20160321

බුදු දහමට අනුව ආදරය


ආදරය යනුවෙන් අප නම් කරන කායික හා මානසික අත්දැකීම
බුදු දහමට අනුව අයත් වන්නේ රාගයට සහ කාමච්ඡන්දයටය.


පළමු දැක්මෙහිදී
දුටු වනින් උපදින ආදරය රාගයයි..


රාගය උපදින්නේ සිතෙහිය.
රාගයට ඇතිවීමට හේතුවන්නේ
බාහිර රූපයක්, ශබ්දයක් ආදී
කිසියම් භෞතික අරමුණක්
පසිඳුරන්හි ස්පර්ශවීමෙන් හෝ
මානසික අරමුණක්
මනසෙහි ස්පර්ශ වීමෙනි.

ඒ ස්පර්ශයෙන් කයෙහි උපදින වේදනා
විඳින්නාට ප්‍රිය ජනක වූ විට
ඔහු තුළ රාගය උපදී.
රාගය සිතෙහි ඇති වෙන විට
ඒ රාගයට පදනම්වූ
ප්‍රිය වේදනාවක් කයෙහි පවතී.
රාගය අයත්වන්නේ තණ්හාවටයි.

රාගයට පියාපත් නැත. අඬුපඬු නැත.
අරමුණක් නැත. රාගය බීජයක් පමණකි.
ඒ මොහොතෙහිම
වෙනත් අරමුණකින් උපදින රාගය
බලවත් වුවහොත් මුල් රාගය
නිෂ්ක්‍රීය වෙයි.

රාගයට තටු ලැබෙන්නේ
රාගය උපාදාන වීමේදීය.
රාගයෙන් උණුසුම් වුණ සිත
එයින් ජනිත වෙන ප්‍රිය වේදනා
දිගින් දිගට පවත්වාගන්නට
හිමි කරගෙන රැකගන්නට කරන සැලසුම්
රාගය උපාදාන වී ඇතිවෙන
කාමච්ඡන්ද නීවරණයේ ප්‍රතිඵලයි.

ආදරයෙන් බැඳෙන්නාගේ සැපට මෙන්ම
ඔහු විඳින සියලු දුක්වලට හේතුවෙන
ආදරය නමින් බිහිවෙන සියළු ප්‍රශ්න
කමච්ඡන්දයෙන් ජනිත වෙයි.
ප්‍රධානම ප්‍රශ්නය වන්නේ
තම සිතැඟි අනුව අනෙක නොපවතින විට
සිතෙහි ඇතිවෙන ද්වේශය උපාදාන වීමන්
ඒ අනුව ව්‍යාපාදයෙන් ක්‍රියා කරමින්
වාද විවාද, අඬ දබර, පහරදීම්,
පිහි ඇනුම්, මිනිස් ඝාතන පවා සිදුවීමයි.

මේ ප්‍රශ්න වලින් විඳින
දුක් සමුදායෙන් මිදෙන්නට
බුදු දහම මගින්
ක්‍රම තුනක් ලබා දෙයි.

ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයෙන්
රාගයත් කාමච්ඡන්දයත් සහිත සිත
දමනය කරගන්නට ඔහුට හැකි වෙයි.
සමාජීය සබඳතා බිඳී විඳින දුකෙන් මිදෙන්නට
ශීලයත්
සිත කැළඹී විඳින දුකෙන් මිදෙන්නට
සමාධියත්
සිත කය වෙනස ගැන සිහියෙන්
ඒ වෙනසට උපේක්ෂාවෙන් විසීමෙන්
සිත පිරිසිදු කරගන්නට
ප්‍රඥා මාර්ගයත්
බුදු දහම පිළිපදින්නාට උපකාර වෙයි..

බුදු දහම ආදරය හඳුන්වන්නේ
ගුණාංග හතරක් සහිත
සතර බ්‍රහ්ම විහාරයි.

රාග ද්වේශ මෝහ වලින් විනිර්මුක්ත සිතෙහි
සාමාන්‍ය ස්වභාවය මේ ගුණාංග හතරයි.

මෙත්තා නම්
පොදුවේ සත්වයා
නිදුක්ව, නිරෝගීව, සුවපත්ව වෙසෙනු දැකීමට
කෙනෙකු තුළ ඇති ස්වාභාවික උවමනාවයි.
කරුණා නම්
දුක් විඳින්නෙකු දුකෙන් මුදවා ගන්නට
කෙනෙකු තුළ ඇතිවෙන ස්වාභාවික උවමනාවයි.
මුදිතා නම්
සැපෙන් සතුටෙන් සිටින කෙනෙකු දුටු විට
හුගේ හිතේ ඇති වෙන සතුටයි.
උපෙක්ඛා නම්
තමන්ට පැමිණෙන දුක් හිරිහැර වලට
ද්වේශයෙන් ප්‍රතික්‍රියා දැක්වීමෙන්
වැළකී විසීමයි.