20160214

Facebook පැන පිළිතුරු සහ සටහන්





පව්කාරයාට ගල් ගැසීම
ආගමික ක්‍රියාවක් නොවෙයි..

ඉස්ලාම් නීතියට යටත් රටක
රටේ නීතියට සම්බන්ධ ක්‍රියාවක්..
මුස්ලිම් ආගම කියන්නෙ
ආගමත් රටේ නීතියත් එකතු කළ අවස්ථාවක්.
මේ වෙනස හඳුනා නොගන්නා අය අතින්
මුස්ලිම් ආගම ආගමක් විදියට
අභියෝගයට ලක්වෙන්නෙ ඒ නිසයි..
බුදුන් වහන්සෙ තමන්ගෙ දහම
රටේ නීතියෙන් වියුක්තව තැබුවා.
බුදු දහමෙ පදනම පුද්ගල විමුක්තියයි..
දුක හඳුනාගන්නා කෙනෙකුට
මිදීමෙ මග පෙන්වීම හැර
වෙනත් කිසිදු සමාජ සේවයක් කිරීම
බුදු දහමෙහි අරමුණ නොවෙයි.
රාජ්‍යපාලනයෙදි සහ
එදිනෙදා ගිහි ජීවිතයෙහි වැදගත් කරුණු
සඳහන් වෙන්නෙ තොරතුරු වශයෙන් පමණයි.

ගිහියන්ගෙ ජීවිතයට
බුදුන් වහන්සේ විනය නියම කරන්නෙ නැහැ.
ගිහියාට බුදු දහම පිළිපැදීම
ස්වයං තීරණයක්..
සාර්ථකත්වයත් ඔහුගේම ජයක්..




දුව: තාත්තා ගස් වලට පන තියෙනවද ?
මම: නැහැ ගස් වලට මිනිස්සුන්ට සත්තුන්ට වගේ එහෙම පණක් නැහැ
දුව: එහෙනම් ගස් ලොකු වෙන්නේ වැවෙන්නේ කොහොමද ?
මම: ඒ ලෝකෙට මුලින්ම ආපු ආදී කල්පිත බ්‍රහ්ම මිනිස්සුන්ගේ (එයා දන්නවා මේ අය ගැන .. අග්ගඥ්ඥ සූත්‍රය මම කියලා දීල තියෙනවා) සිතුවිලි නිසා හට ගත්ත ශක්තිය නිසයි ඒ ගස් වල තාම ලොකු වෙන්නේ ඵල දරන්නේ ..
දුව: ඒ කිව්වේ ?
මම: දැන් හිතන්න මෙතන රෝදයක් තියෙනවා.. ඔයා අද ඇවිල්ලා ලොකු ශක්තියක් යොදල කරකවනවා.. දැන් රෝදේ කැරකෙනවා...
දුව: ඔව්
මම: දැන් හෙට කෙනෙක් ඇවිල්ල කියනව ආනේ මේ රෝදෙට පන තියෙනවා නේද එක කැරකෙන හැටි බලන්න කියල.. අන්න ඒ වගේ තමා ගස් වැලුත් ...
දුව: ආ හරි හරි .. දැන් තේරුණා ...

========================================

මගේ දුව ඔය ප්‍රශ්නෙ ඇහුවා නම්
මම මුලින් කියන්නෙ විද්‍යාව කියන දේමයි.

ස්නායු විද්‍යාව කියන්නෙ
මිනිසාට මොළය සහ ස්නායු පද්ධතිය තියෙන්නෙ
ඔවුන්ට ආහාර සොයාගන්න කියලයි..

මම ඇයට කියනවා
ගස්වැල් වල තියන ප්‍රාණය
ගස්වැල් වලට අවශ්‍යතා
ඉටු කරගන්න ඕන ප්‍රමාණයට තියනවා.
මිනිසුන්ට සතුන්ට තියන ප්‍රාණය
මිනිසුන්ගෙ සතුන්ගෙ අවශ්‍යතා ඉටු කරගන්න
ඕන ප්‍රමාණයට තියනවා.

ඉන් පස්සෙ
බුදු දහමෙන් කියන දේත්
එකතු කරනවා.

මිනිසුන්ට ප්‍රාණය විතරක් නෙමෙයි.
ඔවුන්ට අතීතය මතකයි..
අනාගතය සැලසුම් කරන්න,
අනාගතය ගැන අරමුණු
ඇති කරගන්න පුලුවන්.
කැමති දේවල් ගන්න සැලසුම් කරන්න පුලුවන්..
අකැමති දේවල් වලින් බේරෙන්න
සැලසුම් කරන්න පුලුවන්..
මේ විදියට
අතීතය අනාගතය නිසා
මිනිසා ලොකු දුකක් විඳිනවා.

අනික් සතුන්ට සහ
සතුන් වගේ ඉන්න අයට හැර
දුක් නොවින්ද ඉන්න ඕන අයට
ඒකට මාර්ගයකුත් මිනිසාට තියනවා.

තමන්ට බලපාන දේවල් ගැන සිහියෙන්
ඒ දේවල් වලට ප්‍රතික්‍රියා නොකර
උපේක්ෂාවෙන් ඉන්නත් මිනිසාට පුලුවන්.
මිනිසුන්ට සතුන්ට තියන ප්‍රාණය
ගස්වැල් වලට සතුන්ට වඩා
ඉහළ මට්ටමකින් තියනවා.

නිවන් දකින්න හිතුණොත්
ඒ අවශ්‍යතාවයත්
ඉටු කරගන්න ඕන ප්‍රමාණයට තියනවා.

දෝණිට මේ ටික කිව්වා නම්
බොහෝ වෙලා අරගෙන
කෑම බීම සෙල්ලම් බඩු ආදිය නිසා
ඇය දුක් වින්ද අවස්ථාවලින්
උදාහරණ ගොඩක් අරගෙන
විස්තර කරනවා.

වැඩිහිටියන්ට හිතන්න පුලුවන් නිසා
මේ ටික ඇති..

=========================================================


Udaya Hewagama [[[[ එක දවසක් බුදු පියාණන් වහන්සේ රජගහ නුවර පිඬුසිඟා වඩින විට මඩෙහි සිටින ඊරියක් දැක සිනා පහල කලා. බුදු රජාණන් වහන්සේලා විශේෂ කරුණකට හැර සිනා පහල කරන්නෙ නෑ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ අසා සිටිනවා සිනා පහල කිරීමට හේතුව. එතකොට උන්වහන්සේ කියා සිටිනවා මේ ඊරියක්ව සිටින්නෙ කාලයකට පෙර බ්‍රහ්ම ලෝකයේ සිටි ආයුශ ගෙවී ගිය බ්‍රහ්මයෙක් බව.]]]
===================================

 1, බුදුන් වහන්සේ දම් දෙසීමට
නොයෙක් ක්‍රම භාවිතා කළා.
අවට සිටින්නන්ගේ කුතුහලය මතු කිරීම
ඉන් එක ක්‍රමයක්.
උන් වහන්සේ මද සිනා පහළ කළ හැම අවස්ථාවකම
ඒ පිළිබඳ විමසූ අයට කිසියම් දහමක්
දැනගන්නට ලැබුණා.

එක දවසක්
බුදු පියාණන් වහන්සේ රජගහ නුවර පිඬුසිඟා වඩින විට
මඩෙහි සිටින ඊරියක් දැක සිනා පහල කලා
ආනන්ද හාමුදුරුවෝ අසා සිටිනවා
සිනා පහල කිරීමට හේතුව.
එතකොට උන්වහන්සේ කියා සිටිනවා
මේ ඊරියක්ව සිටින්නෙ
කාලයකට පෙර බ්‍රහ්ම ලෝකයේ සිටි
ආයුශ ගෙවී ගිය බ්‍රහ්මයෙක් බව

මෙහි හෙළිවන ධර්මතාවය නම්
මිනිස් ලොවින් ඉහළ සියුම් තලවලට යන අය
ඒ ලෝකවලට යන්නට හේතුවෙන
කර්ම ඵල ගෙවීයාමෙන් පසුව
තිරිසන් සතෙකු වීමේ අවදානම
පවතින බවයි.

සමථ භාවනාවෙන් ලෞකික ධ්‍යාන ලබන අය
ධ්‍යානයේ බලවත් බව අනුව
මැරෙන අවස්ථාවේ ධ්‍යානයක සිටියොත්
ධ්‍යානයේ ප්‍රබලතාවය අනුව
මරණින් මතු බඹ ලෝකවලට යනවා.

කළ පින් ගෙවන්නට මනු ලොව මදි නම්
දිව්‍ය ලෝකවලට යනවා.

කර්ම ඵල ගෙවීයාමෙන් පසුව
ඊළඟට බලපාන කර්ම අනුව
ඔහු තිරිසන් සතෙකු වීමටත් පුලුවන්.

මිනිසෙකු වෙන්නට අවශ්‍ය වෙන
සිහියත් උපේක්ෂාවත් ප්‍රඥාවත්
වැඩෙන්නට නම් විදසුන් වැඩිය යුතුයි.
සම්මා සතිය, සම්මා සමාධිය වැඩිය යුතුයි..

මේ කරුණම පෙන්වාදෙන්නට
තවත් වරෙක
බුදුන් වහන්සේ ක්‍රියා කළේ
වෙනත් ආකාරයකටයි.

එදා බුදුන් වහන්සේ
ගමන් විඩාව හරින්නට
අතරමග නතරවූ විටක
ඒ අසලින් ගිය ගෙරි වැලක් දෙස
බොහෝ වේලාවක් තිස්සේ බලා සිටියා.
ඒ පිළිබඳව විමසූ ශ්‍රාවකයන්ට
උන් වහන්සේ පැවසුවේ
'මීට පෙර ජීවිතවල
දෙව් ලෝ බඹ ලෝ නොගිය
එකම එක ගෙරියෙක් හෝ
එම ගෙරි වැලෙහි නොවූ බවයි.'

================================================

බුදු දහම පිළිපදින කවුරුත්
රහත් වෙන තුරු නිදහස් නෑ.


අපි අතින් වැරදි අඩුපාඩු සිදු වෙනවා.
හැම කෙනෙක්ම වැරදි කරුවන්...
ඒත් අපි ටිකදෙනෙක් වීර්යයෙන් යුතුව
ඒ වැරදි අඩුවෙන මාර්ගයක යනවා.
ඒ වැරදි වලට හේතුවෙන කෙලෙස් මල
අඩුවෙන මාර්ගයක යනවා.

බෞද්ධයන් කිව් පමණින්
ඒ හැම කෙනෙක්ම පිළිපදින අය නොවෙයි..

බෞද්ධයන් කියන්නෙ
තමන්ගේ ජීවිතයෙ අඩුපාඩු හදාගන්න
බුදුන් වහන්සේගෙන් බුදු දහමෙන්
මග පෙන්වීමක් සරණක් ලබාගෙන
තමන්ගෙ වැරදි හදාගන්න අයයි..


===================================================
  • [[[ඉපදුනු හැටියෙ නෙලුම් මල් හතක් උඩ ඇවිද්දේ කොහොමද කියලා 4 වසරෙදි අපේ බුද්දාගම් ටීචර්ගෙන් අහලා එයා මට බැන්නා ඕනවට වඩා පන්ඩිත වෙන්න එපා කියලා...
    ලමයි මට හිනාවුනා තාම මතකයි...
    එදායින් පස්සෙ ලැජ්ජ වෙන්න බැරි නිසා ප්‍රශ්ණ නාහා එයාලා කියන දේ හරි කියලා ඔහේ අහගෙන හිටියා...
    දැන් අවුරුදු දෙකකට විතර කලිං අපේ පල්ලියේ ෆාදර්ගෙන් ඇහැව්වා ඇයි කොපමණ වැරදි කලත් අපිට සමාව දෙනවා කියන දෙවියන්වහන්සේට බැරිවුනේ ආදම් කල එක වරදට සමාව දෙන්න ?.සියලු දේ දකිනවා කියන දෙවියන්වහන්සේ ඇයි නොදැක්කේ සාතන් ඒවාව ඇපල් ගෙඩිය කන්න පොලඹවනවා කියන එක.ඒ කියන්නේ දෙවියන්වහන්සේට plan එකක් තිබ්බා මිනිසාව වරදට පොලඹවන්න.
    එහෙම නේද ෆාදර් ???.
    ෆාදර් මට උත්තර දුන්නෙත් නෑ.මීසමෙං අයින් වෙලා යනකල් මාව දැක්කත් ඔරවන්න පටං ගත්තා මිසක් එයාට ඒකට දෙන්න උත්තරයක් තිබුනෙත් නෑ.කොටින්ම පාප්තුමා දෙවියන්වහන්සේගේ අනුප්‍රාප්තිකයානං අපිව ආරක්ශා කරන දෙවියන්වහන්සට ඇයි බැරි පාප්ව ආරක්ශා කරන්න ???.
    පුලුවන්නම් ඇයි පඩි ගෙවලා bodyguard ලා දාන්නේ කියලා අහලා 
    අම්මා දවස් දෙකක් මට බැන බැන හිටියා මිසක් එයාටත් උත්තර තිබ්බේ නෑ... ]]]
    ===================================
    මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න
    ඔවුන්ට බැරි බව
    ඔබට අදත් වැටහෙන්නෙ නැද්ද?
    ඔබ ප්‍රශ්න කරන්න තෝරාගත් දේ
    සහ තෝරාගත් පුද්ගලයන් වැරදියි කියලා
    ඔබට හිතෙන්නෙ නැද්ද?

    ඔබ කවදාවත්
    පටිච්ච සමුප්පාදය ගැන
    චතුරාර්ය සත්‍යය, සතර සතිපට්ඨානය ගැන
    ප්‍රශ්න නොකරන්නෙ ඇයි?
    ක්‍රිස්තුන් වහන්සෙගෙ
    කන්ද උඩ දේශනාව ගැන
    ප්‍රශ්න නොකරන්නෙ ඇයි..?

    තට්ටුකරන්නාට දොර ඇරේ.
    සොයන්නාට සම්බවේ.

    ඇසිය යුතු ප්‍රශ්න තෝරාගන්නටත්
    යම්කිසි විශේෂ මානසිකත්වයක්
    තිබිය යුතුයි..

    යුරේකා කියමින් දුවපු
    ආකිමිඩීස්ගෙ නිරුවත ප්‍රශ්න කරන කෙනෙක්
    විශිෂ්ඨ ගුරුත්වය ගැන හොයන කෙනෙක් නොවෙයි..
    ඔහුට ඒ මට්ටමේ මනසක් නෑ.

    ඔබ ප්‍රශ්නයක් අහන කොට
    ඔබ අහන කෙනාගේ මානසිකත්වයට වඩා
    ඔබේ මානසිකත්වය ප්‍රකට වෙනවා.

    නැතිවුණ ඉඳිකටුව සොයාගන්නට අවශ්‍ය නම්..
    ඔබට පෙනෙන තැන්වල නොසොයා
    සැබැවින්ම ඉඳිකටුව නැතිවී තිබෙන තැන
    ඉඳිකටුව සොයන්න..

    ආගමික නොවන්නට හේතු සොයන කෙනෙකුට
    ආගමික වීමට හේතු සොයාගන්න බෑ..

    තට්ටුකරන්නාට දොර ඇරේ.
    සොයන්නාට සම්බවේ.

    ඔබ තට්ටු කරන දොර
    ඔබට ඇරේවි..
    ඔබ සොයන දේ ඔබට ලැබෙයි..

    ක්‍රිස්තුන් වහන්සේ කන්ද උඩ දේශනාවෙදි
    "විනිශ්චය නොවනු සඳහා
    විනිශ්චය නොකරන්න"
    කියලා කියන්නෙ
    සතර සතිපට්ඨානයෙ
    විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
    =පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    මෙහෙම ඉන්න කෙනෙක් තමන් දකින දේ
    විනිශ්චය කරන්නෙ නෑ...
    කියන අර්ථයෙන්..

    ක්‍රිස්තුන් වහන්සේ කියනවා
    "පරෙවියෙක් වගේ අහිංසකව
    සර්පයෙක් වගේ කල්පනාවෙන් ඉන්න"
    බුදුන් වහන්සේ කියන්නෙ
    ආතාපී සම්‌පජානො සතිමා විහරති
    =වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්, වෙසෙන්න
    විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
    =පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව

    මම මෙහෙම කිව්වාම
    මේ ගැන ප්‍රශ්න කරන්න
    ඔබට හිතෙන්නෙ නැත්නම්
    ඒක ඔබේ මානසික අඩුවක්..
    ඔබ දන්නවා
    ඔබේ පටු මනසට මෙවැනි දේ
    ගෝචර නොවෙන බව.

    ඔබ තෝරාගන්නෙ
    අර වයසක ආගමිකයන් විසින්
    ඔවුන්ගෙ පටු මනසින් අදහන
    දෙවියන් හාස්කම් පෙළහර වැනි
    පුංචි සරල අභව්‍ය මාතෘකා.

    ඔබ ඉන්න තැන සකස් කරගන්න.
    පොත්ත්තෙ පැඟිරි රස අත් හැරලා
    දොඩම් රස හොයන්න..
    ========================================================= 

     

    අපි අපිට ආර්ටිස්ට්ලා කියල දාගත්තට
    බලන අය තමයි තීරණය කරන්නෙ..
    ඔවුන් අපි ආර්ටිස්ට්ලා විදියට
    පිළිගත්තෙ නැත්නම්
    ඒ පදය බොරුවක් වෙනවා.
    අනික් අයයි අපිව ආර්ටිස්ට් කියලා
    හැඳින් විය යුත්තෙ..

    අපි කළයුත්තෙ අපිට පුලුවන් විදියට
    චිත්‍ර ඇඳලා ප්‍රදර්ශනය කිරීමයි..
    ඒ චිත්‍ර අගය කරන අය
    ආර්ටිස්ට් කෙනෙක් කියලා පිළිගනීවි.

    මාව ආර්ටිස්ට් කෙනෙක් කියල කියනවාට වඩා
    මේ තියෙන්නෙ අතුල ඇඳපු චිත්‍රයක්..
    කියල මාව හඳුන්වා දෙනවට
    මම කැමතියි.

    බලන අය අතරෙ
    මාව ආර්ටිස්ට් කෙනෙක් විදියට
    පිළිගන්න කෙනෙක් ඉන්න පුලුවන්..
    අනික් අයට මාව ආර්ටිස්ට් කෙනෙක් කිව්වට
    දැනෙන්නෙ නෑ.

    වෘත්තිය වශයෙන් කරන කාලෙක
    ඒ කරන දේ දාන එක සාමාන්‍ය දෙයක්.
    ඒ හැරෙන්න
    ආර්ටිස්ට් කියල දාන එක
    ඕන කෙනෙකුට කරන්න පුලුවන් දෙයක්..

    අඳින්න ඕන කියල හිතුවොත්
    කතා කරනවා වගේ...
    ඕන කෙනෙකුට චිත්‍ර අඳින්න පුලුවන්..

    චිත්‍ර අඳින කෙනෙක් වීම
    විශේෂයක් නෙවෙයි..
    චිත්‍ර අඳින කෙනෙක්
    අඳින චිත්‍ර අතර නම්
    විශේෂ චිත්‍ර තියෙන්න පුලුවන්..

    ඩා වින්චිගෙ පවා
    හැම චිත්‍රයක්ම ප්‍රසිද්ධ නෑ.
    මොනා ලිසා ඔහුට වඩා ප්‍රසිද්ධයි..
    විය යුතුත් ඒකයි..

    ආර්ටිස්ට් කෙනෙක් සහ ඔහුගෙ පින්සල
    කැන්වසය අතර ලොකු වෙනසක් නෑ.
    ඔහුත් ඒ සියල්ලමත් එකතු වෙලා
    නිර්මාණය කරන චිත්‍රයයි
    ඔහු ආර්ටිස්ට් කෙනෙක් කරන්නෙ..

    දරුවා විසින් ගැහැණියක්
    මවක් බවට පත් කරනවා වගේ
    චිත්‍රයක් විසින්
    චිත්‍ර ශිල්පියෙක් බිහි කරනවා..
=========================================================
Kavindu Pathirana
[[[[ ෆැන්ටසිය මෙහෙම නම් රියලිටිය කොහොමද ඇත්ද ]]]]


රියලිටිය විඳින්න තියන ලොකුම ප්‍රශ්නය
"ෆැන්ටසිය මෙහෙම නම් රියලිටිය කොහොමද ඇත්ද"
කියා සිතන සිතුවිල්ලම තමයි..

පූර්ව නිගමන ඇතුව
කන්න ගියොත්...
යෝගට් එකක්වත් කාල
සතුටු වෙන්න බැහැ..
සතුන් නොවිඳිනා දුක්
මිනිසුන් විඳින්නෙ
කායික අත්දැකීම
මනසින් විඳින්න උත්සාහ කිරීමෙන්
හිතේ හැදෙන රූප
සැබෑ අත්දැකීම සමග ගැටෙන නිසයි..
සැබෑ අත්දැකීම
ඔහුගෙ චිත්ත රූපයට වඩා
හැම අතින්ම හොඳ වුණත්
ඔහු අතෘප්තිමත්..
ඔහුගෙ බලාපොරොත්තුව සුන් වුණ නිසා..

====================================================
Bhakthi Ariyapala‎-
[[[ඔබත් ජාතිවාදයට විරුද්ධ ද?]]]
-
මම ජාතිවාදයට හෝ
ජාතිවාදියාට විරුද්ධ නෑ..
ඒ ඔවුන් ජීවත් වෙන විදිය..
ඔවුන්ගෙ මනස ඔවුන් මෙහෙයවන දිසාව..
ඔවුන් ඒ හැඟීම් වල වහලුන්..
මම විරුද්ධ වුණා කියල
අපි අතර ගැටීමක් විනා
වෙනත් වෙනසක් වෙන්නෙ නැහැ..

ඒත්
ජාතිවාදියා කියන්නෙ
ඇසුරට නුසුදුසු සේවනයට නුසුදුසු
බාලයෙක් විදියට
මම ඔහු බැහැර කරනවා.
ඔහු ජාතිවාදය නිසා විඳින දුක
බෙදාගන්නට මට අවශ්‍ය නෑ.

ඔවුන් මා දිහා බලන්නෙත්
වැරදිකරුවෙක් විදියට.
මේ නිසා
මම කලින් මිතුරන් ලෙස සැලකූ
බොහෝ දෙනෙක් ඈත්වුණා.

ඒත්
මම බලන්න වෑයම් කරන්නෙ
බුදුන් වහන්සේ
මිනිසුන් දෙස බැලූ කෝණයෙන්..
ශීලය ඇති නැති බව
සමාධිය ඇති නැති බව
ප්‍රඥාව ඇති නැති බව හැර
මිනිසා මනින්නට
වෙනත් නිවැරදි මිම්මක් නෑ.

================================================
බුදු දහම නිවන දක්වාම
භෞතික මට්ටමෙන්
විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකියි..
ඒත් ඒ සඳහා
අංග විකල විද්‍යානුකූල ක්‍රමවලින්
ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ..

බුදු දහමට අනුවම
ආනාපාන සතිය,
ඉරියව් ගැන සිහිය පැවැත්වීම ආදී
කායික මට්ටමේ ක්‍රියාකාරකම්වලින් පටන් අරන්
ඉදිරියට යායුතුයි.

තත්පරයකට දෙකකට වඩා
හුස්ම ගැන සිහිය පවත්වන්න බැරි නම්
තමන් මේ වෙලාවෙ ඉන්න ඉරියව්ව ගැන
සිහිය පවත්වන්න බැරි නම්
මනස වගේ සියුම් දෙයක් ගැන
සිහිය පවත්වන්නෙ කොහොමද?

======================================================

Priyantha Abe
[[[ ආගමිකයන් යනු පෙර කල තිරිසනකු හෝ අමනුෂ්‍යයන් වේ.]]]

නැහැ Priyantha...
ඔවුන් තුළ මේ මොහොතේත්
තිරිසනකු හෝ අමනුෂ්‍යයෙකු ඉන්නවා.
ඔහු එය පිළිගන්නවා.
ඔහු ඒ තත්වයෙන්
මිදිය යුතු බව පිළිගන්නවා.
මිදිය හැකි බව පිළිගන්නවා.
ඒ සඳහා
ඔහු තමා අදහන දහම
උපයෝගී කරගන්නවා.
නිවැරදිව දහම
උපයෝගී කරගන්න අය
ඒ තත්වයෙන් මිදෙමින් යනවා.
අන් අය අවස්ථාවක් එළඹුණාම
තිරිසනකු හෝ අමනුෂ්‍යයෙකු මෙන්
ආවෙගශීලීව හැසිරෙනවා.

තිරිසනකු හෝ අමනුෂ්‍යයෙකු මෙන්
ආවෙගශීලීව හැසිරෙන අවස්ථාවට
ආගමික හා නිරාගමික දෙන්නම එකයි.

ඒ අනිවාර්ය තිරිසන් කමෙන්
සහ අනිවාර්ය අමනුස්ස කමෙන්
මිදෙන්න තියන අවශ්‍යතාවය සහ
මිදෙන්න ගන්න මාර්ගය අනුවයි
ආගමිකයා නිරාගමිකයාට වඩා
මිනිසත් බවට සමීප වෙන්නෙ..

============================================================

  • Priyantha Abe
    [[[[[ අපි හිතනවා කියන ක්‍රියාවළියට මුල් වන්නෙ 
    මොළය නොවන බව පෙන්විය හැකියි. 
    ඒ තුල ශරීරයට අමතරව තව කොටසක් ඇති බවත් ඒක අප දන්න ද්‍රව්‍ය වලින් වෙනස් බවත් ඒකෙන් ගත හැකි ප්‍රතිචාර වලින් පෙන්විය හැකියි. ශාරීරික හැසිරීම තුල මෙම කොටසේ සැකසුමත් ක්‍රියා කරන ආකාරයත් කියනවා. මෙහිදී නොපෙනෙන දෙයක් ක්‍රියාකරන ආකාරය බාහිරව පෙනෙන කොටසේ හැසිරීම අධ්‍යයනයෙන් නිර්ණය කරන්න ඕන.

    හිත තියෙන කොටස ශරීරය ගොඩ නගා ක්‍රියාකරවන බව පෙන්විය හැකියි. ඒ වගේම එය නොමැරෙන බවත්, බිහිවීම කියන්නෙ මෙය විසින් නැවත නැවත ශරීරයක් බිහි කිරීම බවත් පෙන්විය හැකියි. හිතේ සැබෑ ස්වරූපයක් තියෙනවා. සරලව කියනවා නම් ශරීරය කියන්නේ අප වටා ඇති ද්‍රව්‍ය වලින් හැදුනු දෙයක් වුනා වගේ, හිතන කොටස වෙනත් ආකාරයක ද්‍රව්‍ය වලින් හැදුනු දෙයක් බව පෙන්විය හැකියි.

    ගතේ වෙනස් කම් නිසා අපි එකිනෙකා ගෙන් වෙන් ව හඳුනාගන්න පරිදි ම හිතට ආවේණික වෙනස් කම් නිසා නැවත උපදින කෙනෙකුගේ පෙර ජීවිතය ඔහු හිතන විදිය හා ඒ නිසා දක්වන හැසිරීමෙන් හඳුනා ගන්න පුළුවන්.

    මෙම විමසීමෙ ක්‍රමය යොදා නැවත උපත ඇති නැති බව බැලුවම, ඉහත කී තොරතුරු හා නැවත උපත තහවුරු වුනා.]]]]
    ==============================================

  • ප්‍රියන්තගෙ මේ නිවැරදි විග්‍රහය අනුව...
    හිතන්න භාවිතා වෙන කොටසට
    ඔය කියන ස්වභාවයන් තියනවා.
    ඒ කොටසට බුදුන් වහන්සේ කියන්නෙ
    විඥාණය කියලයි..
    අපි විඳින අත්දැකීම් වලින් කොටසක්
    අපි හොඳ නරක වශයෙන්
    වර්ගකරනවා.
    අපි ඒ දේවල් දකින්නෙ අපිට සාපේක්ෂව.
    ඒ දැනුම විඥාණයෙ රැස් වෙන්නෙ
    රාග ද්වේශ මෝහ කෙලෙස් විදියටයි..
    අපි කැමති අකැමති දේ වර්ග කරන විට
    අනික් දේවල් නොදන්න දෙවල විදියට
    මෝහය ලෙස තැන්පත් වෙනවා.
    ඔබ කියන කොටස නිර්මාණය වෙන්නෙ
    මේ රාග ද්වේශ හා මෝහ
    සංස්කාර නිසයි..
    අපි හිතනවා කියන්නෙ
    අපි විඳින දේ මේ කොටසෙ තියන
    පැරණි තොරතුරුවලට අනුව
    නැවත වර්ග කිරීමයි.
    රස නැති කෑමක් ලෙස වර්ග කළ
    අපි අකැමති කෑමක් දකින කොටම
    අපඉට එපා කියල හිතෙන්නෙ ඒ නිසයි.
    බලෙන් වගේ කන්න වෙලා එදාට රහ වැටුණොත්...
    තුන් වෙනි දවසෙදි
    නැවත රහ බලන්න කියලා
    ඔහුගෙ විඥාණය ඔහුට බල කරනවා.
    ඒ වෙලාවට අපි කියන්නෙ...
    " කලින් දවසෙ
    මම හිතපු විදිය වැර්දුණ නිසා
    අදත් රහ බලන්න ඕන" කියලයි.
    විඥාණය ක්‍රියාත්මක වීම..
    අපි හිතනවා කියල
    අපි හිතනවා.

    හිත මේ විදියට හිතද්දි..
    විඥාණය කිරියාත්මක වෙද්දි
    ඒ ක්‍රියාවලිය සිදු වෙන අතරෙම
    හිත කෙලෙස් වලින් පිරිසිදු කිරීමෙන්
    අපි හිතන දේ පිරිසිදු කරගන්න පුලුවන්.
    බුදු දහමෙ මූලිකම අරමුණ එයයි..
=====================================================

Shane Mahendra Priyawickrama‎
පෝය දවසට පිං දහම් කරන්ඩ කියන එකෙ විද්‍යාත්මක හේතුව මොකක්ද?


පෝය දවසට පිස්සු වැඩි වෙනවනෙ..
පෝයට මනසේ ක්‍රියාකාරිත්වය වැඩි ඇති..

පෝය දවසට පවෙන් වළකින්න
කියල විශේෂයෙන්ම දක්වන්නත්
එදිනෙදා වැඩ කටයුතු නොකර
පින්දහම්වල යෙදෙන්න කියන්නත්
එයම හේතු වෙන්න පුලුවන්..

කාමය, කෝපය, භය ආදී
මිනිසාට තියන පිස්සු
ස්වාභාවිකයි කියල හිතන අය හැර
මිනිසාට තියන පිස්සු හොඳ කළ හැකි
හොඳ කළයුතු දෙයක් කියල හිතන අයට
ඒ පිස්සු වලින් මිදෙන්න තියන
ශීලයත්, සමාධියත් ප්‍රඥාවත් වඩන්න
හොඳම දවස පෝය දවස වෙන්න පුලුවන්..

==========================================

Nadeesha Nimalka
 [[[ ඊලඟට ඔය චිත්ත ශක්තියේ හොඳ නරක ගබඩා වීම සහ ඒවාට නැවත භවයක රිටර්න් එක ලැබීම අතර ලොකු ගැප් එකක් තියනවා නේද ]]]

නැහැ නදීෂ.. ගැප් එකක් නෑ..

ඉධ තප්පති පෙච්ච තප්පති..
වරද කරන මොහොතෙ ඉඳලා
ඔහුගෙ දූෂිත වීමෙ බර ඔහුට තියනවා.
රෙද්දක් අඳින කෙනෙක්
නොසෝදා දිගටම ඇන්දොත්
දවසෙන් දෙකෙන් ගඳ ගහන්නෙ නෑ..
ඒත් ඇඳපු මොහොතෙ පටන්
කිළිටි වෙනවා... දූෂිත වෙනවා.
ළදරුවෙක් වැඩිහිටියෙක් වෙද්දි
කොතරම් දූෂිත වෙනවාද?
ඔහු අද කරන පව්කම් ඔහුගෙ ළමා කාලෙදි
ඔහුම දුටුවොත් ඇඟ හිරිවැටෙයි..

ඒ දූෂිත හිත
වයසට යද්දි ඔහු රෝගියෙක් කරනවා.
අංශභාගය හැදෙන්න පුලුවන්..
හෘදයාබාධ හැදෙන්න පුලුවන්..
කය නිරෝගීව තිය්ද්දි
සිහිය නැතිවෙන්න පුලුවන්..

සර්විස් නොකරන වාහනයක් වගේ
ඇතුළතින් කුණ බහිනවා.
කම්ම නියාමයට අනුව
කර්ම ඵලදීම වෙනම සිදු වෙනවා.
ධම්ම නියාමයට චිත්ත නියාමයට අනුව
ඔහුගෙ කායික මානසික පිරිහීම
වෙනම සිදු වෙනවා.
මේ පදනම
ඔහුගෙ ඊළඟ ජීවිතයට
බීජ නියාමය වෙනවා.
=====================================================

Nadeesha Nimalka [[[ මෙහ් අපි ඔය මඳපමනින් ගන්න ජාති වල එතනෝල් තියනවනෙ. C2 H6 O දැන් ඔය එතනෝල් අණුවක් ශරීරගත වීම පව් පින් වගේ අභෞතික කන්සෙප්ට් එකකට සම්බන්ධ වෙන්නෙ කොහොමද? ]]]
===========================================
පව් පින් වගේ අභෞතික කන්සෙප්ට්
අමතක කරලා දාලා
ප්‍රායෝගික භෞතික සංසිද්ධි ගනිමු... Nadeesha..

මත්පැනෙන් සිද්ධ වෙන මූලිකම හානිය
මත්වීම තමයි..
මාරාන්තික විශ ශරීර ගත වෙද්දිත්
ශරීර ගත වෙන්නෙ මොනවා හරි
රසායනික මූලද්‍රව්‍ය ටිකක් තමයි.
ඒත් ඒ රසායනික මූලද්‍රව්‍ය වලින්
මිනිසා තුළ ඇති කරන වෙනසයි
මාරාන්තික වෙන්නෙ.

සරාගී යුවතියක්
අඩ නිරුවත් ඇඳුමකින් සැරසිලා
පාලු පාරක ගියොත්
හමු වෙන හැම කෙනෙක් අතින්ම
ඇය දූෂණය වෙන්නෙ නෑ.
බෝතලේ තියන මත්පැන් වගේ
කාමයත් හැම කෙනෙක් ටුළම තියනවා.
කාමයෙන් මත්වෙන කෙනෙක්
ඇය දූෂණය කරන්න පුළුවන්..
ඉන් පසුව අසුවෙයි කියන බියෙන්
ඇය මරා දමන්නත් පුලුවන්..
ඔහු මත්පැන් බීල හිටියා නම්
කාමයෙන් මත්වීම පහසු වෙන්නත් පුලුවන්..

මිනිස්සු ගිනිකඳු වගෙයි..
හැම ගිනිකන්දක්ම පුපුරන්නෙ නෑ.

පුපුරන්න එනකොට
තමන් දමනය කරගන්නා තැනැත්තා
සිල්වතෙක්..
ඔහුගෙ සිත අපිරිසිදු වෙන්න පුලුවන්..
ඒත් ඒ අපිරිසිදු සිත
සමාජයට හානිකර නොවෙන තැනක
පාලනයක් සහිතව තියාගැනීමෙන්
ඔහු සිල්වතෙක් වෙනවා.
 =====================================

Kus Fernando
[[[[[ ශීලය නීතියක් නොවෙයි ඒක අවබෝධයටත් එහා ගිය තත්වයක්. නිසා පංචශීලය රකින වගේ දේකින් අර්ථදැක්වීම සීමා සහිතයි.]]]]]


ඔබ කතා කරනවා ඇත්තෙ
රහතන් වහන්සේගෙ ශීලය වෙන්නැති... Kus..

පංච ශීලය බිඳෙන්නෙත් රැකෙන්නෙත්
ක්‍රියාව කිරීම හෝ නොකිරීම මත..

ශීලය කියන්නෙ
රාගයෙන් ද්වේශයෙන් ආවේගශීලී වෙන කෙනෙක්
ශීලය නොබිඳ රැක ගැනීමටයි..

ඔබ මත්පැන් හලට ගිහින්
මත්පැන් බෝතලය ගෙනත්
වීදුරුවටත් වක්කරලා
මුවටත් තියලා
නොබී ඉන්න තීරණය කළොත්
ඔබේ පස්වන ශීලය රැකෙනවා.
පළවෙනි උගුර බිව්වොත්
ඔබේ ශීලය බිඳුණා වෙනවා.

වසර ගාණක් මිනිහෙක් මරන්න
සැලසුම් කළ කෙනෙක්
මහ රෑ පාළු තැනකදී
ප්‍රතිවාදියා බිම දාගෙන
යටත් කරගෙන පිහියත් උස්සලා
ඒ මොහොතෙදි තමන් දමනය කරගෙන
පිහිය වීසි කරලා
හතුරාට යන්න දුන්නොත්
ඔහුගෙ ශීලය රැකෙනවා.
වසරක් තිස්සේ උපාදාන වුණ
චේතනාවට කර්මය සකස් වෙනවා.
ඒත් ඔහු සිල්වතෙක්. ඔහු ශීලය රැක්කා.

ශීලයෙන් බාහිර ලෝකය රැකෙනවා.
ඒත් මනස රැකෙන්නෙ නැහැ..
සිතින් විඳින දුක නිවෙන්නෙ නැහැ..

ඒ නිසයි සීලය රැකීමට එහා
සමාධිය හා ප්‍රඥාව තියෙන්නෙ.


Kus Fernando
[[[හිතත් හරියට වතු එකක ඔබපු බෝලයක් වගේ.....
මර්ධනය කරන්න කරන්න ඒකට විරුද්ධව ප්‍රථික්‍රියා දක්වනවා...]]]

ඒක තමයි සිල් බිඳගන්නෙ..
ආත්ම දමනය පහසු නෑ කුස්..
සංග්‍රාමයකින් දස ලක්ෂයක් දිනනවාට වඩා
තමන් ජය ගැනීම උතුම් කියලා
බුදුන් වහන්සේ කිව්වෙ..

 Kus Fernando
ශීලය පටන්ගන්නේ මර්ධනයෙන්නම් ඉස්ලාම් ආගමේත් කෙරෙන්නේ ඒකනේ... මේ සරළ කාරණය අතුලට තේරෙන්නේ නෑ. තමන් මනස මර්ධනය කලත් එකයි බාහිරින් කලත් ඒකයි මනසට ඒකේ වෙනසක් නෑ

.---------------------.
ඔබ දේශනා කරන්නෙ
ඔබ සොයාගත් ධර්මයක් කුස්..
ඔබ ශීලය කියන්නෙ
දඹුලුත් ගිහින්
තලගොයිත් මරන ක්‍රමයකට..

ඔබ කියන්නෙ
මම ශීලය නොරල්කින්නෙ මගේ ළඟ ශීලය නැති නිසා.
ශීලය කියන්නෙ ඇති කරගත යුතු දෙයක් කිව්වාම
ඔබට නිදහසට කරුණු නෑ.
ඔබ ඔබේම ශීලයක් හදාගන්නවා.

ඔබ බුදු දහමෙ ශීලය ගැන කතා කරන්න නම්
සිත ක්‍රියා කරන ආකාරය..
කෙලෙස් ඇති වෙන ආකාරය...
ස්පර්ශයෙන් වේදනාවත්
වේදනාවට තණ්හාවත්
තණ්හාවෙන් උපාදානයත් ඇතිවෙන ආකාරය
අත්දැකීමෙන් තේරුම් ගත යුතුයි..

ක්‍රියාවක ප්‍රතිඵලය හානිකර නම්
ඒ ක්‍රියාව නොකර සිටීම හොඳයි..
1, සිතට වහල් වෙනවා.
2, තමන් දමනය කරනවා
කියන විකල්ප දෙක විතරයි ඔබට තියෙන්නෙ..
ඔබ සිතට වහල් වෙන නිසයි
ඔබ ශීලය මර්ධනයක් විදියට දකින්නෙ.

නොමග යන සිත දමනය කරනවා
කියල බලන්න ඔබට බැරි
ඔබ සිතට වහල්වෙන්නෙ කැමැත්තෙන් නිසයි..
පව් කරන හැම කෙනෙක්ම එහෙමයි
============================================

 කුස්ට ශීලය මර්ධනයක් වෙන්න හේතුව
කුස්ගෙ කමෙන්ට් එකේ තියනවා.

අලුත් මාලු ඔබේ දිවේ ගෑවුණාම
දිවේ ඉඳලා මොළයට යන
ස්නායුවෙ ඇති වෙන වෙනසත්
පරණ මාලු ඔබේ දිවේ ගෑවුණාම
දිවේ ඉඳලා මොළයට යන
ස්නායුවෙ ඇති වෙන වෙනසත් සසඳලා
අලුත් මාලුවලින් එන උත්තේජනය
කුස් තෝරාගන්නවා.

ඔබ රසය කියලා විඳින්නෙ
ඒ ස්නායු උත්තේජනයයි..
ඒ උත්තේජනය සඳහා
තව කෙනෙකුගෙ මුළු ජීවිතයම අහිමිවීම
ඔබට නොපෙනෙන නිසා
ඔබට ඒ ජීවිතය දෙස
උපහාසයෙන් බලන්න පුලුවන්..

ඔබට ජීවිතයෙ වටිනාකම වැටහෙන්නෙ
ඔබේ හෝ ඔබට සමීප කෙනෙකුගෙ
ජීවිතයකට තර්ජනයක් එල්ල වුණාමයි..
එදාට ඒ තර්ජනය එල්ල කරන කෙනා
මේ විදියටම උපහාසයෙන් බලන්න පුලුවන්..

ඔබ මේ මාලුවාට සිනා වෙන්නෙ
ඔබේ සෙවනැල්ලෙන් වැහිලා
ඔබට ඌ නොපෙනෙන නිසා.
ඔබ ජීවිතයෙ මොන දේ වින්දත්
ඔබ විඳින දේ මත
ඔය අඳුර පවතිනවා.


==================================================

ශීලයෙ පදනම
පිරිසිදු බව නොවෙයි..
හිතේ කෙලෙස් තියෙන
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..


කෙලෙස් කියන්නෙ
රාගය ද්වේශය හා මෝහය..
සතුන් මැරීමෙදි ද්වේශය...
සොරකමේදි රාගය ආදී වශයෙන්...
ඔහු ක්‍රියාව කරන්න පොළඹවන්නෙ කෙලෙස් මගින්..
හිතේ කෙලෙස් තියෙද්දි
ක්‍රියාව නොකර හිත හසුරුවා ගන්න
ආත්ම දමනයක් ඇත්තාට පුලුවන්..

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.


මෙහි බුදුන් වහන්ස අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි
ශීලයෙදි කෙලෙස් ඇති වෙනවා..
කයින් ක්‍රියාව කරන්නෙ නෑ.
ක්‍රියාව කළොත් ශීලය බිඳෙනවා.

සමාධියෙදි කෙලෙස් යටපත් කරනවා.
කෙලෙස් යටපත් වීමෙන් ශීලය රැකෙනවා.

ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.
අත්තානං දමයන්ති පණ්ඩිතා.
බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..

පිරිසිදු වෙන්නට හැකියාව ලැබෙන්නේ
ආත්ම දමනය ඇත්තාට පමණයි.

=================================================

කර්ම පල දෙනවා. ඔබ දන්නෙ නෑ..
ඔබ දුක් විඳිනවා පමණයි..ඔබ දන්නෙ

පව් කරන කෙනා
ඒ මොහොතෙත් දැවෙනවා.
පසුවත් දැවෙනවා.
ඔබ පවක් කරන වෙලාවට
ඔබේ සිතත් කයත් පවතින
අසහනකාරී තත්වය බලන්න..
ඔබ ඒ මොහොතෙ දැවෙන අයුරු
ඔබටම දකින්න පුලුවන්..
පසුවත් දැවෙන අයුරුත්
තමන් ගැන සිහියෙන් හිටියොත්
දකින්න පුලුවන්..

කර්ම පල දෙනවා.
ඔබ දන්නෙ නෑ..
දුක් විඳිනවා පමණයි..ඔබ දන්නෙ

හොඳ කර්මයක් කළොත්
සුවයත් ඒ වගේමයි..

===============================================සංවේදී පුද්ගලයෙකුට
ඔහුගෙ සංවේදී බව රැකගන්න නම්
ආගමක් අවශ්‍යයි..

ආගමකින් කරන්නෙ
සංවේදී පුද්ගලයෙකුට
ඔහුගෙ සංවේදී බවත් රැකගෙන
ඒ සංවේදී බව ඔහුට හෝ
ඔහු වෙසෙන සමාජයට හෝ
හානියක් නොවෙන විදියට
සීමා කරගෙන
සැනසිල්ලෙ ජීවත් වෙන්නට
සුදුසු මානසිකත්වයක්
ඔහු තුළ නිර්මාණය කිරීමයි.

නිරාගමිකව ජීවත් වෙන කෙනෙකුට
විකල්ප තුනයි තියෙන්නෙ.

1, හැඟීම් වලට ආවේගවලට වහල්වෙලා
පව්කාරයෙක්, අපරාධකරුවෙක් වීම

2, හැඟීම්, ආවේග ඇති නොවෙන විදියට
තර්ක බුද්ධියෙන් ලෝකය දකිමින්
සංවේදී බව නෂ්ඨ කරගෙන
පින් පව් මනස්ගාත විදියට දකිමින්
මෝහයෙන් වැසුණ හිතකින් යුතුව
නරුම ජීවිතයක් ගත කිරීම.

3, හැඟීම්, ආවේග ඇති වෙන විට
හිතට වහල් වී පව් කරමින්,
ඒ පව්කාරකම නිසා ප්‍රශ්න එනවිට
ප්‍රශ්න වලට මුහුණ නොදී
මත්පැනෙන් හෝ වෙනත් ක්‍රමයකින්
ප්‍රශ්නවලින් පලා යමින්
ඉහත කී අන්ත දෙක අතර දෝලනය වෙමින්..
ජීවත් වීම

සංවේදී පුද්ගලයෙකුට
ඔහුගෙ සංවේදී බව රැකගන්න නම්
ආගමක් අවශ්‍යයි..

http://sansaranee.blogspot.com/2015/05/blog-post_8.html

======================================================



Ajitha Edirisinghe [[[ ආගමෙන් බිහිවෙන හොඳමිනිස්සුන්ට වඩා මිනීමරුවන් වැඩිය්. හොඳ මිනිස්සුත් ආගමේනාමෙන් මිනීමරුවන්ව සාධාරණිකරණය කරනවා. පුද්ගල කෝන්තර ඇරුනාම ලෝකේසියලුමඝාතන ආගම් නිසා සිදුවූඒවා. ආගම පැතිරවීමට ආගම ආරක්ෂාකරගිනිමට යන කරුණුදෙකම මිනිමැරුම් සාධාරණය කරනහේතු. පව්පින් කියන මනස්ගාත මවාගැනීමට ආගම ඕන උනාට හොඳනරක දැනගන්න ආගම් ඕන නැහැ. ]]]]
----------------------------------------
--------------
ආගම පිහියක් වගෙයි..
ආගම නිර්මාණය වෙන්නෙ
මිනිසාට යහපතක් සලසන්නයි..
වෛද්‍යවරයා සැතකින් ශල්‍යකර්මයක් කරලා
ජීවිතයක් බේරගන්නවා.
ඒ සැතම මෝඩ, ද්වේශයෙන් පිරුණ
තිරිසන් මිනිසෙකුට අහුවුණාම
ඔහු ජීවිතයක් නැති කරනවා.
විද්‍යවරයාගෙ කාර්යයෙ වටිනාකම දකින
කරුණාවන්ත සිත් ඇති අය
සැත දිහා බලන්නෙ ගෞරවයෙන්.
පව්පින් මනස්ගාත විදියට දකින
ද්වේශයෙන් පිරුණ සිත් ඇති අය
ඒ සැතම දකින්නෙ මිනීමරු අවියක් ලෙසයි..

ආගමක් කියන්නෙ පුද්ගලයෙක් නොවෙයි..
පුද්ගලයා අතට ගන්න අවියක්..

කාරුණික යහපත් සිත් ඇති
ධාර්මිකයන් අතට ගන්නා ආගම
යහපත් දෙයක් විදියට දකිනවා.
යහපත් ලෙස පරිහරණය කරනවා.
කාමයෙන් ද්වේශයෙන් දූෂිත සිත් ඇති
අධාර්මිකයන් අතට පත්වන ආගම
අයහපත් දෙයක් විදියට පෙනෙනවා.
අයහපත් දෙයක් ලෙස පරිහරණය කෙරෙනවා.

ඔබ අධාර්මික නම්
ආගම අධාර්මික දෙයක් විදියටයි
ඔබ දකින්නෙ.

ඒ වැරදි වැටහීමෙන් මිදෙන්න තියන
එකම මග
ඔබ ධාර්මික වීමයි..

http://sansaranee.blogspot.com/2015/05/blog-post_8.html
=======================================================
ප්‍රත්‍යක්ෂය නැතිව
හිතලු ගොඩනගන තර්ක බුද්ධිය
පල්ල නැති බාල්දියක්.
බුදුන් වහන්සේගෙ දේශනා
විමර්ශනය නොකර
අදහන අය විවේචනය කිරීමෙන්
කාටවත් වැඩක් වෙන්නෙ නෑ.

තමන්ගේම දෙපයින්
ඇවිදින්න කියල දෙන බුදු දහම
අංග විකලයන් කිහිලිකරුවක් කරගන්නවා.
කිහිලිකරුවට පහර ගැහීමෙන්
ඔවුන් ඒ විදියට යන දුරත්
ඔවුන්ට අහිමි වෙනවා.
===============================================
 ඇස් නැති හැම කෙනෙක්ම අන්ධයන්ය.
එහෙත් අන්ධයන් සියල්ලෝම
ඇස් නැත්තන් නොවෙති.
අන්ධයෙක් නොවන
ඇස් වසාගෙන සිටින්නාද
ලොව බලන්නේ අන්ධයෙක් මෙනි.
ඔහු අන්ධයාටත් අන්තය.

අන්ධයන්ට අඳුර උපන්ගෙයි උරුමයක්.
ඇස් ඇති අය ඇස් හැර බැලිය යුතුයි..
=============================
“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග
සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල
--------------------------------------------------------
බන්දුසීල වැන්නවුන්ට මග වරදින්නේ
කයෙන් මිදී මනසට කොටුවීම නිසයි.
පුද්ගලයෙක් සම්පූර්ණ වන්නට නම්
ඔහු කයත් මනසත් දෙකම
අවදි කරගෙන දෙකම ජයගත යුතුයි.

මනසට කොටුවී කය නිද්‍රාවට පත්වූ කෙනෙකුට
ආගමක් අවශ්‍ය නෑ.
ආගම අවශ්‍ය වන්නේ
රාගයෙන් ද්වේශයෙන් සජීවී කයට
මනස වහල්වීමේ අවදානමට
මුහුණ දීමටයි..
ආගම දහමෙන් නිසි ප්‍රයෝජන ලැබන්නේ
සංවේදෙ, සජීවී, ක්‍රියාශීලී සහ
නිර්මාණශීලී පුද්ගලයන්ටයි.
කය නිද්‍රාවට පත්වුණ
මනස දෘෂ්ඨිවලින් දුර්වර්ණවූ
නරුම ජීවිත ආගමික වුණත්
නිරාගමික වුණත් ගැලවීමක් නෑ.

තර්කයෙන්, බුද්ධියෙන් මනසට කොටුවී
කය පිළිබඳව මෝහයෙන් පසුවෙන
නරුම ජීවිතවලට
ආගම අවශ්‍ය නෑ.
ඔවුන්ගේ අධ්‍යාත්මය නිද්‍රෝපගතයි..
====================================
චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය සහ
සතර සතිපට්ඨානය සොයාගත්තේ
බුදුන් වහන්සේයි..

බුදු දහම සත්‍යද කියා සොයන කෙනෙක්
සැබැවින්ම විමර්ශනය කළයුත්තේ
චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය සහ
සතර සතිපට්ඨානය යි.

වෙනත් කොටස් අරන් විමසන අයගෙ පරමාර්ථය
සත්‍ය විමසීම නොවෙයි..
බුදු දහම හෙළා දැකීමයි.

චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය සහ
සතර සතිපට්ඨානය විමසන
යහපත් නිරෝගී මනසක් ඇති ඕනම කෙනෙක්
බුදුන් වහන්සේගේ අනුගාමිකයෙක් වීම නිසැකයි.
=================================================

Lahiru Prasanga
[[[  කෙනෙකු ආගමික වීම හෝ නිරාගමික වීම 
මරණින් මතු නෑවත උපත හා සම්භන්ද දෙයක් නේද? ]]]
බුදු දහම කියන්නෙ
මේ මොහොතට අදාළ දෙයක්..
ඔබේ සිහිය
මොහොතින් මොහොත දුර්වල වෙනවා.
ඔබ බොහෝ දේ දකින්නෙ සිහියෙන් නොවෙයි..
බුද්ධියෙන්..
බොහෝ අත්දැකීම් ඔබට වචන පමණයි.
ආදරය, කරුණාව, හිත මිතුරුකම් ආදිය
ඔබට වචන විතරයි..
අත්දැකීම් නොවෙයි..
වචන මාත්‍රයෙන් අවබෝද කරගන්න
බුද්ධිඋය තිබුණාම ඇති..
අත්දැකීමක් විඳින්න සිහිය අවශ්‍යයි..

ඔබේ සිහිය මේ මොහොතට වඩා
ඊළඟ මොහොතෙ අඩු වෙනවා.
ඔබ වයසට යනතුරු ජීවත්වුණොත්
ඔබේ සිහිය නැත්තටම නැතිවෙලා
ඔබ නොදැනුවත්ව
කය සැරි සරන්න පුලුවන්..
එවැනි චරිත ඔබේ නිවෙස්වලම ඇති.

අන් සියල්ලටම කලින්
බුද් දහමෙන් කරන්නෙ
සිහිය රැක දීමයි..
සිහිය දියුණු කිරීමයි..
===================================

බටහිර නිරාගමික සමාජවල
සිරගෙවල් හිස්වෙලා තියෙන්නෙ
ඒ මිනිසුන් සිල්වතුන් නිසා නොවෙයි.
ඔවුන් වැරදි නොකරන නිසයි.

වැරදි නොකළ පමණින්
සිල්වතෙක් වෙන්නෙ නෑ.

සිල්වතෙක් කියන්නෙ
වැරදි කරන්න හිතෙද්දි
හිත දමනය කරගෙන ඉන්න කෙනෙකුට..
ඔහුට එහෙම කරන්න
දහමක මග පෙන්වීමක් අවශ්‍යයි..

නිරාගමිකයන්ට දහමක් නෑ.
නිරාගමිකයන් රකින විනයක් නෑ.
ඔවුන් වැරදි නොකරන්නෙ
අවස්ථාව එළඹුණේ නැති නිසයි..

ඇස් පෙනෙන සාමාන්‍ය මිනිහෙකුට
හොරකම් කරන්න හිතෙන තැනක...
අන්ධයෙක් හොරකම් නොකරන්නෙ
ඔහුගෙ සිල්වත්කම නිසා නොවෙයි..

ඇස් පෙනෙන සාමාන්‍ය මිනිසා
හොරකම් නොකරන්නෙ
ඔහුගෙ සිල්වත්කම නිසයි.
වැරදි කරන්න හිතෙද්දි
හිත දමනය කරගෙන ඉන්න නිසයි.
ඔහුට සිරගෙවල් තිබුණත් නැතත්
ප්‍රශ්නයක් නෑ.

අන්ධයා හොරකම් නොකළාට
යම් වෙලාවක හොරකම් කරන්න
අවකාශ තියනවා..
ඔහුට ආත්ම දමනය නුහුරු නිසා
හැඟීම් දැණුන වෙලාවට
හැඟීමට යටත් වෙනවා.

ආත්ම දමනය පිරිහිලා
සිල් බිඳගන්න ආගමිකයන් වගේම
හැම නිරාගමිකයෙක්ම
හැඟීම් දැණුන වෙලාවට
හැඟීමට යටත් වෙනබව
අත්දැකීමන් දන්නවා.

වරදක් කළා කියලා
හිත පෙළෙන වෙලාවට
මම නිරාගමිකයි..
මට පුනර්භවයක් නෑ..
මම කර්ම පළදෙන්නෙ නෑ කියල
නිරාගමිකයා හිත හදාගන්නවා ඇති.

ඒත්
ආගමිකයා අත පෙව්වොත්
ඔහු දවන ගින්න
ඒ අයුරින්ම නිරාගමිකයාත් දවනවා.

කෝපයට පත්වුණාම
ඒ දුක විඳින්නා
ආගමිකද නිරාගමිකද කියලා
සොබා දහමට වෙනසක් නෑ.

ඔහුගෙ දුකට හේතුවෙන
ජෛව රසායනික සියල්ලමත්
එයින් ලැබෙන ප්‍රතිවිපාකත
දෙදෙනාටම එකම අයුරින් ලබා දෙනවා.

ඒ දුකෙන් කම්පා නොවී ඉන්නට
නිරාගමිකයාට හැකි වුණොත්
ඔහු උපයෝගී කරගන්නෙ
ආගමිකයාගෙ ක්‍රමවේද
දෙකෙන් එකක්ම තමයි..

=================================================

අනත්ත කියන්නෙ
"මම නෑ' කියන එකයි.
මම මේ කරන දේ
මීට කලින් මොහොත හේතුව වූ
ප්‍රතිඵලයක්..
මම කරනවා කියලා දැක්කට
මම මේ දකින්නෙ සිදුවෙන දෙයක්..

අනත්ත කියන්න
මම කියා කෙනෙක් නෑ කියන සත්‍යයයි.

ඔබ කරනවා කියන්නෙ
මේ මොහොතෙ ඔබට දැනෙන දේට
ප්‍රතිචාර වශයෙන්
ඔබ තුළ ඉබේට සිදුවෙන
ස්වයංක්‍රීය ක්‍රියාවලියකට..

හුස්ම ගැනීම මෙන්
ඔබ තුළ ඉබේට සිදුවෙන
ස්වයංක්‍රීය ක්‍රියාවලිය ඔබ නොවෙයි..
ඔබට එය නතර කරන්න බැහැ.

ඔබ කරන සියලු දේ නතර කරන්නට
දැඩිව අධිෂ්ඨාන කරගන්න.
සියල්ල නතර කරන්න..
ඉන් පස්සෙ සිදු වෙන දේ
ඔබ කරන දේ නොවෙයි..
ඒත් කිසිවක් නතර වන්නේ නැහැ..
ඔබේ සිත වැඩ කරනවා.
ඔබේ ඉරියව් වෙනස් වෙනවා.
ඔබේ සිත හා කය
ක්‍රියා කරවන්නෙ ඔබ නොවෙයි..
ඔබට නතර කරන්න බැරි ඒ නිසයි..
මම කියා කෙනෙක් නෑ
මම මේ කරන දේ
මීට කලින් මොහොතෙ හේතුව වූ
ප්‍රතිඵලයක්..

අනත්ත කියන වචනය සමග
ආත්මය පටලැවීම ලොකු වරදක්..
අනත්ත කියන වචනයට
ආත්මය සම්බන්ධ නෑ.

================================================
සම්මා සතිය කියන්නෙ
සිතීමක් නොවෙයි..

මේ වෙලාවෙ වහිනවා නම්
ඔබට වැස්ස ගැන සිහියෙන් ඉන්න පුලුවන්..
සිහියෙන් ඉන්නවා නම්
ඔබට වැස්ස පෙනෙනවා.
වැස්ස වැටෙන හඬ ඇහෙනවා.
ඔබ ඉන්නෙ වැස්ස ගැන සිහියෙන්..

ඔබ වැස්ස ගැන හිතන්න පටන් ගත්තාම
වැස්ස ගැන සිහිය නෑ.
ඔබට වැස්ස ඇසට පෙනෙනවා.
ඔබ දකින්නෙ නෑ.
වැස්ස වැටෙන හඬ කණට ඇහෙනවා.
ඔබ දන්නෙ නෑ
ඔබ ඉන්නෙ වැස්ස ගැන සිහියෙන් නොවෙයි....
ඔබ වැස්ස ගැන හිතනවා.

සම්මා සතිය කියන්නෙ
මේ මොහොත තුළ
තම සිත සහ කය තුළ සිදුවෙන
සියලුම වෙනස්කම් ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
තමන්ට දැනෙන මාත්‍රය පිළිබඳව
මොහොතින් මොහොතට සිහිය පිහිටුවා ගනිමින්
අනිශ්‍රිතව විසීමයි.

=======================================================
ආගම් අදහන හෝ
අදහන බව පෙන්වන බොහෝ දෙනෙක් කරන්නෙ
තැලුම් පිළිස්සුම් තෙලක් වගේ
ආගම ආලේප කරගැනීමයි.

ආගමිකයෙක් ආගම නිසා
දවසින් දවස යහපත් අතට,
සැනසීම නිවීම ලැබෙන දිසාවට
වෙනස් වෙන්නෙ නැත්නම්
ඔහුට ආගම ආභරණයක් පමණයි..

ඔසුවක් තියන කෙනෙක්
දිනෙන් දින රෝගී වෙනවා නම්
ඔසුව ඔහුට ඔසුවක් නොවෙයි.
===============================
බුදු දහම දර්ශනයක් නොවෙයි..
දර්ශනයක් වෙන්නෙ
මනසින් විග්‍රහ කරන අයටයි..
බුදු දහම කියන්නෙ
එක දෙයක් නොවෙයි..
මේ මොහොතෙ ඉඳලා
නිවන් දකින මොහොත දක්වා
සිදුවිය හැකි දුකට අදාළ දේ
බුදු දහමෙ විස්තර වෙනවා.
නැවත උපතක් විශ්වාස නොකරන කෙනෙක් වුණත්
මේ මොහොත ගත කරන විදිය
ඊළඟ මොහොතට බලපානවා.
මේ මොහොතෙ ක්‍රෝධය ඇති වුණොත්
ඔහු තුළ සිදුවෙන ජෛව රසායනික වෙනස
මේ මොහොතෙ දුකටත්
අනාගත දුකටත් හේතු වෙනවා.
අද ඔහු ගත කරන විදිය
ඔහුගෙ රුධිර පීඩනයට,
හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයට බලපානවා.
මේ මොහොත නිවැරදිව ගත කළොත්
මේ මොහොත නිරෝගීයි..
එවැනි නිරෝගී මොහොතක් තුළ
පැරණි රෝගත් සුව වෙනවා.

බුදු දහම කියන්නෙ
මිනිසාගේ සිතත් කයත් දෙකම
සුවපත් කරන ජීවන රටාවටයි..
ඒ රටාව පිළි පදින්නෙ නැතුව
මනසින් විග්‍රහ කරන අයට
බුදු දහම දර්ශනයක්..

===========================================
බුදු දහමෙදි
කය අත්හැර ධර්මය දකින්න බැහැ.

තමන්ගෙ කයෙහි සිතෙහි වෙනස් වීම් නොදැනෙන
මෝහයට පත් වීම දුක නිවීම නොවෙයි.
බොහෝ දෙනෙක් මෝහයට පත් වීම
නිවන ලෙස අත්දකිනවා.

ඔවුන්ගෙ උපෙක්ෂාව
පදනම් වෙන්නෙ අවසිහිය මතයි.

අඳ ගොළු බිහිරි කෙනෙකුට තියන උපේක්ෂාව
අවසිහිය මත පදනම් වූ මිථ්‍යා උපේක්ෂාවක්.

උපේක්ෂාවට අභියෝගයක් නැත්නම්
ඒ මෝහයයි..
ඔහුට දැනෙන දෙයක් කයෙහි නැත්නම්
ඔහු තුල තියෙන්නෙ මෝහයයි..

රහතන් වහන්සේලා
ඉතාම සංවේදී විය යුතුයි.
කිසිදු වෙනසක් නිසා
දුක් නොවිඳින නමුත්
කයෙහි වෙනස් වීම් පිළිබඳ උපරිම සිහියත්
ඒ වෙනස් වීම් වලට උපරිම උපේක්ෂාවත් ඇති
රහතන් වහන්සේලාට පවා
කයට ගැටළු ඇති වෙනවා.
කය බිඳීම නිසා
මුගලන් රහතන් වහන්සේට
පිරිනිවන් පාන්න සිදුවුණා.

පුහුදුන් අයට
කය ඉතා ප්‍රබලව සිතට බලපානවා.
සමහර අයට සිතක් නැති තරම්
කයට වහල් වෙනවා.
සිත අපිරිසිදු බව ගැටළුවක් වුණ කෙනෙකුටත්
මෝහයට පත් වීමටත් කැමති නැත්නම්
කය අත්හැර සිත පිරිසිදු කිරීමක්
කරගන්න බැහැ.

Read more
http://vidasuna.blogspot.com/2014/10/blog-post_12.html
==================================================
 නිරාගමික රටවල්වල අපරාධ අඩුයි.
සිරගෙවල් අඩුයි.
නිරාගමික ක්‍රමය
මිනිසා නිර්වින්දනය කිරීමයි.
වැරදි නොකරන ඔවුන්
ඔවුන්ගේම මනස සිරවී ඉන්නා පිරිසක්.

නිරාගමික සමාජවල
කරුණාව දයාව වැනි හැඟීම් අඩුයි.
නිරාගමික රටවල්වල
වැඩිහිටි නිවාස වැඩියි.
දෙමාපියන් මහළුවූ පසු
රෝහලේදී මරාදැමීම් වැඩියි.
ඒ තීරණ ගන්නා දරුවන් මහළු වූ පසු
ඔවුන්ගේ ඉරණමත් එයමයි.
යන්ත්‍රානුසාරයෙන් ජීවත්වෙන ඔවුන් අතින්
අපරාධ සිදුවන්නේ නැහැ.
හැඟීම් නැති මිනිසුන්ට
වැරදි කරන්න අවශ්‍ය නෑ.
හැඟීම් වලින් කරන පෙළඹවීම නැත්නම්
වැරදි සිදුවන්නේ නැහැ.
ඔවුන් ස්පාර්ක් ප්ලග් එක දුර්වලවූ
පෙට්‍රල් ටැංකි හිඳුණු වාහන වගෙයි.
ගෙවත්තෙන් පිට යන්නේ නැහැ.

අපරාධ කරන්නේ හැඟීම් ඇති මිනිසුන්.
හැඟීම්බර මිනිසුන් ඇති රටවල් වල
අපරාධ වැඩියි.
කරුණාව දයාව වැනි හැඟීම් සහිත මිනිසුන්,
නෑ හිත මිතුරු සබඳතාත් ප්‍රබලයි.
නව සොයාගැනීම්,
මිනිස්බව ඉක්මවායන දක්ෂයන් වන්නේ
හැඟීම් බර මිනිසුන් හැඟීම් පාලනය කරගෙන
නිර්මාණශීලීව හැඟීම් යොදා ගැනීමෙන්.

අපරාධ වලට විසඳුම
හැඟීම්බර මිනිසුන් මදකිපුණු අලියන් මෙන් අල්ලා
නිරාගමික කොට නිර්වින්දනය කිරීම නොවෙයි.

යහපත් සමාජයක් වියයුත්තේ
ආගමෙන් දහමෙන්
ආත්ම දමනය කරන අතර
අපරාධවලට සමානුපාතිකව
දඬුවම් දැඩි කරමින්
නීතිය මනාව පිහිටුවීමයි.
නිරාගමිකත්වය තුළ
නිර්වින්දනය වූ මිනිසා
නිර්මාණශීලීත් නැහැ..
ප්‍රඥාවන්තත් නැහැ.

ඔවුන් නිස්සරණ තත්වයට එන්නේ
ආස්වාදය විඳීමෙන් පසුව
ආදීනව දැකීමෙන් නොවෙයි.

අපරාධ නොකරන නිරාගමිකයන්
ජීවත් වෙන්නේ මෝහයෙන්.
මානසිකව අඳගොලු බිහිරි නිරාගමිකයන්
අපරාධ නොකිරීම අරුමයක් නැහැ.
ඊට අවශ්‍ය මානසික ශක්තිය
ඔවුන් සතුව නැහැ.

හැඟීම් නැති මිනිසා
ඇවිදින මළමිනියක්..
ඔහු ළඟ නරක නැහැ..
ඔහුගෙ ඇති හොඳකුත් නැහැ.
 
 


========================================

Wasantha Mapatuna
[[ අංඟුලිමාලත් නිවන් ගියයි කියන්නෙ නිවනට ප්‍රාණඝාතය අවුලක් වෙලානෑ මයෙ හිතේ. ]]

පාප කර්මත් නිවන් ලැබීමත් අතර
ඍජු සම්බන්ධයක් නෑ.
භවය දික්වීම වගේ
අතුරු කාරණා බලපානවා.
අජාසත් රජු පියා මැරූ
ආනන්තරිය කර්මය නිසා
භවය දික් නොවී තිබුණා නම්
අජාසත් රජුගෙ පැනයකට පිළිතුරු ලෙස
බුදුන් වහන්සේ දෙසූ
සාමඤ්ඤඵල සූත්‍රය අසා
ඒ අසුනේම සෝවාන් වීමට
ඔහුට හැකියාව තිබුණා.
අංගුලිමාල 999ක් මැරුවත්
ඔහුගේ කර්ම වල බරපතල කම අඩුයි.

නිවනට හේතු වෙන්නෙ
කෙලෙස් නැසීමයි.
කර්ම විපාක බාහිර හේතුවක්.
ඔහු රැස් කරගත් කෙලෙස් නසන්න ඔහු සමත් නම්
කර්ම ඔහුට බාධාවක් වෙන්නෙ නෑ.
නිවනට බාධාවක් වෙන්නෙ විපාක දීමෙනුයි.

අජාසත් රජුගෙ කර්මය ඔහුට
ඒ මොහොතෙත් බලපෑවා.
වෙනත් කෙනෙකුට
ඔහුගෙ කර්ම අනාගතයෙ බලපානවා නම්
මේ ජීවිතයෙ කෙලෙස් නැසුවොත්
නිවන් දකිනවා.

කර්ම ගෙවලා නිවන් දැකිය යුතු නම්
කිසිවෙකුට නිවන් දකින්න බෑ.

සිදුහත් කුමරුට කර්ම තියෙද්දි
බුදු වෙන්න පුලුවන් වුණානෙ.
මුගලන් රහතන් වහන්සේ
පිරිනිවන් පෑවෙත් කර්මයක් පලදීලනෙ.

බුදුන් වහන්සේටත් කර්ම පල දුන්නා.
කර්ම විපාකය කියන්නෙ
අපි කරන කියන දේට
සොබා දහමෙ ප්‍රතිචාරයයි..

දෝංකාරය වගේ දෙයක්...

නිවනට පින් පව් බලපාන්නෙ
ආදායම සහ ණය වගෙයි.
නිවන
අපි අපේ සිහිය දියුණු කිරීමෙන්
ලැබෙන දෙයක්.
ආදායම සහ ණය තිබුණත්
කායික ව්‍යායාම කරලා
නිරෝගී වෙන්න බාධාවක් නැහැනෙ...

========================================

Wasantha Mapatuna
[[ පංසිල් සහ නිවන අතර සම්බන්ධයක් තියෙනවද මංද? ]]

න්සිල් සහ නිවන අතර
ඍජු සම්බන්ධයක් තියෙනවා.

නිවන් දුටු කෙනෙක් කියන්නෙ
තමන්ගෙ සිතත් කයත්
මේ මොහොතෙ පවතින ආකාරය ගැන
සම්පූර්ණයෙන්ම සිහිය පිහිටුවාගත් කෙනෙක්.සිහිය පිහිටුවා ගන්න කෙනෙක් කියන්නෙ
මොහොතෙන් මොහොත දුකෙන් මිදෙන කෙනෙක්.
මොහොතෙන් මොහොත නිවනට ළංවෙන කෙනෙක්.

පන්සිල් රකින කෙනෙක් කියන්නෙ
සිහිය පිහිටුවාගන්න සුදුසු කෙනෙක්.

සාමාන්‍ය පුද්ගලයෙකුට
තමන්ගෙ සිත සහ කය ගැන
සිහිය පිහිටලා නෑ.
ඔවුන්ට තමන්ගෙ සිතත් කයත්
මේ මොහොතෙ හැසිරෙන ආකාරය ගැන
පිහිටුවාගත් සිහියක් නෑ.
ඔවුන්ට කයට දැනෙන දෙයක්
එක වර සිහියට ආවොත්
ඒ දැනෙන දේ ප්‍රිය නම්
ක්ෂණිකව සිහිය නැතිවෙලා
ඒ පසුපස යන්න පටන් ගන්නවා.
ඒ දැනෙන දේ අප්‍රිය නම්
ක්ෂණිකව සිහිය නැතිවෙලා
එයින් මිදෙන්න මාර්ග සොයනවා.

ඒ දෙකම නැත්නම්
අතීතයෙ හෝ අනාගතයෙන් අරමුණු අරන්
ඒ අනුව ප්‍රපඤ්ච තනමින් වෙසෙනවා.

හිතට එන අදහස් මත
ඔහු හදන ප්‍රපඤ්ච වලින්
ඔහුගෙ සිතෙ රාගය හෝ ද්වේශය
ඔහුට දුකක් වෙන තරමට
වර්ධනය වෙනවා.

ඔහු වරදට පොළඹවන්නෙ
මේ මානසික විඳවීමයි.

සිල් බිඳගන්නෙ
හිතින් විඳවන කෙනෙක්.

මේ මොහොතෙ තමන් අවට සිදු වෙන දේත්
තමා තුළ සිදුවෙන දේත්
ඔවුන්ගෙ හිත කළඹන්නයි මුල්වෙන්නෙ.

මේ කැළඹීම ප්‍රබල වුණාම
ඔහුගෙ සිල් බිඳෙනවා.
මදුරුවෙක් කාල විස දැනෙන කොටම
මදුරුවාට ගහන එකයි
ඔහුට හුරුවෙලා තියෙන්නෙ.

මදුරුවාගෙ දෂ්ඨ කිරීමත්
ඔහුගෙ පහරත් අතර
පරතරයක් නැති තරම්.
තමන්ගෙ වේදනාවෙන් මිදීම
මදුරුවාගෙ කෙටි ජීවිතයට වඩා
ඔහුට වටිනවා.
නැත්නම් ඔහුට ඒ වේදනාව දුන් සත්වයා
මෙලොවින් තුරන් කරන්න
ඔහුගේ ද්වේශය හේතුවක් වෙනවා.

මදුරුවා මැරුවාට පස්සෙ
ඔහුට ඒ ගැන සිහිපත් වෙන්න පුලුවන්.
ඒත් ඔහු ප්‍රමාදයි.

පමාදෝ මච්චුනෝ පදං.
ප්‍රමාද කෙනෙක් මළමිණියක් වගෙයි.
වෙන්නෙ මොනවද දන්නෙ නෑ.

නිවන ඔහුගෙන් බෝ දුරයි.

ඔහු තුළ සිහිය පිහිටුවා ගන්න
ශීලය උපකාර වෙනවා.

ශීලය රකින කෙනෙකුගෙ හිතෙ
මදුරුවාට දෂ්ඨ කිරීමත්
මදුරුවාට වදින පහරත් අතර
පොඩි පරතරයක් ඇති වෙනවා.
ඒ මොහොතෙ සිහිය ඇතිවෙලා
ඔහු මදුරුවා මරන්නෙ නැතුව
පළවා හරිනවා.

මේ සිහිය
ඔහු කෝපයට පත් වෙලා
මිනිහෙක් මරන්න යන වෙලාවකත්
ඔහුගෙ සහයට ආවොත්
ඒ රැකෙන ශීලයෙන් ඔහුත්
අනෙක් තැනැත්තාත්
තව පිරිසකුත් රැකෙනවා.

සීලයෙන් රැකෙන්නෙ
ඔහුගෙ ක්‍රියා විතරයි.
හිත රැකෙන්නෙ නෑ.
අනිකා මරන්න ආපු කෝපය
හිතේ තියනවා.
ඔහු එයින් දුක් විඳිනවා.
ඒ දුක දරාගෙනයි
ඔහු සීලය රකින්නෙ.

තව කෙනෙක් ඒ කෝපය නිසා
මිනී මැරුමක් කරද්දි
ඔහු ඒ කෝපයෙන් තමන් දුක් විඳගෙන
සීලය රකිනවා.
ඔහු උදාර පුද්ගලයෙක්.
සිල්වතෙක්.

සිල්වතෙක් කියන්නෙ
තමන්ගෙ දුකට
අනෙකාගෙන් පළිගන්නෙ නැති කෙනෙක්.
තමන්ගෙ දුකට
අනෙකාට හානි නොකරන කෙනෙක්.

පන්සිල් පද පහම කඩන්නෙ
හිතින් විඳවන මිනිස්සු.
ඔවුන්ගෙ හිතින් විඳවීම
ඔවුන්ට දරාගන්න නොහැකි නිසා
ඔවුන් සිල් බිඳලා
තාවකාලික සහනයක් ලබනවා.

සිල්වතෙක් තමන්ගෙ විඳවීමෙන්
බාහිර ලෝකයට වෙන හානිය
ආත්ම දමනයෙන් වළක්වා ගන්නවා.

ඔහු සිහිය පිහිටුවාගන්න සුදුසු කෙනෙක්.
විපස්සනා වඩන්නෙකු වෙන්න
ඔහු තැබිය යුත්තෙ පියවර දෙකයි.
ඔහුට තමන් විඳින දුක ගැන
කායික සහ මානසික වශයෙන්
සිහිය පිහිටුවාගෙන
ඔහු විඳින දුකට
උපේක්ෂාවෙන් ඉන්න හුරු වීමෙන්
ආර්ය ශ්‍රාවකයෙක් විය හැකියි.
==========================

මහණෙනි,
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1,
කායික වේදනාව ද
2,
චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
==========================
කලින් මානසිකව
ඔහු වින්ද දුක
දැන් ඔහු දකින්නෙ කය තුළ ඇති
වේදනා සමුදායක් ලෙස පමණයි.

විදසුන් වඩන කෙනෙක් තුළ
කෝපය මතුවෙන කොටම
ඒ කෝපයට මුල් වෙන වේදනා
ඔහුගෙ සිහියට පෙනෙනවා.
ඒ වේදනාවන්ට උපේක්ෂාවෙන් වෙසෙන ඔහුට
සිල් රකින්න අවශ්‍ය වෙන තරමට
කුපිත වීමක් වෙන්නෙ නෑ.

ඔහුත් අන් අයත් දවා ලන්න
ගිනි ඇවිලූ ඉන්ධන
සිතට කාන්දු නොවී
කය තුළම නිරුද්ධ වෙනවා.
සිතේ උපේක්ෂාව ඇති නිසා
සිතින් දුක් විඳින්නෙත් නෑ.