(ජුඩ් සමන්ත)
අපේ රටේ ජීවත් වන පුද්ගලයින් අතර සමගියක් නැතැයි ඇතමුන් කියති.ඒ අතරට ජාතිවාදය, ආගම් වාදය මෙන්ම වෙනත් වර්ග වාර්ගික කථාද එකතු කරන්නට ඔවුහු උත්සාහ කරති .වසර 30 ක පමණ කාලයක් රට වෙලාගෙන තිබූ  වාර්ගික යුද්ධයද ඊට නිදසුනකි.
ඒ අතර, තවත් පිරිසක් කියා සිටින්නේ රජයේ සේවකයින් බොහෝ දෙනෙකු තමන්ට පැවරෙන රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවකි. ඇතමුන් පින් පඩි භුක්ති විඳිමින් පුටු රත් කරන බවටද චෝදනා එල්ල වේ.
පවතිනවා යැයි කියන වර්ග වාර්ගික අර්බුදය සහ පුටු රත් කරන න්‍යාය පසෙකලා තමන්ට පැවරී තිබූ රජකාරිය දේවකාරිය බවට පත් කරගත් චරිතයක් පසුගිය 22 වැනිදා රාත්‍රීයේ අපට අහිමි විය.
ඔහු නමින් ජී.එම්.සරත් ප්‍රේමචන්ද්‍රය. මිය යන විට 54 වැනි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකි. හලාවත - කුමාරකට්ටුව ගම්මානය ඔහුගේ ගම් පියස විය. පොලිස් සේවයට බැඳී වසර 30 ක සේවා කාලයක් සපුරා ඇති සරත් ප්‍රේමචන්ද්‍ර මහතා විවාහ වී සිටින්නේද හිටපු පොලිස් කාන්තාවක් සමගය.
කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරමින් සිටින විට ඇති වූ දැන හැඳුනුම්කමක් දුර දිග ගොස් මාතලේ පදිංචිකාරියක්ව සිටි ඇය සරත් ප්‍රේමචන්ද්‍ර මහතා සමග හලාවත පදිංචියට පැමිණියාය.
සරත් ප්‍රේමචන්ද්‍ර මහතාට තම ගම් පියසට ආසන්නයේ ඇති පොලීසියක සේවය කරන්නට ලැබී ඇත්තේ ඉතාමත්ම ටික කලකි. ආණමඩුව පොලීසියේ කලක් සේවය කළ ඔහු කොළඹ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල වැඩි කාලයක් ගත කර ඇත.
එමෙන්ම ඔහු හරිහම්බ කර ගත් දෙයක්ද නොමැති බවක් පෙනී යන්නේය. දරු පැටවුන්ගේ ගෞරවය රැක ගැනීම සදහා හැකි ම්ටටමේ කුඩා නිවසක් ඔහු අටවා ගෙන ඇත. නමුත් ඔහු උපයා ඇත්තේ කිසිවෙකුට සොරකම් කළ නොහැකි කීර්ති නාමය පමණක් වීම විශේෂත්වයකි.
කොළඹ ප්‍රදේශයේ පොලිස් සේවයේ සිටියදී දිනක් ප්‍රභූ ආරක්ෂක කටයුතු සඳහා සරත් ප්‍රේමචන්ද්‍ර මහතා ගොස් ඇත්තේ විනිසුරුවරයෙකු වු මානික්කවාසගම් ඉලංගචේලියන් මහතා වෙතය. එදින සිට මේ වන විට වසර 17 ක් ගෙවී ගොස් ඇත. දිසා විනිසුරු ඉලංගචේලියන් මහතා දිවයිනේ විවිධ පළාත් වල සේවය සඳහා ගියේය. ඒ තම ශරීර ආරක්ෂකයා ලෙස සරත් ප්‍රේමචන්ද්‍ර මහතාවද කැටුවය.
ඉලංගචේලියන් මහතා මහාධිකරණ විනිසුරුවරයා ලෙස යාපනය බලා යන විටත් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා ද ඔහු සමග ගියේය. වෙනත් කිසිදු නිලධාරියෙකුට වඩා සිංහල ජාතිකයකු වූ සරත් ප්‍රේමචන්ද්‍රව විශ්වාස කරන්නට දමිළ ජාතික මහාධිකරණ විනිසුරු පුරුදු වී සිටියේය. සරත් ඒ තරමටම විශ්වාසවන්ත අයෙකු වී සිටියේය. විනිසුරුවරුන්ට පමණක් සීමා වූ ඇතැම් උත්සව වලට පවා ඉලංගචේලියන් මහාධිකරණ විනිසුරුවරයා සරත් හා කැටුව ගොස් ඇත්තේ සමීපතම පවුලේ ඥාතියෙකු කැඳවාගෙන යන ආකාරයටය.
මීට දින 10 කට පමණ පෙර නිවාඩු ලබා නිවසට පැමිණ ඇති සරත් ප්‍රේමචන්ද්‍ර මහතා නිවසේ ඇති සියලුම කටයුතු සිදු කර දී කඩිනමින් ආපසු රාජකාරියට ගොස් ඇත. ඒ තම පවුලේ කටයුතු වලට වඩා රාජකාරියට ඔහු මුල් තැන දී ඇති නිසාය. සැමියා තම ජීවිතයම රාජකාරියට කැප කරන බව දැන ගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන කුමුදුනී ප්‍රියංකාද පොලිස් සේවයෙන් ඉල්ලා අස්වී ඇත්තේ දරුවන් රැක බලා ගත යුතු නිසාම වන්නට ඇත.
පසුගිය 22 වැනිදා සවස ප්‍රේමචන්ද්‍ර මහතා තම හාම්පුතාගේ ජීවිතය රැක ගනිමින් තමන්ගේ ජීවිතය පුජා කළේය. ඒ යාපනය - නල්ලූර් කෝවිල ආසන්යේදීය. තම සමීපතම සගයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව දැන ගත් මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් මහතාට එය දරා ගත නොහැකි දෙයක් විය. සැමියාගේ දේහය බාර ගැනීමට හලාවත සිට යාපනයට ගිය කුමුදුණී ප්‍රියංකා මහත්මිය ඉදිරිපිට හඬා වැළපෙමින්, වැඳ වැටෙමින් ඉලංගචේලියන් මහතා පසුගිය 23 වැනිදා දහවල් කියා සිටියේ ද එයයි.

video

එපමණක් නොව රාජකාරිය පසෙක ලා නිරන්තර තමා සමග ළඟින්ම සිටිමින්, තම ජීවිතය ආරක්ෂා කර දුන් සරත් ප්‍රේමචන්ද්‍රගේ දේහය රැගෙන මහාධිකරණ විනිසුරු ඉලංගචේලියන් මහතා යාපනයේ සිට හලාවතට පැමිණියේය. ඒ කෘත ගුණ දැක්වීමට පමණක් නොව තමා අතින් ඉටු විය යුතු යුතුකමක් ඉටු කරන්නට වන්නට ඇත.
කෙසේ වෙතත් මේ වන විට සරත් ප්‍රේමචන්ද්‍ර මහතා මිය ගොසිනි. ඔහුගේ දරුවන් දෙදෙනා වන පල්ලම නන්දමිත්‍ර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමාධි අමන්දා (16) සහ හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙණුම ලබන සදෙව් අමිත් (11) දරුවන් දෙදෙනාට පිය සෙනෙහස අහිමි වී මව් සෙනෙහස පමණක් ඉතිරිවී ඇත.
කිසිදු දිනක දමිළ භාෂාවෙන් මුද්‍රණය කරන ලද ශෝක ප්‍රකාශ බැනරයක් ප්‍රදර්ශනය නොවූ හලාවත - කුමාරකට්ටුව ගම්මානයේ සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ නිවස ඉදිරිපිට දෙමළ භාෂාවෙන් මුද්‍රණය කරන ලද බැනරයක් ඇත. එය සවි කරනු ලැබ ඇත්තේ යාපනය මහාධිකරණ විනිසුරුවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසිනි. “කඳුලත්, ගෞරවයත් ඉතිරි කරමින් රාජකාරිය ඒ අයුරින්ම ඉටු කළ ඔබ අපට ඥාතියෙකි” යැයි එහි සඳහන් වේ.
ලබන 26 වැනිදා සවස සරත් ප්‍රේමචන්ද්‍ර මහතා සදහටම දැයෙන් සමු ගැනීමට නියමිතය. ඒ හලාවත - කුමාරකට්ටුව පොදු සුසාන භූමියේදීය. වසර 30 ක් අප රටේ පැවති වාර්ගික යුද්ධයට නොබියව මුහුණ දුන් සරත් ප්‍රේමචන්ද්‍ර පොලිස් නිලධාරියා ජීවිතය පුජා කරන්නේ රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි වටහා ගෙන සිටි නිසාය. එපමණක් නොව වර්ග වාදය තම වාසියට හරවාගෙන බඩ වියත රැක ගන්නට උත්සාහ කරන සියල්ලටම හොද අතුල් පහරක්ද එල්ල කරමිනි. ඒ නිසාම සරත් ප්‍රේමචන්ද්‍ර යනු ජාතියට වීරයෙකු බව යළි යළිත් නොකිවමනාය.