20160426

සිරිධම්ම සමග කුකුළු පොරය ඇරඹෙන තුරු...



සිරිධම්ම සමග මගේ ගැටුම ඇතිවෙන තුරු
නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න විශාල පිරිසක්
සදහම් ආශ්‍රමයෙ වගේම
ෆේස්බුක් සමාජ ජාලයෙත් ඉන්නවා.

මම සිරිධම්මගේ ගුහාවට ගොස්
ඔහු සමග සහ ඔහුගේ පිරිස සමග
බැණ අඬගසාගෙන පොර බදනවා නම්
ගිනි විච්චුම්බරයක් වෙනවා නම්
ඔවුන් දෙපිරිසම වඩාත් කැමතියි.
සජීවී අන්තර්ජාල විකාශයක් දෙනවා නම්
ඔවුන් ඉතා කැමැත්තෙන් බලා ඉඳීවි.

ඔවුන් බොහෝ දෙනෙකුට
රහත් බව, බුදු දහම,
පටිච්ච සමුප්පාදය අදාළ නෑ.
ඔවුන්ට වැදගත් වෙන්නෙ
දෙදෙනෙක් පොරට වැටීමයි..
ඉන් එක්කෙනෙක් පොර වීමයි..

ඔවුන්ට වැදගත් මගේ ජය පරාජය
නොවෙයි..
මම පොරක් නොවෙයි.
බුදුන්ටත් වඩා බුදු වී සිටින
මහා මුනීන්ද්‍රයණන්ගේ ජය හෝ පරාජය
ඒ දෙපිරිසට වැදගත්.
ඒ දෙපිරිස උත්තේජනය කරන
ඒ උගුලට මම අසුවිය යුතුද?

රහතෙක් ලෙස වෙන ඕනෑම තැනකට යන්න
සොබා දහමෙන්ම ලැබුණ දායාදයක් ලෙස
ඔහු විසින්ම පුරාජේරු කියන
වරප්‍රසාදයක් ඔහුට තියනවා.

මේ සිරිධම්මගේ කයිවාරුවක්..
=============================
මා සඳහා සොබා දහම දීපු.
එකම සාක්ෂිය දීල එවල තියෙන්නෙ.
උඹට එකම එක වරප්‍රසාදයක් දෙනෝ.
ඒ වරප්‍රසාදය තමයි,
උඹව කිසිකෙනෙකුට,
මනුස්ස ලෝකෙ මනුස්සයෙකුටවත්,
දිවියලෝකෙ දෙවියෙකුටවත්,
බ්‍රහ්ම රාජයෙකුටවත්,
සහම්පතී මහා බ්‍රහ්මයාටවත්,
සනත් කුමාර මහා බ්‍රහ්මයාටවත්,
උඹව පරද්දන්න බෑ.

ඉතිං ඒක ඇතිනෙ මට.
============================
 
ඔහුට ෆේස්බුක් එන්න ඒ වරප්‍රසාදයෙන් අවසර නෑ.
ෆේස්බුක් සොබා දහමට යටත් නැතුව ඇති..

සිරිධම්ම තමන්ගෙ පිරිස හඳුනනවා.
ඔවුන්ගේ දුර්වලකම් හොඳින් දන්නවා.
ඔහු තනිවම පිටිය හදාගෙන පෙන්වන
ඒක පුද්ගල පොර කුකුල් රංගනයෙන්
ඔවුන් ලබන අමන්දානන්දය
ඔහු නිරන්තරයෙන් දකිනවා.
ඔවුන් ඔහුගේ රංගනයෙන්
මානසිකව සුරතාන්තයට පත්වෙන හැටි
ඔහු නිතර අත්දකිනවා.
ඒ උත්තේජනයට පෝෂණය අවශ්‍යයි.

ඔහුගේ සුරූපී රූමත් බව, මිහිරි මැර කටහඬ
දෑසින් දෙසවනින් ආශ්වාදනය කරන ඔවුන්
එවැනි විශේෂ චරිතයක් විසින්
ගණන් ගතයුතු නැති
මේ වයසක කෙසඟ මිනිසා
ඔහුගේ නින්දා අපහාස වලට බඳුන් වී
තුට්ටු දෙකේ සමච්චල් වලට ගොදුරුවී
ඔවුන්ගේ සිනාවට ලක්වී පලා යනු දැකීම
ඔවුන්ගේ අභිප්‍රාය බව
සක්සුදක් මෙන් පැහැදිලි නිසා
මේ සියවසේ සිරිලක බිහිවූ
කූටම ආගමික පූජකයා වන සිරිධම්ම
මට ඔහුගේ සදහම් සිරියහනටම එන්න කියන්නෙ
ඔහු වටා සිටින පිරිසට පොරක් වී
ඔහු ලබන තෘප්තිය අලුත් කර ගැනීමට සහ
ඔහු පොරක් ලෙස ගරු කරන පිරිස ලබන
උත්තේජනය අලුත් කිරීම සඳහායි.

ඔහු මොනවා කිව්වත්
ඒ කියන දේ ඇත්ත නැත්ත ඔවුන් දන්නෙ නෑ.

සිත ශූන්‍ය වුණාම රහත්...
ආත්මය සමතුලිත වුණාම රහත් කිව්වාම
සාදු කියන ඔහුගේ පිරිස චූන් වෙන්නෙ
ඔහුගෙ සුරූපී පෙනුමෙන්, රූමත් භාවයෙන්..
ඔහු වටා විහිදෙන
ඉමල්ෂන් තීන්තෙන් ඇඳපු බුදුරැස් මාලාවෙන්..
වයිවාරන්න මල්වැල් වලින්, උස් මහා අසුන දරා සිටීමෙන්
ඔහුගේ පුරාජේරු වලින්, මැර හැසිරීමෙන්...
ඔවුන්ට ඔහු ළඟ දැවැන්ත ආරක්ෂාවක් දැනෙනවා.
රජමැදුරට පැමිණි යටත් වැසියන් මෙන්
ඔහු අබියස ඔවුන් ඉන්නෙ මහා හීනමානයකින්.

ඔහු කියන දේ සැක කරමින් හෝ
සැබැවින්ම නොවැටහෙන නිසා
ඔහුගෙන් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන
අහිංසකයන්ට මරිමෝඩයා තකතිරුවා ලෙස
නින්දා අපහාස කරමින්
මානසිකව වැටෙන්නට පහර දෙනවිට
කෝපයෙන් බැණ වැදී එළවා දමන විට
මේ සුවච කීකරු ගැත්තන් පිරිස
ඔහුගේ පොර ස්වභාවය නරඹමින්
ඔවුන්ගේ සිත් තුළ ඇති
සමන්තභද්‍ර ප්‍රතිරූපය පොලිෂ් කරමින්
මනයෙන් උද්දාමයට පත් වෙනවා..

සෙත්සිරි දෙන මහ ගුණ මුහුදාණන්
සත්හට වන බව දුකට වෙදාණන් කියමින්
නළල බිම ඔබා, පසඟ පිහිටුවා
බුදුන් වහන්සේටවත් නැති භක්තියකින්
ගාථා කියමින් ඔවුන් වන්දනා කරන
අරහත් වූ භාග්‍යවත්වූ සමන්ත භද්‍රවූ
අසම සමවූ තිලොවට අගවූ මහා මුනීන්ද්‍රයන් වහන්සේ
තමන් වැනි පුහුදුන් කෙනෙකු මෙන්
ව්‍යාපාද නීවරණයෙන් මුළාවී
ඵරුෂ වචන කියන්නේ කෙසේදැයි
ඔවුන් සිතන්නේ නෑ.
බැරි වීමකින් හෝ යම් කෙනෙකුට සිහිපත් වුණත්
ඔවුන් වහාම පිළින්දවච්ච වචනය සිහිපත් කොට
ක්ෂණයකින් සිත සනසා ගන්නව.

ඔහුගේ මැර හැසිරීමෙන් උද්දාම වෙන ඔවුන්
ඔහුට පෙරළා පහර වදින විට කෝපයට පත් වෙනවා.

ඔවුන්ගේ දැක්මට අනුව
ඒ පහර වදින්නෙ සිරිධම්මට නොවෙයි.
ඔවුන් තුළ ඇති ඔහුගේ මහා මුනිඳු ප්‍රතිරූපයටයි..
ඒ ප්‍රතිරූපයේ නිර්මාතෘවරුනුත් ඔවුන්මයි.
ඒ නිසාම
සිරිධම්මට වදින වදින පහරෙන්
ඔවුන් කම්පා වෙනවා. සැලෙනවා.
කුපිත වෙනවා.

සමහර සිරිධම්ම ගෝලයන් මෙහි පැමිණ
එකම දහම් කරුණක්වත් නොවිමසා
මරදානේ චොප්පෙ අයියාගේ සහායට ඩැනීලා ස්වරූපයෙන්
බීමතින් හැසිරෙන්නෙ ඔවුන්ගෙම සිත්වල
ඔවුන්ම හදාගත් මහ රහත් ප්‍රතිරූපය රැක ගන්නයි.
සිරිධම්ම විසින් ඔහුගේම ආරක්ෂාවට
ඔහුගේ ළමා සොල්දාදුවන් මෙන්
තමන් කැපී රජා රකින ඉත්තන් මෙන්
ඔවුන් භාවිතා කරනවා.

ඒ අනුගාමිකයන් වගේම
පොර කුකුළු සන්දර්ශන නරඹන්නට
නොසන්සිඳෙන සා පිපාසා සහිත පිරිසක්
මෙතනත් ඉන්නවා.

ෆේස්බුක් ජාලය තුළම දෙන්නෙක් පැටළුණත්
ඒ පැටලීම තුළ තියන
ද්වේශය, මාන්නය ඔවුන් රස විඳිනවා.
ඒ සමග හිතන කොට
සිරිධම්ම කියන්නෙ කලකින් කන්න ලැබෙන
හොඳ හෝටලයක්.

මිනිසා ගන්නා ආහාර වර්ග හතරෙන්
මනසට අවශ්‍ය මනෝ සංචේතනා -
සහ විඥාණයට ආහාරයක් වන
ද්වේශය මේ මගින් ලබා ගන්නවා.
ඒ ද්වේශය සමග මිශ්‍ර වෙලා තියන
බුදු දහමෙ සත්‍යතා
බොහෝ දෙනෙකුට මග හැරෙනවා.

මම මේ ගොංපස් ගොඩ අවුස්සන්නෙ
ඒ තුළ සැඟවී තියන
ධර්මය නම් දියමන්ති කලාපය නිසයි.

V FM
සංවාදය
දුරකථනයෙන් සිදු කළා නම්
බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙයි.
ඔවුන්ට සැබැවින්ම අවශ්‍ය ධර්මය නොවෙයි.
ඔවුන් ඩේටා කපාගෙන,
කාලය නාස්ති කරමින් සොයන්නෙ
මමත් සිරිධම්මත් බදාගෙන
බිම පෙරළෙමින් ගහගැනීම නරඹමින් ලබන
ඔවුන්ට ජීවිතයටම අමතක නොවෙන
උපරිම තෘප්තියක් ආශ්වාදයක්.
සිරිධම්මත් කැස කවමින් ඉන්නෙ
ඒ තෘප්තිය ඔවුන්ට ලබා දෙන්නයි.

ඒත්
මේ මුළු සිද්ධියෙම රැස් බහින
පොඩි පරහක් තියනවා.
ඒ පරහ නම්
මම විදසුන් වඩන්නෙක් වීමයි.

අධිකරණයක් ඇතිවුණොත්
විසඳෙන තුරු පලා යෑම නුසුදුසු යැයි
වරක් බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට පැවසුවා.
ඒ මට මග පෙ
න්වන
මා වෙනුවෙන් විදසුන සොයාගත් මගේ ගුරුවරයායි..
ඒ මග යන විදසුන් වඩන්නෙක්
ජීවිතයෙන් පලා යන්නෙ නෑ.

ඒ වගේම ....
විදසුන් වඩන්නෙක්
කෙලෙස් බරව,
නීවරණවලින් ඇස් අන්ධ කරගෙන
බීමතින් මෙන් හැසිරෙමින්
මදාවි බසින් ගේම ඉල්ලන අය හමුවට
කෙලෙස් බරව,
නීවරණවලින් ඇස් අන්ධ කරගෙන
බීමතින් මෙන් කඩා පනින්නෙත් නෑ.

කෙලෙස් බරව,
නීවරණවලින් ඇස් අන්ධ කරගෙන
බීමතින් මෙන් ගේම ඉල්ලන අයට
විදසුන් වඩන්නෙක්  මුහුණ දෙන්නෙ ප්‍රඥාවෙන්...
තමන් තුළ සිදුවෙන වෙනස්වීම් පිළිබඳව
පිහිටුවා ගත් සිහියෙන්....
ඒ වෙනස්වීම්වලට උපේක්ෂාවෙන්...

ආවේගශීලීව, නීවරණ නිශ්‍රිතව
පොර කුකුළෙක් මෙන් පොරට නොයන්නට
අවශ්‍ය සංයමය, සංවරය, පුහුණුව
විදසුන් වඩන්නාට විදසුන විසින්ම
ලබා දී තියනවා.

දැන් සැබැවින්ම සිදු විය යුත්ත නම්
සිරිධම්ම රහත්ද කියන ගැටළුව
ඔහුගේ දහම් දැනුම සහ
ඒ දැනුමට අදාළව ඔහුගේ අත්දැකීම
ඔහු පිරික්සා ඔහුගෙන්ම විමසා
පිරිසිඳ දැන ගැනීමයි.

ඒ සඳහා යන ගමනේදී
පදක්කම්, සම්මාන, කිරුළු අදාළ නෑ.
කුකුළු පොර බැදීම් නයි මුගටි සටන් අවශ්‍ය නෑ.

ඉක්මණින් හෝ ප්‍රමාද වී
හැකි හොඳම අයුරින් සිරිධම්ම මුණ ගැසී
එළඹුණ ගැටළුව විසඳෙන තුරු
මේ ආරම්භ කළ කාර්යයෙහි නොකඩවා නිරත වීමයි
මගේ අද දවසේ වගකීම.
මම ඒ වගකීම කල්යල් බලා ඉටු කරනවා.



මැයි 08දා වී එෆ් එම් නාලිකාවෙ සංවාදය පැවැත්වෙනවා.

නියමිත පරිදි සංවාදය පැවැත්වුණොත්
ධර්මය සොයන අයට රසයක් ලැබෙයි..
සබ්බ රසං ධම්ම රසං ජිනාති.
මම කැපවෙන්නෙ ඔවුන් සඳහායි.

පොර වෙන්න කැමති පොර කුකුළන්
පොරකනවා බලන්න කැමති අය
පොරකුකුළු සටන් පවතින
වෙනත් නාලිකා සොයා ගත යුතුයි.
========================================