20170322

ලොව අන් ළදරුවන් වෙනුවෙන් ඔබේ දරුවා බිලිදෙන්න.



උසස් පෙළ විද්‍යා අධ්‍යාපනය ආරම්භ වෙන්නෙ
ගෙම්බන් කැපීමෙන්...
ඔහු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නෙ
සිතක් නැති, හැඟීම් නැති වේදනා නොදැනෙන කයක්
විච්ඡේදනය කිරීමෙන්.

වෛද්‍යවරයෙක් වෙලා එළියට එද්දි
මිනිස් ප්‍රාණයත්
විදුලිය, චුම්බක ශක්තිය වගේ හිතන
යාන්ත්‍රික මිනිසෙක් බිහි වෙනවා.

ප්‍රතිශක්තිකරණයෙදි
ඔහු එන්නත් විදින ළදරුවන් පිරිස
මීයන්, වඳුරන් වැනි තවත් නියැදියක් විතරයි.
මිය යන දරුවෙක් කියන්නෙ
සංඛ්‍යා ලේඛනයක කුඩා ප්‍රතිශතයක්.

ඔහුගෙ කරුණාව ඔහුගෙ දරුවාට විතරයි.
ඔහුගෙ දරුවාට අදාළව ඔහු සංවේදීයි.
කොතරම් සංවේදීද කිව්වොත්
ඔහුගෙ දරුවාට ප්‍රතිකාර කරන්න
ඔහු තවත් වෛද්‍යවරයෙක් ළඟට යායුතුයි.

එන්නතක් විද මිය යන දරුවා
මිය යන මීයන්, වඳුරන්, ළදරුවන් විශාල නියැදියක
අල්ප මාත්‍ර ප්‍රතිශතයක් පමණයි.

එන්නත් නිසා මියයන ළදරුවෙක් ගැන කියද්දි
"ආ.. සුළු දෙයක්නෙ...
තව කොයි තරම් දරුවො හොඳට ඉන්නවද?
ඒ දරුවා මැරුණාට අනික් දරුවොන්ට
ලොකු සෙතක් වෙනවනෙ.
බලන්න මේ සංඛ්‍යා ලේඛන.
ඔය ළදරුවා අයිති වෙන්නෙ
ඉතාම කුඩා ප්‍රතිශතයකට" කියලයි
වෛද්‍යවරු කියන්නෙ .

ඒ කුඩා ප්‍රතිශතය අයිති වෙන්නෙ
එන්නත වෙනුවෙන් ජීවිතය දුන්
මීයන් වඳුරන්ගෙ ගණයටයි.

මරණයට පත්වුණ ළදරුවාගෙ දෙමාපියන්ට
ඒ ඔවුන්ගේ ආදරණීය ළදරුවා.
මුළු ලෝකෙම ළමයි හොඳින් හිටියත්
එන්නතක් පැහැරගත් තමන්ගෙ දරුවා
ඉතිරි කර ගිය සදාතනික හිස් තැන
සංඛ්‍යා ලේඛන වලින් වහගෙන
නරුම සතුටක් ලබන්න ඔවුන්ට බැහැ.

අලුතෙන් එන්නතක් හදන සමාගම
"ලොව අන් ළදරුවන් වෙනුවෙන් දරුවා බිලිදෙන්න"
වෛද්‍යවරුන්ට අවස්ථාවක් දෙමින්
ඒ එන්නත පරීක්ෂා කරල බලන්න
වෛද්‍යවරුන්ගෙ ළදරුවන් ඉල්ලා සිටියොත්
"එන්නතක් වෙනුවෙන් මිය යන ළදරු ජීවිත
මිනිස් වර්ගයාට සෙතක්" කියන
සමාජ සේවක වෛද්‍යවරු කී දෙනෙක් 
මිනිස් වර්ගයාට සෙතක් වෙනවා කියමින්
" ආ මෙන්න මගේ ළදරුවාත් ගන්න" කියා
එන්නත් හදන සමාගමේ නියැදියට
තමන්ගෙ දරුවා ප්‍රදානය කරාවිද?