙණුනත්
ප්‍රශ්නයේ භෞතික සංඝටක සකස් වෙන්නෙ කය තුළයි.
සිතේ ඇති වෙන හැම දෙකටම
හැම සිතිවිල්ලකටම හැඟීමකටම අදාළව
කයෙහි වේදනාවක් තියනවා.
සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.

මේ නිසා මානසිකව ප්‍රශ්න වලදි
කායිකව පවතින සංවේදනා ඒ ප්‍රශ්නයට මුල් වෙනවා.
කාමය ප්‍රශ්නයක් කරගත් සල්ලාලයන් සහ
ස්ත්‍රී දූෂකයන්ගේ ප්‍රශ්නයට මූලික හේතුව
ඔවුන් සොයා යන කායික සංවේදනාවයි.
ඒ වේදනාව හඳුනා ගැනීමෙදි
ඔවුන් තුළ ඇතිවෙන කාම විතර්ක
ඔවුන් මානසිකව කළඹනවා.

මැරයෙක් තව කෙනෙකුට පහර දෙන්න අත ඔසවන්නෙ
ඔහු තුළ උපදින ඔහුට අප්‍රසන්න ද්වේශ මූලික සංවේදනා නිසයි.
ඒ සංවේදනා ඇතිකල අරමුණට හිංසා කිරීමෙන්
ඔහු සැනසිල්ලක් සොයනවා.
ඔහු ලවා මිනී මැරුමක් වුණත් සිදු කරන්න
ඔහු තුළ උපදින ඔහුට අප්‍රසන්න ද්වේශ මූලික සංවේදනා සමත්.
ඔහු ඒ අප්‍රසන්න සංවේදනා සහ
ඒ අනුව ඇතිවෙන ද්වේශ විතර්ක වල වහලෙක්.

පාලනයෙන් තොරව මනස කළඹන
ආත්ම දමනය ගිලිහෙන මෙවැනි අවස්ථා වලදි මෙන්ම
මානසික ගැටළු ඇති වෙන හැම විටම
කයෙහි වේදනාත්, ඒ නිසා ඇතිවෙන දැනීම් සහ
මනසෙහි ඇති වෙන විතර්කත් සියල්ල ගැනම
සිහියෙන් සහ උපේක්ෂාවෙන් පසුවන අතර
එමගින් ඇති වෙන සන්සුන් වාතාවරණය තුළ
තමා කල යුතු කාර්යයන්හි යෙදීම
මිනිසා සතු හොඳම විසඳුමයි.

බුදු දහම අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකයාට
ඒ විසඳුම ලබා ගන්නා අයුරු
ප්‍රායෝගිකව පුහුණු විය හැකියි.
එක් එක් පුද්ගලයාට ගැලපෙන අයුරින්
ශීල සමාධි ප්‍රඥා අවස්ථා තුනෙන්ම
සමස්තයක් ලෙස ගැටළුවට මුහුණ දීමට
බුදු දහම මගින් මිනිසා හුරු කරනවා.

බුදු දහම අනුව
ශීලයෙන් පටන් ගෙන, සමාධිය වඩා
ප්‍රඥාව ඇති කරගන්නා පුද්ගලයා
ආත්ම දමනය මගින් ප්‍රශ්න විසඳා ගන්නවා.

ප්‍රශ්න ඇතිවෙන තරමට
ආත්ම දමනය දියුණු කරගන්නට
බුද්ධශ්‍රාවකයාට හැකි වන නමුත්
මානසික කොටස සමග පමණක් වෙහෙසීමෙන්
ඔහුගේ අරමුණ ඉටුවන්නේ නෑ.
මානසික ප්‍රශ්න ජය ගැනීමට
කාය, වේදනා, චිත්ත, ධම්ම සහිත
සමස්ත පුද්ගලයාම ඒකකයක් බවට
ඔහු විසින්ම පරිවර්තනය කරගත යුතුයි.

බුදු දහමට අනුව
මානසික ප්‍රශ්න ජය ගැනීමෙදි
මෙතෙක් මනස හුරුවී ඇති
කැමති අකමැති දේට පමණක්
අවධානය යොමුකරණ
පැරණි ක්‍රමයෙන් මිදිය යුතුයි..

කයෙහි වේදනාත්, ඒ නිසා ඇතිවෙන දැනීම් සහ
මනසෙහි ඇති වෙන විතර්කත් සියල්ල ගැනම
පවතින විශේෂ සම්පජානෝ සතිය ඇතිවෙන ආකාරයෙන්
සිත පුළුල් කර ගැනීම මූලිකයි.

තමා තුළත් බැහැරිනුත් ඇති වෙන
සියලු වේදනා, සංඥා, විතර්ක ගැන
පූර්ණ සිහියෙන් පසු විය යුතුයි.
කැමැත්ත හෝ අකමැත්ත මත ඒ කිසිවක් සිතින් අල්ලා නොගෙන,
ඒ කිසිවක් සමග නිශ්‍රිත නොවී සිහිය නැවත නැවත පිහිටුවාගනිමින්
ප්‍රශ්නයෙන් පළා නොගොස්, ප්‍රශ්නයෙන් නොකැළඹී විසීම
ඔහු විපස්සනාව මගින් පුහුණු වෙන අලුත් විශේෂ දැක්මයි.

කයත් වේදනාත්
සිතත් සිතෙහි ඇතිවෙන දේත්
කුමන ආකාරයෙන් පැවතුණත්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් වෙසෙන නිසා
මේ අවස්ථාවෙහි සිහිය පිරිසිදුයි.

මේ විශේෂ දැක්ම නැති තැනැත්තා
ඉන්ද්‍රිය තමා මෙන් හිතනවා.
අනෙක් ඉන්ද්‍රිය ගැන හිතනවාටත් වඩා
මනස ඔහු මෙන් හිතනවා.

ඇත්ත වශයෙන්ම
මනසත් ඇස කණ ආදිය මෙන්ම
වෙනම ක්‍රියා කරන තවත් ආයතනයක්.

ඇසට පෙනෙන රූප
කණට ඇසෙන ශබ්ද මගේ කියා
අල්ලා ගන්න පුලුවන්.
ඒ රූප සහ ශබ්දම
කයෙහි ඇති වෙන වෙනස්කම් විදියට විඳින්නත්
හිත පුහුණු කරන්න පුලුවන්.

ඔබ දකින මේ රූපය කියන්නෙ
ඔබේ ඇසත් මොළයත් අතර සිදුවෙමින් තියන
ජෛව රසායනික වෙනසක්.
කයට රූපය එපමණයි..
ඔබ රූපයක් දකින්නෙ
ඇසෙන් එන සංවේදනා මාලාව
මොළය විසින් කරන ප්‍රක්ෂේපණය නිසයි.

මනස නම් ආයතනයෙ ඇති වෙන
හැඟීම් සහ සිතුවිලි අනුව සිදුවෙන
ජෛව රසායනික වෙනස්කම් නිසා
කයෙහි ඇති වෙන වේදනා වෙනම තියනවා.
හැඟීම් සහ සිතුවිලි සමග ඒ වේදනාත් දකින කෙනෙකුට
මනසත් වෙනම ආයතනයක් ලෙස දකින්න පුලුවන්.

මේ විශේෂ දර්ශනය තුළ ඔබ දකින මනස
තව දුරටත් ඔබට ඔබ නොවන නිසා
මනසටත් උපේක්ෂාව වැඩීම පහසුයි.
ඔබ උපෙක්ෂාව වඩන්නෙ
කය වේදනා සමග මනසට නිසා
ඒ කැළඹීම ඔබ කළඹන්නෙ නෑ.
ඒ වාතාවරණය තුළ
මානසික ප්‍රශ්නයෙන් නොකැළඹී
අවශ්‍ය කටයුතු කර ගැනීම පහසුයි.

රාගයෙන් රෝගී වූ සල්ලාලයාට
සල්ලාල කමෙන් මිදෙන්න අවශ්‍ය නම්
සිතෙහි ඇතිවෙන රාගය අනුව
කයෙහි ඇතිවෙන ප්‍රිය වේදනාවට
උපේක්ෂාව වැඩීමෙන්
අනාචාරයෙන් වළකින්න පුලුවන්.

විභාගය නිසා හිතේ ඇති වෙන බය
කයෙහි වේදනාවක් විදියට දකින සිසුවාට
ඒ සංවේදනාව ගැන සිහියෙන්
සන්සුන්ව විභාගය ලියන්න පුලුවන්.
සිත කළඹන, ආවේගශීලී කරන
අනෙක් ප්‍රශ්න වලදිත්
මේ විසඳුම හැර වෙනත් විසඳුමක් නෑ..
මෙහි ඇති එකම ගැටළුව නම්
මේ විසඳුම පොත පතෙන් උගත නොහැකියි.
දේශනයකින් උගත නොහැකියි.
ඒ වෙනුවෙන් කැප වී
කයත් වේදනාත් සිතත් සිතේ ඇතිවෙන ධර්මතාත්
සිහියෙන් දකිමින් ඒ සියල්ලට අනිශ්‍රිතව විසීම
ප්‍රායෝගිකව ම පුහුණු විය යුතුයි.

මනස කියන්නෙ තමන් කියා හිතන නිසා
තමන්ගෙ මානසික ප්‍රශ්න වෙනුවෙන්
තමන් කැපවෙන්න බොහෝ දෙනෙක් කැමති නැහැ.

ඔබ මා මෙන්ම මානසික ප්‍රශ්න මැද ජීවත් වෙන
මානසිකව දුක් විඳින මනෝ වෛද්‍යවරු ළඟට
රාගය හා ද්වේශය නිසා
තමන්ගෙ සිත කළඹන මානසික ප්‍රශ්න අරන් ගිහින්
ඔවුන්ගෙන් මෝහය  මිළට ගන්න මිනිසුන් කැමතියි.
අන් අය නිර්දේශ කරන්නත් කැමතියි.

මානසික ප්‍රශ්න නිසා ඇතිවෙන දුක් විඳීමෙන් මිදෙන්න
ඔවුන් තෝරා ගන්නෙ රසායනික නිර්වින්දනයයි..
කිසි වෙක් විසඳුම නොදන්න මානසික ප්‍රශ්නයට
නිර්වින්දකයක් තෝරා දෙන
මනෝ වෛද්‍යවරයෙක් මගින්
තාවකාලිකව නිර්වින්දනය වීම හැරෙන්න
ඔවුන් සතුව ඇති වෙනත් විකල්ප වලින් කරන්නෙත්
ප්‍රශ්නයට නිර්වින්දනය වීමයි.

ඒත් මගේ වාතාවරණය සපුරාම වෙනස්.
ප්‍රශ්නයට නිර්වින්දනය නොවී
ප්‍රශ්නයෙන් නොකැළඹී ප්‍රශ්නය විසඳා ගැනීමට
මා සතු ශක්තියෙන් ක්‍රියාකරන්න භාවිතා කළ හැකි
පැහැදිලි විකල්පයක් මා ඇසුරෙම තියනවා.

වසර දෙදහස් පන්සියයක් තිස්සේ
ස්ව ශක්තියෙන් ක්‍රියා කරන ස්වාධීන මිනිසා
ඒ මොහොතෙ පටන්ම දුකෙන් මුදවන විපස්සනාව
මා සතු විකල්පයයි.
වසර ගණනාවක් තිස්සේ මගේ හැම ප්‍රශ්නයකදිම
මම ඒ විකල්පය භාවිතා කරනවා.
මම මගේ විපස්සනා පුහුණුවේ පමණට
සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියනවා.

1,
මානසික  ප්‍රශ්නවලට හේතු වෙන සංස්කාර වලින්
සිත පිරිසිදු කර ගැනීමට
2,
අතීත අනාගත සෝ තැවුල් ඉක්මයාමට
3,
වර්තමාන දුක් දොම්නස් අස්තංගත වීමට
4,
සිත සහ ඉඳුරන්ගේ සංවේදී බව දියුණු වීමට
5,
නිවන සඳහා අවශ්‍ය වන ප්‍රඥාව දියුණු කර ගැනීමට
ඇති එකම මාර්ගය විපස්සනාවයි.

සියලුම මානසික ප්‍රශ්න වලට
නිවැරදිම ආකාරයට මුහුණ දිය හැකි
හොඳම ක්‍රමය බුදු දහමෙන් ලැබී තියෙද්දි
රසායනික සංයෝග වලින් නිර්වින්දනය වෙන්න
මනෝ වෛද්‍යවරු පස්සෙ යන්න
 මට පිස්සුද?

භික්ෂුව සිහි ඇතිව වසන්නේ කෙසේ ද?


“මහණෙනි,
භික්ෂුවක් සියල්ලම දැනෙන සතියෙන් යුක්ත ව වසන්නේ ය.
මෙය ඔබට ලැබෙන අපගේ අනුශාසනය යි!

.

මහණෙනි,
භික්ෂුව සිහි ඇතිව වසන්නේ කෙසේ ද?

මහණෙනි, භික්ෂුව
වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
කයෙහි කය පිළිබඳ ව
කායානුපස්සනාවෙන් වාසය කරයි.

වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
වේදනා පිළිබඳ ව
වේදනානුපස්සනාවෙන් වාසය කරයි.

වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
සිත පිළිබඳ ව
චිත්තානුපස්සනාවෙන් වාසය කරයි.

වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
ධර්මයන් පිළිබඳ ව
ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

මහණෙනි,
මේ අයුරින් භික්ෂුව සිහියෙන් ඉන්නේ වෙයි.

මහණෙනි,
භික්ෂුව සියල්ල පිළිබඳ දැනීමෙන්
යුතුවන්නේ කෙසේ ද?

මහණෙනි,
භික්ෂුව පෙරට යන විට ත්,
ආපසු හැරී එන විට ත්
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
ඉදිරිය බලන විට ත්,
වටපිට බලන විට ත්
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
අත් පා හකුලන විට,
දිගහරින විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
සිවුරු – පාත්‍ර දරන විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
වළඳන විට, පානය කරන විට,
අනුභව කරන විට, රස විඳින විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
වැසිකිළි – කැසිකිළි කරන විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.

යන විට, සිටින විට,
හිඳින විට, සැතපෙන විට,
නිදිවරණ විට, කතා කරන විට,
නිහඬ ව සිටින විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.

මහණෙනි,
මේ අයුරින් භික්ෂුව
සියල්ල පිළිබඳ දැනීමෙන්
යුතුවන්නේ වෙයි.

-------------------------------------------------------------------------
‘‘සතො, භික්‌ඛවෙ,
භික්‌ඛු විහරෙය්‍ය සම්‌පජානො,
අයං වො අම්‌හාකං අනුසාසනී.

කථඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛු සතො හොති?

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු
1, 
කායෙ කායානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
2,
වෙදනාසු වෙදනානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
3,
චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
4,
ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.

එවං ඛො, භික්‌ඛවෙ, භික්‌ඛු සතො හොති.

‘‘කථඤ්‌ච , භික්‌ඛවෙ, භික්‌ඛු සම්‌පජානො හොති?

ඉධ, භික්‌ඛවෙ,
භික්‌ඛු අභික්‌කන්‌තෙ පටික්‌කන්‌තෙ
සම්‌පජානකාරී හොති,
ආලොකිතෙ විලොකිතෙ
සම්‌පජානකාරී හොති,
සමිඤ්‌ජිතෙ පසාරිතෙ
සම්‌පජානකාරී හොති,
සඞ්‌ඝාටිපත්‌තචීවරධාරණෙ
සම්‌පජානකාරී හොති,
අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ
සම්‌පජානකාරී හොති,
උච්‌චාරපස්‌සාවකම්‌මෙ
සම්‌පජානකාරී හොති,
ගතෙ ඨිතෙ නිසින්‌නෙ
සුත්‌තෙ ජාගරිතෙ
භාසිතෙ තුණ්‌හීභාවෙ
සම්‌පජානකාරී හොති.

එවං ඛො, භික්‌ඛවෙ,

භික්‌ඛු සම්‌පජානො හොති. සතො,

භික්‌ඛවෙ,

භික්‌ඛු විහරෙය්‍ය සම්‌පජානො,
අයං වො අම්‌හාකං අනුසාසනී’’ති.
--------------------------------------------------
මහාපරිනිබ්බාන සූත්‍රය
සූත්‍ර පිඨකය < දීඝ නිකාය - 2 < මහා වග්ගය