20170928

අධ්‍යාපනය ජීවත් වෙන්න කියා දෙන්නෙ නෑ.


රූමත් බවින්, අධ්‍යාපනයෙන් මෙන්ම
ජනප්‍රියත්වයෙන්ද ඉහළ තවත් කෙනෙක්
සිය දිවි නසාගෙන අවසන්.

දසුන් නිෂාන් ජීව විද්‍යා අංශයෙන් ඉගෙනෙගෙන
තොරතුරු තාක්ෂණ උපාධියක් ලද්දෙක්.

අධ්‍යාපනය ජීවත් වෙන්න කියා දෙන්නෙ නෑ.
ජීවත් වෙන්න රැකියාවක් සොයාදෙනවා පමණයි.

ජන්මයෙන් එන මන්ද බුද්ධික බව තුරන් කිරීමට
විශ්ව විද්‍යාල උපාධියට නොහැකි බවටත්,
අධ්‍යාපනයෙන් බුද්ධිය නොලැබෙන බවටත්,
විද්‍යාව ඉගෙන ගැනීමෙන්
අවිද්‍යාව තුරන් නොවන බවටත්,
ස්වාභාවික තිරිසන් ආවේග ජය ගැනීමට
හිසේ තවරාගන්නා බුද්ධිය අසමත් බවටත්,
දුම්රියට ගෙල තබා මිය ගිය
පේරාදෙණියේ විද්‍යා උපාධිධාරිණිය මෙන්ම
දසුන් නිෂාන් උපාධිධරයාත්
ලෝකයට පසක් කරදෙනවා.

සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසාගත්
තවත් උපාධිධාරිණියක් පිළිබඳව
ගාල්ලේ ඌරගහින් වාර්තා වුණා.

අධ්‍යාපන ක්‍රමය තුළ
මනස මුල් කරගන්නා ප්‍රශ්නවලට
විසඳුම් නෑ...
මානසිකව ඇති වෙන පශ්න වලට
සාර්ථක විසඳුම් මෙන්ම
තාවකාලික විසඳුම් හෝ ඇත්තෙ
ආගමික ඉගැන්වීම් තුළයි.

නූගතුන් මෙන්ම උගතුන්ද
විශාදයට ගොදුරු වෙනවා.
ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම්
බුද්ධියෙන් සොයා ගන්න මගක් නෑ..

හැඟීම ඇති වුණාම
මනස තර්ක කරන්නෙ
ඒ හැඟීම සාධාරණයි කියන
උපකල්පනය මතයි.

මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න
බුදු දහමෙන් ශක්තිය ලබා දෙනවා.
අනිකුත් ආගම් ආවේගය සමනය කරගන්න
නොයෙක් ක්‍රම සපයා දෙනවා.
ඒ ක්‍රම බුදු දහම තුළටත්
කාන්දු වී තියනවා.

ජීවිතයත් මරණයත් අතර වැනෙන
විශාදයට ගොදුරු වූ ජීවිත
ආගමික ක්‍රමවලින් බේරා ගන්නවා.

විෂාදය මිනිසුන්ට අලුත් දෙයක් නොවෙයි.
මම විෂාදය අත්දැකීමෙනුත්
අන් අය තුළත් දැක හඳුනනවා.

ලාභ, අලාභ, යසස, අයස,
නින්දා, ප්‍රසංශා, සැප, දුක්
මේ කිසිවක් නිසා
සිත කම්පා වීම, ශෝකය ඇතිවීම,
සිත කිළිටි වීම, අනාරක්ෂිත බව ආදිය සිදුවීමෙන්
විෂාදය පිළිසිඳගන්නට හේතු වෙනවා.

ප්‍රේමය අහිමි වීම, රැකියාව අහිමි වීම,
තනතුරෙන් පහත වැටීම හෝ අහිමි වීම,
බිරිඳ හෝ සැමියා නොමග යෑම, දරුවන් නොමග යෑම,
විභාග අසමත් වීම, රෝගයකින් එක්තැන් වීම...
මේ ලැයිස්තුව ඔබත් දන්නවා.

මානසික හේතු මත හෝ වෙනත් හේතු මත
පවුලෙන්, සමාජයෙන් වෙන්ව තනිව වෙසෙන අයට
ඔවුන් තුළ වැඩෙන විෂාද කළලයට අවශ්‍ය
පෝෂණය සපයන්නට සුදුසු වාතාවරණයක්
ඔවුන් වටා ගොඩ නැගෙනවා.

විෂාදයට පත්වෙන තැනැත්තාට
ඔහුගේ සීමාව තුළ විසඳිය නොහැකි ප්‍රශ්න නිසා
විෂාදය පහළ විය හැකියි.
විෂාදය නිසාත් ප්‍රශ්නය විසඳා ගැනීම
ඔහුට අපහසු විය හැකියි.
කොහොම වුණත් විෂාදයෙන් පළමුවෙන්ම පීඩා විඳින්නේ
විෂාදයෙන් පෙළෙන තැනැත්තාමයි.
ඉන් ඔහු මුදවා ගන්නට
වඩාත්ම හැකියාව ඇත්තේත් ඔහුටමයි.

ප්‍රිය දෙයක් සිතින් අල්ලා ගන්නාවිටම
අප්‍රිය දෙයක් සිතින් අල්ලා ගන්නාවිටම
විෂාදයට බඳුන් වීමේ අවදානම
ඒ උපාදානය තුළ සැඟවී තියනවා.

ආරම්භක අවස්ථාවේ පහළ වෙන හැඟීම
විෂාදයෙහි මූලික අවස්ථාව ලෙස
කිසිවෙක් දකින්නේ නෑ.
තමන්ට දෂ්ඨ කරන මදුරුවා
තමන්ගේ සිත තුළ කීටයෙකු ලෙස
වර්ධනය වෙන ආකාරය දකින්නට
ප්‍රමාණවත් සිහියක් පිහිටා ඇති කෙනෙක් නෑ.

විෂාදයෙන් වියරු වැටීමත්
කෝපයෙන් වියරු වැටීමත්
ශෝකයෙන් වියරු වැටීමත්
පුද්ගලයාට තමන් ගැන සිහිය නැති වීමක්.
තමන් ගැන සිහිය නැති වුණාට පසුව
සිය දිවි නසා ගැනීම පහසුයි.

ඒ තත්වයට එන කෙනෙක් ප්‍රතිකාර සොයන්නෙ නෑ.
විෂාදය සුව කරන්න
කායිකව බෙහෙත් දෙන්න සිදු වීමම
ඒ ප්‍රතිකාරවල දුර්වල බව පෙන්වනවා.

මෝහයෙන් වෙසෙන කෙනෙකුට ආගමක් අවශ්‍ය නෑ.
ඔහුට විෂාදය හැදෙන්නෙ නෑ.
මෝහයෙන් විෂාදය හැදෙන්නෙ නෑ.

විෂාදය හැදෙන්නෙ
රාගය හෝ ද්වේශය උත්සන්න වීම නිසයි.
විෂාදයෙන් හැදෙන කෙනෙක් තුළ ඇතිවෙන රාගය
ද්වේශයට හැරුණාම සිය දිවි නසා ගන්නවා.

සංවේදී කෙනෙක් ආගමෙන් ඈත්වී ජීවත්වීම
පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි.
අද ආගමික වීම නින්දාවක් ලෙස හැඳින්වීම
මෙවැනි සංවේදී අය අතරමං කිරීමට
ප්‍රධාන හේතුවක්.

විෂාදයට ප්‍රතිකාර ක්‍රම
හැම ආගමකම තියනවා.
යාඤා, භජන්, බෝධි පූජා ආදියෙන්
විෂාදය දුරු කරගන්න පුලුවන්.
සමථ භාවනාවෙන් පුලුවන්.

විෂාදයට අදාළ
කායික වේදනා ගැන සිහියෙන්
ඒ වේදනාවන්ට උපේක්ෂාවෙන් වෙසෙන්නට
කෙනෙක් පුහුණු කරන විපස්සනා
ඒ සඳහා ඇති හොඳම ක්‍රමයයි.

ප්‍රිය වේදනා සුඛ වේදනා ලබා දුන්
කෙනෙක් හෝ දෙයක් ඈත් වෙද්දී අහිමි වෙද්දී
ඔහු තුළ ඇති වෙන දුක්ඛ වේදනා සමුච්චය
කායික වේදනා විදියට දකිමින්
විෂාදයට හේතු වෙන මානසිකත්වයෙන් මිදෙන්නට
විදසුන් වඩන ආර්ය ශ්‍රාවකයෙකුට පුලුවන්.

මේ ක්‍රම වලින් තමන්ට ගැලපෙන ක්‍රමයක්
විෂාදය හැදෙන අය සොයා ගන්නවා.
ඒ ක්‍රම නොසොයන විෂාදයෙන් පෙළෙන අය
මනෝ වෛද්‍යවරුන් කරා හෝ යොමු වෙනවා.

මේ සියල්ලම මග හැරෙන අය
සිය දිවි නසා ගන්නවා.

ජීවිතය නැති කරගත යුතු
කිසිම සාධාරණ හේතුවක්
කවදාවත්ම මේ ලෝකෙ නෑ.