20170116

මහින්ද යළිත් රජ වේදෝ නොවේදෝ.?

මෛත්‍රී දවන්නට දමන පන්දුවෙන්
මෛත්‍රී නිපන්දු ලකුණු ගැනීම..

හීන් නූලෙන් මෛත්‍රී කපා දමා
මහින්දට නැවත බලය ලබා දෙන්නට
 රනිල් යටින් උදව් කරනවාද?
ඒ සඳහා ජනතාව අකමැති දේ කරමින්
 මෛත්‍රීට බිල වැටෙන්නට රනිල් ක්‍රියා කරනවාද?

රු 2500 දඩය, හමුදාපති වරු FCID ගෙන ඒම,
සමලිංගික විවාහ නීතිය, ලොතරැයි මිල රුපියල් 30 කිරීම,
 ආදී සිදුවීම් වලදී ප්‍රතිවාදීව ක්‍රියා කළාක් මෙන්
"මම ඕවට නෑ" න්‍යායෙන් හැසිරෙමින්
 මෛත්‍රී ඒ වගකීම නැවත රජයට හරවා
 තමන්ගේ නම රැක ගන්නවාද?

මේ සියල්ලටම වඩා දැවෙන ප්‍රශ්නය නම්...
ගඩාපිට මෙන් අතුරු ආන්තරාවක් නොවුණත්
 දේශපාලනික වශයෙන් මහින්ද සතුව පැවති
"අනභිභවනීය, අපරාජිත මහරජ" නමින්
 ජනතාව අතර තිබුණ මහින්ද ප්‍රතිරූපය
 ජනවාරි අටදා බිඳ වැටීමෙන් පසුව
 යළි පිරියම් කළ නොහැකි තැනකට වැටුණාද?
තවමත් පෙනෙන්නේ නම්
 යළි පිරියම් කළ නොහැකි වගයි.

බොළඳ ජනතාව රවටන්නට
සිහින දකින කූට දේශපාලනඥයන්
අජීර්ණයෙන් පෙළෙන ජනතා බඩ ශුද්ධ කර
නව රජය පිරිහුණ පසු නැවත බලය ගන්නට සිතා
ජනතාවට විරේක කසායක් පෙරා දුන් පසු
අවශ්‍ය පමණට විරේක වන්නට ඉඩදී
ආතුරයා පත්තියම් කරන්නට
සොබා දහම කටයුතු කළ විටදී
දේශපාලනඥයාගේ සිහින නොබිඳේද?

බලයට එන්නට පසුබිම සකස් කරගෙන
2002-2004දී මහින්ද කළාක් මෙන්
 යළි රනිල්ට වසර දෙකකට බලය දී
 රජය පිරිහුණ පසු නැවත බලය ගන්නට
 මහින්ද පිළට සැලසුමක් තිබුණා නම්
 රජයට ඉහළින් මෛත්‍රී පිහිටුවීමෙන්
 ඔහුට රජ ඉරෙහිම රජවෙන්නට ඉඩදී
 හැමදාම පරදින ජනතාවට දිනන්නට
 සොබා දහම දාදු පෙත සකස් කළාද?

ඔබත් ඔහොම ඔතැන ඉන්න...

අද සැබෑ සටන ඇත්තේ
 දිනෙන් දින පිරිහෙන මහින්දගේ ජනප්‍රියත්වයත්
 බලය අතැතිව හීන් නූලෙන් ක්‍රියා කරන
 මෛත්‍රීගේ දේශපාලන ප්‍රයෝගත් අතරයි.

ජනපති පදවිය දිනන මනාලිය
 මහින්ද වුවත්, මෛත්‍රී වුවත්
 රජය ගන්නා මනමාලයා සහ
 දෙවන මනමාලයා භූමිකා හැමදාම රඟන
 රනිල්ට, එජාපයට, අනුරට සහ ජේවීපීයට
 මේ දෙදෙනාගෙන් කවුරු මනාලිය වුවත් කම් නැත.

බල අරගලය පවතින්නේ මහින්ද සහ මෛත්‍රී අතරය.
මැතිවරණ වලදී පන්දම් අල්ලමින්
"දිනන පිලට හෝයියා" කීමෙන් පමණක් වුවත්
 එජාප ජේවීපී ජාම සුපුරුදු ලෙස බේරෙනු ඇත.
මග සිටියත් ඔවුන් දිනුම්...
ගෙදර ගියත් ඔවුන් දිනුම්..

මහින්ද මෛත්‍රී දෙදෙනාටම
 ශ්‍රීලනිප නැව ගිල්වා නොගෙන
 කපිතාන් පදවියට තරඟ කිරීමට සිදුවීම
 දෛවයේ සරදමක් මෙන්ම
 ජනතාවගේ වාසනාවකි.

අද බහුතරයක් ජනතාව සහ
 බහුතරයක් දේශපාලන ක්‍රියාකාරීන් ඉන්නේ
 මහින්ද සමගද? මෛත්‍රී සමගද?

අපේ මිනිසුන්ට වඩාත් අවශ්‍ය වන්නේ
 සදාකාලිකව බලය පතන
 ආකර්ශණීය නායකයෙක් සහ
 ඔහුගේ පිරිස කෙළින සැණකෙළියක
 ප්‍රේක්ෂකයන් වන්නටද?
කවර හෝ නායකයෙකු යටතේ
 සාමාකාමී ජන ජීවිතයක්ද?
දාදුපෙත අත ඇති මෛත්‍රී පරදවා
 දාදු කෙළියෙන් දිනා බලය ලබාගන්නට තරම්
 මහින්ද තවමත් ජනප්‍රියද?

මේ සියල්ල සොබාදහම විසඳනතුරු
 නැවත වරක් කාලයට ඉඩදෙමින්
 ඔබත් ඔහොම ඔතැන ඉන්න...
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.