20160626

දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගැනීම = විපස්සනා


දෙවියන් වහන්සේ අදහන අයට
 විපස්සනා අත්දැකීම
 ඔවුන් දන්නා බසින් මෙසේ කියන්න පුලුවන්.

දෙවියන් වහන්සේ මිනිසා මවා ඇත්තේ
 වර්ග තුනක අත්දැකීම් සමගයි.
ඔවුන්ට ප්‍රිය අප්‍රිය හා ප්‍රිය අප්‍රිය නොවන
 වශයෙන් ඔවුන් අත්දැකීම් විඳිනවා.

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව
 මේ අත්දැකීම් ඔහුට ලැබෙන්නේ
 සීමිත කාලයක් සඳහායි.

එහෙත්
 ප්‍රිය අප්‍රිය අත්දැකීම් විඳින විට
 ප්‍රිය අත්දැකීම් පවත්වාගන්නට
 ඔහු උත්සාහ කරනවා.
අප්‍රිය අත්දැකීම් විඳින විට
 අප්‍රිය අත්දැකීම් වලින් පැන යන්නට
 ඔහු උත්සාහ කරනවා.
මෙසේ දරන උත්සාහය නිසා
 ඔහුගේ සිත රාගයෙන් හා ද්වේශයෙන්
 දූෂිත වෙනවා.

ප්‍රිය අප්‍රිය නොවන අත්දැකීම්
 නොසලකා හැරීම නිසා
 ඔහුගේ සිත මෝහයෙන් දූෂිත වෙනවා.

ඔහු තුළත් ඔහු අවට ලෝකයේත්
 දෙවියන් වහන්සේගේ කැමැත්ත
 ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව
 මොහොතින් මොහොතට සිහියෙන් වෙසෙමින්
 දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගෙන
 ඒ සිදුවෙන දේට උපේක්ෂාවෙන්
 ඔහුට විසිය හැකි නම්
 ඒ මොහොතක් මොහොතක් පාසාම
 ඔහුගේ සිත පිරිසිදු වෙනවා.

ඔහු කුරුසයක ඇණ ගසා සිටියත්
 දෙවියන් වහන්සේගේ කැමැත්ත
 ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව
 මොහොතින් මොහොතට සිහියෙන් වෙසෙමින්

 දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගෙන

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව
සිදුවෙන දේට 
උපේක්ෂාවෙන්  විසිය හැකි නම් 
ඔහුට දුකක් නෑ.