20131224

අපි කවුරුවත් ජේසු වගේ හොඳ මිනිස්සු නෙමෙයි.





අපි කවුරුවත් ජේසු වගේ හොඳ මිනිස්සු නෙමෙයි.
බරබ්බස් තරම් නරක මිනිස්සුත් නෙමෙයි
අපෙ හොඳ නරක දෙකම අඩු වැඩි වෙන්නෙ
එලඹෙන අවස්ථා සහ පරිසරය අනුව
එකිනෙකාට සාපේක්ෂවයි.

ෆේස්බූක් මිතුරෙකු සමග
ඇතිවූ වාදයක
අතුරුඵලයක් හේතුවෙන්
ලියන්නට සිදු වූ අදහස් ටිකක්...
එහි ඇති පොදු බව නිසාම
බෙදා ගන්නට හිතුවා.
=======================================

Dasun Wanaguru .
''එක්කෙනෙක්,දෙදෙනෙක් මාව ප්‍රතික්ෂේප කරනවානම්
මට හොදට එය වැටහෙනවා..
(වාසනාවට මං දන්නා තරමින්
තවම කව්රුත් මට එහෙම කරන්නේ නැහැ)
නමුත් සිය-දහස් දෙනෙක්
එක් අයෙක්ව ප්‍රතික්ෂේප කරත්දී
ඒ කෙනාට ඒක නොවැටහෙන හැටි''
--------------------------------------------------------------------
දසුන්,
ඔබ අදහස් කරන ඒ කෙනා
මා බව මම දන්නවා.

අන් අය විසින් ප්‍රතික්ෂේප වීම
ගැටළුවක් වෙන්නෙ
අන් අය විසින් පිළිගැනීමට යටත් කෙනාටයි.

දුක සතුට ආදී
අනික් හැඟීම් මෙන්ම
අන් අය විසින් පිළි ගැනීමත්
වෙනස් වෙන ස්වභාවයෙන් යුතු
සාමාන්‍ය තාවකාලික දෙයක් විදියට
උපේක්ෂාවෙන් බලන කෙනෙකුට
අන් අය විසින්
ප්‍රතික්ෂේප වීමත් අනිත්‍යයම තමයි.

කෙනෙක් තව කෙනෙක්ව පිළි ගන්නෙ
එයා හොඳ නිසා නෙමෙයි.
එයා ඔහුට හොඳ නිසයි.
අත් හරින්නෙත් එයා නරක නිසා නෙමෙයි.
එයා ඔහුට නරක නිසයි.

මැරයන්ට මැරයන් සමග එකතු වෙනවා.
නිවටයන් මැරයන් හා නිවටයන් සමග එකතු වෙනවා.
හොරු හොරුන් සමග එක්වෙනවා.
බේබද්දන් බේබද්දන් සමග එක්වෙනවා.
සල්ලාලයන් සල්ලාලයන් සමග එක් වෙනවා.
සිල්වතුන් සිල්වතුන් සමග එක්වෙනවා.
හොඳ නරක වෙනසක් නැතුව
ඔවුන් පෑහෙන්න හේතුව
අනික් කෙනාගෙ ගතිගුණ හා හැසිරීම්
තමන්ගෙ ගතිගුණ හා හැසිරීම් සමග
ගැලපෙන නිසයි.
එකිනෙකාගෙ
හොඳ නරක නිසා නෙමෙයි.

මී මැස්සාත් නිලමැස්සාත්
ඔවුන් තෝරාගන්නා දේ ඇසුරු කරන්නෙ
හොඳ හෝ නරක වශයෙන් විමසලා නෙමෙයි.
ඔවුන් තෝරාගන්නා දේ ඔවුන්ට අවශ්‍ය නිසයි

ඒත්
කෙනෙකුගෙ සැබෑ වටිනාකම තියෙන්නෙ
ඔහු පිළිගන්නා හෝ ප්‍රතික්ෂේප කරන පිරිසෙ
සංඛ්‍යාව මත නෙමෙයි.

ඔහු පිළිගන්නා හෝ ප්‍රතික්ෂේප කරන පිරිසෙ
ගුණාත්මක භාවය හා
ඒ පුද්ගලයගෙ ගුණාත්මක භාවය මත
ඔහුගෙ සැබෑ වටිනාකම රඳා පවතිනවා.

දූෂිත රටක
දූෂිත ජනතාවක් විසින්
හිස් මුදුනෙ තියාගෙන ඉන්න
එවැනිම දූෂිත මහා ලොක්කෙකුට වඩා
ඒ දූෂිත රටේ පිටිසර ගමක
සැනසිල්ලෙන් ජීවත් වෙන
දුප්පත් සිල්වතෙක් වටිනවා.

සාමාන්‍ය දූෂිත මිනිස්සු බහුතරය
යහපත් අය ප්‍රතික්ෂේප කරනවා වැඩියි.

සිය දහස් ගාණක් ඉදිරියෙ
ජේසුත් බරබ්බස් කියන දාමරිකයාත් අතරෙන්
කෙනෙක්ව තෝරගන්න කිව්වාම
බහුතරයක් තෝර ගත්තෙ බරබ්බස් නිසා
ජේසු කුරුසියෙ ඇණ ගහන්න
තීන්දුව දෙන්න පිලාත්ට සිදු වුණා..

අපි කවුරුවත් ජේසු වගේ හොඳ මිනිස්සු නෙමෙයි.
බරබ්බස් තරම් නරක මිනිස්සුත් නෙමෙයි
අපෙ හොඳ නරක දෙකම අඩු වැඩි වෙන්නෙ
එලඹෙන අවස්ථා සහ පරිසරය අනුව
එකිනෙකාට සාපේක්ෂවයි.

අපි හොඳ කරන්නෙ
ලෝකය හොඳ නම් තමයි.
අපි නරක් වෙන්නෙ අපි නරක නිසා.
ලෝකය හොඳ වුණත්
අපිට නරක් වෙන්න පුලුවන්.
අපිට තියෙන ප්‍රධානම අභියෝගය.
ලෝකය නරක වෙද්දි
අපි හොඳවීමයි.

මම මේ කරන්න උත්සාහ කරන්නෙ එයයි.

ඉතින් ඒ අනුව,
මා හෝ ඔබ හෝ වෙනත් කෙනෙක්
අන් අය විසින් ප්‍රතික්ෂේප වෙන්නෙ හෝ පිළි ගැනෙන්නෙ
තීරකයාට ඇති
ගැලපීම හෝ නොගැලපීම මත මිසක්
අපේ හොඳ නරක නිසා නෙමෙයි.

ඔබ හොඳයි කියල
පිළිඅරන් ඇසුරු කරන අය කවුරුවත්
රහතන් වහන්සෙලා නෙමෙයි.
ඔවුන් ළඟ තියන හොඳ හා නරක
ඔබ ළඟත් තියන නිසා
ඔබ හා ඔවුන් මනාව ගැලපෙන නිසා
ඔබලා එකට ඉන්නවා. හැසිරෙනවා.
ඔබ තුළ ඇති ගුණ වලට අනුව
ක්‍රියා කරනවා.

අපේ සමහර හොඳ නරක දේවල්
කලින් ජීවිත වල ඇබ්බැහි වී සිටීම නිසා
උපතින්ම ගෙනෙනදේයි.

ඉතිරි හොඳ නරක දේවල්
අපි ඇසුරු කරන අයගෙන්
ඇබ්බැහි වෙන දේයි.

ඇබ්බැහි නොවෙන දෙයක් තියෙන්නෙ
විපස්සනා විතරයි.
වපස්සනාව පුරුද්දක් වෙන්නෙ නැහැ.
සිහිය පිහිටුවා ගැනීමත්,
උපේක්ෂාවත් පුරුදු වෙන්න බැහැ.
උවමනාවෙන්ම කළ යුතුයි.

ඒ හැරෙන්න
මිනිසුන්ගෙ හැසිරීමට
ඇබ්බැහිකම් බලපාන බව
මනෝ විද්‍යා උපාධියට ඉගෙන ගනිද්දි
ඔබ ඉගෙන ගෙන ඇති.
දේශපාලනයට පිවිසි කෙනෙක්
තමන්ගෙ මිතුරන්ටත්
හතුරන්ටත් සලකන්නෙ
දේශපාලන ක්ෂේත්‍රයෙ
තමන්ට හුරුවුණ රටාවටයි.

ඔබ මට පහර දෙන්නෙ
දේශපාලන ක්ෂේත්‍රයෙ මඩ ගහන ක්‍රමයටයි.
ඔවුන් හිතවතුන් ලෙස ඇසුරු කරමින්ම
අනෙකාට මඩ ගහනවා.
ඒ චෝදනා වලට පදනමක් නැහැ.
අහන අයට විමසන්නවත් හරයක් නැහැ.
බහුතරයකට විමසීම හුරු නැහැ.

එවැනි කෙනෙක් ඇත්තටම පහර දෙන්නෙ
පුද්ගලයෙකුට නෙමෙයි.
ඒ පුද්ගලයා පිළිබඳව අනික් අයගෙ
හිතේ තියන ප්‍රතිරූපයටයි.

තවත් ප්‍රතිරූපයක් බිඳින කොට
ඔබ එහෙම කරන්නෙ
ඔබේ ප්‍රතිරූපයට හානි කරගෙනයි.

ඔබ මා ගැන ද්වේශයෙන් ඉන්න බවත්
මට ඔබ ගැන ද්වේශයක් නැති බවත්
අපේ සංවාද දකින අයට පෙනෙනවා.
ඔවුන් හැම කෙනෙක්ම අපි ගැන තීරණ ගන්නවා.

ඔබට ගැතිව ඉන්න පිරිසෙන්
යම් කෙනෙකු අතින් වුණත්
ඔබේ හිත රිදුණොත්
ඔබ එදාට ඔහුට සලකන්නෙත්
මේ අයුරින්ම බව
ඔවුන් අතර ඉන්න
අත් දැකීම් ඇති අතළොස්ස දන්නවා.

ඔබ නොදැනුවත්වම වුණත්
ඔබ විශාල ගැටළුවක් විදියට හිතන
අන් අය විසින් ප්‍රතික්ෂේප වීම
ඔබටම අත්දකින්න වෙනවා.
ඔබට මා මිස ඔබ පෙනෙන්නෙ නැති නිසා
ඔබ ද්වේශයෙන් හැසිරෙනවා.

ඔබ කරන දෙයින්
මා තුළත් ද්වේශය ඇවිස්සෙනවා.
ඒක පුහුදුන් මගේ දුර්වල කමක්.
ඔබ ඊට හේතුව වුණාට ඵලය අයිති මටයි.
මට එරෙහි ඔබේ ක්‍රියාව මෙන්ම
එයින් මා තුළ ඇවිස්සෙන ද්වේශයත්
මට දැනෙනවා.

ඔබ මට පහර දෙන නිසා
මා දක්වන මේ ප්‍රතිචාරයට
ඒ ද්වේශය අදාළ නැහැ.

මා මේ දක්වන ප්‍රතිචාරය
ඔබට එරෙහිව
තනිව හෝ තවත් අය සමග
සැලසුම් කළ එකක් නොවෙයි.

අපේ ඡායාරූප ශිල්පී සමූහ වල කෙරෙන
මෙවැනි පහරදීම් සැලසුම් කිරීමෙදි
නිතර සහභාගි වෙන
හිතේ ද්වේශය අධික චරිත තියනවා.

ද්වේශය ඉතාම පහසුවෙන්
බෝවෙන මානසික රෝගයක්.

ඒ රෝගය බෝ වුණාම
පරිසරය දූෂණය වෙන්න පෙර
ද්වේශය උපන් පුද්ගලයා
දූෂණය වෙනවා.
වඩාත්ම දුක් විඳින්නෙ ඔහුමයි.

ඔහු උත්තේජනය කළ මුල් පුද්ගලයා විසින්
ද්වේශයෙන් අවසිහියට පත්වුණ
අහිංසක බළලා ලවා
කොස් ඇට බාවා ගන්නෙ
යටි සිතින් සිනාසෙමින්.

අවසන
රතු ඉත්තා වලට වැටෙනතුරු
ඔහු තම කෙළිය
කලක් තිස්සේ කෙළිනවා.

ඔහුගෙන් උත්තේජනය වෙන හැම තැනැත්තාම
ද්වේශයෙන් දූෂිත වෙනවා.

සේවනය නොකළයුතු බාලයන්
සමීපව ඇසුරු කරන්නා
ඒ ඇසුරෙන් කිළිටි වී
එවැනිම බාලයෙක් බවට පත් වෙනවා.
ඔහු කෙළෙසෙන්නෙ ඔහු අතින්මයි.

අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති.

විද්‍යාඥයෙක් ඔක්සිජන් සහ වතුර නිසා
යකඩ මළකඩ කනවා කියන විදියටම
බුදුන් වහන්සේත් කියනවා
දූෂිත සිතින් පව් කරන තැනැත්තා
එයින් කිළිටි වෙනවා කියල.
ඔබ ඒ වචන වැදි බණ ලෙස බැහැර කරාවි.

ඒත් ඒ සත්‍යය
අපි තේරුම් ගත්තත් නැතත්
යකඩ මළකඩ කනවා
අපිත් කිළිටි වෙනවා.
අපි දෙන්නටම
එක විදියට බලපානවා.

ද්වේශයෙන් කුළු ගැන්වුණ
ඔබේ ක්‍රියාව නිසා
මගේ හිතේ ඇතිවෙන අප්‍රසාදයත්
ද්වේශයම තමයි.

ඒ ද්වේශය පදනම් කරගෙන
ඔබට රිදවන, ඔබෙන් පළිගන්න හිතාගෙන
ඒ ද්වේශය වචන වලට හෝ
ක්‍රියාවට නගලා
ඔබ වෙත මුදා හැරියොත්
මගේ හිත දූෂ්‍ය වෙනවා.

එහෙම නොකරන්නට
මම ඉතාම ප්‍රවේශම් වෙන්නෙ
මගේම හොඳටයි.
මගේ ද්වේශයෙන්
මම ඔබව රකින්නෙ නැහැ.

ඒත් ඔබ රැකෙනවා.

ඔබ රැකෙන්නෙ
මගේ ද්වේශයෙන්
මම මා රැකගන්න නිසයි.

මගේ වචන තුළට ක්‍රියා වලට
ද්වේශය එක් වුණොත්
ඒ මගේ විපස්සනා පුහුණුව
සවිමත් නැති නිසයි.
මට ඊට ඒ අවස්ථාවෙ කළ හැකි දෙයක් නැහැ.
මා තව තවත්
සිහියත් උපේක්ෂාවත් තියුණු කරගත යුතුයි.
ඒත් ඔබ මේ සලසා දෙන්නාක් වැනි
අභියෝගාත්මක අවස්ථා නිසා
විපස්සනා පුහුණුව සවිමත් වෙනවා.

ඔබ කරන දෙයින් මට සිදු වෙන දේ
ඉතාම තාවකාලිකයි.
විපස්සනා පුහුණුව නිසා
උපදින ද්වේශය නිරෝධ වෙනවා.
ඒත්
ඔබේම හිත කිලුටු කරගෙන
ඔබ ඒ ඇති කරගන්න ද්වේශය
ඔබේ ජීවිතයෙ ඉතිරි වෙනවා.

ඒ අතරම බැහැර බැලුවත්
මතුපිටින් මාව දැකල
මට සමීපව ඉන්න හිස් පුද්ගලයන්
මගෙන් ඈත් කිරීමයි ඔබ මේ කරන්නෙ.

ඔබ වැනි හිතලු මත චරිත මනින අය
මා අවට සිටියත්
ඔවුන් ඉන්නෙත් හිතලු මතම තමයි.
ඔබ නිර්මාණය කරන හිතලු වලින්
දැන් තියන හිතලු විස්ථාපනය වීමෙන්
ඔවුන් ඈත් වෙයි.
ඒ නිදහස් වෙන්න අනවශ්‍ය බරක්.

මාව දන්න, හඳුනන, වටිනාකමක් ඇති චරිත
ඔබ කියන දේ ඇහුවට
මාව දකින්නෙ ඔවුන්ගෙම ඇස් වලින්.

ඒ පිරිස කවදාවත්
මාව අල්ල ගන්නෙ නැති නිසා
අත්හැරීමක ප්‍රශ්නයක් ඔවුන්ට හෝ මට නැහැ.

ඔබේ ඔය ක්‍රමය සාර්ථක වෙන්නෙ
ඔබ සමග එකතු වෙලා ඉන්න අයට සහ
ඔබ පිටුපස සිට ඔබ උසිගන්වන අයටයි.

මා පසුපස ඔබ සිතනවාක් වැනි
ගැත්තන් පරපුරක් නැහැ.
නිත්‍ය හිතවතුන්වත් නැහැ.

මම ස්වාධීන පුද්ගලයෙක්.

ඔබට එහි තේරුම වැටහෙන්නෙ නැහැ.

ඔබේම දෙපයින් නැගී හිටින්නට
ඔබ ශක්තිමත් වුණොත්
ඔබට එය තේරුම් ගන්න පුළුවන් වෙයි.

ඒ දවස හැකි ඉක්මණින් උදාවේවායි
අපි දෙන්නගෙම හොඳට
මම ප්‍රාර්ථනා කරනවා.