20170819

අපි හැම කෙනෙක්ම ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් කෙනෙක්

දෝණියි පුතයි දෙන්නම
ෂර්ලොක් හෝම්ස් කියවන්න පටන් අරන්.
මම දෙන්නාගෙන් ඇහුවා
"ඇයි ඒ පොත්වලට කැමති?"

"කතාවට ආසයි, රහස් ගතියට ආසයි.
ෂර්ලොක් හෝම්ස් කරන දේවල්
අසාර්ථක වුණාම ආයෙමත් හොයාගන්න විදිය
බලන්න ආසයි." දෝණි කියනවා.

"අපි කෙනෙක් දැක්කාම ගැහැණු පිරිමි වෙනස
අඳුගන්න තරම් පහසුවෙන් කෙනෙක් දැක්කාම
ෂර්ලොක් හෝම්ස්ට ඔහු ගැන හිතාගන්න පුලුවන් වීම,
අභිරහසක් හෙළිකරගන්න විදිය,
අපි නොදකින දේවල් දැකීම"
ඒ පුතා කැමති දේවල්.

පොත් කියවන බොහෝ දෙනෙකුගෙ
රූපාන්තරණයෙ එක් අවධියක
මේ වගේ ඔවුන්ටම ආවේණික හෙතු සහ
හැම කෙනෙකුටම පොදු හේතුත් මත
ෂර්ලොක් හෝම්ස් කතා පෙළ ආශාවෙන් වැළඳ ගන්නවා.

ශේක්ෂ්පියර්, ටොල්ස්ටෝයි, ගෝර්කි, මෝපසං
ඩොස්ටොයෙව්ස්කි, අකුතගාවා, තාගෝර්,
ඔස්කා වයිල්ඩ්, චෙකොෆ්, වික්ටර් හියුගෝ
වගේ ලේඛකයන්ගේ නිර්මාන වලට
හැම පරම්පරාවකම රසිකයන්
ආකර්ෂණය වෙනවා.

යම් පරම්පරාවක රසික පිරිසක්
ඔවුන් ප්‍රතික්ෂේප කරන්න එකම හේතුව
රසිකයාගේ රසඥතාවය සහ
භාෂා ඥාණය පිරිහීම පමණයි.

අපේ පුංචි දූපත තුළත්
ටී. බී. ඉලංගරත්න, ඩබ්. ඒ. සිල්වා,
මාටින් වික්‍රමසිංහ, කරුණාසේන ජයලත්,
සරච්චන්ද්‍ර, සේකර ආදී
කවදා කාටත් ගැළපෙන්න ලියූ
සුවිශේෂී ලේඛකයන් පිරිසක් ඉන්නවා.
ඔවුන්ගේ පොත් කියවන්න හුරුවෙන
අළුත්ම රසිකයන් පිරිසකුත්
හැමදාම පහළ වෙනවා.

හැම කාලෙකම ඉන්න රසිකයන්ගේ
ගෞරවාදරයට පාත්‍ර වෙන අතරෙ
ඒ සන්නිවේදන පරාසය නාඳුනන
නවක ලේඛකයන්ගෙ ඊර්ෂ්‍යාවටත්
පරිහාසයටත්, හෙළා දැකීමටත්
පරම්පරා ගණනක් තිස්සෙ බඳුන් වෙනවා.

ඒ ලේඛකයන්ගෙ නිර්මාණ කල් පවතින්නෙ
ඔවුන් කිසියම් කල් පවතින රසායනිකයක්
හිතා මතා මුසු කළ නිසා නොවෙයි.
ඔවුන් චරිත වශයෙන්ම ඒ නිර්මාණ
පහළ විය හැකි රසඥතාවයක්,
පෞරුෂයක්, වින්දනයක්, චරිතයක් ඇති
සුවිශේෂී මිනිසුන්.

අද කාලෙ ඉන්න රචකයන්
තමන්ගෙ නිර්මාණ ඉතා සුවිශේෂි කියා
තමන්ම තමන් ගැන හිතාගෙන ඉන්න
පටු පරාසයකට නිර්මාණ කරන පිරිසක්.
ඔවුන් ලියන සමහර චරිතවලට පාක්ෂිකයි.
සමහර සංස්කෘතික රටාවන්ට පාක්ෂිකයි.
සමහර කතා රටාවන්ට පාක්ෂිකයි.
මේ ආදී පාක්ෂික භාවයන් නිසාම
ප්‍රතිවිරුද්ධ චරිත සමග
සියුම් ද්වේශයක් ඔවුන් තුළ පැහැවනවා.
ඔවුන්ගේ නිර්මාණ රළු ගොරෝසු නිර්මාණ වෙනවා.

රචකයා පාක්ෂික වෙනවා කියන්නෙ
ඔහු ඒ චරිත ඔහුගෙ නියෝජිතයන් ලෙස
භාවිත කිරීමයි.

හැම චරිතයක් තුළම ඔහු ඉන්නවා.
පියදාස සිරිසේන හොඳම උදාහරණයක්.
ඒ රචකයා පක්ෂ නායකයෙක් වගෙයි.
ඔහුට ඉන්නෙ රසික ජනතාවක් නොවෙයි.
රසික පාක්ෂිකයන් පිරිසක්.

හොඳ ලේඛකයෙක් දරුවන්ට වගේ
හොඳ නරක වෙනසක් නැතුව
හැම චරිතයකටම ආදරෙයි.
අපිත් ඒ විදියටම ඒ චරිත දිහා
සැනසිල්ලෙන් බලනවා.

හොඳ ලේඛකයන්ගෙ චරිත තුළ
ලේඛකයාගෙ නියෝජනය අපට දැනෙන්නෙ නෑ.
ඔවුන්ට වරදිනවා. ඔවුන් වැරදි කරනවා.
ඒත් ඔවුන්ට ඒ වැරදි වලට
සාධාරණ හේතු තියනවා.
ඔවුන් සත්තු වගේ නිකරුණේ හැඟීම් බරව
වඳුරා දැලි පිහිය වනනවා වගේ
හැසිරෙන්නෙ නෑ.

කාලාන්තරයක් තිස්සේ පරම්පරා ගණන්
හැම පරම්පරාවකම අය කියවන පොත්වල
අපූර්ව නමුත් පොදු මිනිස්සු ඉන්නවා.

අපි ඒ චරිත හඳුනනවා.
ඔවුන් අපූර්ව පිටසක්වළ ජීවීන් නොවෙයි.
අපූර්ව එදිනෙදා හමුවෙන මිනිසුන්.
ඒ මිනිසුන් අතර ඇති වෙන ගැටුම් අපූර්වයි.
මේ කිසිවක් අපි නොදන්න දේවල් නොවෙයි.
ඒත් අපි නොදකින, අපිට නොපෙනෙන දේවල්.

අද රචකයන්ගේ නිර්මාණවල
පොදු ඇල් මැරුණ බවට පදනම් වුණ
ඔවුන්ට මග හැරෙන උණුහුම නම්
මේ අපූර්ව බව සමග පහසුවෙන් මුහු වෙන
පොදු මානුෂික හොඳ සහ
පොදු මානුෂික නරකයි.

පැරණි ලේඛකයන් ගෙ නිර්මාණ
බතුයි පොල් සම්බලුයි වගෙයි.
අද ඉන්න රචකයන් නිර්මාණය කරන්නෙ
බෙහෙත් වගේ අපූර්ව සංයෝගයක්.
බෙහෙතක් ගැලපෙන්න රෝගයක් අවශ්‍යයි.
ඔවුන්ට තියන රෝගී තත්වයෙම ඉන්න
රෝගීන් පිරිසක් ඒ නිර්මාණ වැළඳගන්නවා.
පොදු ජනතාව ප්‍රතික්ෂේප කරනවා.

පොදු ජනතාව පොත් කියවමින්
ඒ චරිත තුළ හොයන්න වෙහෙසෙන්නෙ
කියවන ඔවුන්ම මිස ලේඛකයා නොවෙයි.

අපි ෂර්ලොක් හෝම්ස් කියවන්නෙ
සර් ආතර් කොනන් ඩොයිල්
හමුවෙන්න හිතාගෙන නොවෙයි.
අපි හොයාගෙන යන්නෙ අපිමයි.
අපිට හමුවෙන්නෙත් අපිමයි.

අපි හැම කෙනෙක් තුළම
අභිරහස් විසඳන්න කැමති
ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ඉන්නවා.
ඒත් ඒක කරගන්න බැරි
වොට්සන් කෙනෙකුත් ඉන්නවා.

'ධර්ම යුද්ධය' නැරඹුවෙමු.


වසර හක් පමණ තිස්සෙ
පවුලක් ලෙස සිංහල චිත්‍රපට සහ ටෙලි නාට්‍ය
සම්පූර්ණයෙන්ම වර්ජනය කර ඇති අප
පවුලක් ලෙස තෘප්තියෙන් යුතුව
ධර්ම යුද්ධය නැරඹුවෙමු.

කිව යුතු බොහෝ දේ ඇතත්
ටිකක් කියන්නට සිතමි.

අප සිනමා ශාලාවට යන්නට හේතුව වූයේ
පසුගිය වසර තුන හතරේ
මේ චිත්‍රපටය හින්දි, දෙමළ ඇතුළු
ඉන්දියානු භාෂා ගණනාවකින් නිපදවා තිබීමයි.
මේ චිත්‍රපටය ලංකාවේද ජනප්‍රිය වන බව
අප ලද අත්දැකීම අනුව කිව හැක.

අප චිත්‍රපටය නැරඹූ සිනමා ශාලාවෙහිද
ආසන 80%ක් පමණ පිරී තිබුණු අතර
නැරඹීමෙන් පසු ඉතා ප්‍රමෝදයෙන් යුතුව පිටවී යන
විවිධ වයස්වල ප්‍රේක්ෂක කැළක් දකින්නට ලැබීම
අද කාලයේ හැටියට ලොකු සතුටක් විය.

තිරගත වීම ආරම්භ කළ දින සිට මසක්‌ ඇතුළත
දෙලක්‍ෂ විසි පන්දහසකට අධික ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ නැරඹූ
ධර්මයුද්ධය චිත්‍රපටය දින තිහක්‌ ඇතුළත ලැබූ ආදායම
රුපියල් ලක්‍ෂ පන්සිය දහහතර (514) කි.
එය කරුණු කිහිපයක්‌ නිසාම
නව ආදායම් වාර්තාවක්‌ බවට පත්ව තිබේ.

සමස්තයක් ලෙස ඉන්දියානු කතා ආකෘතිය
පිළිබඳව කිව යුතු බොහෝ වැදගත් දේ ඇත.
ඒ කරුණු දෙවනුවට තැබුව හොත්
ලාංකික නිශ්පාදනය ඉතා හොඳ තත්වයකින්
සෑම අංශයකින්ම පාහේ සාධාරණත්වය
ඉටු කර ඇති බව කිව හැක.

රඟපෑම් අංශයෙහි විටින් විට කෘතිම බවක්
ජැක්සන් දිල්හානිද ඇතුළුව බොහෝ නළුනිළියන් තුළ
වරින් වර හෝ අපට දක්නට ලැබුණේ
ඔවුන්ගේ නොහැකියාව නිසා නොව
නිසි පෙරහුරුවක් නොමැති බව නිසායැයි
විශ්වාස කරන අතර සමාව නොදෙමි.

කුමාර තිරිමාදුර සහ තිසුරි යුවනිකා
සිය චරිත තුළ ඉතා හොඳින් හැසිරුණහ.

පොලිස් නිලධාරිණියටගේ චරිතය රඟ පෑ
පාපනාසම් චිත්‍රපටයේ නිළියට වඩා
නීතිඥවරියක සේ රඟපෑ කුසුම් රේණුද
සිය චරිතය මනා අවබෝධයෙන් සහ සැලකිල්ලෙන්
ඉදිරිපත් කළ බව කිව හැක.

ජැක්සන්ට අද ක්ෂේත්‍රයේ අභියෝග නැතියෙන්
ඔහු චරිතය සැහැල්ලුවෙන් ගත්තා දෝයි
අපට සැක සිතෙන අන්දමට නොසැලකිලිමත් වූ
යම් යම් අවස්ථා අප ඔහු තුළ දුටුවෙමු.

ජැක්සන් රඟපාන සියලුම චරිත තුළ
ඔහුත් යම් ප්‍රමාණයක් නියෝජනය වීම
අප ජැක්සන් තුළ දකින ලක්ෂණයකි.

ඔහු ගාමිණී ජෝ ටෝනි වැනි නලුවන්ට
පසුපසින් ඉන්නට ප්‍රධානම හේතුව
මේ ජැක්සන් නියෝජනය බව මම සිතමි.

දෙබස් උච්ඡාරණයේදී සහ රංගනයේදී
 අමතර සියුම් හැසිරීම් රඟපෑමට මුසු නොකිරීම
ඔහුගේ මේ දුර්වල කමට එක් හේතුවකි.

උදාහරණයක් ලෙස
කුමාර තිරිමාදුර නිතරම කොණ්ඩය සැකසීම
වැනි චරිතයට ආවේණික ගති ලක්ෂණ
ජැක්සන් කරන බවක් මා දැක නැත.

මෙහි දෙමළ චිත්‍රපටය වූ
පාපනාසම් චිත්‍රපටයේ රඟපෑ
කමලහසන් මේ අංශයෙහි විශිෂ්ඨයෙකි.

කමලහසන්ගේ රංගනය ඉතාම
ස්වාභාවික ස්වරූපයක් දැරීය.
ඔහු ඒ වරද නිසා විඳවන බව
පැහැදිලි ලෙස පෙණුනු අතර
ඔහුගේ ප්‍රඥාව පිළිබඳව
අප තුළ පහළ වූයේ ගෞරවයකි.

ජැක්සන්ගේ රඟපෑම තුළින්
අපට පිළිබිඹු වූයේ කපටියෙකි.
ඔහු ඒ කපටිකම යොදාගන්නේ
පවුලේ ආරක්ෂාවට නිසා හැර
ඔහුගේ යහපත් කමක් දක්නට නැත.
මේ හේතුවෙන් ඔහුගේ යහපත් බව පෙන්වන
සමහර අවස්ථාවල ඔහු අසමත් වෙයි.

සමස්තයක් ලෙස ජැක්සන් හොඳින් රඟපෑවද
"පාපනාසම්" චිත්‍රපටයේ කමලහසන් රඟන
අවසාන පාපෝච්ඡාරණ දර්ශනයේදී
අපට දක්නට ලැබෙන 'පවක් කිරීමේ කම්පාව'
අප මුළු සිංහල චිත්‍රපටය පුරාම
ජැක්සන්ගේ හරිශ්චන්ද්‍ර තුළ නොදුටුවෙමු.

ධර්ම යුද්ධය කළ යුත්තේ
තමාගේ පාපයට විරුද්ධවයි.


 කමලහසන්ගේ එම අති විශිෂ්ඨ රංගනය
ඔහු චරිතය වටහාගැනීමේ විශිෂ්ඨත්වයමයි.
ඒ බව අපට පැහැදිලිව පසක් වන්නේ
'පාපනාසම්'හි මුල් මලයාලම් චිත්‍රපටයෙහි
එකම අධ්‍යක්ෂකවරයා යටතේ
මොහන් ලාල්ගේ රංගනයෙහිද
කමල්ගේ ආධ්‍යාත්මික කම්පාව
අප නොදුටු හෙයිනි.

"මේ පාප නාසම් ගංගාවට
මිනිස්සු දුර බැහැර ඉඳන් එන්නෙ
ඔවුන්ගේ පව් සෝදා හරින්නයි.
අපි මේ ගමේ මිනිස්සු.
අපි මේ ගඟෙන් නාල
අපෙ පව් ටික ටික සෝදා ගන්නම්"

ඔහු නීතියෙන් බේරුණත් ඒ ගැලවීම
ජයග්‍රහණයක් ලෙස නොසින්තන අතර
බොරු කීම, අනියම් මිනීමැරුම සැඟවීම
පාපයන් ලෙස පිළිගනියි.

සිංහල චිත්‍රපටිය
මේ දර්ශනයේදී ඉතාම දුර්වලය.

අවසාන පාපෝච්ඡාරණ දර්ශනයේදී
කමල්ගේ සියොළඟ ගැහෙන්නට තරම්
ඔහු තුළ වූ කම්පාව බලවත්ය.
මේ හැඟීම්බර බව
පාපනාසම් චිත්‍රපටයට එක් කිරීම
කමලහසන්ගේම යෝජනාවක් බව
අධ්‍යක්ෂක ජීතු ජෝසෆ් පවසා ඇත.

කමලහාසන්ගේ රඟපෑමෙහි
විශිෂ්ඨත්වය
වරුන්ගේ දෙමාපියන්ගේ වේදනාව කම්පාව
ඔහුත් ආධ්‍යාත්මිකව විඳිමින් කරන
පාපෝච්ඡාරණයයි.
ඔවුන්ට ඔවුන්ගේ දරුවා නැති වීම
ඔවුන්ට වුණ දෙවෙනි පාඩුවයි.
පළමුවැනි පාඩුව නම් ඔහු චරිතයක් ලෙස
දූෂිත, කාමුක, නරුමයෙකු වීමයි.
මේ පාඩු දෙකම ඔවුන්ටය.

කමලහාසන්ගේ දරුවන් මේ දෙකෙන්ම
ආරක්ෂාවූ දෙදෙනෙකි.
එහෙත් ඔහු වරුන්ගේ දෙමාපියන් අබියස
කම්පාවට පත්වන්නේ ඔවුන් ගැනය.

හරිශ්චන්ද්‍ර සැනසෙන්නට හේතු ඇතිව සිටියදී
අනෙක් දෙමාපියන්ගේ කම්පාව තමන්ගේ මෙන් විඳීම
අප ජැක්සන්ගේ රංගනය තුළ නොදුටුවෙමු.
ඔහු මතුකරන්නට උත්සාහ කෙළේ
ඔහුගේ වචන වලින් කිවූ ආත්මාර්ථකාමයයි.
ඔහුගේ පවුල පිළිබඳ ඒකමිතික හැඟීමයි.

මේ සැබෑ ජැක්සන් විය හැක.
එහෙත් හරිශ්චන්ද්‍ර එවැන්නෙක් යයි
කමල්ගේ රංගනයෙන් මතු නොවේ.

හරිශ්චන්ද්‍ර ජීවිතය ජයගන්නේ
ඔහුගේ යහපත් බව නිසාය.
ඔහුගේ ආත්මාර්ථකාමී බව නිසා නොවේ.
ඔහුගේ යහපත් බව හොඳින්ම හෙළිවන කේන්ද්‍රීය දර්ශනය
ඔහු සිය පවුලෙහි අනාගතය අවදානමෙහි හෙළා
වරුන්ගේ දෙමාපියන් සනසන්නට
සිය වරද ඔවුන් හමුවේ පිළිගැනීමයි.

පාපනාසම් පාපය නසන්නට දරණ
වෑයමක් ලෙස මනාව නිරූපණය වෙයි.
ධර්ම යුද්ධය නම් ධර්ම යුද්ධයක් නොව
අධර්මයට විරුද්ධ යුද්ධයක් පමණකි.
මේ වෙනසට හේතුව
අප පුන පුනා කී පරිදි
ජැක්සන්ගේ අර්ථ කථනය
සහ කමල්ගේ අර්ථ කථනය
වෙනස් වීම බව අපට පෙනෙයි.

සහාය නළුනිලියන්ගේ රංගනය
සමස්තයක් ලෙස ඉතා හොඳ තත්වයක
පැවතුණ බව කිව හැක.

කෙටි කාලයක් දකින නමුත්
ධනුකද හොඳ උත්සාහයක් දැරූ අතර
අභිනය පිළිබඳව සිහියෙන් පසුවන බවද
සමස්ත රඟපෑම තුළ පෙනිණ.
එහෙත් ඔහු ඔහුගේ චරිතය
සිතින් අනුමත නොකරන බවක්
ඉතාම දුෂ්ඨ කොටස් රඟපෑමේදී ප්‍රකාශ විය.

ඔහු සමස්ත කාලය තුළම
දුෂ්ඨ ලීලාවෙන් රඟපෑම නිසා
චරිතය එකාකාරී විය.
'පාප නාසම්'හි වරුන්ගේ රංගනය තුළ
කෙමෙන් ගොඩ නැගෙන දුෂ්ඨ කම
වඩා රිද්මයානුකූලය.

ඔබ රඟපාන චරිතය කොතරම් දුෂ්ඨ වුවද
ඔබ එය භාරගත් පසු චරිතයේ හැසිරීම
ඔබ හිතට එකඟවිය යුතුය.
ඒ සම්පූර්ණයෙන්ම ඔබයි.
චරිතය කවරක් වුවද වෙනුවෙන්
හදවතින්ම පෙනී සිටිය යුතුය.

"හංස විලක්" චිත්‍රපටයේ අප දුටු
බල්බය සෙලවීමක් වැනි උපක්‍රමයකින්
එම කේන්ද්‍රීය අවස්ථාව ලබා දුන් හැඟීම
තවත් තියුණු වන්නට ඉඩ තිබිණ.

විදුලි බල්බය වෙනුවට
විදුලි පන්දමක් භාවිතා කළා නම්
දර්ශනයෙහි හැඟීම් ඇති කිරීම
තව දුරටත් සාර්ථක වන්නට
අවකාශ තිබිණ.

ධනුකගේ අවසාන රංගනය සහ
එහිදී ඔහු දෑස භාවිතා කල ආකාරය
සහ පාලනය කරගත් ආකාරය
ඉතාම විශිෂ්ඨයි.
ඒ උද්වේගකර මොහොත
අප සිත් තුළ ප්‍රබලව සනිටුහන් කරන්නට
ඔහුගේ රඟපෑම මනාව ඉවහල් විය.

පාප නාසම්හි රඟපෑ නළුවා
සිය දෑස වැසෙන්නට හැරීම
දුර්වල කමක් බව වැටහෙන්නේ
ධනුකගේ දෑස නොවැසීම නිසාය.

කුමාර තුළත් පාප නාසම් චරිතයට වඩා
අතිශයෝක්තියක් දක්නට ලැබුණ නමුත්
ඔහු නොකඩවාම සිය චරිතය තුළ
රැඳී සිටියේය.

තිසුරි යුවනිකාද ඉතාම හොඳින්
ඇගේ චරිතය රඟපෑ නමුත්
සමස්ත චිත්‍රපටය පුරාම දක්නට ලැබුණ
කැමරාව අනවශ්‍ය ලෙස ඔවුන්ට සමීප වීම
මනා රඟපෑමක් වුවත් අතිශයෝක්තියක් ලෙස
හුවා දැක්වෙන අවස්ථා විය.

පාපනාසම් චිත්‍රපටයේ දර්ශන වලදී
අපත් චරිතත් අතර ප්‍රමාණවත් දුරක්
අධ්‍යක්ෂකවරයා පවත්වාගෙන ඇත.
ධර්ම යුද්ධයෙහි දක්නට ලැබෙන
අපත් ඒ දර්ශන වල කොටස් කරුවන් බව
අපට හැඟෙන තරමට සමීප රූප
අධික ලෙස භාවිතා වී තිබිණ.

සමස්තයක් ලෙස
අධ්‍යක්ෂණය, රඟපෑම, ආලෝක කරණය
ඇඳුම් පැළඳුම්, අවස්ථා නිරූපණය
ආදී සියලුම අංශ වලින්
ධර්ම යුද්ධය නාට්‍යයකට සමීප වන අතර
පාපනාසම් ඉතාම ස්වාභාවික ලෙස
ඉදිරිපත් කොට ඇති බව කිව හැක.

මෙහි ජපන් මුල් චිත්‍රපටය ඇතුළුව
ඉතිරි ඉන්දීය චිත්‍රපටද ඉදිරි දිනවල
නරඹන්නට බලාපොරොත්තු වෙමු.

ජපන් චිත්‍රපට කතා සැකිල්ල හැරුණ විට
සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි.