20170514

සමන්ත හිමි ලෞකික සමථ ධ්‍යාන සහිත කෙනෙක්.


සමථ වඩන්නාට
ඔහුගෙ ධ්‍යානය ලෞකික නිසා
බාහිර ලෝකෙ නිදහසේ හැසිරෙන්න බෑ.

සමන්ත හිමි සමග සංවාදය
ෆේස්බුක් තුළ නැරඹූ කිහිප දෙනෙක්ම
සමන්ත හිමිත් මාත් අතර වෙනසක් නෑ නේද
මගෙන් විමසුවා.

ඒ වැටහීම ඔහු රහත් නෑ කියා
ඔප්පු වෙන එක තැනක්.

ඔව්. අපි දෙදෙනාම පුහුදුන් මිනිසුන්.

මම සෝවාන් වෙලාවත් නෑ.
ඔහුත් මම වගේම පුහුදුන් කෙනෙක්.
වෙනස ඔහු සමථ වඩන්නෙක්.
මම විදසුන් වඩන්නෙක්.

සමන්ත හිමි
ලෞකික සමථ ධ්‍යාන සහිත කෙනෙක්.
සමථ දැහන තාවකාලිකයි.
ආවේග මතු වෙනවිට බිඳෙන සුළුයි.

විරෝධතා දක්වන පිරිසක්
ඔහු එන මග බලා සිටියදී
ඉන් බියට පත් වූසමන්ත හිමි
පිළියන්දල යන ගමන නවත්වා
ආශ්‍රමයෙ ආරක්ෂාව සොයාගෙන ආපසු ගියේ
එදා ඒ සෙනගට මුහුණ දුන්නා නම්
ඔහුගෙ ලෞකික සමාධිය බිඳෙන නිසයි.

එවිට ඔහු සාමාන්‍ය කෙනෙකුටත් වඩා
අන්ත වෙන්න පුලුවන්.

සාමාන්‍ය මිනිසුන් තුළත්
මේ ලෞකික ධ්‍යාන දකින්න පුලුවන්.
සමථ වඩන්නාගෙ ධ්‍යානය ලෞකික නිසා
ආවේග ශීලී වුණාම දැහැන බිඳෙනවා.

තමන් රහත් කියා කියන
සමන්ත හිමිගෙ අසංවර හැසිරීමට
ඔහු තර්කානුකූල හේතු ඉදිරිපත් කළත්
ඒ හැසිරීමට ප්‍රධානම හේතුව
ඔහු රහතෙකු නොවීමයි.
දෙවෙනි හේතුව ලෞකික දැහැන
බිඳී මාන්නය මතු වීමයි.

සාමාන්‍ය සමාජයේ ගෞරව ලබන අය
තව කෙනෙකුගෙන් ඒ ගෞරවය නොලැබී
ඒ හේතුවෙන් ආවේගශීලී වුණාම
උන්මත්තකයන් බවට පත් වී
වහසි බස් බෙණෙමින් පළිගසමින්
කැත වචන වලින් අපහාස කරමින් හැසිරෙන්නෙ
ද්වේශයත්, ව්‍යාපාදයත් මතු වීමෙන්
ඔවුන්ගෙ දැහැන බිඳෙන නිසයි.

උපන්දින උත්සව වලදීත් වෙන්නෙ
ලෞකික ධ්‍යානය බිඳී
රාගය, කාමච්ඡන්දය උතුරා ගොස්
සහභාගි වෙන අය තුළත්
රාගය, කාමච්ඡන්දය ඇති වීමයි.

"වෙහෙස වෙලා ඇඳට වැටුණාම
හොඳට නින්ද යනවා" කියා
සමන්ත හිමි කියනවා.
රහත් වුණ කෙනෙක් සම්පජානෝ සතියෙන්
සැතපෙනවා විනා නිදන්නේ නෑ.
බුදු දහමෙ නින්දට භාවිතා කරන්නෙ
"නිද්දා" කියන වචනයයි.
සයනය - සැතපීම  කියා භාවිතා වෙන්නෙ
සිහියෙන් සැතපීමටයි.
මෝහය ඔහුගෙ දැහැන ඉක්මවන්නේ
ඒ ආකාරයටයි.

සමන්ත හිමි ඔහුගෙ තර්ක ශක්තියෙන්
ඔහුගෙ දැහැන බිඳෙන අවස්ථා
සියුම් විදියට සාධාරණීකරණය කරනවා.
මා සමග  සංවාදයෙදිත් ඔහුගෙ දැහැන
නිරන්තරයෙන් බිඳෙනවා.
තර්ක විතර්ක වලට වඩා
ඔහු රහත් නෑ කියා ජනතාව දැනගත්තෙ
ඔහුගෙ දැහැන බිඳීම නිසයි.
සමන්ත හිමි සමග සංවාදය ෆේස්බුක් තුළ නරඹන්න.

"මෙවැනි සංවාද මසකට වරක් පමණ
පවත්වමු" කියා ඔහුම යෝජනා කළත්
පසුව වීඩියෝවට ලැබුණ ප්‍රතිචාර නිසා
ඔහු ඒ අදහස වෙනස් කරගත්තා.
වීඩියෝවත් Youtube එකෙන් ඉවත් කළා.

සමථ ධ්‍යාන වඩන්නෙකුට
විදසුන් වඩන්නෙක් හමුවීම විශේෂ අවස්ථාවක්.

සමථ වඩන්නාගෙ ධ්‍යානය ලෞකිකයි.
ඒ සමාධිය බිඳෙන සුළු මිථ්‍යා සමාධියක්.
ඔහු දැහැන පවත්වාගන්නෙ අසීරුවෙන්.
රාග, ද්වේශ සංස්කාරත් කාමච්ඡන්ද ව්‍යාපාද ආදියත්
යටපත් කොට තබාගැනීම සමථයයි.

මඩ වතුර වීදුරුවක
වතුර පිරිසිදු කරන්නට
පතුළට මඩ තැන්පත් කිරීම
සමථ භාවනාවෙන් කෙරෙනවා.

වතුර පිරිසිදු වුණත් පතුලෙ මඩ තියන නිසා
අවස්ථාවක් ලද විටම කැළතෙනවා.
සමථයෙන් සිත පිරිසිදු කළත්
කෙලෙස් නීවරණ විදියට මතුවෙලා
සිත කිළිටි කරනවා.

සාමාන්‍ය පුහුදුන් කෙනෙකුගේ සිත
අවුල් වෙන්නෙත් සංවරය බිඳෙන්නෙත්
මේ ආකාරයටයි.

රහත් වුණ කෙනෙක් මේ තත්වයට පත් වෙන්නෙ නෑ.
ඔහු මඩ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන්
සිත පිරිසිදු කරන කෙනෙක්.

සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට වඩා
සමථ වඩන්නාගෙ දැහැන ප්‍රබලයි.
තාවකාලිකයි බිඳෙන සුළුයි.
සංස්කාර හෝ නීවරණ මතුවුණොත්
සමථ ධ්‍යානය බිඳෙනවා.
ඔහු කෝපයට පත් වෙනවා.
ඵරුෂ වචන කියනවා.
මාන්නය මතුවෙනවා.
වහසි බස් කියනවා.
නොයෙක් අහංකාර බස් තෙපළනවා.
රාගයෙන් සැප සම්පත් සොයනවා.
මහා මන්දිර පිළිම තනනවා.
කෙලෙස් වලින් සිත කිළිටි ඔහු
පුහුදුන් කෙනෙකුටත් අන්ත වෙනවා.
සාමාන්‍ය අවස්ථා ඉක්මවා වියදම් කරමින්
රාගය කාමච්ඡන්දය ප්‍රකාශ කරනවා.

සමථය නිසා ජනප්‍රිය වෙන ආගමික පූජකයන්
ගිහියන්ට වඩා වරදට පෙළඹෙන්න
ප්‍රධානම හේතුව දැහැන බිඳීමයි.
ගිහියන් වුණත් වරදට පෙළඹෙන්නෙ
මේ අයුරින්මයි.
ඔවුන් දැහැන වඩන්නෙ නැති නිසා
බිඳෙන අවස්ථා ප්‍රමාණය වැඩියි.

ආගමික ජීවන රටාවන් තුළ
ලෞකික දැහැන් වැඩෙනවා.
බුදු දහම තුළ වුණත්
විදසුන් නොවඩා සමථයට යොමුවුණොත්
ඔහු තුළ වැඩෙන්නේ
ලෞකික මිථ්‍යා සමාධියයි.

ගිහිපැවිදි වෙනසක් නැතුව
ධ්‍යාන පිහිටුවා ගන්නා පුද්ගලයන්
ඉක්මණින් ජනප්‍රිය වෙනවා.
ඔවුන්ගේ දේශන අහන්න සෙනග එන්නෙ
මයිකල් ජැක්සන්ගේ සංදර්ශනවලට යන ආකාරයටයි.

මයිකල් ජැක්සන්ගෙ සංදර්ශන වලට
1,25000ක් රසිකයන් එකතු වෙන්නෙ
ඔහුගේ ගීත හෝ නර්තනය නිසා නොවෙයි.
ඒ ගීත ඇහෙද්දි, නර්තනය දකිද්දි
මයිකල්ගෙ දැහැන ආධාරයෙන්
රසිකයා දැහැන් ගත වීම නිසයි.
රසිකයා විඳින්නෙ බාහිර දේ නොවෙයි.
ඔහු තුළ සිදු වෙන වෙනසයි.

මයිකල්ගෙ ගීත වලින් දැහැන් ගතවෙන නමුත්
ඒ ගීතවල ඇති කෙලෙස් බර ස්වභාවය නිසා
රසිකාවියන් තුළ ඒ සමග ඇවිස්සෙන කෙලෙස් අනුව
ඔවුන් වියරු වැටන තත්වයක් ඇති වෙනවා.

පන්සලක පවත්වන අටවිසි බෝධි පූජාවකින්
හින්දු කෝවිලක භජන්, ස්ත්‍රෝත්‍ර ගායනයකින්
පල්ලියේ කරන යාතිකා, ගීතිකා ආදියෙන් පවා
ඇත්ත වශයෙන්ම කරන්න සිත් දැහැන්ගත කිරීමයි.

බෙහෙවින් ජනප්‍රිය වෙන ආගමික පූජකයන්
ඔවුන්ගේ ආගමික වන්දනා මාන ආදිය මගින්
සැබැවින්ම කරන්නේ ඔවුන්ගේ දැහැන
අසන්නා වෙත සම්ප්‍රේෂණය කිරීමයි.

මේ සංසිද්ධිය එක් සංගීත භාණ්ඩයක
ස්වරයක් වාදනය කරන අතර
ඒ අනුව වෙනත් භාණ්ඩයක්
තානගත කිරීම වැන්නක්.

මේ ලෞකික සුවය මෝහය වුණත්
දුක් පීඩා විඳින තැනැත්තා
මේ මෝහනයට බැඳෙනවා.

පානදුරේ අරියධම්ම හිමි
එවැනි දැහැනක් තිබුණ හිමි නමක්.
ඒ බෝධිපූජාවට සහභාගි වෙන
සැදැහැවතුන්ගෙ සිත් නිවී
දැහැන් ගත වෙනවා.

සෑහෙන කාලයක් පුරා ගාථා කියමින්
කවි ගායනා කරමින් අසන සිත නිවා
"සිත සැනසිල්ල බුදු හිමි රුව දැකීමය"
කවිපෙළ කෙමෙන් හඬ අඩු කරන
අරියධම්ම හිමියන්
ඒ කවිය නෑසී යන්න සලස්වනවා.
එතෙක් කළ කී දෑ මගින්
ඒ හිමියන් සමග තානගත වුණ අය
ඒ අවස්ථාවේ දැහැන් ගත වෙනවා.
ඔහු ඒ අත්දැකීමට දැඩිව බැඳෙනවා.

මෙවැනි ආකර්ශණීය ආගමික පූජකයන්
කලින් කලට හැම ආගමකම ඉන්නවා.
තාර්කික දේශනා, වන්දනාමාන, පුද පූජා
ලෙඩ රෝග සුව කිරීම්
ආදිය අනුසාරයෙන්
ඔවුන් සමස්ත අනුගාමික ජනතාව
එක දැහැනකට කොටු කර බඳිනවා.
තාවකාලික සුවයක් හැර
ඒ කිසිවෙකුගේ අධ්‍යාත්මික වර්ධනයක් හෝ
ප්‍රඥාව වැඩීමක් වෙන්නේ නැහැ.
ආගමික බව වැඩෙන අය සිටින නමුත්
අද බොහෝ විට සිදු වෙන්නෙ
ඔවුන් නරුමයන් වීමයි.

ආගමික වීම වෙනුවට
නරුමයන් බවට පත් වෙන අය
තමන් සම්බන්ධ ආගමට ගරහමින්
ශාස්තෘවරයාට ගරහමින්
තමන්ට මානසික සුවය දෙන පුද්ගලයා
ගැලවුම් කාරයා ලෙස සිතීමට
ඔවුන් පෙළඹෙනවා.
ඔහු වටා ලාභ සත්කාර රැස්කරනවා.
විශාල මන්දිර, වන උයන් තනනවා.
ඔවුන් තුළ සිදු වෙන සැබෑ වෙනසක් නෑ.

බොහෝ විට නිර්මාණ ශීලී බවක් විනා
මේ ඉගැන්වීම් වල සැබෑ හරයක් නෑ.
ඔවුන් දැහැන් ගත කරන දේශනා තුළ
මොන ආකාරයේ අසත්‍ය ප්‍රකාශ තිබුණත්
විටින්විට ලබන මානසික සුවය නිසා
ඔවුන් ඒ අසත්‍යය පිළිගන්නවා.

"ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමට මග
ඉන්ද්‍රිය සංවරයෙන් තොර වීමයි" කියා
ඒ අනුව තර්ක ගොඩ නගන විට
'ඒ වචන අසාගෙන සිටින විට දැනෙන සුවය නිසා
ඒ වචන සත්‍ය ලෙස පිළිගන්නවා.

මේ ආගමික රටාව තුළ ඔවුන් ඉගෙනගන්නෙ
සමාජයට නිර්වින්දනය වෙමින්
ජීවිතයේ ප්‍රශ්න වලට නිර්වින්දනය වෙමින්
මෝහයට පත්වූ සිතේ සුවය රැකගෙන
නරුම ජීවිත ගත කිරීමටයි.

මේ නරුම රටාවට
තදින් ඇබ්බැහි වෙන පුද්ගලයන් තුළ
විමර්ශනාත්මක හැකියාව සිඳී යනවා.
ඔවුන් අදහන තැනැත්තාගේ වචන
ගිරවුන් මෙන් නැවත කියනවා හැරෙන්නට
ඔවුන් අවබෝධ කරගන්න දහමක් නෑ.

ඔවුන් ඔවුන්ගේ දහම පිළිපැදීමෙන්
ලෞකික දැහැන් උපදවා ගන්නවා.
ඔවුන්ගේ ජනප්‍රියත්වය කෙමෙන් වැඩෙනවා.
ලාභ සත්කාර ලැබෙන්න පටන් ගන්නවා.
මාන්නය වැඩෙනවා. බලය වැඩෙනවා.
දේශපාලනයට යොමු වෙනවා.
මේ සියල්ල නිසා සිත කැළඹෙන විට
දැහැන පිරිහෙනවා.

මේ දැහැන්ගත කිරීමේ බලය හිමි
ආගමික පූජකයාට පමණක් නොවෙයි.
ජනප්‍රිය දේශපාලනඥයන්, ජනප්‍රිය කලාකරුවන්
ජනප්‍රිය වෛද්‍යවරු, ජනප්‍රිය චින්තකයන් ආදී
පිරිවර රැස්කරගෙන හැසිරෙන සියල්ලෝම
ලෞකික ධ්‍යානයෙන් සමන්විත අයයි.
සම්මා සමාධිය සහිත පුද්ගලයා
පිරිවරට අහු වෙන්නේ නෑ.
ඔහු පිරිවර පෝෂණය කරන්නේ නෑ.

අපේ රටවල්වල කල්ලි නායකයා වන්නේ
නායකත්වයට සුදුස්සා, නිස්සා නොව
ලෞකික දැහැන ප්‍රබලම තැනැත්තායි.
දැහැන පිරිහෙන විට නායකත්වය පිරිහෙනවා.
ඔවුන් සමාජයෙන් ඈත් වී වෙසෙන්නේ
දැහැන රැකගන්නයි.

අත දරුවන් සිටින කාන්තාවන් අතර,
කිසියම් ක්ෂේත්‍රයක දක්ෂතා දක්වන අය තුළ
දැහැන් ගතවීම දකින්න පුලුවන්.

යහපත් මිනිසුන් කියා අප දකින අය
මේ දැහැන පවත්වා ගන්නා අයයි.

මේ සමාධිය මිථ්‍යා සමාධියක්.
සමාධියක් මෙන් බැහැරට පෙනෙන මායාව
ඉතාම තාවකාලිකයි, බිඳෙන සුළුයි.

කිරි කලය එක ගොම බිඳුවකින් පිරිහෙනවා.
උඩුවේ ධම්මාලෝක, කොළොන්නාවේ සුමංගල ආදී
ජනප්‍රිය භික්ෂූන්ගේ ජනප්‍රියත්වය
ලාභ සත්කාර පසුපස යාම නිසා
වඩාගෙන තිබුණ දැහැන පිරිහීම සමග සහ
ඒ මත අනුගාමිකයන් තනා ගත් ප්‍රතිරූපය බිඳීම නිසා
පිරිවර විසිරී අතුරුදහන් වුණා.

දැහැන පිරිහීමත් පිරිවර අහිමි වීමත් නිසා
ඔවුන්ගේ සංදර්ශනය නිමාවක් දකිනවා.

සමන්ත හිමි මේ රටාව තේරුම් ගෙන
ඔහුගේ පිරිවර පවත්වා ගන්නට
වරින් වර නව සංදර්ශන පවත්වමින්
පිරිවර මන්මත් කරවන්නට
තමන්ට ලැබුණායි කියන
මාර්ගඵල වල එළිය පිරිහෙන විට
ඊටත් එහා ගිය  බුදු බව ලබා ගනිමින්
නිරෝධ සමාපත්තියට සම වදිමින්
උපන්දින උත්සව පවත්වමින්
ගමින් ගම රටින් රට යමින්
සංදර්ශනය නොකඩවා පවත්වනවා.
කෙමෙන් කෙන්මෙන් පිරිවර අඩු වුණත්
යම් පිරිසක් එනවා.

සදහම් ආශ්‍රමයට ඇවිත්
දේශනාවට ප්ලග් වුණාම
දින කිහිපයක් මෝහයෙන් ගත කරන්න
ඔවුන් පත් වෙන දැහැන ප්‍රමාණවත්.
ඒ දැහැන ප්‍රමාණවත් නැති අය
ලක්ෂ පහක් ගෙවා පැවිදි වෙනවා.

ධ්‍යාන ලාභියා කොතරම් දක්ෂ වුවත්
ලෞකික දැහැන තාවකාලිකයි. බිඳෙන සුළුයි.
මෝහය නිවන ලෙස සැලකීමෙන්
පුහුදුන් කෙනෙකු රහත් වෙන්නේ නෑ.

රහතන් වහන්සේ තුළ පවතින ධ්‍යාන
බිඳෙන සුලු ලෞකික ධ්‍යාන නොවෙයි.
ලෝකෝත්තර සමාධිය ස්ථාවරයි.
පිරිනිවන් පාන්න වෙන ආකාරයට
සොරුන් විසින් පහර දුන්නත් නොපිරිහෙන
නොසැලෙන නොබිඳෙන සමාධියයි.

රහතන් වහන්සේ තුළ කෙලෙස් නැති නිසා
රාග ද්වේශ මෝහ සංස්කාර නෑ.
කාමච්ඡන්ද ව්‍යාපාද ආදී
නීවරණ ඇති වන්නේ නෑ.
ඒ සමාධිය කිසිම හේතුවක් නිසා
බිඳෙන්නෙ නෑ.

රහත් බවට පත් වෙන තැනැත්තා
සම්මා සමාධිය පුහුණුවෙන්නෙ
සතර සතිපට්ඨානය වඩා පුහුණුවන
විදර්ශනාව මගින්.

විදසුන් වඩනා තුළ සියලු වෙනස්වීම් ගැන
සිහියෙන් පසුවෙන අතර ව වෙනස් වීම වලට
රාගයෙන් හෝ ද්වේශයෙන් ප්‍රතික්‍රියා නොකිරීම
සම්මා සමාධියෙහි පදනමයි.

විදසුන් වඩන්නා තුළ තවමත් කෙලෙස් ඇති නිසා
ඔහුගේ සිතේ රාග ද්වේශාදී සංස්කාරත්
කාමච්ඡන්දාදී නීවරණත් ඇති වෙද්දී
ඔහු ඒ වෙනස්වීම පිළිබඳව උපේක්ෂාවෙන්
ප්‍රතික්‍රියා කිරීමෙන් වැළකෙනවා.

සමාධිය බිඳෙන අවස්ථාවන්හි
ඒ බිඳීමත් සිහියෙන් දකිනවා.
කයත් වේදනාත් මට්ටමෙන්
රාග ද්වේශාදී සංස්කාරත්
කාමච්ඡන්දාදී නීවරණත් දැකීමෙන්
ඔහුගෙ  සිත පිරිසිදුව පවතිනවා.

රාග ද්වේශාදී සංස්කාරත්
කාමච්ඡන්දාදී නීවරණත්
සිහියෙන් දකින ඔහුගේ රාග ද්වේශ කෙලෙස්
ඉපදෙමින් නිරුද්ධ වෙනවා.

මෝහය නිසා අරමුණු දැනීම අඩු වී
සිත ලබන ශාන්ත සුවය නිවනයැයි මුලාවී
ලෞකික ධ්‍යානලාභීන් විඳින මෝහය
තවත් එක් ප්‍රිය ජනක කායික වේදනාවක්.
ඔහු ඒ වේදනාව සිහියෙන් හා උපේක්ෂාවෙන් දකිනවා.

මේ අයුරින් ඔහු තුළ ඇති වෙන විශුද්ධිය
බුදුන් වහන්සේ මෙසේ විස්තර කරනවා.
.
''වේදනා තුනෙකි.
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා යි.''
[[[ වේදනානුපස්සනාව ]]]

සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි.

යම් කලෙක මහණහට
සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද
දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වුයේ වේ ද
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද
පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය.
සංයොජන මුලිනුපුටා හළේ ය.
මැනවින් මනාවබොධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.

තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව ද පතන්නේ දුකෙන් නොමැ මිදෙයි.

යම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ
සති සම්පජන්‍යය අත් නොහැර වඩාද,
එහෙයින් ඒ පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.
පහාන සූත්‍රය

සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ කරමින්
දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ කරමින්
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ කරමින්
කාය වේදනා ඇසුරෙන් චිත්ත ධම්ම දකිමින්
කෙලෙස් නැසීමෙන් ලබන සම්මා සමාධිය
සිතේ කෙලෙස් මතු වීමෙන් බිඳෙන්නේ නෑ.

විදසුන් වඩන්නා තුළ වැඩෙන සමාධිය
කෙලෙස් නිසා නොබිඳෙන සම්මා සමාධියයි.